රාවය

ගංවතුරේ වෙනසක් නැති කොළඹ ගංවතුර පාලනය – ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර

ගංවතුරේ වෙනසක් නැති කොළඹ ගංවතුර පාලනය –  ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර

ඇන්ටන් නානායක්කාර මහතා වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කර ඇති ඔහු කාලයක් කොළඹ ඇළ මාර්ග සම්බන්ධ වගකීම්ද දරා ඇත. එසේම කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා හැටේ දශකයේ සිට අනූව දශකය දක්වා සකස් කරන ලද විවිධ වාර්තාවන්ට ඔහු දායකත්වය දරා ඇති අතර සමහර වාර්තාවන් ඔහුගේ මූලිකත්වයෙන් සකස් කර ඇත. මෙහි පළවන්නේ කොළඹ ගංවතුර පාලනය සම්බන්ධයෙන් ඔහු සමග කරන ලද දීර්ඝ සාකච්ඡුාවක සංක්ෂිප්ත සටහනකි.
කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා වූ මහා පරිමාණ ව්‍යාපෘතියක් මේ වනවිටත් ක‍්‍රියාත්මකවෙමින් පවතී. ඒ සඳහා ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 225ක මුදලක් ලබාගෙන ඇති බව කියයි. ඒ යටතේ ඇළ මාර්ග ප‍්‍රතිසංස්කරණයට අමතරව ඇවිදීමේ මං තීරු උද්‍යාන ආදිය ඉදිවීමද දක්නට ලැබේ. මේවා ගංවතුරට පිළියම්ද යන්න ප‍්‍රශ්නයකි.

කොළඹ ගංවතුර පාලනය සඳහා ජාත්‍යන්තර ආයතනයකින් ණය ලබාගත් පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙරද අසූව දශකයේ අගභාගයේ ඇට්කින්ස් වාර්තාව සඳහා රුපියල් මිලියන 4000ක මුදලක් ණය වශයෙන් ලබාගෙන තිබුණි. එම මුදලද ව්‍යාපෘතිය අවසන් වන විට රුපියල් මිලියන 30,000 දක්වා වැඩිවී තිබූ බව එම කාලයේ දැනගන්නට ලැබුණි.
මේ ආකාරයට කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා අතිවිශාල විදේශ ණය ප‍්‍රමාණයක් ලබාගෙන ව්‍යාපෘති සිදුකළද කොළඹ ගංවතුර පාලනය තවමත් හරිහැටි සිදුනොවන බව වත්මන් වැසි තත්ත්වයේදී මෙන්ම මීට පෙර ඇතිවූ වැසි තත්ත්වයන්හිදීද දැකගන්නට ලැබුණි.

මේ විදේශ ණය මුදල් අවසානයේ පොලියත් සමග ගෙවන්නට සිදුවන්නේ පොදු මහජනයාටය. ඒ නිසා කොළඹ ගංවතුර පාලනයට අදාළව කථිකාවක් ඇතිවිය යුතු බව ඒ සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ගණනාවකට සම්බන්ධ වූ අයකු වශයෙන් මාගේ මතයය.

මෙතෙක් සිදුකර ඇති සෑම ව්‍යාපෘතියකින්ම පාහේ සිදුකර ඇත්තේ කොළඹ ජලය බැසයෑමේ මාර්ග විධිමත් කරනවා වෙනුවට අවිධිමත් කිරීමය.
1960 දශකයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව කොළඹ කලාප තුනකට (කැච්මන්ට් තුනකට) වෙන්කර ජලය බැසයෑම පාලනය කළේය. එම කලාප කොළඹ උතුර, කොළඹ දකුණ හා කොළඹ නැගෙනහිර හෙවත් මාදිවෙල යනුවෙන් හඳුන්වනු ලැබීය.

ඒ අනුව කොළඹ උතුරේ වතුර නාගලගම් වීදිය, මුට්වෝල් ටනලය (මෝදර උමඟ) හා බේරේ වැවට බස්සනු ලැබූ අතර කොළඹ දකුණේ වතුර වැල්ලවත්ත, දෙහිවල යන ස්ථානවලින් මුහුදට බස්සනු ලැබීය. කොළඹ නැගෙනහිර හෙවත් මාදිවෙල වතුර ගෙන යනු ලැබූයේ කිත්තම්පහුව ඇළ හරහාය.

එහෙත් කොළඹ ගංවතුර පාලනය කිරීමේ විවිධ ව්‍යාපෘති සඳහා වරින්වර කරන ලද වෙනස්කම් නිසා එක් එක් කලාපයේ වතුර එක් එක් කලාපයට අයත් ස්ථානවලින් බැස්වීමේ කටයුතු මේ වනවිට වෙනස්කම්වලට භාජනය වී තිබේ. ඊට උදාහරණ වන්නේ මහවත්ත ඇළ රාජගිරිය මැක්ඩොනල්ඞ් අසලින් විශාල පාලමක් සාදවා හීන් ඇළට සම්බන්ධ කිරීම හා රාජගිරිය නාවල පාරේ කුඩා බෝක්කුව විශාල පාලමක් කර මාදිවෙල වතුර කොළඹ දකුණ ප‍්‍රදේශයට සම්බන්ධ කිරීමය. මේ මගින් කොළඹ නැගෙනහිර වතුර කොළඹ දකුණටත්, කොළඹ දකුණේ වතුර කොළඹ නැගෙනහිරටත් වශයෙන් ගමන් කරන්නට පටන් ගෙන ඇති නිසා විශාල ප‍්‍රශ්නයක් හටගෙන ඇත. මේ නිසාම මීට පෙර වැස්සට යට නොවුණු රාජගිරිය රෝයල් ගාඞ්න් යට වීමට පටන් ගෙන ඇති අතර එහි වැසියන්ට ඔවුන්ගේ වටිනා වාහන වැසි දිනවල රාජගිරිය මැක්ඩොනල්ඞ් පාලම උඩ නවතා නිවෙස්වලට වී සිටින්නට සිදුවී ඇත.

එසේම මට දැනගන්නට ලැබී ඇත්තේ නෝර්ත් ලොක් හෙවත් නාගලගම් වීදිය ඇළේ දොරටු අඩි 40 දක්වා පළල් කිරීමට සැලසුම් කර ඇති බවයි. මෙය ඇත්තටම නිස්සාර වියදමක් දරන්නට යන අනවශ්‍ය වැඩකි. අනූදෙක වර්ෂයේ කොළඹට ඇදහැලූණු මහා වැස්සේදී පාර්ලිමේන්තුව පවා යටවුණේ මේ ඇළේ පළල මදි නිසා නොවේ. නාගලගම් වීදියේ ගංවතුර පාලනය සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව තිබූයේ එක් ගේට්ටුවක් පමණය. මේ වැස්සට පෙර කොළඹ බේරේ වැව පවිත‍්‍ර කිරීමේ ව්‍යාපෘතියක් සඳහා කැලණි ගෙඟන් වතුර පොම්ප කරන කටයුත්තක් සිදුවූ අතර ඒ සඳහා වෙනම ගේට්ටුවක් ඉදිකරනු ලැබීය. ඒ මහා වැස්සෙන් පාර්ලිමේන්තුව පවා යටවූයේ වතුර බැසයෑම සඳහා වාරිමාර්ග ගේට්ටුව ඇර තිබුණත් බේරේ වැව ව්‍යාපෘතියට ඉදිකළ ගේට්ටුව එය භාරව සිටි පිරිස් දින හතක් යන තෙක් නොඇර සිටීම නිසාය. පසුව එම ගේට්ටුව අරිනු ලැබුවේ ජනාධිපතිවරයාගේ අණ අනුව නාවික හමුදාව විසිනි.

එසේම කොළඹ උතුර ප‍්‍රදේශයේ මුහුදට වතුර බැසයෑම සඳහා ඇති මුට්වෝල් ටනලය වෙනුවට අලූත් උමං මාර්ගයක් ඉදිකිරීමට නියමිත බවද ප‍්‍රකාශයට පත්කර ඇත. එයද නාස්තිකාර වියදමකි. කළයුත්තේ දැනට ඇති උමඟ ශුද්ධ පවිත‍්‍ර කොට භාවිතයට ගැනීමය. අපේ වාර්තාවලට අනුව වැලිවල ප‍්‍රශ්නයක් නැතිව මුළු අවුරුද්ද පුරාම මුහුදට ජලය බැස්සවිය හැකි හොඳම මාර්ගය මුට්වෝල් ටනලය හෙවත් මෝදර උමඟය.

ඒ වගේම දැනට අඩපණවී ඇති ශාන්ත බස්තියම ඇළ හරහා බේරේ වැවට වතුර ගැනීම හා දැනට වසා දමා ඇති බේරේ වැවෙන් මුහුදට වතුර යැවීම කියන කටයුතුද සුපුරුදු පරිදිම ක‍්‍රියාත්මක වියයුතුය යන්නය මගේ අදහසය.

එහිදී දැනට ප‍්‍රධානම ගැටලූව පැන නැගී ඇත්තේ කොළඹ නැගෙනහිර කලාපය හෙවත් මාදිවෙල කෝට්ටේ වතුර රැුගෙන යන්නේ කවර දෙසකටද යන්නය. මේ වතුර වේරැුස් ගඟ හරහා බොල්ගොඩ වැවට හා එතැනින් පානදුර හරහා මුහුදට ගෙනයෑමට දැනට සැලසුම් කරමින් පවතී. ඒ වගේම කෝට්ටේ වතුර වෙනත් තැනකින් කැලණි ගඟට ගෙනයෑමට අලූත් ඇළකුත් කපමින් පවතී. වතුර බහින්නේ ස්වාභාවික බැස්ම අනුවය. නැත්නම් විශාල බෑවුමක් වතුර ගෙනයෑමට කැපීමට සිදුවේ. එවිට එම කලාපයේ භූගත වතුර මට්ටම පහළ ගොස් වගාවන් පාළුවී ළිං පවා සිඳිය හැකිය.

මගේ ප‍්‍රශ්නය වන්නේ කොළඹ වතුර පානදුරට ගෙනියන්නේ කුමකටද යන්නයි. මේ නිසා අතරමග ඇති බෙල්ලන්විල කුරුලූ අභය භූමිය වැනි සංවේදී පරිසර කලාපවලට බලපෑම් ඇතිවිය හැකිය.

මගේ යෝජනාව මාදිවෙල කෝට්ටේ වතුර බැස්සවීම සඳහා ඇති කිත්තම්පහුව ඇළ නැවත භාවිතයට ගත යුතු බවයි. ඒත් ඒ සඳහා බාධාවක්ව ඇත්තේ කිත්තම්පහුව ඇළ ගොතටුව බැම්මෙන් අද දෙපසට වෙන්ව පැවතීමයි. මේ ගොතටුව බැම්ම ගංවතුර පාලනය සඳහා ඉදිකළා වුවත් එය කැලණි ගෙඟ් දකුණු බැම්ම ඉදිකර ඇති ලෙස නිවැරදි ස්ථානයේ ඉදිකර නැත. ඒ නිසා කැලණි ගෙඟ් වම් බැම්ම වන ගොතටුව බැම්ම ගඟට සමාන්තරව නැවත පිහිටුවිය යුතුය යන්න මගේ අදහසය. එසේ සිදුකිරීමෙන් පසු කිත්තම්පහුව ඇළ වෙන්ව තිබෙන ස්ථානයෙන් නැවත යාකළ හැකිය. එවිට කිසිදු ප‍්‍රශ්නයක් නොමැතිව කෝට්ටේ වතුර බැස්සවිය හැකිය. එපමණක් නොව දැනට ගංවතුර තර්ජනයකට ලක්වී ඇති ගොතටුව බැම්මෙන් පහත ප‍්‍රදේශය කොළඹ නව නගරය ලෙස සංවර්ධනය ද කළ හැකිය.