රාවය

අධිකාරවාදයේ තවත් පැත්තක්

අධිකාරවාදයේ තවත් පැත්තක්

 

ලංකාවේ සංචාරයකින් පසු ව වරෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, නවි පිල්ලෙයි කීවා, ලංකාවේ පවතින්නේ අධිකාරවාදී රාජ්‍ය පාලනයක් බව ය. ඇගේ ඒ ප‍්‍රකාශයෙන් මහත් සේ කිපුණු ලංකාවේ රාජ්‍ය පාලකයෝ ඇයට නොයෙක් අවලාද නැගූහ. එහෙත් ඈ කී දේ සත්‍යය ම මිස අසත්‍යයක් නොවන බව ඒ කාලයේත් අදත් අපේ රාජ්‍ය පාලකයන් විසින් ම ක‍්‍රියාවෙන් ම ඔප්පු කරනු ලබමින් සිටියි. ඒ ඔප්පු කිරීමේ භාරයෙන් වැඩි කොටසක් දරන්නේ රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යි.

නවි පිල්ලෙයි මහත්මියගේ ප‍්‍රකාශය ඔප්පු කිරීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ගත් තවත් අලූත් පියවරක් පසුගිය සතියේ වාර්තා විය. එනම්, මාධ්‍ය හමු, වැඩ මුළු, ජනමාධ්‍යවේදීන් සඳහා පුහුණු කිරීම් සහ පුවත්පත් නිවේදන නිකුත් කිරීම රාජ්‍ය නොවන සංවිධානවලට තහනම් කරමින් ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ/රෙජිස්ට‍්‍රාර්වරයා ජූලි 1 වැනි දා නිකුත් කළ චක‍්‍රලේඛය යි.

මේ චක‍්‍රලේඛය විසින් පැනවෙන නියමයන් එක්තරා ආකාරයකින් විහිළුවක් ද, තවත් ආකාරයකින් භයානක හැඟවුමක් ද වෙයි. විහිළුව වන්නේ මේ අධ්‍යක්‍ෂවරයා තමාට නැති බලයක් ආරෝපණය කර ගෙන මේ චක‍්‍රලේඛය නිකුත් කිරීමත්, අවශ්‍ය නම් එම නියමයන්ගෙන් ගැලවී එහි තහනම් කර තිබෙන ඕනෑ ම දෙයක් කිරීමට ඕනෑ ම රාජ්‍ය නොවන සංවිධානයකට උපක‍්‍රම තිබීමත් නිසා ය.

එහෙත්, භයානක හැඟවුම ඇති වන්නේ මේ චක‍්‍රලේඛයෙන් රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය ලංකාවේ පුරවැසි සමාජය දෙස බලන කෝණය නැවත වරක් තහවුරු වන බැවිනි.
චක‍්‍රලේඛය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට මුළුමනින් ම පටහැණි ය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කොට තිබෙන, සමිති සමාගම් පිහිටුවීමටත්, ඒවායෙහි කටයුතු කිරීමටත්, සාමකාමී ව රැුස්වීමටත් රටේ පුරවැසියන්ට ඇතිි අයිතිවාසිකම මේ චක‍්‍රලේඛය මගින් ප‍්‍රකාශිතව ම උල්ලංඝනය කැරෙයි. එසේ ම, ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයට හා ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළකිරීමට ඇති අයිතිය ද එමගින් පැහැදිලිව ම උල්ලංඝනය කැරෙයි.

මේ චක‍්‍රලේඛය නිකුත් කරන විට ආරක්‍ෂක අමාත්‍යාංශයේ බලධාරීන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඉහත කී මූලික අයිතිවාසිකම් ගැන නොදැන සිටියා වන්නට බැරි ය. ඉතින්, එසේ දැන සිටිමින් ම මෙවැන්නක් නිකුත් කිරීම මගින් හඟවන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ම සහතික කොට ඇති රටේ පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් පවා රිසි සේ උල්ලංඝනය කිරීමට තමන්ට හැකියැ’යි රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශයේ බලධාරීන් සිතා සිටින බව නොවේ ද? එනයින් හිතු මනාපේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් තමන්ට තීරණ ගත හැකි බව නොවේ ද?
මේ පසුගිය කාලය මුළුල්ලේ ම අප අත්දකින පාලකයන්ගේ අත්තනෝමතිකත්වයේ, හිතුවක්කාරකමේ ම තවත් ප‍්‍රකාශනයකි. ආරක්‍ෂක ඇමතිවරයාත්, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් සිතන්නේ රටේ පුරවැසියන් ඔවුන්ගේ අන්තේවාසිකයන් බව ද? තමන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ බලධාරීන් වන නිසා, රටේ ජනතාව තමන්ට වුවමනා විදියට සිටිය යුතු බව ද? ඔවුන් කැමති දේ පමණක් කිව යුතු බව ද? ඔවුන් අකමැති දේ නොකිව යුතු බව ද?

ආරක්‍ෂක අමාත්‍යාංශයට අයත් කාර්යය වන්නේ රටේ ආරක්‍ෂාව ගැන සැලකිලිමත් වීමත් ඊට හානියක් වන විට ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමත් ය. රාජ්‍ය නොවන සංවිධාන හෝ රටේ ආරක්‍ෂාවට තර්ජනයක් වන බවට සාධාරණ සැකයක් තිබේ නම් ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට අමාත්‍යාංශයට බලය තිබේ. එහෙත්, සමස්තයක් ලෙස සියලූම රාජ්‍ය නොවන සංවිධාන මාධ්‍ය හමු පැවැත්වීමත්, එමගින් අදහස් පළකිරීමත්, වැඩමුළු පැවැත්වීමත්, ජනමාධ්‍යවේදීන් පුහුණුකිරීමත්, පුවත්පත් නිවේදන නිකුත්කිරීමත් රාජ්‍ය ආරක්‍ෂාවට තර්ජනයකයැ’යි පූර්ව නිගමනයකට ඒමට හුදු උද්ධච්චභාවය නොවේ නම්, ඔවුන්ට තිබෙන අනෙක් හේතුව කුමක් ද?

පුරවැසියන් ලෙස අප සාමූහිකව මේ උද්ධච්චභාවයට විරෝධය පළ කළ යුතු කාලය එළැඹ තිබේ.
රටේ පුරවැසියන් වන අප ඔවුන් කියන කියන විදියට සිටින්නට තරම් ආරක්‍ෂක බලධාරීන්ගේ අන්තේවාසිකයන් නොවන බව ඔවුන්ට ඔප්පු කර පෙන්විය යුතු ය.