දොඩන්දූව ධීවරයන්ට ආණ්ඩුවෙන් පොල්ලක්

 

පැරැණි ධීවර වරායන් අලූත් වැඩියා කිරීම ටත්, දැනට ඉදිවන සිලාවතුර, ගුරුනගර්, ගන්දර සහ කලමැටිය ධීවර වරායන් ඉක්මනින් නිම කිරීමටත් වෙනනප්පුව, හලාවත, කප්පරතොට, දොඩන්දූව ධීවර වරාය හා මීගමුව කලපුව සංවර්ධනය කිරීමටත් මසුන් ඇල්ලීමේ ධීවර යාත‍්‍රා ප‍්‍රමාණය තව දුරටත් වැඩි වැඩිකර ගැනීමටත් 2014 දී ප‍්‍රමුඛත්වය දෙනු ලබනවා. මෙම ප‍්‍රමුඛතාව ඉටුකර ගැනීම ස`දහා වෙන්කර ඇති ප‍්‍රතිපාදන මිලියන 1000කින් වැඩි කිරීමට යෝජනා කරනවා…’
මුදල් හා ක‍්‍රම සම්පාදන අමාත්‍ය, ජනාධිපති මහින්ද රාජපක්ෂ, 2013 නොවැම්බර් 21 දා, , 2014 අය-වැය කතාව

‘‘මේක අපේ ආණ්ඩුව. ආණ්ඩුවට එරෙහිව උඩ බලාගෙන කෙල ගහන්න බැහැ. ඒත් මුංට හොරකම් කරන්න දෙන්නත් බැහැ. හොරකම් කරනව නම් නිකං බලන් ඉන්නත් බැහැ. තව දුරටත් ආණ්ඩුව යන්නෙ මේ විදිහට නම් ඒකට විරුද්ධව රතු එළිය පත්තු කරන්නෙ අපි…’’ ඒ. ඩබ්ලිව්.ඞී. පියසිරි මහතාය. ඔහු දොඩන්දූව ධීවර තොටුපල සමිතියේ සභාපති මෙන් ම පටුවත ග‍්‍රාමීය ධීවර සමිතියේ සභාපති ය. පියසිරි පවසන පරිදි පාලක එක්සත් ජාතික පක්ෂයට එරෙහිව චන්ද්‍රිකා බලයට ගෙන ඒමේ සිට මහින්ද රාජපක්ෂ නැවත බලයේ තැබීම දක්වා සහ අදටත් ඔවුන් කැපුවත් නිල් ය. එය අයිතිවාසිකමක් දක්වා දිගු වන්නකි.

පියසිරිගේ මේ කතාව කරලියට එන්නේ දොඩන්දූවධීවර වරායේ දියකඩනය ගිලා යමින් එය දෙකට කැඞී යෑමේ අවධානමක් මතුව ඇති තත්ත්වයක දී ය. මෙම තත්ත්වය සම්බන්ධයෙන් වගකිව යුතු සෑම කෙනෙක් ම දැනුවත් කර තිබුණ ද මේ දක්වා කිසිවකුගේ හෝ අවධානය යොමුව ඇති බවක් ද නොපෙනෙන බැව් ඔවුහු කියති.

දොඩන්දූව වරාය

දොඩන්දූව වරාය යනු මෙරට ආනයන අපනයන කටයුත්තේ ආරම්භක අවදියේ දී ද භාවිතයට ගැණුනු වරායකි. එකල ඉන්දියාවේ සිට දොඩන්දූව වරායට රුවල් ඔරු වැනි වූ සුලූප්පු යාත‍්‍රා මගින් දෙරට අතර වෙළෙ`දාම් කටයුතු සරු සාරව කැරුණි. ඒ අනුව ඉන්දියාවේ කොචින් නගරයේ සිට මෙරටට ජාඩි ද දකුණු ඉන්දියාවේ බටහිර වෙරළේ සිට සහ බැංගලෝර් සිට කැලිකැට් වැනි රටඋ`ඵ වර්ග ද නාගපච්චන් සිට හැලි වලං ද දොඩන්දූව වරාය හරහා මෙරටට ගෙනා බවට ඓතිහාසික සාක්ෂි තිබේ. එමෙන් ම දොඩන්දූව නිෂ්පාදනය කෙරුණ අරක්කු, පොල් සහ කරුංකා ද ඉන්දියාවට අපනයනය කරන ඇති බවක් ද සඳහන්ය.

එවන් ඉතිහාසයක් ඇති දොඩන්දූව වරාය මේ වනවිට ධීවර වරායක් බවට පරිවර්තනය වී ඇත. ඒ අනුව දොඩන්දූව ධීවර වරායේ සිට වර්තමානයේ රැුකියාව කෙරෙන වල්ලම් ප‍්‍රමාණය 300කට අධික ය. එමෙන් ම බහුදින යාත‍්‍රා 60කට ආසන්න ප‍්‍රමාණයක් තිබේ. ඒ මගින් සෘජු හා වක‍්‍රව යැපෙන පවුල් ප‍්‍රමාණය පන්දහසකට අධිකය. මේ සා පවුල් ගණනක් යැපෙන්නට සෙත සැලසිය හැකි ධීවර වරායේ ගාල් කළ හැක්කේ ධීවර යාත‍්‍රා සියයක් වැනි ප‍්‍රමාණයක්යැ’යි ද ඔවුහු පවසති.

‘දොඩන්දූව ධීවර වරාය ඓතිහාසික වරායක්. රජයේ දොඩන්දූව සංවර්ධන සැලැස්ම මත ග‍්‍රීක රජයේ ආධාරයෙන් මේ දියකඩනය හදල ගත වෙන්නෙ වසර හතරයි. දැන් දියකඩනයේ ගල් ගිලා බැහැල දෙකඩ වෙන්න ආසන්නයි. මේ නිසා වල්ලම් වරායට ගන්න බැහැ. වාරකන් කාලයට මේ තත්ත්වය ඉතාම දරුණුයි. ඒ කාලෙට වරායට කොහොමටත් වල්ලමක් ගන්න බැහැ. මේ නිසා අපිට ඒ කාලෙට අපේ වල්ලම්, බෝට්ටු ගාල් කරන්න තැන් තැන්වලට යන්න සිද්ධ වෙනවා. අපි වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටින්නෙ මේ දියකඩනය අලූත් වැඩියා කරල වරාය පු`ඵල් කරල දෙන්න කියලා…’ ගාල්ල දිස්ත‍්‍රික් ධීවර සංවිධානයේ සභාපති, දොඩන්දූව එකමුතු ග‍්‍රාමීය ධීවර සංවිධානයේ සභාපති සහ දොඩන්දූව ධීවර වරාය කමිටුවේ ලේකම් ජී.එම්. රවින්ද්‍ර මහතා පැවැසුවේ ය. ඔහු වැඩිදුරටත් පැවසුවේ මේ සම්බන්ධයෙන් වූ යෝජනාවලියක් අදාළ නිලධාරීන් වෙත ලබා දී ඇති බවය.

ඍජු හා වක‍්‍ර රැකියා

දොඩන්දූව ධීවර වරායෙහි නිසි සංවර්ධනයක් සිදු වන්නේ නම් දොඩන්දූව හා අවට ගම්වල විශාල ප‍්‍රමාණයකට සෙත සැලසෙන බැව් ද ඔවුන්ගේ මතයයි. විශේෂයෙන් ම වරාය ආශ‍්‍රීත ග`ග සංවර්ධනය කිරීම මගින් දොඩන්දූව පමණක් නොව ඈත ගම්වල ජනතාවට ද සෘජු හා වක‍්‍ර රැුකියා මාර්ග උද්පාදනය වනු ඇත. මිරිදිය ධීවර රැුකියාව, කුඹුරු ගොවිතැන මින් ප‍්‍රධාන වේ. මේ තත්ත්වය වර්තමානයේ නොමැති වුව ද අතීතයේ පැවැතී ඇත. එහෙත් වර්තමානය වන විට ඒ සියල්ල නිලධාරීන්ගේ අත්තනෝමතික ක‍්‍රියා හේතුවෙන් වැළකී තිබේ.

‘මේ ගැන අපි ඇමැතිගේ ඉදල පහළ ම නිලධාරියා දක්වා දැනුම් දීල තියෙන්නෙ. අද හදනව හෙට හදනව කියල තමයි කියන්නේ. ඒත් හැදෙන දවසක් නැහැ. එසේ කීවේ දොඩන්දූව ධීවර වරායේ කමිටු සාමාජික එච්.එච්. දයාරත්නය.

තේජාගේ තේජස

ජනාධිපතිවරයා ගිය වසරේ අය වැයෙන් ද දොඩන්දූව ධීවර වරාය අලූත් වැඩියා කිරීමට මුදල් වෙන්කර තිබේ. ඒ සියලූ දේ මගින් ජනාධිපතිවරයා ද දොඩන්දූව ධීවර වරාය සම්බන්ධයෙන් කරුණු කාරණා දන්නා බවක් හැගැවේ. නමුත් අය වැය ඉදිරිපත් කර කාර්තු දෙකක් ඉක්ම ගිය ද ප‍්‍රශ්නය තවමත් තිබූ තැනම ය.

‘මේ දිය කඩනය හදද්දි ඒකේ ඉංජිනේරුවරු ධීවරයන්ගේ අදහස් තුට්ටුවකට මායිම් කළේ නැහැ. සියල්ල සිදු කළේ තේජා වෙදආරච්චි කියන ඉංජිනේරු කළමනා කාරිණියගේ මතයට. අපි ධීවරයො එක හඩින් කිවුවා මේ දියකඩනයට සුදුසු තැන මෙතැන නෙවේ කියලා. ඒත් ඇහුවෙ නැහැ. එයා ඒ වෙලාවෙ කිවුවේ දියකඩනය කැඩුනොත් එයා රස්සාවෙන් අයින් වෙනවා කියලා. අවුරුද්දයි ගියේ දියකඩනය කැඩුනා. ඒත් තවම එයා එතැන ඉන්නවා. මේක විතරක් නෙවේ එයා හදපු හික්කඩුව සහ අම්බලන්ගොඩ වරායවල් ද අසාර්ථකයි…’ පියසිරි මහතා නැවත කීවේ ය.
දොඩන්දූව ධීවර වරාය වෙනුවෙන් ග‍්‍රීක රජය ලබා දී ඇති ආධාර මුදල රුපියල් මිලියන 160කි. ඒ මීටර් 400ක දිගින් යුත් දියකඩනයක්, පරිපාලන ගොඩනැගිල්ලක්, වෙන්දේසි ශාලාවක් සහ තවත් අත්‍යවශ්‍ය දේ කිහිපයක් වෙනුවෙන් ය.

නිලධාරීන්ගේ අකාර්යක්ෂම බව නිසා පසුගියදා රුපියල් ලක්ෂ හතරක පහක අලාභයක් ද දොඩන්දූවධීවර වරායේ සිදුවූ බව මේ ධීවරයෝ පවසති. ඒ බීකන් පහන ගැලවී වැටීම නිසා ය. ධීවරයන් මේ බැව් නිලධාරීන්ට පෙන්වා දුන්න ද ඔවුන් ඒ සම්බන්ධයෙන් පිළියම් නොයෙදීම නිසා මේ අලාභය සිදුවූ බව ඔවුහු පවසති.

මගඩි

වරායේ කිසිදු සංවර්ධන වැඩක් නොකෙරුණත් ඒ අවට ඇති වැලි විකිණීම අනලස්ව සිදු වෙන බැව් ධීවරයෝ පවසති. නිලධාරීන්ගේ හිතවතුන් වෙත ටෙන්ඩර් මගඩි මගින් ලබා දෙන වැලි, ප‍්‍රවාහනයේ දී සිදුවෙන අකටයුතුකම් සම්බන්ධයෙන් ද ඔවුන් අවස්ථා කිහිපයක දී ම බලධාරීන් දැනුවත් කර ඇත. නමුත් සිදුවූ සෙතක් නැත. පසුගියදාක වරාය භූමියෙන් ගෙනයන ලද වැලි ටි‍්‍රපර් ගණනට වඩා අඩු ගණනක් පොත්පත්වල සටහන් කිරීම ද ධීවරයන් විසින් අල්ලා දී තිබේ. ඒ සම්බන්ධයෙන් පරීක් ෂණයක් පැවැතිය ද වැරදිකරුවෝත් ඊට අනුබල දුන් අයත් මේ වනවිට ද සුවසේ වෙසෙන බැව් ධීවරයෝ පෙන්වා දෙති.

එමෙන් ම දොඩන්දූව ධීවරයන්ට සෑම විටක ම ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි බව ද ඔවුහු පවසති. රජයෙන් ලැබෙන කිසිදු දෙයක් නිසි ලෙස තමන්ට නොලැබෙන බැව් මේ අතර ප‍්‍රමුඛ චෝදනාව වෙයි. මුහුදු යෑමේ දී පැළැ`දිය යුතු ජැකට්ටු ලබා දීමේ දී ඔවුන් වෙත ලබා දී ඇත්තේ වල්ලම් 300කට ම ජැකට්ටු 134කි.

රට හදන්නේ මෙහෙමද

‘මහින්ද රාජපක්ෂ මහත්තය ධීවර ඇමැතිවෙලා ඉන්දැද්දි මේ වරායට මුල්ගල තිබ්බ නම්, එතුමගේ ජනාධිපති කාලෙ මේක විවෘත කළා නම්, ඇයි මේකෙ පැවැත්ම ගැන බලන්නෙ නැත්තෙ. එතුම මුල් වෙලා කරපු මේ වරායේ සංවර්ධනයට අය වැයෙන් මුදලූත් වෙන්කරල තියෙද්දි මේක සිද්ධ වෙන්නේ නැත්නම් එතුමා කොහොමද මේක නොදැක ඉන්නෙ. දැන් එතුමගෙ ඇමැති එයාගෙ නිලධාරීන් එක්ක එකතු වෙලා අපිව කොනිත්තනව. උන්ට හොරකම් කරන්න ඉඩ දීල බලාගෙන ඉන්නවා…’ පියසිරි මහතා පැවැසුවේ ය.

මේ ආවේගය පසුගියදා උද්ඝෝෂණයක් මගින් මුදා හැරීමට ද දොඩන්දූව ධීවරයෝ කටයුතු කළෝ ය. දකුණු පළාත් සභා ඡුන්ද දිනවල ජැකට් බෙදා දීමට කියා ලිස්ට් රැුගෙන ගිය දේශපාලනඥයන් එය කර අරිද්දී මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතා ද නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද පැමිණ ධීවරයන්ගේ ඉල්ලීම් සාධාරණීයකරණය කළෝ ය. ඒ රූපවාහිනී කැමරා ඉදිරියේ දී ය. ඉන් පසුව කිසිවෙක් කිසිවක් සිදු නොවූ සේ ය.

‘මේ දේවල් තව දුරත් සිද්ධ වෙන්න දෙන්න බැහැ. ඒ නිසා අපි වගකිව යුත්තන්ගෙන් අහන්නෙ වරාය අලූත් වැඩියා කරන්න අය වැයෙන් මුදල් වෙන්කළා නම් ඒ මුදල්වලට මොකද වුණේ..? අලූතින් වරායවල් හදන්න කලින් තියෙන වරායවල් රැුක ගන්න වැඩ පිළිවෙලක් නැද්ද..? මේ ප‍්‍රශ්නවලට පිළිතුරු ඉක්මනින් අවශ්‍යයි. එහෙම නොලැබුණොත් අපි හෙට පාරට බහින්නෙ මීට වඩා බලයක් එක්ක…’ දොඩන්දූව ධීවරයෝ පවසති.

 සභාපතිගෙන් අහන්න – ඉංජිනේරු කළමනාකාරිණී තේජා වෙදආරච්චි මහත්මිය

දොඩන්දූව ධීවර වරායෙ දියකඩනය සම්බන්ධයෙන් මේ වන විට විශාල ප‍්‍රශ්නයක් වෙලා. ඊට චෝදනා නැගෙන්නෙ ඔබට..?
දියකඩනය මගේ තනි මතයට කළ එකක් නොවේ. එය පිළිගත් ක‍්‍රමවේදයකට අනුව කළ දෙයක්.
නමුත් ධීවරයන් කියන්නෙ දියකඩනය ඉදිකිරීමේ දී ඔබ අත්තනෝමතිකව කටයුතු කළා කියල..?
ධීවරයො කියන දේවල් සියල්ල ම ඇත්තනේ. ඒක අපේ සභාපතිතුමාගෙන් අහගන්න.(දුරකතනය විසන්ධි කරයි)
අප මේ සම්බන්ධයෙන් වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ මහතාගෙන් අදහස් ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.
 ධීවර වරායෙ දියකඩනය සම්බන්ධයෙන් මේ වන විට විශාල ප‍්‍රශ්නයක් වෙලා. ඊට චෝදනා නැගෙන්නෙ ඔබට..?
දියකඩනය මගේ තනි මතයට කළ එකක් නොවේ. එය පිළිගත් ක‍්‍රමවේදයකට අනුව කළ දෙයක්.
නමුත් ධීවරයන් කියන්නෙ දියකඩනය ඉදිකිරීමේ දී ඔබ අත්තනෝමතිකව කටයුතු කළා කියල..?
ධීවරයො කියන දේවල් සියල්ල ම ඇත්තනේ. ඒක අපේ සභාපතිතුමාගෙන් අහගන්න.(දුරකතනය විසන්ධි කරයි)
අප මේ සම්බන්ධයෙන් වරාය නීතිගත සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ මහතාගෙන් අදහස් ලබා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.