දර්ශනයේ දුප්පත්කම

 

මෙම ලිපිය සී.ඒ. දිසානායකගේ ‘ව්‍යවස්ථා වෙද කමට කෝඳුරු තෙල් අනවශ්‍යය’ යන හිසින් පසුගිය රාවයේ පළවූ ලිපියට ලියන ලද පිළිතුරකි. එය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසින් රාවයට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක් මගින් ප‍්‍රකාශ කර තිබූ සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙල හා එය අනුමත කරමින් රාවය කර්තෘ ජනරංජන විසින් ලියන ලද සටහනක එන අදහස් විවේචනයට ලක්කරමින් ‘ව්‍යවස්ථා සංශෝධනයට පසුවදනක්’ යන හිසින් මා ලියන ලද විචාරයට ලියන ලද ප‍්‍රතිවිවේචනයක් ලෙස සැලකිය හැකිය. එම නිශ්චිත විෂයේදී මා පළකර තිබෙන මත විවේචනයට හා සංවාදයට ලක්වනවා දකින්නට මා කැමතිය. අදහස් උරගා බැලීමකට ලක්විය යුතුය. දේවල් අවිවේචනාත්මකව පිළිගන්නා ප‍්‍රතිපත්තියට වඩා තියුණු විවේචනයකට ලක්වීම යහපත්ය. ජයම්පති වික‍්‍රමරත්න විසින් සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරය වෙනුවෙන් පළකර තිබෙන සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන වඩා පුළුල් අර්ථයකින් නැවත සාකච්ඡුාවට ලක්කරමින් වැඩිදුරටත් මගේ ආස්ථානය පැහැදිලි කිරීමට අවස්ථාවක් පාදාදීම ගැන මගේ ස්තුතිය මෙම ලේඛකයාට හිමිවිය යුතුය.

ප‍්‍රතිවිවේචනය

ඔහු පළමුවෙන්ම කියන්නේ පූර්ණ ව්‍යවස්ථා සම්පාදනයක් සුදුසු වුවත් ඊට සුදුසු වාතාවරණයක් නොපවතින බව ජයම්පති හා ජනරංජන කියන විට ඔවුන් ඒ සඳහා හේතු ඉදිරිපත් නොකරන බව මා ප‍්‍රකාශ කර ඇතත් මා එසේ කර ඇත්තේ ජනරංජන සිය ලිපියෙන් ඒ ගැන පැහැදිලි හේතු දැක්වීමක් කර තිබියදී බවය. ඉන්පසු ඔහු කියන්නේ එම වැඩසටහනට එරෙහිව මා ඉදිරිපත් කරන තර්ක පදනම් විරහිත හා සාවද්‍ය බවය. එහෙත් පදනම් විරහිත හෝ සාවද්‍ය දේවල් මොනවාද යන්න ඔහු පෙන්වා දෙන්නේ නැත. ඇමරිකාවේ ජනාධිපති ක‍්‍රමයට පාර්ලිමේන්තුවක් තිබුණද සීමිත ව්‍යවස්ථා සංශෝධනයක් මගින් එය පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් බවට පත් කළ නොහැකි බවට හා ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය තුළ ජනාධිපතිවරයකු සිටියද ඉදිරිපත් කරන සීමිත ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉන්දියානු ආණ්ඩුක‍්‍රමය ජනාධිපති ආණ්ඩුක‍්‍රමයකට පරිවර්තනය කළ නොහැකි බවට මා ඉදිරිපත් කර තිබූ තර්කය ශ‍්‍රී ලංකාවට අදාළ නොවන බව ඔහු කියයි. ඔහු එහි අදාළකම තේරුම් ගෙන තිබෙන බව පෙනෙන්නේ විපරීත ආකාරයකටය. ඉන්පසු ඔහු කියන්නේ ඇමරිකාව හෝ ඉන්දියාව වෙනුවට ප‍්‍රංශය උදාහරණයට ගන්නේ නම් එහි තේරුමක් තිබෙන බවත්, මා ඕනෑකමින්ම ප‍්‍රංශය අත්හැර තිබෙන බවත්ය. ප‍්‍රංශයේ තිබෙන්නේ ඇමරිකාවට වෙනස් පාර්ලිමේන්තුවට වැඩියෙන් බර තබන ලද ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් වුවත් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවටද ඉදිරිපත් කරන සරල ශෝධනයක් මගින් ප‍්‍රංශ ආණ්ඩුක‍්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් බවට පත්කළ නොහැකිය. ඔහු පෙනී සිටින්නේ ආණ්ඩුක‍්‍රම විචාරකයකු ලෙසිනි. එහෙත් ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් හා පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් අතර ව්‍යුහමය වෙනස්කම් ඇති බව ඔහු නොදනී. ඔහුට පෙනෙන්නේ එම ආණ්ඩුක‍්‍රම දෙකේ ආයතන ක‍්‍රමවලට ලබාදී තිබෙන්නේ එක සමාන නම් වන නිසා ඒවාහි ක‍්‍රියාකාරිත්වය හා ගුණයද එක සමාන බවය. මෙම ආණ්ඩුක‍්‍රම දෙකේ එන්ජින් එකිනෙකට වෙනස් මූලධර්මවලට අනුව ක‍්‍රියාකරන බව ඔහු නොදනී.

ඉන්පසු ඔහු ආස්වාදයකින් යුතුව කතා කරන්නේ ජේ.ආර්. ජයවර්ධන 72 ව්‍යවස්ථාව ඉදිරිපත් කළ දෙවැනි සංශෝධනය ගැනය. ඔහු එහිදී කියන්නේ ජයවර්ධන විධායක ජනාධිපති ධුරයට පත්වූයේ 78 ව්‍යවස්ථාවෙන් නොව 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ එම සංශෝධනයෙන් වන බවය. ඔහු කඩිමුඩියේ ව්‍යවස්ථාව සංශෝධනය කළේ කරුණු දෙකක් වෙනස් කරගැනීම සඳහා බවත් එකක් අගමැතිගේ උපදෙස් පිට නාමික ජනාධිපති විසින් කරමින් තිබූ සියලූ දේ එවැනි උපදේශයකින් තොරව කිරීමට අවශ්‍ය බලය ජනාධිපතිට පැවරීම හා පාර්ලිමේන්තුවෙන් වෙන්වූ පැවැත්මක් ජනාධිපතිට ලබාදීම සඳහා බවත්ය. එම සංශෝධනය ඇතිකර ගැනීමෙන් පසු 1978 පෙබරවාරි 4 වැනිදා ජේ.ආර්. ජයවර්ධන විධායක ජනාධිපති ධුරයේ වැඩ භාරගත් බවත් ඉතිරි අවශ්‍යතා 78 ව්‍යවස්ථාවෙන් සම්පූර්ණ කරගත් බවත්ය.

ඇත්ත දිසානායක කවුද?

72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද එම සංශෝධනය පිළිබඳව වන එම විවරණය දිසානායකගේ ලිපියේ එන වඩාත්ම මාගේ උනන්දුවට හේතුවූ කොටස ලෙස සැලකිය හැකිය. ඒ ගැන වන මගේ ප‍්‍රතිවිචාරය ඉදිරිපත් කරන්නට පෙර එම කොටස කියවූ විට මා තුළ ඇතිවූ හැඟීම පැහැදිලි කළ යුතුය. ඒ ගැන එම කොටසට ඇතුළත් විවරණය තුළ සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් පිළිබඳව ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්නගේ දර්ශනයේ අව්‍යාජ සාරය අඩංගු වී තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ සමග මට සිතුණේ මෙම ලිපිය ලියන දිසානායක හා ජයම්පති එකම පුද්ගලයකු නොවන්නේ නම් ඔහු ජයම්පතිට ඉතාමත් සමීප ජයම්පත විසින් ඔහුගේ නමින් ලියන ලද ලිපියක් වන බවය. ඒ මට ඇතිවූ හැඟීමය. මා වැරදි නම් ඒ බව පැහැදිලි කළ හැකිය. එවිට මා ඇති කරගත් සැකය ගැන මගේ අවංක කනගාටුව පළ කළ හැකිය. මෙවැනි දේශපාලන විවාදවලදී අප කරන තර්ක පමණක් නොව එම විවාදවලට පෙනී සිටින්නන්ගේ අනන්‍යතාවද අව්‍යාජ විය යුතුය.

ඉන්පසු එම ලේඛකයා සමහරවිට දිසානායක නමින් පෙනී සිටින ජයම්පති අපට කියන්නේ ජේ.ආර්. ජයවර්ධන විසින් කළ දේ අනෙක් අතට අප විසින් ද කළ යුතු බවය. ඔහුගේම වචනවලින් එය කියා තිබෙන්නේ මෙසේය. ‘එසේ නම් අද දවසේ කඩිමුඩියේ සිදුකළ යුතුව ඇත්තේද එදා කඩිමුඩියේම ජේ.ආර්. ජයවර්ධන සිදු කළ ක‍්‍රියාදාමය ආපස්සට හැරවීමයි. එනම් රටේ පාලකයා පාර්ලිමේන්තුව තුළ සිටින අගමැතිවරයා බවට පත්කිරීමත් ජනාධිපතිවරයා අගමැති වරයාගේ උපදෙස් මත ක‍්‍රියාකරන නාමික විධායකය බවට පත්කිරීමත්ය.’ ඉන්පසු ලියන තවත් වාක්‍ය දෙකකට පසුව ඔහු මෙසේ කියන්නේය. ‘එම කටයුතු ඒ ආකාරයට සිදුවන විට පාර්ලිමේන්තුවට අවශ්‍ය උත්තරීතරභාවය එයට ලැබෙන අතර මහජනයා වෙනුවෙන් ක‍්‍රියාකිරීමේ හැකියාව මහජන නියෝජිතයන්ට ලැබෙන්නේය. දැන් ජනපති ක‍්‍රමයට අනුගතවී ඇතැයි අයිවන් කියන පාර්ලිමේන්තුව එදාට වෙස්ට්මිනිස්ටර් ආකෘතියට අනුව කටයුතු කරනු ඇත.’
ඔහු මෙසේ ගොඩනගන තර්ක විතර්ක ඔස්සේ එම තිසීසය සඳහා වන සිය දැක්ම පිඬුකොට ඇත්තේ මෙසේය. ඒ තුළද ජයම්පතිගේ හෙවණැල්ල හොඳින් දැකිය හැකිය.

‘අද රට මුහුණ දෙන අර්බුදය වන්නේ ව්‍යුහය පිළිබඳ ගැටලූව හෝ අරාජිකවීම පිළිබඳව ගැටලූව නොව පොදු අපේක්ෂකයකු ජයග‍්‍රහණය කරවීම සඳහා සාධාරණ මැතිවරණයක් ලබාගන්නේ කෙසේද? උතුරු නැගෙනහිර ජනතාවට සිය ඡුන්දය නිදහසේ පාවිච්චි කිරීමට හමුදා පාලනය ඉඩදේද? රජයේ මුළු ශක්තිය සමග රාජ්‍ය පෞද්ගලික මාධ්‍ය ජනාධිපතිවරයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එක්වූ විට ඇතිවන තත්ත්වය කුමක්ද? ප‍්‍රගතිශීලී කඳවුර නියෝජනය කරන පැරණි වමේ ඇමතිවරුද බුද්ධිමතුන් ලෙස පිළිගැනෙන ඇතැම්හුද ජනතාවගේ යම් කොටසකට හෝ බලපෑමක් කරන්නට සමත් වේද? ජනතාවගේ තීන්දුව අනුව ජනාධිපති රාජපක්ෂ පරාජය වුවහොත් සාමකාමීව ජයග‍්‍රාහකයාට බලය පවරාවිද? නැතහොත් මිලිටරි පාලනයක් ආරම්භ වේද? යනාදී බරපතළ ගැටලූය.’ විසඳාගත යුතුව තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්න ඒවා නම් මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය කරන වැඩසටහනකට සීමා නොවී විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ ප‍්‍රශ්නය ඊට ඈඳාගන්නේ ඇයිද යන්න ඔහු පැහැදිලි කරන්නේ නැත. මා දකින්නේ විධායක ජනාධිපති ක‍්‍රමය සේ ම රාජපක්ෂ රෙජීමයද අප මුහුණ දී තිබෙන අර්බුදයේ අවලස්සන ප‍්‍රතිඵල දෙකක් වශයෙනි. එම අවලස්සන ප‍්‍රතිඵල ඉවත් කිරීම අවශ්‍ය වුවත් එම ප‍්‍රතිඵල දෙක ඉවත් කිරීම පමණක් අප මුහුණ දී තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. එම ප‍්‍රතිඵල දෙක පරාජය කිරීම හා අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාදීම යන කාරණා දෙකම එක ප‍්‍රතිසංස්කරණ වැඩසටහනකට ඇතුළත් කළ හැකිය. සැබෑ වෙනසක් ඇතිවනු ඇත්තේ එවිටය.

දෙවැනි සංශෝධනය

දැන් අපට එක සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකට මාරුවිය හැකියැ’යි කියන ඔහුගේ තිසීසය සලකා බැලිය හැකිය.
ඔහු කියන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිකමට පත්වූයේ 78 ව්‍යවස්ථාවෙන් නොව 72 ව්‍යවස්ථාවෙන් බවය. ඔහු එම කතාව අනියම් ලෙස කියන්නේද එය මා ඇතුළු බොහෝ දෙනකු නොදන්නා වැදගත් කරුණක් ලෙස සලකමිනි. එය ලංකාවේ ආණ්ඩුක‍්‍රම ඉතිහාසය ගැන දන්නා හැම කෙනකුම පාහේ දන්නා දෙයකි. ඇන්.ඇම්. පෙරේරා, ඒ.ජේ. විල්සන්, කේ.එම්. ද සිල්වා හා විශ්වා වර්ණපාල යන අයවලූන් 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද දෙවන සංශෝධනය ගැන විශේෂ වශයෙන් ලියා තිබෙන බව ද කිව යුතු ය. ජයම්පතිගේ සීමිත ප‍්‍රතිසංස්කරණ අළලා ලියන ලද මගේ ලිපියේ ඒ ගැන සඳහන්වන්නේ නැතත් ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය නමින් මා විසින් ලියන ලද ලිපි පෙළේ එන ‘47 සෝල්බරි ව්‍යවස්ථාවෙ සිට 78 ජේ.ආර්. ව්‍යවස්ථාව දක්වා’ යන ලිපියේ ඒ ගැන වන මගේ විග‍්‍රහය ඇතුළත්ය. මා එම ව්‍යවස්ථා සංශෝධනය විස්තර කර තිබෙන්නේ ව්‍යවස්ථා විරෝධී හා දේශපාලන අර්ථයෙන් අශීලාචාර ක‍්‍රියාමාර්ගයක් ලෙසය.

එම ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ඔහු කියන ඊළඟ වැදගත්ම දේ එම ව්‍යවස්ථා සංශෝධනයෙන් අගමැතිගේ උපදෙස් පිට නාමික ජනාධිපති විසින් ඉටු කරමින් තිබූ සියලූ දේ අගමැතිගේ උපදෙසකින් තොරව කිරීමට අවශ්‍ය බලය ජනාධිපති වෙත පවරා ගනු ලැබූ බවත් ඒ සමග පාර්ලිමේන්තුවෙන් වෙන්වූ පැවැත්මක් ඇති කරගත් බවත්ය.

අගමැති ධුරයේ සිටි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිකමට පත්වූයේ 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන ලද එම දෙවැනි සංශෝධනයෙන් බව සත්‍යයකි. සියලූ පිළිගත් සම්ප‍්‍රදායයන්ට පටහැනි එම හිතුවක්කාරී ක‍්‍රියාමාර්ගය අනුගමනය කිරීමට ඔහුට හැකිවූයේ ඔහු කරන ඕනෑම මගඩි ක‍්‍රියාවක් අනුමත කරන හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් ඔහුට තිබුණු නිසාය. එහෙත් ඒ දෙයින් පමණක් ඔහු අපේක්ෂා කරන පරිවර්තනය සිදු නොවන බවද ඔහු දැන සිටියේය. එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත් දිනයේදීම (1977 ඔක්තෝබර් 20) නව ව්‍යවස්ථාවක් සඳහා කරුණු සලකා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කිරීම සඳහා වන යෝජනාවක් සම්මත කරගත්තේ ඒ නිසාය.

ජයම්පතිගේ සීමිත ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ජේ.ආර්. ජයවර්ධනගේ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීම දක්වා වන වැඩසටහනට සමාන කළ හැකිය. ජයම්පතිගේ සීමිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වැඩසටහන ඒ සඳහා ඉදිරිපත් කරන ව්‍යවස්ථා සංශෝධනයෙන් අවසන් වේ. එහෙත් ජේ.ආර්. ජයවර්ධනගේ වැඩසටහන දෙවන සංශෝධනයෙන් අවසන්වන්නේ නැත. දෙවැනි සංශෝධනය සම්මත කරගත් දිනයේම නව ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීම සඳහා වන තේරීම් කාරක සභාවක් සඳහා වන යෝජනාවක් සම්මත කරගත්තේ නව ව්‍යවස්ථාවක් ඇති කරගැනීමෙන් තොරව ඔහු අපේක්ෂා කළ පරිවර්තනය සාර්ථක නොවන බව ඔහු දැන සිටි නිසාය.

ජේ.ආර්. ජයවර්ධනටද ඒ සඳහා වන දෙවැනි පියවරක් නොතිබී ජයම්පති අපේක්ෂා කරන ආකාරයට දෙවැනි සංශෝධනයෙන් සියලූ කටයුතු අවසන් කළේ නම් සමස්ත ආණ්ඩුක‍්‍රමයම අවුල් ජාලාවක් බවට පත්වන්නට ඉඩ තිබුණි. 72 ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ දෙවැනි සංශෝධනය වැදගත් වූයේ සංකේතාත්මක අර්ථයෙන් පමණය. රාජ්‍යයේ සකලවිධ බලය හිමිකර ගනිමින් හා නීතියටද ඉහළින් සිටිමින් රාජ්‍ය බලය පවත්වාගෙන යෑමට අවශ්‍ය කරන ව්‍යුහමය වෙනස්කම් සඳහා අවශ්‍ය විධිවිධාන ඇතිකර ගත්තේ එම ව්‍යවස්ථා සංශෝධනයෙන් නොව ඊට පසු ඇතිකර ගන්නා ව්‍යවස්ථාවෙනි.

දේශපාලන මුග්ධභාවය

විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් හා පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් අතර පවත්නා ව්‍යුහමය වෙනස්කම් මෙම ලියුම්කරු (ඔහුගේ නියම නාමය කවුරුන් විය හැකි වුවත්* නොදනී. මෙම ආණ්ඩුක‍්‍රම දෙකේම ආයතනවලට තිබෙන්නේ එකම නම් වන නිසා ආණ්ඩුක‍්‍රම දෙක තුළම ඒවා ක‍්‍රියාකරන්නේ සමාන මූලධර්ම අනුකූලව යන්න මෙම ලියුම්කරුගේ මතය වී තිබෙන බවද පෙනේ. ආචාර්ය හෝවාර්ඞ් රිගින්ස් සමග ආචාර්ය කේ.එම්. ද සිල්වා ලියා ඇති ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ ‘ජනාධිපති ක‍්‍රමයක් යටතේ ගොඩනැගෙන ව්‍යුහයන් පළමු සමූහාණ්ඩු ක‍්‍රමය තුළ පැවතුණාට වඩා සාකල්‍යයෙන්ම වෙනස් වූ හෙයින්’ ඒ සඳහා අවශ්‍ය සංශෝධනයන් නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් සකස් කරගත් බව කියා තිබේ. (තෙවැනි වෙළුම – පිටුව 102* මෙම වියතුන් දෙදෙනා ඒ දෙක අතර තිබෙන වෙනස දැක තිබෙන්නේ සරල වෙනසක් ලෙස නොව සාකල්‍යයෙන්ම වෙනස් වන ලොකු වෙනසක් ලෙසය. ඇමරිකන් ආණ්ඩුක‍්‍රමය තුළ පාර්ලිමේන්තුවක් තිබුණද ඇමරිකන් ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සීමිත සංශෝධනයක් මගින් එම ආණ්ඩුක‍්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් බවට හෝ ඉන්දියානු ආණ්ඩුක‍්‍රමය තුළ ජනාධිපති වරයෙකු සිටියද එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සීමිත සංශෝධනයක් මගින් එම ආණ්ඩුක‍්‍රමය ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් බවට හෝ පත්කළ නොහැකි බව කියන විට ඉන් මා අවධාරණය කරන්නට උත්සාහ කළේද මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යුහයන්ගේ මූලික වෙනසක් ඇති නොකොට සරල ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයකට හෝ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ජනාධිපති ආණ්ඩු ක‍්‍රමයකට හෝ මාරු කළ නොහැකි බව පෙන්වාදීමටය. මේ ලියුම්කරු කවුරුන් වුවත් ඔහුගේ විශ්වාසය වී තිබෙන්නේ විධායක ජනාධිපති සතු බලතල පාර්ලිමේන්තුවේ සිටින අගමැති අතට පත්කරන හා ජනාධිපති අගමැතිගේ උපදෙස් මත ක‍්‍රියාකරන විධායකයකුගේ තත්ත්වයට පත්කරන සීමිත ව්‍යවස්ථා සංශෝධනයක් මගින් වෙස්ට්මිනිස්ටර් වර්ගයේ අපූරු පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් ඇති කරගත හැකි බවය.

විධායක ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් ඇති කිරීම මගින් සිදුවී තිබෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පැවති කාලයේ අගමැති සතුව තිබූ බලතල නාමික විධායකයකුගේ තත්්ත්වයේ සිටි ජනාධිපති අතට පත් කෙරෙන සරල මාරුවක් ලෙස සැලකීම තරම් දේශපාලන මුග්ධභාවයක් තවත් තිබිය නොහැකිය. පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පැවති කාලයේ සිටි අගමැති හා වර්තමාන ජනාධිපති එක සමාන වන්නේ නැත. එදා අගමැති පුංචි ඡුන්ද කොට්ඨාසයකින් තේරී පත්වී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අතරින් වැඩිම විශ්වාසය දිනා ගැනීම තුළ එම තනතුරට පත්වූ පුද්ගලයෙක් විය. අගමැති නීතියට යටත් කෙනකු වූ අතර පාර්ලිමේන්තුවටද උත්තරදීමට බැඳී සිටියේය. ඔහු පෙරළා දැමීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණි.

එහෙත් විධායක ජනාධිපති තේරී පත්වන්නේ මුළු රටම එක ඡුන්ද කොට්ඨාසයක් ලෙස සලකා පැවැත්වෙන මැතිවරණයකිනි. රාජ්‍යයේ සකලවිධ බලය තිබෙන්නේ ඔහු අතේය. ඔහු කිසිවකුටත් උත්තරදීමට බැඳී නැති අතර නීතියටද යටත් නැත. ඔහු ධුර කාලය තුළ පෙරළා දැමිය නොහැකි ව්‍යවස්ථාදායක ඒකාධිපතියකු ලෙස සැලකිය හැකිය.

විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් සිදුවී තිබෙන්නේ එදා අගමැති සතුව තිබූ බලතල ජනාධිපති අතට පත්කිරීමක් පමණක් නම් පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තුළ අගමැතිට නොතිබූ අතිවිශාල බලයක් විධායක ජනාධිපතිට ලැබී තිබෙන්නේ කෙසේද? 72 ව්‍යවස්ථාව ඉදිරිපත් කළ දෙවැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුවූයේ අගමැති සතුව තිබූ බලතල සංකේතාත්මක අර්ථයෙන් ජනාධිපති අතට පත්කිරීමය. එම ව්‍යවස්ථා සංශෝධනයේ සංකේතාත්මක වැදගත්කමක් ඇති දළ වියමනක් පමණක් විය. එම දළ වියමන පරිපූර්ණ වියමනක් බවට පත්කෙරෙන්නේ ඒ සමග ඇතිකර ගන්නා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙනි.

පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් යටතේ තිබූ පාර්ලිමේන්තුව හා ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු තිබෙන පාර්ලිමේන්තුව අතර තිබෙන මහා වෙනස්කම් තේරුම් ගැනීමටද මේ ලියුම්කරු සමත් වී නැත. දෙකටම තිබෙන්නේ එකම නමක් නිසා ඔහුට ඒ දෙකම පෙනෙන්නේ එකම දෙයක් ලෙසය.
පරණ පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් තිබූ කාලයේදී පාර්ලිමේන්තුව සැලකුණේ රාජ්‍යයේ උත්තරීතරම ආයතනය ලෙසය. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය තිබුණේ පාර්ලිමේන්තුවටය. අගමැතිගේ මූලිකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය පාලක බලයේ කේන්ද්‍රය ලෙස ක‍්‍රියා කළේය. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට බැඳී සිටි අතර අවශ්‍ය නම් අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පෙරළා දැමීමේ බලය පාර්ලිමේන්තුවට තිබුණි.

එදා පාර්ලිමේන්තුවට කේවල ඡුන්ද ක‍්‍රමයකට මහජන නියෝජිතයන් තේරී පත්වූයේ ජනගහනයෙන් සෑම 75,000කටම හා වර්ග සැතපුම් 1000කට එක ආසනයක් යන පදනම යටතේ පැවති පුංචි ඡුන්ද කොට්ඨාස ක‍්‍රමයකිනි. මන්ත‍්‍රීවරයකුට ලැබෙන දීමනා කැපීපෙනෙන තත්ත්වයක නොතිබුණි. අගමැතිගේ පවා මාසික වැටුප පැවතියේ රුපියල් 1500ක තත්ත්වයකය. තේරී පත්වන මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීම සපුරා තහනම් විය. අපේක්ෂකයකුට මැතිවරණවලදී වැය කළ හැකි වියදම් සඳහා සීමා නීති තිබුණි. 1970 වනවිටත් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල වූයේ රුපියල් 5,000කි. මැතිවරණවලදී තරග කරන අපේක්ෂකයන් මැතිවරණ වියදම් පිළිබඳ ලේඛනයක් මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. මැතිවරණ කොම සාරිස්වරයාගේ වාර්තා අනුව 1970 මැතිවරණයේදී වැඩිම වියදමක් දරා තිබුණේ කෑගල්ල දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාසවලට තරග කරන අපේක්ෂකයන්ය. එක් අයකුට වැටුණු සාමාන්‍ය වියදම රුපියල් 4,235.18කි. අඩුම වියදමක් දරා තිබුණේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොට්ඨාසවලින් තරග කළ අපේක්ෂකයන්ය. එක් අයකුගේ සාමාන්‍ය වියදම රුපියල් 1,940.47කි. මැතිවරණ වලදී අල්ලස් දීම, අයුතු සංග‍්‍රහ හා අයුතු බලපෑම් නීතියට පටහැනි වූ අතර නීති උල්ලංඝනය කරමින් තේරී පත්වන්නන්ට එරෙහිව මැතිවරණ පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණි.

එදා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන්ගේ සාමාන්‍ය උගත්කම පිළිගත හැකි උසස් මට්ටමක තිබුණි. පාර්ලිමේන්තු කටයුතුවලට ඔවුන්ගේ සහභාගිත්වයද උසස් මට්ටමක පැවතුණි. පාර්ලිමේන්තු වාද විවාද උසස් මට්ටමක පැවති අතර කාරක සභාවල කි‍්‍රයාකාරීත්වයද ප‍්‍රශස්ත මට්ටමක පැවතුණි. එදා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හිතට එකඟව ක‍්‍රියාකිරීමේ නිදහසද තිබුණි. අතුරු මැතිවරණ ක‍්‍රමය නිසා රජයේ ප‍්‍රතිපත්තිවලට අභියෝග කරන මන්ත‍්‍රීවරයකුට, අවශ්‍ය නම් මන්ත‍්‍රීකමින් ඉවත් වී අතුරු මැතිවරණයට තරග කොට සිය මතයට ලැබෙන වැදගත්කම පෙන්වාදීමේ හැකියාව තිබුණි. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට විශ්වාසභංග යෝජනාවක් මගින් බලයේ සිටින ආණ්ඩුවක් පරාජය කිරීමේ බලයද තිබුණි.

78න් පසු පාර්ලිමේන්තුව

විධායක ජනාධිපති ක‍්‍රමයක් ඇතිකිරීමෙන් පසුව පාර්ලිමේන්තුවේ ඇතිවී තිබෙන වෙනස්කම් අතිවිශාලය. ජනාධිපති ක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු තවදුරටත් පාර්ලිමේන්තුව උත්තරීතර ආයතනය වන්නේ නැත. තාරා කුමාරස්වාමි විස්තර කර ඇති පරිදි දැන් පාර්ලිමේන්තුව තිබෙන්නේ ජනාධිපතිගේ රබර් මුද්‍රාවක තත්ත්වයකය. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පාර්ලිමේන්තු වාද විවාදවලදී ජනාධිපති විවේචනය කළ නොහැකිය. ඔවුන්ට විශ්වාසභංග යෝජනාවක් මගින් ජනාධිපති පරාජය කළද නොහැකිය.

දැන් පාර්ලිමේන්තුවට මන්ත‍්‍රීවරුන් තේරී පත්වන්නේ කේවළ ක‍්‍රමයට පුංචි ඡුන්ද කොට්ඨාසවලින් නොව දිස්ත‍්‍රික්කය කොට්ඨාසයක් ලෙස සලකා අනුපාතික ඡුන්ද ක‍්‍රමයටය. මන්ත‍්‍රීකම මහා පරිමාණයෙන් ධනය ඉපැයිය හැකි මාර්ගයක් බවට පත්ව තිබෙන අතර මන්ත‍්‍රීවරයෙකු ලෙස තේරී පත්වීමට අතිවිශාල ධනයක් වැය කළ යුතුවීම නිසා මහජන සේවයට උනන්දුවක් දක්වන අයට වඩා අද මන්ත‍්‍රීවරුන් වීමට උනන්දුවක් දක්වන්නේ ව්‍යාපාරික අභිලාෂ ඇති අයවලූන්ය. මැතිවරණ සඳහා පනවා තිබූ වියදම් සීමා නීති ඉවත් කිරීම නිසා දැන් මැතිවරණ විශාල ප‍්‍රමාණයෙන් මුදල් වැය කළ හැකි අයට පමණක් තරග කළහැකි දෙයක් බවට පත්ව තිබේ. මැතිවරණයකදී අපේක්ෂකයකු කරන වියදම මිලියන 100කටත් වැඩිය. අනෙක් අතට මන්ත‍්‍රීවරුන්ට පුද්ගලික හමුදා පවත්වාගෙන යෑමට ලැබී තිබෙන අයිතිය නිසා මැතිවරණ මැර බලයෙන් කරන වියරු තරගයක් බවට පත්ව තිබේ. මන්ත‍්‍රීවරුන්ට රජය සමග ව්‍යාපාරික කටයුතුවල යෙදීම වැළකීම සඳහා පැවති නීති වලංගු නැති දෙයක් බවට පත්ව තිබීම නිසා මන්ත‍්‍රීවරු නාමික මිලකට රජයේ ඉඩම් මිලදී ගත් වැවිලිකරුවන් බවටත්, රජයේ බලපත‍්‍ර ඇතිව තැබෑරුම් පවත්වාගෙන යන තැබෑරුම් කරුවන් බවටත් වෙනත් ආකාරවල ජාවාරම්වල යෙදෙන ජාවාරම්කරුවන් බවටත් පත්ව සිටිති.

ගොඩනැගී තිබෙන මෙම විශේෂ වටාපිටාව තුළ මහජන සේවය ගැන ඇත්ත උනන්දුවක් දක්වන්නට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට තිබෙන ඉඩ ඇහිරී පාර්ලිමේන්තුව මහා පරිමාණයෙන් මුදල් ඉපැයීම අරමුණු කරගත් කූට ජාවාරම්කාරයන් අරක් ගත් ආයතන ක‍්‍රමයක් බවට පත්වී තිබේ. ඒ තත්ත්වය පාර්ලිමේන්තු කටයුතුවල තිබිය යුතු ගුණාත්මක අගයේද විශාල පරිහානියක් ඇති කිරීමට හේතුවී තිබේ. දැන් පාර්ලිමේන්තුවේ වැඩි වශයෙන් අරක් ගෙන සිටින්නේ ව්‍යවස්ථාදායකයන් නොව කූට ජාවාරම්කරුවන්ය. මේ තත්ත්වයේ යහපත් වෙනසක් ඇති කිරීමෙන් තොරව සියලූ බලතල පාර්ලිමේන්තුවට පවරන ප‍්‍රතිපත්තියකින් ආණ්ඩුක‍්‍රමයේ ඇති කළ හැක්කේ තවත් මහා විකෘතියක් හා අවුලක් පමණය.