රාවය

රාජ්‍ය සේවයේ බර

රාජ්‍ය සේවයේ බර

 

මීට වසර දෙකකට පමණ පෙර රේගු දෙපාර්තමේන්තුව කොළඹ කොටුවේ පිහිටි නව මූලස්ථාන ගොඩනැගිල්ලේ සිය රාජකාරි කටයුතු ඇරඹූ නමුත්, පසුගිය සතියේ නැවතත් ජනාධිපතිවරයා ගෙන්වා ගොඩනැගිල්ල විවෘත කළේ ය. මේ සිදුවීම හා ජනාධිපතිවරයා එහිදී දැක්වූ ඇතැම් අදහස් ද සලකා බලන විට රට පාලනය කෙතරම් අදූරදර්ශී ව සිදුවන්නේදැ’යි පැහැදිලි කර ගත හැකි ය.

වසරකට වැඩි කාලයක් නිලධාරීන් රාජකාරි කළ අතිවිශාල ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම පිරිසිදු කොට නැවත උත්සවාකාරයෙන් විවෘත කිරීම එක් නාස්තියකි. යහපාලනය පවතින රටක නම් විමසිය යුතු ප‍්‍රශ්නය වන්නේ එවැනි නැවත විවෘත කිරීමක් අවශ්‍ය වන්නේ ඇයි ද කියාය. නාස්තිය, දේශපාලන ගැතිකම හා දේශපාලන න්‍යාය පත‍්‍රය හැම දේට ම අංක එක වන ලංකාවේ දී ඒ ප‍්‍රශ්නය පැන නොනගියි.

ජනාධිපතිවරයා එම උත්සවයේ දී පැවැත්වූ කතාවෙන් පැහැදිලි කරන්නට උත්සාහ කළේ රාජ්‍ය සේවයේ වටිනාකමත්, අභිමානයත් ය. එක්සත් ජාතික පක්‍ෂ රජය විසින් ලක්‍ෂ 6කට අඩු කරන්නට සැරසෙමින් සිටි රාජ්‍ය සේවක සංඛ්‍යාව ලක්‍ෂ 14ක් දක්වා තම රාජ්‍ය පාලන කාලය තුළ වැඩි කළ බව ජනාධිපතිවරයා කීවේ මහත් ආඩම්බරයෙන් විය හැකිය. ඒ අසන ඕනෑ ම රාජ්‍ය සේවකයකු ඒ වෑයම පිළිබඳවත් එවැනි රාජ්‍ය සේවයකට ඇතුළත් වන්නට තමන්ට අවස්ථාව ලැබීම ගැනත් නොමඳ ව සතුටු වනු ද විය හැකිය. 2001-04 එක්සත් ජාතික පක්‍ෂ රජය එවක මහජනතාවගෙන් ලද බලවත් චෝදනාවක් වූයේ රාජ්‍ය සේවයට තවදුරටත් සේවකයන් බඳවා ගැනීම එම රජය විසින් අත්හිටුවීම ය. එවක විරුද්ධ පක්‍ෂයට බලයට ඒම සඳහා එම චෝදනාව පහසු ආධාරකයක් විය. එහෙත්, අද අප ඇසිය යුතු ප‍්‍රශ්නය, මේ තරම් දැවැන්ත රාජ්‍ය සේවයක් ලංකාව වැනි රටකට දරාගන්නට හැකිවේ ද යන්න ය.

රාජ්‍ය සේවකයන් ප‍්‍රමාණය ලක්‍ෂ 14ක් වන විට දළ වශයෙන් ගණනය කළ හොත් ලංකාවේ ජනගහනයේ සෑම පුද්ගලයන් සියයකටම රාජ්‍ය සේවකයෝ 7දෙනෙක් බැගින් සිටිති. එහි යථාර්ථය නම්, ඒ සත් දෙනාට වැටුප් හා දීමනා ගෙවා ඔවුන් සේවය කරන තාක් ජීවත් කරවන්නේ ද, ඔවුන් සේවයෙන් විශ‍්‍රාම ගිය පසු මූල්‍යමය වශයෙන් රැුක බලා ගන්නේ ද ඉතිරි 93 දෙනා විසින් උපයන දෙයින් වීමයි. අන් ලෙසකින් කිවහොත්, රාජ්‍ය සේවය ලක්‍ෂ හයකට අඩුකරන්නට උත්සාහ කරද්දී එය ලක්‍ෂ 14කට නැංවූයේ තමා බව ජනාධිපතිවරයා කියන විට අප තේරුම් ගත යුත්තේ ඒ වැඩි වූ පිරිසට කන්නට අඳින්නට දෙන්නේ ඒ දේශපාලන නායකයන්ගේ පෞද්ගලික බූදලයෙන් නොව, අවශේෂ මහජනයාගේ පොකැට්ටුවෙන් බව ය.

රාජ්‍ය සේවයට හැමෝ ම කැමති ය. ලංකාවේ විශ්වවිද්‍යාලවලින් පිටවන තරුණ උපාධිධාරීන් සියල්ලන් ම පාහේ දකින සිහිනය වන්නේ කවර ආකාරයකින් හෝ ආණ්ඩුවේ රස්සාවක් ලබා ගැනීම ය. කවර හේතුවක් නිසා හෝ, තමන් එතෙක් නියුක්ත වන පෞද්ගලික අංශයේ වැඩි වේතනයක් සහිත රැුකියාව වුව ද අතහැර අඩු පඩියකට ආණ්ඩුවේ රස්සාවක් සඳහා නික්ම යෑමට එවැන්නන් දක්වන ළැදියාව පෞද්ගලික සේවා අංශයේ පොදු අත්දැකීමකි. තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරික ප‍්‍රාග්ධනයකින් වියදම් නොවන නිසා දේශපාලකයෝ ද රාජ්‍ය සේවයට තමනට වුවමනා අය, වුවමනා පරිද්දෙන් බඳවා ගනිති. එය සිය දේශපාලන වාසිය සඳහා ද යොදා ගනිති.

එහෙත්, රාජ්‍ය සේවය වුවමනාවට වඩා බරක් වීමත්, රාජ්‍ය සේවයේ නියුක්තිකයන්ගේ කාර්යක්‍ෂමතාව අතිශය පහළ අඩියක තිබීමත් විසින් රටක් ලෙස අප පත් කරන අනාගත අඳුර ගැන බිය විය යුතු ය. ඒ නිසා රාජ්‍ය පාක්‍ෂිකභාවයත් දේශපාලන ගැතිකමත් පසෙක තබා ඒ ගැන ආණ්ඩුවේ ඇස් ඇරවීම සඳහා කතාබහක් ඇති කිරීම රටේ බුද්ධිමතුන්ගේ මෙන් ම විරුද්ධ පක්‍ෂයේ ද වගකීමකි. නැති නම්, වත්මන් දේශපාලකයන් කොටසකගේ අ¥රදර්ශී තීරණ නිසා අනාගතයේ අවදානමට යනු ඇත්තේ අපේ ඊළඟ පරම්පරාවන් ය.