මාධ්‍ය සාකච්ඡාවලට ආණ්ඩුවෙන් කමිටුවක් – මෛත‍්‍රී, ජෝන්, නිමල්, විමල්, චම්පික කැපෙති

 

ඉදිරි ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය දේශපාලන වැඩසටහන් රජයේ අරමුණු ඉෂ්ඨ වෙන පරිදි මෙහෙයවා ගැනීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බව රාවයට වාර්තා වෙයි.

පුද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශනය වන ජනපි‍්‍රය දේශපාලන වැඩසටහන් ඉල්ලා මෙම මෙහෙයුම් කමිටුව රජය පාර්ශ්වයෙන් සහභාගි වන විශේෂ කථිකයන් 21 දෙනෙකු නම් කර ඇති අතර ශාන්ත බණ්ඩාර, රෝහිත අබේගුණවර්ධන, අනුර පි‍්‍රයදර්ශන යාපා, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, පවිත‍්‍රා වන්නිආරච්චි, වාසුදේව නානායක්කාර, ඩිලාන් පෙරේරා, රාජිත සේනාරත්න, හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර, අරුන්දික ප‍්‍රනාන්දු, රංජිත් සොයිසා යන මැති ඇමතිවරුන් මෙම ලේඛනයේ මුලින්ම කියවෙන අතර මාධ්‍ය ආයතන තම තමන්ගේ දේශපාලන වැඩ සටහන්වලට ආණ්ඩුව පාර්ශ්වයෙන් මෙම 21 දෙනා අතරින් කෙනකු පමණක් තෝරා ගත යුතු යැයි කොන්දේසියක් පනවා ඇත.

ඉහත කොන්දේසියට අමතරව අදාළ මාධය මෙහෙයුම් කමිටුව පසුගිය සතියේ සිට විශේෂයෙන් පුද්ගලික රූපවාහිනී නාලිකාවල විකාශය වන දේශපාලන වැඩ සටහන්වලට අදාළව මාතෘකාව තීරණය කිරීමේ අයිතියද තමන් සතු කරගෙන ඇතැ’යි දැනගන්නට ලැබේ.

ඉහත 21 දෙනා තේරීමේදී මඩ ප‍්‍රහාර දියත් කිරීම, එක් එක් ජනවර්ගය , ආගමික පසුබිම මුල් කරගෙන කතා පැවැත්වීම රජයේ සංවර්ධන යෝජනා ක‍්‍රම වර්ණනා කිරීම, විපක්ෂය ප‍්‍රබලව විවේචනය කිරීම ආදී ක්ෂේත‍්‍රද සැලකිල්ලට ගෙන ඇතැ’යි දැනගන්නට ලැබේ.

මෛත‍්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, විමල් වීරවංශ, පාඨලී චම්පික රණවක ආදී රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ නම් මෙම ලේඛනය තුළ නොමැත.