ජාතියේ අන්ධ ගමන

 

ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මෑතක් දක්වා දැඩි ලෙස එල්බගෙන සිටියේ එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන ගිය යුද්ධයේදී ආරක්ෂක හමුදා අතින් යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි කිසිදු වරදක් සිදුවී නැතැ’යි කියන ස්ථාවරයේය. එහෙත් ආණ්ඩුව දැන් එම ස්ථාවරය අත්හැර තිබෙන බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.

ජනාධිපතිවරයා වෙනුවෙන් ජූලි 15 වැනිදා නිකුත් කර තිබෙන විශේෂ ගැසට් නිවේදනයක් මගින් උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල සිදුවී තිබෙන අතුරුදන්වීම් ගැන සොයා බලා වාර්තා කිරීමට පත්කර තිබූ මැක්ස්වල් පරණගම කොමිසමේ විෂය පථය පුළුල් කරමින් 2009 යුද ගැටුමේදී යුද අපරාධ ගණයෙහිලා වැරදි සිදුවීද යන්න සොයා බැලීමේ වගකීම එම කොමිසමට ලබාදී තිබේ. ඊට අතිරේක වශයෙන් එහිදී එම කොමිසමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගැනීම සඳහා යුද අපරාධ පිළිබඳව ලෝකයේ පිළිගත් පළමු පෙළේ විශේෂඥයන් තිදෙනකුද පත්කර තිබේ. ඒ අනුව පරීක්ෂණ කොමිෂන් සභාවේ එම උපදේශක සභාව සමන්විත වන්නේ ශ‍්‍රීමත් ඩෙස්මන් ද සිල්වා (සභාපති), ශ‍්‍රීමත් ජෙෆ්රි නයිස් හා මහාචාර්ය ඬේවිඞ් කේ‍්‍රන් යන අයගෙනි.

විශේෂඥයන්ගේ පසුබිම

එම ලේඛනයේ එන මුල් දෙදෙනා බි‍්‍රතාන්‍ය ජාතිකයන් වන අතර තුන්වැන්නා ඇමරිකන් ජාතිකයෙකි. මේ තිදෙනාම එසේ මෙසේ අය නොව යුද අපරාධ විෂය පිළිබඳව ලෝකයේ සිටින ප‍්‍රමුඛ පෙළේ විශේෂඥයන් තිදෙනකු ලෙස සැලකිය හැකිය.

උපදේශන මණ්ඩලයේ සභාපතිකම උසුලන ශී‍්‍රමත් ඩෙස්මන්ඞ් ලොරෙන්ස් ද සිල්වා රාජ්‍ය මන්ත‍්‍රණ සභා කාලයේදී ලංකාවේ දේශපාලන තලයේ ප‍්‍රමුඛ තත්ත්වයක් හිමිකරගෙන සිටි ජෝර්ජ් ඊ. ද සිල්වාගේ මුණුපුරාය. 1947 පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජෝර්ජ් පාර්ලිමේන්තුවට තේරී පත්වුවත් ඔහුගේ ප‍්‍රධාන තරගකරුවා වූ ටී.බී. ඉලංගරත්න ඉදිරිපත් කළ ඡුන්ද පෙත්සමක් නිසා ඔහුට එම අසුන අහිමිවිය. එම පුරප්පාඩුව පිරවීම සඳහා පැවති අතුරු මැතිවරණයට ටී.බී. ඉලංගරත්න සමග තරග කළේ ජෝර්ජ්ගේ පුත් රිචඞ්ය. ඔහු ශ‍්‍රීමත් ඩෙස්මන් ද සිල්වාගේ පියාය. එම අතුරු මැතිවරණයෙන් ඉලංගරත්න ජයගත්තද රිචඞ් ඉලංගරත්නගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් කරන ලද ඡුන්ද පෙත්සමක් නිසා ඉලංගරත්නටද එම අසුන අහිමි වුවද එම ඡුන්ද පෙත්සම් විභාගයේදී රිචඞ් යථා පරිදි මැතිවරණ වියදම් ප‍්‍රකාශ කර නැති බව හෙළිදරව් වීම නිසා අධිකරණය පෙත්සම්කරුගේද ප‍්‍රජා අයිතිය අහිමි කළේය. ඉන්පසු ඞී.ඇස්. සේනානායක රිචඞ් තානාපතිකමකට පත් කරන ලද අතර ඔහු කලක් ප‍්‍රංශයේ ද ඉන්පසු ස්විට්සර්ලන්තයේද ලංකා තානාපති ලෙස සේවය කොට පසුව බි‍්‍රතාන්‍යයේ ස්ථිර පදිංචිකරුවකු බවට පත්විය. ශ‍්‍රීමත් ඩෙස්මන් ද සිල්වා සිය මූලික අධ්‍යාපනය ලැබුවේ මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙනි. ඔහු විවාහ වූයේ යුගොස් ලෝවියාවේ ඇලෙක්සැන්ඩර් රජුගේ මිණිපිරියක සමගය.

ඔහු යුද අපරාධ විෂයෙහි පළමු පෙළේ විශේෂඥයෙකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියරාලියොන්හි සිදුවී තිබූ යුද අපරාධ විභාග කිරීම සඳහා ඇති කරන ලද විශේෂ අපරාධ අධිකරණයේ නියෝජ්‍ය චෝදකයා ලෙස ක‍්‍රියා කළේය. පසුව එම අධිකරණයේ ප‍්‍රධාන චෝදකයා ලෙස ද ක‍්‍රියා කළේය. ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාර්ල්ස් ටේලර් අත්අඩංගුවට ගන්නා ලද්දේද ඔහුට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරන ලද්දේද ඔහු විසිනි. දැන් ඔහු හැත්තෑපස් හැවිරිදිය.

හැටපස් හැවිරිදි ශ‍්‍රීමත් (මහාචාර්ය) ජෙෆ්රි නයිස් ද යුද අපරාධ විෂය පිළිබඳව බි‍්‍රතාන්‍යයට සිටින පළමු පෙළේ විශේෂඥයෙකි. සර්බියාවේ හිටපු ජනාධිපති මෙලසොවික්ට එරෙහිව අන්තර්ජාතික යුද අපරාධ අධිකරණයේ ඇසුණු නඩු විභාගයේ ප‍්‍රධාන චෝදකයා ලෙස ක‍්‍රියා කළේ ඔහුය.

ඇමරිකන් ජාතික ඬේවිඞ් කේ‍්‍රන් අන්තර්ජාතික නීතිය පිළිබඳ මහාචාර්යවරයෙකි. අවුරුදු 30ක කාලයක් එක්සත් ජනපද පෙඩරල් ආණ්ඩුවේ විවිධ තනතුරු හෙබවූ රාජ්‍ය නිලධාරියෙකි. ලයිබීරියාවේ හිටපු ජනාධිපති චාල්ස් ටේලර්ට එරෙහිව පැවති නඩුවේ ශ‍්‍රීමත් ඩෙස්මන්ඞ් ද සිල්වාට ප‍්‍රථම ප‍්‍රධාන චෝදකයා ලෙස ක‍්‍රියා කළේද ඬේවිඞ් කේ‍්‍රන්ය.
අරමුණ කුමක්ද?

පරණගම කොමිසමේ විෂය පථය පුළුල් කිරීම මගින් හා එම කොමිසමේ උපදේශකයන් වශයෙන් ලොව ප‍්‍රකට යුද අපරාධ පිළිබඳ විශේෂඥයන් තිදෙනකු පත්කිරීම මගින් ජනාධිපතිවරයා එල්ටීටීඊයට අතිරේකව ආරක්ෂක හමුදා අතින් ද යුද අපරාධ සිදුවන්නට ඇතැ’යි කියා විශ්වාස කරමින් ඒ ගැන සොයා බැලීමේ අවශ්‍යතාව පිළිගන්නා තැනකට පැමිණ ඇති බව පෙනේ. එම පත්කිරීම් කර තිබෙන්නේ ඉතාමත් හදිසියේය. කැබිනට් මණ්ඩලයේ පවා සාකච්ඡුාවකට ලක්කිරීමෙන් තොරවය.

මෙහිදී ජනාධිපතිවරයා අනුගමනය කර තිබෙන නව ප‍්‍රතිපත්තියේ අව්‍යාජභාවය පැහැදිලි නැත. මීට පෙර 2007දී සිදුවී තිබෙන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන සොයා බලන පරීක්ෂණ කොමිසමකට උපදෙස් දීමට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ගරු කටයුතු විදේශීය පුද්ගලයන් 11 දෙනකු පත් කළද ඒ වැඩසටහන සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට හැකිවූයේ නැත. මෙයද එවැනි ඇස්බැන්දුමක් ද යන සැකය ඇතිවීම නොවැළැක්විය හැකිය. එහෙත් බැලූ බැල්මට පෙනෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය සහෝදර ගෝඨාභය රාජපක්ෂගේ ස්ථාවරයෙන් ඉවත්වීමක් සිදුකර තිබෙන බවය.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ දිගින් දිගට දරන ලද දැඩි ස්ථාවරය වූයේ එල්ටීටීඊයට එරෙහිව කරන ලද අවසාන යුද්ධයේදී එල්ටීටීඊය අතින් මිස ආණ්ඩුවේ ආරක්ෂක හමුදා අතින් යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි වැරදි සිදුවී නැති බැවින් කිසිදු ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉඩදිය යුතු නැති බවය. ඒ සඳහා දේශීය පරීක්ෂණයක්ද අවශ්‍ය නොවන බවය. ඒ ගැන වන ගෝඨාභය රාජපක්ෂගේ ආස්ථානය ඒ ගැන වන ආණ්ඩුවේ ස්ථාවරය අධිනිශ්චය කරන ප‍්‍රධාන සාධකය ලෙස ක‍්‍රියා කළේයැ’යි කිව හැකිය.

2014 මාර්තුවලදී මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ ඇමරිකන් යෝජනාවට ඇතුළත් ප‍්‍රධාන කාරණා දෙකක් තිබුණි. ඉන් ඉල්ලා තිබුණේ පළමු කොට ලංකාවේ සිදුවී තිබෙන මානව හිමිකම් උල්ලංඝනයක් හා යුද අපරාධ පිළිබඳව ශ‍්‍රී ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල පරීක්ෂණයක් කළයුතු බවය. එසේ නොකරන්නේ නම් මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ඒ ගැන වන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවය. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල දේශීය පරීක්ෂණයක් ශ‍්‍රී ලංකා ආණ්ඩුව වහාම ආරම්භ කළේ නම් මහ කොමසාරිස්වරිය මගින් ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීම වළකා ගත හැකිවන්නට ඉඩ තිබුණි. එහෙත් ආණ්ඩුව එසේ නොකළේය. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් මහ කොමසාරිස්වරිය ශ‍්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කිරීම සඳහා අන්තර්ජාතික තලයේ ඉහළම පිළිගැනීමක් ඇති පුද්ගලයන් තිදෙනකු එම පරීක්ෂණය සඳහා පත් කළේය. ආණ්ඩුව පරීක්ෂණ කොමිසමේ විෂය පථය පුළුල් කොට එයට ඉහළම පෙළේ පිළිගැනීමක් තිබෙන විදේශ විශේෂඥයන් තිදෙනකු පත්කිරීම මගින් දැන් අප පිළිගත හැකි ආකාරයේ දේශීය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැ’යි කියන සංඥාව ලබාදීමට ගත් උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

දූරදර්ශීවීමට අසමත්වීම

ඇත්ත වශයෙන්ම යුද්ධය අවසන් කිරීමෙන් පසුව වගවීමක් ඉල්ලා සිටි ජාත්‍යන්තර බලවේගයන් සමග රණ්ඩු කරන තැනකට නොගොස් පිළිගත හැකි අභ්‍යන්තර පරීක්ෂණයක් මගින් කරුණු සොයා බලන තැනකට ගියේ නම් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය මේ සා පරිමාණයකින් කෙළෙසා ගැනීමකින් තොරව මෙම ආරාවුල් විසඳා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. ආණ්ඩුවට ඒ සඳහා වන දූරදර්ශී ඉදිරි දැක්මක් නොතිබුණේය. ආණ්ඩුවේ දැක්මේ තිබූ එම සීමාසහිතකම කෙරෙහි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ ආස්ථානයද බලපෑවේය. ඇමරිකාව හා බටහිර රටවල් කරන ප‍්‍රශ්න කිරීම් ඉදිරියේ අප අනුගමනය කළේ චීනයට වැඩි වැඩියෙන් තුරුලූ වන ප‍්‍රතිපත්තියකි. ඒ නිසා සිදුවූයේ වගවීමකට එකඟ නොවීම ආශ‍්‍රයෙන් ඇතිවී වර්ධනය වෙමින් තිබූ අවුල ඉතා ප‍්‍රබල හා සංකීර්ණ අර්බුදයක් බවට පත්වීමය.

ඇමරිකා එක්සත් ජනපදයට, බටහිර රටවලට හා එක්සත් ජාතීන්ට එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය වනවා දැකීමේ අවශ්‍යතාවක් නොවීය කියන ජනප‍්‍රිය මතය සත්‍යයක් ලෙස සැලකිය නොහැකිය. එල්ටීටීඊය අවසාන වශයෙන් පරාජය කිරීමේ හැකියාව ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන්ට තිබේද කියන ප‍්‍රශ්නය මුලදී ඒ සියලූදෙනාට තිබුණේය. ඒ සමග දෙමළ ජනයාගේ දුක්ගැනවිලි ගැනද ඔවුන් තුළ පොදු අනුකම්පාවක් තිබුණි. ඒ සියල්ල එසේ තිබියදීත් යුද්ධය පැවති කාලයේදී එම රටවල එල්ටීටීඊ ක‍්‍රියාකාරීත්වය උපරිම ලෙස මැඬලන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීම මගින් ලංකාව එල්ටීටීඊයට එරෙහිව කරන යුද්ධයට ඒ රටවල් ද අනියම් ආකාරයකින් උදව් කළේය. අවසාන යුද්ධය පැවති කාලයේදී එල්ටීටීඊය විසින් ගුවන්යානා නාශක මිසයිල් තොගයක් මිලදී ගැනීමට දරන ලද උත්සාහයක් ඇමරිකාව ව්‍යර්ථ කළේය. එම මිලදී ගැනීමට ඉඩදී අහක බලාගෙන සිටින ප‍්‍රතිපත්තියක් ඇමරිකාව අනුගමනය කළේ නම් අවසාන යුද්ධය වඩා දිග්ගැසුණු යුද්ධයක් බවට පත්වන්නට ඉඩ තිබුණා සේ ම ඉන් සිදුවන හානියද මීට වඩා විශාල වන්නට ඉඩ තිබුණේය. එසේම එල්ටීටීඊයේ මුහුදු සැපයුම් මාර්ග අඩපණ කිරීමට අවශ්‍ය තොරතුරු ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවන්ට ප‍්‍රධාන කොට ලබාදෙන ලද්දේ ඇමරිකාව හා ඉන්දියාව විසිනි.

යුද්ධය පැවති කාලයේදී මෙම බලවතුන් දෙදෙනා සමග කරන ගනුදෙනුවේදී ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉතාමත් තර්කානුකූල හා ප‍්‍රශස්ත කාර්යභාරයක් ඉටු කරන ලද බවද කිව යුතුය. යුද්ධයේ ජයග‍්‍රහණය සඳහා ඉන්දියාව ඊට විරුද්ධ නොවන තැනක තබාගැනීම අත්‍යවශ්‍ය බව ඔහු දැන සිටියේය. ඒ නිසා ඉන්දියාව තෘප්තිමත් තත්ත්වයක තබා ගැනීම සඳහා කරමින් සිටින හා කරන්නට යන හැම දෙයක්මත් ඉන්දියාවට නොසඟවා දැනුම් දෙන පිළිවෙතක් ඔහු අනුගමනය කළේය. ඇමරිකාව සම්බන්ධ යෙන් ද ඔහු අනුගමනය කළ පිළිවෙත ඇමරිකාවේ විශ්වාසයට හා පිළිගැනීමට හේතුවී තිබුණි.

මුලදීම නොවූවත් පසුව එල්ටීටීඊය පරාජය කිරීමේ හැකියාව ආරක්ෂක හමුදාවන්ට තිබෙන බව බටහිර රටවල් තේරුම් ගත්තේය. එහෙත් එල්ටීටීඊය දෙමළ ජනයා ආරක්ෂිත පළිහක් බවට පත්කරගෙන සිටි තත්ත්වය තුළ සාමාන්‍ය දෙමළ ජනයාට බරපතළ හානියක් කිරීමෙන් තොරව එල්ටීටීඊය අවසන් වශයෙන් පරාජය කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ඒ සියලූදෙනාට පහසුවෙන් තේරුම් ගත නොහැකි ප‍්‍රහේළිකාවක් බවට පත්ව තිබුණේය. ඒ සමග යුද්ධයේ අවසාන අදියරේදී යුරෝපා රටවල ජීවත් වන දෙමළ ඩයස්පෝරාව ආවේගයෙන් වීථි බැස සිටි තත්ත්වය තුළ එල්ටීටීඊයට අවසාන වශයෙන් අත්පත් කරදෙන පරාජයක් යුරෝපා රටවල දෙමළ ත‍්‍රස්තවාදයක් ඇති කිරීමට හේතුවේද කියන බියක් ඒ රටවල නායකයන් තුළ ඇතිව තිබුණි. යුද්ධයේ අවසාන අදියරේදී ඒ රටවලින් එල්ල වන බලපෑම්වලට ලංකා ආණ්ඩුව අවනත නොවීම නිවැරදි වුවත් එම බලපෑම් කෙරෙහි බලපෑ හේතු සාධක ආණ්ඩුව තේරුම් ගත් ආකාරය වැරදිය.

චීනය සමග කල්ලි ගැසීම

අවසානයේ යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණය සිංහල ජනයා උපරිම මට්ටමකින් කුල්මත් කොට ඔවුන් විචාරයකින් තොරව තමන්ට ජයග‍්‍රහණය ලබා දුන් වීරයා පසුපස යන බැටළු රැුළක් බවට පත් කළේය. ඒ සමග එම ජයග‍්‍රහණය ජයග‍්‍රහණයේ පූර්ණ අයිතිය හිමි කරගත් සේනාධිනායකගේ මනසද වෙනස් කළේය. රට හා ජාතිය බේරා ගත්තේ තමන් වන නිසා තමන්ට රට සේ ම ජාතියද ණයගැතියැ’යි සිතන ආකල්පයක් ඔහු තුළ ඇති කිරීමට හේතුවිය.

අභ්‍යන්තර යුද්ධයෙන් ලැබූ ජයග‍්‍රහණය ලංකාව ලෝකය දෙස බලන නිල දෘෂ්ටියේද මහා වෙනසක් ඇති කළේය. එහිදී ඇතිවූ සමහර වෙනස්කම් ඉබේ ඇතිවූ ඒවා වනවිට තවත් සමහර වෙනස්කම් පාලකයාට සමීප න්‍යායවාදීන් ගිල්වන ලද ඒවා ලෙස සැලකිය හැකිය.

ඔවුන් විසින් ගිල්වන ලද නව ලෝක දෘෂ්ටිය අනුව ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සිටින්නේ තමන්ට හිමි ලෝක ආධිපත්‍යය වේගයෙන් අහිමි කරගන්නා තත්ත්වයකය. චීනය ප‍්‍රමුඛ රුසියාව, ඉරාකය, බ‍්‍රසීලය වැනි තවත් රටවල් එකතුවක් ලෝක ආධිපත්‍යය හිමිකර ගනිමින් සිටින්නේය. ඒ නිසා ශ‍්‍රී ලංකාව, ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ට බිය විය යුතු නැත. අප ඉදිරියට යායුතුව තිබෙන්නේ අන් කවරකුවත් සමග නොව චීනය හා ඇය සමග ඉදිරියට යන ඇමරිකන් විරෝධී බටහිර විරෝධී රටවල් සමගය.

චීනය ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල ආධිපත්‍යයට අභියෝග කරන නව ලෝක බලවතකු ලෙස මතුවෙමින් සිටි බව සත්‍යයකි. එහෙත් චීනයේ ලෝක ආධිපත්‍යය අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයක් වූවා මිස ඇතිව තිබූ තත්ත්වයක් නොවීය. එහෙත් ලංකාවේ නායකයන් ඒ තත්ත්වය දැක්කේ අතිශයෝක්තියෙන් දැනටමත් ඇතිවී තිබෙන තත්ත්වයක් ලෙසය. ඒ සමග ලංකාව ඇමරිකාවට හා බටහිර රටවලට එරෙහිව අභියෝග කරන හා රෙදි උස්සාගෙන හඬ නගන තැනකට ගියේය. චීනය සමග ගනුදෙනු කරන ප‍්‍රතිපත්තියකදී ඇමරිකාව, බටහිර රටවල් හෝ ඉන්දියාව සමග කරන ගනුදෙනුවලදී මෙන් නොව පුද්ගලික වාසි ලබාගැනීමේ හැකියාව තිබීම නිසා චීනය සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියකට වැඩි කැමැත්තක් ඇතිවීමද අස්වාභාවික නැත. එම වටාපිටාව තුළ යුද්ධයේ අවසානයත් සමග ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් සමගද අසල්වැසි ඉන්දියාව සමගද තේරුමක් නැති වාද විවාද ඇති කරගනිමින් චීනය සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන තැනකට ලංකාව යොමුවිය.

ජාතිය යන්නේ කොහිබටද?

ඉතිහාසයේ හැම කලකදීමත් ලංකාවේ පිහිටීමට ලැබෙන වැදගත්කම ලංකාවේ වාසනාව කෙරෙහි සේ ම අවාසනාව කෙරෙහි බලපාන වැදගත් සාධකයක් ලෙස ක‍්‍රියා කළේය. ලංකාව පිහිටා තිබෙන්නේ ලෝකයේ ප‍්‍රධාන නාවික මාර්ගයක් පාලනය කිරීමේ හැකියාව තිබෙන උපාය මාර්ගික අර්ථයෙන් වැදගත් සන්ධිස් ථානයකය. එය හැම කලකදීමත් ලෝක බලවතුන්ගේ අවධානය දිනාගත් කාරණයක් ලෙස සැලකිය හැකිය. ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර බලවතුන්ගේද අසල්වැසි ඉන්දියාවේද අභිලාෂ නොසලකා ලංකාව චීනය සමග කල්ලි ගැසී ක‍්‍රියාකිරීම ඒ සියලූ බලවතුන් තුළ ලංකාව පිළිබඳව විරෝධයක් හා සැකයක් ඇති කිරීමට හේතුවී එම බලවතුන් යුද්ධය ආශ‍්‍රයෙන් ඇතිවී ඇති ප‍්‍රශ්න ලංකාව මට්ටු කිරීම සඳහා පාවිච්චි කරන හෙල්ලක් බවට පත්කර ගත්තේයැ’යි කිව හැකිය.

ලංකාවේ පිහිටීමට ලැබී තිබෙන වැදගත්කම අනුව බලන කල ලංකාවේ ආරක්ෂාවට හේතුවනුයේ තෝරාගත් කිසියම් බලවතකු සමග කල්ලි ගැසී ක‍්‍රියාකරන පිළිවෙතක් නොව සියලූ බලවතුන් සමග සහයෝගයෙන් ක‍්‍රියාකරන නිදහස් නොබැඳි පිළිවෙතකි. විශේෂයෙන්ම එහිදී ළඟම අසල්වැසියා වන ඉන්දියානු අභිලාෂයන් සැලකිල්ලට ගැනීමේ වගකීමක් අපට තිබෙන්නේය. ජනාධිපති ජයවර්ධන ඇමරිකාව හා බටහිර රටවල් සමග කල්ලි ගැසී දැඩි ඉන්දියානු විරෝධී පිළිවෙතක පිහිටා ක‍්‍රියාකිරීම නිසා ලංකාවට ගෙවන්නට සිදුවූ වන්දිය අතිවිශාලය. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ඇමරිකන් විරෝධී, බටහිර විරෝධී, ඉන්දියානු විරෝධී හා චීන හිතවාදී ප‍්‍රතිපත්තිය අවසානයේ රට කෙරෙහි ඇති කරන ප‍්‍රතිඵලය ජේ.ආර්. ජයවර්ධනගේ ඉන්දියානු විරෝධී ප‍්‍රතිපත්තිය ඇති කළ විනාශයටත් වඩා විශාල විය හැකිය.

මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ ඇමරිකන් යෝජනාව අවසාන වශයෙන් රටට ඇති කරන්නට යන ප‍්‍රතිඵල මොනවාද යන්න ගැන ආණ්ඩුවට තබා විරුද්ධ පක්ෂවලටවත් හරි තක්සේරුවක් නැත. ඒ ගමනේ එක අවස්ථාවකදී ඇමරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ලංකාවට එරෙහිව සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවුවහොත් රට පහසුවෙන් ගැලවිය නොහැකි අන්ත කාලකණ්ණි තත්ත්වයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට බේරාගත් මහින්ද රාජපක්ෂ රට පහසුවෙන් ගොඩගත නොහැකි අන්ත කාලකණ්ණි තත්ත්වයකට පත් කළේය කියා එදාට ජනතාව චෝදනා කරනුද නොවැළැක්විය හැකිය. ඉතාමත් අවාසනාවන්ත දේ වනුයේ ඉදිරියේ ඇතිවිය හැකි එම විනාශය ගැන කල්තියා දැකීමේ බුද්ධිමය හැකියාවක් ජාතිය සතු නොවීමය. ජනමාධ්‍යයන් විසින් කරනු ලබමින් සිටින්නේද ජාතියේ අන්ධභාවය වර්ධනය කිරීමය.

පුටින්ගේ රුසියාව මහින්දගේ ශ‍්‍රී ලංකාවට වඩා ඉතා බලවත්ය. පුටින්ට එරෙහිව බටහිර බලවතුන් ක‍්‍රියාවට නගා ඇත්තේ එක් පියවරක් පමණය. ඒ එක පියවරෙන් ඉතා බලවත් පුටින් මුළුමනින් අන්දමන්දභාවයට පත්කිරීමෙන් නොනැවතී ඔහු නම්‍යශීලීව ක‍්‍රියාකරන නායකයකුගේ තත්ත්වයට පත්කිරීමට හේතුවිය. එම අර්බුදයේදී පුටින්ගේ ආරක්ෂාවට චීනය ඉදිරිපත් වූයේ නැත.
ඇමරිකන් විරෝධී හා බටහිර විරෝධී පිළිවෙතක් ශ‍්‍රී ලංකාවේ ආර්ථික යථාර්ථයට ගැළ පෙන්නේ නැත. අප අපනයනය සඳහා නිපදවන නිෂ්පාදන භාණ්ඩ ප‍්‍රධාන කොට මිලදී ගන්නේ ඇමරිකාව හා බටහිර රටවල්ය. ඇමරිකාව හා බටහිර රටවල් සමග කරන අපනයන වෙළෙඳාම හා එම භාණ්ඩ නිෂ්පාදනය සඳහා පවත්වාගෙන යන කර්මාන්ත රටේ ආර්ථිකයේ වැදගත්ම අංශය ලෙස සැලකිය හැකි අතර අපේ ආර්ථිකයේ දියුණුව රඳා පවතින්නේද ඒ අංශ දෙකේ දියුණුව මතය. ඒ භාණ්ඩ ඇමරිකාව හා බටහිර රටවල් මිලදී නොගන්නේ නම් ඒවා විකිණීමට අන් රටවල් ද අපට නැත. ඒ නිසා ඇමරිකන් විරෝධී හෝ බටහිර විරෝධී වීම රටේ ආර්ථිකයට ගැළපෙන දෙයක් ලෙස සැලකිය නොහැකිය.

ජාත්‍යන්තර තලයේ අප මුහුණදී තිබෙන අර්බුදය විසඳා ගැනීමට නම් යුද්ධය ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන වගවීම පිළිබඳ ප‍්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබාදිය යුතුය. විශ්වසනීයභාවය පිළිබඳ ප‍්‍රශ්න තිබෙනවා වුවත් අතුරුදන්වූවන් පිළිබඳ කොමිසමේ විෂය පථය පුළුල් කොට යුද අපරාධ පිළිබඳ විදේශ විශේෂඥයන් තුන්දෙනකුගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත්කිරීම යහපත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකිය. එහෙත් එය ඵලදායී ක‍්‍රියාමාර්ගයක් බවට පත්වනු ඇත්තේ සිදුවී තිබෙන වැරදි අවංකව සොයා බලන පිළිවෙතක් අනුගමනය කරන්නේ නම් පමණය.
එහෙත් ලංකාව මුහුණ දී තිබෙන ජාත්‍යන්තර අර්බුදය විසඳා ගැනීමට නම් යුද්ධයේ වගවීම පිළිබඳ ප‍්‍රශ්නයට පිළිතුරක් දෙනවාට අතිරේකව ඇමරිකන් විරෝධී, බටහිර විරෝධී, ඉන්දියන් විරෝධී හා චීන ගැති විදේශ ප‍්‍රතිපත්ති යෙන්ද අප ඉවත් විය යුතුය. චීනය සමග තිබෙන මිත‍්‍රත්වය අත්හළ යුතු නැතත් අන් සියලූ බලවතුන් සමගද නිසි ගෞරවයකින් යුතුව වැඩ කරන තැනකට අප යා යුතුය. අපට එවැනි ප‍්‍රතිපත්තියක පිහිටා ක‍්‍රියා කළ හැකි නම් ජාත්‍යන්තර තලයේ මතුවී තිබෙන අර්බුදය ජයගත හැකිය. එහෙත් එය දේශීය වශයෙන් තිබෙන අර්බුදයට විසඳුමක් වන්නේ නැත. එහෙත් පළමු අර්බුදය ජයගත හැකි නම් බාහිර වශයෙන් ඇතිවිය හැකි මහා විනාශයක් ඇතිවීම වළකා ගත හැකිය. එය අභ්‍යන්තර දේශපාලන අර්බුදය විසඳා ගැනීම පහසු කිරීමට හේතුවිය හැකිය.