රාවය

නැවත කළු ජූලියක් එපා

නැවත  කළු ජූලියක් එපා

 

කළු ජූලිය ලෙස ලංකා ඉතිහාසයේ කළු පැහැයෙන් අප විසින් ලියනු ලැබ ඇති 1983 ජූලි ඛේදවාචකයේ තිස් එක් වැනි සිහි ගැන්වීම පසුගිය සතියට යෙදී තිබිණ. ආණ්ඩුව සිටියේ එවැනි දිනයක් මතක වත් නැති ලෙස ය. එහෙත්, කළු ජූලිය ගැන විවිධ අදහස් මතු කිරීම්, සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ, ක‍්‍රියාකාරකම්, දෘශ්‍ය කලා ප‍්‍රදර්ශන අග නගරයේත්, ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශවලත්, තැන් තැන්වල යහමින් සිදු විය. ඒ විවිධ ක‍්‍රියාකාරකම්වල නියැලී සිටි විශාල තරුණ පිරිසක්ද දක්නට ලැබීම ගරු කටයුතු ය.

මේ වසරේ කළු ජූලිය වැදගත් වන්නේ, ජූලියට පෙර කළු ජූනියක් ද ඇති වී තිබීම නිසා ය. අලූත්ගම, බේරුවල මුස්ලිම් ජනතාවගේ මෙන්ම සිංහලයන්ගේ ද දේපළ විනාශ කළ, ජීවිත විනාශ කළ, සංහිඳියාව විනාශ කළ කළු ජූනිය ගැන ද ආණ්ඩුව ඉන්නේ සුපුරුදු ලෙස කිසිවක් නොවුණා ගානට ය. අදත් කළු ජූනිය ඇති කිරීමට වෛරය පතුරුවා හළ පුද්ගලයන් නීතියෙන් පිට නිදැල්ලේ ය. මාධ්‍ය සංදර්ශන සමග පොලිසියට ගෙන්වා ඔවුන්ගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනුණා මිස ඉන් එහා සිදු වූ යමක් නැත. එය වූයේ ද සමාජයේ අවදිමත් පිරිස් ඒ ගැන නිරන්තරයෙන් කළ බලපෑම් නිසා ය. ඒ ගැන ක‍්‍රියා කිරීමට ප‍්‍රමාණවත් නීති නැතැ’යි ජනප‍්‍රිය බොරුවක් සමාජගත ව ඇති නමුත්, පවතින නීතිය යටතේ ද එවැනි අපචාරයන්ට, අපරාධයන්ට එරෙහි ව ක‍්‍රියා කළ හැකි තත්ත්වයක් තිබේ. අලූත්ගම, බේරුවල විනාශය ඇති වන විට පොලිසියත් ආරක්‍ෂක හමුදාත් ඇස් කන් පියාගෙන සිටියා හෝ ඇතැම් විට අනුබල දුන්නා සේ ම, ඊට වගකිවයුත්තන් සම්බන්ධයෙන් ද මේ වන තෙක් නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක වූයේ නැත. විනාශ වූ දේපළවලට අදාළ රස පරීක්‍ෂණ හා අපරාධ විමර්ශන නිසි පරිදි අවසන් නොකොට, ලහි ලහියේ එම අපරාධ පරිශ‍්‍ර පිරිසිදු කොට හමුදා අංශ යොදවා නැවත ගොඩ නැගීම් කරන්නට යද්දී ඒ ක‍්‍රියාවලිය නවත්වා පළමු ව රස පරීක්‍ෂකගේ විමර්ශන සිදු කිරීමාදී නීතිමය අවශ්‍යතාවන් ඉටු කරන ලෙස නියම කරන්නට සිදු වූයේ අධිකරණයට ය. අධිකරණයෙන් ඒ ගැන ඉල්ලීම කරන්නට සිදු වූයේ ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයට ය. සිදු වූ දේ ගැන අපක්‍ෂපාත පරීක්‍ෂණයක් පවත්වා වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙන එන්නට කමිටුවක් පත් කොට ක‍්‍රියා කරන බව ජනාධිපතිවරයා වහා ම කීවත්, අද වන තුරු කැරුණු දෙයක් නැත. මෙනයින් බේරුවල, අලූත්ගම සිදුවීම්වල දී ආණ්ඩුව කටයුතු කළේ විනාශකාරීන්ගේ පැත්තේ සිට බව ඒ ක‍්‍රියාවලිය මැනැවින් සලකා බලන විට පෙනෙයි. මේ වර්ගවාදී සිදුවීම් නිසා තමාට නැතිවේයැ’යි ගණන් බලා ඇති ඡුන්ද ටික නැවත ගන්නට එම සුළු වාර්ගිකයන්ගේ සිත් සුවපත් කිරීමකට යනවා වෙනුවට ජනාධිපතිවරයා වුව ද විශ්වාසය තබන බව පෙනෙන්නේ තවදුරටත් සිංහල බෞද්ධ ඡුන්ද වෙත ම ය. ඒ අනුව, ඒ සිංහල බෞද්ධ ඡුන්ද පදනම ශක්තිමත් කර ගන්නට ඔවුන්ට අවශ්‍ය දේ කර දෙන්නට ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් සිදුවීම අරුමයක් නොවේ. එහි ප‍්‍රතිඵලය කුමක්ද? වාර්ගික ධ‍්‍රැවීකරණය තවත් වැඩිවීමත්, සුළු ජනවාර්ගිකයන් තව තවත් පරිධියට තල්ලූ වීමත් ය. රටේ ආණ්ඩුව මහ ජාතියේ, මහ ආගමේ පාලන යාන්ත‍්‍රණයක් බවට තව දුරටත් පත් වීම ය. මේ ඛේදනීය ගමනෙන් වෙනස් මගක් ගැනීමට දර්ශනයක් ආණ්ඩුවට ඇති බවක් නොපෙනේ.

කළු ජූලිය පිළිබඳ මහජන ක‍්‍රියාකාරකම් වැදගත් වන්නේ එවැනි පසුබිමක දී ය. ජනවර්ග අතර සුහදතාව, සංහිඳියාව ඇති කර ගැනීම අද මහජනයාගේ න්‍යාය පත‍්‍රයේ ප‍්‍රමුඛ කාර්යයක් බවට පත් කර ගත යුතු කාලය එළැඹ තිබේ. ඡුන්ද කුට්ටි පසුපස යන දේශපාලනඥයන්ට අවශ්‍ය වන්නේ ජනවාර්ගික ධ‍්‍රැවීකරණය හැකි තරම් වැඩි කොට තමන්ගේ බලය තහවුරු කර ගැනීම ය. එහෙත්, කළු ජූනිය ගැන සාමූහිකව පසුතැවිලි වන, කළු ජූලිය සමරන මහජනතාවට ඇත්තේ බලය ගැන ආසාවක් නොවේ. වාර්ගික වෙනස්කම් සහිත තත්ත්වය පිළිගෙන, එක ම රටක්, ජාතියක් ලෙස සියලූ දෙනාට ම සම අයිතිවාසිකම්, සම තැන සහිත ව සංහිඳියාවෙන් ජීවත් වන එකම මිනිස් කැලක් ඇති කර ගැනීමේ බලාපොරොත්තුව යි.

කළු ජූනියක් අවසානයේ, කළු ජූලියක මතක මැද අප අධිෂ්ඨාන කර ගත යුත්තේ ඒ යහපත් අරමුණ වෙනුවෙන් අප හැමට ඇති කාර්යභාරය නොඅඩු ව ඉටු කරන බවට ය.