අඹ යහළුවන් සනිටුහන් කළ එල්ලේ පුරාවෘත්තය – තොටළඟ අරුණ

ඡායා: රුක්මාල් සිල්වා

අප සිටියේ තො ට ළ ඟ තොරණ ගහන තැන කබානා එක යටය. කැලණි ගඟ දෙසින් සුළඟ හමා එයි. කොට්ටං ගස යට කොහොමටත් හෙවණය. නගරයේ කලබලය මෙතැන නැත. චන්ද්‍රසේන පෙරේරා අඩ සියවසකටත් වැඩි අතීතයට යෑමට සූදානම්ය. හෙතෙම තොටළඟින් බිහිවූ ප‍්‍රකට එල්ලේ ක‍්‍රීඩකයෙකි. ලංකාවේ සුප‍්‍රසිද්ධ එල්ලේ කණ්ඩායමක් වූ තොටළඟ අරුණ පිලේ නායකත්වය (72-82) දැරුවේ චන්ද්‍රසේනය.

‘‘මම තමයි ඒ කාලෙ හිටපු හොඳම ධාවකයා. හොඳ එල්ලේ ක‍්‍රීඩකයෙක් වෙන්න හොඳ හිටර් කෙනෙක් වෙන්න ඕනේ, ධාවකයෙක් වෙන්න ඕනේ. හොඳ පන්දු රකින්නෙක් වෙන්නත් ඕන. එල්ලේ ප‍්‍රසිද්ධ වුණේ තොට ළඟ අරුණ නිසයි. අපි ගහන හැම මැච් එකක්ම වගේ දිනපු ටීම් එකක්.’’

අශෝක වීදුරුවලට කබානා එක යටටම ප්ලේන්ටි එයි. කහට රසයෙන් මෙන් ම සීනි පදමෙන්ද අනූනය. මැච් ගහන කාලෙටත් ඒ වගේය. තොටළඟ අරුණට සපෝටර්ලා වැහි වැහැලාය. තොටළඟ එල්ලේ ක‍්‍රීඩාවේ සුවිශේෂී ධාවකයා සිටියේ දුරාතීතයේය. මම ඔහු වෙතට තව මඳක් ළංවීමි.

අරුණ

ජෝන් පෙරේරා සහ සිරිපාල පින්තු අඹ යහළුවෝය. අරුණ ග‍්‍රයින්ඩින් මිල්ස් නමින් යුත් ඇඹරුම්හලක් ඔවුන් දෙදෙනා සතුවිය. ඔවුහු එල්ලේ ක‍්‍රීඩාවට පෙම් බැන්දෝය. එම එල්ලේ පේ‍්‍රමය තොටළඟට මහරු එල්ලයක් ලබා දුන්නේය. ඒ 1959 වසරේ සිටය. එල්ලේ ටීම් එක හදලා ග‍්‍රයින්ඩින් එකේ නම තමයි ඒගොල්ලො ඒකට දැම්මේ. ඊට පස්සේ ළඟ ගම්වල හිටපු අතිදක්ෂ එල්ලේ ක‍්‍රීඩකයෝ මුදල් ගෙවලා ගත්තා. මගේ අයියා පියසේන පෙරේරා තමයි අරුණ පිලේ ආරම්භක නායකයා. පී.ඞී. රූබන්, පී.ඞී. රොබට්, (වනවාසල), සැම්සන් සිල්වා (බ්ලූමැන්ඩල්) කුසලදාස, නෙල්සන් කරුණාරත්න (මැද කොළඹ) වගේ දක්ෂ ක‍්‍රීඩකයෝ මුල් කාලේ අරුණට සෙල්ලම් කළා. මම උපන්නෙ 49දී. 67 වෙද්දී මට 18යි. හොඳට සෙල්ලම් කරන්න පුළුවන්. ඒත් ටීම් එකේ ප්ලේස් එකක් නැහැ. ඒ තරම් දක්ෂයෝ අරුණට සෙල්ලම් කළේ. පන්දමට කණ්ඩායමට යන්න කාටවත් බැහැ.

කප් එක අලියා පිටේ

චන්ද්‍රසේන අනතුරුව කීවේ අපූරු කතාවකි. 1967 වර්ෂයේ දවසක දිවයින පුරා එල්ලේ කණ්ඩායම් 60ක් සහභාගි වූ තරගාවලියක් කඳාන මැසනද් පිටියේදී පැවැත්වුණි. කණ්ඩායම් 58ක් පරදවා අවසාන තරගයට තේරී පත්වූයේ තොටළඟ අරුණ සහ අලවතුපිටිය පරාක‍්‍රම යන දෙපිළය. අරුණ තම ක‍්‍රීඩකයන් පස්දෙනකු ඉතිරිව සිටියදී තරගය දිනුවේය.

‘අපි දිනපු කප්එක මැසනද් පිටියේ ඉඳලා කඳාන දක්වා ගෙනාවේ අලියා පිටේ. අඩි 3 1/2ක් උස බණ්ඩිය වගේ කුසලානෙ මට දැනුත් මැවිලා පේනවා. කඳානට එනකොටත් මහා ජය ඝෝෂාවක් නැගුණා. ඊට පස්සේ අපි තොටළඟට ආවා කියමුකො. අපේ කණ්ඩායමට පුදුම පිළිගැනීමක් එදා ඉඳලා ලැබුණේ. එල්ලේ ක‍්‍රීඩකයෝ ගමේ කාගේත් දරුවො බවට පත්වුණා. ඇත්තටම ඒ ආදරය අදත් වෙනස් වෙලා නැහැ.’

ආදරය වෙනස් නොවුණේ අරුණ වෙනස් නොවුණු නිසාය. පරාක‍්‍රම පරදා ලද ජයග‍්‍රහණයෙන් පසු අරුණ යන යන තැන දිනුවේය. සුගතදාස පිටියේ සිට පී.ඞී. රූබන්ලා, රොබට්ලා ගහන පාරවල් නැවතුණේ මහපාරේය. විදේශිකයකුගේ ශරීර පෙනුමින් යුතුව වේගවත් ක‍්‍රීඩා විලාසයක් පෙන්නුම් කළ ඉන්ද්‍රපාල ඩයස් නමැති මුල්කාලීන ක‍්‍රීඩකයා ක‍්‍රීඩා කරන විට තොටළඟ අරුණ ක‍්‍රීඩා සමාජයට විදේශීය ක‍්‍රීඩකයනුත් ක‍්‍රීඩා කරනවායැ’යි ඇතැම්හු සිතූහ. සිවලෝගනාදන්, ලක්ෂ්මන් එදිරිසිංහ ඇතුළු තවත් එල්ලේ ශූරයෝ අරුණෙහි අරුණැල්ල නොනිවා තැබූහ. එච්.ඞී. පත්මසිරි නමැති ක‍්‍රීඩකයා දීපා ක‍්‍රීඩා සමාජය සමග පැවති එක් තරගයකදී ලකුණු 20ක් ලබාගත්තේය. යක්කඩුවේ වීර ගාමිණී, උදම්මිට ගාමිණී, මැදකොළඹ ශ‍්‍රී විජය, ආදී සෑම ප‍්‍රධාන එල්ලේ කණ්ඩායමක්ම පරාජය කරමින් ජයකෙහෙළි නංවන්නට සමත් වූ තොටළඟ අරුණ ක‍්‍රීඩකයෝ තොටළඟ අලූත් වර්ණයකින් පින්තාරු කළහ.

සුනිල් පෙරේරා

චන්ද්‍රසේන පෙරේ රාගේ බාල සොහොයුරකු වන සුනිල් පෙරේරා එතෙක් මෙතෙක් තොටළඟ අරුණ පිල බිහිකළ එල්ලේ දැවැන්තයාය. හෙතෙම අතිදක්ෂ ප‍්‍රහාරකයකු, ධාවකයකු මෙන්ම පන්දු රකින්නනෙක්ද වූයේය. තමන් සහභාගි වූ තරගාවලිවලදී වසර දහසයක්ම ශූරතම ක‍්‍රීඩකයා බවට පත්වූ සුනිල් පෙරේරා පිත්ත අතට ගැනීමේදීත් පන්දුව අතට ගැනීමේදීත් ප‍්‍රතිවාදී ක‍්‍රීඩකයෝ සැලී යති. හෙතෙම ඒ සා වේගවත්ය. ප‍්‍රහාරකයකු ලෙස පරිසමාප්තය.

‘අපේ සුනිල් මල්ලි දක්ෂයි, අවංකයි. දවසක් මැච් එකකදි අපේ ප‍්‍රතිවාදී පිලේ කෙනෙක් ගහපු බෝලයක් උඩින්ම ගිහින් ළඳු කැලෑවකට වැටුණා. එතන ටිකක් ගොහොරුව. බෝලෙ වැටෙනකොටම වගේ සුනිල් මල්ලියි තව ක‍්‍රීඩකයෙකුයි ලන්ද පැත්තට දිව්වා. මල්ලි එක්ක ගිය ක‍්‍රීඩකයා බෝලෙ බිමින් අහුලගෙන ඇල්ලූවා ඇල්ලූවා කියලා බෝලෙත් අරන් පිට්ටනියට දුවගෙන ආවා. සුනිල් මල්ලි කිව්වා ඇල්ලූවෙ නැහැ බිම තිබිලයි බෝලෙ ඇහින්දෙ කියලා. ඒත් එයා බොහොම ඉක්මනින්ම අපි සේරගෙන්ම සමුගත්තා.’

සරත් වන්නිආරච්චි තොටළඟ අරුණ කණ්ඩායමට (82-94) නායකත්වය දුන් එල්ලේ තාක්ෂණය මැනවින් දත් විශිෂ්ට එල්ලේ ශූරයෙකි. හෙතෙම එල්ලේ ජාතික ශූරයා බවට ද පත්විය. චන්ද්‍රසේන පෙරේරාගෙන් පසු නායකත්වයට පත්වූ සරත් වර්තමානයේදීත් එල්ලේ පුහුණුකරුවකු ලෙස රට පුරා පුහුණු කඳවුරුවලට සහභාගි වෙයි. 81 වසරේදී තොටළඟ අරුණ පිල ජාතික ශූරතා අවසාන මහා තරගයෙන් පරාජය වෙද්දී කණ්ඩායමෙහි උප නායකත්වයෙහි සිටි සරත් තරගාවලියේ ශූරයා බවට පත්විය. 82දී සරත් අරුණ කණ්ඩායමට නායකත්වය දෙමින් ජාතික ශූරතාව තොට ළඟට දිනා දුන්නේ පෑලියගොඩ කුමුදු පරදවමිනි. සුමිත් රත්නසිරි විනෝදහේවාත් අරුණින් බිහිවී ජාතික ශූරයා විය.

එසේ බලන විට චිලියේ, කොළොම්බියාවේ හෝ ආර්ජන්ටීනාවේ බඳු පුරාවෘත්තයක් තොටළඟටත් තිබේ. එය නම් පාපන්දුව වෙනුවට එල්ලේ පිති අතට ගත් දරුවන් පැටිවියේ සිටම දොර දොර එල්ලේ පන්දු කෙළීමය. සුනිල් පෙරේරා, සරත් වන්නිආරච්චි, සුමිත් රත්නසිරි විනෝදහේවා මෙන්ම ඉන්පසු අවධියක දීකිරිගේ සොහොයුරන්, රුවන් උක්වත්ත, ප‍්‍රදීප් අරන්දර, චාමර සේරසිංහ මහින්ද ලක්ෂ්මන් මෙන්ම අරුණ හර්ෂණලා බිහිවන්නේත් පැටිවියේ සිටම දුෂ්කර බිමක පන්දු කෙළින ඒ ලතින් ඇමරිකානු පුරාවෘත්තයට අනුවමය. මේ ගමන එයිනුත් නොනවතියි. සරත් වන්නිආරච්චි කීවේ පුරාවෘත්තයෙහි තවත් දිගුවක් ඇති බවය.

‘බිරිඳ සමග එක්වෙන්නේත් එල්ලේ ක‍්‍රීඩාවට ළමයි හදන අදහසින්. තොටළඟ හුඟක් එල්ලේ ක‍්‍රීඩකයෝ ළමයින්ට දාලා තියෙන්නේ අරුණ කියන නම. මටත් අරුණ කියලා පුතෙක් ඉන්නවා. අපේ ඇෙඟ් ලේ දුවන්නෙත් අරුණ එක්ක.’

පුහුණුව

මුල්ම කාලයේ තොටළඟ අරුණ ක‍්‍රීඩකයෝ තොටළඟ රා කඬේ පිට්ටනියේ එල්ලේ ක‍්‍රීඩාව පුරුදු පුහුණු වූහ. එම පිටියෙහි දැවැන්ත ඉදිකිරීමක් සිදුවුණු පසු ඔවුන්ට ක‍්‍රීඩා පිටිය අහිමි විය. එහෙත් කොතැන හෝ බරපතළ පුහුණුවකට යොමුවීම ක‍්‍රීඩාව වෙනුවෙන් වූ ඔවුන්ගේ අපේක්ෂාවය. චන්ද්‍රසේන කීවේ පුහුණුවට පෙර සෑම ක‍්‍රීඩකයෙකුම මීටර් 200ක් එහා මෙහා හැල්මේ දුවවන බවය. අනතුරුව සිදුවන්නේ පන්දු රැුකීම පුහුණුවය. පිතිකරණය ඊටත් පසුවය.

‘මැච් එකකට කලින් දවසේ මළගෙදරකවත් නිදි මරන්න දෙන්නේ නැහැ. මැච් එකට කලින් දවසෙ අපේ කෙනෙක් පික්චර් එකක් බලන්න ගියා කියලා මට ආරංචි වුණා. ඒ මම කැප්ටන් කරන කාලේ. මම ගියා ජෙසීමා පික්චර් හෝල් එකට. මෑන් පෝලිමේ ඉන්නවා. බෙල්ලෙන් අල්ලලා හොඳ කුණුහරුප දෙකකුත් කියලයි ආපහු එක්කගෙන ආවේ. නිදි මැරුවොත් ඉර එළියේදි උඩපන්දු රකින්න අමාරුයි. අපි එහෙම කැපවීමෙන් කරපු ක‍්‍රීඩාවක් මේක.’

ධාවනය

පන්දුවට පහරක් එල්ල කර රවුමක් හෙවත් ලකුණක් සම්පූර්ණ කිරීමට ක‍්‍රීඩකයකු අඩි 220ක පරිධියක් දිගේ දිව යා යුතුය. එනම් අඩි 55කට එක් කට්ටියකි. නැතහොත් අල්ලියකි. මේ වනවිට එම වෘත්තාකාර ගමනේ දුර මීටර් 78කි. මෙම වෘත්තාකාර මගෙහි දිවීම වෙනම පුහුණු කළයුතු වැඩකි. වේගයෙන් වෘත්තයක දිවයන විට ශරීරයට ලැබෙන්නේ කේන්ද්‍රඅපසාරි බලයකි. එනම් වෘත්තාකාර ගමන වේගය සමග එළියට විසිවීමේ සම්භාවිතාව වැඩිය. පුහුණුව උපයෝගීවන්නේ වේගය කේන්ද්‍රාභිසාරි කර ගැනීමටය. චන්ද්‍රසේන පෙරේරා මෙම දිවීමෙහි විශිෂ්ටයකු වන අතර රත්තරං දෙකකුල් සහිතවූවකු ලෙසද එකල ක‍්‍රීඩකයන් අතර ඔහු ජනපි‍්‍රය විය. චන්ද්‍රසේන කීවේ ටී. පියසේන නමැති ක‍්‍රීඩකයාද එකල ධාවනයේදී ඇතැම්විට තමන්ටත් වඩා දක්ෂතා දැක්වූ බවය. ලකුණු රැුස්කිරීමේ හා නොදැවී සිටීමේ සාධකය වේගයෙන් කට්ටි අතර දිවීමයි.

පිති හා බෝල

එල්ලේ පිත්තක දිග අඩි 3 හෝ 3 1/2ක් වෙයි. බර ග‍්‍රෑම් 500කි. මෝරපු උණ ගසකින් සුදුසු අග පෙදෙසක් කපාගෙන සති දෙකක පමණ කාලයක් මඩෙහි යටකර තබයි. අනතුරුව සූරා මඳ පවනේ වේලා ගනී. ඉන්පසු පිත්තෙහි පොල්තෙල් තවරා පිදුරු ඇවිලෙන මඳ ගින්නේ තවාගත යුතුය. බැමි දැමීම සිදු කරන්නේ ඉන් අනතුරුවය. තංගුස් වැනි නූලක් ගෙන පිත්තෙහි කෙළවරෙහි බෝලය වදින තැන්වල නූල ඝනව ඔතාගත යුතුය. අරුණ පිලේ වමත්කාරයකු වන පියල් පෙරේරා මෙම පිති නිෂ්පාදනයෙහි ප‍්‍රමුඛයෙකි. එල්ලේ ක‍්‍රීඩාව සඳහා භාවිත වන්නේ විල්සන් හෝ ඩන්ලොප් පන්දුය. මුල්ම කාලයේ ටෙනිස් බෝලයක බූල් පුච්චා ක‍්‍රීඩාවට යොදාගත් අතර වර්තමානයේදී ග‍්‍රයින්ඩර යකින් අල්ලා නූල් කපා වැලි කොළයකින් මැදගැනීමෙන් නිසි ප‍්‍රමිතියට ගැළපෙන පන්දු සකසා ගනියි. බෝල තාක්ෂණය මැනවින් දත් අරුණ සාමාජිකයා වූයේ එච්.ඞී. පත්මසිරිය.

මුදල් ඉස්මත්තට

අපි ත‍්‍රීවිලරයක නැගී තොටළඟ සිට කළුපාලම දෙසට ගමන් කරමින් සිටියෙමු. ඒ වනවිටත් නැවතී නොතිබුණු අපේ කතාබහට සවන්දෙමින් සිටි රියදුරා කීවේ සල්ලි නිසා එල්ලේ ක‍්‍රීඩාවෙහි ජීවගුණය නැතිවී ගොස් මුදල්වලට ක‍්‍රීඩා කරන තත්ත්වයක් උදාවූ බවය. 1981දී සරත් වන්නිආරච්චි ජාතික ශූරතා තරග මාලාවේදී දක්ෂතම ක‍්‍රීඩකයා බවට පත්වූ විට කුසලානයට අමතරව ඔහුට ලැබුණේ වීදුරු සෙට් එකකි. පසුකලෙක දක්ෂතම ක‍්‍රීඩකයාට ත්‍යාග වශයෙන් පිරිනැමුණේ මෝටර් සයිකලයකි. ජාතික ශූරතාවේ ත්‍යාග මුදල රු.ලක්ෂ 2 1/2කි. අනෙක් සාමාන්‍ය තරග මාලාවල ජයග‍්‍රහණය කරන කණ්ඩායමට රු. 50,000ක් ලක්ෂයක් වැනි මුදල් ත්‍යාග ලැබේ. එල්ලේ පමණක් මුදල්වලින් බැහැරව කළ නොහැකිය. එසේ කළ හැකි කාලයක් තිබුණි. තොටළඟ අරුණ පිල අලියා පිටින් කුසලානය රැුගෙන එන දවසේදිවත් මුදල් ත්‍යාග නොලැබුණි. ඔවුන් ඇතා පිට කුසලානය රැුගෙන ආවේත් ගමම ප‍්‍රමෝදයට පත්වූයේත් ක‍්‍රීඩාවේ නාමයෙනි. මුදල් අපේක්ෂාවක් තිබුණේම නැත. පසුකාලීනව මේ දක්ෂ ක‍්‍රීඩකයන් සියලූදෙනාටම පාහේ පෙට්‍රෝලියම්, සිලෝන් ඔක්සිජන්, සීටීබී, වරාය, නගර සභාව වැනි ආයතනවල රැුකියා ලැබිණි.

එල්ලේ දුන් එල්ලය

‘අපේ ගම ප‍්‍රසිද්ධ වුණේ අරුණයි- තොරණයි නිසා. තොටළඟ කියන්නේ රත්තරන් පොළොවක්. මොනවා ලැබුණත් අපි මේක දාලා යන්නෙ නැහැ. මේ ගමේ උපන් ඕනෑම කෙනෙකුට රස්සාවක් නැත්නම් එළවළු කෑල්ලක් දෙකක් පොළේ විකුණලා ජීවිතේ ගෙවාගන්න පුළුවන්.’

අරුණට දැන් අවුරුදු 55කි. අරුණ වියපත් වී ඇත්නම් චන්ද්‍රසේන වැන්නවුනුත් වියපත් විය යුතුය. එහෙත් එවැන්නක් පෙනෙන්නට නැත. අපි එල්ලේ ගැන කතා කරන්නට ආ බව කී සැණින් 65 වියැති චන්ද්‍රසේන කඩිසර වූයේය. අතීත විශිෂ්ට ධාවකයා ඔහු තුළින් පණගසා නැගිට්ටේය. රට පතළ එල්ලේ ශූරයකු වූ සරත් වන්නිආරච්චිත් අප එල්ලේ ගැන ඇසූ ගමන් චන්ද්‍රසේන තරම්ම උණුසුම් වූයේය. ඒ අන් කිසිවක් නොව තොටළඟ එල්ලේ ක‍්‍රීඩාවේ අනන්‍යතාව ය.