..නමුත් ඔවුන්ට කටවල් නැහැ

1983 කළු ජූලියේ පාඩම් සමාජයට නැවත නැවතත් සිහිගන්වමින් වසරකට වරක් ජූලි 23 වැනිදායින් ඇරඹී පැවැත්වෙන සිය දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය මෙවරත්, ජූලි 23දා සිට ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වීමට චන්ද්‍රගුප්ත තේනුවර සූදානම් වෙයි. මේ ඒ වෙනුවෙනි.

කළු ජූලියේ අමිහිරි මතකය වෙනුවෙන් ඔබ වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙනවා. මොකක්ද එහි මෙවර තේමාව?

මෙවර ප‍්‍රදර්ශනය නම් කරලා තියෙන්නේ මොනටනි ඵධභධඔධභශ කියලා. සිංහලෙන් ‘ඒකාකාරය’ කියන්න පුළුවන්. පහුගිය වසර ගණනාව තිස්සේ රටේ තියෙන විපරිණාමයන් දිහා බැලූවාම අපට පෙනෙනවා අපේ ජීවිත ශීඝ‍්‍රයෙන් ඒකාකාර වෙනවා. රටේ පැවැත්මත් ඒකාකාර වෙනවා. සියලූම දේ ඒක-ආකාර විදියකට තමයි යන්නේ.

පසුගිය වසරේ ඔබේ කෘති තිබුණේ කලාගාරයේ බිම මිස බිත්තිවල නෙවෙයි. මෙවර ප‍්‍රදර්ශනයට මොනවාද ඇතුළුවෙන නිර්මාණ?

මෙවර ස්ථාපන තුනක් තියෙනවා. චිත‍්‍රමය ස්ථාපනයක් හා මූර්තිමය ස්ථාපන දෙකක්.

1983 කළු ජූලියේ සිට 2014 කළු ජූනිය දක්වා රටේ සිදුවන දේවල ඒකාකාරයක් පෙනෙන අතරේ මිනිස්සු අදහස් පළනොකිරීමත්, නිහඬව සිටීමත් කැපීපෙනෙනවා. අදහසක් ප‍්‍රකාශ නොකිරීමේ තත්ත්වයට සමාජය වුවමනාවෙන්ම පත්කරලාත් තියෙනවා. ඒ පත්කිරීම ස්වකැමැත්තෙන්ම භාරගෙන ඊටත් වඩා හොඳින් ඊට අනුගත වීමේ ස්වභාවයකුත් තියෙනවා. එනිසා දිව-ලොප් ජාතියක් ඇතිවෙලා තියෙනවා. අදහස් ප‍්‍රකාශ කිරීමේ ප‍්‍රධානතම අවයවය නැති මිනිසුන් බිහිවෙලා තියෙනවා. මේ සංකල්පය ඇතිව එක මූර්තියක් ඉදිවෙන්නේ බදාමයෙන් තොර කුලූනු ස්වභාවයේ ගඩොල් ව්‍යුහ මත. සංවර්ධනය සඳහා ගෙනා ඒ වාගේ ගඩොල් අට්ටි ගොඩගසා තියෙන හැටි කොළඹ ඇවිදිනකොට අපට හමුවෙනවා. අද මිනිසුන්ට තියෙන්නේත් එවැනි ගඩොල් ආකාරයට අට්ටි ගසා සකස් කරන ලද කඳක්. ඒ ගඩොල් ආකාරයේ කුලූනු මත හිස් තියෙනවා. ඒවායේ ඇස් කන්, නාසා තියෙනවා. නමුත් ඔවුන්ට කටවල් නැහැ.

මේ සංවර්ධන ව්‍යාපෘති, නගර අලංකරණය පෙන්නුම් කරන්නේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන්, විදේශිකයන් අද්දාගැනීමේ වුවමනාව වෙනුවෙන් කරනවාය කියලා. නමුත් ඒවායේ වර්ණ රටාව තුළත් කිසියම් ආකාරයක ඒකාකාරයක් දක්නට ලැබෙනවා. ඒ ඒකාකාරයම අපව කිසියම් මානසික නිද්‍රාගතවීමකට හෝ මෝහනයවීමකට කැඳවා තිබෙනවා. මේ මෝහනය හරහා නගරයේ පැවැත්ම සඳහා මිනිසුන් යාන්ත‍්‍රිකව ජීවත්විය යුතුයැ’යි කියන අදහසක් සමාජගත කරලා තියෙනවා. නගරයෙන් ආරම්භ කළ එක දිසාවකට ගමන්කිරීමේ ක‍්‍රමවේදය ක‍්‍රම ක‍්‍රමයෙන් හැම තැනටම ආදේශ කරමින් තිබෙනවා. මිනිස් පැවැත්මත් ඒ අනුව ඒකාකාර කොට තිබෙනවා.

විවිධත්වය තිබුණු සමාජයක්, වෙනස්කම් ගරු කළ සමාජයක් එක පැත්තකටම යොමු කළාට පස්සේ බැටලූ රංචුවක් වගේ ඉස්සරහ අය යන පැත්තටම ගමන්කරනවා. මේ තත්ත්වය නිසා නැවත ඒකාකාරය හා ඒකාධිපතිත්වය පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙනවා.

මෙතන තියෙන චිත‍්‍රත් පුරුදු ආකාරයේ ඒවා නෙවෙයි. රාමුව තියෙනවා. චිත‍්‍රය තුළ තියෙන්නේ තනි වර්ණ පමණයි. නමුත් ඉතාම සංකීර්ණ ක‍්‍රියාවලියක් හරහායි ඒ තනි වර්ණය චිත‍්‍රයට එන්නේ. කිසියම් ආකාරයක අවමවාදී දෘෂ්ටියකින් තමා ඒ චිත‍්‍ර නිමවා තිබෙන්නේ. එය චිත‍්‍රමය ප‍්‍රවේශයෙන් අවමවාදීයි. දෘෂ්ටිය පැත්තෙන් සංකල්පනාත්මකයි. සාකච්ඡුා වන කරුණ යථාර්ථවාදියි.

අනෙක් මූර්තිය පහුගිය ‘2014 ජූනි’ සිදුවීම්වලින් පස්සේ පැනනැගුුණු අදහසක්. ඒ අදහසේ බීජයන් මීට කලිනුත් අපි අත්දැකලා තියෙනවා. හිටපු අගවිනිසුරුවරිය ධුරයෙන් පහකිරීමත් එක්ක උද්ඝෝෂණ සඳහා අපි විශාල පිරිසක් අලූත්කඬේ උසාවිය ඉදිරිපිටට ගියා. අපි දැක්කා කුලූ පොලූ සහිත නිල පොලිස් හමුදාව ඉන්නවා ආරක්‍ෂාවට. හැබැයි ඒ අපව ආරක්‍ෂා කරන්න නෙවෙයි, ඒ පිටිපස්සේ හිටිය කඩු පොලූ ගල් සහිත මැර හමුදාව ආරක්‍ෂා කරන්නයි. මේ තත්ත්වය ඉතාම මෑතකදී කළු ජූනියේදීත් අපි දැක්කා. මේ හරහා හිතට ආ රූපකය තමයි එම මූර්තියට හේතුව වෙන්නේ. ඒත් එය ක‍්‍රියාදාමයක්. මිනිස්සු රජයට එරෙහිව අදහස් පළකරන්න යනවා නම්, පළමුව පොලිසිය පැමිණෙනවා. ඔවුන්ට පිටිපස්සෙන් තවත් කණ්ඩායම් එවනු බලනවා. මෙන්න මේ විකෘතිය ඉදිරිපත් කිරීමයි මූර්තියෙන් වෙන්නේ.

ඔබ චිත‍්‍රකලාවේ සෞන්දර්ය ප‍්‍රවේශය ගැන බොහෝ දුරට අධ්‍යයනය කළ, ඒ ඔස්සේ බොහෝදුරක් ගිය කෙනෙක්. ඒ ගැන ලලිත කලායතනයේ උගන්වන ගුරුවරයෙක්. ඔබ කීවා මේ කලාකෘතිවල චිත‍්‍රකලාමය ප‍්‍රවේශය අවමය කියලා. සමාජයක චිත‍්‍රකලාමය ප‍්‍රවේශය අවම වන නිර්මාණ බිහිවන්න හේතු මොනවාද?

එකක් තමයි අප ජීවත්වන්නේ 19වැනි සියවසේ චිත‍්‍ර ශිල්පියා නොසිටි අවධියක. මේ මොහොත රූපගත කිරීමට ඉතාම ප‍්‍රබල මෙවලම් අප සතුව තිබෙනවා. මීට පෙර සිටි සිත්තරුන්ට යථාව නිරූපණය කිරීම හරහා කළ හැකි ප‍්‍රබලත්වයේ ප‍්‍රකාශනයන් අද සමහර මෙවලම් විසින් අත්පත්කරගෙන තියෙනවා. ඒත් යථාවට ඔබ්බෙන් තියෙන සංකල්පය මතුකරගැනීමේ ක‍්‍රමවේදයකට තමයි, විශේෂයෙන් බැරල්වාදී ප‍්‍රවේශයන් එක්ක මම යොමුවෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම අපි ජීවත්වන්නේ පශ්චාත් බැරල්වාදයේම දිගුවක. මා වටා තියෙන සමාජය දිහා බැලූවාම හුදෙක්ම සුන්දර, ප‍්‍රබල මානව රූප සහිත ප‍්‍රදර්ශනයකින් කිවහැකි කරුණුවලට ඔබ්බෙන් ගොස් ඊට වඩා සිතන්න පුළුවන් මට්ටමකට ගෙනියන්න හැකියාවක් තියෙන කෘතියක් නිර්මාණය කිරීම තමයි මා කරන්නේ. ඒ කෘතිය කතා කළ හැකි කෘතියක්. ඒ රූපය දුටු කෙනකුට යළිත් තවදුරටත් එය ප‍්‍රබලව ප‍්‍රකාශ කරන්නට පුළුවන්. එමගින් බලන්නාද එය ගෙනයන්නකු බවට පත්වෙනවා.

නමුත්, ඒ චිත‍්‍රමය හැකියාවෙන්, පුහුණුවෙන් ලැබූ ශික්‍ෂණයම තමයි මේ සංකල්පීය ශික්‍ෂණයටත් ඉතාම උදව් කරන්නේ. ප‍්‍රදර්ශනයට පෙර අවුරුද්දක කාලයක් තිස්සේ සෑම මොහොතකම, සෑම දිනකම ඉදිරි ප‍්‍රදර්ශනය සඳහා අවදියෙන් වටාපිටාව නිරීක්‍ෂණය කරමින්, පරිවර්තනයන් මොනවාද කියා බලමින් සහ යම්කිසි අදහසක් ඇතිව තමයි මම ජීවත්වෙන්නේ. ඒ අදහස්වලට ගොනුවීමේ ඉවසීම ලැබෙන්නේත් අර ශික්‍ෂණයෙන්ම තමයි. ආදි සිත්තරුන් විසින්, විශේෂයෙන් පුනර්ජීවන සමයේ සිට 19වැනි සියවස දක්වාම ගෙන ආ ශිල්පීය හැකියාවන්, මූර්තිමය ප‍්‍රවේශයන් මා කෙළින්ම තාම පාවිච්චි කරනවා. යම් වෙනසකට තියෙන්නේ සංකල්පමය අදහසකට ගැළපෙන රූපයක් සොයායෑමට උත්සාහ කිරීමයි. එනිසා මෙවර චිත‍්‍ර වියුක්ත නැහැ. ඒවා ඉතාම යථාර්ථවාදී චිත‍්‍ර. මිනිසුන්ගේ ජීවිතය ඒ යථාවෙන් වියුක්ත වෙලා මෝහනයට පත්වෙලායි තිබෙන්නේ. ඒ යථාවම වෙන ස්වරූපයකින් සංකල්පගතව ඉදිරිපත් කිරීමෙන් ජීවිතයට යළි කැඳවන්නට පුළුවන්. ඒ ප‍්‍රමෝදය, ආනන්දය හරහා තමයි අපට පුළුවන් වන්නේ, හුදෙක්ම මෝහනයට පත්වූ රසිකයකුට වඩා නිශ්චිත පැහැදිලි සමාජ වගකීමක් සහිත රසිකයන් බිහිකරන්න.

සමාජය ගැන අදහස් ප‍්‍රකාශකරලා පැත්කට වෙලා ඉන්නේ නැතිව එය වෙනස්කර ගැනීම සඳහා අන් අය පොළඹවමින් හා තමන්ම ඉදිරියට විත් නිරන්තරයෙන් කරන අරගලයක් ඔබෙන් දකින්න ලැබෙනවා. චිත‍්‍රශිල්පීන්ගේ මේ අරගල භූමිකාව ගැන පූර්වාදර්ශ තිබෙනවාද?

මම හිතනවා, හොඳය කියන චිත‍්‍රශිල්පීන්… ඩාවින්චි, මයිකල් ආන්ජලෝ, ගොගෑන්.. සෙසාන් වැනි අය සමාජය පිළිබඳව හෝ තමාගේ කලාව පිළිබඳව තමන් විසින්ම අදහස් කළ දේ වෙනුවෙන් නිරන්තරයෙන් ශාලිකාව තුළත් සමාජය තුළත් ගැටුණු අරගල කළ ජීවිත. මම කැමතිත්, අනුගමනය කරන්නේත් ඒ සම්ප‍්‍රදාය. උදාහරණයකට, ඩෙලාක්‍රොවා (Delacroix)ශාලිකාවේම හිටියේ නැහැ. වටාපිටාවේ ඇවිදිනකොට ජීවිතය ගැන, සමාජය ගැන අවලෝකනය කළ, අත්විඳි දේවල් තමයි ඔහු චිත‍්‍රවලින් ප‍්‍රකාශ කරන්නේ. ප‍්‍රංශ විප්ලවයේ විප්ලවීය කලාකාරයකු වූ පසුව රජයේ ප‍්‍රකාශකයකු බවට පත්වූ ඬේවිඞ් වගේ සිත්තරෙක් ගත්තත් ඔහු පෙනීසිටි, අරගල කළ අදහස ගැනමයි චිත‍්‍ර නිර්මාණ කරන්නේත්. එවැනි කෘති ඒ මොහොතේ ජීවත්වීම වැදගත් වෙනවා. ඒ මොහොතේ ජීවත් නොවන කලාකෘතිය සමාජයට වැදගත් දෙයක් ඉටු කරයි කියලා කියන්න අමාරුයි.

චිත‍්‍රයේ සාකච්ඡුා කරන්නේ සමාජය වුණත්, සමාජයේ කිසිම වැඩකට සහභාගි නොවී බොරුවට සමාජය විවේචනය කරන චිත‍්‍රශිල්පියෙක් නොවෙයි මම. මට ඒ සම්බන්ධතාව වැදගත්. ඒ නිසා තමයි මගේ අදහස් තීව‍්‍ර වෙන්නේ. සමහර විට මගේ චිත‍්‍රයක් හෝ මූර්තියක් ඉස්සරහට එන රසිකයකුට මා කියන අදහසත්, මගේ පැවැත්මත් දෙකක් නොවෙයි එකක් බවට තේරිලා එය ඔහුට ප‍්‍රබලව දැනෙනවා. පෞද්ගලිකව මගේ ජීවිතයත්, මගේ චිත‍්‍රත් දෙකම එකක් බවට පත්වීමෙන් තව මානයකට ගමන්කරන්න පුළුවන් මැදිහත්කාරක වැඩක් කරන ශිල්පියෙක් හැටියට මට එයින් වෙන්වෙලා ඉන්නට බැහැ. විප්ලවීය කලාකරුවන් කළේ, ඔවුන් සමාජය තුළ කරන අරගලයේ කොටසක් ලෙස ඇඳීමයි. විශේෂයෙන්ම 1917 විප්ලවයෙන් පස්සේ මලෙවිච්ලා වගේ අය එකල සමාජයට තේරෙන්නේ නැතැ’යි කියන ආකෘතිමය වෙනස්කම් කරමින් චිත‍්‍රය කළත්, එසේ කළේ ඒ සමාජ ක‍්‍රියාදාමයේ ඉන්න ගමන්. පැරණි ලෝකයෙන් අලූත් ලෝකයට මිනිසුන් ගෙනයෑමේ භාවිතාවේ වෙනස් කිරීමට තමයි ඔවුන්ගේ ආකෘතිමය වෙනස කළේ. නමුත් ඔවුන් මිනිසුන් සමග ඒ ජීවිතයම තමයි ගතකළේ. මිනිසුන් විඳින දුකම තමයි ඔවුන් වින්දේ. ඒ මොහොතේ පෙනීී නොසිටියානම් මා හිතනවා එතැන චිත‍්‍රශිල්පියෙක් නොහිටියා නම් හොඳයි කියලා.

චිත‍්‍රශිල්පියා සහ අනුග‍්‍රාහකයා නැතිනම් එකතුකරන්නා අතර සම්බන්ධයත් වැදගත්. විකිණෙන චිත‍්‍ර නිසා තමයි ශිල්පියා පවතින්නේ. නමුත් ඔබේ මේ කලාකෘතිවලට වෙළෙඳපොළක් නැහැ. එතකොට කලාකරුවා පවතින්නේ කොහොමද?

ඒක හින්දා තමයි වෙන රස්සාවක් කරන්න වෙලා තියෙන්නේ. මෙබඳු සංවාදශීලී විවාදාත්මක, කලාත්මකද නොවන ආදි වශයෙන් කිවහැකි ප‍්‍රදර්ශන කිරීමේදී නිරන්තර අභියෝගයක් තිබෙනවා, මේවා කාගේ හරි එකතුවකට ගනීවිද කියලා. නමුත් මේ වාගේ දේශපාලන මානයන්ගෙන් වැඩකරනකොට ඒ පැවැත්ම ගැන නොසලකා තමයි වැඩකරන්න වෙන්නේ. රසිකයන් බැලීමෙන් දක්වන අනුග‍්‍රහය තමයි ඊළඟ ප‍්‍රදර්ශනයක් කරන්න ජවය සපයන්නේ. මුදලට ගතනොහැකි මිලක් එහි තියෙනවා. ඊළඟ අවුරුද්දේත් යම් අදහසක් කීම මගේ වගකීමක් බවට එයින් පත්වෙනවා. ඒක කරන්න යන වියදම් ගැන තමන්ම බලාගන්න වෙනවා. නමුත් සස්කියා ප‍්‍රනාන්දු වගේ කෙනෙක් යෝජනා කරනවා, ඔබ මේ වැඬේ කරන්න, ඔබගේ විකිණිය හැකි චිත‍්‍රවලට මම ප‍්‍රදර්ශනයක් සූූදානම් කරන්නම් කියලා. ඒ ප‍්‍රදර්ශනයත් සස්කියා ප‍්‍රනාන්දු ගැලරියේදී මේ දිනවලම පැවැත්වෙනවා. එවැනි අවබෝධයක් මේ වැඩවලට කිසියම් ආකාරයක අනුග‍්‍රහයක්. විකිණිය හැකි චිත‍්‍ර ඇන්දා නම් හොඳයි කියන තැනට තල්ලූ කරන්නේ නැතිව මේ වෙනස දිහා බලන්න පුළුවන් සස්කියා වැනි අලූත් කලාගාර පාලිකාවක් ලැබීමත් හොඳයි.

සමකාලීන කලාකෘතිය විවාදශීලීයි. එහි අනුග‍්‍රාහකයා බවට වෙනත් රටවල රාජ්‍යයම පත්වෙනවා. ඒ අදහස් සහිත කලාකරුවා යමක් කරනවා නම්, රටේ පිළිබිඹුවට විශාල වටිනාකමක් ලැබෙන බව ඔවුන් දන්නවා. ඒ ආයෝජනය ඔවුන් කරනවා දේශපාලන මැදිහත්වීමකින් තොරව. ඕස්ටේ‍්‍රලියාවේ, එංගලන්තයේ ඒ සඳහා කලා මණ්ඩල පිහිටුවා තිබෙනවා. ඔවුන් අනුග‍්‍රහය දක්වන්නේ ඒ සමාජ වෙනස පිළිබඳ විකල්පය ඉදිරිපත් කරන කලාකරුවාටයි. පවතින සම්ප‍්‍රදාය තුළ යමින් විකුණාගැනීමේ හැකියාව තියෙන චිත‍්‍ර අඳින කලාකරුවාට විශේෂ සහායක් ඕනෑ නෑ. ඒකට ගැනුම්කරුවෝ ඉන්නවා. අභියෝගය ඉදිරිපත් කරන එක්කෙනාට තමයි සහයෝගය ලබාදෙන්න ඕනෑ. ඒ පර්යේෂණාත්මක ප‍්‍රවේශය තමයි රටක් සමාජයක් හැටියට අපේ චින්තන පරාසයන් වෙනස්කරන්න උදව්කරන්නේ. එය සෞන්දර්යාත්මක හෝ සෞන්දර්ය විරෝධී අත්දැකීමක් විය හැකියි. නමුත් චිත‍්‍රශිල්පියෙක් සෞන්දර්ය විරෝධී අත්දැකීමක් ඉදිරිපත් කළත් අවසානයේදී යළි සෞන්දර්යාත්මක අත්දැකීමක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා ඇන්ටි-ආර්ට්, ආර්ට් බවට පත්වෙනවා. ඇන්ටි-එස්තටික්, එස්තටික් බවට පත්වෙනවා. මේ අරගලය නිරන්තරයෙන් පවතින්නක්.

නව කලා ලෝකය කියන අලූත් ප‍්‍රපංචය තුළ කලාකරුවන් ඉන්නවා, කලාව හා කලාකරුවන් නිෂ්පාදනය කරන ආයතන තිබෙනවා, කලා ගනුදෙනුව සිද්ධවෙන කලාගාර- කෞතුකාගාර සහිත පද්ධතියක් තිබෙනවා, ඒ ගැන ලියැවෙන සාහිත්‍යයක් තිබෙනවා, මේවා පරිභෝජනය කරන රසිකයන් සමූහයක් ඉන්නවා. ඒකට තමයි අපි කලා ලෝකය කියන්නේ. ඒ කලා ලෝකය ලංකාවේ හුදෙ-කලා ලෝකයක් වීම තමයි ප‍්‍රශ්නය. රජය උදව් කරන්නේ පිත්තල පහන් හදන්නයි. අනුග‍්‍රහය දක්වන්නේත් වැඩවසම්වාදී විදියටයි. සංස්කෘතික අමාත්‍යාංශයේ දෘෂ්ටිය සකස් කරලා තියෙන්නේ, ‘මේ අහිංසක දුප්පත් කලාකාරයො පව්, ඔවුන්ට උදව් කළ යුතුයි’ කියන වැඩවසම් අදහසේ හැටියට.

සමහර රටවල විදේශීය ආදායමෙන් වැඩි කොටසක් ලබාදෙන්නේ සමකාලීන කලා කෞතුකාගාර. සංචාරකයෝ එන්නේ පර්යේෂණාත්මක චිත‍්‍ර බලන්න. හුදෙක් පැරණි සංස්කෘතික උරුමයන් බලන්න විතරක් නෙවෙයි. ඒ වෙනස දකින අය ලංකාවේ චිත‍්‍ර අරගෙන ගිහින් ඒ අයගේ කලා කෞතුකාගාරවල තියාගන්නවා. නමුත් ලංකාවට බැහැ ඒ අලූත් වෙනස කරන අය රඳවාගන්න. එහෙත් විසම්මුතියට ඉඩක් ලබාදීම හරහා තමයි කලාව නිරන්තරයෙන් පවතින්නේ.

83 කළු ජූලියේ අමිහිරි මතකය ගැන වාර්ෂිකව මේ ප‍්‍රදර්ශනය පැවැත්වුවත් 2014දී තව කළු ජූනියක් ඇතිවෙනවා. ඔබ, අපි කියන දෙයින් මේ සමාජය පාඩම් ඉගෙනගන්නේ නැද්ද? එහෙම නැත්නම් ඔබත් අපත් කරන දේ තේරුමක් නැද්ද?

ඒක බලය තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍ය අය විසින් මෙහෙයවනු ලබන ක‍්‍රියාදාමයක්. බුද්ධිමත් මිනිස්සු කවදාවත් ඔය ගිනිතියන වැඩවලට සහභාගිවෙන්නේ නැහැ. නිහඬව ඉන්නවා.
නමුත් මම කියන්නේ ඒ නිහඬවුණා ඇති කියලා. ඒ නිහඬවීම නිසා තමයි මේ අලූත් විනාශයන් ඇතිවෙන්නේ. සිහිබුද්ධියක් තියෙන අය විනාශය සඳහා කැඳවන්න බැහැ. ඒත් සිහිබුද්ධියක් තියෙන අය නිහඬව සිටින තැනට රටක් පත්වීම තමයි ඛේදවාචකය.