සිරිමාවෝ විදුහලට ගිය නාමල් පච වෙයි

ඉදිරි දිනවලදී පැවැත්වීමට නියමිත කාල්ටන් රගර් සෙවන්ස් තරගාවලිය පිළිබඳව කොළඹ ප‍්‍රධාන පෙළේ පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීම සඳහා පා.ම. නාමල් රාජපක්ෂ හා ගායක
ඉරාජ් වීරරත්න ජූලි 31 දින කළ ප‍්‍රචාරණ වැඩසටහනකදී කොළඹ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේදී ඊට ගුරුවරුන්ගේ හා ශිෂ්‍යාවන්ගේ විරෝධය එල්ල වී ඇතැ’යි වාර්තා වේ.

එදින රිජ්වේ ආර්යා ළමා රෝහල සමග ඒකාබද්ධව සිරිමා බණ්ඩාරනායක විදුහලේ ප‍්‍රධාන ශාලාවේ එහි ශිෂ්‍යාවන් සඳහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහනක් පැවැත්වෙමින් තිබී ඇති අතර එම වැඩසටහන අතරමගදී විදුහල්පතිනිය විසින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරායට හා නායක ඉරාජ් වීරරත්නට රගර් තරගාවලියේ ප‍්‍රචාරණ කටයුතු සඳහා ඉඩ ලබාදී තිබේ.

එහිදී ඉරාජ් වීරරත්නගීත ගායනා කිරීමක් සිදුකර ඇති අතර ඒ සඳහා තමන් සිටින ස්ථානවල සිට හා වේදිකාවට පැමිණ නර්තනය දක්වන ලෙස ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලා ඇත.

ශිෂ්‍යාවන් එම ගායනා සඳහා නර්තනයේ යෙදීම ගුරුවරුන්ගේ හා ශිෂ්‍ය නායිකාවන්ගේ විරෝධයට හේතුවී ඇති අතර එක් ශිෂ්‍ය නායිකාවක එම අශෝභන ක‍්‍රියා එම පාසලකට නොගැළපෙන බව ප‍්‍රකාශ කරමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයාට හා ඉරාජ් වීරරත්නට විරෝධය පළ කර තිබේ. ඒ සමගම විරෝධය උත්සන්නවීමෙන් ප‍්‍රචාරණ කටයුත්ත අතරමග නතර කර දමා මන්ත‍්‍රීවරයා
හා ගායකයා පිටත්ව ගොස් තිබේ. මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී ගායක ඉරාජ් වීරරත්න ප‍්‍රකාශ කළේ එම ප‍්‍රචාරණ කටයුත්තේදී කිසිදු සිද්ධියක් ඇති නොවූ බවත්, ඔහුට ගීතයක් ගායනා කරන ලෙස ඉල්ලීමක් ලැබුණු බවත් විදුහල්පතිනියගේද අවසරය ඇතිව ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය සඳහා නිර්මාණය කළ ලයන් නේෂන් ගීතය ගායනා කළ බවත්ය. තවද ස්වීට් මැණික නම්වූ ගීතයේ පද දෙකක් පමණක් ඔහු ගායනා කළ බවත් ඉතිරි පද ගායනා කරමින් නර්තනයේ යෙදුණේ ළමයින් බවත්ය.

ඔහු වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ ළමයින්ට කාල්ටන් රගර් තරගාවලියට අදාළ ටී ෂර්ට් බෙදාදීමක් සිදුකළ බවය.

මේ පිළිබඳව විමසීමට සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනිය මාලනී හේරත් මහත්මිය දුරකතනයට සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය ව්‍යර්ථ විය. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප‍්‍රකාශ කරන්නේ එම ප‍්‍රචාරණ වැඩසටහන එදින කොළඹ විශාකා විද්‍යාලයේ හා ඞී.එස්. සේනානායක විද්‍යාලයේදීද පවත්වා ඇති බවත් තනතුරු රැුකගැනීම
වෙනුවෙන් විදුහල්පතිවරුන් පාසල්වලට අදාළ නොවන මෙවැනි ප‍්‍රචාරක කටයුතු සඳහා පාසල්වල දරු දැරියන් යොදා ගැනීමට ඉඩදීම කනගාටුදායක බවත්ය.

එමෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ සිද්ධියෙන් පසුව එයට විරෝධය පෑ එම විද්‍යාලයේ ගුරුවරුන් හා ශිෂ්‍යාවන් ඔවුන්ට අනතුරක් සිදුවේයැ’යි දැඩි බියකින් පසුවන බවත්, ඔවුන්ගේ ආරක්ෂාව සහතික කිරීම අධ්‍යාපන බලධාරීන්ගේ වගකීමක් බවත්ය.