රාවය

නීතිය වනසන පොලිසිය

නීතිය වනසන පොලිසිය

පසුගිය සතියේ එක්සත් සමාජවාදී පක්‍ෂය විසින් සංවිධානය කරන ලදුව, ’83 කළු ජූලියත්, ’14 කළු ජූනියත් සැමරීම සඳහා කොළඹ සිට අලූත්ගම දක්වා යමින් සිටි සාමය උදෙසා වූ මෝටර් බයිසිකල් චාරිකාවක් අන්තවාදී භික්‍ෂූන්ගේ තර්ජන නිසා අතරමග දී නවත්වන්නට සිදු විය. මහමඟ දී අන්තවාදීන්ගෙන් බාධා එල්ල වූ අවස්ථාවේ දී එහි පැමිණි පොලිසිය උපදෙස් දුන්නේ ආරක්‍ෂාව සහතික කළ නොහැකි නිසා සාම චාරිකාව අතරමග නවතා චාරිකාකරුවන්ට ආපසු හැරී යන ලෙස ය. ඒ සතියේ දී ම, උතුරේ ජනමාධ්‍යවේදීන් පිරිසක් කැඳවා කොළඹ ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයේ දී පවත්වන්නට සූදානම් කළ වැඩමුළුවකට එරෙහි ව සුළු පිරිසක් පැමිණ උද්ඝෝෂණය කළ විට ද පොලිසිය කීවේ ආරක්‍ෂාව සහතික කළ නොහැකි නිසා වැඩමුළුව නවත්වන ලෙස ය. ඊටත් පෙර, ගිරිතලේ දී හා මීගමුවේ දී පවත්වන්නට නියමිතව තිබූ එවැනි ම වැඩමුළු දෙකක දී ද එලෙසම සිදු විය. එක රොත්තකට කොහෙන්දෝ පැමිණි උද්ඝෝෂණකරුවෝ පිරිසක් විරෝධය පාති. එහි පැමිණෙන පොලිසිය උපදෙස් දෙන්නේ ආරක්‍ෂාව සහතික කළ නොහැකි නිසා වැඩමුළුව නවත්වන ලෙස ය. ටික කාලයකට පෙර, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ දී සාමකාමී පා ගමනක් පවත්වන්නට නියමිතව සිටින විට අධිකරණය ඉදිරියට ගිය පොලිසිය ඉල්ලා සිටියේ මේ පාගමනට තුන්වැනි පාර්ශ්වයක් පහර දීමට සූදානම් ව සිටින බවට බුද්ධි අංශය තොරතුරු වාර්තා කර ඇති නිසා පාගමන නවත්වන නියෝගයක් නිකුත් කරන ලෙස ය. එවැනි තුන්වැනි පාර්ශ්වයක් සිටී නම්, ඒ ගැන
තොරතුරුත් පොලිසියට තිබේ නම්, ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකරන්නේ මන්දැ’යි ප‍්‍රශ්න නොකර ම අධිකරණය කළේ පොලිසිය ඉල්ලූ වාරණ නියෝගය වහා නිකුත් කිරීම ය. අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකට එරෙහි අනීතික දෝෂාභියෝගයක් ගෙන ආ අවස්ථාවේ ඊට විරෝධය පා සාමකාමී පාගමනක් යන්නට සූදානම් ව ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ‍්‍රයට රැස්ව සිටි සිටි නීති වෘත්තිකයන්, දේශපාලන නායකය ඇතුළු විශාල පිරිසට පොලිසිය කීවේ පාගමන ගියොත් පහරදෙන්නට පොලූ මුගුරු ගත් මැරයන් පිරිසක් රැස් වී සිටින නිසා පාගමන නවතා දමන ලෙස ය.

මේ සිදුවීම් දෙස බලන විට ලංකාවේ තිබෙන්නේ අරුම පුදුම පොලිසියක් බව නොපෙනේ ද?

ජනමාධ්‍යවේදීන් වැනි රටේ විවිධ දැනුවත් කොටස්, සාමකාමීව රැුස්වීමට තමන්ට ඇති අයිතිය භුක්ති විඳිමින් අධ්‍යාපනය ලැබීම සඳහා වැඩමුළු සංවිධානය කරද්දී ඊට එරෙහිව කාගේ හෝ
බලපුළුවන්කාරයකුගේ මෙහෙයවීමෙන් එහි පැමිණ කලහ කරන මැරයන් පිරිස විසුරුවා හැර වැඩමුළුව බාධාවකින් තොරව පවත්වන්නට අවස්ථාව සලසා දෙනු වෙනුවට පොලිසිය
උපදෙස් දෙන්නේ ඒ වැඩමුළුව නවත්වන ලෙසට ය. සාමකාමී ජනතා උද්ඝෝෂණයකට පහරදෙන්නට සිටිනවායැ’යි කියන කලහකරුවන් පිරිස බලය නොයොදා හෝ යොදා හෝ එතැනින්
ඉවත් කරනවා වෙනුවට පොලිසිය කියන්නේ උද්ඝෝෂණය නොපවත්වා විසිර යන ලෙස ය.

දෝෂාභියෝගයට අදාළ උද්ඝෝෂණයේ දී ද පොලිසිය ආරක්‍ෂාව සැපයූයේ සාමකාමී උද්ඝෝෂකයන්ට නොව, පොලූ මුගුරු ගල් අතින් ගෙන වහසි බස් දොඩමින්, හූ කියමින් සිටි බව එහි සිටි සියල්ලෝ ම හොඳින් දැකගත්හ.

පොලිසිය තිබෙන්නේ කුමකට ද? මහජනතාව සිය නීත්‍යනුකූල අයිතිවාසිකම් භුක්ති විඳිමින් කරන මහජන ක‍්‍රියාකාරකම් බාධාවක් නැතිව පවත්වාගෙන යන්නට සහාය වන්නට ද? මැරයන්
වෙනුවෙන් පෙනී සිටිමින් එම මහජන ක‍්‍රියාකාරකම් කඩාකප්පල් කරන්නට ද? රටට පෙනෙන විදියට නම් නිසැක ව ම දෙවැන්නට ය. කවුරුන් විසින් හෝ මෙහෙයවනු ලබන මේ මැරයන් පැමිණෙන්නේ කලහකාරී ලෙස හැසිරී සාමකාමී, නීත්‍යනුකූල මහජන ක‍්‍රියාකාරකම් මැඬ පවත්වන්නට ය. පොලිසිය ඔවුන්ගේ පැත්ත ගැනීමෙන් පෙනෙන්නේ පොලිසිය මෙහෙයැවෙන්නේ ද පෙර කී මැරයන් මෙහෙයවන්නන් විසින් ම, එම මූලයෙන් ම බව ය.

විධායකයේ කොටසක් වන පොලිසිය තිබෙන්නේ රටේ නීතිය හා පිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට ය. ඒ නීතිය හා පිළිවෙල කඩාකප්පල් කරන්නට එන ඕනෑ ම කෙනෙකුට පොලිසියක් සැලකිය යුත්තේ සතුරු ආකල්පයකිනි. එහෙත් අපේ රටේ පොලිසිය මෙලෙස නීතිය හා පිළිවෙල කඩන්නට එන්නවුන් සමග ඉතාම මිතුරු ය. ආරක්‍ෂාව සලසන්නේ ද ඔවුන් ට ය. මෙවැනි පොලිසියක් රටකට කුමකට ද? එවැනි පොලිසියකට පොලිස්පතිවරයකු කුමට ද? තමන් වැය කරන හැම රුපියලකින් ම සත හැත්තෑවකට ආසන්න ප‍්‍රමාණයක් බදු ගෙවමින් රටක මහජනතාව මෙවැනි පොලිසියක් තවදුරටත් නඩත්තු කළ යුත්තේ ඇයි?