කොරා සහ අන්ධයා


gamini

දීර්ඝ කාලයක් තිස්සේ අනුන්ගේ අත්උදව්වෙන් සහ පිළිසරණෙන් දේශපාලනයේ යෙදෙන ‘පක්ෂ නායකයෝ’ හෙවත් ‘පිං නායකයෝ’ කිහිප දෙනෙක් සිටිති. මේ සියලු දෙනාට තමන්ගේම වන, තමන් නායකත්වය සපයති යි කියන දේශපාලන පක්ෂ තිබේ. ඉන් ඇතැමුන්ගේ දේශපාලන පක්ෂවලට දශක හයකටත් වැඩි ඉතිහාසයක් තිබේ. එහෙත්, ඒ කිසිවෙකු පසුගිය දශක තුනකට වැඩි හෝ ආසන්න කාලයක් තිස්සේ තමන්ගේ පක්ෂවලින් ස්වාධීනව ඉදිරිපත්වී ජනතා වරම් ලබා පාර්ලිමේන්තුවට ගොස් නැත. කෙසේ වෙතත්, ඒ සියල්ලන්ම ඒ කියන දීර්ඝ කාලය මුළුල්ලේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වශයෙන් වැජඹී තිබේ. දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාර ඊට උදාහරණයි. අද දක්වා දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන් භුක්ති විඳි සෑම දේශපාලනික බලයක් සහ වරප්‍රසාදයක්ම ව්‍යුත්පන්න වුණේ, මහින්ද රාජපක්ෂ නැමැති දේශපාලනඥයාගේ සෙවණ තුළයි. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියයට අනූ නවයක් වන අනිත් පක්ෂවලට අයත් වෙනත් මන්ත්‍රීවරුන්ගේ තත්වයත් එයම නොවන්නේදැ යි කෙනෙකු මෙහිදී ප්‍රශ්න කළ හැක. උදාහරණයක් වශයෙන්, එක්සත් ජාතික පක්ෂයේ සිටින මන්ත්‍රීවරුන් සියයකට වැඩි පිරිස රනිල් වික්‍රමසිංහගේ නායකත්වය සහ අනුග්‍රහය නිසා එම මන්ත්‍රීකම් ලබා ගත් අයවළුන් නොවේදැ යි කෙනෙකුට ප්‍රශ්න කළ හැක. එහෙත් වෙනස වන්නේ, ඒ කිසිවෙකු, තමන්ගේම වන ‘වෙනත් පක්ෂයක නායකයන්’ නොවීමයි. ඔවුහු තමන්ගේම වන නායකයෙකුගේ සහ තමන්ගේම වන පක්ෂයක, තමන්ගේම වන ඡන්ද පදනමක සහ තමන්ගේම වන දෘෂ්ටිවාදයක අනුගාමිකයෝ වෙත්. ඉහතින් කී තුන් දෙනා එසේ නොවෙත්. ඔවුන්ට ස්වාධීන ඡන්ද පදනමක් නැත. එය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (මහින්ද) පදනම ය. එසේම ඔවුන්ට දෘෂ්ටිවාදයක්ද නැත. එයද, මහින්දගේ ය.
මෙවැනි නායකයන් තුළ ස්වාධීන දේශපාලනික පෞරුෂයක් වැඩෙන්නේ නැත. ඔවුන්ගේ සමස්ත පැවැත්ම නඩත්තු කෙරෙන්නේ වෙනත් ආකාරයක සෙවණැලි පෞරුෂයකිනි. ඒ වෙනුවෙන් එම නායකයාට තුන්තිස් පැයේ වහලුන් සේ කඹුරන්ට ඔවුන්ට සිදු වෙයි. 2005 සිට ඔවුන් සිටියේ ඒ රාජකාරියේ ය. 2015 ජනවාරි අට වැනි දා ඇති වූ මහා පෙරළියත් සමග, තමන් මෙපමණ කලක් නඩත්තු කළ අර නායකයාට පෙරලා කෘතගුණ දැක්වීමේ අවස්ථාව මේ ‘නායකයන්ට’ උදා විය. ජනවාරි 8 වැනි දා දඩාස් ගා බිම වැටුණු මහින්ද රාජපක්ෂ දෙපයින් ඔසවා නැගිට්ටුවේ කිසි ශ්‍රී ලංකාකාරයෙකු නොව, ශ්‍රී ලංකාකාරයන් නොවන, මේ ‘පිං නායකයන්’ ය. එම සටන නුගේගොඩින් ඇරැඹුණි.
මෙතැන් සිට රඟ දැක්වෙන්නේ, ‘අන්ධයා සහ කොරා’ නාටකයට සමාන දේශපාලනයකි. වැටී සිටි මහින්ද කෙලින් කරන්ට මොවුන්ට හැකි වුවත්, ඔහුට තවම කෙලින් ඇවිදින්ට පුළුවන්කමක් නැත. මේ නායකයන් තිදෙනාට ඇවිදින්ට පුළුවන් වුණත්, පාර පෙනෙන්නේ නැත. ඉතිං, අර කොරා කරේ තියාගෙන ඔහු පෙන්වන මාර්ග සිතියම ඔස්සේ ඇවිදීම මේ අන්ධයන්ගේ රාජකාරියයි.
යහපාලනය බලයට පත් වූ දා සිට, කොරාගේ මාර්ග සිතියමේ මූලික තේමාව වුණේ, ජාතිවාදය සහ ආගම්වාදයයි. එය, විටෙක කෙලින්මත්, විටෙක වෙනත් නාමකරණයන් ඔස්සේත් සමාජගත කෙරුණි. උතුරේ දේශපාලන සිරකරුවන් යම් ප්‍රමාණයක් නිදහස් කෙරෙන විට, උතුරේ දෙමළ වැසියන්ගේ ඉඩම් යම් ප්‍රමාණයක් නැවත එම වැසියන්ට පවරා දෙන විට, උතුරේ සිවිල් සමාජය තුළ පැවති හමුදා මැදිහත් වීම් අවම කරන විට, ඒ සියල්ල මේ කඳවුර තුළ හැඳින්වුණේ, ප්‍රභාකරන්ගෙන් නිදහස් කර ගත් සහ දකුණේ සින්නක්කර සන්තකයට ගත් ‘ස්වෛරීත්වය’ හෝ ‘ජයග්‍රහණය’ ආපසු බෙදුම්වාදීන්ට පවරා දෙන ද්‍රෝහී ක්‍රියාවක් වශයෙනි. ප්‍රගීත් එක්නැලිගොඩ, ලසන්ත වික්‍රමතුංග සහ වසීම් තාජුඩීන් ඝාතනයන් සම්බන්ධයෙන් විත්තිකරුවන් වූ හමුදා බුද්ධි අංශ නිලධාරීන් නීතිය ඉදිරියට පමුණුවන විට ඔවුන් එය හැඳින්වූයේ, ‘රණවිරුවන්’ දඩයම් කිරීමක් වශයෙනි. අවසානයේදී, ආබාධිත සෙබළුන් පිරිසක් ඉතා සූක්ෂ්මව මෙහෙයවමින් ජනාධිපති කාර්යාලය ඉදිරිපිට වාඩි කරවා ඇති කළ කලහකාරී තත්වය පාලනය කිරීමට පොලීසිය අවම පියවර ගත් විටත් (වැලිවේරියේදී මෙන් වෙඩි තබා ඝාතනය කිරීමෙන් නොව) ඔවුන් එය අර්ථ දැක්වූයේ ‘ආබාධිත රණවිරුවන්ට’ එල්ල කළ මෘග ප්‍රහාරයක් වශයෙනි.
මීට සමගාමීව, කොරාගේ අවස්ථාවාදී දේශපාලන උරුමයේ (හෝ කරුමයේ) අනෙක් සාධකය වූ සංඝ සාසනයත් නොඅඩුව පාවිච්චියට ගැනෙමින් තිබූ සැටි අපි දැක්කෙමු. එක් අලජ්ජී භික්ෂුවක් පෙරටු කරගත් තවත් අසංවර භික්ෂු පිරිසක් අධිකරණයට අපහාස කිරීම මත අත්අඩංගුවට ගත් විට, තවත් භික්ෂුවක් අලි සොරකම් කොට අත්අඩංගුවට ගත් විට, මේ කඳවුර එය හැඳින්නුවේ, බුද්ධ ශාසනයට එරෙහිව දියත් කොට ඇති යහපාලන කුමන්ත්‍රණයක් ලෙස ය. මඩකළපුවේ තවත් භික්ෂුවක්, තමාගේ පන්සලට ජනාධිපතිවරයා නොපැමිණීම ගැන කෝපයට පත්ව, ඒ වන විට නිමවා තිබූ නාම පුවරුවක් ප්‍රසිද්ධියේ කඩා බිඳ දමා, ඒ වෙනුවට හිටපු ජනාධිපතිවරයාගේ නම සඳහන් කොට අලුතින් නාම පුවරුවක් තනවා එය විවෘත කිරීමට හිටපු ජනාධිපතිවරයාව ගෙන්වා ගත්තේය. (එයින් පන්නරය ලැබූ මේ අශ්ලීල භික්ෂුව, දෙමළ රාජ්‍ය නිලධාරියෙකුට ප්‍රසිද්ධියේ බැණ වැදී තර්ජනය කළ සිදුවීම ගැන ගිය සතියේ අපි සාකච්ඡා කොට තිබේ). භික්ෂූන්ට වෙනම නීතියක් සහ ගිහියන්ට වෙනම නීතියක් නැති නිසා, මෙවැනි භික්ෂූන් ඇතුළු සමාජ විරෝධීන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පසුගිය දා මේ ආණ්ඩුව තීරණයක් ගෙන තිබේ. දැන් එයද, බුද්ධාගමට විරුද්ධ යහපාලනික කුමන්ත්‍රණයක් වශයෙන් මේ පිරිස් විසින් හඳුන්වනවාට කිසි සැකයක් නැත.
දිනේෂ් ගුණවර්ධන පසුගිය දා හමුදා කුමන්ත්‍රණයක් ගැන පාර්ලිමේන්තුවේදී ගිරිය කඩාගෙන පුප්පන්නේ මේ සන්දර්භය තුළයි. 2015 ජනවාරි 8 වැනි දා සිට යහපාලනය වෙත එල්ල කළ සකල චෝදනාවන්ගෙන් පැහැදිලි ඉදිරි ගැම්මක් පෙන්නුම් කරන අවස්ථාවක් වශයෙන් මෙය හඳුනා ගත හැකිය. ඉහතින් සඳහන් කළ පරිදි, අපරාධයක සැකකරුවන් ‘රණවිරුවන්’ සේ උත්කර්ෂයට පත් කිරීමේ ඊළඟ අදියර වන්නේ, හමුදාවේ සාහසික පාර්ශ්වයට හමුදා කුමන්ත්‍රණයක් සඳහා අත වැනීමයි. දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රකාශය පසුපස ඇත්තේ, සත්තකින්ම ඇති වීමට ඉඩ ඇති හමුදා කුමන්ත්‍රණයක් ගැන නොව, හමුදා කුමන්ත්‍රණයක් ඇති කර ගැනීමේ අභිලාෂයක මැසිවිල්ලකි. එක් ප්‍රසිද්ධ ගායිකාවක්, ජනවාරි 8 වැනි දා පරාජයෙන් පසු, ‘ඇයි සර් ගහලා හරි ආපහු ගන්නේ නැත්තේ?’ යි මහින්ද රාජපක්ෂගෙන් ඇසුවේලු. දිනේෂ් ගුණවර්ධන පසුගිය දා ත්‍රිවිධ හමුදාවට ඇසෙන සේ පාර්ලිමේන්තුවේදී මතු කෙළේද එම ප්‍රශ්නයමයි.
යුද ජයග්‍රහණයේ ප්‍රධාන සෙන්පතියා වූ සරත් ෆොන්සේකා නිහීන ආකාරයෙන් හිරගත කිරීමේදී ‘රණවිරු’ ගරුත්වය ගැන තඹේකට මායිම් නොකළ මහින්ද රාජපක්ෂ, එදා මහ දවල් මාධ්‍යවේදීන් ඝාතනය කළ සහ පැහැරගෙන ගිය අපරාධකරුවන්ව අද ‘රණවිරුවන්’ සේ ඔසවා තබයි. එදා අබාධිත රණවිරුවන්ගේ දුක් ගැනවිලි ගැන කටක් අරින්ට නොදුන් මහින්ද රාජපක්ෂ, අද එම ආබාධිත සෙබළුන් ජනාධිපති කාර්යාලය වැටලීමටත් යොදා ගනී. ස්වභාව ධර්මය කෙරෙහි ඇති අනියත බිය නිසා මිනිසා ‘දෙවියන්’ නිර්මාණය කර ගත්තා සේ, බෙදුම්වාදය, ත්‍රස්තවාදය ඈ අනේක උවදුරු පිළිබඳ අනියත අභියෝග ඉදිරියේ දකුණ නොනවත්වාම නිර්මාණය කර ගනිමින් සිටියේ අසහාය ‘රණවිරුවෙකි’. මහින්ද රාජපක්ෂගේ කූට පඬුර අතේ බැඳගෙන දිනේෂ් ගුණවර්ධන දැන් කන්නලව් කරන්නේ ඒ දෙවියාගේ දෙවොල අබියස ය.■