රාවය

අන්තිමට කළ යුතු දේ මුලින් කරන ආණ්ඩුව

අන්තිමට කළ යුතු දේ මුලින් කරන ආණ්ඩුව

නුවන් උදය වික්‍රමසිංහ

දහවල යනු තෙරක් නොපෙනෙන කතරක ගිම මැද කරන ගමනක් වැනිය. රාත්‍රියද අරුණෝදාව වන විට කවර ගිනි කන්දක් පුපුරාද යනුවෙන් සිතාගත නොහැකි අනන්තය සේ දිගු අන්ධකාර ගමනකි. ශ්‍රී ලාංකිකයාගේ ජීවිත ගෙවෙමින් තිබෙන්නේ බාල ටයරයක් රළු මගක ගෙවෙන්නාක් වැනිව කඩතොලුව යමිනි. අපි අනාගතයක් පිළිබඳ දෑස් දල්වාගෙන එය අපේ දෑස් ඉදිරිපිටම වියැකී යන ආකාරය බලා සිටිනා සාක්ෂිකරුවන් බවට පත්ව සිටිමු.
අයවැය හමාරව ඇත්තේ ජනතාව තුළ අසහනය තවත් වැඩි කරමිනි. අයවැයෙන් පසුව දිගින් දිගටම මතුව ඇත්තේ ඒ කෙරේ වන විවේචනයන්මය. විරුද්ධ පක්ෂයෙන් එල්ලවන ද්වේශසහගත විවේචනයන් මෙන් නොව මේ ආණ්ඩුව ජනතාව වෙනුවෙන් යමක් කරාවි යැයි බලාසිටි ජනතාව වෙතින් එල්ලවන විවේචන පහසුවෙන් බැහැර කළ හැකි ඒවා නොවේ. ඒ වෙනුවට අපට දිගටම අසන්නට ලැබෙන්නේ ආණ්ඩුවේ අමාරුකම් ගැන පැහැදිලිකිරීම් පමණි. එහෙත් අපට ඇති විවේචනය වන්නේ ආණ්ඩුවට එසේ පහසුවෙන් තම පියවර සාධාරණීකරණය හැකිද යන්නයි. පසුගිය පාලනය හමුවේ පැවති කොල්ලකාරී ප්‍රතිපත්ති හමුවේ රට අගාධයෙන් අගාධයට ගියේය යන කරුණ පිළිබඳව අප කිසිවකුට හෝ වාදයක් නැත. එහෙයින්ම අද වන විට සමස්ත රටටම ඉතා බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුව ඇත්තේය යන්නද අවිවාදිතය. සිහිබුද්ධිය ඇති සැවොම ඒ ගැන මනාව දනිති. එහෙත් ප්‍රශ්නය ඇත්තේ එක් අතකින් මේ පාලනය ආරම්භයේ සිටම ජනතාව මේ ගැන දැනුවත් නොකිරීමයි. ඔවුන් මුලදී කියාසිටියේ රටේ කිසිම ආර්ථික අර්බුදයක් නැත යනුවෙනි. එසේම සියලු ප්‍රශ්නවලට තමන් සතුව විශ්වකර්ම පිළිතුරුද ඇත යනුවෙනි. එහෙත් පාලනය බාරගත් දා සිට සැබෑ අභියෝග එන විට ඔවුන්ට කරන්නට ඉතිරිව ඇත්තේ ජනතාවට බර පැටවීම පමණක්දැයි සිතෙන තරමටම ඔවුන්ගේ ආර්ථික ප්‍රතිපත්ති දියාරුව ගොසිනි.
රටක හඳුන්වා දෙන බදු ප්‍රතිපත්තිය මෙන්ම දඩ ප්‍රතිපත්තියද හුදෙක් ජනතා යහපත සඳහාම බැව් පැහැදිලිව පෙනී යායුතුය. එය එසේ නොවී ජනතාව මත පටවන බරක් පමණකැයි පෙනෙනා විට තත්ත්වය ඉතා බරපතළය. අපට ඉතිහාසය පුරාම අපේ අයවැය හමුවේ ඇතිව තිබෙනා හැඟීම එයයි. අද වනවිට රටෙහි ඉතා බරපතළ ගැටලුවක් ලෙස ප්‍රධාන පුරවැසියාගේ පටන් ඉදිරිපත් කෙරෙන කරුණක් වන්නේ මත්පැන් සහ දුම්වැටි භාවිතයයි. ඒ අනුව ඊට ඇති එකම විසඳුම ලෙස ඉදිරිපත් වන්නේ මිනිසුන්ට එය ලෙහෙසියෙන් අත්පත් කරගත නොහැකි වන සේ මිල ඉහළ දැමීමයි. එම ප්‍රතිපත්තිය අනුව කොතෙක් මිල ඉහළ ගොස් ඇතිදැයි කිවහොත් මේ වනවිට මත්පැන් සහ සිගරැට් ඇත්තේ සේප්පුවල දමා ආරක්ෂා කරන මට්ටමකය. එහෙත් ඊට සාපේක්ෂව ඒවායේ භාවිතාව කොතෙක් පහළ ගොස් ඇතිදැයි කළ සමීක්ෂණයක් තිබේද? අපට සමාජයෙහි පෙනෙන්නට ඇති සරල සත්‍යය වන්නේ භාවිතාව අඩුවීම කෙසේ වෙතත් මිල ඉහළ දැමීමේ ප්‍රතිඵලය ලෙස වෙනත් පාරිභෝගික අවශ්‍යතාවන් සඳහා වැයවන මුදලේ නම් අඩුවක් ඇතිව තිබෙන බවයි. පසුගිය කාලය පුරාම මෙලෙස මිල ඉහළ දැමීම්වල අරමුණ බව අපට නම් පෙනුණේ ජනතා යහපත නොව ආණ්ඩුවේ මල්ල පුරවාගැනීම බවයි. එය එසේ නොවන්නේ නම් ආණ්ඩුවක් පළමුවෙන්ම කළයුත්තේ ජනතාව අයහපත් ඇබ්බැහිවලින් මුදවාගැනීම පිණිස කළයුතු වන පළමු කාර්යය එනම් යහපත් සමාජයක් ගොඩනැගීමට කැපවීමයි. අනෙක් අතින් අයවැයට අනුව සීනි මිල පහළ දමා තිබීම හරහා රටේ දියවැඩියාව ඉහළයෑමට පසුබිමක් ඇතිවේ යැයි කවරකු හෝ තර්ක කළහොත් එයත් අපට පදනම් විරහිත යයි කිවහැකිද?
ආණ්ඩුව මෙවර සිය හිඟය පියවාගැනීමට අයවැයෙන් කර ඇති එක් යෝජනාවක් වන්නේ රථවාහන වැරදි සඳහා වන දඩ මුදල් ප්‍රමාණය ඉහළ දැමීමයි. එයද මේ වනවිට රට තුළ ඇති කර ඇති චිත්‍රය එතරම් යහපත් නැත. විශේෂයෙන්ම ඇතැම් වැරදි සඳහා දඩ මුදල් ඉහළ දමා ඇති ප්‍රමාණය සලකා බලන විට පැහැදිලිව පෙනෙනුයේ එය කර ඇත්තේ හිඟපාඩු පිරිමසා ගැනීමට මිස රටේ විනයක් ඇති කිරීමට නොවන බවයි. එවන් දඩ ක්‍රමයක් කරා යෑමට පෙර ආණ්ඩුව කල්පනා කළ යුතු කරුණු රාශියක් තිබේ. රටේ මාර්ගවල විනය ස්ථාපිත කිරීම කෙරේ අතිබහුතරයක් විරුද්ධ නැත. එහෙත් ඒ විනය ඇති කිරීමේදී දඩ මුදලට පෙර ඇති කළයුතු තවත් වෙනස්කම් රාශියක් තිබේ. ඉන් අතිශය වැදගත් අවශ්‍යතාව වන්නේ රටේ මාර්ග පද්ධතියේ ඇති තදබදය අවම කිරීමට පියවර ගැනීමයි. එය අවම කිරීම සඳහා වන වැදගත්ම විසඳුම ලෙස එහෙත් දඩය නොසැලකිය යුතුය. අද වන විට මාර්ග පද්ධතියේ තදබදය අවම වීමට එක් හේතුවක් වන්නේ අධික වේගයෙන් ධාවනය කිරීමට අමතරව ඉතා සෙමින් ධාවනය කරන වාහනද සැලකිය යුතු ප්‍රමාණයක් මාර්ගවල පැවතීමයි. එහෙත් අප මාවත්වලදී දකින්නේ ඉරි කපන, අධික වේගයෙන් ධාවනය වන වාහන පදවන අයට කෙරෙන දඬුවම් පමණි. මාවතේ යන අනෙක් රථවලට අවහිර වන සේ ඉතා සෙමින් යන වාහන පදවන්නන්ද අන් අයට අවහිර කරනා පුද්ගලයන්සේ සැලකිය යුතු වුවද එවන් අයට දඩ කොළ ලියැවෙනු අප දැක නැත. මේ අපේ මාර්ගවල දක්නට ලැබෙනා එක් අවුලක් පමණි. එහෙත් මෙවන් බොහෝ කරුණු අද දවසේ රථවාහන තදබදයට හේතුවී තිබේ.
මෙවර ආණ්ඩුව කාබන් බද්දක් පැනවීම හරහා තවත් අවුලක් නිර්මාණය කර තිබේ. ඒ අනුව ඉදිරියේදී දුම් සහතිකය සමග කාබන් බද්දක බරද ජනතාව මත පැටවෙනු ඇත. කාබන් අවම කිරීම යනු කිසිවකුට හෝ විරුද්ධ විය හැකි පිළිවෙතක් නොවේ. එහෙත් ප්‍රශ්නය වන්නේ මේ බද්ද ගැනීම හරහා පරිසරයේ කාබන් අවම කිරීමට ගන්නා වැඩපිළිවෙළක් ගැන අප දැන නොසිටීමයි. ඒ වෙනුවට අපට ඇති අවබෝධය වන්නේ මෙයද හුදෙක් ආණ්ඩුවේ බර සැහැල්ලු කරගැනීමට ඇති කරගත් ආදායම් වැඩිකිරීමේ යෝජනාවක් පමණක්ය යන්නයි. රටක බදු ක්‍රමය සංශෝධනය වන විට ඉන් ජනතාවට යහපතක් සැලසෙන බවට අවබෝධයක් ජනතාව තුළ ඇතිව තිබිය යුතුය. එසේ නොමැති විට ඇතිවන්නේ බදු ක්‍රමයට එරෙහි විරෝධයක් ගොඩනැගීම පමණි. අද වෙමින් පවතින්නේ එයයි. මෙය නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය පාර්ශ්වයන්ගේ මෙන්ම දේශපාලන පරිණත බවේද පැහැදිලි අඩුවකි. ඔවුන් සැමවිටම කරන්නේ අවසානයට කළයුතු දේ පළමුවෙන්ම කිරීමයි. නැතිනම් රෝගයට දියයුතු ඉහළම බෙහෙත ආරම්භක අවස්ථාවේ දෙන වෙදාගේ කාර්යයයි. ඉදින් එහි අවසන් ප්‍රතිඵලය වන්නේ ප්‍රශ්නය ඔඩුදුවා ජනතා විරෝධය හමුවේ අතරමැදි විසඳුම් දෙන තත්ත්වයට එනවිට ජනතාවට ආණ්ඩුව එපාවී තිබීම පමණි.
ආණ්ඩුවට එකවර පෙරමුණු කිහිපයකම සටන් කිරීමට සිදුව ඇති බව අප පිළිගතයුතු කරුණකි. අද වනවිට යළිත් හිස ඔසවාගෙන එන අන්තවාදී රැලි ඊට එක් උදාහරණයකි. පරාජයට පත්කරන ලද බලවේග යළි කුමන්ත්‍රණකාරී ලෙස හිස ඔසවන ආකාරය දැන් ඉතා පැහැදිලිව පෙනෙයි. ඒ තත්ත්වය යටතේ ආණ්ඩුවේ ගමන්මග තවත් අසීරුවන බව ඔවුන්ට පමණක් නොව ජනතාවටද ඉතා හොඳින් පැහැදිලිය. මේ සියල්ල මැද ඔවුන් තවත් ඉවසා සිටින්නේ එහෙයිනි. එහෙත් රජය ඒ ඉවසීම ජනතාව තමන් කියනා ආකාරයට සිටීමක් ලෙස වරදවා නොගත යුතුය. අනෙක් අතින් නැවත රාජපක්ෂ යුගයක් ඇතිවනු දැකීමට ඇති නොකැමැත්ත මත ජනයා මේ ආණ්ඩුවේ සියලු අඩුපාඩු ඉවසා සිටිනු ඇතැයි කියාද නොසිතිය යුතුය. මන්ද යත් අපේ අපේක්ෂාව වන්නේ ඉදිරියට යෑම මිස ආපස්සට යෑම නොවන හෙයිනි.■