පරිණාමීය අභියෝග ජය ගන්නට රාවය කුමක් කළ යුතුද?

රාවයට වසර 30ක් සපිරීම නිමිත් තෙන් මා ගිය සතියේ ආවර්ජනයක් කළා. ඒ සමඟම අද අපේ රටේ මාධ්‍ය කර්මාන්තය මුහුණදෙන අභියෝග ගැනත් කෙටි විග්‍රහයක් කළා.
මීට පෙර අවස්ථාවක මාධ්‍ය කර්මාන්තය ගැන කථා කරද්දී මා කීවේ අනාගතයේ යම් දිනෙක පත්‍රකලාව ඉතිරි වී පත්තර නැති විය හැකි බවයි.
ඒ කියන්නේ අප දන්නා ආකාරයට කඩදාසි ගොන්නක මුද්‍රණය කොට, රට පුරා බෙදා හරිනු ලැබ පත්තර ලෑලිවල විකුණන පත්තර තව කොපමණ කලක් පවතීදැයි සැක සහිතයි. සමහර විට අවුරුදු 20-25ක් විය හැකියි.
එහෙත් පොදු උන්නතිය උදෙසා පෙනී සිටින පත්‍ර කලාව හෙවත් ජනමාධ්‍ය වේදය (journalism) කඩදාසි මාධ්‍යය නොමැතිව වුව තවත් දිගු කලක් වෙනස් ආකෘතීන්ගෙන් පවතිනු ඇති. පත්තර නැතත් පත්‍ර කලාව පවතිනවා යයි කීවේ එනිසායි.
හැබැයි පත්‍ර කලාවට හරිහමන් අනාගතයක් හා සමාජ අදාළත්වයක් දිගටම තිබීමට නම් එය කරවන ඇත්තන් නවෝත්පාදනයට හා නව අදහස්වලට විවෘත විය යුතුයි.
මුද්‍රිත ස්වරූපයෙන් වේවා, විද්‍යුත් හෝ වෙබ් ස්වරූපයෙන් වේවා මාධ්‍ය කලාව සමාජ සංස්ථාවක් සේ තවදුරටත් වලංගු වීමට නම් පොදු උන්නතිය සඳහා කැපවීමත් මහජන වින්දනය සඳහා දායකවීමත් අවශ්‍යයි.
මෙම ක්‍රියාත්මක කළ හැකි ආකාරයන් විවිධයි. එසැණින් පුවත් ආවරණය කිරීමේදී (එනම් බ්‍රේකින් නිවුස්) රේඩියෝ, ටෙලිවිෂන් හා වෙබ් අඩවි සමඟ තරග කරන්නට පුවත්පත්වලට බැහැ. ඇත්තටම දැන් කලෙක සිට පුවත් ආවරණයට වඩා පුවත් විග්‍රහය හා මතිමතාන්තර සඳහා වේදිකාවක් සැපයීම පුවත්පත්වල ප්‍රධාන කාරිය වී තිබෙනවා.
මේ නිසා බටහිර සමහර පුවත්පත දැන් තමන් හඳුන්වා දෙන්නේ Newspapers කියා නොව Views Papers  කියායි. ‘අදහස්පත්’ ලෙස මෙය සිංහලට හැරවිය හැකියි.
මේ පසුබිම තුළ රාවයට වසර 40ක් හෝ 50ක් පිරෙන විට මේ පුවත්පත/අදහස්පත කිනම් ආකාරයට වෙනස්විය හැකිද? මට කළ හැක්කේ අනුමානයන් හා ඉඟි ඉදිරිපත් කිරීම පමණයි. අවසන් තීරණය ඇත්තේ අද හා ඉදිරියට සිටින රාවය කර්තෘ මණ්ඩල අතයි.
දැනට අප අතර සිටින වයෝවෘද්ධතම හා ජ්‍යෙෂ්ඨතම පත්‍ර කලාවේදියා වන්නේ එඞ්වින් ආරියදාස සූරීන්. 2016 දෙසැම්බර් 3 වනදාට 95 වන විය සපුරන ඔහු දශක හතක පමණ කාලයක් මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ විවිධ භූමිකා රැසක් රඟපා තිබෙනවා.
විශේෂාංග ලේඛකයකු, පුවත්පත් කතුවරයකු, තීරු ලිපි රචකයකු, සිනමා විචාරකයකු, රේඩියෝ හා ටෙලිවිෂන් වැඩසටහන් ඉදිරිපත් කරන්නකු මෙන්ම මෙරට මාධ්‍ය අධ්‍යාපනයේ පුරෝගාමියකු ලෙසද ඔහුගේ දායකත්වය විශිෂ්ටයි.
2012දී මා ඔහු සමඟ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවක් කළා. මෙරට පත්‍ර කලාවේ අතීතය, වර්තමානය හා අනාගතය ගැන ඔහුගේ අදහස් සමීපව විමසූ එහිදී මා ඇසූ එක් පැනයක් වූයේ මෙරට පත්‍ර කලාවේ ස්වර්ණමය යුගය ලෙස ඔහු සලකන්නේ කුමන වකවානුවද යන්නයි.
එයට ඔහු නිශ්චිත පිළිතුරක් දුන්නා. 1960 දශකය. ඒ ඇයිදැයි මා ඇසුවා.
මෙන්න ඔහුගේ විග්‍රහය. “නව දැනුම සොයා යෑමේ මහත් ඕනෑකමක් 1960 දශකයේ අපට දැකිය හැකි වුණා. සැබැවින්ම රටේ හා ලෝකයේ කුමක් සිදුවන්නේද හා එයට හේතු මොනවාදැයි තේරුම් ගන්නට දැනුම් පිපාසයක් සමාජයේ ප්‍රබලව මතුව ආවා. එයට නිසි ප්‍රතිචාර දක්වන්නට එවකට සිටි පත්‍ර කතුවරුන් හා පත්‍ර කලාවේදීන් සමත් වුණා. තාක්‍ෂණය අද තරම් නොදියුණු එවකට පුවත්පත් හා පාඨකයන් අතර සමීප සබඳතා ගොඩනැගුණා. මේ මහජන විශ්වාසය හා ළබැඳියාව හරහා සමාජ අභිවෘද්ධියට වැදගත් බොහෝ දේ කිරීමට එවකට තිබූ පත්තරවලට හැකියාව ලැබුණා.”
ආරියදාස මහතා කියන්නේ 1970 දශකයෙන් හා ඉන් ඔබ්බට මේ සබැඳියාව තුනී වී ගිය බවයි.
මුද්‍රිත මාධ්‍යයට අනාගතයක් තිබේද යන්නත් මා විමසුවා. ඔහුගේ හරබර උත්තරය:
“කඩදාසියේ මුද්‍රණය වන පත්තර තව කොපමණ කලක් අපේ වැනි රටවල පවතීද යන්න නිශ්චිතව කිව නොහැකියි. දැනටමත් පුවත් බෙදීමේ කාරිය බොහෝ දුරට වෙබ්ගත වෙලා. ඩිජිටල් තාක්‍ෂණයේ පුවත් සේවා ගැන මීට දශක දෙක තුනකට පෙර අප අනාගතවේදීව කී බොහෝ දේ දැන් සැබෑ වෙලා. ලොව වෙනත් රටවල මුද්‍රිත පුවත්පත් ටිකෙන් ටික අභාවයට යනවා. වැසුණේ නැතත් අලෙවිය අඩු වෙමින් තිබෙනවා. මේ නිසා පුවත්පත් අප අතට එන්නේ කඩදාසිවලද වෙබ් හරහාද යන්නට වඩා එහි අන්තර්ගතයේ හරවත් බව හා සමාජයීය අදාළත්වය ගැන අප වැඩි අවධානයක් යොමු කළ යුතුයි. තාක්‍ෂණික ප්‍රවාහයන්ට එරෙහි වනු වෙනුවට ඒවා අපට නිසි ලෙස සේවයට යොදා ගත හැකියි.”
ජන සමාජයට අවශ්‍ය හා ප්‍රයෝජනවත් දෙයක් සැපයීම මූලික අරමුණ කර ගත් විට මාධ්‍යවලට අනාගතයක් තහවුරු කර ගත හැකියි. තාක්‍ෂණය දියුණු වූවාට මේ මූලික ගුණාංගය යල් පැන යන්නේ නැහැ.
එය සාක්ෂාත් කරගත හැකි ක්‍රම කිහිපයක් මා දකිනවා.
1. ගවේෂණාත්මක මාධ්‍යකරණය:
විද්‍යුත් මාධ්‍ය මෙන් විද්‍යුත් මාධ්‍ය මෙන් දුවන ගමන් කරන වාර්තා හා විශේෂාංග වෙනුවට සමීපව කරුණු ගවේෂණය කොට, මහත් වෙර දරා කරන ගවේණෂණාත්මක මාධ්‍ය කරණය ලොව පිළිගත් උසස් සම්ප්‍රදායක්. මෙය හොඳටම කළ හැක්කේ ලිඛිත මාධ්‍යයටයි.
එහිදී යොදා ගත හැකි ක්‍රමෝපායයන් ගණනාවක් තිබෙනවා. රහසිගත ලේඛනවල අඩංගු දෑ හෙළි කර ගැනීම, සංඛ්‍යා ලේඛන හා දත්තවල සැඟවී ඇති යථාර්ථයන් පාදා ගැනීම (data journalism)”, අකටයුතු නාදකයන් (whistle blowers) ලබා දෙන තොරතුරු තහවුරු කිරීමෙන් අනතුරුව ප්‍රකාශයට පත්කිරීම ආදිය ඒ අතර වනවා.
මෙරටත්, එතෙරත් ගවේෂණාත්මක මාධ්‍ය කරණයට යොමු වන මාධ්‍ය සීමිතයි. හේතුව එය කල් ගත වන, නීතිමය අභියෝග ගහන, සමහර විට අන්තරාදායත විය හැකි කාරියක් නිසා. එහෙත් පත්තරවලට සමාජ අදාළත්වය තවදුරටත් පවත්වා ගත හැකි එක් ප්‍රධාන ක්‍රමෝපායක් වන්නේ ගවේෂණාත්මක බව වැඩි කිරීමයි.
ගවේෂණයෙන් පාදා ගත හැකි පොදු වැදගත්කමක් තිබෙන මාතෘකා සිය ගණනක් අපේ සමාජයේ තිබෙනවා. එයයි අභියෝගය.
රාවය සිය දශක තුනක ඉතිහාසයේ ගවේෂණාත්මක වාර්තාකරණය හොඳහැටි සිදු කර තිබෙනවා. අධිකරණයේ දූෂණ හා අක්‍රමිතා ගැනත්, දේශපාලකයන්ගේ දූෂණ, වංචා හා මහජන මුදල් නාස්තිය ගැනත් හෙළිදරවු රැසක් කොට තිබෙනවා.
එන්න එන්නම තාක්‍ෂණික අතින් සංකීර්ණ රාජ්‍යකරණයක් බිහි වන අද කාලේ දත්ත විශ්ලේෂණය, මූල්‍යමය ලේඛන විග්‍රහය ආදිය හරහාත් ගවේෂණාත් මක මාධ්‍යකරණයට පෙරට යා හැකියි.
ගවේෂණාත්මක මාධ්‍ය කරණයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් යම් පිරිසක් මෙරට සිටිනවා. මේ අය එක් වී ජාලයක් බිහි කිරීමේ අරමුණක් තිබෙනවා. මෙය හොඳ ප්‍රවණතාවක්. ආයතනගත මාධ්‍ය තමන් කරන ගවේෂණවල ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට පැකිලෙයි නම් එය බ්ලොග් අඩවි හරහා සමාජගත කිරීමේ විකල්පයද අද තිබෙනවා.
2. බහුවිධ මතවලට වේදිකාවක් සැපයීම
මෙයත් රාවය තිස් වසක් පුරා හොඳින් කළ දෙයක්. අපේ බොහෝ පුවත්පත්වල කතුවරයාගේ අධිපතිවාදය දැකිය හැකියි. එහෙත් රාවයේ කතුවරයාගේ හා කර්තෘ මණ්ඩලයේ මතයට වෙනස්, සමහර විට ප්‍රතිවිරුද්ධ මත ද පළ කරනවා. ඒ හරහා සංවාද විසංවාද දිග හැරෙනවා. මෙය සැබෑ මාධ්‍යකරණයක මූලික ගුණාංගයක්.
කාලීන ප්‍රශ්න විග්‍රහයට කවදාත් සම්බන්ධ වන, කැමැත්තෙන් අදහස් දක්වන පිරිසක් සිටිනවා. ඒ අයට ඉඩක් දෙන අතරම අලුත් හඬ හා හැකි තාක් බහුවිධ අදහස් මතු කර ගැනීම කළ යුතුයි.
රාවයේ SMS තීරුව මෙයට පුංචි උදාහරණයක්. නාමධාරී ඇත්තන් පමණක් නොව රටේ සාමාන්‍ය පුරවැසියන්ටද මාධ්‍යයක් හරහා තම අදහස් උදහස් පළ කිරීමේ ඉඩකඩ පුළුල් කළ යුතුයි. තරුණ පාඨකයන්ට මත දැක්වීමට උනන්දු කළ හැකියි.
රාවයේ අන්තර්ගතය හැකි පමණින් පරිශීලනය කරන මෙරට සුළු ජාතික පාඨක පිරිසත් සැලකිය යුතුයි. එසේම විදේශගත ලාංකික ඩයස්පෝරාවන්ද රාවයේ පාඨකයන් අතර සිටිනවා. මේ පිරිස්වලටද පත්තරයේ හඬක්, මතයක් මතු කිරීමට අදට වඩා ඉඩක් සැලසිය හැකි නම් අගෙයි.
3. රූපවලින් වැඩිපුර හපන්කම් කිරීම
ලිඛිත මාධ්‍යකරණයේ පදනම වචන වුවත් ඒ වචනවල අරුත ඔප් නංවන, පාඨක මනස කිතිකවන ලෙසින් රූප යොදා ගැනීම වැදගත්.
පුවත් ඡායාරූපකරණය  (photojournalism) ලොව පිළිගත් මාධ්‍ය කලාවක්. සිදුවීම් මෙන්ම ඒවාට තුඩු දෙන සමාජ ආර්ථික ප්‍රවාහයන් සංවේදීව කැමරාවට හසු කර ගැනීම හරහා ජනමතයට ලොකු බලපෑමක් කළ හැකියි. අපේ රටේ මේ කලාව ඇති තරම් දියුණු වී නැහැ.
ලිඛිත වාර්තාවකට අලංකරණයට ඡායාරූපයක් දෙකක් පළකිරීම ප්‍රයෝජනවත් වුවත් එය පුවත් ඡායාරූපකරණය නොවෙයි. වචන කිහිපයක් පමණක් යොදා ගනිමින්, ඡායාරූප කීපයක් හරහා ලොකු කථාවක් ව්‍යක්ත ලෙස කීම අපේ පුවත්පත් තවමත් ප්‍රගුණ කළ යුත්තක්. එයට දක්‍ෂතාව හා විභවය ඇති අය අප අතර සිටිනවා. කතුවරුන් ඔවුන් දිරි ගැන්වීම හා ඇති තරම් ඉඩ වෙන් කිරීමයි අවශ්‍ය වන්නේ. ඡායාරූපයකට ලොකු ඉඩන් වෙන් කිරීම කිසිසේත්ම සීමිත පිටු ඉඩ නාස්ති කිරීමක් නොවෙයි.
එසේම තොරතුරු රූපාකාරයෙන් සම්පිණ්ඩ නය කිරීමේ infographics කලාව ද වැඩිපුර කළ යුතුව තිබෙනවා. ඒ සඳහා උපකාර කර ගත හැකි, නොමිලයේ භාවිත කළ හැකි සරල මෘදුකාංග අද වෙබ් අඩවි සමහරක හමු වනවා.
විශේෂයෙන් සංඛ්‍යා ලේඛන සංසන්දනාත්මකව තේරුම් ගන්නට infographics ඉතා ප්‍රයෝජනවත්.
උදාහරණයකට මෙවර අයවැයෙන් විවිධ අමාත්‍යාංශවලට යෝජිත ප්‍රතිපාදන ගැන සිතන්න. රුපියල් බිලියන ගණනින් කරන කථා බොහෝ දෙනාට ග්‍රහණය කර ගන්නට අමාරුයි. ප්‍රතිශත පවා සැමට තේරෙන්නේ නැහැ.
එහෙත් ප්‍රතිපාදනවල සාපේක්‍ෂ ප්‍රමාණයන් ලොකු කුඩා කවයන් සේ නියෝජනය කරමින් රූපයක් නිර්මාණය කිරීම සන්ඬේ ටයිම්ස් පත්‍රය වාර්ෂිකව කරනවා. අධ්‍යාපනයට හා සෞඛ්‍යයට සාපේක්‍ෂව ආරක්‍ෂාවට හා පළාත් සභාවලට කෙතරම් වැඩියෙන් මුදල් වෙන් කරනවාද යන්න එය බැලූ බැල්මටම පෙනෙනවා.
මීට අමතරව දේශපාලන කාටූන් යනු පත්තර කලාවේ අද නැතුවම බැරි අංගයක්. ලේඛකයන් වන අප වචන සිය ගණනකින් කියන දේ ඊට වඩා ප්‍රබලව කාටූන් ශිල්පීන් තනි කාටූනයකින් කියනවා. අපේ කාලයේ දක්‍ෂතම සමාජ විචාරකයන් ලෙස මා දකින්නේ අද විවිධ පුවත්පත්වලට දේශපාලන කාටූන් නිර්මාණය කරන ශිල්පීන්.
සමහර පුවත්පත් කලාපයක හරවත් යමකට ඇත්තේ කාටූනය පමණයි. කාටූන් අඳින්න සැමටම බැහැ. එහෙත් නව කාටූන් ශිල්පී පරපුරක් මතු කර ගන්න ඔවුන්ට ගුරුහරුකම් දෙන්න හා ඉඩ ෂලසන්න ඉදිරි වසරවලදී රාවයට හැකි නම් අපූරුයි.
මෙයට සුවිශේෂි වාසියක් රාවයට තිබෙනවා, පත්‍රයක ප්‍රධාන කතුවරයා එහි ප්‍රමුඛ කාටූන් ශිල්පියාද වන විරල සංයෝජනයක් රාවයේ කේ. ඩබ්ලියු. ජනරංජන තුළ හමු වන නිසා.
4. පත්තරයේ වෙබ් අත්දැකීම පුළුල් කිරීම
වෙබ්ගත වන ලාංකික ජන ප්‍රතිශතය දැන් 30%යි. අද වන විට මුද්‍රිත පුවත්පත් කලාප මිලදී ගන්නා පාඨකයන්ට අමතරව වෙබ් හරහා ඒවා කියවන පිරිස ටිකෙන් ටික ඉහළ යමින් තිබෙනවා. මෙය නතර කළ හැකි ප්‍රවණතාවක් නොවෙයි.
රාවයේ වෙබ් අඩවිය (www.ravaya.lk) තවමත් සීමිතයි. එය ටිකෙන් ටික පුළුල් කිරීම හරහා නව පාඨක පිරිසක් සමඟ ගනුදෙනු කළ හැකිවනවා. හරසුන් ගොසිප් වෙබ් අඩවි පිනුම් ගසන, පිස්සු කෙලින ලාංකීක වෙබ් අවකාශයට හරවත් හා රසවත් අන්තර්ගතයන් එකතු කිරීමේ සමාජයීය අභියෝගයටද එවිට පිළිතුරු දිය හැකියි.
සීමිත සම්පත් හා පිරිසක් සමඟ පවත්වා ගෙන යන රාවයට මේ සියල්ල තනිව කළ නොහැකියි. රාවය යනු එහි මාධ්‍යවේදීන් පිරිසකට හිමි, ලාභය අරමුණු කර නොගත් සමාජ ව්‍යවසායක්(social enterprise) ලෙසයි මා දකින්නේ. රාවය කියවන ඔබත් එහි කොටස් කරුවෙක්.
රාවය ඉදිරියට පරිණාමය කරන්නට, වඩාත් ප්‍රබල කරන්නට සමාජයේ සිතන පතන, සංවේදී හා බුද්ධිමත් පාඨකයන්ගේ උදවු උපකාර අවශ්‍යයි. රාවය පැවැත්ම තීරණාත්මක වූ මෑත කාලයේ රටේ බොහෝ දෙනා හැකි පමණින් ආධාර උපකාර කළා. එයට අමතරව ශිල්ප ඥානයෙන්, තාක්‍ෂණයෙන්, පරිකල්පන යෙන් ද රාවය දියුණු තියුණු කිරීමට ලක්වැසි දායකත්වය අවශ්‍යයි.
රාවයට 50ක් පිරෙන විට (2036) අප කී දෙනකු එය දකින්නට සිටී දැයි මා දන්නේ නැහැ. ඒ වන විට මුද්‍රිත පත්තර පවතීදැයි කියන්නත් බැහැ. එහෙත් කවර හෝ කාලීන මාධ්‍යයක් හා තාක්‍ෂණයක් හරහා සමාජගත වෙමින් රාවය කරන මෙහෙවරට සදාකාලික ඉල්ලුමක් නම් තිබෙනවා.■