Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය

පුනරුදය උදාකරගත නොහැකිද?

වික්ටර් අයිවන්

ගතවී තිබෙන තිස් අවුරුදු කාලයේදී රාවයේ ඇට ලේ හා මස් ලෙස ක්‍රියාකර තිබෙන්නේ රාවය පාඨකයන්ය. රාවයට සිටින පාඨකයන් වෙනත් පුවත්පත්වලට සිටින පාඨකයන්ට බොහෝ වෙනස්ය. වෙනත් පුවත්පත්වල පාඨකයන්ට පුවත්පත සමඟ ආධ්‍යාත්මික සම්බන්ධයක් නැතත්, රාවය පාඨකයන්ට පුවත්පත සමඟ ලොකු ආධ්‍යාත්මික බැඳීමක් ඇත්තේය.

රාවයේ පාඨකයෝ
රාවය කියවන පාඨකයන් අතර දීර්ඝ කාලයක් තිස්සේ රාවය කියවන සමහරවිට රාවය ආරම්භයේ සිටම කියවන පාඨක තීරුවක් සිටින්නේය. ඔවුන් තමන් හඳුන්වාගන්නේ සඟරාව කාලයේ සිටම රාවය කියවන්නන් ලෙසය. කොතරම් වැඩ තිබුණද එකම කලාපයක් හෝ නොකියවා අත්හරින්නට කැමති නැති පාඨක පිරිසක්ද රාවයට සිටින්නෝය. රාවය මිලදී ගන්නා සුපුරුදු වෙළෙඳසැලෙන් රාවය මිලදී ගැනීමට නොහැකි වූ විට රාවය මිලදී ගැනීම සඳහා ලොකු දුරක් යන පාඨකයෝද සිටින්නෝය.
මාපියන් ආසාවෙන් කියවූ පුවත්පත වීම නිසා රාවයට ඇබ්බැහි වූ තරුණ පාඨක තීරුවක්ද රාවයට සිටින්නේය. අපේ ඇස් පෑදුවේ රාවයයි කියන පාඨක පිරිසක්ද සිටින්නෝය. ඒ මගින් ඔවුන් කියන්නේ රාවය ඔවුන්ට හොඳ ගුරුවරයෙකු වී තිබෙන බවය. රාවය කියවන්නේ සාමාන්‍ය පාඨකයන්ට වෙනස් උගත්, බුද්ධිමත් පිරිසක්ය කියන අදහස පත්තර විකුණන වෙළෙඳ මහතුන් අතර පවතී. එහෙත් මා දන්නා තරමින් නොකඩවා රාවය කියවන පාඨකයන් අතර ලොකු උගත්කමක් නැති සාමාන්‍ය මිනිස්සුද සිටින්නෝය. ලංකාවේ දියුණු ලෙස හා ඉදිරිගාමී ලෙස සිතන සමාජ තීරුව සකස් වී තිබෙන්නේ රාවය කියවන පාඨකයන්ගෙන් බව සිතන දේශපාලනඥයෝ සිටින්නෝය. තවත් සමහරුන් සිතන්නේ රටේ කවර ආණ්ඩුවක් බලයේ සිටියද ප්‍රතිපත්ති සම්පාදකයන් කෙරෙහි වැඩියෙන්ම බලපාන පුවත්පත රාවය බවය. තවත් සමහරුන් හිතන්නේ මත ගොඩනගන්නන්ගේ පුවත්පත රාවය බවය.
රාවයට තිස් අවුරුද්දක් සපිරෙන මේ මොහොතේදී රාවය පාඨකයන්ට විශේෂ පණිවුඩයක් ඉදිරිපත් කිරීමට මම බලාපොරොත්තු වෙමි. එම පණිවුඩය ඉදිරිපත් කරන්නට පෙර රාවයේ උත්පත්ති කතාවට අදාළව ඔවුන් දැනගත යුතුව තිබෙන කාරණා කිහිපයක්ද ඔවුන්ගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ප්‍රකාශනයක් පිළිබඳ අදහස පිළිසිඳ ගැනීම
පසු කලෙක ඇතිවන රාවයේ උත්පත්තිය කෙරෙහි අනියම් ලෙස 71 කැරැල්ලද බලපෑවේය. 71 කැරැල්ල පරාජය වීමෙන් පසු මා රක්ෂිත බන්ධනාගාරයේ සිටින කාලයේදී මා කැරැල්ල පිළිබඳ මතුකරන ලද ප්‍රශ්නයක් බන්ධනාගාරයේ සිටි දේශපාලන සිරකරුවන් අතර උණුසුම් කතාබහට හේතුවිය. වැරදිලාවත් කැරැල්ල ජයගත්තේ නම් රට පාලනය කිරීමේ හැකියාවක් අපට තිබුණේද යන්න මා නගන ලද ප්‍රශ්නය විය.
බන්ධනාගාරයේ සිටි අවුරුදු හතක් තරම් දීර්ඝ කාලය තුළ මා දෘෂ්ටිමය වශයෙන් ලොකු පරිවර්තනයකට ලක්වෙමින් සිටියේයැ’යි කිව හැකිය. කැරැල්ලේ පරාජයෙන් පසුව මා මුලදී සිතුවේ අපට වැරදුණ මූලික හේතුව උඩින් පල්ලෙන් මිස හොඳින් මාක්ස්වාදය නොහැදෑරීම නිසා බවය. ඒ නිසා ඒ අඩුව සපුරා ගැනීමට මාක්ස්වාදය උනන්දුවෙන් හදාරන්නෙකුගේ තත්ත්වයට පත්වීමි. මාක්ස්වාදය හැදෑරීමේ ප්‍රතිඵලය වූයේ මාක්ස්වාදයට ආයුබෝවන් කියන තත්ත්වයකට තල්ලු වීමය. ධනේශ්වර ක්‍රමය වැඩවසම් ක්‍රමය තුළ තිබුණු පරස්පරයන් උග්‍රවීම නිසා බිහිවූ ස්වාභාවික ක්‍රමයක් වුවත් සමාජවාදය මනසේ ඇති කරගත් බලහත්කාරයෙන් පැළකරන්නට උත්සාහ කරන ස්වාභාවික නොවන දෙයක් යන්න මා ඇති කරගත් මතය විය.
මාක්ස්වාදය අත්හැරීමෙන් පසු මා තල්ලු වූයේ ගාන්ධි වෙතය. ගාන්ධිගේ සියලු ඉගැන්වීම් අතුරින් මා පිළිගත්තේද මා සිත්ගත්තේද අහිංසාවාදී සටන් ක්‍රමයට අදාළව ඔහු ඉදිරිපත් කරන ලද තීසිසයයි. යුක්තිය සඳහා කෙරෙන සටන්වලදී පවා එතෙක් භාවිත කරමින් තිබුණේ නොදියුණු හා අශීලාචාර සටන් ක්‍රමයකි. මිනිසුන් නොමරන මිනිසුන් හිංසාවට ලක් නොකරන අහිංසාවාදී සටන් ක්‍රමයක් ඔහු හඳුන්වා දුන්නා පමණක් නොව, එය සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකි සටන් ක්‍රමයක් බවට ඔහු ඒ පිළිබඳව ඉන්දියාවේ මහාපරිමාණයෙන් කරන ලද සාර්ථක අත්හදා බැලීමක් මගින් සනාථ කළේය. ඒ සමඟ මා ගාන්ධිගේ අහිංසාවාදය පිළිගන්නා ගාන්ධිවාදියෙකු බවට පත්වීමි. මා මාක්ස්වාදය අත්හරිනු ලැබූවත් මාක්ස් හා එන්ගල්ස්ගේ ඓතිහාසික භෞතිකවාදය පිළිබඳ න්‍යාය අද දක්වාම මගේ සිතුම් පැතුම් කෙරෙහි බලපා තිබෙන්නේයැ’යි කිව හැකිය.
දේශපාලන බලය පිළිබඳ විෂයේදී අඩු වැඩි වශයෙන් හැමතැනම පාහේ සිදුවන්නේ දැනඋගත් සුළු කණ්ඩායමක් මහජනයා වෙනුවෙන් ඉදිරිපත්ව මහජනයා නිදහස් කරගන්නා ක්‍රමවේදයකි. එම පිරිස බලය ලබාගත් පසු බොහෝ විට සිදුවන්නේ ගැලවුම්කාරයා පීඩකයෙකු බවට පත්වීමය. මෙම විෂම තත්ත්වය ජයගැනීමට තිබෙන හොඳම ක්‍රමය ලෙස මට පෙනුණේ මහජනයා තමන්ගේ ගැලවීම අනුන් ලවා නොව මහජනයා විසින්ම කරගන්නා දෙයක් බවට පත්කිරීමය. ඒ සඳහා මහජනයාගේ සවිඥානකත්වය ඉහළ දැමිය යුතුය. සාම්ප්‍රදායික විප්ලව මාවත අතහැර මහජනයාගේ දැනුම වගා කරන පුද්ගලයකු වශයෙන් ක්‍රියා කළ යුතුයැයි කියන අදහස මා තුළ ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ අදහසද ගාන්ධිගේ අභාවය නිසා ඇතිවූ අදහසක් විය හැකිය.

පෙරහුරුව
ඒ අරමුණ ජයගත යුතු මාර්ගය ලෙස මට පෙනුණේ ප්‍රබල මුද්‍රිත ප්‍රකාශනයක් හා පොත්පත්ය. ඒ අරමුණ සපුරා ගැනීම සඳහා මා මගේ දැනුම වර්ධනය කරගත යුතු බවද ඒ සඳහා මා හොඳ කියවන්නෙකු බවට පත්විය යුතු බවද ඊට අතිරේක වශයෙන් ලිවීමේ හැකියාව ප්‍රගුණ කරගත යුතු බවද මම තේරුම් ගත්තෙමි. ජේවීපීයට එකතු වන්නට පෙරද මට එක්තරා ප්‍රමාණයකට කියවීමේ පුරුද්දක් සේ ම ලිවීමේ පුරුද්දක්ද තිබුණි.
දැනුම වර්ධනය කරගැනීම සඳහා පොත්පත් කියවීමේ හැකියාව තිබුණද ලිවීමේ හැකියාව වර්ධනය කරගැනීම සඳහා ඒ අවස්ථාව වනවිට ලිවීමේ හැකියාවක් මට නොතිබුණි. ඊට හේතුවී තිබුණේ කැරැල්ල වෙනුවෙන් පුපුරන ද්‍රව්‍ය සමඟ කරන ලද අත්හදා බැලීමකදී මාගේ එක් අතක් මට අහිමි වී අනෙක් අතද පෑනක් අල්ලාගෙන ලිවීමට බැරි තරමට විකෘති වී තිබුණු නිසාය. ඒ නිසා මා සිටියේ කවර ආකාරයකටවත් ලිවිය නොහැකි තත්ත්වයකය.
මා හිරගෙදර සිටි මුල් කාලයේදී මට ලිපියක් ලියාගැනීමට අවශ්‍ය වූ විට විටින් විට ඒ කාර්යය කර දුන්නේ කැරැල්ලට අත්අඩංගුවට ගෙන සිටි භික්ෂූන් වහන්සේලා දෙදෙනෙකි. එය කියවන විට ලිවීමක් විය. මා ඒ කාලයේදීද ලීවේ කෙටි ලිපි නොව දීර්ඝ ලිපිය. මෙම භික්ෂූන් වහන්සේලා දෙපළ මාගේ මිතුරන් වූ අතර මට ඒ දෙදෙනා ඒ අවස්ථාවේදී ලබාදුන් සහාය සදා අමතක කළ නොහැකිය.
අනුන් ලවා ලියවාගන්නා ක්‍රමයෙන් මට නිදහස්වීමට අවශ්‍ය වූ අතර ලිවීමට ඇඟිලි හුරුකර ගැනීම සඳහා දීර්ඝ හා දුෂ්කර උත්සාහයක නිරතවන්නට සිදුවිය. අවසානයේ එම දුෂ්කර අරමුණ ජයගැනීමට මා සමත් වූ විට මා තුළ ඇතිවූ ප්‍රබෝධය අතිවිශාලය. එහෙත් මා ලියන අකුරු පෙර කාලයේදී ලියන ලද අකුරු තරම් පැහැදිලි හෝ ලස්සන නොවීය. ඉන්පසු මා ලියන ලද ලිපියක් වෙනත් අයට කියවන්නට දීමට අවශ්‍ය වූ විට මා කළේ මා විසින් ලියන ලද ලිපිය ඉහත කී භික්ෂූන් වහන්සේලා දෙදෙනාගෙන් කෙනෙකු ලවා හොඳ අකුරින් පිටපත් කරවා ගැනීමය. අදත් මාගේ අකුරු සාමාන්‍ය කෙනෙකුට කියවිය නොහැකිය. කලක් මාගේ අකුරු කියවීමේ හැකියාව මගේ බිරිඳට තිබුණු අතර දැන් ඒ හැකියාව තිබෙන්නේ මාගේ ලිපි ටයිප්සෙටින් කරන රාවයේ ධම්මිකාට පමණය. මාගේ සතිපතා පළවෙන ලිපිය පමණක් නොව මා මගේ කුරුටු අකුරින් ලියන ලද සියලු පොත් ටයිප්සෙටින් කර තිබෙන්නේ ඇය විසිනි.
මා ලිවීමේ හැකියාව පුරුදු පුහුණු කරගනිමින් සිටියද මා ලියන දේවල් වෙනත් අයගේ උනන්දුවට හා පිළිගැනීමට හේතුවේද යන්න දැනගැනීමේ කුහුලක් මා තුළ තිබුණි. ඒ සඳහා මා කළේ මා ලියන ලිපි පිටපත් කරවාගෙන දේශපාලන සිරකරුවන් අතර සිටින මා දන්නා හඳුනන අය අතට පත්කිරීමය. ඒවා ඔවුන්ගේ උනන්දුවට හේතුවී තිබෙන බව තේරුම් ගත්විට එය මගේ සතුටට හේතුවිය.
හිරගෙදර සිටියදී මට එහි සිටි විප්ලවකාරී කණ්ඩායමක (පෙරදිග සුළං) නායකයකු වූ ගාමිණී යාපා සමඟ ලිඛිත විවාදයක් කරන්නට සිදුවිය. ඔහු ලංකාව ගැන ලියන ලද ලිපියක ලංකාව අර්ධ වැඩවසම්, අර්ධ ධනවාදී රටක් ලෙස හඳුන්වා තිබුණි. ගාමිණී යාපා උග්‍ර මාවෝවාදියෙකු වූ අතර මාඕ සේතුං චීන විප්ලවයට පෙර චීනය විග්‍රහ කර තිබුණේද ඒ ආකාරයටමය. ලංකා සමාජ ආර්ථිකයේ කිසියම් ප්‍රමාණයකට වැඩවසම් සම්බන්ධතා තිබුණද ලංකාව ධනවාදී රටක් වශයෙන් මිස අර්ධ වැඩවසම් අර්ධ ධනවාදී රටක් ලෙස හැඳින්විය නොහැකි බව මගේ මතය විය. ලිඛිත වාදය සිදුවූයේ ඒ ගැනය.

ලිවීමට යොමුවීම
මා ග්‍රාමීය සමාජය හදාරන තැනකට යොමුවූයේ ඒ වාදය නිසාය. ග්‍රාමීය සමාජයේ ඉතිරි වී තිබෙන වැඩවසම් සබඳතා හා කෘෂිකර්මය මගේ අවධානයට යොමුවූ වැදගත් විෂය ක්ෂේත්‍රයක් විය. ඒ නිසා ඇති කරගත් අවබෝධය මත ගම ගැනත්, වී ගොවීන් ගැනත් මා ලියූ ලිපි කිහිපයක් විටින් විට ඇත්ත පත්තරේට නිර්නාමික නමකින් යවන ලද්දේ එම ලිපි පුවත්පතක පළකිරීමට තරම් හොඳ තත්ත්වයක තිබේදැයි දැනගැනීම සඳහාය. ඒ නමින් ලිපි ලියන්නේ කවුදැයි ඇත්ත කර්තෘ බී.ඒ. සිරිවර්ධන දැන සිටියේදැයි මම නොදනිමි. එහෙත් මා ඇත්තට යවන ලද හැම ලිපියක්මත් ප්‍රමුඛ වැදගත්කමක් ලැබෙන ලෙස පළකර තිබීම මාගේ ආත්ම විශ්වාසය වර්ධනය කරන වැදගත් සාධකයක් විය.
ඉන්පසු මට වී ගොවිතැනේදී ක්‍රියාකරන අඳ ක්‍රමය ගැන පොත් ලියන්නට අවශ්‍ය වූ අතර අඳ ගොවිතැනේ අභියෝගය නමින් පළවූයේ එම පොතය. එය වී ගොවිතැනේදී ක්‍රියාත්මක වන අඳ ක්‍රමය ගැන ගොවි කටයුතු හා කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් දිස්ත්‍රික්ක 5ක වී ගොවිතැන අළලා කරන ලද අධ්‍යයනයක් පදනම් කරගෙන කරන ලද අධ්‍යයනයකි. එම කෘතියට අවශ්‍ය කියැවිය යුතු පොත් ලබාගැනීමේදී ලංකාව ගැන ලියවී ඇති ලංකාවෙන් ලබාගත නොහැකි සමහර පොත් ලබා දුන්නේ සුසිල් සිරිවර්දනය. පුදුමයට මෙන් මා ඉල්ලා සිටි හැම පොතක්ම ඔහු ළඟ තිබුණි.
මා සිරගතව සිටියදී ‘අප්‍රේල් කැරැල්ල’ හා ‘්‍ය වාට්ටුව’ නමින් තවත් පොත් දෙකක් ලිවෙමි. පළමුව සඳහන් පොත පළකිරීමට හැකි වුවත් දෙවනුව සඳහන් පොත පළකිරීමට නොහැකි වූයේ අත්පිටපත අස්ථානගත වීම නිසාය. මේ ආකාරයට මා රාවය ආරම්භ කරන ලද අවස්ථාව වන විට සඟරාවක් ආරම්භ කිරීමට අවශ්‍ය තරමට දැනුම හා ලිවීමේ හැකියාව ඇති කරගෙන තිබුණි.

රාවයේ උපත හා උරගා බැලීම
රාවය සඟරාව ආරම්භ කිරීමෙන් මා අපේක්ෂා කළේ සමාජය දැනුවත් කිරීමය. රටේ ජනතාවට හිමි පරමාධිපත්‍ය බලය හොඳින් අභ්‍යාස කළහැකි තත්ත්වයකට ජනතාවගේ දැනුම වර්ධනය කිරීමය. මට අවශ්‍ය වූයේ ජනතාවගේ ආකර්ෂණයට හේතුවන හා ජනතාවගේ බුද්ධියට කතා කරන ජනප්‍රිය සඟරාවක් බිහිකිරීමය. මුල සිටම මාගේ ප්‍රධාන ඉලක්කය වූයේ සිංහල සමාජයේ මත ගොඩනගන්නන් ලෙස සැලකිය හැකි පුද්ගලයන්ය. ඔවුන් තමන් කියවන දේ වපුරන තැනකට යනු ඇති බව මගේ විශ්වාසය විය.
පළමු කලාපයෙන් පිටපත් කොපමණ ප්‍රමාණයක් මුද්‍රණය කළ යුතුද යන ප්‍රශ්නයේදී මාගේ දෙවැනියා ලෙස ක්‍රියා කළ උපාලි කොළඹගේගේ මතය වූයේ සාමාන්‍යයෙන් ලංකාවේ කිසිම සඟරාවක් පිටපත් 2000කට හෝ 3000කට වඩා නොවිකිණෙන නිසා මුද්‍රණය කරන පිටපත් සංඛ්‍යාව තීරණය කිරීමේදී එම කාරණයද සැලකිල්ලට ගැනීම වැදගත් බවය. එහෙත් එවැනි පොඩි සීමාවක ඉඳීම මට අවශ්‍ය නොවීය. මා කල්පනා කළේ ලොකුවටය. පිටපත් දෙදහසක අලෙවියෙන් සමාජයට කළහැකි බලපෑමක් නැතැයි මම සිතුවෙමි. පළමු කලාපය සඳහා මගේ මුද්‍රණ ඇණවුම පිටපත් දස දහසක් විය.
සඟරාවේ පූර්ව ප්‍රචාරණය සඳහා ලොකු වියදමක් දැරුවේ නැත. පෝස්ටර් 5000ක් පළකර තිබුණු අතර රාවය නමින් සඟරාවක් එළිදකින බව කියන ලියුම් තෝරාගත් පුද්ගලයන් තුන් දහසකට පමණ යවා තිබුණි. ඒ සීමාසහිතකම් තිබියදීත් මංගල කලාපයෙන් පිටපත් හත්දහසක් පමණ විකිණී තිබුණි. එය මට පෙනුණේ ලොකු ජයග්‍රහණයක් ලෙසිනි. ක්‍රමයෙන් සඟරාවේ අලෙවිය ශීඝ්‍රයෙන් ඉහළ ගියේය. සඟරාවේ නිමැවුම සේ ම අන්තර්ගතයද, එය කරළියට ගෙනා කවරයේ කතාද පාඨකයන්ගේ නොමඳ උනන්දුවට හේතුවී තිබුණු බව පෙනෙන්නට තිබුණි. සමහර කලාපවල පිටපත් එකක්වත් ඉතුරු නොවන ලෙස විකිණුණු අවස්ථාද තිබුණි. මාසික සාමාන්‍ය අලෙවිය පිටපත් 40,000 දක්වා ඉහළ ගියේය.
ජේවීපියේ දෙවැනි කැරැල්ල රාවයේ පැවැත්ම ලොකු උරගා බැලීමකට ලක් කෙරුණු අවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එය සිංහල සමාජයේ මරණ බිය රජ කළ බිහිසුණු කාලවකවානුවක් විය. හන්දියක් හන්දියක් ගාණේ මිනිසුන්ගේ විකෘති කළ මළසිරුරු ප්‍රදර්ශනය කෙරුණු කාලයක් විය. රාවයට කැරැල්ලේ තරුණ තරුණියන්ගේ දුක්ගැනවිලි ගැන අවබෝධයක් හා අනුකම්පාවක් තිබුණද ඔවුන් ක්‍රියාවට නගා තිබුණු ප්‍රචණ්ඩ වැඩපිළිවෙළ රාවයේ බලවත් විවේචනයට ලක්විය. එම බිහිසුණු හා දුෂ්කර කාලයේදී බොහෝ ජනමාධ්‍ය මතභේදයට හේතුවන දේවල් කතා කිරීමෙන් හා වාර්තා කිරීමෙන් වැළකී සිටියේය. සමහර ජනමාධ්‍යවේදීන් ජීවිත ආරක්ෂාව සඳහා කැරලිකරුවන් සමඟ හෝ ආරක්ෂක හමුදා සමඟ සහයෝගයෙන් ක්‍රියාකරන තත්ත්වයකට පත්විය. ජේවීපීයට ආධාර කරන ජනමාධ්‍යවේදීන්ට ආරක්ෂක හමුදා අතින්ද, ආරක්ෂක හමුදාවන්ට ආධාර කරන ජනමාධ්‍යවේදීන්ට කැරලිකරුවන් අතින්ද මැරුම් කන්නට සිදුවිය.
සටන් වැදී සිටි මෙම කණ්ඩායම් දෙකෙන් කවර කණ්ඩායමකටවත් එකතු නොවී ස්වාධීනව ඉඳිමින් සිය සංවාදය නිර්භීතව ඉදිරියට ගෙන යන ප්‍රතිපත්තියක් රාවය අනුගමනය කළේය. කැරැල්ල අවසන් වනවිට බොහෝ අය සේ ම බොහෝ දේ ද විනාශ වී තිබුණි. එහෙත් රාවයේ කිසිවෙකු මරණයට පත්වූයේ නැත. කිසිදු දේපළ හානියක්ද සිදු නොවීය. එය සැලකිය හැක්කේ ආශ්චර්යයක් ලෙසය.

ගාන්ධිවාදී ප්‍රශ්නය
සඟරාවට අවුරුදු පහක් සම්පූර්ණ වීමෙන් පසුව එය සති අන්තයේ පළකරන ටැබ්ලොයිඞ් පුවත්පතක් බවට පත් කරන ලදි. එයටද අවුරුදු පහක් සම්පූර්ණ වීමෙන් පසු බ්‍රෝඞ්ෂීට් පුවත්පතක් බවට පත්කරන ලදි. ප්‍රකාශනයේ හැඩතල වෙනස් වුවද යන ගමනේ ස්වභාවය වෙනස් නොවීය. ගෙවී ගිය අවුරුදු තිහක කාලය තුළ පොදු යහපත පිණිස එය කිසිදු පුවත්පතකට කළ නොහැකි බොහෝ දේ කළේය.
එය පුවත්පතක් පමණක් නොවීය. පත්තර භූමිකාවෙන් පරිබාහිරව වෙනත් භූමිකා ගණනාවක්ද රඟපෑවේය. එය අසාධාරණ නීති වෙනස් කරවා ගැනීම සඳහා නෛතික අරගල ගණනාවක යෙදුණේය. උද්ඝෝෂණවල යෙදුණේය. එය ලොකු දේවල් කතා කරන අතර අහිංසක මිනිසුන්ගේ අයිතිවාසිකම් සඳහා ද සටන් කළේය. යල් පැන ගිය කුල ක්‍රමයට එරෙහිව ජනතාව දැනුවත් කළේය. වර්ගභේදයට හා ආගම් භේදයට එරෙහිව බලවත් ලෙස පෙනීසිටියේය. එය දේශපාලනය කෙරෙහි බලපෑවේය. සාහිත්‍ය, කලාව කෙරෙහිද බලපෑවේය. එය මහජනයාගේ සවිඥානකත්වය වර්ධනය කිරීම සඳහා ක්‍රියා කළේය.
එය ජාතිවාදයට එරෙහිව බලවත් ලෙස හඬ නැගූ පුවත්පතක් වුවත් කිසිවිටෙකත් ජාතිවාදීන්ගේ පහරදීම්වලට ලක් නොවීය. අන්ත ජාතිවාදීන් අතර පවා රාවයට ගෞරවයක් තිබුණි. රාවය බලයට පත්වන බොහෝ ආණ්ඩු සමඟ රණ්ඩු කළේය. බලයට පත්වූ විවිධ ආණ්ඩු අතින් ජනමාධ්‍යවේදීන් ඝාතනයට ලක්වුවත් පසුගිය තිස්වසර තුළ රාවයේ කිසිදු ජනමාධ්‍යවේදියෙක් ඝාතනයට ලක් නොවීය. කිසිවෙක් කායික පහරදීම්වලටද ලක් නොවීය.
රාවයට තිබුණේ ගාන්ධිවාදී ප්‍රවේශයකි. අභිලාෂය අවංක විය. සැඟවුණු න්‍යාය පත්‍ර නොතිබුණි. මහජන යහපත පිණිස ක්‍රියාකරනවා හැර අයථා ලෙස මුදල් උපයාගැනීමේ අරමුණක් රාවයට නොතිබුණි. ඒ නිසා රාවයෙන් පහර කන්නන් අතර පවා රාවයට ගෞරවයක් තිබුණි. ලොකු හානි ඇතිකර ගැනීමකින් තොරව රාවයට පැවතිය හැකිවූයේ ඒ නිසාය.

මගේ ආයාචනය
රාවය තිස්වන සංවත්සරය පදනම් කොටගෙන රාවයේ පාඨකයන්ට මම ආදරණීය ආයාචනයක් කරන්නට කැමතිය. අප මේ දක්වා බොහෝ දුර ගමනක් පැමිණ ඇතත්, රට මුහුණ දී තිබෙන විස්තීරණ අර්බුදය ජයගැනීමට රටක් වශයෙන් අප සමත් වී නැත. මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කොට නව යහපාලන ආණ්ඩුවක් බලයට පත්කිරීමට සමත්ව ඇතත්, මේ රට මුහුණ දී තිබෙන විස්තීරණ හා ඓතිහාසික අර්බුදය විසඳීමට අවශ්‍ය කරන ශක්තිමත් දැක්මක් වුවමනාවක් හෝ ක්‍රියාකාරීත්වයක් පෙන්නුම් කිරීමට එම යහපාලන ආණ්ඩුව සමත් වී නැත. යහපාලන ආණ්ඩුව දැන් තිබෙන්නේ මහජන පිළිගැනීම වේගයෙන් අහිමි කරගන්නා තත්ත්වයකය. මහින්ද රාජපක්ෂ මුල් කරගත් මහජනයා විසින් පරාජය කරනු ලැබූ දේශපාලන බලවේගය හැර ශක්තිමත් තුන්වැනි විකල්පයක්ද රටට නැත.
මෙම අවුල්සහගත තත්ත්වය ඉදිරියේ රට තිබෙන්නේ අරාජිකත්වයකට යන තත්ත්වයකය. මෙම ව්‍යාකූල තත්ත්වය අවශ්‍ය නම් දැනුවත් පුරවැසියන්ට වෙනස් කළ හැකිය. රාවයේ පාඨකයන් ශ්‍රී ලංකාවේ දේශපාලන ශබ්දකෝෂයේ සැලකෙන්නේ දැනුවත්බවින් ඉහළින්ම සිටින පුරවැසි තීරුව ලෙසය. මෙතෙක් රාවය පාඨකයන් ක්‍රියාකර ඇත්තේ නිෂ්ක්‍රිය හෝ අර්ධ සක්‍රිය පුරවැසියන් ලෙසය. ඔවුහු රාවය කියවූවෝය. රාවය වෙනුවෙන් හඬ නගන අවස්ථා තිබුණි. රාවයේ උද්ඝෝෂණවලට සම්බන්ධ වූහ. ඒ සියල්ල සැලකිය හැක්කේ අර්ධ සක්‍රිය ක්‍රියාකාරීත්වයක් ලෙසය. ඒ තත්ත්වය සක්‍රිය තත්ත්වයකට මාරු කළ හැකිය. ඒ මගින් සමස්ත චිත්‍රයේ ලොකු වෙනසක් කළ හැකිය. ඒ මගින් අප මෙතෙක් පැමිණි ගමන ඵලදායී හා ක්‍රියාකාරී තත්ත්වයකට ගෙනයා හැකිය. එයින් මා අදහස් කරන්නේ මේ මොහොතේ රටට අවශ්‍ය වී තිබෙන සමාජ ව්‍යාපාරයක් ගොඩනගා ගැනීම සඳහා රාවය පාඨකයන් පෙරමුණ ගන්නා තැනකට ආ යුතු බවය. ඒ අරමුණ වෙනුවෙන් හඬ නගන්නන් හා වැඩ කරන්නන් බවට පත්විය යුතු බවය.

සමාජ ව්‍යාපාරයක් ඇතිකර ගැනීම
සමාජ ව්‍යාපාරයේ අරමුණ විය යුත්තේ පළමු කොට අප යහපත් නීතිගරුක සමාජ හා මානව හිතකාමී පුරවැසියන් බවට පත්වෙන ඒ සමඟ පවුලේ සාමාජිකයන් හා අසල්වැසි හිතමිතුරන්ද ඒ තත්ත්වයට ගනිමින් මුළු මහත් ශ්‍රී ලංකා සමාජයම ඒ තත්ත්වයට ගැනීම සඳහා වන සමාජ ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමය. ඒ අරමුණ වෙනුවෙන් සක්‍රිය කාර්යභාරයක් ඉටුකිරීමය.
නූතන සමාජයට අවශ්‍ය නොවන කුලභේදය මුලින් උපුටා දැමීම එහි එක් අරමුණක් විය යුතුය. වර්ගවාදයට හා ආගම්වාදයට තිබෙන පිළිගැනීම නැති කොට භේදයකින් තොරව ලංකාවේ ජීවත් වන සියලුදෙනාට සමාන අයිතිවාසිකම් හා සමාන මනුෂ්‍ය ගෞරවය ලබාදෙමින් ජාතිය හා නවීන සමාජය ගොඩනගා ගැනීමට අවශ්‍ය ශක්තිමත් පසුබිමක් ගොඩනැගීම එහි ප්‍රධාන අරමුණක් විය. පුරවැසියන්ගේ පරමාධිපත්‍ය බලය උපරිම මට්ටමකින් ක්‍රියාත්මක හා නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වන නවීන රාජ්‍යයක් ප්‍රතිනිර්මාණය කරගැනීමට පුළුවන් වන ආකාරයේ ශක්තිමත් සමාජ පදනමක් ගොඩනැගීම එහි තවත් ප්‍රධාන අරමුණක් විය යුතුය. දේශපාලන වශයෙන් බලය අල්ලා ගැනීම එම සමාජ ව්‍යාපාරයේ අරමුණක් නොවිය යුතු අතර බලය අල්ලා ගැනීමකින් තොරව නවීන දියුණු හා ක්‍රියාකාරී සමාජයක් ගොඩනැගීම එහි අරමුණ විය යුතුය. ආඥානයන් කරන හඬනැගීම් ඉදිරියේ ප්‍රඥාවන්තයන් නිහඬව සිටීමේ පිළිවෙත අවසන් කිරීමද එහි වැදගත් අරමුණක් විය යුතුය.
රාවය පාඨකයන්ට තමන් දන්නා හඳුනන යහපත් මිනිසුන් කිසියම් පිරිසක් එකතු කරගනිමින් ගොඩනගන සමාජ ව්‍යාපාරයේ ශාඛාවක් තම ප්‍රදේශයේ ගොඩනගා ගත හැකිය. වැඩ කිරීමේ පහසුව සඳහා සභාපතිවරයකු, ලේකම්වරයකු හා භාණ්ඩාගාරිකවරයෙකුද පත් කළ හැකිය.
සාමාජිකයන් වංචාවෙන් හා දූෂණයෙන් තොර විය යුතුය. නීතිගරුක හා යුක්තිගරුක විය යුතුය. පරාර්ථකාමීවිය යුතු අතර හිංසාවෙන්ද තොර විය යුතුය. දෙවැනි වටයේදී ඔවුන්ට සිය පවුල්වල සාමාජිකයන්ද දැනුවත් කොට ඔවුන්ද එම ව්‍යාපාරයේ කොටස්කරුවන් බවට පත්කර ගත හැකිය.
බිම් මට්ටමෙන් ගොඩනගන එවැනි ශාඛා ඒකාබද්ධ හා මධ්‍යගත කෙරෙන ක්‍රමයක් තිබිය යුතුය. ව්‍යාපාරයට ‘පුනර්ජීවනය සඳහා වන ජනතා ව්‍යාපාරය’ වැනි නමක් තබාගත හැකිය. ඒ සඳහා ගොඩනගා ගනු ලබන සංවිධාන ව්‍යුහය ප්‍රජාතන්ත්‍රවාදී සංවිධානයක් සඳහා දැක්විය හැකි හොඳ ආදර්ශ මාදිලියක් විය යුතුය. ව්‍යාපාරයට රහස් නොතිබිය යුතුය. කෙරෙන හැම දෙයක්ම විනිවිදව පෙනෙන තත්ත්වයක තබාගත යුතුය. හැම මට්ටමකදීම සියලු තීන්දු ගතයුත්තේ සාකච්ඡා කොට විවාද කොට ඡන්ද විමසීමකට ලක්කිරීමකිනි. වෙනස් මත දැරීමේ හා ඒවා වෙනුවෙන් පෙනීසිටීමේ අයිතිය සාමාජිකයන්ට තිබිය යුතුය. වැරදි නිවැරදි කරගැනීම සඳහා ස්වයංවිවේචන ක්‍රමයක් පවත්වාගෙන යා යුතුය. සාමාජිකයන්ගේ දැනුම වර්ධනය කරගැනීම සඳහා ඔවුන්ට අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබාදෙන වැඩසටහන් ක්‍රමයක් තිබිය යුතුය. ඒවාහි අරමුණ විය යුත්තේ දැනුම හා රසඥතාව වර්ධනය කොට ඔවුන් දියුණු සංස්කෘතික මිනිසුන් බවට පත්කිරීමය. ව්‍යාපාරයේ පූර්ණ සාමාජිකත්වය ලබාදිය යුත්තේ නියමිත අධ්‍යාපන හා පුහුණු වැඩසටහන් ගණනාවකට සහභාගි වූ අයට පමණය.
ව්‍යාපාරය විදේශ රටවලින් ලබාගන්නා අරමුදල්වලින් හෝ කළු සල්ලිකාරයන්ගෙන් ලබාගන්නා අරමුදල්වලින් යැපෙන තත්ත්වයකට නොයා යුතුය. ව්‍යාපාරය යැපිය යුත්තේ සාමාජික අරමුදල්වලින්, ආධාරකරුවන්ගේ පරිත්‍යාග වලින් හා ව්‍යාපාරය උපයන ආදායම්වලින් පමණය.
ව්‍යාපාරයට සමාජ අභිවෘද්ධිය සඳහා පමණක් නොව සාමාජික අභිවෘද්ධිය සඳහා ද අර්ථවත් හා ප්‍රායෝගික වැඩසටහන් තිබිය යුතුය. සාමාජික අභිවෘද්ධිය සඳහා උපදේශන සේවාවන්ද පවත්වාගෙන යා හැකිය.
මේ ආකාරයට රාවයේ පාඨකයන්ට එවැනි සමාජ ව්‍යාපාරයක් ආරම්භ කොට එය ආදර්ශමත් හා ආකර්ෂණීය ලෙස පවත්වාගෙන යමින් ක්‍රමානුකූලව එය ලක්ෂ ගණන් ජනයා සම්බන්ධ කරගන්නා ව්‍යාපාරයක් බවට පත්කර ගැනීමට සමත් වේ නම් රටේ දැන් තිබෙන අඳුර හා ව්‍යාකූලත්වය පහවී පුනරුදයේ රිදී රේඛා පහළවන තත්ත්වයක් ඇතිවනු ඇත. එම ශ්‍රේෂ්ඨ කාර්යයට දායක වන ලෙස රාවය පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමි.■