නාමල්ගෙන් සිසුවියන්ට උම්මා

‘අමාත්‍යාංශයක් විදියට විශේෂයෙන් අපි උපදෙස් ලබාදීලා නැහැ පාසල්වල පවත්වන වැඩසටහන් සම්බන්ධයෙන් අපෙන් අවසර ලබාගත යුතුයි කියලා. විෂය සමගාමී කටයුතුවලට අදාළ වැඩසටහන්වෙනුවෙන් විදුහල්පතිවරුන් තමයි අදාළ අවසරයන් ලබාදිය යුත්තේ. ඔබ ඔය කියන වැඩසටහන සම්බන්ධයෙන් මගෙන් අවසරයක් ලබාගත යුතු නැති නිසා වෙන්නැති එවැනි අවසරයක් නොඉල්ලූවේ.’

පසුගිය ජූලි 31 වැනිදා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති කාල්ටන් රග්බි සෙවන්ස් රගර් තරගාවලියේ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරය ලබාගත්තා දැයි කරන ලද විමසීමකදී ඉහත ප‍්‍රකාශය කරන ලද්දේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතාය.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාගේ පිළිතුරෙන් ගම්‍ය වන්නේ පාසල්වල සිදුකරන වැඩසටහන් පිළිබඳව තීරණ ගැනීමේ බලය පොදුවේ විදුහල්පතිවරුන්ට පවරා ඇති බවත්, එනමුදු විදුහල්පතිවරයාගේ සීමාවෙන් ඔබ්බේ පවතින විෂය සමගාමී නොවන විශේෂ වැඩසටහනක් නම් එසේ ඉහළින් අවසර ලබාගත යුතු බවය.

කෙසේ හෝ පසුගිය රාවය මුල් පුවතින් අනාවරණය කළ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ පැවති කාල්ටන් රගර් සෙවන්ස් ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අවසරයක් ලබාගෙන නැති බවපැහැදිලිය. සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයට අමතරව කොළඹ විශාඛා හා ඞීඑස් සේනානායක යන විද්‍යාලවලද මෙම ප‍්‍රවර්ධන වැඩසටහන එදින පවත්වා ඇත. ඒ අනුව එම විද්‍යාලවල විදුහල්පතිවරුන් ඔවුන්ගේ අභිමතය පරිදි ඒ සඳහා ඉඩ ලබාදී ඇති බව තවදුරටත් පැහැදිලිය.

මෙහිදී පැනනගින බරපතළම ප‍්‍රශ්නය වන්නේ කාල්ටන් රග්බි සෙවන්ස් තරගාවලිය ප‍්‍රවර්ධන වැඩසටහන පාසල් විෂය සමගාමී කටයුත්තක් හෝ පාසල් ළමයින්ට අදාළ කටයුත්තක් ද යන්නය. පාසල් විෂය සමගාමී කටයුතු වන්නේ විශේෂයෙන් පාසල් අධ්‍යාපනයට අදාළ කටයුතු සහ බාහිර කි‍්‍රයාකාරකම්වලට අදාළ අනෙකුත් කටයුතුය. විෂය සමගාමී කටයුතුවලට අදාළ මේ සරල තේරුම තුළ බැලූවත් කාල්ටන් රග්බි සෙවන්ස් ප‍්‍රවර්ධන වැඩසටහන ඊට ඇතුළත් කළ නොහැකි බව අදාළ විදුහල්වල විදුහල්පතිවරුන්ට කෙසේ වෙතත් සාමාන්‍ය දැනුමක් ඇති පුද්ගලයකුට වුවත් තේරුම් ගත හැකි කාරණයක්ය. විශේෂයෙන්ම කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක හා විශාඛා විදුහල්වලට රගර් කී‍්‍රඩාවේ කිසිදු අදාළත්වයක් නැත. එම පාසල් තබා දැනට රටේ වෙනත් ප‍්‍රධාන බාලිකා පාසල් ද රගර් කී‍්‍රඩාවේ යෙදෙන්නේ නැත.

රගර් කී‍්‍රඩාවේ යෙදෙන පාසලක් වුවද ප‍්‍රවර්ධන වැසටහනකදී වැදගත් වන්නේ එම කී‍්‍රඩාවේ යෙදෙන පිරිසට පමණය. එහිදීද වැදගත් වන්නේ කාල්ටන් රගර් සෙවන්ස් තරගාවලිය ගැන දැන ගැනීම නොව රගර් කී‍්‍රඩාවට අදාළව නව දැනුමක් ලබා ගැනීමය. නමුදු එදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයෙන් එළියට ආ සිදුවීමේදී එවැන්නක් සිදුවී තිබුණේ නැත. සිදුවී තිබුණේ ජනපි‍්‍රය ආරේ බාල, රටේ කිසිදු බාලිකා පාසලකටනොගැළපෙන හා බාලක පාසලකට හෝ නොගැළපෙන වැඩසටහනක් පැවැත්වීමය.

එදින කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ ප‍්‍රධාන ශාලාවේ පැවැත්වෙමින් තිබී ඇත්තේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහනක්ය. ඒ සඳහා එම පාසලේ ජ්‍යෙෂ්ඨ පන්තිවල ශිෂ්‍යාවන් සහභාගිවෙමින් සිට ඇත. වැසටහන අතරමගදී එම ප‍්‍රධාන ශාලාවට පැමිණඇත්තේ ජනපති පුත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ හා ගායක ඉරාජ් වීරරත්නය. පැවැත්වෙමින් තිබුණු සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන අතරමග නවතා වෙනත් වැඩකටයුත්තකට ඉඩදීමට එම වැඩසටහනපවත්වමින් සිටි වෛද්‍යවරුන් විරුද්ධ වී ඇත. එම විරුද්ධත්වය පවතිද්දීම නාමල් රාජපක්ෂට ඔහුගේ කටයුත්ත සිදුකර ගැනීම සඳහා පාසල් විදුහල්පතිනියගේ අවසරය ලැබී ඇත. එහිදී අගෝස්තු 9 හා 10 දිනවල කොග්ගලදීත් අගෝස්තු 15 හා 16 දිනවල කොළඹදීත් පැවැත්වෙන කාල්ටන් රග්බි සෙවන්ස් රගර් තරගාවලිය පිළිබඳප‍්‍රවර්ධනය රස ගන්වා ඇත්තේ ඉරාජ්ගේ ගායන මගින්ය. ඉරාජ් පසුගිය සතියේ අපට ප‍්‍රකාශ කළ පරිදිම ඔහු මුලින්ම ගායනා කර ඇත්තේ ලංකා ලයන්ස් නමැති ගීතයයි. ඉන් පසු ඔහු ස්විටී මැණිකේ… උම්මා උම්මා… ගීතය ගායනා කර ඇත. (මෙහි අන් තැනෙක එම ගීතයේ පද දැක්වේ.) එම ගායනය අතරතුර එම ගීතය ඔහුත් සමග ගායනා කරන ලෙස ශිෂ්‍යාවන්ගෙන්ද ඉල්ලා ඇත. තවද වේදිකාවට පැමිණ එම ගීතය සඳහානර්තනයේ යෙදෙන ලෙස ද ඉල්ලා ඇත. දැනගන්නට ඇත්තේ වේදිකාවට පැමිණ ශිෂ්‍යාවන් නර්තනයේ යෙදීම ගැන විදුහල්පතිතුමිය විරුද්ධත්වය ප‍්‍රකාශ කළ බවය. පසුව ඉරාජ් ශිෂ්‍යාවන්ට පවසා ඇත්තේ ඔවුන් සිටින තැනම සිට නර්තනයේ යෙදෙන ලෙස හා ඊට විදුහල්පතිතුමිය විරුද්ධ නැති බවය. ඒ සමගමවිවිධ දගකාරකම්වලට කැමති ශිෂ්‍යාවන් ඔවුන් සිටින තැන්වලම සිට එම ගීතය ගායනා කරමින් නර්තනයේ යෙදෙන්නට පටන්ගෙන ඇත. මන්තී‍්‍ර නාමල් රාජපක්ෂද ඔහු සිටින තැන සිට නර්තනයේ යෙදී ඇත. බාහිර පුද්ගලයන් විසින් බාලිකා පාසලක් තුළ සිදුකරන මේ අසංවර ප‍්‍රවර්ධනය සඳහා විරෝධය එල්ලවී ඇත්තේඉන්පසුවය. එම ස්ථානයේ සිටි ගුරුවරුන්ගේ ද ශිෂ්‍ය නායිකා මට්ටමේ සිටින සිසුවියන්ගේද විරෝධය එම ප‍්‍රවර්ධනයට එල්ල වී ඇත. ඉන්පසු ප‍්‍රධාන ශාලාව තුළ විශාල නොසන්සුන්තාවක් ඇතිවී ඇති අතර නාමල් හා ඉරාජ් පසුබැස ගොස් ඇත.

එම උම්මා උම්මා ගීතයේ වචන බැලූ විට පෙනී යන්නේ බාලිකා පාසලක තබා බාලක පාසලකවත් ගායනා කළ යුතු නැති අසංවර ගීතයක් බවය. ආනන්දයෙන් ආරම්භව ප‍්‍රඥාවෙන් අවසන් වේ යැයි කියන සුභාවිත ගීතයක් වෙනුවට පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මනස් අසංවර දේ කරා යොමුකරන ගීතයක් බවය.

රට ආසියාවේ ආශ්චර්යය කරා රාජපක්ෂවරුන් ගෙන යන්නේ මෙවැනි අවර ගණයේ වැඩවලින් දැයි යන ප‍්‍රශ්නය මෙහිදී අපට මුලින්ම පැනනගී. ඒ අතරම එවැනි ඕනෑම ආකාරයේ අවරගණයේ වැඩක්සඳහා පාසල් ඇතුළු රාජ්‍යයේ සියලූ ආයතන පද්ධතිය විරුද්ධවීමකින් තොරව සැදී පැහැදී සිටිය යුතුය යන්න ඒ සමගම අපට පසක් කරන අනෙක් කරුණය. එහිදී විදුහල්පතිවරුන්ට සිදුවන්නේ කැමති වුවත් අකමැති වුවත් ඒ සඳහා ඉඩ දීමටය. නැතහොත් විපාක විඳින්නට සිදුවන බව ඔවුන් සහසුද්දෙන්ම දන්නා කරුණය. ඒ නිසාමරාජපක්ෂවරුන්ට රටේ ඕනෑම තැනක ඕනෑම දෙයක් කිරීමට ඇති බලය වෙනුවට රට පවත්වා ගැනීමසඳහා ඇතිකර ඇති නීති රීති පද්ධතිය කි‍්‍රයාවට නැගෙන රටක් බවට මේ රට ඊට පළමුවෙන්ම පත්කර ගතයුතුය. නැතහොත් කොළඹ සිරිමා බණ්ඩාරනායක විද්‍යාලයේ වැනි සිදුවීම් රාජපක්ෂකරණයේ නාමයෙන් තවත් පාසල්වල සිදුවීම වැළැක්වීය නොහැකිය.

එස්.යූ.කාරියවසම් – ප‍්‍රධාන ලේකම්, ශ්‍රේණිධාරි විදුහල්පති සේවා සංගමය

දිනක පැය හයක පාසල් කාලයෙන් වෙනත් දෙයකට කාලය ලබාගන්නවා කියන්නේ ළමයාට කරන බලවත් අසාධාරණයක්. ළමයාගේ අධ්‍යාපනයට සෘජුවම බලපාන දේශන, සම්මන්ත‍්‍රණ ආදියේදීත් ඒ සඳහා යොමුකරන්නේ ඊට අදාළ ළමයි පමණයි. මොකද මේ ප‍්‍රවර්ධන වැඩසටහන්වලදී පාසල්වල ඉගෙනුම් ඉගැන්වීම් කි‍්‍රයාවලියට මෙන්ම විනය පවත්වාගෙන යෑමටත් බාධා එල්ලවෙන්න පුළුවන්. ඒ වගේම සමහර ප‍්‍රවර්ධන වැඩසටහන් ගැන විදුහල්පතිවරුන්ට තීරණ ගැනීමට අපහසු අවස්ථා එන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඉහළින් ඒ සඳහා අවසර ලබා ගත යුතුවෙනවා. එමෙන්ම ඉහළින් අනුමත කරන ලද ප‍්‍රවර්ධන වැඩසටහන්ද පාසල්වලට එන්න පුළුවන්. එහිදීත් කොතෙක් ඉහළ අනුමැතියක් තිබුණත් පාසලේ එදිනෙදා කටයුතුවලට එය බාධාවක් නම්විදුහල්පතිවරයාට ඒ සඳහා අවසර නොදී සිටින්නත් පුළුවන්.

ඉරාජ් වීරරත්න විසින් ගායනා කර නැටීම සඳහා සිසුවියන්ට ආරාධනා කරන ලද ගීතය මෙයය.

කළු නෝටි කෙල්ල ස්වීටි මැණික මාගේ
මං ඔන්න එනවා උම්මා උම්මා ඕනේ

නුඹ නැති දීපේ රස නෑ නෝනේ
තුරුලට පැනපං මාගේ
පපුවම මාගේ ගින්දර වාගේ
මං හරි හැන්ඞ්සම් නෝනේ
රෝමියෝ ජුලියට් වාගේ
අපි දෙන්නා ….. ආ………

මයෙ කළු කෙල්ලේ ආදරේ දල්ලේ
උඹ මගේ පණමයි හිතුණා
මල් මදහාසේ උතුරයි දෑසේ
ලෝකෙට රහසේ ඉඳපන් පහසේ

ආ කෝ කිස් අවුරුදු
මේ මිස් අතේ නෑ මුදු
එනවද මාගේ ළයට වස්තු
හඳහන් බලලා හදමු පෝරු
ඉකිබිචි මහත පිට්ටු
සාරි ඇඳන් දාලා වළලූ
ස්විටි මැණික නටනවා බන්
අත අල්ලලා දුන්නා තොත්තු

අගුරුවලට ළග පාට කළුලූ
ඊට වඩා මගේ මැණික සුදුලූ
මටම කැපෙන හොඳම පාට තලෙලූ
කියන්නේ මං විරිඳු