දැන් තියෙන්නේ පිස්සන්ගේ සමාජයක්ද? අමාත්‍ය වාසුදේව නානායක්කාර

අපි මුලින්ම පටන් ගමු. ඇමතිතුමා සංවිධානය කළ ‘සාම පාගමනින්.’ එහි අරමුණ කුමක්ද?

ජාතීන් අතර සාමය, සමගිය, සහෝදරත්වය තහවුරු කිරීමේ අරමුණ තමයි ඒ තුළින් අපි බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපි මේ ‘සාම පාගමන’ සංවිධානය කළේ. පානදුර සුමංගල බාලිකා විද්‍යාලය ළඟින් ආරම්භ කරලා සුමංගල පිරිමි පාසල ඉදිරිපිටින් අපි ඒ ‘සාම පාගමන’ අවසන් කළා. ඒක සාර්ථකව වුණා.

‘පා ගමන්’ ගිහිල්ලා සාමය, සමගිය ඇති කරන්න පුළුවන්ද?

එහෙම ඇති කරන්න බැහැ. මම හිතන්නේ නැහැ පාගමන් ගිහිල්ලා පමණක් ජාතීන් අතර සාමය ඇති කරන්න පුළුවන් කියලා. හැබැයි ජනවර්ග කිහිපයක් එකතුවෙලා මෙවැනි පා ගමන් සිදුකරන කොට එයට සහභාගි වන අය අතර එය නරඹන අයට සහෝද රත්වයේ හැඟීමක් ඇතිවෙන්න පුළුවන්.

එතකොට ඇමතිතුමා පිළිගන්නවා රටේ සමගියක් සමාදානයක් නැහැ කියලා.

සමගියක් ඇතිවීමට වුවමනා වටාපිටාව, පසුබිම ඇතිවීම, සමාජ කොන්දේසි, දේශපාලන පසුතලය අපට නැතිවීමේ ප‍්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජාතියට හැඟීමක් ඇතිවෙන්න ඕනෑ. ඔවුන් යටත් වූ ජාතියක් නොවන බව. ඒ වගේම ඔවුන් මේ රටේ බහුතරයක් ලෙස සිටින ප‍්‍රදේශවල ඔවුන්ගේ කටයුතු කරගැනීමට නිදහස් බලයක් ඇතැ’යි කියන හැඟීම අපි ඔවුන්ට දෙන්න ඕනෑ. එහෙම බලයක් නැති තාක් කල් අපට ඔවුන්ගේ හිත්වලට සහෝදරත්වයේ පණිවුඩය දෙන්න බැහැ. සිංහල භාෂාව ඉගෙන ගන්න ඔවුන් උනන්දුවක් දක්වයි. දෙමළ භාෂාව ඉගෙන ගන්නත් ඒ උනන්දුව අපි දක්වන්න ඕනෑ.

භාෂාව ඉගෙන ගත්ත පමණින් සහෝදරත්වය ඇතිවෙන්නේ නැහැ නේද?

ඔව්! මාත් ඒක පිළිගන්නවා. අද එහෙම ඉගෙන ගන්නේ ඔවුන්ගේ ජීවිතවල අවස්ථා උදාකර ගන්න මිසක් සහෝදරත්වයේ බැඳීමක් සඳහා පාලමක් හැටියට නෙමෙයි. මම ඒක පිළිගන්නවා.
එතකොට ඇමතිතුමා පා ගමනක් සංවිධානය කළේ පාලකයන්ට දන්වන්නද? ජනතාවටදන්වන්නද?දෙපිරිසටම දන්වන්න. පාලකයන්ට වගේම ජනතාවටත් දන්වන්න මේක කළේ. 

ඉතින් ඒකට පොලිසිය හරස් කැපුවා නේද?

ඔව්! පොලිසිය අපිට කිව්වා මේ පා ගමන ගියොත් කලබල ඇතිවෙන්න පුළුවන් කියලා. අපිට විරුද්ධව නගර මධ්‍යයේ පිරිසක් ක‍්‍රියා කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් සාමය කඩවීමක් යම් හිංසනයක් ඇතිවිය හැකියි කියලා බියක් ඇතිවෙනවා. ඒ හින්දා යන්න එපා කිව්වා.එතකොට මම ඒ අයගෙන් ඇහැව්වා සාමයට බාධා වන අයුරින් හැසිරෙනවා නම් ඒ අය අත්අඩංගුවට ගැනීම පොලිසියේ වැඩක් කියලා. එතකොට පොලිසිය කිව්වා දන්නේ නැද්ද මේ නම් මැද්දේ පිස්සෝ ඉන්නවනේ කියලා. එතකොට මම ඇහැව්වා දැන් තියෙන්නෙ පිස්සන්ගේ සමාජයක්ද කියලා. අනෙක සාමකාමී ජනයාට හිරිහැර කරන්න නෙමෙයි පුරවැසියන්ට නීතිය ඉටුකරන්නැ’යි පොලිසිය ඉන්නේ කියලා.

ඔබ ආණ්ඩුවේ ඇමතිවරයෙක්. ඔබටත් ‘සාම පාගමනක්’ පවත්වන්නවත් ඉඩක් නැහැනේ. ඉතින් අනෙක් පාර්ශ්ව ගැන කවර කතාද?

පාර්ලිමේන්තුවේවත් ආණ්ඩුවේවත් ජනවාර්ගික එකමුතුවවත් සාම පාගමනවත් ප‍්‍රතික්ෂේප කරන අය නැහැ. අතිබහුතරය මේ දේට කැමතියි. බොහොම සුළු පිරිසක් තමයි අකමැති. ඔබ මෙතනදි වටහා ගන්න ඕනෑ මේ ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකක්. අපිට රාජ්‍යය තුළ තියනමානයයි වෙනස් කරගන්න බැරිවෙලා තියෙන්නෙ.

ඇමතිතුමා ඔය විදිහට කිව්වට ලංකාවේ ආණ්ඩුවයි රාජ්‍යයයි දෙකම එකයි නේ.

ඔව්! මම පිළිගන්නවා. රාජ්‍යයේ මතය අරගෙන බලපුවහම අවසාන විග‍්‍රහය ආණ්ඩුවේ මතයම තමයි. අපි උත්සාහ කරන්නේ ආණ්ඩුවේ බහුතර මතය රාජ්‍යයේ මතය බවට පත්කරන්නයි.

ඇමතිතුමා මොන දේ වුණත් ඔය ආණ්ඩුවේ ලඟින්නම ඔබතුමා ගේන තර්කයක්නේ ඕක.

මම ඉල්ලා අස්වුණා කියලා ප‍්‍රශ්න විසඳෙනව නම් මම ඉල්ලා අස්වෙන්න සූදානම්. ඒ නිසා එළියට යන එක නෙමෙයි විසඳුම. යෑමෙන් ඇති වැඩක් නැහැ. ඊට වඩා යම්කිසි උපායශීලී තීන්දුවක් ගන්න පුළුවන් විය යුතුයි. ඒ සඳහා අපි උපායශීලී වෙනවා.