පොදු අපේක්ෂකයා දිනවන්නේ ඒකාධිපතියා පරාජය කිරීමටය

පසුගිය සතියේ කුසල් පෙරේරා මහතා ‘පොදු අපේක්ෂකයා දිනවන්නේ කුමටද?’ ලිපිය ලියා තිබුණේ මා රාවයෙහි පොදු අපේක්‍ෂකයකු පිළිබඳව දැක්වූ අදහස් හා ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ රැස්වීමේදී කියූ අදහස් පදනම් කරගෙනය. වික‍්‍රමරත්න මහතා ඒ සම්බන්ධයෙන් කවර පිළිතුරක් දේදැ’යි අප නොදන්නා නමුත් කුසල්ගේ අදහස්වලට කිසියම් ප‍්‍රතිචාරයක් දැක්වුව මනායැ’යි සිතමි.

ඊට පෙර පහත කරුණු සාරාංශ වශයෙන් දැක්විය යුතුය. මීළඟ ජනාධිපති වරණයේදී හෝ මහ මැතිවරණයේදී හෝ රටේ දේශපාලන වෙනසක් ඇතිවිය යුතුයැ’යි පෞද්ගලිකව අපි සිතමු. හේතු දෙකක් නිසාය. එක, මේ ඒකා-අධිපති විධායක ජනාධිපති ක‍්‍රමය තවදුරටත් පවත්වාගත යුතු නැත. දෙක, කවර හෝ එකම පක්‍ෂයක් දශක ගණනක් බලයේ සිටීම හැම අතින්ම හානිකරය. එහෙත් ඒ වෙනසෙහි ප‍්‍රධාන අරමුණ විය යුත්තේ හුදු පුද්ගලයන් මාරුකිරීම නොව, ලංකාව සිය ඉතිහාසය මුළුල්ලේම මුහුණ දී සිටින බලවත් ජාතික ප‍්‍රශ්නවලට පිළිතුරු සොයාගන්නා දිසාවට යොමුවීමය. ඒ ජාතික ප‍්‍රශ්න කවරේදැයි දැනටමත් ඕනෑ තරම් සාකච්ඡුා වී ඇත. ඒ පිළිතුරු සෙවීමේ කාර්යයේදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීම දක්වා ද අප යා යුතුය. ඒ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, එවැන්නක් සඳහා දායක විය යුතු රටේ සෑම සියලූ ස්ථරයකම සහභාගිත්වයෙන්, හැකි සෑම දෙනාගේම එකඟත්වයෙන්, පොදු සම්මුතියෙන් යුතුව මනා සේ සැකසිය යුතු බවටද විවාදයක් නැත.

ජනාධිපතිවරණය ළඟම එයි

එහෙත්, ජනාධිපති වරණය පළමුව එළැඹෙනු ඇත. ඒ සඳහා තව ඇත්තේ මාස හයක පමණ කාලයකි. එම ජනාධිපතිවරණයේදී බල ඛණ්ඩනයක් ඇතිකර ගතහොත් මිස ඉහත වෙනස කරා යෑම ඉතා අසීරු වනු ඇත. මීළඟ ජනාධිපතිවරණයකදී ඒකා-අධිපතිත්වය පැරදවිය හැක්කේ විපක්‍ෂයේ සියලූම බලවේග එක්ව දරන ප‍්‍රයත්නයකදී පමණකි. වෙන්ව ඊට එළැඹීම පරාජයේ මඟය. එවැනි ඒකාබද්ධ ප‍්‍රයත්නයක් සඳහා ඒ සියලූ විපක්‍ෂ බලවේගවල එකඟතාව අවශ්‍යය. එහෙත්, රටේ තිබෙන්නා වූ වැදගත් ජාතික ප‍්‍රශ්න ගැන ඒ සියලූ බලවේගවල පොදු සම්මුතියක්, ඒ මාස හයක කාලය තුළදී ඇතිකරගත හැකි වෙතැ’යි සිතීම ප‍්‍රායෝගික නැත. ඒ නිසා අපට කළ හැක්කේ ඉහත කී සෑම ස්ථරයකටම එකඟ විය හැකි කාරණා පිළිබඳව පමණක් මූලික එකඟත්වයක් ඇතිකරගැනීමය. හෙවත් අවම එකඟතා (එනම් එකඟවිය හැකි උපරිම දේ) ඇති පොදු වැඩපිළිවෙලක් සකසා ගැනීමය. එම එකඟතා සහිත පොදු වැඩපිළිවෙලක් ඇතිව එක් පෙරමුණක් හැටියට ජනාධිපතිවරණයට මුහුණදී, ජයගතහොත් ඉන්පසු අනෙක් වැදගත් කාරණා ගැන එකඟතා ඇතිකර ගැනීම සඳහා දිගුකාලීනව එක්ව වැඩකිරීමය.

අප සිතන පරිදි, ඒ සියලූ බලවේගවලට එක්විය හැකි පළමු කාරණාව විධායක ජනාධිපති ක‍්‍රමය අවසන් කිරීමය. දෙවැන්න 17වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත ක‍්‍රියාත්මක කිරීමය. සමහරවිට තුන්වැන්න, ඡුන්ද ක‍්‍රමයේ වෙනසක් ඇතිකර ගැනීමය. මේ ප‍්‍රධාන කරුණු තුනට අමතරව, ජනවාර්ගික ප‍්‍රශ්නය විසඳීම වැනි අනෙක් වැදගත් ජාතික ගැටලූ පිළිබඳව එකඟතාවක් ඇතිකර ගැනීම, බැරි නොව, බොහෝ කල් ගතවන එකකි.

මේ විෂය අරබයා දැනට ඉතාම වැදගත් සාකච්ඡුාවක් පවත්වාගෙන යන්නේ රාවයයැ’යි සිතමු. රාවයේ මෙතෙක් පැවැති එම සංවාදයට සහභාගිවූ හා නොවූ, මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුවේ සාමාජිකයන්, හිතවතුන්, ජාතිකවාදීන් නොවන අන් සියල්ලන්ම පාහේ සිටින පොදු ස්ථාවරය හා මූලික කොන්දේසිය නම්, විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කළ යුතුය යන්නය. එය අහෝසි කිරීම සඳහා සියලූ බවේගවල එකඟතාවෙන් පොදු වැඩපිළිවෙලක් මත, පොදු අපේක්‍ෂකයකු ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ යුතුය යන්නය. පක්‍ෂ වෙන වෙනම ඉල්ලන්නට ගියහොත් පරාජය නියත බවද ඔවුන්ගේ පොදු මතයයි. එහෙත්, මේ පොදු ගුණාකාරය තුළ වුවද, විධායක ජනාධිපති ක‍්‍රමය අවසන්කොට ඇතිකර ගන්නා ක‍්‍රමය කුමක්ද, ඒ සඳහා යා යුතු මාර්ගය කුමක්ද, ඒ මාර්ගයෙන් ලංකාව මුහුණ දී සිටින බලවත් අන්තරාය ජයගන්නේ කෙසේද යන්න ගැන ඒ ඒ අයට වෙනස් අදහස් තිබෙන බව පෙනෙයි. එය විචිත‍්‍රය. ඒ වෙනස් අදහස්වලින් සංවාදය පෝෂණය වෙයි. ගැඹුරු වෙයි. අඩුලූහුඬු නැතිවී ශක්තිමත් වෙයි.

කුසල් වෙනස්

එහෙත් කුසල් පෙරේරා මහතා ඒ කුලකයෙන් වෙනස් කෙනෙකි. ඔහු ඉන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය මුළුමනින් අහෝසි කිරීමේ ස්ථාවරයක නොවන බව ගිය සතියේත්, ඊට පෙරත් ඔහු ලියූ විවිධ අදහස්වලින් පෙනේ. ඔහු විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන්පාඨය දකින්නේම හතුරු හිතෙනි. මේ බලන්න. ‘පොදු අපේක්ෂකයෙකු හා ඒ වෙනුවෙන් රටේ සියල්ල විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ තනි යෝජනා මාලාවකට ලඝු කර ඉදිරිපත් කිරීමෙන් සිදු වන්නේ, මේ රට ගොඩගැනීම පිළිබඳ පුළුල් සමාජ සංවාදයකට තිබිය හැකි අවකාශය පටු වීම ය…. බාලගිරි දෝසය වැනි විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ අවුරුදු 20ක් පැරණි යෝජනාව අතිශය හදිසි කාරණාවක් ලෙස පෙරට තල්ලූ කර ඇත්තේ ඒ සිංහල බෞද්ධ තේරීම වසන් කර විපක්ෂයේ පොදු එක`ගත්වය ලබාගැනීමටය.’ (අගෝස්තු 3, රාවය*. එපමණෙකින් නොනවතින ඔහු තම ‘පුළුල් සමාජ සංවාදය’ ඇතිකිරීම සඳහා යෝජනා කරන්නේ කුමක්ද? ‘පොදු අපේක්ෂකයෙකු වෙනුවට එක් එක් පක්ෂවලට තම තමන්ගේ වැඩ පිළිවෙලක් සමගින් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම වඩා යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් යැයි මම කියමි. එවැනි විටෙක, මෙතැනින් එහාට මේ රට ඉදිරියට ගෙන යන්නේ කෙසේද යන්න පිළිබඳව විකල්ප යෝජනා දෙක තුනක් සැසඳීමේ වැඩි ඉඩක් හැකියාවක් සමාජ මත ගොඩනගන බහුතර කි‍්‍රයාකාරීන්ට ලැබෙනු ඇත.’ (අගෝස්තු 3, රාවය*. කුසල්ට අනුව තිබිය යුත්තේ පොදු වැඩපිළිවෙලක් නොව, විකල්ප යෝජනා දෙක තුනකි. මේ නම්, ඉදිරි ජනාධිපතිවරණයේදී විකල්ප බලවේග ‘බෙදී විනාස වීමේ’ මාර්ගයම මිස අන් කුමක්ද? ඒකා-අධිපතිත්වය තවදුරටත් පවත්වාගැනීමේ මාර්ගය මිස අන් කුමක්ද?

තවත් දෙයක් කිව යුතුය. දැන්, එක් එක් පක්‍ෂ අපේක්‍ෂකයන් දෙතුන් දෙනකු ඉදිරිපත් කළ යුතුයැ’යි කියන කුසල් මීට ටික කලකට පෙර කීවේ, ‘පොදු අපේක්‍ෂකයා’ විය යුත්තේ උතුරු ප‍්‍රධාන ඇමති සීවී විග්නේශ්වරන් බවය. එහෙත් විග්නේශ්වරන් මහතාම ඒ අදහස ප‍්‍රතික්‍ෂෙප කළේය.

ජාතික ප‍්‍රශ්නය

මෙපරිදි විවිධ අවස්ථාවලදී විවිධ ස්ථාවර ගන්නා කුසල්, දැන් කියන්නේ ජාතික ප‍්‍රශ්නය විසඳන්නේ නැති පොදු වැඩපිළිවෙලකින් වැඩක් නැති බවය. ඇත්ත. ජාතික ප‍්‍රශ්නය මේ රටේ අංක එකේ ප‍්‍රශ්නයය. අපි ඒ ගැන කොතෙකුත් ලියා ඇත්තෙමු. ඒ විසඳාගන්නේ නැතිව රටට ඉදිරියක් නැත. එහෙත්, වැදගත්ම ප‍්‍රශ්නය නම්, ඒ සඳහා ගමන පටන්ගත යුත්තේ කොතැනින්ද යන්නයි. පොදු වැඩපිළිවෙල පටන්ගත යුත්තේ ජාතික ප‍්‍රශ්නය ගැන මූලික එකඟතාවක් ඇතිව බව කියන්නේ නම්, ඒ සඳහා සිටිනු ඇත්තේ අතේ ඇඟිලි ගණනටත් අඩු කිහිප දෙනෙකි. ජාතිකවාදී නොවන, ආණ්ඩුවේ කොටස්කරුවන්ද හිත වතුන්ද නොවන, රටේ පළමු ප‍්‍රශ්නය ජාතික ප‍්‍රශ්නයයැ’යිද එය පළමුව විසගත යුතුයැ’යිද පිළිගන්නා කුසල්, අප හා සමාන කුලකවල අනෙක් අය අතර වුවද, ජාතික ප‍්‍රශ්නය විසඳාගන්නේ කෙසේදැ’යි ප‍්‍රශ්න විචාරාත්මක තරගයක් පැවැත්වුවහොත් එක් පිළිතුරක් ලැබේයැ’යි සිතිය හැකිද? කිසිසේත් නැත. ඒ තරම් එය සංකීර්ණය. ඉතින්, අප අතරම එවැනි වෙනස්කම් ඇතිකරන ජාතික ප‍්‍රශ්නය ගැන රටේ දේශපාලන පක්‍ෂවලවත් එකඟත්වයක් මාස හයක් තුළ ඇතිකරගත හැකිද? රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන් අසන්න, 13වැනි සංශෝධනය ක‍්‍රියාත්මක කළ යුතුයැ’යි කට පුරා කියනු ඇත. එහි පොලිස් හා ඉඩම් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබාදෙන්නේදැ’යි ඊළඟට අසන්න. කටඋත්තර නැති වනු ඇත. ජවිපෙන් අසන්න. සමාජවාදය ඇතිකර සැමට සම අවස්ථා දෙන තෙක් බෙදුම්වාදීන් ආයුධ බලයෙන් පැරදවීම යුක්තිසහගතයැ’යි කියනු ඇත. සරත් ෆොන් සේකාගෙන්, සිරිතුංග ජයසූරියගෙන්, මනෝ ගනේෂන්ගෙන් අසන්න. ලැබෙන පිළිතුරු සසඳන්න. ඉතින්, ජාතික ප‍්‍රශ්නය ගැන මොවුන් අතර පොදු එකඟතාවක් ඇතිකර ගන්නේ කෙසේද?

ජාතික ප‍්‍රශ්නය ගැන කතානොකරන පොදු වැඩපිළිවෙලකින් වැඩක් නැතියැ’යි කුසල් කියන්නේ, මේ තිත්ත ඇත්ත හොඳින් දැන දැනමය. ඔහු එපමණකින් නොනවතියි. මෙසේද කියයි. ‘..තර්කයක් ලෙස ගතහොත්, පැරණී පාර්ලිමේන්තු සතුවූ අඩුපාඩු මකාදමා වඩා යහපත් පාර්ලිමේන්තුවක් හැදීමට යෝජනා කෙරෙන්නේ නම්, ඒ තර්කය විධායක ජනාධිපතිධුරයටද එලෙ සින්ම වලංගුය. වඩා පරිපූර්ණ 17වන සංශෝධනයක් මගින් විධායක ජනාධිපතිධුරයේ අසීමිත බලය කප්පාදු කර රාජ්‍යය නිර්දේශපාලනය කළ හැක. ඒ වගේම පවතින මුක්තිය ඉවත්කර ජනාධිපතිධුරය අධිකරණය ටද වගකිවයුතු ධුරයක් බවට පත්කිරීමෙන් මේ විධායක ජනාධිපති ක‍්‍රමය ද ශුද්ධ කරගත හැක. (කරන්නන් වාලේ ආණ්ඩු මාරු කිරීමේ අනතුර, කුසල් පෙරේරා, 2014 ජුනි 8 රාවය, 9 පිටුව.) මෙන්න කුසල්ගේ විසඳුමෟ අපට අනුව නම් එය අතුරලියේ රතන හිමියන් ප‍්‍රමුඛ ජාතික හෙළ උරුමයේ ස්ථාවරයෙන් වෙනස් වන්නේ නැත.

කෝඳුරු තෙල්

අපගේ යෝජනාව, මෙලෙස කෝඳුරු තෙල් හත්පට්ට සොයන්නේ නැතිව මේ තීරණාත්මක අවස්ථාවේදී වෙදකම ආරම්භ කළ යුතු බවය. ඒ සඳහා යොදාගත හැකි කවුරුත් එකඟ විය හැකි, ඖෂධ දෙකක් තුනක් තිබේ. එකක් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමය. දෙවැන්න 17 යළි පිහිටුවීමය. හැකිනම්, තෙවැන්න ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමය. මේ ඉතාම මූලික එකඟතාවක් බව පැහැදිලිය. එහෙත්, ඒ පොදු එකඟතාවෙන් යුත් පොදු අපේක්‍ෂකයකු ජයග‍්‍රහණය කරගත හැකි වුවහොත්, ඔහු/ඇය විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමෙන් ඇතිවන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළ, කුසල්ද අපද අවිවාදයෙන් පිළිගන්නා වඩාත් වැදගත් කාරණා ගැන එකඟතා ඇතිකර ගැනීමට සිතීමටවත් ඉඩක් පෑදෙනු ඇත. නැතිනම් සිදුවනු ඇත්තේ, මේ බලවේග විනාශ වී ඒකා-අධිපති බලය නැවතත් තහවුරු වී තවත් අවුරුදු විස්සකට තිහකට එහා බැලීමට පමණක් අපට සිදුවීමය. එවැනි පරිසරයක අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ගැන සංවාදද සිහිනයක් වනු අත්තේය.

සෝභිත හිමි

සෝභිත හිමියන්ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය මෙහිදී වැදගත්වන්නේ පසුගිය වසර තුනක් පමණ තිස්සේ, අන් කිසිවෙකු ඒ ගැන කතා නොකළ කාලයක සිට අරඹා විධායක ජනාධිපතිධුරය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පවරන සංයුක්ත යෝජනාවලියක කෙටුම් පතක් සකස්කොට වර්ධනය කිරීම නිසාය. තවමත් එවැනි පැහැදිලි, ඒත්තුගන්වනසුලූ මාර්ග සැලැස්මක් කිසිම පාර්ශ්වයකින් ඉදිරිපත්ව නැත. එම යෝජනාවලිය සාධාරණ විචාරයකට බඳුන්කරනවා වෙනුවට කුසල් කරන්නේ එය පාච්චල් කිරීමයි. ‘දැන් සිදු වන්නේ රටේ අනාගතය පිළිබඳව තීන්දු ගැනීමේ වගකීම තමන් වෙත පවරා ගත් කණ්ඩායමේ තේරීම හරිද වැරදිද කියා තර්ක කිරීම පමණි. රටේ වැදගත්ම කාරණා ගැන කළ යුතු සංවාදයට ලැබෙන අවධානය හා වැදගත්කම ඇහිරී යන බැව් දැනටත් දැකිය හැක්කකි.’ (අගෝස්තු 3 රාවය.) ඇත්ත වශයෙන්ම නම්, කුහකකමෙන් මිදී අප සතුටු විය යුත්තේ මේ කණ්ඩායම එකට එකතුවී රටේ අනාගතය පිළිබඳ වගකීම තමන් වෙත පවරාගෙන වුව හෝ නැතිව, කිසියම් යෝජනාවලියක් කෙටුම්පත්කොට සංවාදය සඳහා සමාජගත කිරීම ගැනය. අප දන්නා පරිදි කුඩා වුවද ඒ කණ්ඩායම ප‍්‍රවීණ නීතිඥයන්, දේශපාලනඥයන්, විශ්ව විද්‍යාල ඇදුරන්, වෘත්තිය සමිති නායකයන්, මාධ්‍යවේදීන්, සමාජ ක‍්‍රියාකාරීන්, ව්‍යාපාරිකයන්, ආර්ථික විශේෂඥයන්, සාහිත්‍යකරුවන් ඇතුළු වර්ණවත් සාමාජික පිරිසකගෙන් සමන්විත බව ඔවුනට ගෞරව පිණිස කිව යුතුය. අනෙක් අතට ඔවුහු තමන්ගේ කෙටුම්පත අවසානාත්මකයැ’යිද, එය සැමදෙනා පිළිගත යුතුයැ’යි ද නොකියති. අප හිතන විදියට එවැනි විවෘත දෙයක් ගැඹුරු සංවාදයකට බඳුන්කරනවා ඇරෙන්නට කෙවිටෙන් තලා සෝපාහාසයෙන් පිටමං කිරීම අපරාධයකි.

කුසල්ගේ මුළු ලිපියේම කතාකරන්නේ එහි ඇති අංගවලින්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් ලබාගැනීමේ හැකි/නොහැකි බව ගැන පමණෙකි. සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය එළිදැක්වූ ‘යහපත් හෙටක් සඳහා මහජන න්‍යාය පත‍්‍රයක්’ නම් කුඩා පොත් පිංචේ තුනෙන් දෙකේ බලය ලබාගැනීම ගැන කරන ‘දේශපාලන ගණන් බැලීමක්’ තිබේ. ඒවා වරදින්නටද හැකි බව ඇත්තය. එහෙත්, කුසල් කරන්නේ එය ජයම්පතිගේ හීනයක් බවට ලඝුකොට සෝපාහාසයෙන් පිටුදැකීමය. ඒ සඳහා ජයම්පති දෙන්නේ අඩමාන අවිශ්වාස සහගත උත්තරයක් බව කීමය. (තුනෙන් දෙකක් ලබාගත හැකි අන්දම ගැන ටක්කෙටම උත්තරයක් දිය හැකි නම් ඒ ජයම්පති නොව සහම්පති බ‍්‍රහ්මයා විය යුතුය.) මේ වචන බලන්න. ‘එවැනි හීන දකින්නට ඔහුට අයිතියක් ඇත. එහෙත් මේ රටේ ජනතාව අනුන්ගේ අවසන් නොවුණු හීන බාර ගැනීමට බැඳී නැත.’ මේ කියන ජනතාව හා කුසල් යනු දෙදෙනෙක්ද? එක් කෙනෙක්ද? අප නම් සිතන්නේ කුසල්ගේ සෝපාහාසය, ජයම්පතිට පමණක් නොවේ, ඉදිරි දේශපාලන වෙනසක් දකින්නට කැමති සියල්ලන්ටම එරෙහිව බවය.

ඇත්ත වශයෙන්ම ජයම්පති පමණක් නොව, අපිද සමූහයක් ලෙස අවසන් නොවුණු සිහින දකින්නෝ නොවෙමුද? සිහින දැකිය යුතුය. ඊටත් වඩා අඩුපාඩු දුරැුරගෙන ඒවා සැබෑ කරගන්නට වෙහෙසිය යුතුය. එය කළ හැකිවන්නේ සාධාරණ සංවාදයකින්, විචාරයකින් ඒවා ඔපමට්ටම්කොට ගතහොත් පමණකි.