ග්ලාස්ගෝහිදී ඇද වැටුණු අපේ ක‍්‍රීඩාව

ක්‍රීඩාවේ ජයග‍්‍රහණ යනු හුදෙක් සැහැල්ලූවෙන් ළඟා කරගත හැකි විමුක්තියක් නොවන බව ශ‍්‍රී ලංකා බලධාරීන් තවමත් වටහාගෙන නැතිකමින් ග්ලාස්ගෝ බලා ගිය ශතකයකට අධික ක‍්‍රීඩා පිරිස ගිය සැහැල්ලූවටම මෙරටට පැමිණ ඇත්තෝය.

මුලින්ම කිවයුත්තේ ක‍්‍රීඩාව යනු සැහැල්ලූවට නොගත යුත්තක් බවය. ක‍්‍රීඩාව තුළ නොමැතිම දේ සැහැල්ලූවය. කිසිදු ජයග‍්‍රහණයකින් ක‍්‍රීඩකයාගේ අවසාන ඉලක්කය නොසපිරෙන්නේය. ක‍්‍රීඩකයා යනු ජයග‍්‍රාහී රෝගයෙන්ම පෙළෙන්නෙක්ය. එහෙත් මෙරට තත්ත්වය ඊට හාත්පසින්ම ප‍්‍රතිවිරුද්ධය. ලංකාව නියෝජනය කරමින් විදෙස් තරගවලට යන රොත්ත බුරුත්තම හිස් අතින් හිස් හිතින් මෙරටට ගොඩ බසිනුයේ තවත් විදෙස් සංචාරයක නියැලූණායැ’යි හදපිරි සතුටෙනි. ඉන් එහා පරමාර්ථයක් තිබුණේ නම් ඔවුන් තමන් ගැනම ලැජ්ජා විය යුතුය. එහෙත් එවන් තත්ත්වයක් අපි අත් නොවිඳිමු.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙලේදී අප ලද එකම පදක්කම බර ඉසිලීමෙන් ලද රිදී පදක්කමය. අප ශ‍්‍රී ලංකා පිල ග්ලාස්ගෝ බලා යෑමට ප‍්‍රථම ලියූ සටහනින් අවධාරණයෙන් කියා සිටියේ අප ලබන එකම ජයග‍්‍රහණයක් වේ නම් එය බර ඉසිලීමෙන් සටහන් වනු නියත බවය. එය ටක්කෙටම හරි ගියේ අප පේන කීමේ හැකියාව වඩා ඇති නිසා නොව ලංකාවේ තත්ත්වය ගැන සවිඥානික නිසාවෙනි. සංගම්හි නිලධාරීන්ගේ කතා විශ්වාස කොට හෝ ඔවුන් සනසනු සඳහා බොරු බේගල් ඇදබෑම අපගේ සිරිත නොවේ.

ඩයන් ගෝමස්ගේ කයිවාරු යමෙක් විශ්වාස කරන්නේ නම් අප ඔලිම්පික් පදක්කම් දුසිමක්වත් මේ වනවිට දිනා සිටිය යුතුය. එහෙත් අභාග්‍යය තවමත් ඔහු ගරිල්ලා මට්ටමේ කෙප්ප ඇදබාමින් යෙහෙන් වැජඹීමය. බොක්සිං ගැන වෙනම ලිවිය යුතුය. එහෙත් ඩයන්ගේ කයිවාරුවලට දියාරු වන මාධ්‍ය නඩය බොරු මවාපෑමක් කරන බව කිව යුතුමය. එහි විපාක අපි කිහිපවරක්ම ඇඟ රිදෙන්නට විඳ ඇත්තෙමු. තවත් විඳින්නෙමුද? සැබැවින්ම තව කාලයකට විඳිනවා වෙනුවට විඳවනවා නියතය.

මලල ක‍්‍රීඩා

මලල ක‍්‍රීඩා සංගමය අප නාමකරණය කරනු ලැබුවේ මළ සංගමයක් ලෙසය. එය නිට්ටාවටම තහවුරු වී ඇත. පාලිත ප‍්‍රනාන්දුගේ උපරිමය උපරිමයෙන් පෙන්වා හමාරය. ඔහුට දැන් හතිය. ඔහු විශ්වාස කරනු ලබන එකම ක‍්‍රීඩිකාව සොනාලි මෙරිල්ය. ඇය තරගාවලි කිහිපයකටම ඇමරිකාවේ සිට ආනයනය කළද අවසන් ප‍්‍රතිඵලය ලිවීමත් ජුගුප්සාජනකය. එහෙත් සිදුවන්නේ එයමය. මලල ක‍්‍රීඩාවේ පතාකයකු වන යෝගානන්ද විජේසුන්දර ග්ලාස්ගෝ සිට කියනුයේ කුමක්ද? අපේ යම් නැගීමක් ඇති බවය. ආසියානු ක‍්‍රීඩා උළෙලේදී යමක් කළහැකි බවය. යෝගානන්ද මහතා දක්ෂයෙකි. ඒ ගැන විවාදයක් නොපවතී. එහෙත් ඔහු අවංක නැති බව අපගේ හැඟීමය. මලල ක‍්‍රීඩාව කඩා වැටීමට යෝගානන්දලාගේ නිහඬකම මූනිච්ඡුාවට යමක් කීම පාලිතලාට වඩා විනාශයක් කළ බව කිව යුතුය. මලල ක‍්‍රීඩාව ගොඩගැනීමට සුනිල් ගුණවර්ධනලාටද කළහැකි කෙන්ගෙඩියක් නැති බවත් ඔවුන්ගේ දැනුමද මේ වනවිට ක‍්‍රීඩා කෞතුකාගාරයේ තැබිය යුතු කාලය එළැඹ ඇති බවත් කිව යුතුය. මේ මහත්වරුන් තම තමන්ගේ නිදහසට ඕනෑතරම් බේගල් ඇදබානු නියතය. ඒ තවදුරටත් ඔවුන්ගේ පැවැත්ම සඳහා මිස ක‍්‍රීඩාවේ සුබ සිද්ධියට නොවන බව කිව යුතුය.

ඔලිම්පික් සභාපති

ක‍්‍රීඩා උළෙලක් අවසානයේ ලද පරාජයේ අමිහිරි අත්දැකීම් තුළින් ඉලිප්පෙන හඬ හේමසිරි ප‍්‍රනාන්දු මහතාගේ බව අපි කාලාන්තරයක සිට අත්විඳ ඇත්තෙමු. ඔහු සිය ප‍්‍රකාශ නිර්භයව මුදාහරියි. එහෙත් ඉන් ඇති ඵලය කුමක්ද? මේ අප සැවොම කෑමොර දෙනුයේ බීරි අලින්ටය. ඔලිම්පික් නිවහන පදක්කම් නිෂ්පාදනය කිරීමේ ෆැක්ටරියක් නොවන බව හේමසිරි මහතා කළ ප‍්‍රකාශයෙහි අන්තර්ගතය. අප කියනුයේ ඒ කතාව පැරණි බවය. නව කතාව විය යුත්තේ ඔලිම්පික් නිවහන පදක්කම් දිනන ෆැක්ටරියක් බවට පත් කරමු යන්නය. ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවක් ඇතත් එයින් වන ඉටිගෙඩියක් නැති තැන ඔලිම්පික් කමිටුවට නව දැනුම මෙරටට ගලා එන ශක්තිමත් ක‍්‍රමවේදයක් සකස් කළ හැකි බව අපගේ හැඟීමය. ඊට අවැසි යාන්ත‍්‍රණය ඔලිම්පික් කමිටුව සතුව ඇත. තම සීමා අතික‍්‍රමණය කළ යුතු තැන කළ යුතුව ඇත. එබැවින් ඔලිම්පික් සංගමය, ක‍්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව, ක‍්‍රීඩා අමාත්‍යාංශය දෙමුහුම්, තෙමුහුම් වී ක‍්‍රීඩා සංවර්ධනයක් ඇති කළ යුතුය යන්න අප සිටින තැනය.

ක‍්‍රීඩා ඇමති

ක‍්‍රීඩා අමාත්‍යවරයාද සංචාර යෑමේ රුසියෙකු බව මේ වනවිට ඕනෑවටත් වඩා ඔප්පු කොට හමාරය. ඒ තුළ ඇති බාල සංඥාව ඔහු අපූරුවට තහවුරු කොට ඇත. ලෝක කුසලාන පාපන්දු තරගාවලිය නරඹන්නට ඔහු බ‍්‍රසීලයට ගියේ ක‍්‍රීඩාවට ඇති ඇල්ම බැල්ම නිසාද? ඒ පයින්ම ග්ලාස්ගෝ ගියේ ක‍්‍රීඩාවට ඇති ආදරයටද? මේ සියල්ල ප‍්‍රාථමික වින්දනයන්ය. නිශාන්ත පියසේන සත්කාරක අයිතිය ගැනීම ක‍්‍රීඩාවේ අභිවෘද්ධියයැ’යි ප‍්‍රාථමික කතා කියතත් ඒවායේ හරයක් නැත්තේ සාග් සත්කාරය ගත් අප සාග් ක‍්‍රීඩා උළෙලින්ද ආපස්සට ගොස් ඇති බැවිනි. අනෙක් අතට කුමන රටක ලොකු ක‍්‍රීඩා උළෙලක් වේද? සත්කාරකයන් නොවූවද ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා බහුතරයම සිටිනුයේ ඒ රටෙහිය. විසිවැනි පොදු රාජ්‍ය මණ්ඩල ක‍්‍රීඩා උළෙල පැවතියේ ග්ලාස්ගෝවලය. එහෙත් ඒ කාලය තුළ මෙරට ක‍්‍රීඩාවට වාරකන්ය. ක‍්‍රීඩා අමාත්‍යාංශයට පඩි සහිත නිවාඩුය. සියල්ල සංචාරයට ගොස්ය. ඉතිරි වූ කිහිපදෙනා ඉදිරියේදී පැවැත්වීමට නියමිත ආසියානු තරගාවලියට සූදානම් වෙති. මේ තනිකරම වන්දනා ගමන්ය. කාලයක සිට අත්විඳිනුයේ මේ තත්ත්වයය.

හේමසිරි මහතා කියන ලෙස අත්දැකීම් ලබන්නට ජාත්‍යන්තර තරග නියෝජනය කර පලක් නැතිය. එය අන්තර්ජාලය හරහා ලැබිය හැකිය. අප මුලින් ඒ සියල්ල ලියා ඇත. ශ‍්‍රී ලංකා පිල මේවාට සහභාගි වුවද ලබන අන්තර්ජාතික අත්දැකීම් නැති තරම්ය. එවැනි අත්දැකීමක් ලබන්නට අඩුම තරමේ අප අවසන් වටයටවත් ළංවිය යුතුය. එවිට අත්දැකීම් ඉබේටම ලද හැකිය. එහෙත් මූලික වටයේදීම මුල් සිඳ ගන්නා අප ලබන අත්දැකීම් කුමක්ද? තම සංචාරක දිවියට තවත් රටකට ගිය බව පමණය. රටේ ප‍්‍රථමයා වීම ජාත්‍යන්තර තරගයකට යෑම එකම විකල්පය නොවේ. ග‍්‍රීන් කාඞ්පත් ලබා හෝ යායුත්තේ යායුතු පිරිසක්මය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ශතකය ඉක්මවා සහභාගිවීම එක් අතකින් හොඳය. ඒ අඩුම තරමේ මෙරට තුළ ඔවුන් ලද මහන්සියට යමක් ලැබුණායැ’යි තුටුවිය හැකිය. එහෙත් නිලධාරිහු මෙතරම් ප‍්‍රමාණයක් සහභාගිවන්නේ ඇයි? නිල ගණන හතළිස් හතරක් වුවත් හැත්තෑවට ආසන්න පිරිසක් සහභාගි වූ බව කිව යුතුය. එය ඊට වැඩි මිස අඩු නැතිය. මේ සඳහා රටේ විශාල මුදල් ප‍්‍රමාණයක් විනාශ විය. සංදර්ශනවලට කැමති මේ ආණ්ඩුවට එය සොච්චමකි. රග්බි සැණකෙළි සඳහා වියදම් කරන මුදල් අනුව මෙවැනි දෑ කිරීමත් අවැඩක් නැති බව කිව යුතුය. එහෙත් අවසානයේ මේ සියලූ මුදල් මහජනයාගේ පොකැට්ටුවෙන්ම ගන්නා ඒවා බවද සිතිය යුතුය.

නිගමනය

ක‍්‍රීඩා ඇමතිවරයාද සියැසින් ලද අත්දැකීම් එමට විය හැකිය. ඒ ක‍්‍රීඩාවේ අත්දැකීම්දැ’යි අපි නොදනිමු. එහෙත් සංගම් නියෝජනය කරමින් ගිය බලධාරීන් තරගාවලියෙන් පසු ලද අත්දැකීම් වාර්තාගත කළයුතු අතර ඒ සියල්ල එකතු කොට පරාජයට හේතු සෙවීමක් කළ යුතුයැ’යිද අපි නොකියමු. මන්ද ඉතිහාසය පුරා එවැනි කතා අසා හෙම්බත් වී ඇති බැවිනි. ඔලිම්පික් සභාපතිවරයා නැවත ඔලිම්පික් පුටුවේ වාඩිවෙනු ඇතැ’යි අපගේ නිගමනයය. එය කල්තබාම අපි ලියා ඇත්තෙමු. එබැවින් තම සීමාවෙන් එපිට කළයුතු දෑ සෙවිය යුතු කාලය එළැඹ ඇත.
මෙරට ක‍්‍රීඩාව ගැන තවදුරටත් සිතිය යුතු නම් මේ තවත් ඊට සුදුසු ඉමකි. දුවමුද? පනිමුද? කට බලියාගෙන නිදියමුද? බලධාරීන්ට භාරය. මේ ගැන තව ලිවිය යුතුය. ඉදිරියට ලියමු.