මායාරංජන් මතක මංපෙත මතින් දිගාමඬුල්ලේ සරමි

සිරිමල් සහ මම, මඩකළපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැගුණෙමු. එය අපද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේය. මුල් මයිල පසළොස තුළ දැකිය හැකි මහත් ආශ්චර්යයක් නැති. තැනෙක මිටි පඳුරින් වැසුණු නිසරු බිම්ය. අතරතුර සරු පොල් වතු සහ රටකජු ඉඩම්ය. මානෙන් මානයේ, දෙමළ-මරක්කල සිරිත අනුව කටු පැළැලි, අතු පැළලි ආදියෙන් ඇවුරුණු ගෙමිදුල් ඇති ගම් පිහිටියේය.’ මේ මායාරංජන් නැතිනම් මහානාම රාජපක්ෂ ලේඛකයා ලියූ දිගාමඬුල්ලේ ආශ්චර්යය කෘතිය ඇරඹෙන අයුරුය. එය මනරම් ලියවිල්ලකි. මගේ කැලෑ ගම්වලට රිංගීමේ ආසාව ඇති කොට හදාවඩා ගත්තේ මේ අපූරු පොත් පිංචය. මේ පොතේ විස්තර වෙන පනහ දශකයේ වැව්ගම්පත්තුව නැතිනම් දිගාමඬුල්ල දැන් කෙළෙසක ඇත්දැ’යි දෑසින් දැකගැනීමේ නොතිත් ආසාවකින් කලක සිට මඬනාලද මා ඒ සඳහා දිනයක් තෝරා ගතිමි. යහළුවකුද ගමනට එක්විය. පොතට අනුව ගමන ඇරඹුම මඩකළපුවය. කලවංචිකුඩි, අක්කරපත්තුව හරහා එය දමනින් කෙළවර වෙයි. පසුව දමන මැදිකොට ගෙන ලේඛකයා බොහෝ ගම්දනව් පසුකර අතීතය සොඳුරු සිතුවමක් බවට පත්කරයි.

අතීත වැව්ගම්පත්තුව

‘පැරණි දිගාමඬුලූ ජනපදයට අයත් වර්තමාන වැව්ගම්පත්තුව නැගෙනහිර පළාතේ මැද හරියේ-එහි බටහිර සීමාසන්නයේ පිහිටි පෙදෙසකි. එහි භූමිය තැනින් තැන පිහිටි කුඩා හෙල්වලින් යුත් තැනිතලාවකි. මේ තැනිතලාව සාමාන්‍යයෙන් මුහුදු මට්ටමේ සිට අඩි දෙසීය දක්වාද, හෙල් මුදුන් අඩි දහස දක්වාද උස්ය.

රජය ජල විදුලි කර්මාන්තය කරවා දිගාමඬුල්ලට පුනර්ජීවය දුන් ගලඔය, වැව්ගම පත්තුව කොටස් දෙකකට බෙදමින් ගලයි. පළාතේ මෙය ගල්ඔය නොව ගලඔයයි. පරණ ලංකා සිතියම්වල මෙය සඳහන් වූයේ පට්ටිපල් ආරු නමිනි. එය සෑදී ඇත්තේ පට්ටි-පොළයි-ආරු යන්නෙනි. අදහස ගාල ළඟ ඔය යනුයි. එසේ නම් මෙහි මුල් නම ගාලේ ඔය විය යුතුය. නම කුමක් වුවත් වැව්ගම්පත්තුව මෙතෙක් ජලාශ‍්‍රිත වූයෙන්, දිගාමඬුල්ලේ දීප්තියට ඉවහල් වූයේත් මේ ඔයයි.’ මේ වැව්ගම්පත්තුව මායාරංජන් හඳුන්වා දෙන අයුරුය. ඉතිහාසයේ සද්ධාතිස්ස වාරිකරණයට පසු සහ රාජ්‍යය බටහිරට සංක‍්‍රමණය වන විට මේ ගොවිබිම ජනයාගෙන් තොර කලාපයක් වූයේයැ’යි සිතිය හැකිය. පසුව 1818 වෙල්ලස්ස කැරැුල්ල නැවතත් වැව්ගම්පත්තුවේ බටහිර සීමාව ජනාවාස කරන අයුරක් දකිත හැක. කැරැුල්ලෙන් ගෙවල්-දොරවල් ළමා ළපටින් අහිමි වී උඩහ පළාත්වල බොහෝ පිරිස් ආරක්ෂාව පතා පහළට, කැලෑ තුළට සංක‍්‍රමණය වූහ. ඔවුන්ගෙන් යම් ප‍්‍රමාණයක් ගලඔය නිම්නයේ පදිංචි වූහ. තවත් සමහරුන් පානම, කුමන වැනි ඈත සීමාවේ මුහුදු වෙරළ දක්වාම ගමන් කළහ.

මෙලෙස ජනාවාස වූ වැව්ගම්පත්තුවේ නැගෙනහිර වෙරළ සීමාවේ බොහෝදුරට ජීවත් වූයේ දෙමළ සහ මුස්ලිම්වරුන්ය. ඔවුන් සමග මෙහි පැමිණි මිනිසුන් එකතු විය. සංයෝග විය. කිව්ලේගම, දේවාලන්ද, වඩිනාගල, වාවින්න, පරගහකැලේ, පදාගොඩ, කොක්නහර, දමන, මහඔය, උණුවතුර බුබුල, පදියතලාව, සේරන්කඩ, උහන, කොහොඹාන යන ගම් පැරණිය. මෙහි පැරැුන්නෝ බොහෝවිට උඩරට කැරැුල්ලෙන් පල්ලමට වැටුණ උදවිය වෙති. ඔවුන් සමහරකගේ කතා විලාසය තවමත් පැරණිය. බොහෝ දෙනකුගේ පෙළපත් නාම දිසානායක මුදියන්සේ, රත්නායක මුදියන්සේ, කෝනාරමුදියන්සේ, අත්තනායක මුදියන්සේ, වීරසිංහ මුදියන්සේ වැනිය. මේ පෙළපත් නාම ගැන සිතීමේදී නුවර-මාතලේ-බදුල්ල-බිබිල වැනි ප‍්‍රදේශවල පෙළපත්නාමද බොහෝ විට මේවාමය. එයින් මේ ගම මිනිසුන් හදවතේ සඟවාගෙන සිටින අපි උඩරට යන සිතුවිල්ලකට ජීවය දෙයි.

වඩිනාගලින් ඇරඹි ගමන

ඉහතින් සඳහන් කළ ගම් පියැසි අතරින් බොහෝ ප‍්‍රමාණයකට මම ගියෙමි. මායාරංජන් ලියූ දිගාමඬුල්ලේ ආශ්චර්යේ රැුඳි කොක්නහර, කිව්ලේගම, දමන, වඩිනාගල මම පසු කළෙමි. මායාරංජන් තම ගමන මඩකළපුවෙන් ඇරඹුවත් මා මගේ ගමන ඇරඹුවේ වඩිනාගල අසලින්ය. ගල මුදුනට රහතන්වහන්සේලා වඩින බැවින් වඩින ගල වඩිනාගල වුණේයැ’යි පැරැුන්නෝ කියති. ඒ බස් අසමින්ම මම මායාරංජන් සිත්හි රඳවාගෙනම ගම ඇතුළට ගියෙමි. බලන්න එවක වඩිනාගල සිරි… විසිතුරු ලෙස විස්තර කර ඇති අයුරු. ‘කොහොම නමුත් අපි හැතැප්ම 3ක් ගෙවා කොක්නහර ගමට ළඟා වුණෙමු. අපේ ගුරුතුමා කලක් කොක්නහර පාසලේද වැඩ බැලූ කෙනෙකි. එයින් ඔහුට කොක්නහර ගම හොඳට හුරුය. කොක්නහර එකල තිබුණ පාසල දැන් නැතිය. එය හෙවිල්ලට කෙනෙකු නැතිව කඩා වැටී ඒ ගෙපළ පැළවුණ වරා පඳුරු දැන් මිනිස් උසකට වඩා උසය. කොක්නහර පසුකර හැතැප්ම 2ක් ගිය තැන දේවාලහිඳ නමැති ගමකි. එගම ඇත්තන්ට හරකුන් ඇති බව ගව ගාලෙන් පෙනුණේය. දේවාලහිඳ සිට තවත් සැතපුම් 3ක් ගිය තැන පදාගොඩට සැතපුම් 8ක් දුර කිව්ලේගමය. කිව්ලේගමද ගෙවල් තුන හතරක් ඇති ගමකි. කිව්ලේගමින් හැතැප්ම දෙකක් දුර වඩිනාගලය.’

දමන සිට වඩිනාගලට මෙම චාරිකාව එන බව පොත බැලූවිට හැෙඟ්. අපගේ චාරිකාව ඊට ප‍්‍රතිවිරුද්ධවය. පොතේ විස්තර පරිදි මායාරංජන් වඩිනාගලට එන්නේ උණුදිය බුබුළ, කන්දේ සුදුගල් ගුහාව, යෝධ ඇලේ පන්සල නැරඹීමටය. අපි උණුදිය බුබුළ සොයා ගැනුමට වෙහෙස වුණෙමු. නවීනයෝ බොහෝදෙනකු ඉසව්වක් නොදන්නා බව හැඟුණේය. පැරැුන්නෝ නම් පැවසුවේ බුබුළට දැන් පුද්ගලික උරුමකරුවෙක් සිටින නිසා ඒ ඉඩමට යා නොහැකි බවය. යෝධ ඇළ බොහෝදෙනකුගේ සිත් තුළින් මැකී ගොසිනි. යෝධ ඇළ සොයන අපට අපූරු හිමිනමක් මුණ ගැසුණේය. අපි එහිමියන් සමග අතීතය ගැන කතා කළෙමු. මේ ඒ හඬය. හිමියන්ගේ නම ගල්කන්දේ ධම්මානන්දය. වල්පොළ රාහුල හාමුදුරුවන්ගේ ගෝල නමකි. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්යවරයෙකි.

‘මහත්තයෝ මම ඉපදෙන්නේ වඩිනාගල, ඔය ජයන්තිවැව හදල, අලූත් ජනාවාස කළාට පස්සේ. ඒ මතක අතීතය බැලූවහම ස්ථර දෙකක් හඳුනාගන්න පුළුවන්. එක තමයි පැරණි ගම්වැසියෝ. අනෙක් කොටස තමයි අලූත් ගම්වැසියෝ. අලූත් අය ඉන්න තැන්වල ලොකු ගහ-කොළ නැහැ. පරණ අය ඉන්න තැන්වල ලොකු කොස්ගස් වගේ දේවල් තියෙනවා. මේක තමයි අද බැලූ බැල්මට තියෙන වෙනස. අනෙක් ප‍්‍රධාන වෙනස තමයි භාෂාව. පැරැුන්නෝ භාෂාව කතා කරන්නේ වෙනස් විලාසයකට. ඒ භාෂාවේ ධ්වනිය හරිම ලස්සනයි. කනට ප‍්‍රියයි. වචනවල ඇදෙනසුලූ ගතියක් තියෙනවා.

පුතා කොහා උඹ යන්නේ? මොක පුතා උඹ කෙන්නේ? ඔය වගේ ‘ද’ කියන එක මේ කතා විලාසයේ නැහැ. යනවද? කියල අහන්නෑ. යනවා… කියලා අදිනවා. ඔයා යන්න මේ ගම ඇතුළට පැරැුන්නෝ අතරේ තවමත් මේ භාෂා විලාසය තියෙනවා. අලූත් අය ආවහම මොකද වුණේ.. මේ දෙවැනි පරම්පරාවයි පැරැුන්නෝයි අතරේ ලොකු සංස්කෘතික ගැටුමක් ආවා. දකුණෙන්-බටහිරින් ආපු අය ඒ වෙනකොට ටිකක් ලෝකයට විවෘත වුණ අය. එයාල මේ ගම්වල මුල් පදිංචිකරුවන්ට කියුවේ බයියෝ කියල. භාෂාවට කිව්වේ බයියන්ගේ භාෂාව කියලා. පහත් කරල සැලකුවා. ඉතින් පැරැුන්නෝ තමන්ගේ දරුවන්ට මේ භාෂාව පුරුදු කළේ නැහැ.’

හාමුදුරුවන්ගේ කතාව නිවැරදිය. මෙහි පැරැුන්නන්ගේ කටවහර සමග වැදි භාෂාව… දෙමළ භාෂාව මිශ‍්‍රවූ සෙයකි. පද්දනවා… බොටා… බුඩා වැනි වචන නිදර්ශන ලෙස සපයා දිය හැකිය. මුම්මාරිය (වැසි දිය කුඹුරු), පොස්යාරේ, හපුවා (කොලූ හපුවා ඕගානවා) මෙවැනි වදන් තවමත් පැරැුන්නෝ වහරති.

පදාගොඩට ඇවිත්

මේ චාරිකාවට පදාගොඩ සුවිශේෂය. කොක්නහර පසුකළ විට පදාගොඩය. මායාරංජන් නමැති ගුරු මහතා (මොහුගේ නම මහානාම රාජපක්ෂය) වැව්ගම්පත්තුවට මුලින්ම පා තබන්නේ 1948 අවුරුද්දේදීය. ඒ ගුරුවරයකු ලෙස දිගාමඬුල්ල දමන විදුහලටය. එයින් පසු ඔහු ඊටම ළඟ පදාගොඩට සංක‍්‍රමණය වන අතර පදාගොඩ විදුහලේ ඇරඹුම සටහන් කරන්නේද මායාරංජන් මහතාය. එකල පදාගොඩ කෙළෙසකව පවතින්නට ඇතිද? දැන් නම් කාපට් පුරකි. දෙපස ලස්සන ලස්සන උළු-සීට් සෙවිළි ගලින් බැඳි නිවෙස්ය. එකල…

‘සත්ව සමූහයාට වාසභූමි වූ මේ වනය මැද, තැනින් තැන, ඔය කඳුරු ආදී ජල මාර්ග ආශ‍්‍රයෙන් මිනිසුන් වසන ගම් පිහිටියේය. ඒවා එකිනෙකට මයිල-තුන-හතරේ සිට හත-අට දක්වා දුරින් වෙයි. ඉන් සමහරෙක ගෙවල් දෙක තුනේ සිට දහය-දොළහ-විස්ස-තිහ දක්වා ඇති නමුත් එකම ගෙයකින් යුතු ගම්ද වෙයි. ගෙවල් නොව ගෙපැල් යනුවෙන් හැඳින්විය යුතු ඒ සියල්ල ඉලූක් සෙවිළි කරන ලද මිටි වහළවලින් යුතුය. අඩි දෙක තුන සිට හත-අට දක්වා පමණක් උස් බිත්ති සමහරක් කටු මැට්ටෙන් වසන ලද්දේය. ඇතැමකු ආවරණය වූයේ උයන් හෝ මිල්ල ගස්වල පොතු පමණකි. කටු මැට්ට වැසෙන සේ වැලි මැටි හා මට්ටම් කළ බිත්තිද, දොර උළුවහු එකක් දෙකක් ද ඇති ගෙයක් දෙකක් සමහර බිමක තිබුණේය. ඉතිරියේ දොර උළුවහු වෙනුවට වූයේ කපොල්ලකි. නැතිනම් වසන පැළැල්ලකි.’

කාලය කෙතරම් දේ කෙතරම් ලෙසක වෙනස්කර ඇතිද? මේ පොත කියවා අද වෙනම චාරිකා කරන අයකුට මේ අවුරුදු 50ට වැඩි කාලය තුළ ගම් දනව්වලට සිදුවූ විපරියාසය මැනගත හැකිය. එදා වනය මැද දූපත් ගම් අද වනය අතුරුදන් කර දූපත් කර හමාරය. ඒද, සුලභ අලි-කොටි-වලස් සනුහරය අද කැලෑ තුළට වී නිසොල්මනේය. ජනී ජනයා ඔවුන්ගේ බිම් ආක‍්‍රමණය කර අවසන්ය. එය ශිෂ්ටාචාරයේ ගති ස්වභාවයමය. දොසක් දකිනු බැරිය. අපි පාදාගොඩ ගුණරතන කොලූවා සොයා ගියෙමු. මායාරංජන් නමැති සරන්නාගේ කරත්තකරු ඔහුය. කඩපිළක, තොවිල්පළක, දඩයම් ගමනක ගමන් සගයා ඔහුම මිසක් වෙන කවුරුන්ද? ඔහු දැනට අවුරුදු තුන -හතරකට කලියෙන් මිය ගොසින්ය. මායාරංජන් සහ ගුණේ කොලූවා අතර මතකය සංයෝග කරන්නේ දිසානායක මුදියන්සේලාගේ සෙනෙවිරත්නය.

‘ලොකු තාත්තා කියල තියෙන විදිහට එයා තමයි මායාරංජන් මහත්තයාගේ හොඳම ගෝලයා. මහත්තයා යන හැම තැනකම කරත්තය දක්කගෙන ගිහින් තියෙන්නේ අපේ ලොකු අප්පච්චි. පදාගොඩ ඉස්කෝලේ පටන් අරගෙන තියෙන්නේ මායාරංජන් මහත්තයා තමයි. මුල්ම කාණ්ඬේ ළමයි 17යි. මගේ අප්පච්චි-අම්මා මේ මුල් කාණ්ඬේ ඉගෙන ගෙන තියෙනවා. සර් ගමට ගොඩාක් දේවල් හඳුන්වල දීලා තියෙනවා. මඟුල් චාරිත‍්‍ර ඒ කියන්නේ පෝරු ගැහිල්ල-අෂ්ඨක කියවිල්ල වගේ දේවල්, සර් තමයි ගමට ගෙනල්ලා තියෙන්නේ. මේ ගම්වල ඉන්න පැරණි මිනිස්සු සර්ට තවමත් ගෞරව කරනවා. ඔය පොතේ තියෙන පොඞ්ඩිආරේ ගෙදර තියෙන්නේ ඒත් අපේම පවුලේ ගෙදරක්. ඒ කාලේ පොඞ්ඩිආරේ කියුවේ සල්ලි තියෙන අයට. මහ අම්මණ්ඩිලාගේ ගෙදර හීන් අම්මණ්ඩිලාගේ ගෙදර, ගමගෙදර මේවා අපේ පවුල් එක්ක බැඳුණ දේවල්.’

මෙන්න ගුරුවරු

මායාරංජන් වැව්ගම්පත්තුවේ පහළ අග නගරය (ඉහළ අග නගරය උහන) ලෙස එවක සැලකූ දමනට පැමිණෙන්නේ ගුරුවරයකු ලෙසය. ඒ කැලෑවෙන් අඳුරු වී තිබෙන මිනිස් ජීවිත අධ්‍යාපනයෙන් දීප්තිමත් කිරීමටය. පසුව ඔහු පදාගොඩ නමැති සුන්දර කැලේ මැදගමේ පාසලක් ආරම්භ කරමින් එහි එකම ගුරුවරයා ලෙස ළමයින්ගේ ජීවිත එළිය කරමින් සිටින  
අතරතුර ලංකාවේ ප‍්‍රකට කෘතියකට කරුණු ගවේෂණය කරමින්ද සිටියේය. පදාගොඩ චාරිකාවේදී ගුණේ කොලූවාගේ බාල මල්ලී අපිට මුණ ගැසුණේය. ඔහු ඞී.ඇම්. අමරසිංහය. මේ ඔහුගේ හඬය.

‘අපි සහෝදරයෝ 7යි. සේරමල සර්ගේ ගෝලයෝ තමයි. සර් අපිට අමතක වෙන්නේ කොහොමද? ආන්න ගුරුවරු. ඉතිහාසය-භූගෝලය-ශුද්ධ ගණිතය-අංක ගණිතය-සංගීතය-නැටුම් සේරම ඉගැන්නුවා. මට මතකයි අපේ අයියලා නැටුම් තරගයකට නුවරත් එක්කරගෙන ගියා. අපේ මැරුණ ගුණේ අයියා තමයි සර් එක්ක ළඟින්ම සම්බන්ධ. එයා සර් මැරෙනකම් සර් එක්ක සම්බන්ධකම් පැවැත්තුවා. කොළඹ රටටත් ගිහිල්ල. සර්ව මුණ ගැහෙනවා.

සර් ගැන මතකයෙන් අමරසිංහ මාමාගේ නෙත් කෙවෙනි බොඳවෙන ඇසිල්ලේ අපි දමනට යන්නට පටත් වුණෙමු. දමන පාසලටද ගියෙමු. තොට්ටම හන්දිය… එක්ගල් ඔය ජලාශය.. හිඟුරාණ.. මේ සියල්ල දැක බලා ගත්තේය. කොන්ක‍්‍රීට්-කාපට්-විදුලිබල වර්තමානයක් තුළින් රොට්ටුව, කරත්තය, කඩමණ්ඩිය, ගමගෙදර වන බූටෑව පරිකල්පනය කළෙමි. කෙතරම් අපූර්ව වන්නට ඇත්දැ’යි නොස්ටැල්ජියාවක පටලැවෙමින් අපි නැවතත් ගමට එන්නට මග බැලූයෙමු. ගමන ගොස් එන අතරතුර මායාරංජන් මහතා සමග ළඟින්ම බැඳී සිටි වඩිනාගල ආරච්චි මහත්තයාගේ පුතණ්ඩියා කියූ කතාවකින් මේ ලිපිය අවසන් කරන්නට මට සිතේ…

‘උඩරට කැරැුල්ලෙන් හැම දෙයක්ම නැතිවෙලා පහළට බැහැපු අපි ගැන කැලයටම දියවෙලා යන්න හිටපු අපි ගැන මුළු රටටම දැනගන්න මුලින්ම කතා කළේ මායාරංජන් මහත්තයා. ඉතින් අපි කොහොමද එතුමාව අමතක කරන්නේ.. මම ප‍්‍රාදේශීය සභාවට යෝජනා කළා මේ පාර මායාරංජන් මාවත කියලා නම් කරමුය කියලා… එතුමා අපි අතරේ සදාකාලික වෙන්න ඕනි…’