ජනාධිපති කාර්යාලයේ නියෝගයෙන් රජයේ යකඩ හිතුමතේ විකිණේ

ඔහු නමින් මොහොමඞ් රෆිල්ඞීන් රීසාය. පදිංචිව සිටියේ කොළඹ 12, කුමාර දොරටුවේ, මල්පුර මහල් නිවාස සංකීර්ණයේය. ඔහුගේ ආදායම් මාර්ගය වූයේ පරණ යකඩ මිලදී ගෙන වෙළෙඳාම් කිරීමය. ව්‍යාපාරික කටයුතු සිදුකළේ කොළඹ පංචිකාවත්ත පැරඩයිස් වත්ත ප‍්‍රදේශයේය. 2010 වර්ෂයේ මුල් භාගයේදී සහාබ්දීන් නමැති හඳුනන පුද්ගලයකු රජයේ පරණ යකඩ මිලදී ගතහැකි බව ඔහුට පවසන්නේය. ඒ අනුව සහාබ්දීන් නමැති මිතුරා රීසාට රාජගිරිය මැක්ඩොනල්ඞ් අවන්හලේදී රජයේ පරණ යකඩ ලබාගත හැකියැ’යි සඳහන් පුද්ගලයන් තුන්දෙනකු හඳුන්වා දෙන්නේය. ඒ කල්‍යාණි වීරරත්න, මිල්ලපිටිය හා දිසානායක යන අයය.

එම හමුවේදී කල්‍යාණි වීරරත්න නමැති කාන්තාව හඳුන්වාදෙනු ලබන්නේ ජනාධිපතිවරයාගේ ඥාතියකු වශයෙන්ය. එහිදී අලූතින් හඳුනාගන්නා මේ පිරිස් රීසාට දැනුම් දෙන්නේ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේත්, ආරුගම්බේ පාලමේත් යුද්ධයෙන් විනාශයට පත්වූ කිළිනොච්චිය වැනි ප‍්‍රදේශවලත් යකඩ ඔවුන්ට ලැබී ඇති බව හා ඒවා රීසාට ලබාදිය හැකි බවය. අත්තිකාරම් වශයෙන් ඒ සඳහා මුලින්ම රීසාගෙන් ඉල්ලා ගන්නා ණය මුදල රුපියල් ලක්ෂ දෙකහමාරකි. පරණ යකඩ ලැබීම පමා වුවද ඒ පිළිබඳව ප‍්‍රශ්න කරන සෑම අවස්ථාවකදීම රජයේ පරණ යකඩ තම නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් සමාගමට ලැබුණු බවට වූ රජයේ ලිපි ලේඛන රීසාට ලබාදී ඇත. එපමණක් නොව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියෙන් ලැබුණායැ’යි කියන යකඩ තොග පෙන්වීම සඳහා ද කල්‍යාණි වීරරත්න නමැති කාන්තාව විසින් රීසා ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය තුළට ගෙන යනු ලැබ ඇත. එහෙත් යකඩ කිලෝවක්වත් රීසාට ලැබී නැත. පරණ යකඩ බලාපොරොත්තුව උඩ රීසා කල්‍යාණි වීරරත්න නමැත්තියට විටින් විට ලබාදී ඇති මුදල රුපියල් ලක්ෂ 16ක් දක්වා අවසානයේ ඉහළ ගොස් ඇත.

පරණ යකඩ වෙනුවෙන් ලබා දුන් එම මුදල ලබාගැනීම සඳහා රීසා නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් ආයතනයටත්, එහි හිමිකාරිය වන කල්‍යාණි වීරරත්න හා අනෙකුත් සම්බන්ධ පුද්ගලයන්වත් හමුවීමට ගිය වාර අනන්තය. ඒ හැම ගමනකදීම රීසාට ලැබී ඇත්තේ තව තවත් පොරොන්දුය. ඒ සමහර පොරොන්දු ලිඛිතව ලබාදෙන්නට තරම් කල්‍යාණි වීරරත්න ඇතුළු පිරිසට බියක් තිබී නැත. ඒ අනුව රීසාගෙන් රුපියල් ලක්ෂ 16ක මුදලක් ලබාගත් බවටත් එම මුදල් කොටස් කිහිපයකින් ගෙවන බවටත් අත්සන් කර සහතික කරන ලද ලිපි ඔහුට ලබාදී ඇත.
ඒත් ඒ සියල්ලක්ම ලිපිවලට පමණක් සීමාවීම නිසාම රීසා ඔහුට වූ අසාධාරණයට සාධාරණය ඉටුකර දෙන මෙන් ඉල්ලමින් ලිපි ලියන්නට පටන් ගෙන ඇත. ඒ ජනාධිපති ලේකම්වරයාට, ජනාධිපති විමර්ශන ඒකකය ආදියටය. මන්ද රීසාට නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් ආයතනයෙන් ලබාදුන් රජයේ පරණ යකඩ පිළිබඳ අවසර ලිපි කිහිපයක් ජනාධිපති කාර්යාලය යටතේ නිකුත් කළ ලිපි වීම නිසාය. ජනාධිපති ලේකම්වරයා රීසාගේ ලිපිය සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබා නොදුන්නද ජනාධිපති විමර්ශන ඒකකය දන්වා ඇත්තේ රීසාගේ පැමිණිල්ල ජනාධිපති විමර්ශන අංශයේ විෂය පථයට අදාළ නොවන බැවින් එය ජනාධිපති ලේකම් කාර්යාලයේ පුරවැසි සේවා හා දුක්ගැනවිලි විමසුම් අංශය වෙත යොමු කළ බවය. නමුදු මේ සටහන ලියන මොහොත වන තෙක් රීසාට එම අංශයෙන් කිසිදු දැනුම්දීමක් සිදුකර නැත.

මේ සියලූ සිදුවීම්වල අවසන් ප‍්‍රතිඵලය වී ඇත්තේ රීසා තමාට සිදුවූ අවනඩුව පිළිබඳව පොලිසියට පැමිණිලි කිරීමය. අවසානයේ පොලිසිය මේ සම්බන්ධයෙන් නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරන්නේය. එම නඩුවේදී මුදල් ගෙවන බවට කල්‍යාණි වීරරත්න නමැත්තිය පොරොන්දු වුවද නිසියාකාරව මුදල් නොගෙවමින් ඇය අධිකරණයෙන් වරෙන්තු ලබා දැන් කට්ටි පනිමින් සිටී. ඇය අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට අතිදක්ෂ ශ‍්‍රී ලංකාවේ පොලිසියට තවමත් හැකිවී නැත. මේ නිසාම රීසාට සිදුවී ඇත්තේ දිනෙන් දින අසරණභාවයේ අගාධයට තල්ලූවීමටය.

‘මගේ ගේ, ස්ටෝරුව, බයික් එක ඔක්කොම විකුණන්න වුණා ණය බේරන්න. දැන් ළමයින්ට කන්න දෙන්නත් බැරුව මම ඉන්නේ. ඉස්කෝලේ යන ළමයි තුන්දෙනාගෙන් දෙන්නෙක්ගේ ඉස්කෝලේ යෑම නැවැත්තුවා. වයිෆ්ව පිටරට හරි යවන්න තමයි මේ දවස්වල බලන්නේ. බලන්න මහත්තයා මේ ගෑනි කළ අපරාදේ.’
රීසා කඳුළු දෙනෙතින් යුතුව ඔහුගේ වර්තමානය මා හමුවේ දිගහරිමින් සිටියි. සාමාන්‍ය ලෙස පරණ යකඩ වෙළෙඳාමක් සිදුකර ජීවිතය ගැටගසා ගත් ඔහුට අද යකඩ වෙළෙඳාමවත් වෙන කිසිදු ආදායම් මාර්ගයක්වත් නැත. ඔහුට සාධාරණය ඉටුකර ගැනීම සඳහා තැනින් තැනට යෑමට මග වියදම් පවා නැත. ඔහුට සිදුවූ අසාධාරණය කියා පෑ හැකි ලිපි ගොනුව පමණක් ඔහු සතුව ඇත.
සමහරවිට රීසා මෙන් මෙම පරණ යකඩ ජාවාරමට හසුවූ බොහෝවුන් සිටිය හැක. ඔවුන් රැුවටුණේද රීසා රැුවටුණු තැනටම නම් ඔවුන්ටද පිහිටක් නැති බව නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ අයිතිකාරියකගේ වගතුගත් පරණ යකඩ සම්බන්ධයෙන් ඇය සතුවූ ලියවිලිත් පරීක්ෂා කිරීමේදී පෙනීයයි.

ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයකින් 2010.03.23 දින සහිතව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අමතන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් එම්.ඒ.සී. තුෂාර පෙරේරා නමැත්තා දැනුම් දෙන්නේ, පිටකෝට්ටේ, කෝට්ටේ පාරේ, අංක 639 1/2 දරන ස්ථානයේ, නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති ඉවත් කළ පරණ යකඩ (පාලම් හා යන්ත්‍රෝපකරණ) රජයේ අනුමත මිලට ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවත්, ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති යකඩ තොගවලින් කොටසක් නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත්ය.

Letter-01

තවද ජනාධිපති කාර්යාල ලිපි ශීර්ෂයකින් 2010.03.31 දින සහිතව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා අමතමින් ජනාධිපති අතිරේක ලේකම් මේධා බෙම්මුල්ල සඳහන් කරන්නේ කොළඹ වරායේ ඇති රජය සතු යකඩ තොග මිලදී ගැනීම සඳහා නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් සමාගමේ සම කොටස්කරු කල්‍යාණි වීරරත්න නමැත්තිය 2010.02.24 දින සහිතව ජනාධිපති වරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇති බවත්, එම ඉල්ලීම සම්බන්ධයෙන් ආයතනික පටිපාටිවලට අනුව ගතහැකි ක‍්‍රියාමාර්ග පිළිබඳව එකී කල්‍යාණි වීරරත්න නමැත්තිය දැනුවත් කරන ලෙසත්ය.
ඒ අනුව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂ සැපයීම් 2010.05.04 දින සහිතව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ලිපි ශීර්ෂයකින් කල්‍යාණි වීරරත්නට දැනුම් දෙන්නේ පරණ යකඩ සම්බන්ධ මීට පෙර ලියාපදිංචි ගැනුම්කරුගේ ලියාපදිංචිය අවලංගු කර නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් සමාගමට එම ඇණවුම් ලබාදීමට කටයුතු කරමින් සිටින බව හා ඒ සඳහා රුපියල් ලක්ෂ 5ක මූලික තැන්පතුවක් ලබාදෙන ලෙසත්, භාණ්ඩ නිදහස් කිරීම සඳහා නියෝජිත මහතකු නම් කරන ලෙසත්ය.

එමෙන්ම 2010.05.17 දින සහිතව ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ ප‍්‍රධාන ආරක්ෂක නිලධාරියා අමතමින් එහි නියෝජ්‍ය ප‍්‍රධාන කළමනාකරුගේ බලයලත් නිලධාරියා සඳහන් කරන්නේ නිව් ලින්ක් ඉන්ටර්නැෂනල් ආයතනයට ලබාදී ඇති යකඩ ඉවත් කිරීමේ කොන්ත‍්‍රාත්තුව වෙනුවෙන් පුද්ගලයන් 8 දෙනකුට වරායට ඇතුළුවීමට අවසරපත් ලබාදෙන ලෙසය. (මෙම පුද්ගලයන් 8 දෙනා අතර රීසා ද සිටී.)

තවද රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂයකින් 2010.10.12 දින සහිතව මේ කල්‍යාණි වීරරත්න නමැත්තියට ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී.පී. ප‍්‍රනාන්දු දැනුම් දෙන්නේ භාවිත කරන ලද යකඩ යාපනය සිට කොළඹට ප‍්‍රවාහනය සඳහා ඉල්ලූම් කර ඇති වාහන 4කට අවසර ලබාදෙන බවය.
මේ අනුව පෙනෙන්නේ රීසාට යකඩ නොලැබුණාට කල්‍යාණි වීරරත්න නමැත්තියට වරාය අධිකාරියෙන් හා මාර්ග සංවර්ධන අධිකාරියෙන් රජයේ යකඩ ලැබී ඇති බවය.
රීසාගේ දුක්ගැනවිල්ලට අදාළ සිදුවීම් තොරතුරු ඒ ආකාරයට පෙළ ගැසුණු පසු ඒ හා ආශ‍්‍රිතව වැදගත් කරුණු ගණනාවක් අනාවරණය වෙයි. එකක් ටෙන්ඩර් පටිපාටියෙන් තොරව රජය සතු යකඩ විකිණෙමින් තිබෙන බවය. අනෙක එම යකඩ ගනුදෙනු සඳහා ජනාධිපති කාර්යාලය මැදිහත්වෙමින් පවතින බවය.

Letter-02

රාජ්‍ය ආයතන හෝ අර්ධ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් පොදුවේ අප කවුරුත් දන්නා දෙය නම් ඒවා සතු කිසිදු භාණ්ඩයක් ටෙන්ඩර් හෝ මිල ගණන් කැඳවීමකින් තොරව ලබාදිය නොහැකි බවය. ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දෙනවා නම් ටෙන්ඩර් කැඳවන්නේ කුමකටද යන්න එම රාජ්‍ය ආයතනවල ප‍්‍රධානීන් සිතනවා ඇත. සමහරවිට ජනාධිපති කාර්යාලයෙන් ඉල්ලීම් සිදුකර තිබියදීත් ආයතනික පටිපාටියට අනුව ටෙන්ඩර් කැඳවීම යනු තමන්ගේ තනතුර අහිමිවීමට හා වෙනත් බොහෝ උපද්‍රවයන්ට හසුවීමට හේතුවක් බව මේ බොහෝ තනතුරුලාභීන් දන්නවා විය හැකිය.

අනෙක ජනාධිපති කාර්යාලය මේ ආකාරයේ ඉල්ලීම් සිදුකරන බවද මේ බොහෝ තනතුරුලාභීන් දන්නේය. ජනාධිපතිවරයා සමග කිසිදු සම්බන්ධයක් නැති ඕනෑම පුද්ගලයකු රජය සතු පරණ යකඩ දෙන ලෙස ඉල්ලීමක් කළහොත් ජනාධිපතිවරයා ඒ සඳහා අනුමැතිය නොදෙන බව හා එවැනි සම්බන්ධයක් නැති පුද්ගලයන් එවැනි ඉල්ලීම් නොකරන බවද මේ ආයතන ප‍්‍රධානීන් දන්නේය. කල්‍යාණි වීරරත්න වෙනුවෙන් ඉඩ ලැබෙන්නේ ඒ අනුවය.

මේ යකඩ ගනුදෙනුවේදීද ජනාධිපති වරයා වෙනුවෙන් කල්‍යාණි වීරරත්න නමැත්තියට රජය සතු යකඩ ටෙන්ඩර් පටිපාටියෙන් තොරව ලබාදීමට ජනාධිපති කාර්යාලය ඉදිරිපත් වී ඇති බව හා ඒ සඳහා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ප‍්‍රවාහන කටයුතු සඳහා බාධාවකින් තොරව අවසර ලබාදී ඇති බව අනාවරණය වී ඇති කරුණුය.

මේ අනුග‍්‍රහය ලැබෙන්නේ නිකම්ම නොවේ. ඇත්ත වශයෙන්ම කල්‍යාණි වීරරත්න නමැත්තියට ජනාධිපති වරයාගේ ඇති සම්බන්ධතාව නිසාය. රීසාට කියා ඇති පරිදි ඇය ජනාධිපතිවරයාගේ ඥාතියෙක්දැ’යි අපි නොදනිමු. එහෙත් අපගේ සොයා බැලීම්වලදී හෙළිවූයේ ඇය තිස්සමහාරාමයට සම්බන්ධ ප‍්‍රසිද්ධ වෙදැදුරකුගේ දියණියක බවය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ මහ මැතිවරණයට තරග කර පරාජයට පත්වූ තැනැත්තියක ද බවය. ඇය කොළඹ ජීවත් වුවත් මැතිවරණය සඳහා මුදල් වියදම් කිරීමේ හැකියාව සලකා එම අවස්ථාවේදී ඇයට මැතිවරණයට තරග කිරීමට ජනාධිපතිවරයා අවස්ථාව ලබා දුන් බව හම්බන්තොට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ මතයය.
ඥාතිකමක් කෙසේ වෙතත් ජනාධිපතිවරයා සමග හොඳ සම්බන්ධයක් ඇයට ඇති බව එම තොරතුරු අනුව පැහැදිලි වේ.

රජයේ යකඩ නීතියට පිටින් ඇයට ලැබෙන්නේත් අධිකරණයෙන් වරෙන්තු ලැබී තිබියදී පොලිසිය ඇය අත්අඩංගුවට නොගන්නේත් ඒ නිසා විය යුතුය.