ජවිපෙ ප‍්‍රහාරයට පිළිතුරක්

 

පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත (2014 අගෝස්තු 10) මා වෙනුවෙන් ලිපි දෙකක්ම වෙන්කර තිබුණි. එක ලිපියක් පිටුවක් තරම් දීර්ඝය. අනෙක් ලිපිය පිටු භාගයක් තරම් වීයැ’යි කිව හැකිය. ඞී.බී. ඇල්කඩුව නමින් ලියා ඇති දීර්ඝ ලිපියේ මාතෘකාව වූයේ ‘වික්ටර් අයිවන් එන්නේ මොකාටද?’ යන්නයි. එය භූමිතෙල් සමඟ මිශ‍්‍ර කළ අසූචි ප‍්‍රහාරයක් අරමුණු කොටගෙන ලියන ලද්දක් ලෙස සැලකිය හැකිය. අනෙක් ලිපිය සතියේ දේශපාලන විග‍්‍රහය ලියන ලියුම්කරුවා විසින් ලියා තිබුණි. එහි මාතෘකාව වී තිබුණේ ‘පොදු වෙන්න දඟලන රනිල්’ යන්නයි. මාතෘකාව එසේ වුවත් රනිල් පසුබිමේ තබාගෙන දේශපාලන ලියුම්කරු කතා කර තිබුණේ මා ගැනය. එවිට ඇල්කඩුවගේ අශීලාචාර ප‍්‍රහාරය රැුගත් ලිපිය සලකන්නට වන්නේ පෙරහැරේ එන කසකාරයා ලෙසය. දේශපාලන ධාතු කරඬුව රැුගත් පෙරහැර ලෙස සැලකිය හැකිය යුතුව තිබෙන්නේ දේශපාලන ලියුම්කරුගේ ලිපියයි. තමන්ගේ දේශපාලන කරඬුව ප‍්‍රදර්ශනය කෙරෙන විග‍්‍රහය සඳහා කසකරුවකු අවශ්‍යයැ’යි කල්පනා කරන්නට ඇත්තේ පෙරහැර හා දේශපාලන කරඬුව භාර බස්නායක නිලමේ විය යුතුය.

කසකාරයාගේ රඟපෑ

ජවි පෙරමුණ හදිසියේම මා පිළිබඳව ඇති කරගෙන තිබෙන කලබලය කෙරෙහි බලපා තිබෙන හේතු එම දේශපාලන විග‍්‍රහය ආශ‍්‍රයෙන් තේරුම් ගැනීම දුෂ්කර නැත. වර්තමානයේ ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය ගැනත්, එයින් ගොඩඒමට තෝරාගත යුතු මාර්ගය පිළිබඳවත් මා පළකරන අදහස් සේ ම ක‍්‍රියාකාරකම්ද ජවිපෙ කෝපයට හේතුවී තිබෙන බව පෙනේ. ජවි පෙරමුණටද දේශපාලන පක්ෂයක් වශයෙන් පවතින අර්බුදය ගැන ඔවුන්ගේ විශ්ලේෂණයක්ද තමන්ගේ වාසියට හේතුවන ලෙස එය ජයගත යුතු ආකාරය සඳහා වන අප‍්‍රකාශිත වැඩසටහනක්ද තිබෙනවා විය යුතුය. මා පළකරන අදහස් හා ඔවුන් අදහස් කරගෙන තිබෙන දේවල් අතර ලොකු පරස්පරයක්ද තිබෙනවා විය හැකිය. ඒ නිසා ඔවුන්ගේ එම ගමන සාර්ථක කරගැනීම සඳහා මාගේ අදහස් ව්‍යර්ථ කිරීම අත්‍යවශ්‍යවේයැ’යි ඔවුන් කල්පනා කරනවා විය හැකිය. ඒ සඳහා මා පළකර තිබෙන අදහස් තර්කයෙන් බිඳ දමන ප‍්‍රතිපත්තියක් වෙනුවට භූමිතෙල් සමග අසූචි මිශ‍්‍ර කළ ප‍්‍රහාරයකින් සදාචාරාත්මකව මා නැතිබංග කිරීම ඉතා අවශ්‍යවේයැ’යි කල්පනා කළා විය යුතුය.
මා මෙවැනි පහරදීම්වලට හොඳටම හුරුපුරුදුය. මා අදහස් පළකරන්නේද මා ජීවත්වන්නේ හොඳින් සීලාචාර නොවූ සමාජයක බව දැන දැනමය. සමහරවිට මා පළ කරන අදහස්වලට එල්ලවිය හැකි ප‍්‍රතිචාර රළුපරළු විය හැකි බවද දැන දැනමය.

එහෙත් කෝපයක් ඇතිකර ගැනීමෙන් තොරව සන්සුන් ලෙස මෙම අර්බුදය ගැන ජනතා විමුක්ති පෙරමුණේ ආස්ථානය පිළිබඳව මට තිබෙන විවේචනය ඉදිරිපත් කරමි. එය මා කරමින් තිබෙන දේශපාලන සංවාදයට අලූත් මානයක් එකතු කරමින් විසඳා ගැනීමට තිබෙන ගැට ලිහා ගැනීමට අවශ්‍ය ප‍්‍රවේශයක් ඇති කිරීමට හේතුවේ නම් මට ඒ ගැන සතුටු විය හැකිය.

එහෙත් කසකාරයා එල්ල කරන ලද ප‍්‍රහාරයට ඇතුළත් චෝදනා මොනවාද යන්න ගැන මෙය කියවන පාඨකයා තුළ කුතුහලයක් තිබිය හැකි බැවින් පළමුව ඒවා සංක්ෂිප්තව ගෙනහැර දැක්වීම සුදුසුය.

කසකාරයාගේ චෝදනා

කසකාරයාගේ මතය අනුව ‘මා අංක එකේ තක්කඩියෙකි. මා කියන දේවල් හා කරන දේවල් අතර මහා පරස්පරයක් පවතී. මට හැමවිටම සැඟවුණු න්‍යාය පත‍්‍රයක් තිබෙන අතර මගේ ජීවිතයද ගුප්තය. මහජන මන්ත‍්‍රීවරුන් ආණ්ඩුව සමග ජාවාරම් කිරීම හෙළා දකින වික්ටර් අයිවන් ආණ්ඩුවේ නායකයන් සමග ජාවාරම් කරයි. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව සමග සේ ම රනිල් වික‍්‍රමසිංහ ආණ්ඩුව සමග ද ඞීල් දමා විශාල ධනයක් උපයා ගත්තේය. සත්‍ය වශයෙන්ම මට යම් යම් තානාපති කාර්යාල සමගද ගනුදෙනු තිබේ. රාත‍්‍රී කාලවල සුපිරි හෝටල්වල, තානාපති කාර්යාලවල, දේශපාලකයන්ගේ මැදුරුවල පදමට විස්කි බොයි.’ ඔහු ලිපියේ තැනක මෙසේ කියයි. ‘වික්ටර් අයිවන් මේ රටේ නායකයන් සමග කොතරම් මදුවිත බී තිබේද? ඔහු සමග බ්ලැක් ලේබල් විස්කි නොබිවූ ව්‍යාපාරිකයා කවුද?’ ඔහු මහා පරිමාණයේ ව්‍යාපාරිකයන්ගේ නීති විරෝධී ක‍්‍රියාදාමවල තොරතුරු මඳක් හෙළිකොට ඔවුන්ගෙන් විශාල ලෙස මුදල් ගරාගන්නා වර්ගයේ පුද්ගලයෙකි. ඔහුට අනුව මේ රටේ සිටින ලොකුම ජඩයා මාය. දූෂිත මිනිසාද මාය. ලොකුම බේබද්දාද මාය.

කසකාරයා ඒ සියලූ දේ කියන්නේ කිසිදු සාක්ෂි ඉදිරිපත් කිරීමකින් තොරවය. රාජ්‍ය නායකයන් සමග ඞීල් දමා වස්තුව හරි හම්බ කරගෙන ඇති බව කියතත් මොන මොන රාජ්‍ය නායකයන්ගෙන් මොන මොන වර්ගයේ දේවල් ලබාගෙන ඇත්තේදැ’යි නොකියයි. ව්‍යාපාරිකයන් බ්ලැක්මේල් කොට අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බව කියතත් මොන මොන ව්‍යාපාරිකයන්ගෙන් එසේ මුදල් ලබාගෙන ඇත්දැ’යි නොකියයි.

කසකාරයා ඉවක් බවක් නැතිව හැරුණු හැරුණු අතට පහරදෙන මුත් තමන් පහර දෙන ආස්ථානය ගැන ඔහු තුළම සැකයක්ද තිබෙන බව පෙනේ. ඔහු එක් තැනක මෙසේද කියයි. ‘ඔහු සතු දස්කම් එමට විය. ශ‍්‍රී ලංකාවේ දේශපාලනය, පවුල්වාදය, කුල ප‍්‍රශ්නය හා ආර්ථික පාදඩකරණය, නීතියේ සාධාරණත්වය ගැන වික්ටර් අයිවන්ගේ දැනුම හා මැදිහත්වීම් සුවිශේෂ බව නොකීවොත් එය අඩුවකි.’ තවත් තැනක ඔහු මෙසේද කියන්නේය. ‘අද රටට කොන්ද පණ ඇති මාධ්‍යවේදීන්, විවේචකයන් අවශ්‍යය. ඒ අතින් ගත් කල ඉතා ප‍්‍රශස්ත ලෙස ඒ කාරිය ඉටු කළත් ඔහු පෞද්ගලිකව කර ඇති කාර්යයන් දෙස බලන විට ඒවා කරන්නේ සත්භාවයෙන්දැ’යි සැකයක් මතුවේ.’

මගේ පිළිතුරු

කසකාරයාට ලොකු පිළිතුරක් දීමට හෝ පෙරලා පහරදීමට මට අවශ්‍ය නැත. මට මගේම වන ජීවන දර්ශනයක් තිබෙන්නේය. මා ජීවත්වන්නේ එම දර්ශනයට අනුකූලවය. මා රාජ්‍ය නායකයන් හා විවිධ දේශපාලකයන් අසුරු කර තිබෙන බව සත්‍යයකි. එහෙත් ඒ සම්බන්ධකම්වලින් මා අයුතු ලාබ ප‍්‍රයෝජන ලබාගෙන නැත. මා කිසිදු රාජ්‍ය නායකයකුගේ උපදේශකයකු ලෙස ද ක‍්‍රියාකර නැත. චන්ද්‍රිකා කුමාරතුංගට මා උදව් කළේ බලයට පත්වන තෙක් පමණය. ඉන්පසු ඇගේ පාලනය ගැන විවේචනාත්මකව බලන පුද්ගලයකු බවට පත්වූයෙමි. මා රාජ්‍ය නායකයන් ඇසුරු කර ඇතත් ඔවුන්ගේ දූෂණවලට හෝ මර්දනයන්ට හවුල්කරුවකු වී නැත. ඔවුන් මගෙන් අදහස් විමසන අවස්ථාවලදී මට පෙනෙන ඇත්ත හැමවිටම ප‍්‍රකාශ කර ඇත්තෙමි. රටේ පවතින නීතිය අනුව තමන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ කළ පළමු ජනමාධ්‍යවේදියා මා විය හැකිය. කවුරුන් හෝ මාගේ ආර්ථික සත්භාවය ප‍්‍රශ්න කරන්නේ නම් ඔවුන් අභියෝගයට ලක් කළයුත්තේ මගේ වත්කම් බැරකම් ප‍්‍රකාශනයේ එන තොරතුරුය. එය රහසිගත ලියවිල්ලක් නොව ඕනෑම කෙනෙකුට පිටපත් ලබාගත හැකි ප‍්‍රසිද්ධ ලියවිල්ලකි. මා මත්පැන් බොන බව හා සිගරට් බොන බව කිසිවිටෙකත් සඟවා නැත. එහෙත් මා මත්පැන් බොන්නේ මගේ තරමට ගැළපෙන ලෙසය. මත්පැන් බී හොඳ සිහිය අහිමි කරගත් අවස්ථාවක් මට මතක ඇති කාලෙක සිදුවී නැත. මා මඟුල් උත්සව අවස්ථාවකදීවත් දහවලට මත්පැන් බොන්නේ නැත. අඩියක් ගහන්නේද ඊට ගැළපෙන තැනක ඊට ගැළපෙන මිනිසුන් සමගය. තිබෙන සියලූ අවුල් මැද මට ශක්තිමත්ව දෙපයින් සිටීමට හැකිවී තිබෙන්නේ මාගේ ජීවන දර්ශනයට අනුකූල පැවැත්මක් පවත්වාගෙන යෑම නිසායැ’යි මම තරයේ විශ්වාස කරමි.

කසකාර ලියුම්කරුවා පෙනී සිටින්නේ ජනමාධ්‍යවේදියකු ලෙස නිසා විවිධ තරාතිරමේ මිනිසුන් ඇසුරු කිරීම පිළිබඳව ඔහු ඉදිරිපත් කරන විවේචනය කිසිම හරයක් නැති මෝඩ විවේචනයක් බව කිව යුතුය. හොඳ ජනමාධ්‍යවේදියකු විය හැක්කේ විවිධ තරාතිරම්වලට අයත් මිනිසුන් විශාල පිරිසකට සම්බන්ධකම් ඇති කෙනෙකුට පමණය. ඔවුන් සමග කරන කතාබහ නිසා සමහරවිට අප‍්‍රකට ඉතා වැදගත් දේවල් දැනගන්නට ලැබෙන්නේය. මාගේ වෘත්තීය ජීවිතයේදී එසේ අසන්නට ලැබුණු සමහර දේවල්වලින් සමාජයේ විස්මයට හා කම්පනයට හේතුවන කතා වාර්තා කිරීමේ හැකියාව මට ලැබුණි. ජනාධිපති පේ‍්‍රමදාස ඡුන්ද පෙත්සමේදී උසාවියේ දෙන්නට යන තීන්දුව මා කල්තියා දැන සිටියා පමණක් නොව තීන්දුව දෙන්නට පෙර මම එය මුල් ප‍්‍රවෘත්තියක් ලෙස ප‍්‍රකාශයටද පත් කළෙමි. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඝාතනයට ලක්වූ මැයි දින පෙළපාළියේ බෝම්බ පිපිරීමක් සිදුවන්නට යන බව මම කල්තියා දැන සිටියා පමණක් නොව එම තත්ත්වය ඇතිවීම වැළකීම සඳහා මුල් පුවතක් ලෙස එයද පළ කළෙමි. එකල පුවත්පත මුද්‍රණය කළේ රාවයේ මුද්‍රණාලයක නොව මරදානේ මුද්‍රණාලයකය. පුදුමයට මෙන් එම මුද්‍රණාලයේ ඇතිවීයැ’යි කියන කාර්මික දෝෂයක් නිසා එම බිහිසුණු සිද්ධිය ඇතිවී පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඝාතනය වන තෙක් එම කලාපය කරළියට ගැනීමට නොහැකි විය. පේ‍්‍රමදාස ඝාතනයෙන් පසු තවදුරටත් පැරණි මුල් පිටුව වලංගු නොවීම නිසා එය ඉවත් කොට අලූත් මුල් පිටුවක් මුද්‍රණය කරවන්නට සිදුවිය. එහෙත් පසුව පාඨකයන්ගේ දැනගැනීම සඳහා පළකිරීමට නොහැකි වූ එම පිටුව පළකිරීමට මට සිදුවිය. හොඳ ජනමාධ්‍යවේදියකු වීමට හැම වැදගත් අංශයක්ම ආවරණය කෙරෙන ආකාරයට සකස් කළ දැළක් වැනි පුද්ගල සම්බන්ධතා ජාලයක් අත්‍යවශ්‍යය.

පොත් ලිවීම

කසකාර ලියුම්කරු මාගේ පොත් ලිවීම ගැනද කියා තිබෙන්නේය. ඔහු ඒ ගැන කියා තිබෙන්නේ මෙසේය. ‘අවසාන කාලයේ වික්ටර් අයිවන් පුවත්පතට නොව සිය මතවාදයන් එළිදැක්වීම සඳහා පොත් රැුසක් එළිදක්වන ලදි. ඒ සඳහා විය පැහැදම් කළේය.’

මා පොත් ලිවීම ආරම්භ කළේ මෑත කාලයකදී නොව 71 කැරැුල්ල වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින කාලයේ සිටය. ජනමාධ්‍ය ජීවිතයට එකතුවීමෙන් පසු වසරකට එක පොතක් බැගින්වත් ලීවෙමි. මා ලියූ පොත් ගණන පොත් රැුසක් බවට පත්වූයේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. මා ලියන ලද පොත්වලින් එක පොතක් හැර අන් සියලූ පොත් ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි විවිධ පැතිකඩවල් අළලා ලියන ලද පොත් ලෙස සැලකිය හැකිය. 71 කැරැුල්ලේදී එවැනි දෙයක් ඇතිවූයේ ඇයිද කියන ප‍්‍රශ්නය මට තිබුණි. බන්ධනාගාරයෙන් නිදහස් වී ඒමෙන් පසුද සිදුවූ කෙළවරක් නැති ලේ වැගිරීම් කෙරෙහි බලපා තිබෙන හේතු තේරුම් ගැනීමට මට අවශ්‍ය විය. පූර්ව නිදහස් යුගයේ ආණ්ඩු ප‍්‍රතිසංස්කරණ උද්ඝෝෂණ ඇරඹුණු කාලයේ සිටම ජාතික රාජ්‍ය ක‍්‍රමයේ පැවැත්ම සඳහා අවශ්‍ය එක්සත් ජාතියක් ගොඩනගා ගැනීමට අසමත්වීම හා ඊට ගැළපෙන විධිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු ක‍්‍රමයක් ගොඩනගා ගැනීමට අසමත්වීම එම ආරාවුල් දෙක කෙරෙහි බලපා තිබෙන ප‍්‍රධාන ගැටලූ දෙක වේය යන්න මගේ මතය විය. 1978 ඇති කරගත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ඒ යටතේ ගොඩනගන ලද ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය මගේ ගවේෂණයට හසුවූ තවත් වැදගත් මාතෘකාවක් වූ අතර එම දේශපාලන ක‍්‍රමයේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී, ජනතා විරෝධී හා මංකොල්ලකාරී ස්වරූප විස්තරාත්මකව හෙළිදරව් කරන කෘතියක් ‘චෞර රාජ්‍යය’ නමින් ලියා පළ කරන ලදි. ඒ සියල්ලෙන් මා අපේක්ෂා කළේ තිබෙන දූෂිත ක‍්‍රමයට එරෙහිව මහජනයා දැනුවත් කිරීමය. ඒ මගින් ක‍්‍රමයේ වෙනසක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාව පිළිගන්නා තැනකට දේශපාලන පක්ෂ තල්ලූ කිරීමය. ක‍්‍රමය වෙනස්කර ගැනීමකින් තොරව ආණ්ඩු වෙනස් කිරීම තේරුමක් නැති දෙයක් බව කියන විට මට හිනාවුණු මගේ ඒ මතය සැර පරුෂ ලෙස විවේචනයට ලක්වූ කාලයක්ද තිබුණි. මාගේ ඒ මතය වෙනුවෙන් මට ඒ කාලයේ විවිධ මතධාරීන් සමග වාද විවාද කරන්නටද සිදුවිය.

25 වැනි සංවත්සරය

රාජ්‍ය නායකයා ඇතුළු රටේ දේශපාලන පක්ෂවල නායකයන් වැඩි පිරිසක් සහභාගි වූ රාවයේ 25 වැනි සංවත්සරය ප‍්‍රධාන තේමාව කොටගත්තේද දේශපාලන ක‍්‍රමය හා සමාජ ක‍්‍රමය යන මාතෘකාවය. ඒ මගින් ද අපේක්ෂා කළේ ක‍්‍රමය වෙනස් කරගැනීමේ අවශ්‍යතාව ගැන රජයේද විරුද්ධ පක්ෂවලද මහජනයාගේද අවධානය යොමු කිරීමය. 1978 ඇති කළ ජනාධිපති ක‍්‍රමය පිළිනොගන්නා දේශපාලන පක්ෂ ගණනාවක්ම රටේ තිබුණද කිසිදු දේශපාලන පක්ෂයක් ඊට එරෙහිව මහජනයා දැනුවත් කරන තැනකට නොගියේය. ඒ සියලූදෙනා විරෝධතා පුවරු අත තබාගෙන ක‍්‍රමයට අනුගතවී ක‍්‍රමය සමග යහතින් ජීවත් වූහ. දැන් ක‍්‍රමය වෙනස්කිරීම දේශපාලන තලයේ ප‍්‍රධාන මාතාකාව බවට පත්ව තිබේ. ඒ ගැන මහජනයා දැනුවත් කිරීම සඳහා නොකඩවා ක‍්‍රියා කළ පුද්ගලයකු වශයෙන් මටද සතුටු විය හැකිය. මා මාගේ මතවාදයන් පැතිරීම සඳහා පසුකලකදී පොත් රැුසක් පළ කරන ලද බවත් ඒ සඳහා විය පැහැදම් කර ඇති බවත් කසකාර ලියුම්කරු කියයි. ඉන් ඔහු අදහස් කරන බව පෙනෙන්නේ මා කෘත‍්‍රිම අගයක් මා වෙත හිමිකර ගැනීම සඳහා ලොකු වියදමක් දරා පොත් පළකරන මුත් ඒවා මහජනයා අතරට නොයන බවය. උපායික හේතු මත මා ලියන ලද එක පොතක් සඳහා හැර වෙනත් කිසිදු පොතක් සඳහා මා දොරට වැඞීමේ උත්සව පවත්වා නැත. මා කිසිම පොතක් මගේ පුද්ගලික වියදමින් පළකර නැත. මාගේ පොත් කියවන කිසියම් විශාල පාඨක සංඛ්‍යාවක් රටේ සිටින්නේය. මට ලැබෙන වැටුපෙන් පමණක් මට ජීවත් විය නොහැකිය. මට මගේ අතිරේක හුරුපුරුදු පවත්වාගෙන යන්නටද, පොත් මිලදී ගන්නට හා ආදායම් බදු ගෙවන්නටද අවශ්‍ය අතිරේක ආදායම් ලැබෙන්නේ පොත්වලිනි. පොත්වලින් ලැබෙන ආදායම් රාවයේ පැවැත්මටද කිසියම් තරමකට දායක වී තිබෙන්නේයැ’යි කිව හැකිය. මා දන්නා තරමට මාගේ පොත් කියවන පාඨකයන් අතර රාවය පාඨකයන් සේ ම රාවය නොකියවන පාඨකයෝද සිටිති. ඒ සියල්ලෙන් පෙනීයන්නේ, මා අපේක්ෂා කළ මහජනයා අතර සිටින මත ගොඩනගන්නන් දැනුවත් කිරීමේ අරමුණ කිසියම් විශාල ප‍්‍රමාණයකට සාර්ථක වී තිබෙන බවය. එම පාඨකයන්ගෙන් එල්ල වන විවේචනද දේශපාලන තලය කෙරෙහි බලපා තිබෙන බවය.

කසකාර ලියුම්කරුවාට පිළිතුරු දීම ඉන් අවසන් කොට දේශපාලන කරඬුව රැුගත් පෙරහැර වෙනුවෙන් ලියන දේශපාලන ලියුම්කරුවා නගන තර්ක දැන් සලකා බැලිය හැකිය.

ජවි පෙරමුණේ සැකය

ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වෙනුවෙන් පෙනී සිටින මෙම දේශපාලන ලියුම්කරු ඉදිරිපත් කරන විග‍්‍රහයේ හරය සංක්ෂිප්තව මෙසේයැ’යි කිව හැකිය. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවාට ජවිපෙ පක්ෂය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් එය අවශ්‍ය දෙයකි. දැන් පවතින පාර්ලිමේන්තුවෙන් එය සපුරාගත නොහැකි බැවින් ඒ සඳහා ඊළඟ ජනාධිපතිවරණය යොදාගත යුතුය. එහෙත් එය කරන්නේ කෙසේද යන්න තවමත් පැහැදිලි නැත. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායමක් පොදු අපේක්ෂකයකු හරහා එසේ කළ හැකි බවට මතයක් පළ කළහ. ජවිපෙද එවන් අදහසක් විටින් විට ඉදිරිපත් කළේය. ආණ්ඩුව ඇතුළේ ඉන්නා පක්ෂ හා පුද්ගලයෝ ගණනාවක්ද එවන් පොදු ක‍්‍රියාමාර්ගයකට එකඟත්වය පළකර සිටියහ.
එහෙත් හිටි හැටියේ රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරණයට තරග කරන බව ප‍්‍රකාශ කර සිටියේය. අලියා ලකුණ යටතේ යූඑන්පියෙන් තරග කොට දිනන්නට රනිල්ට කොහෙත්ම හැකියාවක් නැති බැවින් රනිල් පොදු අපේක්ෂකයා බවට පත්කිරීමේ අසාර්ථක උත්සාහයක් දියත් කර තිබේ. මේ උත්සාහය ක‍්‍රියාවට නගා තිබෙන්නේ මාය. දේශපාලන ගැඹුරක් නැති අවංකවම මහින්ද පරද්දන්න ඕනෑයැ’යි සිතන විද්වත්තු හා කලාකරුවෝ පිරිසක්ද මට එකතු වී සිටින්නෝය. ඒ සඳහා විරුද්ධ පක්ෂ සන්ධානයක් සඳහා වන මූලධර්ම නමින් වන සටහනක්ද ප‍්‍රකාශ කර තිබෙන අතර ඊයේ පෙරේදා කදිරගාමර් ශාලාවේ රනිල් පැවැත්වූ කතාවේ හරය වූයේද ඒ සටහනේ එන කාරණාය. සාධාරණ සමාජයක් සඳහා වන ව්‍යාපාරයේ අවංක වුවමනාවන් රනිල්ගේ වුවමනාවට පාවිච්චි කිරීමට අයිවන්ලා උත්සාහ ගනිමින් තිබේ. සෝභිත හිමියන් නගර සභා ශාලාවේ කැඳවූ රැුස්වීමට අයිවන් හිටිහැටියේ ගොඩවූයේ ඒ සඳහාය.
අයිවන්ලා 94 කළේත් ඔය දේමය. කහපටි ව්‍යාපාරය හරහා ඉන්පසු රනිල් බලයට ගෙනාවේද ඔය අයිවන්ලාය. ඒ අයිවන් පසුගිය කාලය පුරාම ආවැඩුවේ මහින්ද රාජපක්ෂටය. විධායකය අහෝසි කිරීම රනිල්ගෙන් කිසිදා සිදුවන්නක් නොවේ. අනෙක් අතට පරාජිත රනිල් ඉදිරිපත් කිරීමෙන් නැවත පෙරළා වාසිය ලැබෙන්නේ මහින්දටය. වික්ටර් අයිවන් හදිසියේ මේ වේදිකාවට නැග්ගේ මහින්දගේ වුවමනාවටද යන්න බරපතළ ලෙස සොයා බැලිය යුත්තකි. විධායකය අහෝසි කිරීම පිළිබඳ තර්කයක් නැත. එහෙත් එය අහෝසි කළයුත්තේ ඒ හා බැඳුණු කොල්ලකාරී විවෘත ආර්ථිකයද පරාජය කරමිනි.

මට දිය හැකි පිළිතුර

දැන් අපට මෙම විග‍්‍රහයේ එන අදහස් සාකච්ඡුාවට ලක් කළ හැකිය. විග‍්‍රහයේ හරය ගැන කතා කරන තැනකට යන්නට පෙර මට අදාළව එහි එන අතුරු කාරණා තුනක් ගැන පැහැදිලි කිරීමක් කළ යුතුය.

මෙම විචාරකයා කියන්නේ වික්ටර් අයිවන් ’94 කළේත් ඔය ටිකම කියාය. ’94 ජයග‍්‍රහණයට සීමා සහිතකම් තිබෙනවා විය හැකි වුවත් අවුරුදු 17ක් බලයේ සිටි එජාප ආණ්ඩුවේ අඛණ්ඩතාව බිඳ හෙළීම වැදගත් ඉදිරි පියවරක් ලෙස මම සලකමි. ඒ අතර එසේ නොවී නම් රටේ ගමන් මග මීටත් වඩා විනාශකාරී වන්නට ඉඩ තිබුණේයැ’යි ද කිව හැකිය. එයින් රටට පූර්ණ නිදහසක් නොලැබුණා වුණද කිසියම් විශාල ප‍්‍රමාණයකට නිදහසේ දොරටු විවෘතවීමක් සිදුවිය. 94 එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කරන්නට අපේ වැඩසටහන ඉක්මවා ගිය  වැඩසටහනක් ජවි පෙරමුණට තිබුණේද? ඊට දිය හැකි පිළිතුර, නැත යන්නයි.

කහපටි ව්‍යාපාරය කරළියට ගන්නට සිදුවූයේ වයඹ පළාත් සභා මැතිවරණයේදී සිදුවූ මහා කොල්ලයෙන් පසුව නැවත එවැනි දේවල් ඇතිවන්නට ඉඩ නොතැබීම සඳහා ක‍්‍රියාකාරී මහජන ව්‍යාපාරයක් මතුකර ගැනීමේ අරමුණ ඇතිවය. වයඹ ඡුන්ද කොල්ලයෙන් එදා ජවිපෙද අන්දමන්ද භාවයට පත්ව සිටියේය. කහපටි ව්‍යාපාරය එළිදක්වන අවස්ථාවට සියලූ විරුද්ධ පක්ෂවල නායකයෝ සහභාගි වූහ. ජවිපෙද ඊට සහභාගි විය. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ද සහභාගි විය. දශ ලක්ෂ ගණනක් ජනයා කහපටි පැළඳ ගැනීම මගින් ඊට සහාය පළ කළේය. එම උණුසුම් වටාපිටාව තුළ මහජනයාගේ ඡුන්ද අයිතිවාසිකම් සුරක්ෂිත කරන වැදගත් නඩු තීන්දු කිහිපයක්ද ප‍්‍රකාශයට පත්විය. එම ව්‍යාපාරයෙන් වාසි ලැබුණේ ආණ්ඩුවට නොව විරුද්ධ පක්ෂ ව්‍යාපාරයටය. වාසි බෙදීයෑමේදී වැඩි වාසි ලැබුණේ විරුද්ධ පක්ෂයේ ප‍්‍රධාන පක්ෂය ලෙස ක‍්‍රියා කළ එජාපයටය. එය ඉතාමත් ස්වාභාවික දෙයක් විය. වයඹ ඡුන්ද කොල්ලය ආශ‍්‍රයෙන් මැතිවරණ තලයේ ඇතිව තිබූ ව්‍යාකූලත්වය පහකිරීම සඳහා කහපටි ව්‍යාපාරය ඉක්මවා ගිය වැඩපිළිවෙළක් ජවිපෙට තිබුණේද? ඊට දිය හැකි පිළිතුර වන්නේද නැත යන්නය.

මා මහින්ද රාජපක්ෂගේ යුද ව්‍යාපාරයට මතවාදීමය වශයෙන් ආධාර කළ පුද්ගලයෙකු යන්න සැබෑවකි. එය මා කළ හරි දෙයක් මිස වැරදි දෙයක් ලෙස අදත් මට පෙනෙන්නේ නැත. එහෙත් යුද්ධය අවසන්වීමෙන් පසු රාජපක්ෂ ආණ්ඩුව ගැන මට විවේචනයක් තිබුණි. ඒ විවේචනය ප‍්‍රධාන කොට එල්ල වූයේ යුද්ධය අවසන් කිරීමෙන් පසු ක‍්‍රමයේ ඇති කළ යුතුව තිබුණු ප‍්‍රතිසංස්කරණ ඇති නොකිරීම ගැනය. රාවය 25 වැනි සංවත්සරයේදී ප‍්‍රධාන තේමාව වූයේද එයයි. ඊට අතිරේකව 18 වැනි සංශෝධනය ගැන, ජෙනරාල් ෆොන්සේකා සම්බන්ධයෙන් අනුගමනය කළ කුරිරු ප‍්‍රතිපත්තිය, රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ප‍්‍රතිපත්තිය, මිලිටරිකරණය මගේ විවේචනයට ලක්වූ අනෙකුත් ප‍්‍රධාන කාරණාය. රාජපක්ෂ ආණ්ඩුව සම්බන්ධයෙන් මගේ ආස්ථානය විවේචනය කරන දේශපාලන ලියුම්කරු මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට ගෙනඒමෙහිලා ජවිපෙ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ලද බව අමතක කරයි. රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ජනාධිපති අතින් රටට හෝ ජනතාවට කිසිදු වරදක් වන්නට තමන් ඉඩ නොතබන බවටද එදා ජනතා විමුක්ති පෙරමුණේ නායකයෝ් ජනතාවට සහතික වූවෝය. එහෙත් ඒ පොරොන්දුව ඉටු කරන්නට ජවිපෙ සමත් වූයේ නැත.

රනිල් වික‍්‍රමසිංහ ගැන මටද විවේචනයක් තිබෙන්නේය. එය අප‍්‍රකාශිත විවේචනයක් නොව ප‍්‍රකාශිත විවේචනයකි. රනිල් වික‍්‍රමසිංහගේ බොහෝ දුර්වලකම් හා අඩුපාඩුකම් තිබෙන්නේය. වර්තමානයේ ගරාහැලූණු තත්ත්වයකට පත්ව සිටියද ඒ සමග ඔහු විරුද්ධ පක්ෂ අතර තිබෙන ප‍්‍රධානම විරුද්ධ පක්ෂයේ නායකයා බව අමතක කළ නොහැකිය. ඔහුගේ අසාර්ථකභාවය කෙරෙහි ඔහුගේ වැරදි අඩුපාඩුකම්වලට අතිරේකව රටේ පවතින දූෂිත දේශපාලන ක‍්‍රමයද බලපා තිබේ. ඉතාමත් ප‍්‍රතාපවත් නායිකාවක ලෙස සැලකිය හැකි සිරිමාවෝ බණ්ඩාරනායක පවා ඇදවැටී සිටියේ රනිල් වික‍්‍රමසිංහ අද ඇදවැටී සිටින තත්ත්වයට සමාන තත්ත්වයකයට. රනිල් වික‍්‍රමසිංහට එරෙහිව එල්ල කළ හැකි සියලූ විවේචන තිබියදී විරුද්ධ පක්ෂයේ සිටින සියලූ දේශපාලකයන් අතරින් වැඩියෙන්ම දැනුම තිබෙන හා පළපුරුද්ද තිබෙන දේශපාලකයා ලෙස සැලකිය හැක්කේද ඔහුය.

අනෙක් අතට පරිහානිය එජාපයට පමණක් සීමාවූ දෙයක් නොවන බවද තේරුම් ගත යුතුය. එය ජවිපෙ ඇතුළු සියලූ විරුද්ධ පක්ෂවලටද අදාළය. ජවිපෙට දැන් තිබෙන ශක්තිය බිඳීමක් ඇතිවීමට පෙර තිබූ ශක්තිය තරම් විශාල නැත. ආණ්ඩුවේ ඇතිවී තිබෙන පරිහානියට ගැළපෙන තරමින් විරුද්ධ පක්ෂ ව්‍යාපාර ඉහළ ගොස් නැත. එය ජවිපෙටද අදාළය.

දැන් සිහින දකින්නේ ආණ්ඩුවක් පරාජය කරනවාට අතිරේකව නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට නම් ආණ්ඩු පෙරළියක් ගැන සිහින දකිනවාට වඩා ලොකුවට සිහින දකින තැනක සිහින දකින්නන් සිටිය යුතුය. රනිල් වික‍්‍රමසිංහ බැහැර කරන ප‍්‍රතිපත්තියකින් සිදුවන්නේ එජාපද බැහැර කිරීමය. එවිට ජවිපෙ අපේක්ෂා කරන අරමුණ කිසිවිටෙකත් ජයගැනීමට හැකිවන්නේ නැත. අනෙක් අතට එජාපය ප‍්‍රතිගාමීය, ශ‍්‍රීලනිප ප‍්‍රතිගාමීය යන බෙදීම අදට වලංගුවන්නේ නැත. එසේම විධායක ජනාධිපති ක‍්‍රමය පමණක් නොව විවෘත ආර්ථික ක‍්‍රමයද අහෝසි කළ යුතුයි කියන සටන් පාඨයද අදට වලංගුවන්නේ නැත. වර්තමානයේ විවෘත ආර්ථික ක‍්‍රමය කි‍්‍රයාත්මක නොවන්නේ භූතානයේ පමණය. ලෝකයේ අන් හැම රටකම තිබෙන්නේ විවෘත ආර්ථික ක‍්‍රමයකි. ජනාධිපති ක‍්‍රමය විවෘත ආර්ථිකයේ බලයක් ලෙසද සැලකිය නොහැකිය. එක්සත් රාජධානියේ විවෘත ආර්ථික ක‍්‍රමයක් ඇතත් එහි ඇත්තේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයකි. ඉන්දියාවේ ඇත්තේද විවෘත ආර්ථික ක‍්‍රමයකි. ඒ රටවල් විවෘත ආර්ථික ක‍්‍රමයට මාරුවීමත් සමග පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමය අතහැර ජනාධිපති ආණ්ඩු ක‍්‍රමවලට මාරුවූයේ නැත.
අනෙක් අතට සමාජවාදී ආර්ථික ක‍්‍රමයක් පිළිබඳ අදහස නූතන ලෝකයට වලංගු නැත. ඒ ක‍්‍රමය එම ක‍්‍රමය වෙනුවෙන් පෙනී සිටි විශාරදයන් විසින්ම අත්හදා බලා අසාර්ථක වූ ක‍්‍රමයක් ලෙස තහවුරු වී තිබේ. සමාජවාදී ආර්ථික ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වන එකුදු රටක්වත් ලෝකයේ නැත. විවිධ අධම ලක්ෂණ තිබියදීත් අඩු වැඩි වශයෙන් මුළු ලෝකයේම ක‍්‍රියාත්මක වන්නේ ධනේශ්වර ගෝලීය ආර්ථික ක‍්‍රමයකි. ඒ වෙනුවට ප‍්‍රායෝගිකව යොදාගත හැකි විකල්ප අර්ථ ක‍්‍රමයක් ඉදිරිපත් කිරීමටද අද දක්වාම කිසිවකුත් සමත් වී නැත

සිදුවූයේ කුමක්ද?

මෙම යථාර්ථයන්ගෙන් පසුව දැන් අපට දේශපාලන ලියුම්කරු මතුකරන චෝදනාවේ ඇත්ත නැත්ත සලකා බැලිය හැකිය.
මාගේ විශ්වාසය වී තිබුණේ ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය අරාජිකත්වයක් කරා රට රැුගෙන යමින් තිබෙන බවය. ඒ ගැන වන මගේ මතය මීට කලකට පෙර ලියා ඇත්තෙමි. සමස්ත ක‍්‍රමය අවුලෙන් අවුලට යමින් තිබෙනවා පමණක් නොව රටට එරෙහිව ඇමරිකාව හෝ යුරෝපා සංගමය හෝ ඒ දෙකම සම්බාධක පැනවීමේ තර්ජනයක්ද පවතී. එවැනි තත්ත්වයක් ඇතිවුවහොත් රාජපක්ෂ ආණ්ඩුව පමණක් නොව රටද පහසුවෙන් ගැළවිය නොහැකි මහා අගාධයකට ඇද වැටෙනු නොවැළැක්විය හැකිය. එම අනතුර ගැන රටේ කතාබහක් ඇත්තේම නැති තරම්ය.

ජනාධිපතිවරණය කේන්ද්‍රගත කොටගෙන සිදුවන ජාතික සංවාදයේ ප‍්‍රධාන මාතෘකාව දේශපාලන ක‍්‍රමය බවට පත්වූ විට එය මට පෙනුණේ තිබෙන ඝන අඳුර මැද තිබෙන එකම රිදී රේඛාව ලෙසය. දේශපාලන ක‍්‍රමය වෙනස් කිරීමේ අරමුණ වෙනුවෙන් මහා දේශපාලන පෙළගැස්මක් ඇතිකර ගැනීමට සමත් වෙතොත් රට අරාජික තත්ත්වයට යෑම වළකාගත හැකිවනු ඇති බව මගේ මතය විය. එසේම ඒ නිසා ඇතිවන ආණ්ඩු පෙරළියක් සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවීම වැළැකීමට හැකිවනු ඇතැ’යිද මට සිතුණේය. දේශපාලන ක‍්‍රමය මා නිරන්තරයෙන් අතපතගාමින් සිටි මගේ ඇඟට දැනෙන විෂයක් වීම හේතු කොටගෙන දේශපාලන ක‍්‍රමයට එරෙහිව ගොඩනැගෙමින් තිබෙන පෙළගැස්ම ශක්තිමත් කොට එය තර්කානුකූල තැනකට ගෙනයෑම සඳහා මමද මට කළ හැකි හැම දෙයක්ම කළ යුතුයැ’යි කල්පනා කරන තැනකට පත්වූයෙමි.

දේශපාලන ක‍්‍රමය වෙනස් කරගැනීම සඳහා ගොඩනැගෙමින් තිබෙන පෙළගැස්ම ගැන අප කිහිපදෙනකු අතර සාකච්ඡුාවට ලක්විය. එහිදී එම පෙළගැස්ම තුළ අපට පෙනෙන්නට තිබුණු ලොකුම අඩුපාඩුව වූයේ එම අරමුණ වෙනුවෙන් පෙනී සිටින පක්ෂ හා බලවේගයන් අතර නියම සාකච්ඡුාවලියක් ආරම්භ නොවී තිබීමය. පොදු අපේක්ෂකයා පිළිබඳ ප‍්‍රශ්නයද අපට පෙනුණේ පොදු අපේක්ෂකයා විය යුත්තේ කවුද යන ප‍්‍රශ්නය අංක එකට නොගෙන පොදු වැඩසටහනක් ඇතිකර ගැනීම අංක එකට ගෙන පොදු වැඩසටහනක් සඳහා ඇතිකර ගන්නා එකඟත්වයකින් පසුව එම පොදු වැඩසටහන ඉදිරියට ගෙනයෑම වෙනුවෙන් ඉදිරිපත් කළ යුතු පොදු අපේක්ෂකයා කවුද යන ප‍්‍රශ්නය සාකච්ඡුා කළ යුතු බවය. පක්ෂ හා බලවේගයන් අතර සාකච්ඡුා ආරම්භ නොවීමට බලපා තිබෙන ප‍්‍රධාන හේතුව ලෙස අපට පෙනුණේ විශ්වාසයෙන් හා ගෞරවයෙන් එකට එකතු වී ක‍්‍රියාකිරීමට අවශ්‍ය රාමුවක් නැතිකමය. ඒ සඳහා වන ආදර්ශ රාමුවක් සඳහා කෙටි පත‍්‍රිකාවක් අපි සකස් කළෙමු. ඉන්පසු එය සෝභිත හාමුදුරුවන් අතටත් දේශපාලන පක්ෂවල නායකයන් අතටත් පත් කළෙමු. ඒ සියල්ල සිදුවූයේ සෘජු ලෙස නොව වක‍්‍ර ආකාරයකටය. පත‍්‍රිකාවේ පිටපතක් ජවිපෙ අතටද පත්කෙරිණි.

අපේ ඉලක්කය වූයේ අප ඉදිරිපත් කරන රාමුව පිළිගැනීමට බලකිරීම නොවේ. එකට එකතු වී සාකච්ඡුා කිරීමට පිළිගත හැකි රාමුවක් ඇති කරගත හැකි බව එම පක්ෂවලට පෙන්වාදීමය. එවිට සාකච්ඡුා ආරම්භ කිරීම පහසු වනු ඇති බව අපේ මතය විය. සාකච්ඡුා කොට පොදු වැඩටසහනක් ඇතිකර ගන්නා තෙක් අවශ්‍ය නම් මා ඉල්ලන්න සූදානම්යැ’යි කියන අදහස අත්හරින ලෙස සෝභිත හාමුදුරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබූ අතර ජනාධිපතිවරණයට මා තරග කරනවා කියන අදහස ඒ වනවිටත් ප‍්‍රකාශ කර තිබුණ නිසා එම ප‍්‍රකාශයද ඉවත්කර ගන්නා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්ද ඉල්ලා සිටින ලදි. සෝභිත හාමුදුරුවන් සේ ම රනිල් වික‍්‍රමසිංහ ද එම ඉල්ලීම පිළිගත් බව ඒ දෙදෙනාට ගෞරවය පිණිස කිව යුතුය. ඒ සියල්ල එසේ කිරීමට අවශ්‍ය වූයේ ජනතා විමුක්ති පෙරමුණට ආත්ම ගෞරවයෙන් යුතුව සාකච්ඡුාවන්ට සම්බන්ධවීමට සුදුසු වටාපිටාවක් ඇතිකරලීම සඳහාය. සකස් කරන ලද රාමුව කාගේවත් වාසිය පිණිස හෝ සැඟවුණු අරමුණු ඇතිව සකස් කරන ලද්දක් නොවීය. ඒ නිසා අවසාන වශයෙන් මට කිවහැක්කේ ජවිපෙ එල්ල කරන චෝදනා පදනම් විරහිත බවය. තිබෙන දූෂිත හා පීඩාකාරී දේශපාලන ක‍්‍රමය පරාජය කොට සියලූදෙනාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන දේශපාලන ක‍්‍රමයක් සඳහා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමේ අරමුණ ජයගත හැකිවනු ඇත්තේ කට්ටිවාදයෙන් තොරව ඊට ගැළපෙන තරමේ විශාල සමගියක් ඇතිකර ගැනීමට සමත් වේ නම් පමණය. ජවිපෙ ඔවුන්ගේ මියගිය සගයන්ට උපහාර දැක්විය හැකි ඵලදායී මාර්ගයක් වන්නේද පීඩාකාරී දූෂිත දේශපාලන ක‍්‍රමය වෙනස් කරගැනීම සඳහා කෙරෙන අරගලයේ වැදගත් කොටස්කාරයකු බවට පත්වීමෙනි. (පක්ෂ අතට පත් කළ එම රාමුව අඩංගු පත‍්‍රිකාව පාඨකයන්ගේ දැනගැනීම සඳහා මෙහි පළ කරමු.)