නියඟයෙන් වාර්ෂිකව අසමත්වීම

නියඟය අවසන් නැත. අක්කර ලක්‍ෂ ගණනක ගොවිබිම් හා වගාවන් විනාශ කරමින් හා ලක්‍ෂ අටත් දහයත් අතර ගණනක මිනිසුන්ගේ ජීවිතවලට දැඩි පීඩාවක් ගෙන දෙමින් නියඟය තවමත් එක සේ පවතියි. සමහර ප‍්‍රදේශවල ජනයා පවුල් පිටින් සිය උන්හිටි තැන් අතැර ජලය ඇති තැන් සොයා යන සරණාගතයන් වන තරමට තත්ත්වය උග‍්‍ර වී ඇති බව දිනපතා මාධ්‍ය වාර්තාවලින් පෙනෙයි. මේ බලවත් පීඩාව පවතින්නේ කොළඹ නම් අලංකාර නගරයේ මහේශාක්‍ය සාප්පු සංකීර්ණ, අවන්හල් හා ධාවන තීරු විවෘත කරන්නට ආණ්ඩුව යුහුසුළු වෙමින් සිටිය දී ය.

නියඟයට ගොදුරුවූවන්ගේ කතාව කුමක් ද? හැම වසරක ම නියඟය එයි. ඇත්තේ එහි අඩු වැඩියක් පමණෙකි. එහෙත්, සෑම වසරක ම නියං කාලයේ ඒ ප‍්‍රදේශවල ජනතාව බරපතළ ව්‍යසනයකට මුහුණ දෙති. එක් වසරක පාඩම්වලින් උගෙන සැලසුම් කොට හානි අවම වන සේ ඊළඟ වසරේ නියංසායට මුහුණ දීමේ වැඩ පිළිවෙලක් ආණ්ඩුවට නැත. නියඟය එයි. ඊට හැකි අකාර්යක්‍ෂම ම ආකාරයෙන් මුහුණ දෙන්නට කටයුතු සූදානම් කෙරෙයි. ඒ කාලය තුළ ජනයා සකලවිධ ව්‍යසනයන්ට මුහුණ දෙයි. ඉන්පසු වැස්ස වසියි. ආණ්ඩුවේ සැලසුම් හකුළා ගැනෙයි. ඊළඟ නියඟය එන තෙක් එපමණෙකි. සරල උදාහරණයක් මෙසේ ය. දැන් නියං සහනාධාර ඍජුවම ජනතාව අතට නොලැබෙයි. ඒ වෙනුවට ‘වැඩ සඳහා ගෙවීම්’ නමැති ව්‍යාපෘතියක් යටතේ පවුල්වල සාමාජිකයන් තෝරාගත් පොදු වැඩවල යෙදිය යුතු ය. වැව්වල රොන්මඩ ඉවත් කිරීම, කැඞී බිඳී ගිය ඇළවේලි සකස්කිරීම වැනි පොදු වැඩ ය. නියං සායට ගොදුරුවූ ජනතාව කියන්නේ වසරේ නියඟය ආ විට මෙසේ නිම කළ යුතු පොදු වැඩ කවරේදැ’යි රජයේ නිලධාරීන් කරුණු සොයා බලා ලිපි ලේඛන සකස් කරන විට නියඟය අවසන් ව වැසි වැටෙන බවය. එවිට සැලසුම් සියල්ල හකුළා තබා නැවතත් ඊළඟ වසරේ අලූතෙන් පටන් ගන්නා බව ය.

සෞඛ්‍ය ඇමති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය සතියේ මේ අකාර්යක්‍ෂමතාව ගැන ප‍්‍රසිද්ධියේ රජයේ නිලධාරීනට දෙස් තැබුවේය. එහෙත් නිලධාරීන්ගෙන් පිළිබිඹු වන ඒ අකාර්යක්‍ෂමතාව ඇත්තට ම කාගේ ද? සෞඛ්‍ය ඇමතිවරයා ද කැබිනට් ඇමතිධුරයක් දරන ආණ්ඩුවේ ය.

වසරකට වරක් නියඟය පැමිණ ජන ජීවිතය විශාල ව්‍යසනයකට ඇද දමන බව ආණ්ඩුව හොඳින් ම දනියි. එහෙත්, මේ වතාවේ ද සිදු වූයේ කුමක්ද? නියඟයට පෙර රොන් මඩ ඉවත්කොට වැව්වල ජලය වැඩි ප‍්‍රමාණයක් රඳන සේ සකස් කර ගැනීමට ආණ්ඩුව අසමත් විය. නියඟය පැමිණි විට මිනිසුන්ට පානීය ජලය වත් බවුසර්වලින් නිසි ලෙස බෙදා හරින්නට ආණ්ඩුව අසමත් විය. සමහර ප‍්‍රදේශවල ජනතාව කියන්නේ, බවුසරයක් තමන්ට දකින්නට ලැබෙන්නේ සතියකට වරක් පමණක් බව ය. ඒ එන බවුසර්ද ප‍්‍රධාන මාර්ගය දිගේ ජලය බෙදමින් ගොස් ජලය අවසන් වූ පසු ආපසු හැරී යයි. නැවත එන්නේ නැත. ආණ්ඩුවේ බවුසර් අවශ්‍යතාවට ප‍්‍රමාණවත් ද නැත. බොහෝ ඒවා පානය සඳහා ජලය ගබඩාකොට ගෙනයෑමට තරම් සුදුසු ද නැත. මේ අන්දමින් පෙනෙන්නේ ආකාර ගණනාවකින් නියඟයට මුහුණ දීමේ දී ආණ්ඩුව සිය අසමත්කම පෙන්වා ඇති බව ය.

බොහෝ ජනතාවකට මේ කාලයේ පිළිසරණ වී ඇත්තේ පෞද්ගලික ආයතන හා සිවිල් සංවිධානවල, පුරවැසියන්ගේ මැදිහත්වීම් ය. ඔවුහු හැකි තරම් නියං සායෙන් පීඩාවට පත් වන ජනතාවට අවශ්‍ය වතුර බෝතල්, ජලය රැුස් කර ගත හැකි භාජන ආදිය එකතු කොට ගෙන බෙදමින් යෙති. ඒ කාර්යයත් කැපවීමත් සඳහා ගෞරවය පුද කළ යුතු ම ය. අසරණභාවයට පත්ව සිටින සහෝදර ජනතාවට ඇති හැකි අය එසේ උදව් උපකාර කළ යුතු ම නමුත් වතුර බෝතල් හා භාජන දුන් පමණකින් මේ මිනිසුන්ගේ අන්ත අසරණභාවය අවසන් නොවේ. ඒ අසරණභාවය ඉවත්කළ යුත්තේ ආණ්ඩුව විසිනි. ආණ්ඩුවට ඒ සඳහා වැඩපිිළිවෙලක් තිබිය යුතුය. ඒ එක් වසරකින් උගෙන ගන්නා පාඩම්වලින් ඊළඟ වසර සඳහා ක‍්‍රියාමාර්ග සකසා ගැනීමට ය.

මේ ජනතාවම ගොවි රජවරුන් ලෙස අභිෂේක ගන්වා ඡුන්ද පොළ වෙත කැඳවාගෙන යන්නේ ද ආණ්ඩුවයි. ඇත්ත වශයෙන් ම ඔවුහු නියඟය නැති කාලයට කිසිවකුට අත නොපා රජුන් මෙන් කෙසේ වෙතත් එදා වේල සොයාගෙන ජීවත් වන්නෝ ය. එහෙව් ජනතාවකට සිය අසීරු අවස්ථාවල දී ආත්ම ශක්තියෙන් මුහුණ දීමට අවශ්‍ය දීර්ඝ කාලීන සැලසුම් හා වැඩපිළිවෙල සකස් කළ යුත්තේ ද ආණ්ඩුව යි. සෙසු සමාජයට ඒ වෙනුවෙන් ඛල හැක්කේ සීමිත කාර්යභාරයකි.