විධායක ජනාධිපතිධුරය ඉවත් කරන්න සම්පූර්ණ සහාය දෙනවා – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්තන්

දීර්ඝ කාලයක් තිස්සේ දිනා ගැනීමට උත්සාහ කරන දෙමළ ජාතික අපේක්ෂාවන් වෙනුවෙන් ඒකීය රටක හෝ තනි රටක පිළිගත හැකි ප‍්‍රමාණවත් බලය බෙදීමක් මත සොයන විසඳුමකට අද ඇති ඉඩකඩ සැලකුවහොත්, විශේෂයෙන් මේ රාජපක්ෂ පාලනය යටතේ එවැනි විසඳුමකට ඇති ඉඩකඩ ගැන මොන වගේ කියැවීමක්ද තියෙන්නේ? එය ශී‍්‍ර ලාංකීය දේශයක් ගොඩනැගීමේ කතාව සමග එකට ගෙන සැලකුවහොත් මොන වගේ උත්තරයක්ද දිය හැක්කේ?

අද මේ මොහොත ගැන එතරම් බලාපොරොත්තු ඇතිව කතා කළ නොහැකියි. ඒක අවාසනාවක්. නමුත් අපි හැමෝටම වගකීමක් පැවරී තියෙනවා, මේ රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ ප‍්‍රශ්න කාටත් පිළිගත හැකි ආකාරයට විසඳා ගන්න. හැමෝටම ප‍්‍රශ්න විසඳා ගන්න අවශ්‍යයි. ඒ අයට යන්න වෙන රටක් නැහැ. මේ හැමෝගෙම රට. ඉතාම අවාසනාවන්තම කාරණාව තමයි, එල්ටීටීඊයේ හමුදාමය පරාජයේ ඇත්ත දේශපාලන අර්ථය ආණ්ඩුව තේරුම් නොගැනීම.

ඔබ දකින හැටියට, එල්ටීටීඊය ඉවත් කෙරුණු පසු, විසඳුමක් සඳහා මතුවූ අවස්ථාව වාසිදායක අවස්ථාවක්ද? නැතිනම් දැන් තත්ත්වය තිබුණාට වඩා අවාසි සහගතද?

අවාසනාව මෙයයි. යුද්ධය අවසාන වෙන්නට පෙරත් අවසානවූ පසුත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට, ඉන්දීය අගමැතිට, ජාත්‍යන්තර ප‍්‍රජාවගේ අනෙක් නායකයන්ට, ජනාධිපති ප‍්‍රසිද්ධියේ දුන්නු ප‍්‍රතිඥා තියෙනවා. ඒ ප‍්‍රතිඥාවල නැවත පදිංචි කිරීම්, පුනරුත්ථාපන කටයුතු, මිනිසුන්ගේ ජීවනෝපාය සකස්කර ඔවුන්ට නැවත දෙපයෙන් සිටගැනීමට හැකි අවස්ථා ලබාදීම, 13 වන ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කර බලය බෙදීම එතැන් සිට වඩා ශක්තිමත් කිරීම මත දේශපාලන විසඳුමක් සහ ඒ සමගම වගවීම පිළිබඳ කාරණාවට පිළිගත හැකි විශ්වාසයක් තැබිය හැකි විවෘත දේශීය පරීක්ෂණයක් පැවැත්වීමත් ඇතුළු වෙනවා. අවාසනාවකට ආණ්ඩුව ඒ ප‍්‍රතිඥා අනුව කටයුතු කළේ නැහැ. යුද්ධයෙන් පසුව ආණ්ඩුවම පත් කළ උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසමේ අවසන් වාර්තාවෙත් මේවා අවධාරණය කර තිබුණා. නමුත් ආණ්ඩුව ඒ ප‍්‍රතිඥා සඳහා කැපවුණේ නැහැ. යුද්ධයෙන් පසුව අවුරුදු පහක් ගතවෙලාත් රටට යහපත් තත්ත්වයක් නෙවෙයි මේ පවතින තත්ත්වය.

යාපනයේ මෑතක පැවැත්වූ ඊපීආර්එල්එෆ් සම්මේලන රැලියෙහි ඔබ ඉතා පැහැදිලිව ප‍්‍රකාශ කළා දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ජනතාවත් වෙනම රාජ්‍යයක් ඉල්ලන්නේ නැත, ඉල්ලා සිටින්නේ තනි රටක කි‍්‍රයාත්මක කළ හැකි වැදගත් හා නිශ්චිත ලෙස බලය බෙදීමක් මත ඉදිරිපත් කෙරෙන විසඳුමක් කියලා. මේ ඉල්ලන විසඳුම නිදහසින් පසු මෙතෙක් අප අතහැර ඇති ශී‍්‍ර ලාංකීය දේශය ගොඩනැගීම සමග ගැළපෙන්නේ කොහොමද?

ශී‍්‍ර ලාංකීය දේශයක් ගොඩනැගීම පිළිබඳව කිසිදු පරස්පරයක් තියෙන්න බැහැ. ඇත්තේත් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් හෝ වෙනත් ඕනෑම ජාතියකට ඒක පොදු පිළිගැනීමක්. ඒ හැම පුද්ගලයෙකුම, වාර්ගික වෙනස්කම් නොතකා, අවශ්‍යයෙන්ම ශී‍්‍ර ලාංකික දේශයේ පුරවැසියකු විය යුතුයි. ඒ ගැන මතභේදයක් ගැටුමක් තියෙන්න බැහැ. බලන්න ඉන්දීය සන්දර්භය. ඒ තියෙන්නේ ඉන්දීය දේශයයි. එහේ ඉන්නවා පංජාබි,බෙංගාලි, කේරල, ආන්ද්‍රා, දෙමළ, මරවාර් ජාතිකයන්. නමුත් ඔවුන් හැමෝම අවසානයේ ඉන්දීය දේශයේ වැසියෝ. මොනවා උනත් ඔවුන් පළමුව ඉන්දියානුවන්. ඒ නිසා ඒ ගැන මතභේදයක් තියෙන්න බැහැ.

මේ ගැටුම් නවතා නොබෙදුණු එක්සත් ශී‍්‍ර ලාංකීය දේශය ගොඩ නගා ගන්න පුළුවන් වෙන්නේ සියලූ දෙනාටම පොදු තනි රටක් හැටියටයි. ඒ ගැන අපට වෙනස්කම් නැහැ.

නමුත් මට පෙනෙන හැටියට, දෙමළ ජාතික සන්ධානය පමණක් නෙවෙයි, ඊට පෙර ෆෙඩරල් පක්ෂයේ මුළු ඉතිහාසය තුළත් දෙමළ අපේක්ෂාවන් ඉදිරිපත් කෙරුණේ තනි රටක් නැත්නම් පොදු ශී‍්‍ර ලාංකීය දේශයක් ගොඩනැගීම සඳහා කියලා සිංහල සමාජයට ඒත්තු යන ආකාරයෙන් නෙවෙයි.

මේ රට තනි ශී‍්‍ර ලාංකීය දේශයක් ලෙස ගොඩනගා ගතයුතුයි කියලා මම අවිවාදයෙන් පිළිගත්තත්, එයින් තේරුම් යන්නේ නැහැ, මේ රටේ විවිධ ජනකොටස් ඉන්න බව මම අමතක කරනවා කියලා. මේ රට බහුවාර්ගික, බහුආගමික, බහුසංස්කෘතික, ද්විභාෂාමය සහ සිංහල, දෙමළ, මුස්ලිම් සහ වෙනත් අයගෙන් සැදුම්ලත් බහුත්වවාදී රටක්. ඒ හැමෝටම ඔවුන්ගේ ඉතිහාසයක් තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේ භාෂාවක් තියෙනවා. ඔවුන්ගේම ශිෂ්ටාචාරයක් තියෙනවා. ඔවුන්ගේම චාරිත‍්‍ර වාරිත‍්‍ර, සම්ප‍්‍රදායන් ගොඩනගා ගෙන තියෙනවා. ඒවා රැුක ගන්නත් ඔවුන්ට අවශ්‍යයි.
තමන්ගේ සංස්කෘතික, වාර්ගික අනන්‍යතාව රැුකගැනීමේදී මේ භුමියේ ශී‍්‍ර ලාංකීය දේශයේ පංගුකාරයන් වෙන්න නොහැකිය කියන කතාවක් නැහැ. ශ‍්‍රී ලාංකීය දේශයේ පංගුකාරයන් වන අතරම තමන්ගේ අනන්‍යතාවත් රැුකගන්න පුළුවන්. දෙමළ ජනතාව ඔවුන්ගේ ප‍්‍රශ්න සඳහා විසඳුමක් ලෙස බලය බෙදීමක් ඉල්ලන්නේ ශී‍්‍ර ලාංකීය දේශයේ පංගුකාරයන් හැටියට තමන්ගේ අනන්‍යතාව රැුකගනිමින්, සමාජ ආර්ථික අවශ්‍යතා ඉටුකර ගනිමින් ගරුත්වයක් ඇති ජනතාවක් ලෙස ශී‍්‍ර ලංකාවේ ජීවත් වෙන්නයි. සිංහල ජනතාවටත් ඒ අවශ්‍යතාව තියෙනවා. සිංහල ජනතාවටත් ඔවුන්ගේ අනන්‍යතාව තියාගැනීම අවශ්‍යයි.

එහෙමනම් වැරදුණේ කොතැනද? කාටද?

වැරදුණේ සිංහල පමණක් රාජ්‍ය භාෂාව කළාම, එක ආගමකට ව්‍යවස්ථාවේ විශේෂ වරප‍්‍රසාදයක් දුන්නාම, 1972 ව්‍යවස්ථාවෙන් රාජ්‍ය අනුග‍්‍රහය දුන්නාම. රාජ්‍ය සම්පත් බෙදීමේදී විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය වැනි ක්ෂේත‍්‍රවල රැුකියා ලබාදීමේදී වාර්ගික අනන්‍යතාව අනුව ප‍්‍රදේශවලට අඩු සැලකිල්ලක් තිබුණාම. ඒ වගේ වැරදි දිගටම සිදුවුණා. ඒ වැරදි ඔබේ වාර්ගික අනන්‍යතාව හේතුවෙන් සිද්ධ වෙන්න පටන් ගත්තා. ඔබේ අනන්‍යතාව නිසා ඔබට අඩු සැලකිල්ලක් ලැබෙන්න පටන් ගත්තා.

ඔව්. ඔබ කියන ආකාරයට, අපේ සමාජ ආර්ථික ජීවිතයෙන් දෙමළ ජනතාව ක‍්‍රමානුකූලව හලා දැමුණා. ඒ හේතු සාධක මත තමයි වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා 1976දී වඩුක්කොෙඩෙ සමුළුව යෝජනා සම්මත කළේ. ඒ යෝජනාවට 1977 මැතිවරණයේදී දෙමළ ජනතාව විශාල ඡුන්දයක් දුන්නා. නමුත් පොරොන්දු වුණ ආකාරයට ඒ යෝජනාව වෙනුවෙන් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ මැතිවරණයෙන් පසු ඉදිරි පියවර තැබුවේ නැහැ. ඒ වෙනුවට ජයවර්ධන ජනාධිපතිගේ ඉතාම බාල විසඳුමක් වුණ දිස්ති‍්‍රක් සංවර්ධන සභාවලට එකඟවුණා. ඇයි එහෙම වුණේ? ඇයි වෙනම රාජ්‍යයක් සඳහා තිබූ විශාල අනුමැතිය මේ වයගේ බාල විසඳුමක් වෙනුවෙන් අතහැරියේ?

වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා 1976 වඩුක්කොෙඩෙ යෝජනාව සම්මත කෙරුණේ ඇත්තෙන්ම 1972 පළමු ජනරජ ව්‍යවස්ථාවට විරුද්ධ ප‍්‍රතිචාරයක් හැටියටයි. ඒ ව්‍යවස්ථාව සම්පාදනය කරන්න ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය රැුස්වුණ වෙලාවේ, මධ්‍යම බලයට හවුල් විය හැකි සන්ධීය ක‍්‍රමයක් පිළිබඳ යෝජනාවක් ෆෙඩරල් පක්ෂය ඉදිරිපත් කළා. එය සාම්ප‍්‍රදායික ෆෙඩරල් පාලනයක් සඳහා කෙරෙන යෝජනාවකට වඩා අඩු යෝජනාවක්. අවශ්‍ය නම් එය යම් තරමකට සීමා කෙරුණු ප‍්‍රාදේශීය බල බෙදීමක් හැටියට, ඇත්ත කි‍්‍රයාත්මක බල බෙදීමක් හැටියට පිළිගැනීමටත් සාකච්ඡුා කරන්න සූදානම් බව කිව්වා. අවාසනාවකට, ෆෙඩරල් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා සියල්ලම ප‍්‍රතික්ෂේප කළා. අපේ හැම යෝජනාවක්ම ප‍්‍රතික්ෂේප කළා.
ආණ්ඩුවේ ස්ථාවරය වුණේ, දැන් රටටම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ලබා දීලා තියෙන්නේ කියන ස්ථාවරය. ඒ ස්ථාවරය චෙල්වනායගම් පිළිගත්තේ නැහැ. ඔහු කිව්වා, ‘ඔබලා හිතනවා නම් මේ අලූත් ව්‍යවස්ථාවට ජනතා කැමැත්තක් තියෙනවා කියලා, මම කියනවා, දෙමළ ජනතාව එය එකහෙළා ප‍්‍රතික්ෂේප කරනවා කියලා. දෙමළ ජනතාව නියෝජනය කරන අපි, ෆෙඩරල් පක්ෂය, මේ ව්‍යවස්ථාව ප‍්‍රතික්ෂේප කරනවා. ඒ අනුව මම මගේ මන්තී‍්‍ර ධුරයෙන් ඉල්ලා අස්වෙනවා. කරුණාකරලා මගේ ආසනයට ඇවිල්ලා ඔබලගේ ස්ථාවරය ඉදිරිපත් කරලා බලන්න, එය අනුමත කරනවාද කියලා.’ නමුත් කාලයකට අතුරු මැතිවරණය පැවැත්තුවේ නැහැ. හැකි තරම් ප‍්‍රමාද කරලා පැවැත්වූ අතුරු මැතිවරණයෙන් චෙල්ව නායගම් විශාල ජයග‍්‍රහණයක් ලැබුවා.
ඊට කෙටි කාලයකට පසුව, 1977දී අපි මහ මැතිවරණයට ගියේ 1976 වඩුක්කොෙඩෙ සමුළුවේ සම්මත කළ යෝජනාව සමගයි. ඒ මැතිවරණයේදී අපි උතුරු-නැගෙනහිර බහුතර දෙමළ ජනතාවක් සිටි සියලූ ආසන දිනුවා. පැරදුණේ කල්කුඩා ආසනය විතරයි. ඒත් ඡන්ද 250කින් පමණ.

අපි පාර්ලිමේන්තුවට ආවාම, අපට සිද්ධවුණා ජාත්‍යන්තරයත් එක්ක, විශේෂයෙන්ම ඉන්දියාවත් එක්ක ගනුදෙනු කරන්න. ඒ වෙලාවේ අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මිය අමිර්තලිංගම් සමග කිව්වා, මොනම හේතුවක් නිසාවත් වෙනම දෙමළ රාජ්‍යයක් වෙනුවෙන් සහාය දෙන්න, අනුමත කරන්න ඉන්දියාවට බැහැ කියලා. නමුත්, ශී‍්‍ර ලාංකීය දෙමළ ජනතාව, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ බලය බෙදීමකට, කිසියම් ආකාරයක ෆෙඩරල් ක‍්‍රමයකට එක`ග වෙනවා නම්, ඒ වගේ විසඳුමකට සහාය දෙන්න පුළුවන් කියලා ඇය කිව්වා. මේ නිසා, අපේ දෙමළ නායකයන් අතර අලූත් අදහස්, යෝජනා සාකච්ඡුා වුණා. ඒ අනුව, පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා රාමුව තුළ නොබෙදුණු ශී‍්‍ර ලංකාවක, දෙමළ ජනතාවට ආරක්ෂාවත් ගෞරවයත් ඇතිව ජීවත් විය හැකි, තමන්ගේ වුවමනාවන් තම ප‍්‍රදේශයේ දී ඉටුකර ගැනීමට හැකි ආකාරයේ ඇත්ත බලය බෙදීමකට යා යුතුයි කියලා අපි එකගත්වයකට ආවා.

දෙමළ නායකයන් බාරගත්ත දිස්ති‍්‍රක් සංවර්ධන සභා එවැනි විසඳුමක් නෙවෙයිනෙ?

කොහොම නමුත් ජයවර්ධන ජනාධිපති දිස්ති‍්‍රක් සංවර්ධන සභා යෝජනා කළේ, ඒ සන්දර්භය ඇතුළෙයි. ඔව්, අපි අදහස් කළ දේවල් එහි තිබුණේ නැහැ. නමුත් අපි කල්පනා කළා, මේ ඡුන්දයට මුහුණ දීලා ජනතාව ඉන්නේ අප සමගයි කියලා නැවත ඔප්පු කරන්න ඕනෑ කියලා. ඇත්ත බලය බෙදීමකට ජනතාව මෙහෙයවා ගන්න අවශ්‍යයි කියලා අපි හිතුවා. ඒ අනුව අපේ මැතිවරණ ව්‍යාපාරයේ අපි පෙනීසිටියේ ඇත්ත බලය බෙදීමක් සමගින් අපේ දෙමළ ජනතාවට තමන්ගේ ප‍්‍රශ්න තමන්ගේ ප‍්‍රදේශයේදී විසඳා ගැනීමට දේශපාලන අවස්ථාවක් ලබා දෙනවා නම්, අපි එවැනි දේශපාලන බලයක් සමග වැඩ කරන්න සූදානම් කියන එකයි. දිස්ති‍්‍රක් සංවර්ධන සභා එවැනි විසඳුමක් නොවන බව අපි දැන සිටියා. නමුත් වැදගත් බලය බෙදීමකට හවුල් වෙන්න අපි සූදානම් කියන පණිවිඩය දෙන්න ඒ මගින් පුළුවන් කියලා අපි කල්පනා කළා. එවැනි ආරම්භයක් හැටියට අපි තරග කරලා අම්පාර හැර උතුරු නැගෙනහිර අනෙක් සියලූ දිස්ති‍්‍රක්ක අපි දිනුවා

එක අතකින් අපි දිස්ති‍්‍රක් සංවර්ධන සභා තරග කළ එක හොඳයි. 1983 ජූලි දෙමළ සංහාරයෙන් පස්සේ, දෙමළ දේශපාලන ඉල්ලීම් සඳහා විසඳුමක් නැවත සාකච්ඡුා කරන විට, ජයවර්ධන ජනාධිපති ඉන්දියාවට කිව්වා, දිස්ති‍්‍රක් සංවර්ධන සභා පූර්ණ ලෙස කි‍්‍රයාත්මක කරන්න එයා සූදානම් කියලා. අපි ඉන්දියාවට කිව්වා, ඡුන්දයෙන් අපි දිස්ති‍්‍රක් සංවර්ධන සභා තරග කරලා දිනුවාට, ඒවා කිසිසේත් අපේ ප‍්‍රශ්නවලට ප‍්‍රමාණවත් විසඳුම් නෙවෙයි කියලා. පළාත් සභා යෝජනා වුණේ ඒ අනුවයි. ඒ නිසා දිස්ති‍්‍රක් සංවර්ධන සභා තරග කරලා ඒවා අසාර්ථක බව ඔප්පු කිරීම වැදගත් වුණා. 

ඉන්දියාව සැලකුවාම, ඔව් ඒක ඇත්ත. නමුත් වෙනම රාජ්‍යයක්් හැදීමේ පොරොන්දුව සහ ජනතා අනුමැතිය අතහැර එවැනි බාල විසඳුමකට යෑමෙන් ඒ වන විට මතුවෙමින් තිබූ සන්නද්ධ දෙමළ තරුණ කණ්ඩායම් සඳහා වැඩි ඉඩක් ලැබුණා නේද? ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ නායකයන් දෙමළ ජනතාව පාවාදුන්නා කියන චෝදනාවට හයියක් ලැබුණා නේද?

ඔව්, ඕක තමයි ඒගොල්ලෝ කිව්වේ. දෙමළ සංහාරයෙන් පස්සේ උනත් අපේ උත්සාහය වුණේ ප‍්‍රායෝගික විසඳුමක් හොයාගන්න එක. අපි උත්සාහ කළා තරුණ කොටස් එක්ක සංවාදයක් ගෙන යන්න. එල්ටීටීඊය එක්කත් අපි කතාකළා. ඒ අය ඊළාමයෙන් මෙහා විසඳුමක් බාර ගන්න ඒ වන විට සුදානම්ව සිටියේ නැහැ. ඒ අයට ශී‍්‍ර ලංකා ආණ්ඩුව ගැන විශ්වාසයක් තිබුණේ නැහැ. විසඳුමකට එක`ග උනත් ඒක ශී‍්‍ර ලංකා ආණ්ඩුව කි‍්‍රයාත්මක කරයි කියලා ඒ අය විශ්වාස කළේ නැහැ. අපේ උත්සාහය වුණේ මේ තරුණ පිරිසත් විසඳුමක් සඳහා හවුල් කරගන්න. නමුත් මං හිතන්නේ නැහැ අපි සාර්ථක උණා කියලා.

මේ ප‍්‍රශ්නය මං හිතන්නේ එක්තරා ආකාරයක න්‍යායික ප‍්‍රශ්නයක් විතරයි කියලා. ඊට හේතුව තමයි, එල්ටීටීඊය විනාශ වුණාට පස්සේ, හමුදාමය වශයෙන් පරාජය කළාට පස්සේ, ඒ සමස්ත පරිච්ෙඡ්දයම දැන් අවසන්. දැන් ඒ යුගය ඉවරයි.

ශී‍්‍ර ලංකාව තනි එක්සත් රටක් ලෙස පිළිගනිමින්, ශී‍්‍ර ලාංකීය ව්‍යවස්ථාවක් යටතේ විසඳුමකට සූදානම් නොවුණා කියලා චෝදනා කරන්න පුළුවන් එල්ටීටීඊයට විතරයි. ඉන්දු-ලංකා ගිවිසුම සමග එවැනි විසඳුමක් බාර ගැනීමට අනෙක් සියලූම සංවිධාන එක`ග වුණා.

ඇත්ත. පසුගිය අවුරුදු 25 ක විතර කාලය තුළ ඒ හැමෝම මැතිවරණවලට විවිධ පෙරමුණු හැටියටත් තනිවත් තරග කරලා තියෙනවා. ඉතිං අපි පොඞ්ඩක් උතුරු පළාත් සභාවට හැරෙමු. විග්නේස්වරන් මහ ඇමති හැටියට තීන්දු කිරීම ඔබගේ ඉතා උපායශීලි තීන්දුවක් කියලා කියනවා. අතිශය දැවැන්ත ජයග‍්‍රහණයක් දෙමළ ජාතික සන්ධානය විග්නේස්වරන් ඉදිරිපත් කරලා ලැබුවා. දැන් ඔබ හිතන්නේ නැද්ද එල්ටීටීඊ දිගටම දැරූ මතය, අවිශ්වාසය හරියි කියලා ?

අපටත් තක්සේරුවක් කියෙනවා මේ ආණ්ඩුව ගැන. නමුත් දෙමළ ජනතාව අපට ලබාදුන්න ප‍්‍රජාතන්ත‍්‍රවාදී වරම ගැන ලොකු ගෞරවයක් වගේම වගකීමක්ද තියෙනවා. ඒ නිසා ආණ්ඩුව එක්ක ගනුදෙනු කරන්න හැකි ඉඩ අපි තියාගන්නවා. ඒ මැතිවරණයේ ආණ්ඩුව අපට විරුද්ධව කරන්න පුළුවන් හැම දෙයක්ම කෙරුවා. බොරු කිව්වා. රාජ්‍ය උපරිම ලෙස යොදාගත්තා. මර්දනය කළා. උදයන් පත්තරේ හොරට ගැහුවා. නමුත් ජනතාව පුදුමාකාර විදියට අපට ඡන්දය දුන්නා. පළාත් සභාවේ 38න් 30ක් අපි දිනුවා. යාපනයේදී විශාල උත්සවයක් තියලා විග්නේස්වරන් මහඇමති හැටියට දිවුරුම් දෙන්න යෝජනා තිබුණා. අපි ටිකක් ප‍්‍රවේසම් උණා. මම කල්පනාකාරීව තීන්දු ගන්නේ. කොළඹ ඇවිත් මම ජනාධිපති හමුවෙලා කිව්වා, විග්නේස්වරන් විශාල ඡුන්ද සංඛ්‍යාවකින් දිනුවා. දෙමළ ජාතික සන්ධානයත් විශාල ජයග‍්‍රහණයක් ලැබුවා. ඒ නිසා අපි කැමති මහ ඇමති හැටියට විග්නේස්වරන් රටේ ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙනවාට. ඔහු කොළඹට ඒවි දිවුරුම් දෙන්න. ඒ ගැන ඔබේ අදහස දැනගන්න කැමතියි කියලා මම ජනාධිපතිට කිව්වා. ඔහු කැමති වුණා. අපි කල්පනා කළේ, දිනුව එක හරි, නමුත් දැන් පළාත් සභාව කි‍්‍රයාත්මක කරවා ගන්න අපට ආණ්ඩුව එක්ක වැඩකරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අප ඉඩ තබාගත යුතුයි.

එවැනි ඉඩක් නැහැ නේද?

ගැටලූ තියෙනවා. අපි බලපොරොත්තු වුණේ නැහැ ඉතාම පහසු ගමනක්. නමුත් ඒවා ලිහාගන්න ඉවසීමක් තියෙන්න ඕනෑ. එක ගැටලූවක් ආණ්ඩුකාරවරයා. විග්නේස්වරන් ඒක ජනාධිපති සමග කතා කළා. ඔහු මිලිටරියේ හිටිය නායකයෙක්. වැඩ කරලා පුරුදු ඒ විදියට. දැන් කාලයක් ආණ්ඩුකාරයා හැටියට ඔහුට ඕනෑ විදියට පාලන යාන්ත‍්‍රණය හදාගෙන තියෙන්නේ. විග්නේස්වරන් ඒ නිසා වෙන ආණ්ඩුකාරයෙක් පත්කරලා ඉල්ලූවා. ඔහු යෝජනා කළා මහාචාර්ය සවිත‍්‍රි ගුණසේකරව. ඔහු කිව්වා උතුරට හොඳ සවිති‍්‍ර ගුණසේකර වගේ දැනුම තියෙන ස්වාධීන කාන්තාවක් කියලා. පළාතේ ප‍්‍රධාන ලේකම්වරියත් ප‍්‍රශ්නයක්. ඇයත් ආණ්ඩුකාරයාට අවශ්‍ය විදියට වැඩ කරන්න, ඇයගේම විධික‍්‍රම හදාගෙන ඉන්නේ. ඒ නිසා ඇයව මාරු කරන්න කියලා ඉල්ලූවා. පනතෙ හැටියට ජනාධිපති විසින් ප‍්‍රධාන ලේකම් පත් කළ යුත්තේ මහ ඇමතිගේ කැමැත්ත අනුවයි. නමුත් ඒක වුණේ නැහැ. එහෙම ප‍්‍රශ්න එක්ක තමයි අපි ඉන්නේ. ඒවා මේ ආණ්ඩුව එක්ක විසඳගන්න වෙනවා.

ඒ කියන්නේ ආණ්ඩුව එක්ක ගැටලූ බාධා තිබුණාට, දැන් දෙමළ දේශපාලනය පැත්තෙන් බාධාවකින් තොරව විසඳුමක් සාකච්ඡුා කළ හැකිය කියන එකනෙ. ඊළාම් කතාවත් දැන් නැහැ. ඒ නිසා ඔබලා විසඳුමක් වෙනුවෙන් වැඩි මහන්සියක් ගන්න සූදානම් කියන එකනෙ……

වෙනම රාජ්‍යයක් අපි ප‍්‍රතික්ෂේප කළා. පාර්ලිමේන්තුවේත් මම ඒක කිව්වා. වෙනම රාජ්‍යයකට අපි එක`ග නැහැ කියලා එල්ටීටීඊය හිටිය කාලෙත් මම කිව්වා. අපි ප‍්‍රසිද්ධියේ ඒක කියලා තියෙනවා. අපේ පක්ෂයේ ප‍්‍රකාශනවල අපි ඒක කියලා තියෙනවා. ඒ ගැන අඩුවක් නැතිව අපේ මැතිවරණ ප‍්‍රකාශනවල කියලා තියෙනවා. මම ඒ ගැන කැනඩාවේ, ඇමෙරිකාවේ, යුරෝපයේ දෙමළ පිටමං සමාජයේ රැුස්වීම්වල කතාකරලා තියෙනවා. ඒ ගැන විශ්වාසයක් නොතියන යම් පිරිසක් ඉන්නවා තමයි. නමුත් ඉතා විශාල පිරිසක් කියන්නේ විසඳුමක් වෙනුවෙන් අපි දිගටම උත්සාහ කළ යුතුයි කියලා.

එවැනි විසඳුමකට ආණ්ඩුව පැත්තේ බාධාව ඔබ දකින්නේ කොහොමද? ආරක්ෂක ලේකම් බාධාවක්ද?

ජනාධිපති ඉතාම හොඳ ප‍්‍රවේශයක් ලබා දුන්නා, සර්ව පාක්ෂික නියෝජිත සමුළුව ආරම්භ කරමින් කළ කතාවෙන්. ජනාධිපති කිව්වා, බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුමේ ඉඳලා මංගල මුණසිංහ වාර්තාව, 13 වන ව්‍යවස්ථා සංශෝධනය තෙක් මෙතෙක් ගත්ත උත්සාහයන්, ව්‍යවස්ථා කෙටුම්පත් සියල්ල අධ්‍යයනය කරන්න කියලා. ඔහු කිව්වා බලය බෙදීම ගැන වෙනත් රටවල අත්දැකීම් අධ්‍යයනය කරන්න කියලා. විශේෂයෙන්ම අපේ අසල්වැසි ඉන්දියාවේ බලය බෙදීමේ අත්දැකීම් අධ්‍යයනය කරන්න කිව්වා. අපට අවශ්‍ය වන්නේ සියලූ ජනකොටස් සඳහා ඔවුන්ගේ අනන්‍යතාව සුරැුකෙන, සමාජ ආර්ථික සංවර්ධනයට හවුල් විය හැකි ඉතාම සාරවත් බලය බෙදීමක් වෙනුවෙන් ප‍්‍රායෝගික, අපේම ස්ථිර විසඳුමක් කියලා ඔහු කිව්වා. ඒ වෙනුවෙන් ඔහු පත් කළ විශේෂඥ කමිටුවත් බහුවාර්ගික කමිටුවක්. ඔහු කිව්වේ, ‘මම විසඳුමක් පටවන්නේ නැහැ. ඔබලාගේ විසඳුම මම බාරගන්නවා’ කියලා. එදා ජනාධිපතිගේ කතාව ඉතා ප‍්‍රගතිශීලි කතාවක්.

එයට දෙමළ ජාතික සන්ධානය සහභාගි නොවුණේ ඇයි?

අපට ආරාධනා කළේ නැහැ.

ඒකට හේතුවක් දන්නවාද?

දවසක් අරලියගහ මැදුරේ උත්සවයකදී ජනාධිපති සමග මම කතා කරමින් ඉන්නවිට, පාලිත කොහොන – එයා එතකොට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් – මගෙන් ඇහුවා, කැමතිද සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන්න කියලා. මම උත්තර දෙන්නත් කලින් ජනාධිපති කොහොනට කිව්වා, ‘නැහැ….මම එයාලට දැන්ම ආරාධනා කරන්නේ නැහැ. මම එයාලට ආරාධනා කරන්නේ සිංහල එකගතාවක් ලබා ගත්තාට පස්සේ, ඒ ගැන කතා කරන්න’ කියලා.

ඊට පස්සේ විශේෂඥ කමිටුවේ බහුතරය, දෙමළ හා මුස්ලිම් අයත් හිටිය බහුවාර්ගික විශේෂඥ කමිටුවේ සිංහල අයද ඇතුළු බහුතරය, ඉතාම හොඳ වාර්තාවක් ඉදිරිපත් කළා. නමුත් අවාසනාවකට, ජනාධිපතිගේ කලින් තිබුණු තීන්දුව පසුව වෙනස් වුණා. හෙළ උරුමය නිසාද නැතිනම් ආණ්ඩුවේ අනෙක් පක්ෂවල බලපෑම නිසාද, නැතිනම් ආණ්ඩුවේ ඉන්න වෙනත් කාගෙ හරි බලපෑමක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් ඔහුගේ ආරම්භක කතාවේ ස්ථාවරය වෙනස් වුණා. ඒක තමයි ඇත්ත ගැටලූව. ජනාධිපති දිගටම එක අදහසක ඉන්නේ නැති එක. විටින් විට ස්ථාවරය මාරු කරන එක.

නොබෙදුණු, එක්සත් ශී‍්‍ර ලංකාවක පළාත්වලට බලය බෙදීමක් පිළිගන්න බහුතර සිංහල ජනතාව ලෑස්තිය කියන එක මගේ අදහසක් විතරක් නෙවෙයි. ඒක සිංහල ජනතාව අතර ඉන්න සාමාන්‍ය මධ්‍යස්ථ පිරිසගේත් ඒවගේම උගත් සංඝයාගේත් අදහසක්්. මම කැමතියි කියන්න, මේ මෑතක මට ඉතා උගත් ජ්‍යෙෂ්ඨ සංඝයා වහන්සේ නමක් සමග කතාකරන්න ලැබුණා. උන්වහන්සේ කිව්වා, 1957 බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළ වෙලාවේ, එය අවලංගු කරන්න කියලා රොස්මිඞ් පෙදෙසේ බණ්ඩාරනායකගේ ගෙදර ඉදිරියේ උපවාස කරන්නට උන්වහන්සේත් තරුණ භික්ෂුවක් ලෙස වාඩි උණා කියලා. එදා ඒක නොකළා නම් හොඳයි කියලා උන්වහන්සේ මාත් එක්ක කිව්වා.

දෙමළ ජාතික සන්ධානය ඇයි සර්ව පාක්ෂික නියෝජිත සමුළුවේ වාර්තාව කි‍්‍රයාත්මක කරන්න කියලා බල නොකරන්නේ? දකුණේ එකගත්වයක් එහි තියෙනවා. ඒක ජනාධිපති කිව්ව විදියට දේශීය නිර්මාණයක්. ඔබලා දකුණේ සමාජය එක්ක ගනුදෙනුවක් තියාගන්නේත් නැහැ.

ඔව්. ඔබ කියන එක ඇත්ත. අපි දකුණේ සමාජය එක්ක වැඩ කරනවා අඩුයි. අපි අපේ දේශපාලන ඉල්ලීම් දකුණේ සමාජය එක්ක සාකච්ඡා කළ යුතුයි. අපේ ඉල්ලීම් ගැන අපිම ඔවුන්ට කිව යුතුයි. අපි දන්නවා, නොයෙකුත් චෝදනා තියෙනවා අපට. අපි දෙමළ පිටමං සමාජයේ තීන්දු උඩ කි‍්‍රයාකාරන්නේ කියලාත් මතයක් දකුණේ තියෙනවා. මම ඉතා පැහැදිලිව කියන්න ඕනෑ, මේක මම පිටරට රැුස්වීම්වලත් කියලා තියෙනවා, අපට දෙමළ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වරමක් තියෙන තාක් කල්, ඒ දෙමළ ජනතාව වෙනුවෙන් තීන්දු ගන්නේ අපි. වෙන කවුරුවත් නෙවෙයි. නමුත් අපි සූදානම් දෙමළ පිටමං සමාජය කියන දේ අහන්න. සාකච්ඡුා කරන්න. ඒ උණාට කරන දේ තීන්දු කරන්නේ අපි. මේ රටේ සියයට 85ට වැඩි පිරිසක් නොබෙදුණු ස්වාධීන ශී‍්‍ර ලංකාවක, එක්සත් තනි රටක, දේශපාලන බලය හවුලේ භුක්ති විඳින ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් බාරගන්න සූදානම් කියලා අපට විශ්වාසයක් තියෙනවා. ඒ නිසා ඒක තමයි අපි කතාකරන එකම විසඳුම.

මෙතැනින් එහාට යන්න, මේ ප‍්‍රශ්න විසඳගන්න සැලැස්ම මොකද්ද? එහෙම සැලැස්මක් තියෙනවාද?

මම ජනාධිපතිව හමුවුණා අප දෙගොල්ලෝ අතර 2010 සාකච්ඡා පටන්ගන්න කලින්. තනිව හමුවුණේ. මම කිව්වා ඔබ දැන් දෙවන වරටත් ජනාධිපති ලෙස පත් වුණා තව අවුරුදු 6කට. මම දන්නේ නැහැ, නමුත් ඇතැම් විට ඊටත් වැඩි කාලයක් ඔබ ජනාධිපති හැටියට ඉන්න පුළුවන්. අපටත් උතුරු-නැගෙනහිර ජනතාව විශාල වශයෙන් ඡුන්දෙ දීලා තියෙන්නේ. ඒ මිනිස්සු හොඳටම බැට කාලා, හෙම්බත් වෙලා ඉන්නේ. ඒ මිනිසුන්ට නැවත පදිංචි වීමේ, පුනරුත්ථාපනය කිරීමේ, ජීවනෝපායන් හදා ගැනීමේ, පවුල් හැටියට නැවත තහවුරුවීමේ නොයෙකුත් ගැටලූ, ප‍්‍රශ්න තියෙනවා. ඒ මිනිසුන්ට අවශ්‍යයි සාමාන්‍ය මිනිසුන් වගේ ජීවත් වෙන්න. මේවාට විසඳුම් හොයන්න අපි සූදානම් ඔබත් එක්ක වැඩ කරන්න. විසඳුම් කි‍්‍රයාත්මක කරන්න අපි සූදානම් හවුල් වෙන්න කියලා මම ජනාධිපතිට පෞද්ගලිකව කිව්වා. මම කිව්වා අපිත් එක්ක වැඩ කරනවා නම් ආණ්ඩුවට ජාත්‍යන්තර ප‍්‍රජාව අතර වැඩි විශ්වාසයක් ඇතිවෙයි, ආධාර, ආයෝජන ලබා ගැනීමේ වැඩි ඉඩක් ලැබෙයි කියලා. අපට පුළුවන් දෙමළ පිටමං සමාජයේ සියලූ සම්පත් නැවත එකතු කරන්න මෙහේ වැඩවලට කියලා.

ඔබටත් ප‍්‍රශ්න නැතුව නෙවෙයි කියලත් මම කිව්වා. විශේෂයෙන් යුද්ධයේ අවසන් කාලයේ ජාත්‍යන්තර නීති උල්ලංඝනය හා වගවීම් පිළිබඳව, යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය පිළිබඳව ඔබටත් ප‍්‍රශ්න තියෙනවා. ඒවා දිගින් දිගටම ඇදෙනවා. ඒවා ඉදිරියේ තව උග‍්‍ර වෙන්නත් පුළුවන්. මේ සේරටම විසඳුම එකට වැඩකිරීම කියලා මම ජනාධිපතිට කිව්වා. මේ සියලූ කාරණා සඳහා අපි එකතු වෙලා දේශීය වශයෙන් විසඳුම් සොයමු, විසඳුම් කි‍්‍රයාත්මක කරමු කියලා මම කිව්වා. ජාත්‍යන්තරයට පේනවා නම්, අපි එකතු වෙලා මේ රටේ සියලූ පුරවැසියන්ගේ ප‍්‍රශ්න විසඳන්න වැඩ කරනවා කියලා, මම හිතන්නේ නැහැ කාටවත් අවශ්‍යවෙයි කියලා ඒකට බාධා කරන්න.

පැය භාගයක් පමණ මේ ටික විස්තර කළා. ඊට පස්සේ ජනාධිපති, ‘ඔබත් එක්ක තනිව කතා කරලා ඉවර වෙනකම් මම ජීඑල්ට ඉන්න කිව්වා ඇමති මණ්ඩල කාමරයේ. දැන් ඔහුට මම කතා කරන්නද’ කියලා ඇහුවා. ජීඑල් එක්ක ජනාධිපති කිව්වා, සම්පන්තන් යෝජනා කරනවා ද්විපාර්ශ්වීය සාකච්ඡා පටන් ගන්න. මම සාකච්ඡුා පටන් ගන්නවා කියලා. ඒ වෙලාවේ මම ජනාධිපතිට කිව්වා අපි ලෑස්ති ලබන සුමානයේ වුණත් සාකච්ඡාවලට කියලා. ඔහු කිව්වා නැහැ, මම පටන්ගන්නවා මගේ දෙවන ධුර කාලයට දිවුරුම් දුන්නාට පස්සේ, නොවැම්බර 18වනදා. ඔහු ජීඑල්ටත් උපදෙස් දුන්නා සාකච්ඡුාවලට සුදානම් වෙන්න කියලා. නමුත් කිසිවක් උණේ නැහැ. මම දන්නේ නැහැ මේගොල්ලන්ට මේ ගමන තව කොයිතරම් කලක් යන්න පුළුවන් වෙයිද කියලා.

ඇයි ජනාධිපති ඒ විදිහට කි‍්‍රයාකරන්නේ? හරියට ඇසුවොත් ඇයි ජනාධිපති පොරොන්දු ඉටු නොකරන්නේ?

මම හිතන්නේ එයා තාමත් සිංහලවාදී ඡුන්දවලට කතාකරන්නේ. එයාට අවශ්‍යයි සිංහල ජනතාවගේ ගැලවුම්කාරයා හැටියට එයාගේ ප‍්‍රතිරූපය තියා ගන්න. එල්ටීටීඊය ගැන සිංහල ජනතාව අතර තාමත් නරක මතකයක් තියෙන්නේ. දෙමළ ජනතාව අතරත් එහෙම මතක තියෙනවා. මම හිටියා එල්ටීටීඊයේ මරණ ලැයිස්තුවේ. ඔවුන්ගේ මරණ ලැයිස්තුවේ ඉන්න එක කොයි තරම් අමාරුද කියලා ඔබට තේරෙන්නේ නැතුව ඇති. චන්ද්‍රිකා මට ඒ කාලේ සැලකිය යුතු ආරක්ෂාවක් දුන්නා. ආරක්ෂකයන් මැද ඉන්න එක ඉතාම අමාරු සහ අපහසු වැඩක්. නමුත් එල්ටීටීඊය වගේ සංවිධානයක විධානයකට යටත් කෙරුණාම, ඒක භයානකයි. මොනවා වෙනවාද කියලා හිතන්න අමාරුයි. ටික කලක් මට එහෙම ඉන්න උණා.
සිංහල සමාජයත් එවැනි බියකින් හිටියා. මරණ බය තිබුණා. ඒ මතක තාම තියෙනවා. ජනාධිපති ඒ සිංහල මානසිකත්වය තමයි තාම ප‍්‍රයෝජනයට ගන්නේ.

මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සම්මත යෝජනාව මත පරීක්ෂණ ආරම්භ කෙරෙනවා. ආණ්ඩුවත් දැන් ජාත්‍යන්තර විශේෂඥයන් හවුල් කරගෙන අලූත් කළ පරණගම කොමිසමත් ගෙනියනවා. නමුත් මේවා අවසන් වෙන්න කලින් බොහෝවිට ජනාධිපතිවරණයක් තීන්දු කරන්න ඉඩ තියෙනවා. විපක්ෂයේ උත්සාහයක් තියෙනවා පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්න. දැනට වැඩියෙන් කතාවෙන්නේ මාදුළුවාවේ සෝභිත හිමි ගැන. මේ පොදු අපේක්ෂකයා පිළිබඳ කතිකාව ගැන දෙමළ ජාතික සන්ධානයේ අදහස මොකද්ද?

අපට ඒ ගැන කිසි තීන්දුවක් නැහැ. අපි තාම ඒ ගැන කතාවෙලා නැහැ. නමුත් අපි විශ්වාස කරනවා විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුයි කියලා. ඒ තනතුර දැන් භයානක තනතුරක් වෙලා. 17 වන සංශෝධනය අහෝසි කරලා 18 වන සංශෝධනය ගෙනාවාට පස්සේ විධායක ජනාධිපති ධුරය නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට අවශ්‍ය සියලූ ආයතන පිරිහිලා. ඉහළ අධිකරණය, අල්ලස් කොමිසම, මැතිවරණ පැවැත්වීම, රාජ්‍ය පරිපාලනය වගේ සියල්ලටම ඒක බලපානවා. ඒ නිසා අපි ඉතා පැහැදිලිව කියන්නේ ජනාධිපති ධුරය පමණක් නෙවෙයි, ඊට අදාළ සියල්ලම, සමස්තයක් ලෙස ඉවත් කළ යුතුයි කියලා. මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට එහෙම නැතිව ඉඩක් නැහැ. ඊළඟට ඇති කරන ව්‍යවස්ථාව සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා මානව අයිතීන් තහවුරු කරන, ජාතික ප‍්‍රශ්නයට විසඳුමක් ලබා දෙන බලය බෙදීම, ඒ සියල්ල ඇතුළු විය යුතුයි. ඒවා තියෙන්න ඕනෑ. විධායක ජනාධිපති ධුරය එහෙම ඉවත් කරන්න අපි සම්පූර්ණ සහාය දෙනවා.

About the Author

කුසල් පෙරේරා
Journalist and political commentator