නාවලපිටියේ සිදුවන අලූත්ගමගේ ගරිල්ලා මාකටිං

කියන්න දේවල් නම් තියෙනවා. ඒත් කියන්න බෑ. මොකද අපි මේවයේ ඉන්න එපැයි. මේ කඩත් අපිට දුන්නේ ඇමති. ඒවට අපි සල්ලි දුන්නා. ඒත් ඉතින් මාසිකව කප්පම් මුදලකුත් ගෙවන්න ඕනෑ. මේ කඩ පේළියෙන් මාසෙට රුපියල් 30,000ක් කප්පම් විදිහට ගන්නවා. ගෝලයෝ ඇවිත් අරගෙන යනවා.’

මේ නාවලපිටිය නගර මධ්‍යය. පටු නගරයේ හැම තැනකම ඉදිවන කඩ කාමරය. මේ බොහෝ ඉඩම් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම්ය. රේල්වේ ඉඩම් සියල්ල සියතට ගෙන ඇමතිවරයා කඩ කාමර ඉදි කරයි. ඒවායේ අයිතිය පවතිනුයේ මහින්දානන්ද අලූත්ගමගේ පදනමටය. පදනමක් මගින් ලක්ෂ 2ට, ලක්ෂ 3ට කඩ කාමර දෙන එකම ප‍්‍රදේශය මෙය විය යුතුය. කඩ කාමර හඳුන්වන නමක්ද නාවලපිටියට ප‍්‍රසිද්ධය. කඩ හිමියන් පවා ඒවා හඳුන්වනුයේ ඒ නමිනි. ඒ ගරිල්ලා මාර්කටිං යනුවෙනි.

‘බලාගෙන කතා කරන්න. මොකද මේ ගරිල්ලා මාර්කටිං කඩවල බහුතරයක් ඉන්නේ ඇමතිවරයාගේ ඥාති, හිතවත්තු. ඒ අයට තමයි කඩ දීලා තියෙන්නේ. කවුරුත් එළිපිට මුකුත් කියන්නේ නැහැ. ඇමතිතුමාට පණිවුඩය යනවා. එහෙම වුණොත් අපි ඉඳලා ඉවරයි.’ තවත් කඩහිමියෙක් පැවසීය.

‘එදා මම ටීවී එකේ දේශපාලන සංවාදයක් බලබලා හිටියේ ? දොළහත් පහුවෙලා. එකපාරට ගේ දොරකඩින් ගිනි ජාලාවක් මතුවුණා. දඩිබිඩි ගාලා දොර ඇරලා බලනකොට මගේ කාර් එක ගිනි ගන්නවා. කෑගහලා අවට මිනිස්සු ගෙන්වගෙන නිවා ගත්තා. ඒත් කාර් එකේ යට ගිනි අරගෙන. කාර් එක වටේට පෙට‍්‍රල් දාලා ගිනි තියලා තිබුණේ. පන්දමත් එතනම දාලා ගිහිල්ලා තිබුණා. ඒ ළඟමයි ළිඳ. ළිඳටත් වස දාලා කියලා සැකයක් තියෙනවා. පොලිසිය වතුර සාම්පල් ගත්තා. ඒවා පරීක්ෂා කරන්න දීලා තියෙන්නෙ. ඒ වතුර දාපුවාම ගස් මැරෙනවා. මේවා කරන්නේ වෙන කවුරුත් නෙමෙයි, අද වෙනකම් කිසිම ඇක්ෂන් එකක් ගත්තේ නැහැ. අපේ පාඩුව අපි විඳගන්න ඕනෑ. එච්චරයි. මෙහේ තත්ත්වය කිසිම මාධ්‍යයකට කිව්වට අහන්නේ නෑ. පොලිසියට කිව්වට වැඩක් නැහැ. මෙහේ තියෙන්නේ ආණ්ඩුවේ පොලිසියක් නොවෙයි. අලූත්ගමගේ පොලිසියක්.’

ඒ සම්සුඞීන් මහතා කියන දෑය. ඔහු ව්‍යාපාරිකයෙකි. මීට පෙර මහින්දානන්ද අලූත්ගමගේ ඇමතිවරයාගේ කිට්ටුම හිතවතෙකි. ඇමතිවරයාගේ කොන්ත‍්‍රාත්ද ඔහු සිදු කොට ඇත. එහෙත් මේ වනවිට විරසකය. ඒ මොවුන් එක්සත් ජාතික පක්ෂයට එකතු වී ඇති නිසාය. ඔහු කියන පරිදි සිය කාර් එක ගිනි තබනුයේ තෙවැනි අනතුර ලෙසය. මීට පෙරද ඔහුගේ කඩයට අසූචි බාල්දියක් ගසා ඇත. තවත් දවසක රාත‍්‍රියෙහි කඩයට ඇතුළු වූ පිරිසක් කඬේ වැඩ කරන අයට පහර දී කඬේ බඩුවලටද අලාභ හානි සිදු කොට පලා ගොස් ඇත. මේ සියල්ල පොලිසියේ සටහන්ව ඇතත් ඒවා සටහන්වලට පමණක් සීමාවී ඇත. ආසන්නම සිද්ධිය කාරයට ගිනි තැබීමය. ඒ මේ මාසයේ 7 වැනිදාය. පොලිස් පොතේ පැමිණිලි කෙරී ඇත. එහෙත් පළමු අනතුරේ සිට මේ දක්වා පොලිසිය ඒ කෙරෙහි දක්වන උනන්දුව මඳය‘අපිව කොයි වෙලාවේ හරි මරලා ගියත් ඔච්චරයි. අපි යූඑන්පී එකට ගියාට ඇමතිවරයා අපිත් එක්ක වෛරයෙන් ඉන්නේ. මෙහේ ඔහු ඉන්නකම් රතු කොඩි, කොළ කොඩි බැහැ කියන තැනයි ඔහු ඉන්නේ. පහුගිය ඡුන්දයේදී රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකතුමාටවත් ටවුමේ රැුස්වීම පවත්වන්න දුන්නේ නැහැ. කැළේක රැුස්වීම පැවැත්තුවේ. මයන්ත දිසානායක මහත්තයා මේ පැත්තට දාලා තියෙන්නේ. ඒත් ඒ මහත්තයා මේ පැත්ත පළාතේ එන්නේ නැහැ. බයයි. අපිත් ඇමතිවරයා එක්ක හිටපු හින්දා කරන දේවල් දන්නවා. ඒ හින්දයි අපිට අද අපේ ජීවිතත් විශ්වාස නැත්තේ.’ සම්සුඞීන් කියනු සැබෑවක්ද යන්න සොයා බැලීම පොලිසියේ වගකීමකි.

‘නාවලපිටිය පොලි සියයි, කුරුඳුවත්ත පොලිසියයි දෙකම ඇමතිවරයාගේ පොලිසි දෙක. ඒ අය මොනවා වුණත් පැමිණිල්ල ලියාගන්න එක විතරයි කරන්නෙ.’ ඔහු නම දමනවාට අකමැතිය. ඇමතිවරයාට එරෙහිව නමින් කතා කරනුයේ ඇමති ළඟ සිට අද ඇමතිගෙන් ඉවත් වී සිිටින අය පමණය. මේ එක් අයෙකු අපට රහසේ කී දෑය.

‘මේ අයට ගාණක් නැහැ. ඒ දවස්වල ඇමතිත් එක්ක භීෂණය වැපිරුවේ මේ අයම තමයි. ඡන්ද කාලයට එක යූඑන්පී ඡන්දයක් දාන්න දුන්නෙ නැහැ. හොර ඡන්ද දැම්මේ එළිපිට. චිත‍්‍රපටිවල වගේ මෙහේ ඒවා වුණේ. අද අපි කතා කරලා හෙට මේ අය ආයේ එකතු වුණොත් මේ දෙගොල්ලොම අපිට ගහයි.’

ඒ කතාව ඇත්තය. අප කළ ගවේෂණයට අනුව සොයා ගත් දෑ කිව යුතුය. නාවලපිටියේ මේ මොහොතේ භීෂණයක්යැ’යි කියන්නට තරම් කරුණු නැතිය. කඬේට අසූචි ගසා, වීදුරුවක් දෙකක් කඩා, වහලයට ගලක් ගැසීම වැනි සිද්ධි ඇත. ඒ ඇරුණු කොට කිසිවකුට පහර දුන් සිද්ධියක් නොපවතී. මෙය එජාප පාක්ෂිකයන්ට වන අවනඩුවක්යැ’යි කීමද වැරදිය. මන්ද මේ එකම පක්ෂයේ එකට ලැග සිට වෙන්වී කුළල් කාගන්නා අයගේ ප‍්‍රශ්නයක් වන බැවිනි. එනම් ආණ්ඩු පක්ෂයේම ගැටුමකි.

හිටපු එජාප ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති මෛත‍්‍රීපාල මහතාගේ නිවසටද අලාභ හානි සිදු කොට ඇත. ඒ හයවෙනි මාසයේදීය. ඒ පිළිබඳවද පැමිණිලි කොට ඇත. ආනන්ද අලූත්ගමගේද සිය කඩයට වූ අසාධාරණයක් වෙනුවෙන් පැමිණිලි කොට ඇත. මේ සියලූ පැමිණිලිවල චෝදනා කරනුයේ ඇමතිටය. ඍජුවම ඇමතිට චෝදනා කළද මේ වන තෙක් ඇමති අරබයා කිසිදු ක‍්‍රියාමාර්ගයක් පොලිසිය ගත් වග නොපෙනේ.

‘අපි එක හකුරු කෑල්ල පහට කඩාගෙන තේ බීලා හරක් මඩුවේ නිදාගෙන දේශපාලනය කළේ. එහෙම කරලයි ඇමතිව ඔය තත්ත්වයට ගෙනාවේ. අද අපි නරක මිනිස්සු. නරක මිනිස්සු කියලා හිතුවට කමක් නැහැ. මොකද අපි නරක වැඩ කළෙත් එයා දිනවන්න. ඒවායේ ප‍්‍රතිඵලවලට තමයි අද ඇමති පාර්ලිමේන්තුවේ ඉන්නෙ. අද මිනිස්සුන්ට කඩ කාමර දෙනවා. ඒකේ හිලව්වට අපිට ගහන්න ඕනෑ. අපේ ගෙවල් කඩන්න ඕනෑ. ඒවා අපිට ආරංචි වෙනවා. ආයේ ඇමතිට දිනන්න බෑ. මෙහේ මිනිස්සු එයාට නැහැ. මේ හැම මිනිහෙක්ගෙන්ම හූර ගත්තා. අපිත් ඒවට සම්මාදම් වුණා. ආයේ ඒවා වෙන්නේ නැහැ. අපි යූඑන්පී එකෙන් පිරිස් කඩාගෙන අරගෙන ගියේ මෙයාව දිනවන්න. මේක යූඑන්පී සීට් එකක්. ඉස්සර යූඑන්පී එකේ කරදර ඉවසගන්න බැරි තැන තමයි අපි අලූත්ගමගේ ඇමතිවරයාව දිනෙව්වේ. ඒත් අද එදා යූඑන්පී පාලනයට හපන්. අපි පක්ෂයේ ඉහළම තැන් දැනුවත් කළා. වැඩක් නැහැ. ඒ හින්දා අපි යූඑන්පී එක අපේ දේශපාලනයට තෝරා ගත්තා.’ ඒ කරුණාරත්නය. ගෙඟන් ඉහළ ප‍්‍රාදේශීය සභාවේ හිටපු මන්ත‍්‍රී වරයෙකි.

මේ ආරාවුල ඇතිවන්නේ පසුගිය පළාත් සභා මැතිවරණයත් සමගය. එහිදී මොවුන් සියල්ල වැඩ කරනුයේ ආණ්ඩුව දිනවන්නටය. මහින්දානන්ද අලූත්ගමගේ නියෝජනය කරමින් අලූත්ගමගේලා කිහිපදෙනෙක්ම ඡන්දයට තරග කරති. එහිදී ඇතැම් අයට ඇමතිවරයාගේ වැඩි කැමැත්තක් තිබී ඇත. ඒ සිය සහෝදරියගේ සැමියාය. ගැටලූව එකී සැමියාද අලූත්ගමගේ කෙනකුවීමය. මීට අමතරව තවත් ඥාති සහෝදරයකු වන ආනන්ද අලූත්ගමගේද තරග වදියි. ඥාති සහෝදරයාට වඩා සිය සහෝදරියගේ සැමියා දිනවීම ඇමතිවරයා වගකීම කරගත්තේය. ප‍්‍රසිද්ධ වේදිකාවේම ආනන්ද අලූත්ගමගේට ඡන්ද නොදෙන්නැ’යි ද එකී ඡුන්දය වීරසිංහ අලූත්ගමගේට ලබා දෙන්නැ’යිද ඉල්ලන තැනට පත්විය. දෙපිළ ඇවිලෙන්නේ ඒ අනුවය. අලූත්ගමගේ වේදිකාවේ ශපථ කරනුයේ නියතවම ආනන්ද අලූත්ගමගේ පරාජය කරන බවය. දේශපාලනය තුළ රැුඳිය යුත්තේ තමන් කැමති අය බවය. ආනන්ද අලූත්ගමගේ එකී අභියෝගය භාර ගත්තද මහින්දානන්ද අලූත්ගමගේ අමාත්‍යවරයා කීව ලෙසට ඔහු පරාජය කළේය. පරාජයත් සමග ආනන්ද අලූත්ගමගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට ආයුබෝවන් කියා එජාපය තෝරා ගත්තේය. ඒ අනුව එදා ඔහු ආණ්ඩුවට ගත් එජාප මන්ත‍්‍රීවරු 13දෙනාද ආනන්ද අලූත්ගමගේ සමග එජාපයට එක්වූහ. මෙය අලූත්ගමගේ අමාත්‍යවරයාට තදබල පහරක් විය. අද සියල්ල සැරසෙනුයේ ඇමතිවරයා පැරදවීමේ මෙහෙයුම දියත් කරන්නය. ඊට ප‍්‍රතිචාර ලෙස ඇමතිවරයාද වැඩ අල්ලා ඇතැ’යි සිතිය හැකිය. මේ මොහොතේ නාවලපිටියේ පැතිරෙනුයේ එකී වෛරයේ ප‍්‍රතිඵලය. ආනන්ද අලූත්ගමගේ සමග අත්වැල් බැඳගත් සියලූදෙනා සතුරන් ලෙස සලකා සලකන ප‍්‍රතිපත්තියක් එම ප‍්‍රදේශයේ ක‍්‍රියාත්මකය. එකී පවුල් මෙන්ම ඒ පවුල්වලට ගෑවුණු අය පවා බියෙන් පෙළෙති. ඒ කොයි මොහොතේ ගින්නක් හට ගනීවිදැ’යි බියෙනි.

මේ සියල්ලට නායකත්වය දෙනුයේ ආනන්ද අලූත්ගමගේය. හෙට එජාපය නියෝජනය කොට මහින්දානන්ද අලූත්ගමගේ සිටින තැන ආනන්ද අලූත්ගමගේ ගන්නට දරන පළමු උත්සාහය මෙයය.

‘මම හොඳ යූඑන්පීකාරයෙක්. ඒත් අවුරුදු 20ක් ඡන්දය දාලා නෑ. දාන්න දුන්නේ නැහැ. ඔය අලූත්ගමගේලා. අද ඒ අයම ඇවිත් කියනවා බයවෙන්න එපා මින් ඉස්සරහට ඔය අයට එජාපයට ඡන්දය දෙන්න පුළුවන් කියලා. කාටද මේවා කියන්නෙ?’’

ඡන්දයක් පේන මානයක හෝ නැතිව ඇවිළෙන මේ ගින්න ඡන්දයක් ඇති කල කෙසේ දැල්වේදැ’යි සිතාගත හැකිය. එවිට මේ සෝදාපාළුව නායයෑමකට හැරෙනවා නියතය. එයට එකහෙළාම වගකිවයුත්තේ අලූත් ගමගේලාය. ඒ බව කල් තබාම කිව යුතුය.

ඒ අයට කරන්න පුළුවන් දෙයක් නෑ  – ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ

නාවලපිටියේ ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි එක්කෙනෙක් ප‍්‍රශ්නයක් ඇති කරන්න හදනවා. මේ අය ඡන්දෙන් පරාජය වෙලා බංකොළොත් වුණාට පස්සේ එජාපයට ගිහින් කෑගහනවා.
අහන්න ඇත්ත එජාප පාක්ෂිකයන්ගෙන් නාවලපිටියේ ප‍්‍රශ්නයක් තියෙනවාද කියලා. මේ අපේ පක්ෂයේම අයගේ වැඩ. මට බැනලා බොරු වීරයෙක් වෙන්න යනවා. ඒ අයට කරන්න පුළුවන් දෙයක් නැහැ. බොරුවට කෑගහනවා.

මම දන්න තරමින් නාවලපිටියේ මුකුත් වෙලා නැහැ. ගලක් ගහලා වීදුරුවක් කැඩුණා කියලා පොලිසි යනවා. මම තමයි කළේ කියනවා. කිසිම පදනමක් නැහැ. එක කඩයක් කඩලා තියෙනවද? තියෙනවා නම් පෙන්වන්න. මෛත‍්‍රී කියලා කෙනෙක්ගේ නිවසට ගහලා තිබ්බා. ඒ පෞද්ගලික ප‍්‍රශ්න මගේ නම ගාවලා දේශපාලන වාසි ගන්න යනවා. අනෙක් සිද්ධි මම දන්නෙත් නැහැ.
ඔය කාර් එකක් ගිනි තිබ්බා කියන කොට මම ලංකාවේ හිටියෙත් නැහැ. ඔය කාර් අයිති කෙනා මම ගාව ටෙන්ඩර් අරන් වැඩ කළා. මේ ආණ්ඩුවෙන් එයාගේ පුතාට රස්සා ගත්තා. දැන් මොනවහරි අඩුපාඩුවක් අල්ලගෙන මට චෝදනා නගනවා. ඔතන ඉන්න ප‍්‍රධාන පුද්ගලයා ආනන්ද. එයා අපේ දුරින් ඥාතිකමක් තියෙන කෙනෙක්. හැබැයි එයා අපේ තාත්තගේ වාසගම දාගත්ත කෙනෙක්. එයා නියම අලූත්ගමගේ කෙනෙක් නෙමෙයි. ඉස්සරවෙලා එයා ගැන හොයල බලන්න. එයාට නඩු කීයක් තියෙනවද අහන්න. මිනීමැරුම් නඩුත් තියෙනවා. ඒවා එයාගේ පළාත් සභා ඡන්දවලට දාගත්ත ඒවා මිසක් මේ මට වැඩ කරලා දාගත්ත ඒවා නෙමෙයි.