මහින්දට තුන්පාරක් බැරි බව ස්ථිරයි! සරත් සිල්වාගේ තර්කය නීති ප‍්‍රවීණයෝ තහවුරු කරති

18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අඩුපාඩු සහිතව කෙටුම්පත් කිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරට ජනාධිපතිධුරය සඳහා තරග වැදීමට ඇති අවස්ථාව ගිලිහී ගොස් ඇතැ’යි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියති. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මුල්වරට ප‍්‍රසිද්ධියට පත් කළ එම නීතිමය තර්කය බලවත්, බිඳහෙළීමට අපහසු හා පිළිගත හැකි මට්ටමේ එකක් බවද ඔවුුහු කියති.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා පසුගියදා මාධ්‍යවලට හෙළිකළේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 31 (2) ව්‍යවස්ථාව අනුව ‘ජනතාව විසින් තෝරාපත් කරගත් කිසිම තැනැත්තකු ඉන්පසු එම ධුරයට ජනතාව විසින් තෝරාපත්කර ගැනීමට සුදුස්සෙකු නොවන බව’ට විධිවිධානයක් තිබූ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010 ජනවාරි 27 වැනිදා දෙවැනි වරට ජනාධිපති ධුරයට පත්වන විට එම විධිවිධානය ක‍්‍රියාත්මකව තිබූ බවත්ය. ඔහු ජනාධිපති ධුරයට පත්වන්නේ එවකට තිබූ එම නීතිය යටතේ නිසා තෙවැනි වරට ජනාධිපති ධුරයට තේරී පත්වීමට නීතිමය නොහැකියාවක් ඔහු වෙත ඇතිකර තිබේ.

එහෙත් 2010 සැප්තැම්බර් 9 දින සිට ක‍්‍රියාත්මක වූ 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ඉහත 31 (2) ව්‍යවස්ථාව ඉවත් කරන ලදි. ඒ අනුව සීමාවක් නැතිව නැවත ජනාධිපති ධුරයට පත්වීමට ඉන්පසු  ඕනෑම පුද්ගලයකුට හැකි නමුත් එම නීතිය පැනවීමට පෙර ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂ මහතාට එම හැකියාව ලැබෙන්නේ නැත.
1901 අංක 21 දරන අර්ථ නිරූපණ ආඥා පනතට අනුව යම් පුද්ගලයකුට නීතිමය නොහැකියාවක් හෝ දඬුවමක් පනවා තිබේ නම් පසුව එන නීතියකින් එය ඉවත් කළ හැක්කේ, එම නීතියෙන් විශේෂයෙන් අතීතයට බලපාන පරිදි එම නොහැකියාව හෝ දඬුවම ප‍්‍රකාශිතවම ඉවත් කර තිබේ නම් පමණකි.

කෙසේ වෙතත් 18 වැනි සංශෝධනයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ නොහැකියාව ප‍්‍රකාශිතව ඉවත් කර නැති නිසා, තෙවැනි ධුර කාලයක් සඳහා ඉදිරිපත්වීමට ඔහුට නීතිමය හැකියාවක් නැති බවද සරත් එන්. සිල්වා මහතා කියයි. මේ නීතිමය තර්කය පිළිබඳව රාවයෙන් විමසූ විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ විශේෂඥ නීතිඥවරයකු නිර්නාමිකව සිටීමට කැමැත්ත පළකරමින් කියා සිටියේ, එය ශක්තිමත් හා නීතිමය වශයෙන් පිළිගත හැකි දියුණු තර්කයක් බවය.

රාවයට අදහස් දැක්වූ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා නීතිය පිළිබඳ තවත් විශේෂඥ නීතිඥවරයකු පැවසුයේ, 18 වැනි සංශෝධනය ලහි ලහියේ කෙටුම්පත් කිරීමට හා සම්මත කරගැනීමට ආණ්ඩුව කටයුතු කිරීම නිසා මෙම නීතිමය ගැටලූව එහි කෙටුම්පත්කරුවන්ගේ සැලකිල්ලට ලක්වී නොමැති බවත්, ඒ නිසාම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට නැවතත් ජනාධිපති ධුරයට තරග වැදීමේ අවස්ථාව නීතිමය වශයෙන් අහිමි වී ඇති බවත්ය. ‘මේ නීතිමය තර්කය පිළිගත හැකියි.’ ඔහු තවදුරටත් පැවසීය.

රාවය මේ ගැන විමසූ විට තවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරු කිහිපදෙනකුම හිටපු අගවිනිසුරු සිල්වාගේ නීතිමය තර්කය පිළිගත හැකි ශක්තිමත් එකක් බවට තහවුරු කළහ. මේ තත්ත්වය මත ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි ධුර කාලයක් සඳහා තරග වැදීමට නීතියෙන් නොහැකි වන අතර, ඔහුගේ වත්මන් ධුර කාලයෙන් ඉතිරිව ඇති අවුරුදු දෙකක කාලයද අවසන් කොට ධුරයෙන් ඉවත්ව යා යුතුය. එනිසා මේ වසර අවසානයේදී ජනාධිපතිවරණයක් කැඳවීමටද ඔහුට නීතිමය හැකියාවක් නැත. ඔහුගේ නියමය අනුව ඔහුගේ දෙවැනි ධුර කාලය ඉක්මයන්නට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමසාරිස්වරයාටද නොහැකිය.