හිඟන්නාගේ පාත්තරයට පාත්වුණු ආරක්‍ෂක සේවා විද්‍යාලය

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගත්කල ප‍්‍රභේද කිහිපයක් දක්නට ලැබේ. ඒවා රාජ්‍යය මගින් අධ්‍යාපනය ලබාදෙන රජයේ පාසල්, රජයේ ආධාර ලබන අර්ධ රාජ්‍ය පාසල්, පෞද්ගලික අංශයේ පාසල් හා ජාත්‍යන්තර පාසල් වශයෙන් ප‍්‍රධාන කොටම හඳුනාගත හැකිය.

ඉන් රජයේ පාසල් ගැන අවධානය යොමුකිරීමේදී හඳුනාගත හැකි ප‍්‍රධානතම බෙදීම වන්නේ අධ්‍යාපනය ලබාදෙන මාධ්‍යය අනුව පාසල් වර්ග කර තිබීමය. ඒ අනුව සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසල්ද, දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසල්ද, සිංහල හා දෙමළ යන මාධ්‍ය දෙකෙන්ම අධ්‍යාපනය ලබාදෙන පාසල්ද, අතිරේකව මේ භාෂා මාධ්‍ය පාසල් තුළ ද්විතීයික පන්තිවලදී ඉංග‍්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදෙන පාසල්ද හඳුනාගත හැකිය.

මීට අමතරව මේ බෙදීම තවදුරටත් වර්ධනය කරමින් අධ්‍යාපනය ලබාදෙන ශ්‍රේණිය හෝ විෂය ධාරාව අනුවද පාසල් වර්ග කර ඇති අතර, ඒවා 1්ඊල 1ක්‍ල 2 වන පන්තියේ හා තුන්වන පන්තියේ පාසල් වශයෙන් වර්ග කර තිබේ. 1්ඊ පාසල් යනු උසස් පෙළ විද්‍යා විෂය ධාරාව සහිත පාසල් වන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ 2012 වර්ෂයේ දත්ත සටහනට අනුව ඒ ආකාරයේ පාසල් 753ක් රට පුරා විසිරී පවතී. එමෙන්ම 1ක්‍ පාසල් යනු උසස් පෙළ පන්ති පැවැත්වුවද විද්‍යා විෂය ධාරාව නොමැති පාසල් වන අතර එවැනි පාසල් 2013ක් රට පුරා විසිරී පවතී. 2 වන පන්තියේ පාසල් යනු අට ශ්‍රේණියට හෝ අපොස සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරීමට හැකි පාසල් වන අතර ඒ ආකාරයේ පාසල් 3869ක් රට පුරා පවතී. 3 පන්තියේ පාසල් යනු ප‍්‍රාථමික අධ්‍යාපනය පමණක් ලබාදෙන පාසල් වන අතර එවැනි පාසල් 3290ක් රට පුරා පවතී.

සංඛ්‍යාවෙන් 9905ක් වූ රජයේ පාසල් පද්ධතියේ මෙම බෙදීම් එතැනින්ද අවසන් නොවන අතර 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ අධ්‍යාපන විෂය පළාත් සභා විෂය පථයටද අයත්වීම හේතුවෙන් ජාතික පාසල් හා පළාත් සභා පාසල් වශයෙන් මෙම පාසල් පරිපාලනමය වශයෙන් තවදුරටත් බෙදා තිබේ. ඒ අනුව 342ක් වූ ජාතික පාසල්වල ඍජු අධීක්ෂණය අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරෙන අතර ඉතිරි පාසල්වල අධීක්ෂණය පළාත් සභාවලට පවරා ඇත.

ඉහත සඳහන් රටේ පාසල් පද්ධතියේ හා විශේෂයෙන්ම රජයේ පාසල් පද්ධතියේ වර්ග කිරීම් හෝ බෙදීම් ගැන මුලින්ම දළ පැහැදිලි කිරීමක් අවශ්‍ය වූයේ සාකච්ඡුාවට භාජනය කරන කරුණ ඒ මගින් අවබෝධ කරගැනීම පහසු වනු පිණිසය. අප සාකච්ඡුා කරන්නට යන්නේ රජයේ පාසල් පද්ධතියේ ඉහත බෙදීම් ප‍්‍රභේදවල කිනම් බෙදීමකට අයත්දැ’යි නිශ්චිතවම නොදන්නා පාසලක් පිළිබඳවය. ආණ්ඩුවට අනුව එම පාසලේ නම ‘ආරක්ෂක සේවා විද්‍යාලය’ය. පිිහිටා ඇත්තේ කොළඹ කොම්පඤ්ඤ වීදියේය. පැරණි අධ්‍යාපන දෙපාර්තමේන්තුව පැවති හා පසුව හමුදා අනුඛණ්ඩයක් භාවිත කළ භූමියේය. මෙම පාසල ආරම්භ කර ඇත්තේ එල්ටීටීඊ සංවිධානය සමග ශ‍්‍රී ලංකා රජය සිදුකළ අවසන් යුද්ධය කාලයේදී හෙවත් 2005 වර්ෂයේදීය. එය ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ සංකල්පයක් වූ අතර එවැනි පාසලක් සඳහා හේතුව වශයෙන් දැක්වූ මුඛ්‍ය හා එකම කාරණාව වූයේ ‘ආරක්ෂාව’ නමැති කෝකටත් තෛලය ය. පොලිසියද ඇතුළු ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දරුවන්ගේ ජීවිතද එල්ටීටීඊ සංවිධානයේ තර්ජනයට ලක්වී ඇති හෙයින් එම දරුවන්ට ආරක්ෂා සහිතව අධ්‍යාපනය ලබාදීම මෙම පාසලේ අරමුණ වශයෙන් පැහැදිලි කරන ලදි. අධ්‍යාපන අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදනද, ආරක්ෂක අංශයන්හි ශ‍්‍රම දායකත්වයද ලබාගනිමින් භෞතික වශයෙන් ගොඩනැංවූ මෙම පාසලට ගුරුවර ගුරුවරියෝද අනුයුක්ත කරගනු ලැබුවෝ රජයේ පාසල් පද්ධතිය තුළිනි. ඔවුන් රජයේ ගුරුවරුන් වන අතර වැටුප් ගෙවනු ලබන්නේ රජය මගිනි. අනෙකුත් භෞතික හා මානව සම්පත්ද අධ්‍යාපන ප‍්‍රතිපාදන තුළින් මෙම පාසලට ලබාදෙන අතර මෙම පාසල හඳුන්වනු ලබන්නේ රජයේ පාසලක් වශයෙන්ය.

එසේ වුවද කොම්පඤ්ඤ වීදිය හෝ ඒ අවට කිසිදු දරුවකුට අයදුම් පත‍්‍රයක් ඉදිරිපත් කර මේ පාසලට ඇතුළත් විය නොහැකිය. පොදුවේ දරුවන්ට කෙසේ වෙතත් පොලිසියේ හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ දරුවන්ට පවා සාමාන්‍ය ආකාරයට විදුහල්පතිවරයාට අයදුම්පතක් යොමුකර මේ පාසලට ඇතුළත් විය නොහැකිය. ඊට ඇතුළත්වීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළයුත්තේ පොලිසියේ හෝ ත‍්‍රිවිධ හමුදාවේ ඒ සඳහා පත්කර ඇති ප‍්‍රධානීන්ටය. තෝරාගන්නා ක‍්‍රමවේදය ඇතුළු කිසිවක් එම පාසලේ රජයේ විදුහල්පතිවරයා ඇතුළු රජයේ ගුරුවරුන් දන්නේ නැත. ඔවුන්ට පැවරී ඇත්තේ තෝරා එවන ළමයින්ට අධ්‍යාපනය ලබාදීමත්, අධ්‍යාපන අමාත්‍යාංශ චක‍්‍රලේඛ අනුව නොව ආරක්ෂක අංශ ප‍්‍රධානීන්ගේ නියෝග අනුව පාසල පවත්වාගෙන යෑමත් පමණය.
මේ පාසල පිළිබඳව ප‍්‍රශ්න කිහිපයක්ම පැන නගී. ඒ රජයේ පාසල් අධ්‍යාපනයේ පොදු මුදල් භාවිත කරමින් මෙවැනි පාසලක් නඩත්තු කරන්නේ ඇයිද යන්නය. එමෙන්ම මෙවැනි විශේෂිත පාසලක අවශ්‍යතාවක් ඇතිද යන්නය.

අප දන්නා ආකාරයට එල්ටීටීඊ සංවිධානය සිදුකළ යුද්ධයේදී ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ හෝ ප‍්‍රධානීන්ගේ දරුවන් ඉලක්ක කර කිසිදු ප‍්‍රහාරයක් සිදුකළේ නැත. එවැනි ප‍්‍රහාරයක් එල්ල කරාවියැ’යි එම අවස්ථාවේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ හෝ වෙනයම් අයකුගේ උපකල්පනයක් තිබුණේ වුවත් එල්ටීටීඊ සංවිධානය සම්පූර්ණ වශයෙන්ම පරාජය කර වසර පහක් ගෙවෙන අද දවසේ එවැනි අවශ්‍යතාවක් කොහෙත්ම පැන නගින්නේ නැත. අනෙක් අතට පොලිසියේ හා ආරක්ෂක අංශවල සියලූදෙනාගේ දරුවන් හෝ ආරක්ෂාව පිළිබඳව ප‍්‍රශ්නයක් ඇතැ’යි කියන එම සේවාවල ඉහළම නිලධාරීන්ගේ දරුවන් සියල්ලම හෝ මෙම පාසලට අධ්‍යාපනය හැදෑරීම සඳහා පැමිණෙන්නේද නැත. පොලිසිය හා ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දරුවන් රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීම සඳහා 2005 වසරට පෙර සිට අද දක්වාම ක‍්‍රියාත්මක වන විශේෂ කෝටාවක් තිබේ. එම කෝටාව හඳුන්වාදී තිබුණේ යුද්ධය පවතින ප‍්‍රදේශවල හෙවත් ක‍්‍රියාන්විත රාජකාරියේ යෙදෙන පොලිසියේ හා ආරක්ෂක අංශවල සාමාජිකයන්ට අවස්ථාව සලසා දීම සඳහාය. යුද්ධයක් නැති වුවද එම කෝටාව අදටත් ඒ ආකාරයෙන්ම පවතී. එම කෝටාව යටතේද රජයේ පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ අයදුම්පත් පාසල්වලට යොමු කළ යුතු නැති අතර එම අයදුම්පත් ඉදිරිපත් කළයුත්තේ පොලිසියේ හෝ ත‍්‍රිවිධ හමුදාවේ අදාළ බලධාරීන් වෙතය. තෝරාගැනීම් එම බලධාරීන් සිදුකර ඒ ඒ පාසලට ඇතුළත් කරගත යුතු නාමලේඛන අධ්‍යාපන බලධාරීන් වෙත එවීම ඒ සම්බන්ධයෙන් සිදුවන ක‍්‍රියාවලියය. මේ කෝටාව යටතේ රටේ ජාතික හා ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත්වීමේ වරම පොලිසියේ හා ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දරුවන්ට හිමිවී තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශ වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට 2015 හෙවත් එළැඹෙන වසරේ එම කෝටාව යටතේ රජයේ පාසල්වලට ඇතුළත්වීම සඳහා පොලිසිය හා ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ දරුවන්ගේ අයදුම්පත් 12,908ක් ඔවුන්ට ලැබී තිබේ. වසර අවසාන වන විට ප‍්‍රකාශයට පත්කරනු ලබන අවසන් නාමලේඛනය අනුව මේ දරුවන් සියල්ලන්ම රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, සිරිමාවෝ ආදී කොළඹ හා කොළඹින් පිට නගරවල ඇති ජාතික හා ජනප‍්‍රිය පාසල්වලට ඇතුළත් කරගෙන ඇති බව පෙනීයයි. එතරම්ම මේ කෝටාව අතිවිශාල එකක්ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ චක‍්‍රලේඛ අනුව රජයේ පාසලක පළමු ශ්‍රේණියේ එක් පන්තියකට ඇතුළත් කරගත හැකි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 40ක්ය. එම ප‍්‍රමාණයෙන් පාසලට ලැබෙන අයදුම්පත්වලින් තෝරාගත හැක්කේ ළමයින් 33ක් පමණය. ඉතිරි ළමයින් 7 දෙනාගේ කෝටාව ලබාදී ඇත්තේ ආරක්ෂක අංශවලටය. උදාහරණයකට 2012 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වී ඇති ළමයින් සංඛ්‍යාව ගතහොත් එය 3,39,142ක්ය. මේ සංඛ්‍යාව 3,50,000ක් ලෙස සලකා ඉන් පොලිසියේ හා ආරක්ෂක අංශවල කෝටාව ගණනය කළහොත් ළමයින් 50,000කට අධික සංඛ්‍යාවක් ඒ යටතේ පාසල්වලට ඇතුළත් කළ හැකි බව පෙනීයයි. එහෙත් කිසිදු වසරක ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ එතරම් ළමයින් සංඛ්‍යාවක් පාසල්වලට ඇතුළත් කිරීම සඳහා නොමැති බව හැමදාම පෙනී යන කරුණය. මුලින් කීවාක් මෙන් ඇත්ත වශයෙන්ම සිදුවන්නේ රටේ සාමාන්‍ය මට්ටමේ පාසල්වලට නොව ජාතික හා ජනප‍්‍රිය පාසල්වලට මේ ළමයින් කෝටාව යටතේ ඇතුළත් කරගැනීමය.

මේ කෝටාව පිළිබඳ ප‍්‍රශ්නය ගෙන බැලූවද පෙනෙන්නේ පොලිසිය හා ආරක්ෂක අංශවල සාමාජිකයන්ගේ දරුවන් සඳහාම වූ වෙනම පාසලක අවශ්‍යතාවක් නැති බවය. එහෙත් පසුගිය සතියේ රාවය හෙළි කළ පරිදි සිදුවන්නේ ‘ආරක්ෂක සේවා විද්‍යාලය’ නමින් පිහිටුවා ඇති මෙම විශේෂ පාසල සඳහා රජයේ පොදු පාසල් පද්ධතිය සඳහා ඇති අරමුදල් විශාල වශයෙන් යොමුකරමින් තිබෙන බවය.

පසුගිය සතියේ අප පෙන්වා දුන් පරිදි මේ ‘ආරක්ෂක සේවා විද්‍යාලයේ’ නේවාසිකාගාර ඉදිකිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප‍්‍රතිපාදන වලින් රුපියල් මිලියන 448.1ක් වෙන් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒකාබද්ධව කැබිනට් පත‍්‍රිකාවක් යොමු කර ඇත. බොහෝවිට අගෝස්තු 28දා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැුස්වීමේදී මේ සඳහා කිසිදු විරෝධයකින් තොරව අනුමැතිය ලැබෙනු ඇත. එමෙන්ම එම කැබිනට් පත‍්‍රිකාවේ දැක්වෙන පරිදිම මෙම ආරක්ෂක සේවා විද්‍යාලය ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 1000ක් වූ අධ්‍යාපන අමාත්‍යාංශ ප‍්‍රතිපාදනද ඊට පෙර ලබාදී තිබේ.

ඉදිකරන්නට යන මේ නේවාසිකාගාරය යනු නිකම්ම නිකම් නේවාසිකාගාරයක් නොවේ. එය විදුලි පංකා වෙනුවට වායුසමීකරණ පහසුකම්වලින් යුතු, පඩි පෙළ වෙනුවට විදුලි සේපානවලින් යුතු, ගිනි නිවීමේ පද්ධතියක්ද ඇතුළු සුපිරි පහසුකම්වලින් සමන්විත සුපිරි නේවාසිකාගාරයක්ය.

අප දන්නා පරිදි රජයේ පාසල් පද්ධතියේ නේවාසික පහසුකම් අත්‍යවශ්‍ය වන්නේ පහ වසර ශිෂ්‍යත්ව සමතුන්ට, අපොස සාමාන්‍ය පෙළ සමතුන්ට ඉහළ අධ්‍යාපනයට වරම් ලැබෙන ජාතික හා ජනප‍්‍රිය පාසල් පද්ධතියටය. අධ්‍යාපන අමාත්‍යාංශයේම සංඛ්‍යා දත්ත අනුව දැනට නේවාසික පහසුකම් ඇති රජයේ පාසල් ගණන 168ක්ය. කොළඹ රාජකීය විද්‍යාලයේ සිට මේ නේවාසික පහසුකම් ඇති කිනම් හෝ පාසලක් සම්බන්ධයෙන් අත්දැකීම් ඇති පිරිස දන්නා සත්‍යය වන්නේ එම නේවාසිකාගාරවල බොහෝ අඩුපාඩුකම් පවතින බවය. අනෙක් පැත්තෙන් අප පොදුවේ දන්නා සත්‍යය වන්නේ රටේ සමහර පාසල්වල ඩෙස්ක්, පුටු, ගොඩනැගිලි වැනි අවම පහසුකම්වත් නොමැතිව ළමයින් අධ්‍යාපනය හදාරන බවය. ඒ සඳහා වෙන් නොවන රජයේ පොදු පාසල් පද්ධතියට ඇති මුදල් රජයේ පොදු පාසල් පද්ධතිය තුළට නොගැනෙන ආරක්ෂක සේවා විද්‍යාලයක අත්‍යවශ්‍ය පහසුකම් සඳහා නොව සුපිරි පහසුකම් සඳහා භාවිත කිරීම කොතරම් සාධාරණද යන්න ඒ නිසාම අපට පැන නගින ගැටලූවය.