ඌවේ නිදිගත් මැතිවරණ නීතිය

ඌව පළාත් සභා මැතිවරණ  ක‍්‍රියාවලිය දිනෙන් දින  ප‍්‍රචණ්ඩත්වයේ අගාධය වෙත ගමන් කරමින් සිටින බව පෙනෙයි. ආණ්ඩුවේ ඡන්ද ව්‍යාපාරය හැර අන් කිසිදු පක්‍ෂයක ඡුන්ද ව්‍යාපාරයක් නිදහසේ කරගන්නට ඉඩ නොදෙන බිහිසුණු වාතාවරණයක් දැන් ක‍්‍රම ක‍්‍රමයෙන් එහි නැග එමින් තිබේ.

ආණ්ඩුවට ඌවේ පළාත් සභා මැතිවරණය කිහිප අතෙකින් වැදගත් ය. පළමුවැන්න, එහි පළාත් සභා නියමුවා රාජපක්‍ෂ පවුලේ කෙනෙකි. ඔහු ලබන කිසියම් පරාජයක් හෝ පසුබෑමක් හෝ රාජපක්‍ෂ පවුලේ ආධිපත්‍යයට නරක බලපෑමක් කරයි. දෙවැන්න, පසුගිය දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණවල දී ආණ්ඩුව ලැබූ පසුබෑම යි. එම පසුබෑම ප‍්‍රවණතාවක් නො වන බව පෙන්වන්නට නම් ආණ්ඩුව ඌවේ සිය ඡුන්ද ප‍්‍රතිශතය වර්ධනය කර ගත යුතු ය. තෙවැන්න, හා වැදගත් ම කාරණය නම්, නුදුරු ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු ද නැද්ද යන්න ගැන තීරණයක් ගැනීම කෙරෙහි වැදගත් සාධකයක් සේ ඌවේ ඡුන්ද ප‍්‍රතිඵලය ක‍්‍රියා කිරීමයි. මෙ කී නො කී සියලූ වුවමනාවන් නිසා ආණ්ඩුවට ඌවේ ඡුන්ද ප‍්‍රතිඵලය තමන්ට ඉතා වාසි සහගත එකක් බව පෙන්වීමට අවශ්‍ය ය. ඒ සඳහා හැකි සෑම ආකාරයකින් ම බලපෑම් කිරීම සිදුවන බව ඌවේ මේ දිනවල සිදුවීම් පෙන්වා දෙයි.

ඌව පළාත තුළ මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරය දැන් යහමින් අසන්නට දකින්නට ලැබෙයි. මුළු පළාත පුරා ම ආණ්ඩුවේ අපේක්‍ෂකයෝ බලවත් ප‍්‍රචාරක ආධිපත්‍යයක් පවත්වාගෙන යති. දැනගන්නට ලැබෙන පරිදි සෑම තැනක ම ආණ්ඩු පාක්‍ෂික අපේක්‍ෂකයන්ගේ කාර්යාල ය. ඒවායෙහි දැවැන්ත ප‍්‍රචාරක පුවරු ය. ප‍්‍රධාන නගරවල පවා එවැනි ප‍්‍රචාරක පුවරු බොහෝ ය. අන් පක්‍ෂයක ආධාරකරුවන්ට සිය ප‍්‍රචාරක වැඩ කටයුතු නිදහසේ කරගෙන යෑමට බැරි වන අන්දමේ තර්ජනය කිරීම්, බිය වැද්දීම් පමණක් නො ව වෙඩි තැබීම් ද දැන් සිදුවෙයි. ඒ අතර, පොදු මහජනතාවගේ මුදල් වන රජයේ මුදල් යොදවා තම ඡුන්ද ව්‍යාපාරයේ වාසිය තකා ආධාර, තෑගි බෙදීම සිදුවෙයි. ඇමති ආරක්‍ෂක නිලධාරීන්ගේ සිට රජයේ විවිධ මට්ටමේ නිලධාරීන් හා රජයේ වාහන ඇතුළු රජයේ වෙනත් සම්පත් ආණ්ඩුවේ ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා නොපැකිළ යොදා ගැනෙයි. ඒවා වළක්වන්නට කිසිවකුත් නැති බව ද පෙනෙයි.   

මේ සියලූ තත්ත්වයන් මැද කැපී පෙනෙන දෙය නම් මැතිවරණ නීතිය බලාත්මක කිරීමට පොලිසිය දක්වන අසමත්කම යි. එය පොලිසියේ නිදන්ගත රෝගයකි. මැතිවරණ නීති ක‍්‍රියාත්මක කිරීම මැතිවරණ කොමසාරිස්ගේ කාර්යයක්  නො වේ. ඔහු කළ යුත්තේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය උපදෙස් හා විධානයන් අදාළ ආයතනවලට නිකුත් කිරීම පමණෙකි. මැතිවරණ නීතිය කඩ වන්නේදැ‘යි අවදියෙන් සිටීමත්, ඒවා කඩ වන විට නිසි පියවර ගැනීමත් පොලිසියේ කාර්යයකි. එහෙත් පොලිසිය ඒ කටයුත්ත නො කරයි. නැතිනම් කාර්යක්‍ෂම ව නො කරයි. නැතහොත් ආණ්ඩුවට පක්‍ෂපාතී ව කරයි.

ඌව පළාතේ සංචාරයකින් පසු මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට දෝෂාරෝපණ ස්වභාවයෙන් දන්වා සිටියේ පළාත පුරා නීති විරෝධී ප‍්‍රචාරක කටයුතු සිදුවන ආකාරය තමා දෙඇසින් දුටු බව ය. නියෝජ්‍ය පොලිස්පතිවරයා ඒ දැනුම් දීම බැ?රුම් ලෙස ගෙන කළේ පළාතේ පොලිස් බලධාරීන්ට, මැතිවරණ නීති නිසි ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස දැනුම් දීම ය. එසේම ඒවා නිසි ලෙස ක‍්‍රියාත්මක නො කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බවට අවවාද කිරීම ය.

මැතිවරණයක් මුවවිටේ තිබිය දී මැතිවරණ නීති කඩ කිරීම් රිසි සේ සිදුවීමත්, මැතිවරණ නීති ක‍්‍රියාත්මක නො කළහොත් විනය ක‍්‍රියාමාර්ග ගන්නට සිදුවන බව අවවාද කරන්නට තරම් තත්ත්වයකට පොලිසිය ඇදවැටීමත් විසින් පෙන්වන්නේ කෙතරම් නම් එවැනි සේවයකට කරන අගෞරවයක් ද?