ජීවිතේ බේරගත්තේ ලයියා කියන නම නිසයි – ලයනල් බෝපගේ (ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප‍්‍රධාන ලේකම්)

ලයනල්ට එදත් අදත් හිතවතුන් කියන්නෙ ලයියා කියලයි. මේ හැඳින්වීම ගැන මොකද හිතෙන්නෙ?

ඉස්කෝලෙ යන කාලේ ඉඳලයි ලයියා කිව්වෙ. දේශපාලන වැඩකටයුතු කරන කොටත් ලයියා කිව්වා. පේරාදෙණියෙ විශ්වවිද්‍යාලයේදීත් කිව්වෙ ඒකමයි. මං හිතන්නෙ ලයියා කියන්නෙ පොදු නමක්. ඒ හැඳින්වීමට මම ආසයි.

ගෙවීගිය ජීවිතය ගැන සතුටක්ද දුකක්ද උපේක්ෂාවක්ද තියෙන්නෙ?

මට දැන් 70යි. ඔය හැම දෙයකින්ම ජීවිතය මිශ‍්‍රයි. යුක්තිය පිළිබඳ අපේ තිබිච්ච අරගලය සාර්ථක කරගන්න බැරිවුණා. ඒත් ඒ අදහස අත්හැරලත් නැහැ. සමාජ අසමානත්වය වෙනස් කරන්න  ඕන කියන හැඟීම තාම එදා වගේම තියනවා. එදා ප‍්‍රායෝගිකව වැරදි සිදුවුණත් අපි උත්සාහ කළේ සාධාරණත්වය රජයන සමාජයක් හදන්න. සමහරු පැරණි අදහස් අත්හැරලා උපයෝගිතා වාදය වැළඳ ගත්තා. එදා සමාජ අසාධාරණයට එරෙහිව අරගල කළ අය අද සමාජ අසාධාරණය ක‍්‍රියාත්මක කරන අය බවට පත්වෙලා ඉන්නවා. සමාජයේ කොටසක් ඉන්නවා අපිව අගය කරන. අපි ජීවිතය නාස්ති කරගත්තයි කියන කොටසකුත් ඉන්නවා. ඇයි තමුසෙල අවස්ථාවාදී නොවුණේ කියලනෙ ඒ අහන්නෙ. මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන්න තමයි වෙලා තියෙන්නේ.

ඔබ ඉංජිනේරු විද්‍යාව කළ කෙනෙක්. ඉංජිනේරු විද්‍යාව සහ දේශපාලන විද්‍යාව අතර අනුලෝම සම්බන්ධයක් දකිනවද?

පොඩි කාලෙ ඉඳලම මට අදහසක් තිබුණා ඉංජිනේරුවෙක් වෙන්න. දේශපාලනය පැත්තෙනුත් එහෙමයි. ඒ තාත්තා කොමියුනිස්ට් පක්ෂයේ කෙනෙක් නිසා. ඉංජිනේරු විද්‍යාවෙන් කරන්නෙ යමක් අලූතින් ඩිසයින් කරන එක විතරක් නෙමෙයි. සමාජය වෙනස් කිරීමේ කටයුත්තකුත් ඉංජිනේරු විද්‍යාවෙන් වෙනවා ආපහු. දේශපාලනය කියන්නෙ ීදජස්ක ෂබටැබසදරසබට වගේ වැඩක්. ගණිතය හා විද්‍යාව එක්ක විෂය අතින් පමණක් නෙමෙයි අරමුණු අතින් බැලූවත් දේශපාලනය සම්බන්ධයි. විද්‍යාත්මක ජයග‍්‍රහණ මිනිසාගේ සංවර්ධනයට, ජීවිතය පහසු කිරීමට උපයෝගී විය යුතු වුවත් ඒවා භාවිතවන්නේ වැඩි ලාභ උපද්දවීම සඳහා පමණයි. මේ තත්ත්වය වෙනස් කිරීමට දේශපාලනයට ප‍්‍රායෝගික ක‍්‍රියාවලියක් ඉටු කළ හැකියි.

ලයනල්ගේ පාසල් සමය ගෙවෙන්නේ කොහොමද?

මම උපන්නෙ වැලිගම. 1944දි. තාත්තා ව්‍යාපාරිකයෙක්. වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ තමයි මම ඉගෙන ගත්තෙ. පසුව මාතර රාහුල විද්‍යාලයට ගියා. උසස් පෙළට රිච්මන්ඞ් එකට ගියා. අපේ තාත්තා කොමියුනිස්ට් පක්ෂයට වැඩ කළ නිසා දේශපාලන ප‍්‍රශ්නෙකුත් තිබුණා. ඒ සමගම අපිට කුල ප‍්‍රශ්නෙකුත් තිබුණා. අපේ තිබුණු සමත්කම් යටකරන පසුබිමක් ඒක. රාහුලයේදී කුල ප‍්‍රශ්නය උඩ මම තේ වතුර ගෙනියන ප්ලාස්ක් එක හැමදාම වෙන සිසුන් පිරිසක් බිඳිනවා. කුලයෙන් උසස් කියන තව පිරිසක් මාව ආරක්ෂා කරන්නත් පෙළඹුණා.

පාසල් කාලේ සුවිශේෂී මතකය මොකක්ද?

කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයට ටික ටික සම්බන්ධවීමට අතිරේකව අපි එස්.එස්.සී. පන්තියේදී යාළුවො කීපදෙනෙක් එකතු වෙලා රොකට් ක්ලබ් එකක් හැදුවා. රාහුල රොකට් ක්ලබ්. රොකට්ස් ටෙස්ට් කරන්න විවිධ තැන්වලට යනවා. ඒ දවස්වල තිබුණා ඇමරිකන් මොබයිල් ලයිබ්‍්‍රරි එකක්. මම ඒක පරිශීලනය කළා. මාතර කොටුව පිටුපස භූමියෙ අපි රොකට් පිළිබඳ ටෙස්ට් එකක් කළා. රොකට් එක සමග පළමුවැනි ස්ටේජ් එකේදිම ඇමරිකන් මොබයිල් ලයිබ්‍්‍රරි එක ඇවිත් ඒ අයත් අපේ වැඬේට හවුල් වුණා.

විශ්වවිද්‍යාල කාලෙ අත්දැකීම් කොහොමද?

ඒ 1965දී. අපි එවකදී චීන පිලට හිතවත් අය. පේරාදෙණියෙ තිබුණු සමාජවාදී සංගමය චීන පිලට හිතවත් එකක්. සරත් විජේසිංහ වගේ අය එතන හිටියා. අපි කලකදි ඒකෙනුත් ඉවත් වෙලා ස්වාධීනවත් හිටියා. ඊට පස්සේ ජවිපෙ සමග එකතු වෙනවා. ව්‍යෘපාරය කියලයි ඒ කාලෙ කිව්වේ. කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලනයෙන් රට වෙනස් කරන්න බැහැ කියන ආකල්පය තදින් අප තුළ මුල් බැසගෙන තිබුණු නිසා ඒ හැකියාව සහිත ව්‍යාපාරයක් අපිත් සොයමින් සිටියේ. ඒ වුවමනාවට ජවිපෙ ගැළපුණා.

විජේවීර මුලින්ම හම්බවුණේ කොහොමද?

ඔහු දවසක් පේරාදෙණියට ආවා. මුල් හමුවේදී විනාඩි පහක් කතා කරන්න ඇති. ඔහු ඒ වෙලාවෙ කතා කරපු දේවල් හා ශෛලිය මගේ හිතට ඇල්ලූවා. අනික ඔහු පක්ෂ නායකයෙක් කියලා අපිට ඉහළින් පේවී ඉන්න උත්සාහ කළේ නැහැ. සහෘද ලීලාවෙන් ගනුදෙනු කරන කෙනෙක් බව පෙනුණා.

71 කියන නිශ්චිත මොහොත ගැන කොහොමද හිතුණෙ?

71 කාලයේ මර්දනයට මුහුණදීමයි අපි කළේ. රෝහණ සහෝදරයා අත්අඩංගුවට ගන්න දවස්වල මම මාතලේ අකරවිට කියන ගම ආරක්ෂිත ගම්මානයක් බවට හරවමින් සිටියෙ. ඒ සමගම මම කොළඹ ඇවිත් කොළඹ වැඩ කරන්න පටන් ගන්නවා. 71 මාර්තු අග වනවිට අපේ පන්දාස් ගාණක් අත්අඩංගුවෙ. හමුදාවෙ හිටිය අයත් අහුවෙලා තිබුණා. ඊට පස්සෙ ඉතිං අභිමුඛ වන සිදුවීම් සමග තමයි අපිට ඉදිරියට යන්න වුණේ. පහරදීම නොවිය යුතු දෙයක්. ඒත් එතනට යන්න සාධක සැකසුණා. එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ස්ථිර ලේකම් ආතර් රත්නවේල් මහතා ප‍්‍රකාශයක් කළා ජවිපෙ අංක එකේ සතුරෙක්. ඔවුන් සමූල ඝාතනය කළ යුතුයි කියලා. ඔය 1970දී. අපිව විනාශ කරනවයි කියලා කියද්දි අපි නිකම් ඉන්නෙ නැහැනෙ. එතැනින් තමයි සන්නද්ධවීම උත්සන්න වුණේ.

ලයනල් අත්අඩංගුවට පත්වුණේ කොහොමද?

කැරැුල්ල අසාර්ථකවීමත් සමග අපිත් තැනින් තැන ගමන් කරමින් සිටියා. පානදුරේ පන්සලක් අපේ මධ්‍යස්ථානයක් වෙලා තිබුණා. අප්‍රේල් පස්වැනිදායින් පසු දවසක් මමයි පක්ෂයේ ප‍්‍රධාන නායක මට්ටමේ කෙනෙකුයි ආරක්ෂාව පතා පන්සලට ගියා. ආරක්ෂාවට කියලා දෙන්නා මාරුවෙන් මාරුවට එළිය මුර කළා. පාන්දර මං නිදාගන්න වාහනෙට ගියා. මට ටිකකින් අඩි සද්දයක් එනවා. මං දොර හෙමින් ඇරලා බැලූවා. කට්ටියක් එනවා. එළියෙ හිටපු සහෝදරයා අතුරුදන්. මම නිදා ගත්තා. පොලිසිය ආවා. මට දෙක තුනක් දුන්නා. මං කිව්වා මම මේ රස්සාවක් හොයාගෙන ඇවිත් පන්සලේ නැවතිලා ඉන්නෙ කියලා. ඒත් මට ගැහුවා. පන්සලේ තිබුණු ආයුධත් අහුවුණා. ඒවා අපි වැසිකිළි වළට දාලා තිබුණේ. හාමුදුරුවන්ටත් ගහන කොට ඒක කියලා. මාව ගගහා පානදුරේ පොලිසියට ගෙනිච්චෙ. මම මොකුත් දන්නැහැම කිව්වා. එක දවසක් උදේ පාන්දර මාව එළියට ගත්තා. මං දැනගත්තා වැඬේ දෙන්න තමයි හදන්නෙ කියලා. එළියට බහින කොටම ඒ.එස්.පී. ආවා. ඇවිත් ඇහුවා කොහෙද මේ ගෙනියන්නේ කියලා. අරුං කිව්වා වැඬේ දෙන්න ගෙනියනවා කියලා. ඒ.එස්.පී. කිව්වා සේරම දාපං ඇතුළට කියලා.

ඔබ ලයනල් බෝපගේ බව හඳුනාගන්න වෙලාව මොකක්ද?

අපි මැගසින්වලට ගෙනියලා ටික දවසකින් සේරසිංහ කියන සහෝදරයව පුත්තලම පොලිසියට ආපහු අරන් ගියා. ඔහු පුත්තලමේ සිමෙන්ති සංස්ථාවේ සුපවයිසර් කෙනෙක්. සේරසිංහ මාව දන්නවා. මම සම්බන්ධ කරගත් කෙනෙක්. සේරසිංහට ගහනකොට මිනිහා කියලා තියනවා මමත් මැගසින් එකේ ඉන්නවා කියලා. ඊට කලින් මම කියලා වැරදිලා තව ලයනල් කෙනෙක්ව මරලත් තියනවා. කොස්ගම තුනීලෑලි එකේ මමත් ටික කාලයක් වැඩ කෙරුවා. එහේ හිටපු ලයනල් කෙනෙක් තමයි එහෙම මරලා තිබුණේ. මේ හැම තැනකදිම මට බලපෑවේ ලයියා කියන නමේ වාසිය. කවුරුත් ලයියා කිව්වා මිසක් ලයනල් බෝපගේ නම පක්ෂෙ 90%ක්ම දැනගෙන හිටියේ නැහැ. සේරසිංහ මං ගැන කියපු ගමන් හතරවැනි තට්ටුවෙ කට්ටිය මං හම්බවෙන්න ආවා. කොල්ලූපිටියෙ අප‍්‍රසිද්ධ තැනකදි මට හොඳටම දුන්නා. මං මොකුත් දන්නෑම කිව්වා. ගහලා ගහලා මාව දැම්මා බම්බලපිටියෙ පොලිසියට. මට ඇස් ලෙඩ හැදුනා. උන් ඒකට බයට මාව ආපහු මැගසින් ගෙනිහින් දැම්මා. තව දවසක් මාව හතරවෙනි තට්ටුවට ගෙනියලා ලොකු අතුලගෙ මූණට දැම්මා. මිනිහා මං කරපු සේරම කියලා අන්තිමට කිව්වා දැන් ඉතිං ලයියා හංගන්න දෙයක් නැහැ කියලා. ඒත් මං සමහර දේවල් හැංගුවා.

ඔබ සහ විජේවීර අතර තිබුණු පෑහීම් මොනවද? නොපෑහීම් මොනවද?

මම පක්ෂයේ ප‍්‍රධාන ලේකම් වුණාට පස්සෙ හුඟක් දේවල්වලදි අපි අතර පොදු එකඟතා තිබුණා. මාත් එක්ක හරි කිට්ටුයි. හැමෝම සමගම එයා කිට්ටු වෙන්නෙත් නැහැ. ජාතික ප‍්‍රශ්නෙදි එයා මුලින් ස්වයං තීරණ අයිතිය පිළිගත්තා. ඒ ප‍්‍රතිපත්ති සකස් කළේ මම. 82 ජනාධිපතිවරණයෙන් පසු ඔහු ඒ මතය වෙනස් කරනවා. මම දිගටම ස්වයං තීරණය පිළිගන්නවා. මට ඉවත් වෙන්න සිදුවෙන්නෙත් එතනදි.   ජාතිවාදයෙන් දිනන්න පුළුවන් කියලා පක්ෂයේ කොටසක් හිතුවා. විජේවීරත් ඒ පිළේ. තංගල්ලෙ පැවති සුප‍්‍රසිද්ධ මධ්‍යම කාරක සභා රැුස්වීමෙදි මතවාදී දෙකඩවීම සිදුවුණා. ඒ 83 ජුනියෙදි. මම  පක්ෂයෙන් ඉවත් වුණත් ඒක දිගටම ආරක්ෂා කළ කෙනෙක්.

මේ ප‍්‍රශ්නය සාකච්ඡා කරලා විසඳගන්න බැරිවුණාද?

මේ ප‍්‍රශ්නෙ ඔඩු දුවලා තියෙද්දි දවසක් මාව මතුගම පැල්පතකට අරගෙන ගියා රෝහණ සහෝදරයත් එක්ක සාකච්ඡාවකට. මම ගියේ සෝමවංශ සහෝදරයගේ බයිසිකලයේ පිටිපස්සේ. යනකොට මට පොඩි බයකුත් හිතුණා. මට මොනවාහරි වෙයිද දන්නෑ කියලා. ඒත් රෝහණ සහෝදරයා සාකච්ඡාවට ආවෙ නැහැ.

71දි ජවිපෙට රාජ්‍ය බලය ලැබුණා නම් මොකද වෙන්නෙ?

ලොකු විනාශයක් වෙන්නත් ඉඩ තිබුණා. මොකද එකිනෙකා සැක කරන තත්ත්වය හොඳ එකක් නොවෙයි. කොහොමටත් ඉතිං අපිට රාජ්‍ය බලය අරන් මොකක්ද කරන්නෙ කියලා සැලැස්මක් තිබුණෙත් නැහැ.

ඔබ තවමත් විශ්වාස කරන්නෙ වමද? නැත්නම් වම ගැන සිතමින් දක්ෂිණාංශය තුළ ජීවත් වෙනවද?

මම තවමත් දරන්නෙ වාමාංශික අදහස්. මීට වඩා සාධාරණ සමාජයක්  ඕනෑ.  ධනේශ්වර නිෂ්පාදන බලවේග වර්ධනය වෙන්න  ඕනෑ. ඒක වළක්වන්න කටයුතු කරන එක වැරදියි. හැබැයි දකුණෙත් වමෙත් දෙකේම අල්ලස දූෂණය තියනවා. අවම කරගැනීමයි කරන්න වෙන්නෙ.

ඔබේ හිතේ ඉන්න දේශපාලන ශ්‍රේෂ්ඨයා කවුද?

හෝචිමිං. ඔහු සරල දිවියක් ගෙව්වෙ. මිනිසුන්ට හරි සමීපයි. එමෙන්ම නිර්භයයි.

 ඕස්ටේ‍්‍රලියාවේදී ඔබේ දිවිය ගෙවෙන්නේ කොහොමද?

මම එරට කර්මාන්ත අමාත්‍යාංශයේ ඉංජිනේරු ක්ෂේත‍්‍රයේ රැකියාවක නිරතයි. වැඩිපුරම පර්යේෂණ කටයුතුවල නියුතුයි. සමාජ දේශපාලන කටයුතු කරනවා. මානව හිමිකම් හා ස්වාධීනත්වය පිළිබඳ සංවිධානයකත් මම වැඩ කරනවා. ලංකාවෙ ප‍්‍රශ්න ගැනත් අපි සාකච්ඡා කරනවා.

ලයනල්ට අඩියක් පුඩියක් ගහන පුරුද්දක් තියනවද?

මම ඉස්සර කෙටි කාලයක් වානේ සංස්ථාවේ වැඩ කළා. රෑ ෂිෆ්ට් එකේ සේරම බොනවා. මමත් දවසක් දෙකක් බිව්වා. ඒත් මම වැඩිපුර ඒකට ආස කළේ නැහැ.  ඕස්ටේ‍්‍රලියාවේදී ඔෆීස් එකේ කට්ටිය සෙට් වුණොත් බියර් එකක් ගහනවා.

බීම ඒ සා කිට්ටු කර නොගත්තේ පැරණි දේශපාලන විනය නිසාද?

ඒකමත් නෙවෙයි. මගේ ජීවන ශෛලිය තුළ බීම ලොකුවට නැහැ. අපේ ගෙදර හමුවක් තිබුණත් මම බීම දෙන්නෙ නැහැ. ඒ නිසා  ඕස්ටේ‍්‍රලියාවෙ යාළුවො බීම අරන් අපේ ගෙදර එන්නෙ.

ලයනල්ට නෝනා මුණ ගැහෙන්නෙ කොහොමද?

අපි 78දි එළියට ඇවිත් මානව හිමිකම් සංවිධානයක් හැදුවා. මම සුනිලා අබේසේකර, රෙජී සිරිවර්ධන වැනි අය අපි පැවිදි හා ගිහි පිරිස් හමුවන්න ගියා. මට චිත‍්‍රා හම්බ වුණේ කතෝලික සභාවේ සහෝදරියක් ලෙස ඉන්න කොට. එයා තිඹිරිගස්යාය පල්ලියේ සිස්ටර් සුපීරියර් හැටියටත් හිටියා. ඇය පල්ලිය ඇතුළෙ තියන ප‍්‍රශ්න ගැනත් කලකිරිලයි හිටියෙ. ආගමික මත රැුක්කාට ජනතාවගේ ප‍්‍රශ්න ගැන පල්ලිය මැදිහත්වෙන්නෙ නැති නිසා. ඒ කාලෙත් ඇය තොටළඟ පැල්පත්වාසීන් වෙනුවෙන් යම් යම් දේවල් කෙරුවා. ඔය අතරෙ අපේ සම්බන්ධය හැදිලා විමුක්ති ගීවලටත් එනවා. පසුව පල්ලියෙන් ඉවත්වෙලා අපි විවාහ වෙනවා.