පාර්ලිමේන්තු සැසිවාර විදහාපාන්නේ මහජන නියෝජිතයන්ගේ ඛේදවාචකයයි


parliment

මහාචාර්ය සරත් විජේසූරිය

සජීවි ලෙස විකාශනය කෙරුණු පාර්ලි මේන්තු සැසිවාර ගණනාවක් වෙත මම පසුගිය දිනවල අවධානය යොමු කළෙමි. මේ දිනවල අය වැය මුල් කරගෙන පැවැත්වුණ සැසිවාර කිහ‘පයක විවාදයන් සෑහෙන ප්‍රමාණයක් ද ගුවන් විදුලියෙන් ශ්‍රවණය කළෙමි. බහුතරයක් මහජන නියෝජිතයන් හිරිකිතයකින් තොරව තමන්ගේ නිරුවත විදහා දක්වන්නේ වියරු විලාසයෙනි. පාර්ලිමේන්තු සැසිවාර සජීවී ලෙස විකාශනය කිරීම මොන තරම් අසංස්කෘතික කටයුත්තක් දැයි මට සිතුණි.
පාර්ලිමේන්තුව රටේ උත්තරීතරම ආයතනය යයි කීම තරම් තවත් විහිළුවක් තිබේ ද? වරෙක මහජන නියෝජිතයන්ගෙන් ඇසුණේ අවිනීත නන්දෙඩවිලිය. තවත් වරෙක ඇසුණේ වනචරකම් ගැන ඔජ වැඩීම්ය. තවත් විටෙක කළ වෛරී ප්‍රකාශ සාහසිකය. විවාදයකට ගෞරවනීය අන්දමින් සහභාගිවනු දුටුවේ ජනතා විමුක්ති පෙරමුණේ කිහිප දෙනා සහ ද්‍රවිඩ සහ මුස්ලිම් මැති ඇමතිවරුන් කිහිප දෙනකු බව පැවසිය යුතුය. සිංහල භාෂාව කතා කළ සිංහල මැති ඇමති වරුන්ගෙන් බහුතරයකට සිංහල භාෂාව ශිෂ්ට සම්පන්න අන්දමින් හැසිරවීමේ අමව මට්ටම හෝ විනයක් නොවූ බව සත්‍යයකි. ‘අනේ අපොයි; අපේ රට පාලනය කරන මහජන නියෝජිතයන්ගේ තත්වය නම් අඳෝමැයි’ කියා යමෙකු පැවසුවහොත් එය සාධාරණය. රටේ ජනතාවගේ හැටියට ද මේ නායකයන් බිහිවී සිටින්නේ?
ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු මන්දිරය විවෘත කළ දා සරත් මුත් තෙට්ටුවේගම මන්ත්‍රීතුමා කළ කතාව මා එදා අසා සිටියේ පාසල් ශිෂ්‍යයෙකු ලෙසිනි. සියලු නායකයන් අලංකාර ගොඩනැඟිල්ල ගැන සාටෝපවත් වර්ණනා සිදු කරන විට මුත් තෙට්ටුවේගම මන්ත්‍රීතුමා සිය කතාවේ දී පැවසූ අදහසක් මෙසේය.
“වඩාත් වැදගත් වන්නේ මහජන නියෝජිතයන් එක් රැස් වෙන භෞතික ස්ථානය නොවේ. මහජන නියෝජිතයන් වාඩි වෙන ආසනවල තත්වය නොවේ. වඩා වැදගත් වන්නේ මහජන නියෝජිතයන් රටවැසියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා තීන්දු තීරණයි. මහජන නියෝජිතයන් ගන්නා තීන්දු තීරණ දෙස පොදු ජනතාව බලා සිටින්නේ ඉමහත් ගෞරවයෙන් බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි. මහජනයාට වැදගත් වන්නේ අප ගන්නා තීරණයි…..”
අද දවසේ පාර්ලිමේන්තුවේ කෙරෙන කතා අසන්නට මුත්තෙට්ටුවේගම මැතිතුමා ජීවතුන් අතර නැතිකම එතුමාගේ භාග්‍යයක් යයි මම සිතමි.

වාද විවාද
ආචාර්ය ඇන් ඇම් පෙරේරා විසින් ඉදිරිපත් කරන ලද ඇය වැය ලේඛනය මුල් කර ගත් විවාදයක් නැරඹීමට එකල පාර්ලිමේන්තුවට අපේ ගුරුභවතෙකු අප කැඳවාගෙන ගියේ ඉතා ගරු ගාම්භීර ලෙසිනි. ජේආර් ජයවර්ධන විවාදයට සහභාගි වෙමින් ඇන්ඇම් පෙරේරාගේ අය වැය ලේඛනය විවේචනය කළ අන්දම මට තවම මතකය. ඒ විවේචනයට ඇන්ඇම් පෙරේරා පිළිතුරු දුන් අන්දම ද මතකය.
එදා මහජන නියෝජිතයන්ගෙන් විද්‍යාමාන වූ ප්‍රධාන ලක්ෂණය නම් පාර්ලි මේන්තුවේ ගෞරවයට ඉවහල් වන ආකාරයට, ශිෂ්ට සම්පන්න ස්වරූපයකින් අදහස් පළ කිරීමය. සෑම කෙනෙකුම කතා කළේ තමන් මහජනතාව වෙනුවෙන් පෙනී සිටින නායකයන්ය යන ගෞරවනීය හැඟීමෙන් විය යුතුය. එදා ඒ අය වැය ලේඛනය මඟින් සත හැත්තෑ දෙකට තිබුණ සීනි රාත්තලක් රුපියල් හතයි පනහකට වැඩි කළේය. එවැනි මිල වැඩි කිරීම් ගැන සඳහන් කරමින් ජේආර් ජයවර්ධන මහතා කළ විවේචනය මෙසේය.
“..පොදු ජනතාවගේ නායකයෙකුගේ අය වැය යෝජනා තුළින් පොදු ජනතාව අමතක කරලා. පොදු ජනතාවගේ ජීවන බර වැඩි කරලා. මේ රටේ ජීවත්වන පොඩි මිනිස්සු ගැන පොදු ජන නායකතුමාට අමතක වෙලා….”
ඇන්ඇම් පෙරේරා දුන් පිළිතුර මෙසේය.
“…මසුන් මරන්නා මුහුදට ගිහින් දැල දාන්නේ ලොකු තෝරු මෝරු වැනි ලොකු මාළු අල්ලා ගන්නයි. ඒත් දැළට කුඩා මාළුත් අසු වෙනවා…”
ඒ පිළිතුරට ජේආර් ජයවර්ධන ගිරිය පුප්පා ගෙන කඩාපැන්නේ නැත. වෙනත් කෙනෙකු ගාල කඩාගෙන මැද්දට පැන්නේ ද නැත. සැබවින්ම ඒ විවාදය අපට රසවත් අත්දැකීමක් විය.
එදා සහ අද තත්වය සසඳා බැලීමටවත් නොහැකිය. ක්‍රමයෙන් අපේ පාර්ලිමේන්තුවෙන් වැදගත් වාද විවාද ගිලිහී ගොස් තිබෙන්නේ සියල්ල නාය යෑමකට හසුවුණ අන්දමටය. වත්මනෙහි පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන්ගේ තත්වය සලකා බලන විට මොනම හේතුවක් නිසා හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට තරම් නොවන පුද්ගලයන් බහුතරයක් මහජන වරමින් පත්ව සිටින බව පැහැදිලිය. මේ තත්වය උදා වූයේ කෙසේ ද?
ලංකාවේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම නිසා මේ තත්වය උදා වූ බව විස්තර කළ යුතු නැත. අද පාර්ලිමේන්තුවට පත්වන මහජන නියෝජිතයන් මහජනතාවට මොනම ආකාරයකටවත් වගකීමක් නැති පිරිසකි. ඒ තත්වයට මහජන නියෝජිතයන් අපුල්ලන ලද්දේ කුප්‍රකට අග විනිසුරු සරත් නන්ද සිල්වාය.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ සැණින් මහජන වරම අලුයම ඉවතලන කෙළ පිඬක් බවට සලකන පුද්ගලයන්ගේ වගකීම හා වගවීම තේරුම් ගැනීමට පාර්ලිමේන්තු සැසිවාර පවත්වන අවස්ථා කිහිපයක දී සභා ගර්භය දෙස බලා සිටීම වුව ප්‍රමාණවත්ය. සභා වාරයේ සිටින්නේ නිතරම ස්වල්ප දෙනෙකි. වෙන වැඩකට යන අතර හන්දියේ කඬේට ගොඩ වී යන අන්දමට ඇවිත් යන සොබාවයකය බොහෝ දෙනා පසුවන්නේ.
සෑම දිස්ත්‍රික්කයකටම අයිති සෑම ආසනයකින්ම අඩු වැඩි වශයෙන් නූගත් පාදඩයන් බලවතුන් සේ මැතිවරණ ව්‍යාපාරවල දී මතු වීම කාලයක් තිස්සේ සිදු විය. ඒ පාදඩයන් අතුරින් සැලකිය යුතු පිරිසක් කාලයාගේ ඇවෑමෙන් ජනතා වරම් ලබා ගෙන අද මහජන නියෝජිතයන් බවට පත්වී සිටිති. මේ අවාසනාවන්ත තත්වය පිටු දැකීමට ප්‍රධාන පක්ෂ දෙකටම වැදගත් න්‍යාය පත්‍ර නැත. ඒ නිසා මතුවටත් අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයන්ගෙන් බහුතරයක් සමාජ පාදඩකරණයේම මහරු ඵල වන නියතය. මේ අවාසනාවන්ත තත්වයට වගකිව යුත්තේ ජනතාව නොවේ ද? නූගත්කම හා දිළිඳුකම ඉහ වහා ගිය විසල් සමාජ තීරුවක් පවතින රටක ජනතාවගෙන් සාධනීය තීන්දු තීරණ අපේක්ෂා කළ හැකි ද?

තර්ක විතර්ක
බොහෝ විට මතු කෙරෙන කාරණාවක් වන්නේ නූගත් පුද්ගලයන් පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සෝදාපාළුවට හේතුව බවයි. මෙය තර්කයක් වශයෙන් ප්‍රබලය. එහෙත් ජනාධිපති නීතිඥ පදවියක් උසුලන, ආචාර්ය උපාධිලාභී අමාත්‍යවරයෙකු පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් කතා කරන අන්දම ද අපි අද දකින්නෙමු. එවිට යථෝක්ත තර්කය නිශේධනය නොවන්නේ ද? මට හ‘තෙන්නේ තමන් ප්‍රාඥයෙකු බව තමන්ම පවසා ගත් තැනැත්තා උගතෙකු වුව බුද්ධිමතෙකු නොවීම මෙහ‘දී විශද වූ කාරණාව බවයි. නූගත් තැනැත්තෙකු සිදු කළ දූෂණ වංචා සමඟ ප්‍රාඥයෙකු සිදු කර තිබෙන දූෂණ වංචා සලකා බලන විට ද අපට උගත හැකි දේ බොහෝය. අවාසනාව රටේ ජන මාධ්‍ය මේ බොල් පිළිම නිසි අන්දමින් අනාවරණය නොකිරීමය. ඒ වෙනුවට ඔවුන්ගේ ප්‍රතිරූප තව තවත් ගොඩ නැඟීමය.
පාර්ලිමේන්තු සැසි වාරවලදී තර්කානුකූලව කතා කිරීමට මහජන නියෝජිතයන්ගේ අසමත් කම නිතර කැප’ පෙනේ. තර්කානුකූලව අදහස් පළ කරන මහජන නියෝජිතයෙකුට ඉවසී මෙන් ඇහුම් කන් දී සිටින්නට තරම් විනයක් පවා ඇතැමෙකුට නැත. තර්ක කිරීමට යම් දැනුමක් අවශ්‍ය වේ. ඒ සඳහා කරුණු කාරණා ද අවශ්‍ය වේ. බොහෝ දෙනෙකු පාර්ලිමේන්තුවට එන්නේ උදේ හන්දියට ගොස් ටිකක් රස්තියාදු වෙමින් සිට ලැබෙන වැඩක් කර කීයක් හරි හම්බ කර ගන්නා මානසිකත්වයෙන් මඬනා ලද ‘අසරණයන්’ සේය. ඔවුන්ට වගකීමකින් කිසිවක් කිරීමේ අවශ්‍යතාවක් ද නැත. ඔවුන් කරන්නේ කාගේ හෝ අවශ්‍යතාවක් ඉටු කිරීමය. මොන අන්දමකින් හෝ ජන වරමක් ලබා ගත්ත ද, ‘අසරණයන්ට’ රටේ නීති හදන තැන, ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කරන තැන ඒ කිසිවක් වෙනුවෙන් මැදිහත්වීමට නොහැකිය. එවැනි පුද්ගලයන්ට විවාදයක දී විරුද්ධ මත පළ කිරීමට, යම් යම් අදහස් තර්කානුකූලව ගෙනහැර දැක්වීම ද නොහැකිය. එපමණක් නොව, තර්කානුකූලව සිදු කෙරෙන වාදයක් ඉවසා සිටීමට ද ඔවුන්ට නොහැකිය. මේ තත්වය වෙනස් කිරීමට පසු ගිය මැතිවරණ සමයේ දී, පැෆ්රල් සංවිධානය මගින් එළි දක්වන ලද මාර්තු 12 ප්‍රකාශනයට විවෘතව අත්සන් කරමින් සියලු දේශපාලන පක්ෂවල නායකයෝ කැමැත්ත පළ කළහ. එහෙත් කිසිම හ‘රිකිතයක් නැතිව විවිධ චෝදනා හා fදා්ෂාරෝපණවලට නම් දරා සිටි සියලු දෙනාටම පාහේ නාම යෝජනා ලබා දීම සිදු කෙරිණි. ෆැෆ්රල් සංවිධානය මඟින් සමාජගත කළ මාර්තු 12 ප්‍රකාශනය වෙනුවෙන් පෙනී සිටි, සාධනීය කාර්යභාරයක් ද සිදු කළ සියලුම මාධ්‍ය ආයතන, කිසිම හ‘රිකිතයක් නැතිව අවසන දී විවිධ චෝදනා හා fදා්ෂාරෝපණවලට නම් දරා සිටි සියලු දෙනාම පාහේ තම තමන්ගේ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ වැඩසටහන්වලට කැඳවමින් ඔවුන්ට ප්‍රතිරූප තනා ගැනීමට සහයෝගය ලබා දුන් බව සත්‍යයකි. උග්‍ර ජාතිවාදීන් ද, ආගමික අන්තවාදීන් ද කැඳවමින් ජන විඥානය දූෂණය කිරීමට මාගල් දිග හැර දෙමින් සිදු කළ අනර්ථයන් නිසාම පාර්ලිමේන්තුව අසලකටවත් යෑමට නොතරම් පුද්ගලයන් බලවත් චරිත බවට පත් කළේ රටේ ජනමාධ්‍ය බව කනගාටුවෙන් වුව කිව යුතුය.

අශ්ලීලත්වය
කවර සංදර්භයක දී වුව කවර මට්ටමක පුද්ගලයෙකු වුව කතා කරන විට, අදහස් පළ කරන විට ඔහුගේ ආකල්ප, ඔහු පෙනී සිටින සාර ධර්ම පමණක් නොව ඔහුගේ චරිතය ද යම් ආකාරයකට විiමාන වන්නේය. දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ, වැදගත් අමාත්‍ය පදවි දැරූ, ජ්‍යෙෂ්ඨ මෙන්ම වැඩිහ‘ටි මහජන නියෝජිතයන්, මොන තරම් පහත් චරිත ලක්ෂණ තිබෙන උදවිය ද යන්න විදහාපෑවේ, තමන්ම තමන්ගේ ඇඳිවත උනා සෙළුව ලෝකයට පෙන්වන්නා සේය. කිසිම අන්දමකින් අදාළ නොවන කාරණා ඉවහල් කරගෙන ඇතමෙකු යටිගිරියෙන් කෑ මොර දෙන්නේ චාරයක් නැති ප්‍රචණ්ඩ මැරවරයන් විලසිනි. දූෂණ වංචා පිළිබඳ නම් දරා සිටින අමාත්‍යවරයෙකු දූෂණ වංචා ගැන කතා කරන්නට වූයේ තමන් ඉතාම පාරිශුද්ධ දේශපාලනඥයෙකු බව තමන්ම පවසමිනි.

වෛරය සහ ද්වේෂය
අය වැය විවාදවලදී බල අරගලය සම්බන්ධ තත්වයන් විiමාන වීම පොදු තත්වයකි. දේශපාලනයට එය අදාළය. එනමුත් එහ‘දී වුව අනුගමනය කළ යුතු සම්ප්‍රදායන් ඇත. ඇතැම් වැය ශීර්ෂ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් අදහස් පළ කළේ තමන්ගේ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් අවශ්‍ය නිසි ආලෝකය ලැබෙන පරිද්දෙනි. එහෙත් ඒකාබද්ධ විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මහජන නියෝජිතයන් ද සැලකිය යුතු පිරිසක් අදහස් පළ කිරීමේ දී පෙන්නුම් කළේ වෛරය සහ ද්වේෂයයි.
පාර්ලිමේන්තුව පවත්වා ගෙන යාම සඳහා වැය කරන මහා ධනස්කන්දය අදාළ වන්නේ පුද්ගල කෝන්තර පිරිමසා ගැනීමේ අභිප්‍රායන් උදෙසා ද? වෛරය සහ ද්වේෂය පැතිරවීම සඳහා ද?

විපරීත කෝළම් මඩුවක්
ලංකාවේ පාර්ලි මේන්තුවේ කථානායක ධුරය දැරූ තිදෙනෙකුගේ මුවින් පිටවුණ වැකි තුනක් මෙසේය.
“මේ ගරු සභාව කෝළම් මඩුවක් කරන්න එපා……” : විජමු ලොකු බණ්ඩාර.
“ගරු මන්ත්‍රීවරු තේරුම් ගන්න මේ සභාව කෝළම් මඩුවක් නෙමේ….”: චමල් රාජපක්ෂ.
“මම බොහොම කනගාටු වෙනවා තමුන්නාන්සේලා මේ ගරු සභාව කෝළම් මඩුවක් කර ගන්න හදන එක ගැන……”: කරූ ජයසූරිය.
අපේ රටේ උත්තරීතර ආයතනය ලෙස සලකන පාර්ලිමේන්තුව කෝළම් මඩුවක් කර නොගන්නා ලෙස අවධි තුනක කථානායකවරුන් තිදෙ නෙකු අවවාද කළ ද පලක් වී නැත. දැන් තිබෙන ප්‍රශ්නය කෝළම්කාරයන් වෙනුවෙන් මහජන මුදලින් මහා ධනස්කන්දයක් වැය කරන්නේ කුමට ද යන්නයි. කෝළම්කාරයන්ගේ ආරක්ෂාව පිණිස විශාල පිරිස් බලයක් හා ධනයක් දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල්වලින් වෙන් කරන්නේ කුමකට ද යන්නයි.■