මහබැංකුවේ මගඩිවලට ඊපීඑෆ් බිල්ලක් වෙන්න දෙන්න බෑ | විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා

තරිඳු උඩුවරගෙදර

ඊපීඑෆ් අරමුදල සම්බන්ධයෙන් බැඳුම්කර ගනුදෙනුව ගැන සාකච්ඡාවේදී මතුවුණා. ඔබ කලිනුත් මේ ගැන කතාකරලා තියෙනවා නේද?
ඔතැන තියෙන්නේ අවුරුදු පණහකට එහා ගිය ප්‍රශ්නයක්. ඕක මම අවුරුදු පහක් තිස්සේ කතාකළ දෙයක්. ඉලංගරත්න මහත්තයා ඕක ගෙනා අවස්ථාවේ කිව්වේ පුද්ගලික අංශයේ අය විශ්‍රාම යන දවසට ගන්න තියෙන අරමුදලක් මේක කියලා. මේ මුදල් ආයෝජනය කරන්න ඕනෑ මනුස්සයාට විශ්‍රාම යනකොට ඉහළ ප්‍රතිලාභයක් ගන්න පුළුවන් වෙන විදියට. එතකොට පනස්ගණන්වල තාවකාලික වැඩපිළිවෙළක් හැටියට මහබැංකුවට මේ අරමුදල පරිපාලනය කිරීම බාරදුන්නා. මහබැංකුව රජයේ ණය පරිපාලනය සම්බන්ධයෙන් තීරණ ගන්නා ආයතනය. අවුරුදු පනහක් තිස්සේ අර්ථසාධකය තියෙන හින්දා ණය ගන්න අවශ්‍යතාව තියෙන නිසා මෙතැන සිද්ධවුණේ අමුතු වැඩක්. මට මෙච්චර ණය ඕනෑ කියලා මහබැංකුව කියද්දී මම මෙච්චර ණය දෙන්නම් කියලා මහබැංකුවම කියනවා. මහබැංකුව බලන්නේ ඊපීඑෆ් අරමුදලේ ආයෝජනය කළ ජනතාවට උපරිම ලාභ අරන් දෙන්න නෙවෙයි. අඩු පොලියට ණය දීලා ආණ්ඩුවට උපරිම ලාභ අරගෙන දෙන්න. ඕක සිද්ධවෙනකොට ළබැඳියාවන්ගේ ගැටුමක් ඔතැන තිබුණා. දිගින් දිගටම වැඩකරන ජනතාවට පාඩුවක් සිද්ධවුණා. මෙය යම් විදියකට වෙනස් කරන්න තමයි වෙන්දේසි ක්‍රමය ගෙනාවේ. ඒක ගෙනාවේ දෙදාස් ගණන්වල මුල් කාලයේ මහබැංකුව ප්‍රතිසංවිධානය කරලා දියුණු කරන්න ඕනෑය කියන අදහසත් එක්ක. කොටස් වෙළෙඳපොළ, භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර වෙන්දේසිය නවීකරණය කරන්න ඕනෑ කියන අදහසත් එක්ක. ඉන්පස්සේ 2008 නිවාඞ් කබ්රාල්ලා කළේ වෙන්දේසි ක්‍රමයට යන්නේ නැතිව පෞද්ගලික ගනුදෙනුවලින්. ඒ නිසා තමයි අගමැතිතුමා මේ ආණ්ඩුව යටතේ වෙන්දේසි ක්‍රමයට මාරුවෙන්න ඕනෑ කියලා ප්‍රතිපත්තිමය තීරණයක් ගන්නේ. ඒක වංචාකාරී අදහසක් යටතේ ගත්ත තීරණයක් නෙවෙයි. ඉහළ පොලී අනුපාතයක් ලබාගන්න පුළුවන් වෙන්දේසි ක්‍රමයෙන්. පෞද්ගලික ගනුදෙනුවලින් ලබන්න පුළුවන් අඩු පොලී අනුපාතයක්. කෝප් කමිටුවේදී මේක හරියට අර්ථකථනය වුණේ නැහැ. ප්‍රතිපත්තිමය තීරණය වෙනයි. ඒක වෙන්නේ පනස්ගණන්වල වුණ වැරැද්දක් හරිගස්සන්න. ඒක අපි එක පාරම කළ දෙයක් නෙවෙයි. මම දිගින් දිගටම තර්ක කළේ අර්ථසාධක අරමුදල රජයේ හිමිකම යටතේ මහබැංකුව තුළ තිබිය යුතු නැහැ කියන එක. ඒක මහබැංකුවෙන් පිටත රජයේ ආයතනයක් හැටියට තිබිය යුතුයි. පොලි අනුපාතය මත සාධාරණ පොලියකට අර මුදල් ආයෝජනය වෙන්න ඕනෑ කියන එක මම අවුරුදු පහක් තිස්සේ කිව්වා.

එහෙත් කෝප් කමිටු වාර්තාවේදී මේ ප්‍රතිපත්තිමය තීරණයත් ප්‍රශ්න කරලා තියෙනවා.
කෝප් කමිටුවේදී ප්‍රතිපත්තියට පහර ගහන එකත් සිද්ධවුණා. ඒකට පහර ගහන එකේ තේරුමක් නැහැ. ගනුදෙනුවේ ගැටලුවක් තියෙනවා නම් අපි කිව්වා ඔව්, ගනුදෙනුවට මහබැංකුවේ හිටපු අධිපතිවරයා වගකිව යුතුයි කියලා. නැතුව ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ.

අගමැතිවරයා වගකිව යුතුයි කියන තර්කය ගෙනෙන්නේ ඔහු වෙන්දේසි ක්‍රමයට යන්න තීරණයක් ගත්තාය කියන පදනම මත නේද?
ඒක තමයි, ඒ තීන්දුව අදාළ කරගන්නේ කොහොමද? ඕනෑ කෙනෙකුට මම අභියෝග කරන්නම්. අයිතිකරුවන්ට ලැබිය යුතු පොලිය ලබාගන්න තියෙන හොඳම ක්‍රමය වෙන්දේසි ක්‍රමය බවට තර්කයක් නැහැ. අයිතිකරුවන්යැයි කීවේ සුවහසක් වැඩකරන ජනතාව. වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් ගැන යම් විදියකින් හෝ මතයක් දරන පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුට කියන්න බැහැ වැඩකරන ජනතාවගේ ඉතිරිකිරීම්වලට වෙළෙඳපොළේ අනිත් අයට වඩා අඩු පොලියක් දිය යුතුයි කියලා. ඒ නිසා අගමැතිතුමා ගත්ත ප්‍රතිපත්තිමය තීරණයේ වැරැද්දක් නැහැ. එහෙත් බැඳුම්කර ගනුදෙනුවේ වැරැද්දක් කරලා තියෙනවා.

අපි පෞද්ගලික අංශයේ සේවකයන් විදියට අර්ථසාධක අරමුදලට මුදල් මාසිකව යවනවා. හැබැයි ඒ මුදල් අවුරුදු ගණනකට පස්සේ එළියට ගන්නකන් අපි දන්නේ නැහැ මුදල්වලට වෙන්නේ මොනවාද කියලා. අපි කැමති විදියට ඒ මුදල් ආයෝජනය කරන්න බැහැ. තාක්ෂණය මේ තරම් දියුණු කාලෙක ජනතාවට අයත් මුදල් සම්බන්ධයෙන් මීට වඩා විනිවිදභායෙන් යුතු යාන්ත්‍රණයක් හදන්න බැරිද?
ඇත්තටම මම ඔබ එක්ක සීයට දෙසීයක් ඉන්නවා. අපි හිතමු තරුණයෙක් හෝ තරුණියක් අලුතින් රස්සාවට බැඳෙනවා. අවුරුදු විසිගණන්වල කෙනෙක් හැටපහ විතර වෙනකන් වැඩකළා කියලා හිතමු. එයා අවුරුදු හතළිස් දෙකක් වෙනකන් වැඩකරනවා. ඒ අවුරුදු හතළිස් දෙක ඇතුළේ කෙනෙකුගේ ජීවිතයේ විවිධාකාර වෙනස්කම් වෙනවා. මුලින්ම තරුණයෙක් ටිකක් අවදානම් සහගත වැඩ කරන්න ආසයි. මෝටර් සයිකලයක් ගත්තත් වේගය ගැන බියක් නැතිව පදිනවා. විනෝදයෙන් ඉන්නවා. මේ කාලයේ අවදානමක් ගන්න බයක් නැහැ. ඉතින් එහෙම කෙනෙක් කැමති වෙන්න පුළුවන් වැඩිපුර අවදානමක් සහිත වැඩිපුර ලාභ තියෙන තැනක ආයෝජනය කරන්න. කොටස් වෙළෙඳපොළ වගේ තැනක. හැබැයි ඉන්පස්සේ ටිකක් වයස ගියාම විවාහ වෙලා දරුවන් ලැබෙන්න ගත්තාම ජීවිතේ අලුතින් තීරණ ගන්නවා. නෝනා මහත්තයා පවුලේ බොස් වෙනවා. ඉතින් ඒ කාලේ හිතන්න ගන්න පුළුවන් පරෙස්සමෙන් ආයෝජනය කරන්නත් ඕනෑ කියලා. ඒ නිසා හිතනවා සීයට පනහක් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරලා ඉතිරි කොටස් භාණ්ඩාගාර බිල්පත්, රජයේ සුරැකුම්පත් හෝ බැඳුම්කරවල ආයෝජනය කරන්න ඕනෑ කියලා. ඉන්පස්සේ වයසට ගිය කෙනෙක් හිතනවා සම්පූර්ණයෙන් රජයේ සුරැකුම්පත් හෝ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරන්න ඕනෑ කියලා. මිනිස්සු විවිධාකාරයි. එකිනෙකාගේ කැමැත්ත වෙනස්. ලාභ ලැබීමේ සැලසුම් එකිනෙකට වෙනස්. ඔබ නිදහස් ස්වාධීන පුද්ගලයෙක් හැටියට ඔබට අයිතිය තියෙන්න ඕනෑ ඔබේ ඉතිරිකිරීම් කොටස් වෙළෙඳපාළේ, බැංකුවේ හෝ විදේශ විනිමය වගේ තැනක දාන්න තීරණය ගන්න. දැන් එහෙම තීරණ ගන්න බැහැ. දැම්මා නම් දැම්මා.

මෙවන් තත්ත්වයක් ඇතිකරන එක අමාරු කාරණයක්ද?
අවංක වුවමනාවක් තියෙනවා නම් ඒක අපහසු නැහැ. අර්ථසාධක අරමුදල්වල තියෙන්නේ මගේ පෞද්ගලික මුදල් නම් ඒක ගැන තීරණ ගන්න මට අයිතියක් තියෙනවා කියන එක බොහොම පැහැදිලි කරුණක්නේ. හැබැයි මේක ගැන කවුරුවත් ප්‍රමාණවත් අවධානයක් යොමුකරන්නේ නැහැ. මේ බිලියන ගණනක මුදල් තියෙන ලංකාවේ ලොකුම අරමුදල. ජනතාවගේ අරමුදල. හැබැයි සේවකයන් වෙනුවෙන් පෙනීඉන්න අය පවා මේක ගැන කතාකරන්නේ අඩුවෙන්. දැන් තියෙන ක්‍රමය යටතේ වෘත්තිය සමිතියකටවත් නිරීක්‍ෂණය කරන්න ඉඩක් නැහැ. අර්ථසාධකය කළමනාකරණය කරන බෝඞ් එකේ ඇන්ටන් මාකස් හෝ රන්ජන් ජයලාල් හෝ වසන්ත සමරසිංහ හෝ වෙනත් වෘත්තීය සමිති නායකයෙක් නැහැ. ඒ අයට අයිතියක් නැහැ තමන් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් කතාකරන්න. ඒක වැරදි තත්ත්වයක්. ඉතින් කිසිම විදියකට මගේ සල්ලි කොහොමද ආයෝජනය කරන්නේ කියලා දැනගන්න ජනතාවට බැහැ. මම කියන්නේ දැන් අපට තාක්‍ෂණය තියෙනවා. ඉස්සර කරන්න බැරි දේවල් දැන් කරන්න පුළුවන්. ඒ නිසා වෙනස් කරන එක අමාරු නැහැ. වෘත්තීය සමිති නායකයන් හරි නියාමන වැඩපිළිවෙළක් වෙනුවෙන් ඉස්සරහට එන්න ඕනෑ.

තෝරාගැනීම් මොනවාද?
මම කියූ විදියට තමන්ගේ ජීවිත කාලයේ කැමති වෙලාවට කැමති විදියට ආයෝජනය කරන්න අවස්ථාවක් දෙන්න ඕනෑ. අපට පුළුවන් තෝරාගැනීම් පහක් දෙන්න. කොටසක් කොටස් වෙළෙඳපොළට දාන්න පුළුවන්. නැත්නම් රජයේ සුරැකුම්පත්වල, බැඳුම්කරවල, භාණ්ඩාගාර බිල්පත්වල ආදි වශයෙන් තමන්ගේ ජීවිතේ තීරණය කරලා ආයෝජනය කරනවා. වාර්ෂිකව හෝ මාසිකව තෝරාගැනීම් කරන්න පුළුවන්. ඒකට තාක්‍ෂණය පාවිච්චි කරන්න පුළුවන්.

අවදානමක් ගන්නවා කියන්නේ මොකක්ද?
අපි අවදානම කියන එක ගනිමු. අවදානම වුණත් අපට පුළුවන් අඩු කරන්න. අජිත් නිවාඞ් කබ්රාල් සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී විදියටනේ ආයෝජනය කළේ. මහබැංකු වංචා ගැන බලන්න ඕනෑ නම් බලන්න කබ්රාල්ගේ වැඩ දිහා. අර්ථසාධකයේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන්න පුළුවන් කියලා රජය තීරණයක් ගත්තාම කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම ගැන මෙහෙයුම් අත්පොතේ තිබුණා බ්ලූ චිප්වලින් එහාට ආයෝජනය කරන්න බැහැ කියලා. ඒ කියන්නේ අවදානම් තියෙන තැන්වල, අහුවෙන අහුවෙන තැන්වල ආයෝජනය කරන්න බැහැ කියලා. මේවා ගලදාරී හෝටලයට දාන්න බැහැ. ලාෆ් ගෑස් එකේ දාන්න බැහැ. රයිගම් සෝල්ට් කම්පැණියේ දාන්න බැහැ. දේශපාලන කම්පැණිවල දාන්න බැහැ. ජෝන් කීල්ස්, හේලීස් වගේ තැන්වල දාන්න පුළුවන්. කබ්රාල්ලා වගේ නීති කඩන්නේ නැතිව, විශ්වාසදායක සමාගම්වල ආයෝජනය කළොත් සේවකයාට අවදානමක් නැහැ. දැන් බැංකුවල ආයෝජනය කරන්න බැරි මහබැංකුව විසින් බැංකු නියාමනය කරන නිසායි. මහබැංකුවෙන් එළියේ ස්වාධීන ආයතනයක් කළොත් මේ මුදල් සම්පත් බැංකුවේ, කොමර්ෂල් බැංකුවේ, එච්එන්බී එකේ දාන්න පුළුවන්.

ඔබ කබ්රාල්ලාගේ වංචා ගැනත් සඳහන් කළා නේද?
මහබැංකුවේ සිද්ධවුණ දේවල් ගැන මම අවුරුදු පහක් තිස්සේ කිව්වා. යකෙක්ටවත් තේරුණේ නැහැ. දැන් බලාගෙන හිටියා වගේ මහබැංකුවේ සිද්ධවෙන දේවල් ලියන මාධ්‍ය ඒවා ගැන කටක් හෙල්ලුවේ නැහැ. මම කිව්වා පම්ප් ඇන්ඞ් ටම්ප් ගැන. කිසිදෙයක් තේරුණේ නැහැ. ඒ කාලයේ සිද්ධවුණ දේවල් ගැන කවුරුහරි හෙව්වොත් බලාගන්න පුළුවන්. දැන් අපි ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තාම බොරුවට වාද කරන්න එනවා. ආයෙමත් මම කියන්නේ වැරැද්දක් වුණා. හැබැයි ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණය නොවෙයි.
ආණ්ඩුවෙන් යම් උත්සාහයක් ගත්තා මේවා ප්‍රතිසංවිධානය කරන්න. හැබැයි ලොකු සටන් පාඨයක් ආවා අර්ථසාධකයට අත නොතබනු කියලා.
මෙහෙමයි. ගියපාර රාජපක්ෂ යුගයේදීත් මේකේ තිබුණ ඒවා අරගෙන පෙන්ෂන් එකක් හදනවා කියලා මහා ලොකු බොරුවක් කරන්න හැදුවා. මේකෙන් එහෙම කරන්න බැහැ. මේක මේ විදියටම තියාගන්න ඕනෑ. අපේ ආණ්ඩුවෙන් කරන්න හැදුවේ රාජපක්ෂලා කරන්න හැදූ දේ නෙවෙයි. ඇත්තටම ඊපීඑෆ්, ඊටීඑෆ් එකතුකළා කියලා ලොකු වෙනසක් නැහැ. මේ දෙක එකතුකරන්න එපා කියන එක දේශපාලන සටන් පාඨයක් විතරයි. හැබැයි මේ දෙක එකතුකරන්නේ නැහැ කියලා හිතමු. ඊපීඑෆ් එක ගත්තත් අපට පුළුවන් මේකට කිසි හානියක් නොකර නියාමනය කරන්න. මේක මේ විදියට තියාගෙනම රජයේ ආයතනයක් විදියට වෘත්තීය සමිති නියෝජිතයන්ගේ නියෝජනයත් එක්ක ස්වාධීනව පාලනය කරන්න අවස්ථාව ලබාදෙන්න පුළුවන්.

මුදල් ලබාගන්න විදිය ගැනත් තීරණය කරන්න පුළුවන් නේද?
කෙනෙකුට තමන්ගේ මුදල් ආයෝජනය කරලා තියෙන විදිය බලලා තමන්ට ලැබිලා තියෙන මුදල් එකතුව කැමති ක්‍රමයකට ලබාගන්න පුළුවන්. කෙනෙක් පෙන්ෂන් එකක් විදියට මාසිකව බලාපොරොත්තු වෙන්න පුළුවන්. තවත් කෙනෙක් එකපාරම බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොටස් දෙකකට, තුනකට හෝ හතරකට බලාපොරොත්තු වෙන්න පුළුවන්. කොටසක් එක පාර අරන් ඉතිරි ටික මාසිකව බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේවා ගැන තවත් සංවාදයක් ඇතිවිය යුතුයි කියලා මම හිතන්නේ. ඊපීඑෆ් අරමුදල කියන්නේ ලංකාවේ වැඩිවෙමින් පවතින විශ්‍රාමික මිනිසුන්ට තමන්ගේ විශ්‍රාමික ජීවිතය සැලසුම් කරන්න ලැබෙන මුදල්. මහබැංකුව ඇතුළේ මගඩිවලට මේ මුදල් බිල්ලක් වෙන්න දෙන්න බැහැ.■