රාජපක්ෂට මාධ්‍ය නිදහස මතක්වීම සහ ආණ්ඩුවේ සූදානම


sunada

මහින්ද රාජපක්ෂට හදිසියේම මාධ්‍ය නිදහස මතක් වී ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහුට හිතේ අමාරුව ඇතිවී තිබුණේ සිය පුත්‍රයාගේ සීඑස්එන් නාලිකාව වසාදැමීම සහ තමාගේ හොරණෑවක් වන ‘දෙරණ’ රූපවාහිනියට ජනමාධ්‍ය ලේකම් විසින් කරුණු විමසා ලිපියක් යැවීම නිසාය.
සිරස සහ සියත රූපවාහිනී ආයතනද, සන්ඬේ ලීඩර්, උදයන් සහ ලංකා ඊනිව්ස් මාධ්‍ය ආයතනද සිය පාලන සමයෙහිදී ගිනිතැබූ බව සමහර විට රාජපක්ෂ මහතාට මතක නැතිව ඇත. එම අවස්ථාවන්හිදී ඔහුට ජනමාධ්‍ය නිදහස ගැන කැක්කුමක් ඇතිවූයේ නැත.
ජනාධිපති වීමට පෙර ඔහු මාධ්‍යකරුවන්ගේ මිතුරෙක් විය. ඔහුට මාධ්‍ය ආවරණය ලබාදීමට රනිල් වික්‍රමසිංහ විසින් යොදවන ලද එජාප හිතැති ජනමාධ්‍ය කණ්ඩායමක්ම සිටියේය. එහෙත් ජනාධිපති වීමෙන් පසු ඔහු ජනමාධ්‍යට කීවේ ‘එක්කෝ මා සමඟ නැත්නම් ද්‍රෝහීන් සමඟ’ යන දෙපාර්ශ්වයෙන් එක් පැත්තක් තෝරාගන්නා ලෙසය. රාජපක්ෂ දශකය ජනමාධ්‍යවේදී ඝාතන, පැහැරගැනීම්, ප්‍රහාර සහ මාධ්‍ය ආයතන වසාදැමීම සහ ගිනිතැබීම් මෙන්ම වරදාන හෝ බිය හෝ මගින් යටපත් කරගැනීම් යනාදි බියකරු සිදුවීම් මගින් පිරීගියේ ඉන් අනතුරුවය.
ඒ තිබියදීත් දැන් බලයෙන් ගිලහී ගිය රාජපක්ෂ මහතාට ජනමාධ්‍ය නිදහසේ අගය තේරුම්යෑම හොඳ දෙයකි. මන්ද යත් ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය ජනමාධ්‍ය හරහා ගෙනයෑමට, එය ප්‍රජාතන්ත්‍රවාදී සීමාව තුළ සිදුවන තාක්, ඒ මහතාට අයිතිය තිබිය යුතු නිසාය.
අපට වැදගත් ප්‍රශ්නය මෙයයි. එනම් රාජපක්ෂ පෙනීසිටින්නේ තමන්ට පක්ෂපාතී ජනමාධ්‍ය ආයතනයන්හි නිදහස වෙනුවෙන් පමණක්ද යන්නයි. මෙම ආණ්ඩුව යටතෙහි ඉහත කී රාජපක්ෂ මාධ්‍ය හැරුණු විට අනෙක් මාධ්‍ය සහ මාධ්‍යවේදීන් අතවරයන්ට සහ තර්ජනයන්ට ලක්වූ නමුත් රාජපක්ෂ කටක් ඇරියේ නැත.
එපමණක් නොවේ. රාජපක්ෂ අනුගාමිකයකු බව පෙනෙන අන්තවාදී චණ්ඩියකු කතාකිරීමේ නිදහස අවභාවිත කරමින් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මුස්ලිම් ජනයා ඝාතනය කරන්නට වරෙව් කියා ඝෝෂාකරන විට රාජපක්ෂ කටක් ඇරියේ නැත. බෞද්ධ චීවරයට පවා නිගාදෙන ලෙස, තවත් රාජපක්ෂ අනුගාමිකයකු බව පෙනෙන, මඩකළපුවේ සිවුරුධාරියකු එලෙසම කතාකිරීමේ නිදහස අවභාවිත කරමින් කුණුහරුප දෙසමින් දෙමළ රජයේ සේවකයකු මරාදමන බවට තර්ජනය කරන විට රාජපක්ෂ කටක් ඇරියේ නැත.
ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනීසිටීම යන්නට එම නිදහස අනිසි ලෙස භාවිත කරමින් වෛරය වැපිරවීමට මෙන්ම අනෙකෙකුට හෝ අනෙක් ප්‍රජාවකට එරෙහිව කැරෙන උසිගැන්වීම්වලට විරුද්ධවීමද අයත්ය. කවර හෝ අයිතියක් මගින් වෙනත් අයකුගේ අයිතියක් පාගාදැමීමට ඉඩක් නොතැබිය යුතුය. ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරගත හැක්කේ එවැනි අවභාවිතයන්ට ඍජුවම විරුද්ධවීම මගිනි.
ඍජුවම දක්නට ලැබෙන ඥානසාර පන්නයේ වෛර ප්‍රකාශන හැරුණු විට පුළුල් අර්ථයෙන් ප්‍රකාශනයේ නිදහස අවභාවිතයේ යෙදවීම යන්න තුනී බෙදුම් ඉරකින් තීරණය වන කරුණකි. බොහෝ විට මෙම බෙදුම් රේඛාව බොඳව ගිය සහ වකගැසුණු එකකි.
ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලකයන් මහජනයාගේ ප්‍රකාශනයේ නිදහස පාලනය කිරීමට යොදාගනු ලැබ ඇත්තේ ද මෙම න්‍යායමය. එනම් මාධ්‍ය නිදහස අනිසි ලෙස ප්‍රයෝජනයට ගන්නේය යන කඩතුරාවට මුවාවී මර්දනය දියත් කිරීමයි.
වත්මන් ආණ්ඩුවේ ප්‍රධානීන්ද පසුගිය කාලය පුරා තමන්ට අවාසිදායක පුවත් පළකරන්නේයැයි හඟින මාධ්‍යයන්ට සිය විරෝධය විවිධාකාරයෙන් පළකර තිබේ. එයද ඔවුන්ගේ අයිතියකි. එසේ නමුත් එම විරෝධයන් ප්‍රකාශ කරන ආකාරය සමහර විට පෙන්වන්නේ මර්දනයක පෙර ලකුණුය.
උදාහරණයක් ලෙස අගමැති වික්‍රමසිංහ මෑතදී විජය පුවත්පත් ආයතනයේ ඬේලි පයිනෑන්ෂල් ටයිම්ස් නම් පුවත්පත වැසිකිළි යෑමන් පසු පුක පිසදැමීමට ගන්නා කඩදාසි හා සමකිරීම ගත හැකිය. වරක් එම පුවත්පතෙහි කර්තෘවරයාට ප්‍රසිද්ධියේ තර්ජනය කරමින් අගමැතිවරයා කියාසිටියේ වැඩිකල් නොගොස් ඔහු ගෙදර යවන බවයි. (විජය පුවත්පත් ආයතනය අගමැතිගේ මාමාගේය). අගමැති වික්‍රමසිංහ මෙරට ජනමාධ්‍ය දෙස බලන්නේ සතුරකු ලෙසය. එය යහපත් ලක්ෂණයක් නොවේ. ජනාධිපති සිරිසේනද ජනමාධ්‍ය සම්බන්ධයෙන් දක්වන්නේ ‘ආණ්ඩුවේ හොඳ වැඩවලට ප්‍රචාරයක් නොදෙන, අපට විරුද්ධ ආයතන රටාවක්’ ලෙසය.
මෑතදී ජනමාධ්‍ය ලේකම් නිමල් බෝපගේ විසින් ‘දෙරණ’ රූපවාහිනියට යවන ලද රාජපක්ෂ මහතා විසින්ද සඳහන් කරන ලද ලිපිය එක්තරා අන්දමක මාධ්‍ය පාලනයක නිමිත්තකි. එයින් බෝපගේ කියන්නේ ‘සත්විරු සංහිඳ’ උත්සවයේදී ජනාධිපති විසින් කරන ලද කතාව, එහි හරය විකෘතිවන ආකාරයෙන් සංස්කරණය කොට දෙරණ රූපවාහිනිය එදින රාත්‍රී සිය ප්‍රවෘත්ති විකාශය කරන ලද බැවින් දෙරණ මාධ්‍ය ජාලයට එරෙහිව විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බවය. කවරකු හෝ කරන කතාවක කවර හෝ කොටසක් ප්‍රචාරය කිරීමට කවර හෝ ජනමාධ්‍යයකට අයිතියක් තිබේ. එම තීරණය එකී ජනමාධ්‍යය සතු එකක් මිස එම කතාව කළ පුද්ගලයා සතු එකක් නොවේ. වරදක් වන්නේ කතාවක් තැනින් තැන කපාකොටා යළි එකට අලවා සහමුලින්ම වැරදි අර්ථයක් ලබාදීමට උත්සාහගන්නේ නම් පමණි.
ජනමාධ්‍ය ලේකම්වරයා පෙන්වා ඇත්තේ වඳුරන් එළවීමට රජතුමාට කඩුවෙන් කෙටූ මෝඩ වඳුරාගේ ආදර්ශයයි. පුද්ගලික අංශයේ ජනමාධ්‍යයන්ට වාර්තා කළ යුතු සැටි ඉගැන්වීමට වඩා ඔහු යටතේ ඇති රාජ්‍ය මාධ්‍ය ගොන්නට මහජන සේවා ජනමාධ්‍ය අගයන් කියාදුන්නේ නම් වැඩක් වෙන්නට තිබුණි.
මාධ්‍ය ආචාර ධර්ම බලයෙන් ගෙනඒමට රාජපක්ෂ ආණ්ඩුවද උත්සාහයක් ගත්තේය. එය පරාජය වූයේ මෙරට ජනමාධ්‍ය ඊට එරෙහිව නැගීසිටි නිසාය.
දැන් වත්මන් ආණ්ඩුවද ජනමාධ්‍ය අයිතීන් සහ ප්‍රමිතීන් සඳහා කෙටුම්පතක් ඉදිරිපත්කර තිබේ. එහි බොහෝ යහපත් දේ තිබුණද එය මනාලිය නැති මඟුලක් වැන්න. එනම් ආණ්ඩුව යටතේ ඇති එනමුත් මහජන දේපළක් වන එමෙන්ම සහමුලින්ම දේශපාලන වශයෙන් පාලනය කැරෙන රාජ්‍ය මාධ්‍ය ගැන වචනයක්වත් එහි නැති නිසාය.
අප මුලින්ම මෙම කෙටුම්පත ගැන කියාසිටිය යුත්තේ එයයි. කරුණාකර රාජ්‍ය මාධ්‍ය අවභාවිතය නතර කිරීමට යෝජනා රැගෙන එන්න. එසේ නැතිව දැවැන්ත රාජ්‍ය මාධ්‍ය සිය දේශපාලන හෙංචයියන් ලවා පාලනය කරමින් රාජ්‍යයට අයත් නැති මාධ්‍ය නීති පැනවීම සදාචාරවත් නැත.
පුද්ගලික අංශයේ ජනමාධ්‍ය සදාචාරවත්යැයි ඉන් අදහස් නොවේ. මෙරට ජනමාධ්‍ය කාර්යාල (මා දන්නේ සිංහල පුවත්පත් ගැන පමණි) දේශපාලන පක්ෂ කාර්යාල තරමට දේශපාලනීය වී තිබේ. ජනමාධ්‍ය හෝ තත්කාලීන වර්ධනයන් ගැන ජනමාධ්‍යවේදීන්ගේ දැනුමද වැටුප මෙන්ම ඉතා පහළය. එම කාර්යාලයන්හි විද්වත්බවක් නැත.
ආණ්ඩුව ජනමාධ්‍ය ප්‍රමිතීන් සඳහා වන සිය කෙටුම්පත පිළිබඳව අදහස් දක්වන ලෙස ප්‍රසිද්ධ ඉල්ලීමක් කර තිබේ. අප එම අවස්ථාව මෙරට ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා යොදාගත යුතුය. ආණ්ඩුවේ විවෘත ආකල්පය පැසසුම් කටයුතුය.
ජනමාධ්‍ය වෘත්තීයේ ප්‍රමිති පවත්වාගැනීමට අවශ්‍ය නිසි බලතල සහිත ස්වාධීන අධීක්ෂණ යන්ත්‍රණයක් හඳුන්වාදීම පිණිස අවශ්‍ය කරන කටයුතු ඉටුකිරීමටද රජය සූදානම් බව කියන ලියැවිල්ල මෙසේද කියයි:
‘මෙකී යෝජිත ස්වාධීන මණ්ඩලය ජනමාධ්‍යයේ ස්වයංනියාමන විධික්‍රමය අධීක්ෂණය කරන අතර, හිතාමතා වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය කඩකරන අවස්ථාවලදී ඒ සම්බන්ධ තහංචි පැනවීමටද එයට බලය හිමිවෙයි. තොරතුරු අයිතිය පිළිබඳ කොමිසමේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට අනුගමනය කළ විධික්‍රමය මෙකී මණ්ඩලයේ ස්වාධීනතාව තහවුරු කිරීම පිණිසද අනුගමනය කළ හැකිය. මණ්ඩලයේ සංයුතියෙන් තුනෙන් දෙකක් ජනමාධ්‍ය ප්‍රකාශකයන් හා ජනමාධ්‍යකරුවන්ගේ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන්ද ඉතිරිය සිවිල් සමාජ සංවිධාන මගින් යෝජනා කරන විශිෂ්ට පුද්ගලයන්ගෙන්ද සමන්විත විය හැකිය.’
දැන් පැමිණ තිබෙන්නේ අපේ වාරයයි. මෙය මර්දනයක් නොව වර්ධනයක් බවට පත්කර ගනිමු.■