රාවය

බදු ගෙවන්නේ නැති විට රට සංවර්ධනය කරන්න බෑ |ආචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති

බදු ගෙවන්නේ නැති විට රට සංවර්ධනය කරන්න බෑ |ආචාර්ය ඕ.ජී. දයාරත්න බණ්ඩා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති

ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර

අයවැයක මූලික බලාපොරොත්තුව මොකද්ද?
අයවැයකින් සාමාන්‍ය යෙන් බලා පොරොත්තු වෙන්නේ රටේ තියෙන වර්තමාන ආර්ථික ප්‍රශ්නවලට ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් කරන එක. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් ආණ්ඩුවකට අයවැයකින් හැම දෙයක් ම කරන්න බෑ. මොකද පෞද්ගලික අංශය, කෘෂිකර්මය, කර්මාන්ත සහ පවුල් ආර්ථික කටයුතු වගේ දේවල් කිසියම් දුරකට වෙනම පදනමකින් ක්‍රියාත්මක වන නිසා. ඒ වගේ ම ලංකාවේ දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙළ ඉටුකිරීම සඳහා කළ හැකි මූලික කාර්යයන් සිදු කිරීමත් අයවැයකින් සිද්ධ වෙනවා.
ලංකාව කේන්ද්‍ර කරලා ගත්තොත් අපිට මේ වෙනකොට තියෙන මූලික ගැටලුවක් තමයි රැකියා වියුක්තිය. රැකියා වියුක්තියේ සාමාන්‍ය ස්වභාවය බැලුවාම පෙනෙනවා මේ අයගෙන් බහුතරය අඩු වශයෙන් සාමාන්‍ය පෙළට වඩා අධ්‍යාපන සුදුසුකම් තියෙන අය කියලා. ඔවුන්ට කරන්න රැකියා ආණ්ඩුවට ම හදන්න බැරි වුණාට ඒ වෙනුවෙන් ආණ්ඩුවට කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඒවා මොනවාද කියලා බලන එක එතැනදී කරන්න පුළුවනි. ඒ වගේම අපේ ජනගහනය තුළ අන්ත දුගී තත්ත්වයේ ඉන්න කොටසක් තාමත් ඉන්නවා. මේ අය ඒ තත්ත්වයෙන් ගලවාගන්නේ කොහොමද කියලා බලන්නත් අවශ්‍යයි.
විශාල වැඩිහිටි ජනගහනය තව එකක්. ඒ වගේ ජනගහනයක් සිටීම නෙමෙයි ගැටලුව, ඔවුන් රැකබලාගන්න නිශ්චිත ක්‍රමවේදයක් අපට නැතිකම. ඒ විදිහේ හඳුනාගත් ප්‍රශ්නවලට කරන්න පුළුවන් මොනවාද කියලා අයවැයෙන් සොයා බලන්න පුළුවන්. ඒ වගේ ම ලංකාවේ තියෙන වකුගඩු රෝගය වගේ දේවලට මොනවාද කරන්න පුළුවන්, උතුරු නැගෙනහිර ජනතාව යළි පදිංචි කිරීම, රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම වගේ දේවල් අයවැයකදී හොයලා බලන්න පුළුවනි.

රටේ මූලික ආර්ථික ප්‍රතිපත්තිය නියෝජනය කිරීම මේ අතර දෙවැනි කාරණයක්ද?
ඇත්තටම මං කලින් කියූ දේවල්, අයවැයේ කෙටිකාලීන හා මැදිකාලීන බලාපොරොත්තු. රටක් ක්‍රියාත්මක වෙද්දී කිසියම් දර්ශනවාදයක් අවශ්‍යයි තමයි. රට මේ විදියට කරගෙන ගිහින් නතරවෙන්නේ කොතැනද කියලා අපිට හැඟීමක් තියෙන්න ඕනෑ. දර්ශනවාදයක් විදියට ගත්තාම අපි යා යුතු මාර්ගය කියලා මම නම් පිළිගන්නේ, ලංකාවේ ඓතිහාසික සමාජය කේන්ද්‍රකරගත් එකක්. පූර්ණ ලිබරල්වාදය කියන එක අපි වගේ රටවල පැලපදියම් කරන්න අමාරුයි.
අවුරුදු දෙදහස් පන්සීයක් විතර කාලයක් තිස්සේ අපි හුරුවුණ ඓතිහාසික දර්ශනවාදයක් තියෙනවා. ඒ වගේම ආණ්ඩුවක කාර්යය පිළිබඳ ඓතිහාසික පිළිගැනීම් තියෙනවා. අනුරාධපුර පොළොන්නරුව යුගය වගේ ඉතාම ඈත ඉතිහාසයේ පවා කෘෂිකර්මය වගේ දේවල් ගොවීන් විසින් පවත්වාගෙන ගියත් ඇළවේලි හැදීම, වැව් ඉදිකිරීම, වෙහෙර විහාර නිර්මාණය, ආරක්ෂාව සහ මහාමාර්ග ඉදිකිරීම වගේ ඒවා කළේ රජය විසින්. ඉතින් අපි අපේ ආර්ථික ප්‍රතිපත්තිය ගෙනියන්න ඕනෑ ඔය දර්ශනවාදය යටතේ.
වැදගත්ම දේ තමයි, එතැනදී අපිට තක්සේරුවක් තියෙන්න ඕනෑ මේ ප්‍රතිපත්තිය මගින් ඉස්සරහට ගියාම, අපේ ආර්ථිකයේ ව්‍යාපාර කොච්චර ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයන්ගේද, ඒ ක්‍රමය යටතේ අපේ පාරම්පරික සාරධර්ම හා හර පද්ධතීන් ආරක්ෂා වෙනවාද, නැත්තම් අපි තවත් කෙනෙක් මත යැපෙන ආර්ථිකයක්ද නිර්මාණය කරන්නේ කියන එක පිළිබඳව. කොයි විදිහේ ආර්ථික මොඩලයක් පාවිච්චි කරන රටක් වුණත් ඔවුන්ට තමන් අවසානයේදී කොතැනද නතරවෙන්නේ කියන ඒ අනාගත තක්සේරුව තියෙන්න ඕනෑ.
අපේ ආර්ථික දර්ශනය වෙළඳපොළ සුබසාධන රාජ්‍යයක් වෙන්න අවශ්‍යයි. වෙනත් වචනයකින් කියනවා නම්, ශක්තිමත් සමාජ සුබසාධන වැඩපිළිවෙළක් තියෙන, කාර්යක්ෂම සහ ඵලදායී පෞද්ගලික අංශයේ ආර්ථිකයකුත් තියෙන ක්‍රමවේදයක් තමයි අපිට අවශ්‍ය.

අපේ රටේ ආර්ථික මොඩලය ඔබ කියන අරමුණ එක්ක කොච්චර දුරට ගැළපෙනවාද?
එක්දහස් නවසිය හැත්තෑ හතේ ඉඳන් අද වෙනකම් පැවති හැම ආණ්ඩුවක් ම ගෙනගිය ආර්ථික ප්‍රතිපත්තිවල විශාල වෙනසක් මට පෙනෙන්නේ නෑ. එදා ඉඳන් අපි අරගෙන යන්නේ වෙළඳපොළ මත විශේෂ නැඹුරුවක් දක්වන ක්‍රමවේදයකට. ඒ ඒ ආණ්ඩු ඇවිත් වෙන වෙන වැඩපිළිවෙළ ගැන කතා කළත් හැම ආණ්ඩුවක් ම කළේ පෞද්ගලික අංශය ආර්ථික කටයුතුවලට සම්බන්ධ කරන පිළිවෙත.
පෞද්ගලික විශ්වවිද්‍යාල – සයිටම් වගේ ආයතන වුණත් ආරම්භ වුණේ වර්තමාන ආණ්ඩුව යටතේ නෙමෙයිනේ. ඒ නිසා අපිට අපේ රටේ අර ආණ්ඩුව මේකට වඩා වෙනස් මේ ආණ්ඩුව අරකට වඩා වෙනස් කියලා කියන්න බෑ. හැත්තෑ හතේ ඉඳන් ආ හැම ආණ්ඩුවක් ම කළ වැඩවල වෙනසක් තියෙන්න පුළුවන්. නමුත් හැම ආණ්ඩුවේ ම වැඩපිළිවෙළ මූලධර්මීය වශයෙන් සමානයි.
මේ ආණ්ඩුව ගෙනියන වැඩපිළිවෙළ තුළ මං කලින් කියූ සමාජ වෙළෙඳපොළ ආර්ථික ලක්ෂණ තියෙනවා. ඒ අය තමන්ගේ දේවල් කරන්නේ දැනට තියෙන සුබසාධන කටයුතු පවත්වාගෙන යමින්. රජයේ පාසල් පෞද්ගලිකකරණය කරන එකවත් රාජ්‍ය විශ්වවිද්‍යාල පෞද්ගලික කරණය කරන එකවත් ගැන මේ අය කතා කරන්නේ නෑනෙ. ඒ සුබසාධන ඒ අයුරින් ම පවත්වාගතයුතුයි කියන එක තුළ හැමෝම ඉන්නවා.

ජනවාරි අටෙන් මෙහා ක්‍රියාත්මක වුණු පහුගිය අයවැයත් මේ අයවැයත් තුළ ආණ්ඩුවෙන් ජනතාව පැතූ ආර්ථික අභිලාෂ නිරූපණය වුණාද?
පහුගිය අයවැය සුවිශේෂී කාරණා කිහිපයක් මත ක්‍රියාත්මක වුණ එකක්. ඒ අයවැය තුළ අපිට පෙනුණේ අනාගත දැක්ම ඉදිරිපත් කරන එකකට වඩා ඒ වෙලාවේ පැවති සුවිශේෂී ගැටලු ආමන්ත්‍රණය කරන්න උත්සාහ කළ එකක් විදියට. ඒ වෙනකොට රට තුළ තිබුණු විදේශ ණය පිළිබඳ ප්‍රශ්නය, ගෙවුම් ශේෂය පිළිබඳ ප්‍රශ්නය සහ මූල්‍ය අංශයේ ඇතිවෙලා තිබුණු ගැටලු වගේ දේවල් විසඳගන්න උත්සාහ කිරීම තමයි එතැනදී කැපී පෙනුණේ. ඉන් එහාට ගිය දිගුකාලීන ආර්ථික දැක්මක් ඒක තුළ පෙනෙන්න තිබුණේ නෑ.
නමුත් මේ පාර අයවැය තුළ කැපී පෙනෙනවා අපේ රටේ ඉතාමත් නරක විදියට පිරිහිලා තියෙන බදු ක්‍රමය යළි සකසන්න ගන්න උත්සාහය. ඒක දීර්ඝකාලීන ආර්ථික වැඩපිළිවෙළක් මත පදනම් වුණ එකක්.

මේ බදු ක්‍රමය ගැන රටේ සාමාන්‍ය ජනතාව සහ ව්‍යාපාරිකයන් කියන දෙපිරිසම තෘප්තිමත් බව පෙනෙන්න නෑ. අධික බදු බරක් නොතිබීම ම සුබසාධනයේ වැදගත් කොටසක් විදියටයි මිනිස්සු අර්ථ දක්වාගන්නේ?
මේක අපේ රටේ තියෙන බරපතළ ප්‍රශ්නයක්. ඔබ කිව්වා වගේ, අපි ඇතිකරගෙන තියෙන ජයග්‍රහණයක් කියලා අපි දකින්න පුරුදුවෙලා තියෙනවා සියයට දහනමයක් විතර තිබුණු බදු සියයට එකොළහක් පමණ දක්වා අඩුකරගෙන තියෙන එක. ඇත්තට ම බදු අයකිරීමයි සුබසාධනයයි අතර තියෙන්නේ ඒ විදියේ සම්බන්ධයක් නෙමෙයි. නිසි පරිදි බදු අය නොවීම තුළයි සුබසාධනය අර්බුදයට යන්නේ.
අපි නිසි බදු ප්‍රතිපත්තියකට යන්නේ නැතිව රාජ්‍ය අයභාරය අවම කරගන්නවා නම් ඒක ආර්ථිකමය වශයෙන් විශාල හානියක්. ඒ වගේ තත්ත්වයක් තුළ සුබසාධනය අවශ්‍ය ද නැතිනම් බදු සහන අවශ්‍ය ද කියන විකල්ප දෙකෙන් එකකට යන්න වෙනවා. ඒ දෙකම රැකගනිමින් රට පවත්වාගන්න නම් කරන්න තියෙන්නේ රට විදේශ ණයවලින් ගෙනියන එක. ඒත් ඒ දේ රටට ඔක්කොටම වඩා හානිදායකයි.
ඇත්තටම ලංකාවේ බදු ක්‍රමය නිවැරදි පරිදි සකස්කරන ගමන්, ඉලක්කම් කීමෙන් එහාට ගිහින් ආණ්ඩුව මහජනතාවට මේ දේ පැහැදිලි කරන්න අවශ්‍යයි. ඒ සංවාදය නිසි පරිදි නොවන එකයි මෙතැන තියෙන ගැටලුව.
මේ අයවැය යෝජනා තුළින් ගොඩක් වෙලාවට වක්‍ර බදු අඩු කරලා තියෙනවා. ඒ වෙනුවට ඍජු බදු වර්ධනය කරලා තියෙනවා. මොකද වක්‍ර බදු තමයි සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා දේවල් සඳහා වැඩිපුර බලපාන්නේ. ඍජු බදු බොහෝවිට බලපාන්නේ බදු ගෙවන්න පුළුවන් මට්ටමේ අයට. බදු ගෙවිය හැකි මිනිස්සු බදු ගෙවන්නේ නැති විට රටක් සංවර්ධනය කරන්න බෑ.
මෙතැන තියෙන ගැටලුව බදු සංශෝධනය නෙමෙයි. අපේ කර්මාන්ත කොහොමද දියුණුවෙන්නේ, මහාමාර්ග සහ යටිතල පහසුකම් දියුණු වෙන්නේ කොහොමද වගේ දේවල් ගැන ආණ්ඩුව විවිධ තැන්වල කිව්වත් ඒ පිළිබඳ නිශ්චිත මාර්ගයක් පෙනෙන්න නැති එක. මම විශ්වාස කරන විදියට මේ අවුරුදු පහ වගේ කාලය ඇතුළත අපි ලංකාවේ යටිතල ව්‍යුහය සම්පූර්ණයෙන් දියුණු කරන්න ඕනෑ. අධිවේග මාර්ග පද්ධතිය දියුණු කරලා ඒවා වරාය සහ ගුවන්තොටුපළ වගේ තැන්වලට සම්බන්ධ කිරීම කියන කාරණයට තවත් වැඩි කාලයක් ගන්න හොඳ නෑ කියන එකයි මං කියන්නේ. ඒ දේ තවත් පරක්කු කරලා රට දියුණු කරන්න බෑ.
අපි වෙළඳපොළ සුබසාධන ආර්ථිකයකට යනවා නම් අපිට ගැළපෙන ක්‍රමය ස්කැන්ඩිනේවියානු ආකාරය. ඒ තුළ බොහෝ විට පෞද්ගලික අංශය ශක්තිමත්, ඒ වගේම ස්වාභාවික සම්පත් ආදිය සම්බන්ධයෙන් ශක්තිමත් රාජ්‍ය ව්‍යවසායකුත් තියෙනවා, ඒ විතරක් නෙමෙයි නිදහස් අධ්‍යාපනය සහ සෞඛ්‍යය වගේ දේවල් රාජ්‍යය මගින් ලබා දෙන ශක්තිමත් ක්‍රමයක් තියෙනවා. රටේ වැඩිහිටි ජනගහනය සහ ආබාධිතයන් සුබසාධනය කරන සුවිශේෂී වැඩපිළිවෙළක් තියෙනවා.
නමුත් ස්කැන්ඩි නේවියානු රටවල බදු අනුපාතය සීයට හතලිහක් විතර කියන එක අපි අමතක කරන්න නරකයි. අපේ රටේ බදු අනුපාතය සීයට විස්සක්වත් නෑනේ. තමන්ගේ ආදායමෙන් සීයට හතළිහ ගෙවමින් ඒ රටවල මිනිස්සු නිදහස් සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව සහ පහසුකම් රජයෙන් භුක්තිවිඳිනවා. බදු පිළිබඳ අපේ පිළිවෙත අනුව අපිට තෝරාගන්න පුළුවන් ක්‍රමවේදයන් දෙකයි තියෙන්නේ, එක්කෝ අපි ආණ්ඩුවට කියන්න ඕනෑ අපි බදු ගෙවන්න කැමති නෑ මේ සේවාවන් පෞද්ගලික කරණය කරන්න කියලා. එහෙම නැත්නම් අපි කියන්න ඕනෑ මේ සේවාවන් ප්‍රමිතිගතව කරන්න අපි බදු ගෙවන්නම් කියලා.
සුබසාධන රාජ්‍යයක් තියෙනවා කිව්වාට අපේ එහෙම එකක් නෑ. අපි අපේ රටේ වැඩිහිටියන් දිහා බලන්නේ ඉතාම අමානුෂික අන්දමින්. අපි ඔවුන්ට සලකන්නේ ඔවුන් වැඩිහිටිභාවයට පත්වෙන්න කලින් කළ සේවය අනුව. ඒ අනුව අපි රාජ්‍ය සේවයේ හිටි අයට විශ්‍රාම වැටුපක් දෙනවා. පෞද්ගලික අංශයේ සේවය කළ අය දිහා වෙන විදිහකට බලනවා. රටේ ජනගහනයෙන් අඩකටත් වඩා ඉන්න ස්වයං රැකියා මගින් ජීවත් වන අයට අපි මොකුත්ම ලබා දෙන්නේ නෑ. නමුත් අපි කළ යුත්තේ අර ක්‍රමයේදී වගේ අවුරුදු හැටපහට වැඩි සියලු පුරවැසියන්ට විශ්‍රාම ක්‍රමයක් හඳුන්වාදීම. ඒ වගේම සෞඛ්‍යය සහ අධ්‍යාපනය මේ විනාශකාරී සහ නන්නත්තාර ක්‍රමයෙන් ගලවාගෙන පූර්ණ ලෙස නිදහස් කිරීම. අපි වගේ කුඩා රටකදී ඒ දේවල් පෞද්ගලික අංශය මගින් කරන්න අවශ්‍ය නෑ. අපි පෞද්ගලික විශ්වවිද්‍යාල වගේ ආයතන බිහිකරමින් ඉස්සරහට යන ගමන් ඔය වැඩපිළිවෙළ කරන්න බෑ. මුදල් ගෙවා අධ්‍යාපනය ලබා දෙන ක්‍රමයක් තිබුණාට ගැටලුවක් නෑ. නමුත් ඒ ආයතනය රජයේ එකක් වෙන්න ඕනෑ. නැත්තම් අධ්‍යාපනයේ පරමාර්ථ ඉෂ්ට වෙන්නේ නෑ.■