සුගතදාස ධාවන පථයේ හෙට දවස


sudadasa

සුගතදාස ක්‍රීඩාං ගණයේ කෘත්‍රිම ධාවන පථය නැවත එලීමට සූදානම්ය. මහින්දානන්ද අලුත්ගමගේ ක්‍රීඩා ඇමතිවරයාව සිටියදී එලූ බාල ධාවන පථය ඉවත් කොට නැවත අලුත් ධාවන පථයක් එලීමට නියමිතය. ඒ බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කීවේය. එහිදී අමාත්‍යවරයා කතා කළ ආකාරය පැසසුමට ලක් කළ යුතුය. ප්‍රශ්නය නිවැරදිව තේරුම් ගෙන ඔහු කතා කළ බැවින් මෙවර හෝ නිවැරදි යමක් වේ යැයි සිතිය හැකි විශ්වාසයක් ඉන් ගොඩනැගුණි. සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය යනු ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ ධනෝපායක්ය. අලුත්ගමගේ ඉන් මහා ප්‍රයෝජනය ලැබීය. ගහකොළ නම් සමාගමක් අල්ලා ගෙන ඔහු ගොඩගියේය. ඔහු ගොඩගිය මුත් එය එලූ දවසේ සිට ලෙඩ දෙන්නට විය. කොතරම් දුර්වල ධාවන පථයක් එලා ඇති වුවත් ඇමැත්තාට ඊට එරෙහිව අදාළ සමාගමට විරුද්ධව පියවර ගත නොහැකි වූයේ සමාගමේ දොළපිදේනි අනුභව කර තිබූ නිසාය. ඉන්පසු නවීන් දිසානායක ක්‍රීඩා ඇමති ලෙස පත්ව සිටි කෙටි කාලය තුළදී ධාවන පථය ගැන කතා කළද කිසිවක් නොවීය. වත්මන් ක්‍රීඩා ඇමති පත්වූ අලුතම සුගතදාස ක්‍රීඩාංගණය නිරීක්‍ෂණය කොට පිළියම් යොදන බව කීවද ඊට කල් ගත විය. කෙසේ වෙතත් කල් ගතවී හෝ ඔහු දැන් එම දේ කිරීමට එලඹ ඇත. එය නිවැරදි පිළිවෙතටම කිරීම ඔහුගේ අභිප්‍රායය.
ඇමතිවරයා අවංකව උත්සාහ කළද සෙසු සාමාජිකයන් ඊට අවංකද යන ප්‍රශ්නය පැන නගී. ක්‍රීඩා අමාත්‍යාංශයේ ටෙන්ඩර් මණ්ඩලය මෙහිදී ක්‍රියාකරන ආකාරය සැක සහිතය. මන්ද ටෙන්ඩර් කැඳවීමේදී මොවුන් රාජ්‍ය ආයතනයක් ටෙන්ඩර් කැඳවීමේදී අනුගමනය කළ යුතු “ප්‍රසම්පාදන කාර්ය සංග්‍රහය 2006” නීති රීති මාලාවේ ඇතැම් කරුණු උල්ලංඝනය කර ඇති බැවිනි.
සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය එලීමට අලුත්ගමගේ සමයේදී රුපියල් මිලියන 113ක මුදලක් වැය කොට තිබුණි. නිල් වර්ණයෙන් සම්පූර්ණයෙන්ම මීටර් 400 ධාවන පථය එලුවද මාස කිහිපයකින් එය ගැලවෙන්නට විය. අණ්ඩ දමා ඉන්පසු එයට තාවකාලික පැලැස්තර දැම්මද එහි වරද බාර ගන්නට කෙනෙක් නොවීය. ගහකොළ සමාගමද මඟහැරි අතර අලුත්ගමගේ මාධ්‍යයට බැණවදිමින් ඔවුන් ආරක්‍ෂා කළේය. එවන් අතීත මතක අතර නැවත එවැනි බාල වැඩ නොවීමට වත්මන් ක්‍රීඩා ඇමතිවරයා ක්‍රියා කරන බව කියා තිබියදීම ටෙන්ඩර් මණ්ඩලය මෙලස ක්‍රීඩා කිරීම ගැටලු සහගතය.
ක්‍රීඩා අමාත්‍යාංශය මේ සඳහා වන ටෙන්ඩර් කැඳවීම සිදු කරනුයේ පසුගිය ඔක්තෝබර් මස 12 වැනිදාය. එය පුවත්පත්හි දැන්වීම් කොට තිබුණී. එහි ටෙන්ඩර් බාරගන්නා අවසන් දිනය ලෙස සටහන් කර තිබුණේ නොවැම්බර් 8 වැනිදාය. ඒ අනුව මෙහි ටෙන්ඩර්කරුවන්ගේ රැස්වීම ඔක්තෝබර් මස 26 වැනි දින පවත්වා ඇත.
ටෙන්ඩර් රැස්වීම පවත්වා දින හතරක් තුළ ටෙන්ඩර් බාරගැනීම අවසන් කිරීම පිළිබඳ සැකයක් මතු වනුයේ එතරම් හදිසිය කාගේ හෝ වුවමනාවට නැවත බාල වැඩකට අත පෙවීමටද යන්නය. කෙසේ වෙතත් මේ පිළිබඳ ඇමතිවරයා දැනුවත් කිරීමෙන් පසු ඔහු වහා ක්‍රියාත්මක වී ටෙන්ඩර් කාලය සතියකින් දීර්ඝ කර ඇත. මේ කාලය තුළ රජයේ නිවාඩුද කිහිපයක්ම යෙදී තිබුණි. ඒ නිසා මෙවැනි මහා පරිමාණ ටෙන්ඩරයකදී දීර්ඝ කාලයක් ලබා දීම වැදගත් බව තතු දන්නන්ගේ අදහසය.
මෙහිදී ටෙන්ඩර් මණ්ඩලය ප්‍රීෆැබ්රිකේටඞ් යන ක්‍රමයේ ධාවන පථයක් සඳහා අනුමැතිය ලබා දෙන්නට සූදානමක් තිබී ඇත. එයද කාලෝචිත නොවන බව ක්‍රීඩා අමාත්‍යවරයාට ප්‍රවීණයන් දැනුම් දුන් පසු එය වෙනස් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රියා කර ඇත. ප්‍රීෆැබ්රිකේටඞ් ධාවන පථය තරගවලට උචිත වුවත් පුහුණුවීම්වලට යොදාගත නොහැකිය. පුහුණුවීම් සඳහා යොදාගතහොත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අබාධයට ලක්වීමේ ප්‍රවණතාව වැඩිය. මෙරට ඇති ප්‍රධානතම ක්‍රීඩාංගණය ලෙස සුගතදාස ක්‍රීඩාංගණයට වැදගත් වනුයේ තරගවලට මෙන්ම පුහුණුවටද උචිත ධාවන පථයක්ය. මේ තත්ත්වය ඇමතිවරයාද තේරුම් ගෙන ඇති නිසා ඔහු ටෙන්ඩර් මණ්ඩලය ගත් තීන්දුවට විරුද්ධවී ඇත. ටෙන්ඩර් දැන්වීමේ 3.5 වගන්තියේ අනුවගන්තියට අනුව මෙම ටෙන්ඩරයට සුදුසුකම් ලැබීමට නම් අවම වශයෙන් අන්තර්ජාතික මලල ක්‍රීඩා සංගමයේ පළමු ශ්‍රේණියේ ධාවන පථ දහයක් සහ දකුණු ආසියාවේ ධාවන පථයක් ඉදිකර තිබිය යුතුය. මෙය බැලූබැල්මට හොඳ වුවත් එය එක් සමාගමකට ලබාදීමේ අටියෙන්ම කළාද යන සැකයද ඉතිරිවේ.
සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථය නැවත සකස් කිරීමට රජය මේ වන විට රුපියල් මිලියන 500ක් වෙන් කොට ඇත. එසේ නම් එම මුදල්වලින් නිසි ප්‍රයෝජනගෙන වසර දහයක් වත් පැවතිය හැකි ධාවන පථයක් එලීම ක්‍රීඩා බලධාරීන්ගේ වගකීමය. ක්‍රීඩා අමාත්‍යවරයා එම වගකීම තේරුම් ගෙන ක්‍රියා කරන බව මෙහිදී පෙනෙන්ට ඇත. ඒ අතරේ ටෙන්ඩර් මණ්ඩලය වෙන පාරක යන්නට උත්සාහ කරනුද පෙනේ. මේ තත්ත්වයන් නිවැරදි කරගෙන ඉදිරියට යෑමට ඇමතිවරයාට හැකිවනු ඇතැයි සිතිය හැකිය.
එපමණක්ද නොව මීට පෙර බාල ගණයේ ධාවන පථයක් ඉදිකර රජයේ මුදල් ගසා කෑ ගහකොළ සමාගමට එරෙහිවද නීතිමය පියවර ගන්නා බව ක්‍රීඩා ඇමතිවරයා පැවසීම වටනේය. මන්ද ඔවුන් මේ අපරාධය සුළු කොට තැකූ බැවිනි. කතාවට සීමා නොවී එය ක්‍රියාවට නැගිය යුතු බව මෙහිදී අවධාරණය කරමු. මෙරට ඇති ප්‍රධානතම ක්‍රීඩාංගණය වන සුගතදාස ක්‍රීඩාංගණයේ ධාවන පථයට මෙවර හෝ සාධාරණයක් සිදුවනු ඇතැයි කල්පනා කරමු.■