මිණි සොයා පතලක සිර වුණෙමි

 

කට තට්ටුවෙන් මුණ පහළට ටාන් ටාන් හඩක්. හෙඞ් පැටලූණ ඡායාවක්. පොළව යට ඈත කොනක හරිබරි ගැසී වෙඩි දැමීමට ගලක් සිදුරු කරන දෑතක්.
මෑතින් දබර කඳ. පියැසි වහළය. ගොජ ගොජ හඩින් වතුර විසිකරන එන්ජිම. ඕයි ආමන්ත‍්‍රණයක්. තරුණයකු දබරය කරකවනවා. දබර ලණුවේ කොක්කේ ගැටගැහුණ වේවැල් කූඩය පහළට. ආයෙත් හඩක්. අබේස් දබරය කර කවන දෑත අනෙක් පසෙකට කි‍්‍රයාකරන්න ගන්නවා. කූඩය ඉහළට එනවා. ගැඹුර කොච්චරද? මම අහනවා. තට්ටු පහළොවයි. සෘජුකෝණස‍්‍රව පහළට ගැසූ ලී රාමු පහළොවක් වළ ගැඹුරුයි.

ලී රාමු දෙකක් අතරේ උස අඩි 5ක් විතර. ඉතින් හිතාගන්න පතුලේ ගැඹුර. ලී රාමුවට මැදින් තවත් රබර් කඳක් ගහලා දෙකට බෙදපු කාමර දෙකක පතලක් මේක. වටේට පුවක් ලී කීරි ගහලා ඒවා අස්සට කැකිල්ල අතු තදකරලා. තැනින් තැනින් වතුර බුබුළු සර සරයක පැටළිලා පතලේ පතුල සොයනවා. පතල මැදින් පොළොව ඇතුළ සොයන ද`ඩු කැබැල්ලට බර දීලා මමත් පහළට බැස්සා. පතුළට ළං ළං වෙනකොට හරිම රස්නෙයි. පපුව ටිකක් වගේ හිර කරනවා. ඒත් මේක තමයි පතලක ජීවිතය. මැණික් සොයන එක අමාරුයි. ඒත් ජීවිතය ගොඩ ගන්න මැණික් පතල්කරුවන්ට මේ දුර බහින්නම වෙනවා.

මැණික් පුරය

මැණික් කියලා කියන්නේ වටිනා ඛනිජයක්. ඛනිජවල තියෙන දෘඩභාවය රේඛාවකට ගත්තොත් දියමන්තිවලට පහළින් එයට ළ`ගින්ම තියෙන්නේ නිල් මැණික්. මිනිස්සු මැණික් පැළඳුවේ ශිෂ්ඨාචාරය පටන් ගන්න කාලේ ඉඳලමයි. මුලින් මුලින් නිකන්ම ගල විඳලා පැළැන්දුවා. පස්සේ පස්සේ කැපුවා. ඔප දැම්මා. රත්න, මිණි, රුවන් මේ මොන නම කිව්වත් හැ`ගීම එකයි. ඒ මැණික් ගැනමයි. රත්නපුරය, මිණිපුරය, රුවන්පුරය මේ හැම නමකින්ම කියන්නේ එක ප‍්‍රදේශයක් ගැන. මේ ප‍්‍රදේශයෙන් වටිනා මැණික් ගොඩක් මතුවීම හින්දම මේ නම් ලැබිලා.
රත්නපුරේ මැණික් ඉතිහාසය දඹදෙණි යුගයටත් වඩා ඈතයි. කාලයක් මුක්කරු කියලා ජන වර්ගයක් රත්නපුරේ පදිංචිවෙලා ඉඳලා තියෙනවා. ඔවුන් මැණික් වෙළෙඳාමට ආව අරාබි ජාතිකයන් කියල තමයි විශ්වාසය. ඔවුන් මැණික් තේරුවේ ගොඩක් වෙලාවට මතුපිට පසේ. මුක්කරු ඉඩම් කියලා ඉඩම් වර්ගයක් තවමත් රත්නපුරේ තියෙනවා. මේ ඉඩම්වල මැණික් තවම තියෙනවා. මැණික් ඉල්ලම මේ ඉඩම්වල තියෙන්නේ ගොඩක් උඩින්. මුක්කරු ගැරුවේ නිල් රතු වගේ මැණික් විතරයි. එයාල ගෙවුඩ, ආර්නූල් වගේ නූල් ගල් අයින් කළා. සමහර වෙලාවට තලා කුඩුකර වීසි කළා.
මෙහෙම පටන් ගත්ත රත්නපුරේ මැණික් හෑරීම අද වෙනකොට බැකෝ පතල් වෙනකම්ම නවීන වෙලා. ලෙහෙසි වෙලා. පහසු වෙලා. ඒ කොහොම වුණත් සාම්ප‍්‍රදායික පතල් කර්මාන්තය රත්නපුරේ තවමත් සුළභයි.

පොළොව විනිවිදීම

පොළොව කැණීම කියන්නේ විද්‍යාවක්. උමං හාරන්න අද ඉංජිනේරුවෝ ඉන්නවා. ඒත් රත්නපුරේ පතල් කම්කරුවෝ. මේ කිසිදෙයක් පොතපතින් දැනුම ලබන් නැතුවම වුණත් පතල් කැපුවා. උමං හෑරුවා. පොළොව යටින් ගිහිල්ලා මැණික් සොයාගෙන ගොඩට ගෙනාවා. ඒ කොහොමද? මැණික් පතලක බාස් කියලා කියන්නේ ඉංජිනේරුවෙක් වගේ චරිතයක්. ඔහු තමයි සුරක්ෂිත කැණීමකට පාර කියන්නේ. පතල් කම්කරුවාගේ ජීවිතය ආරක්ෂා කර ගෙනම මැණික් සොයා යන්නේ. පතල් බාස්ට පතල් කැණීම් තාක්ෂණය එන්නේ අත්දැකීමෙන් පළ පුරුද්දෙන්. රත්නපුරේ පතල් ඇතුළේ සිර වුණ ජීවිත සොයා යන අපට එවන් දක්ෂ බාසුන්නැහේ කෙනකු හමුවුණා.

විජය බාසුන්නැහේගේ කතාව

මම ජේ.විජේසූරිය. මගේ ගම හංගමුව. මම 1972 අවුරුද්දේ තමයි මුලින්ම පතලක වැඩට ගියේ. එතකොට මට යාන්තම් අවුරුදු 20ක් ඇති. විභාගය කරලා ඉවර වුණා විතරයි. අවුරුදු පහක් ගෝලයා විදිහට වැඩ කළා. පස්සේ තමයි බාස් වුණේ. පතල් බාස් තමයි පතලේ නායකයා. පතලට අවශ්‍ය මුදල් මුදලාලි වියදම් කළාට හැම තීරණයක්ම ගන්නේ බාස් තමයි. පතලේ හැමදෙයක්ම සැලසුම් කරන්නේ ඔහු තමයි. පතලක බාස් කියන්නේ ඉංජිනේරුවා වගේ තමයි. ලොකු දැනීමක් තියෙන්න ඕන.එක එක පස් වර්ගවලදී පතල් කණින විදිහ වෙනස්. සමහර තැන් එරෙනවා. හැල තවත් තැන්වල වැල්ල. තවත් තැන්වල වතුර පාරවල් පනිනවා නිතරම. ගංගා අයින්වලදී වගේ. ඒ ඒ තැන්වලදී වැඩකිරීමේ හැකියාව බාස්ට එන්නේ එයාගේ පළපුරුද්දෙන්. එයා ගෝලයොත් ආරක්ෂා කරගෙන පතල බහින්න දක්ෂ වෙන්න ඕන.
කෙළෙසද පතල් බහින්නේ?

රත්නපුර ප‍්‍රදේශයේ ව්‍යාප්ත සාම්ප‍්‍රදායික ගොඩ පතල් කර්මාන්තය ඇතුළේ පතල වර්ග දෙකක් මුණ ගැහෙනවා. හතර රියනේ පතල අටරියනේ පතල කියලා. හතර රියනේ පතල තනි කොටුවකට (එක කාමරයයි.) තමයි පොළව ඇතුළට බහින්නේ අටරියන කියන්නේ කාමර දෙකක පතලකට. පතලක් සවිමත්ම පොළොව ඇතුළට කිඳා බස්සන්න රබර් ලී ද`ඩු, පුවක් ලී, කිතුල් ලී, කැකිල්ල අතු පාවිච්චි කරනවා. පතලකට ලී වර්ග ගොඩක් ඕන. ඒවාට පතල් භාෂාවේ වචන තියෙනවා. හරස්කඩ, පේකඩ, දිගන්, මැද මුක්කුව, වහල් පොලූ, අඩිපොලූ වගේ.
පතල් කැණීමකදී ගහන තට්ටුව නැත්නම් ලී රාමුව සෘජුකෝණාස‍්‍රයි. දිග පැත්තට කියන්නේ දිගන්. හරස්කඩ කියලා කියන්නේ පළල පැත්තට. හතර රියනේ පතල මැද මුක්කුවක් නැහැ. අට රියනේ පතලට මැද මුක්කුවක් එනවා. මේ විදිහට ලී ද`ඩු පාවිච්චි කරලා ගහන තට්ටු දෙකක් අතරේ බිත්තියට කැකිල්ල අතු තියෙලා පස කඩා නොවැටෙන්න ශක්තිමත් කරන්නේ පුවක් කඳ පළලා ගන්න පටි වලින්. පතල ගැඹුරු වෙන්න වෙන්න සමහර වෙලාවලට තට්ටු දෙකක් අතර පරතරය අඩු වෙනවා. සාමාන්‍ය ප‍්‍රමාණය නම් නගින්න පුළුවන්. බැරි මට්ටමක්. හරියට තට්ටුව ගහගෙන කැකිල්ල තද කර ගත්තහම පස් කඳුළක් තියා වතුර බිඳක්වත් වළ ඇතුළට වැටෙන්නේ නැහැ. පතලේ ශක්තිමත් නිමාව කියන්නේ පතල් බාස්ගේ දක්ෂතාවයට. මේ විදිහට ගැඹුරට බහින වළට කියන්නේ පතු වළ කියලා. පතු වළේ මැණික් ඉල්ලම් අරගෙන ඉවර කළාම ඊට පස්සේ දෝණාව පුරනවා. පතු වළේ ඉල්ලම ඉවර වුණාම තව තට්ටුවක් විතර යට හාරලා මැස්සක් ගහලා දෝණාව පූරනවා. මැස්ස ගහලා වළේ එකතු වෙන වතුර උඩට පොම්ප කරන්න වතුර පොම්පේ කට මැස්ස යටින් තියෙනවා.

පතලක දෝණාව

මැණික් පතලක මැණික් ඉල්ලම තියෙන පැත්තට තමයි දෝණාව පූරන්නේ නැත්නම් පටන් ගන්නේ. පතලක දෝණාවක් පටන් ගන්න කලියෙන් ඒ වළ සවිකරනවා කියලා දෙයක් කරනවා. අපි හිතමු පතල අඩි 50ක් උසයි කියලා. අඩි 20ක් අතඇරලා අඩි 30ක විතර දිග රබර් කඳන් අරගෙන මුළු අටේ රඳවලා ඒවා එකිනෙකා ශක්තිමත්ව බඳවනවා. මේ බැඳීම හදන්නෙත් ලී ද`ඩු මාර්ගයෙන්ම තමයි. මේවාට කියන්නේ මුල් කණු කියලා. හතර රියන් වළක නම් මුල් කණු හතරයි. අටරියන් වළක නම් මුල් කණු අටයි. දෝණාවකදී කෙරෙන්නේ සිරස් අතට ගහපු තට්ටු තිරස් අතට ගහලා කිතුල් පටි, පුුවක් පටිවලින් කැකිල්ල රඳවලා පස් කඩා නොවැටෙන්න වතුර ගැලීම් අඩුවෙන්න උම`ග ශක්තිමත් කරන එකට. දෝණාවක දිශාව තීරණය කරන්නේ ඉල්ලම. (මැණික් සහිත පස) ඉල්ලම එක තැනක තවත් යටට බැහැලා තියෙනවා නම් දෝණාව ඇතුළේම තවත් වළක් බහිනවා. මේ වළට කියන්නේ බංගලා වළ කියලා. බංගලා වළ ඇතුළෙනුත් ආයෙත් දෝණාවක් යනවා. දෝණාව ගැන ආයෙත් විජය බාසුන්නැහේ කතා කළා.

‘හොඳට ඉල්ලම් තියෙන මැණික් තියෙන ඉඩමක් නම් පතල ඉවර වෙනකොට පොළොව ඇතුළේ නිකම් පුවක් අරඹක් වගේ තමයි. දෝණාවක් යනකොට මී වදයක් වගේ ගලක් වහලෙන් එල්ලිලා තිබුණොත් ඒක බෝර දාලා කඩනවා. දෝණාවේ මුහුණතට සම්පූර්ණයෙන්ම ගලක් අහුවුණොත් ගල ම`ග ඇරලා දෝණාව ගල වටේට යනවා. හුළං මැෂින් නැති කාලේ දෝණා එතනින් නතර කරලා ගොඩ ඉඳලා පොඩි වළක් ආයෙත් අර දෝණාව සිදුරු වෙන්න කපනවා. ඊට පස්සේ ආයෙත් ටිකක් දුර යන්න හුළං තියෙනවා. දැන් නම් ඔක්සිජන් දෙන නිසා අඩි 100, 200 කපනවා. මම අඩි 250ක දෝණාවක් කපලා තියෙනවා.’
සාමාන්‍යයෙන් දෝණා වක් කපන්නේ නැගිටලා වැඩකරන්න පුළුවන් උසකට. මුහුණතේ මැණික් ඉල්ලම් කඩ කඩ දෝණාව දික් කරන කොට සමහර වෙලාවලට මැණික් කැට වැටෙනවා. විජේ බාසුන්නැහේ නම් කියන්නේ ලක්ෂ 5-6 මැණික් කැට දෝණාව ඇතුළෙදි ඇහිඳලා තියෙනවා කියලා. ඔහුට ලැබුණ ලොකුම මිණිකැටය ලක්ෂ 50කට දුන්න කියලත් කියනවා.

මැණික් සොරකම්

මැණික් පතල් කර්මාන්තයට මැණික් සොරකම අමුතු දෙයක් නෙවෙයි. මැණික් ගලක් හමුවෙනවා කියන්නේ ඒක වාසනාව කියලා කියන්නේ. දහයක් වැඩකරන පතලක එක පුද්ගලයකුට මැණිකක් තනියම ගන්න ලැබෙනවා කියන්නේ තවත් වැඩි වාසනාවක්. මෙහෙම වාසනාවකට කවුරුත්ම පයින් ගහන්නේ නැහැ. හොරෙන් ඇහිඳින ගල්, වෙළෙන්දොත් හොර රහසේම ගන්නවා. කොහොමෙන් කොහොම වුණත් ටික කාලයන් යනකොට මාට්ටු වෙනවා. ඔය චිත‍්‍රපටිවල තියෙන විදිහට මරලා දාන්නේ නම් නැහැ. තරහා වෙනවා. පතලෙන් අයින් කරනවා. පොලිසි යනවා. ඔය වගේ දේවල් වෙනවා. ඒ කොහොම කළත් පතල් වැඩකරන හැම කෙනාම දන්නවා තමන්ට වුණත් තනියෙම ගන්න ගලක් හමු වුණොත් ගන්නවා කියලා. මැණික් පතල්වල මැණික් හොරකම කියන්නේ මිනිස්සු සතු වාසනා ගුණය වැඩකරන විදිහ. මැණික් හොරු කියන්නේ වාසනාවන්තයෝ කියලා පිළිගැනීමක් තියෙනවා. අනෙක් පැත්තට මේ වගේ නම ගිය මැණික් හොරු පතල්වලට ගන්නවා වැඩියි. ඒ මොකද වාසනාවන්තයෝ රංචුවක් එකතු වෙන්න ඕන මැණික් ලැබෙන්න. මෙහෙම පට්ට වාසනාවන්තයෝ සෙට් එකක් සෙට් වුණාම මැණික් නැති ඉඩම්වලත් මැණික් මතු වෙනවා කියලා තමයි රත්නපුරේ විශ්වාසය.

පතල් අනතුරු

මේ දවස්වල පතල් අනතුරු ටිකක් වැඩිපුර වාර්තා වෙනවා. සාම්ප‍්‍රදායික පතල් කර්මාන්තයේ පතල් අනතුරු ගොඩක් සිද්ධ වෙන්නේ බාසුන්නැහේගේ වරදින් කියලනේ කියන්නේ. විජේ බාසුන්නැහේ නැවත හ`ඩ අවදි කළා.

‘මගේ අවුරුදු 40ක් වෙන පතල් ජීවිතේ තවම සුළු තුවාලයක්වත් නැහැ. මම රත්නපුරේ විතරක් නෙවෙයි ඇළහැර, ඔක්කම්පිටිය, ලූණුගල වගේ තැන්වලත් පතල් කපලා තියෙනවා. ඉස්සර දෝණා අපි ගියේ ඉටිපන්දම් පත්තු කරගෙන. එතකොට විෂ වායුව නිසා දෝණා ගිනි ගන්න පුළුවන්. විෂ වායුව පිරිලා තියෙනවා නම් ඒක බාස්ට දැනෙන්න ඕන. එතකොට අපි ටක් ගාල
ගොඩ එනවා. විෂ වායුව යනකම්ම ඇතුළට සුළං දෙනවා. අනික තමයි දෝණාව ඇතුළෙන් සැර වතුර පාරක් පැන්නොත් ක්ෂණික පිළියම් තියන්න ඕන. නැත්නම් ටක් ගාලා ගොඩට එන්න ඕන. සමහර වෙලාවට මේ වගේ වතුර පාරවල් වැලි ට‍්‍රැක්ටර් ගණන් අරගෙන එනවා. මේ වෙලාවට ඇතුළේ හිටියොත් ඉවරයි.’

රත්නපුරේ අප කළ පතල් චාරිකාවේ අපට තවත් බාස් කෙනකු හමුවුණා. නම විමල් පේ‍්‍රමසිරි. ඔහුගේ පතල් ජීවිතයටත් අවුරුදු 30ක් විතර වෙනවා. අනතුරු ගැන ඔහු කතා කළා.
‘මම දැනට පතල් තුන් – හාරසීයක වැඩ කරලා ඇති. මමත් අවුරුදු 20 දි තමයි පතල් රස්සාව පටන් ගත්තේ. ඉස්සර දෝණා යන්නේ ඉටිපන්දම පත්තු කරගෙනනේ. වතුරාවේදී මා අතින් පතලක් ගිනි ගත්තා. බේරුණේ අනූනවයෙන්. දෝණාවල එකතුවෙන මීතෙන් වායුවට ඉටිපන්දම් දැල්ල ඇදිලා ගිහින් එකපාරට ගිනි ගුලියක් ඇති වෙනවා. මේ ගිනි ගුලිය කෙළින්ම දෝණාවේ වහලය දිගේ තමයි පතු වළට ඇවිල්ලා වළ කටින් පිටවෙන්නේ. මේක ගැන දන්නවා නම් පහත් වෙලා බේරෙන්න පුළුවන්.

‘මට වුණු අනෙක් අනතුර තමයි පැල්මඩුල්ල පාතකඩදී අත් පඩියක් ඔළුව උඩට වැටුණ එක. දබර කුඬේ උඩට ආවහම අල්ලන එකට තමයි අත් පඩිය කියලා කියන්නේ. බෙල්ලේ හතරවැනි ඇටය පිපිරුවා. අවුරුදු දෙකක් ඉස්පිරිතාලේ හිිටියා. හුළං මැෂින් නැති කාලේ මයින හමින් වළ ඇතුළට හුළං යවන පතල්වලත් මම වැඩකරලා තියෙනවා.
පතල් කම්කරුවෝ අනතුරු අත ළ`ග තියාගෙන වේ විදිහට වැඩ කරනවා. අරමුණ දුර්ලභ මැණික් සෙවීම. රත්නපුරේ නම් බොහෝ පතල්වල මැණික් හම්බ වෙනවා. මැණික් ඉල්ලම් නැත්නම් මැණික් සහිත පසත් එක එක වර්ගවලින් තියෙනවා. කබොක් ඉල්ලම. කටු ඉල්ලම, වැලි ඉල්ලම, මැටි ඉල්ලම, බොරළු ඉල්ලම, ඇත් අඩි ඉල්ලම වගේ. මේ හැම ඉල්ලමක්ම මුල් කාලේ වළ ඉහළට ගත්තේ කූඩ වලින්. දැන්නම් පොහොර බෑග්වලට දාලා දබරයෙන් උඩට අදිනවා. දැන් වේවැල් කුඩ පොල් කොහු කඹ වගේ දේවල් අභාවයට යමිනුයි තියෙන්නේ.

මැණික් වෙන්දේසිය

මැණික් ඉල්ලම ගරලා මැණික් තෝර ගත්තට පස්සේ ඒවා එකතු කරලා මැණික් වෙළෙන්දන්ට එන්න කියලා වෙන්දේසි කරනවා. බෝජා කියන පුද්ගලයා මැණික් පීරිසිය අරගෙන වෙළෙන්දෝ ළ`ගට යනවා. ඔවුන් එක එක්කෙනා මැණික් බලලා ගාන කියනවා. මේ විදිහට මුදලාලිලා එකාපරයා එකා ඉල්ලනවා. හොඳම මිලට මැණික් ගල තීන්දු කරනවා. වටේ පිටේ නිකම් බලා ඉන්න අයටත් තැරැුව්ව කියලා සල්ලි දෙනවා. දැන්නම් මේ ක‍්‍රමය නැහැ. දැන් කෙරෙන්නේ වෙළෙන්දන්ට එන්න කියලා මැණික් පෙන්වනවා. එයාලා තුණ්ඩුවක එයාලගේ ගාන ලියලා දානවා. පතලේ කට්ටියත් තමන්ගේ වටිනාකම තුණ්ඩුවක ලියලා දානවා. ඊට පස්සේ වෙළෙන්දන්ගේ තුණ්ඩු අතරේ පතලේ තුණ්ඩුවට වඩා වටිනාකමක් තියෙන තුණ්ඩුවක් තිබුණොත් ගල තීන්දු කරනවා. දැන් නම් ජංගම දුරකථන තියෙන නිසා වෙළෙන්දෝ කතාවෙලා තුණ්ඩු දානවා කියලා තමයි කියන්නේ. එතකොට ඒක පතල් කම්කරුවන්ට අවාසියි.

මිල කොටස් කිරීම

මේ විදිහට පතලක් සතු මැණිකක් අලෙවි කළාට පස්සේ ඒ මුදල පතලට අයිති හැමෝම අතරේ බෙදෙන ක‍්‍රමයත් හරිම සුවිශේෂයි. මැණික් විකුණා ලබාගන්නා මුදල ශ‍්‍රමිකයන්, වියදම්කරුවන් අතර බෙදෙන ක‍්‍රමය රත්නපුරය, පැල්මඩුල්ල, නිවිතිගල වගේ ප‍්‍රදේශ අනුවත් වෙනස් වෙනවා. රත්නපුර, හංගමුව වගේ ප‍්‍රදේශවලදී නම් කෙරෙන්නේ මුලින්ම භාරයට කියලා දේවාලයට ගානක් වෙන් කරන එක. ඒගාන මැණික විකුණේ ලක්ෂ 5කට විතර නම් පන්දාහක් විතර වෙනවා. ඊට පස්සේ මුලින්ම තැරැුව්ව කියලා 3%ක් කපනවා. මැෂින් පංගුව කියලා වතුර මෝටරයට දහයෙන් පංගුවක් බෙදනවා. බිම අයිති පුද්ගලයාට පහෙන් පංගුවයි. පතලට ලයිෂන් ගත්ත පුද්ගලයාට දහයෙන් පංගුවයි. ඊට පස්සේ පතලට ගිය විදම කපා ගන්නවා. පතලට ලක්ෂ 2ක් විදයම් වෙලා තියෙනවා නම් මැණික විකුණුවේ ලක්ෂ 5කට නම් වියදම රුපියල් 50,000ක් විතර තමයි කපන්නේ. මෙහෙම බෙදිලා බෙදිලා පතල් කම්කරුවන්ට එන්නේ විසිදෙකෙන් එක පංගුවයි. ඒ මුදල ආසන්න විදිහට බැලූවොත් ලක්ෂයකට මැණිකක් විකුණුවොත් රුපියල් 2000ක් විතර වෙනවා.

රතු ලේන්සුවේ කතාව

මේ විදිහට තමයි රත්නපුරේ සාම්ප‍්‍රදායික මැණික් පතල් කර්මාන්තය කෙරෙන්නේ. මැණික් පතල් කර්මාන්තය ඇතුළේ තිබුණ පැරණි දේවල් ගොඩක් දැන් අතුරුදන් වෙලා. පතලක් පටන්ගන්න වෙලාවට කරපු සමහර දේව ඇදහිලි පවා අද කෙරෙන්නේ නැහැ. මැණික් ලැබීම අඩු වූ විට දෙන බහිරව දොළ පිදේනි පවා අද දෙනවා හරිම අඩුයි. මට මතක අතීතයේ පතල් කම්කරුවන් ඇන්දේ රතු ලේන්සුව පමණයි. ඒ අමුඩය විදිහට. දැන් කලිසම් තමයි ගොඩක් වෙලාවට අදින්නේ. රතු ලේන්සු කතාව අපිට කියුවේ සාමාන්‍ය පතල් කම්කරුවෙක් වන ජයවීර චන්ද්‍රසිරි.
ඉස්සර රතු ලේන්සු දෙකක් තමයි ඇන්දේ. එකකින් අමුඩය ඇඳලා අනික ඉන වටේට බඳිනවා. පතලට බැස්සහම වටේට බැන්ද එක ගලවලා ඔළුවේ ඔතා ගන්නවා.
මේ ක‍්‍රමය පැල්මඩුල්ල පැත්තේ තවමත් තියෙනවා. මැණික් ගල් හොරකම් කරනවාට තමයි මේ විදිහට අමුඩය අන්දවලා තියෙන්නේ. දැන් නම් කලිසම අඳිනවා. සමහර බාස්ලා අතර තවමත් ලේන්සු අඳින අය ඉන්නවා. රතු ලේන්සු කතාවත් එක්ක පතල් කැණීම් කතාවට අවසානයක් දෙන්න හිතුවා. මැණික් පතල් කර්මාන්තය වෙහෙසයි. දුෂ්කරයි. නොපෙනෙන දෙයක් පස්සේ තමයි පතල් කම්කරුවන් තමන්ගේ ජීවිතය මෙහෙය වන්නේ. නොපෙනෙන දේ පෙනෙන දෙයක් වුණාම එයාලගේ ජීවිතයට මල් පිපෙනවා. ඊට පස්සේ ටි‍්‍රප් යනවා. කනවා බොනවා. විනෝද සාගරයක කිමිදෙනවා. ටික දවසකින් ආයෙත් පතලටම බැහැලා ආයෙත් ජීවිතය සොයනවා.