රාවය

රාජවරෝතම් සම්පන්තන්

රාජවරෝතම් සම්පන්තන්

යුග තුනක දැවැන්තයෙක්: දෙමළ දේශපාලනයේ අවුරුදු 54ක අත්දැකීම් මත ප‍්‍රධාන දේශපාලන කාර්යයක් තවමත් මේ රටේ ඉටු කරන පුද්ගලයකු ඇත්නම්, ඒ දෙමළ ජාතික සන්ධානයේ නායක රාජවරෝතම් සම්පන්තන් පමණකි. 60 දසකය ආරම්භයේ සිට 83 ජූලි දෙමළ සංහාරය දක්වා වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යුගයේත් අනතුරුව එළැඹි සන්නද්ධ දෙමළ දේශපාලනයේ අතිශය කුරිරු අත්දැකීම් අත්දුටු යුගයේත් 2009 මැයි මාසයෙන් පසු දිගහැරුණු එල්.ටී.ටී.ඊ සාධකය නොමැති විවෘත දේශපාලන යුගයේත් ඔහු කි‍්‍රයාකාරි දේශපාලනයේ නියැළුණෙකි. මේ අඩ සියවසකට වැඩි කාලයක ඒ දීර්ඝ කතාව, හැකි තරම් කෙටියෙන් සටහන් කරන්නට ගත් උත්සාහයකි. සාකච්ඡාවක් ඇසුරෙන් ලියන්නේ, කුසල් පෙරේරා.

මගේ පියා රජයේ සේවකයෙක්. ඒ නිසා පියා මාරු කෙරුණු හැම තැනටම අපිටත් යන්න උණා. මගේ අධ්‍යාපනය ඇත්තෙන්ම පටන් ගත්තේ අනුරාධපුරෙන්. ඊළඟට අපි ති‍්‍රකුණාමලයට ගියා. මගේ උපන් ගමත් ති‍්‍රකුණාමලයයි. එතැනින් ගියේ කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලයයට. එතැනින් පස්සේ අවුරුදු කීපයක් යාපනයේ සාන්ත පැටි‍්‍රක් විද්‍යාලයේ ඉගෙන ගත්තා. ඊට පස්සේ මගේ පියාව රත්මලානට මාරුකළා. එතකොට තමයි මම මොරටුවේ සාන්ත සෙබෙස්තියන් විදුහලට ඇතුළු වුණේ. ඒකට හේතු උණේ, සාන්ත ආනා විiාලයේදී මම හඳුනාගත්ත කි‍්‍රස්තියානි පූජකයන්ගේ උදව්ව. මගේ පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කළේ මොරටුව සාන්ත සෙබෙස්තියන් විදුහලෙන්. එතැනින් පස්සේ මම නීති විiාලයයට ඇතුළු වුනා පෙරකදෝරු විභාගය කරන්න. ඒ කාලේ පෙරකදෝරු සහ අද්වකාත් කියලා නීතිඥයන් කාණ්ඩ දෙකක් හිටියා.

මට ඒ කාලේ සිංහල පාසල් මිත‍්‍රයන් හිටියා. තාමත් ඉන්නවා. සාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ ඉගෙනගත්ත යාළුවෝ ඉන්නවා. මේ ළඟකදී මට සාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ උත්සවයකටත් එන්න කිව්වා. සෙබෙස්තියන් එකේ යාළුවෝ ගණනාවක් හිටියා. ජොර්ජ් ප‍්‍රනාන්දු, මැල්කම් මෙන්ඩිස් සිල්වෙස්ටර් ප‍්‍ර‍්‍රනාන්දු වගේ. සරත් ෆොන්සේකා තව එක් කෙනෙක්. ජෙනරල් ෆොන්සේකා නෙවෙයි. වරාය අධිකාරයේ හිටිය ඉංජිනේරුවෙක්. දැන් ඒ අය කොහේ ඉන්නවාද දන්නේ නැහැ. වෛද්‍ය වින්සන්ට් පෙරේරා හිටියා. ඒ කියන්නේ අධිනීතිඥ අර්ඞ්ලි පෙරේරාගේ මල්ලි. අර්ඞ්ලි මට වැඩිය ඉහළ පන්තියක හිටියේ. මට මතක හැටියට 1947 දී සෝලබරි සාමි සාන්ත සෙබෙස්තියන් විද්‍යාලයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ආ වෙලාවේ, ශිෂ්‍යයන් වෙනුවෙන් පිළිගැනීමේ කතාව කළේ අර්ඞ්ලි. ස්තුති කතාව කළේ මම. ඉතිං ඒ වගේ සිංහල යාළුවෝ ගොඩක් හිටියා ඒ කාලේ. ඒ වගේම, අපි හිටිය හැම පළාතකම අපි සිංහල අස්ලවැසියන් එක්ක ඉතා කිට්ටු සම්බන්ධකම් පැවැත්වූවා.

1950 ඇතුළු වෙලා මම නීති විiාලයෙන් පිට වුණේ 1954 දී. ඇත්තටම නීති විiාලයෙන් සමත් වුණ වෙලාවේ, කොළඹ ප‍්‍රධාන පෙළේ සමාගමක් මට කතා කළා නීති නිලධාරි තනතුර බාර ගන්න කියලා. අවාසනාවකටද වාසනාවකටද දන්නේ නැහැ, මගේ පියා ඊට විරුද්ධ වුණ නිසා මට ඒ තනතුර බාර ගන්න බැරි වුණා. එයාට අවශ්‍ය වුණේ මාව ති‍්‍රකුණාමලයේ නතර කරගන්න. 1955 තමයි මම ඉස්සෙල්ලාම පෙරකදෝරුවෙක් හැටියට නීතිඥ වෘත්තිය ආරම්භ කළේ ති‍්‍රකුණාමල උසාවියෙන්. මම ඉතාම උනන්දුවෙන් වෘත්තියේ නියැළුණු නීතිඥයෙක්. හැම විටම සූදානම් වෙලා උසාවි ගියේ. ති‍්‍රකුණාමලයට අමතරව මම මඩකළපුව සහ නැගෙනහිර උසාවි කිහිපයක නඩු කළා. 1977 දක්වා නීති වෘත්තියේ යෙදුණා. ඉවත් වුණේ 1977 මන්තී‍්‍රවරයෙකු ලෙස තේරී පත් වුණාට පස්සේ.

මන්තී‍්‍රවරයෙක් හැටියට පත් වුණාට පස්සෙත් මාස කිහිපයක් උසාවි ගියා. නමුත් මගේ උසාවි කටයුතු ගැන මටම අසතුටක් ඇති වුණා. මට තේරුණා මගේ සූදානම් වීම් හරි නැහැ, ප‍්‍රමාණවත් නැහැ කියලා. ඒ නිසා උසාවි වැඩ මම සම්පූර්ණයෙන් නතරකළා.

මගේ දේශපාලන ගමන ආරම්භ වෙන්නේ චෙල්වනායකම් නිසා. එයා තමයි ඊට වගකිව යුත්තේ. මට දේශපාලනයට එන්න සිද්ධ වුණේ තුන්වන වරටත් මට චෙල්වා ආරාධනා කළ වෙලාවේ. ඒ කාලේ මට නීතිඥයෙකු හැටියට සැලකිය යුතු හොඳ තත්ත්වයක් තිබුණා, විශේෂයෙන් ති‍්‍රකුණාමලයේ. 1963දී ති‍්‍රකුණාමල ආසනය හිස් වුණා. අපේ ඥාතියෙකු වුණ රාජවරෝතම් තමයි මන්තී‍්‍ර හැටියට හිටියේ. එයා ෆෙඩරල් පක්ෂයේ මන්තී‍්‍ර. එයාගේ අභාවය නිසා හිස් වුණ ති‍්‍රකුණාමල ආසනයට අතුරු මැතිවරණයක් තියන්න වුණා. ඒ ආසන්නයේ තිරුචෙල්වම් (මුරුගේසන් තිරුචෙල්වම්, හිටපු සොලිසිටර් ජනරාල් වරයෙකි. නීලන් තිරුචෙල්වම්ගේ පියා) මගේ නඩුවකට ආවා ති‍්‍රකුණාමලයට. ඉතිං ඇත්තටම තිරුචෙල්වම් තමයි මාව හඳුනලා දුන්නේ චෙල්වාට. ඒ අතුරු මැතිවරණයට ෆෙඩරල් පක්ෂයෙන් ඉදිරිපත් වෙන්න කියලා චෙල්වා මට ආරාධනා කළා. ඒ තමයි පළමු අවස්ථාව. මම ඒ අවස්ථාවේ ඒ ආරාධනාවට බැහැ කිව්වා. එතකොට මට වයස අවුරුදු 30යි. මගෙන් පක්ෂය බලාපොරොත්තු වන මැදිහත්වීම කරන්න මට අමාරුයි. මම තාම නීතිඥයෙකු හැටියට මගේ තත්ත්වය හරියටම හදාගෙන නැහැ. ඒ නිසා මේ වෙලාවේ එවැනි වගකීමක් දරන්න මට අමාරුයි කියලා මම කිව්වා.

ඊට පස්සේ එහෙමම ඒක යට ගියා. 1965 මැතිවරණයට තරග කරන්නැයි කියලා චෙල්වා මට ආරාධනා කළේ නැහැ. නමුත් 1970 මැතිවරණයට කලින් චෙල්වා ති‍්‍රකුණාමලයට ඇවිත් සම්පූර්ණ දවසක්ම මාත් එක්ක ගතකළා. එයා උත්සාහ කළා මාව දේශපාලනයට ගන්න. මාව ඒ වෙනුවෙන් පොළඹවාගන්න. ඒ වෙලාවෙත් මම කිව්වා මගේ නීති වෘත්තියේ මම දැන් පැලපදියම් වෙලා ඉන්න නිසා, මගෙන් බලාපොරොත්තුවන තරමට දේශපාලන කටයුතුවල නියැලෙන්න මට බැරි වෙයි කියලා. ඉතිං එහෙම උණාම එයාට මා ගැන කලකිරීමක් ඇතිවෙයි කියලා මම කිව්වා. එහෙම හේතු දක්වලා මට ඒ වෙලාවෙත් පුළුවන් වුණා චෙල්වාගේ පෙරැුත්තෙන් බේරෙන්න.

චෙල්වා මිය ගියේ 1977 දී. ඊට මාස ගණනාවකට කලින් 1976 දී එයා මාව කොළඹට කැඳෙව්වා. එයාගේ නිවසට. ඒ සාකච්ඡුාවට අමිර්තලිංගම්වත් ගෙන්වලා තිබුණා. චෙල්වා එදා කිව්වා, මේ සැරේ මම ‘බැහැ’ කියන උත්තරය බාරගන්නේ නැහැ කියලා. එයා කිව්වා ඉදිරියේ එන පාර්ලිමේන්තු මැතිවරණයේ දී මම ති‍්‍රකුණාමලයට තරග කළ යුතුයි කියලා. එයාව හමුවන්න එනකොටම මම දැනගෙන හිටියා එයා එන්න කියපු කාරණාව. මම ඒ ගැන තරමකට කල්පනා කරලා තිබුණා. එයා ඉතා දැඩිව මට ඉල්ලීම් කළ නිසා මට ඒ ගැන කල්පනා නොකර ඉන්නත් අමාරු වුණා. අනෙක මට චෙල්වා ගැන ලොකු පැහැදීමකුත්, ගෞරවයකුත් තිබුණා. ඒ නිසා මම කිව්වා, මේ සැරේ මම ආවේ බැහැ කියන්න නෙවෙයි කියලා. එහෙම තමයි මම දේශපාලනයට ආවේ.
අපේ පවුලට සම්බන්ධ දේශපාලනය කළ අය තව හිටියා. මගේ මවගේ එක සහෝදරයෙක් මන්තී‍්‍රවරයෙක්. මගේ ඥාති සහෝදරයෙක් මන්තී‍්‍රවරයෙක් වුණා. නමුත් මගේ පවුලේ මම දේශපාලනයට ආවේ චෙල්වනායකම් නිසයි. මගේ අවුරුදු 81ක ජීවිතය දෙස ආපසු හැරිලා බලනකොට, මම පාසල් වියේ හොඳ ශිෂ්‍යයෙක්. ඉතාම දක්ෂ කෙනෙක් නොවුණට මම හොඳට ඉගෙන ගත්තා. නීතිඥයෙක් හැටියට මම ඉතා උනන්දුවෙන් කටයුතු කළ නීතිඥයෙක්. අවුරුදු 22 ක් උසාවි ගියේ හොඳට සූදානම් වෙලා. ප‍්‍රසිද්ධ දේශපාලනයට ආවේ අවුරුදු 43 දී. පසුගිය අවුරුදු 40ට ආසන්න කාලය ඉතා දුෂ්කර කාලයක්. මට රට දාලා යන්න සිද්ධ වුණා. අවුරුදු කීපයක් මම අනාථයෙක් හැටියට ඉන්දියාවේ අමාරුවෙන් ජීවත් වුණා. ඒක දුෂ්කර ජීවිතයක්.
සාමාන්‍ය සිංහල ජනතාවට මගේ බැඳීමක් තියෙනවා. මම ඒ අය අතර ජීවත් වෙලා තියෙනවා. ඒ අයව හොඳට හඳුනනවා. ඒ අය විශාල පිරිසක් අපේ දෙමළ ජනතාවට ආරක්ෂාව දුන්නා ඉතාම භයානක කෝලාහල කාලයේ. සුනාමියට ගොදුරු වුණ දෙමළ සහ මුස්ලිම් ජනතාවට ආධාර උපකාර කළා ජාතිය වර්ගය බලන්නේ නැතිව.

මෙතෙක් දුර දේශපාලනයේ එන්න සිදුවෙයි කියලා එදා හිතුවේ නැහැ. මම දේශපාලනයට එන්න තීන්දු කළාම මගේ බිරිඳගේ කිසිම සතුටක් තිබුණේ නැහැ. ඒ ආපු ගමනේ මුහුණ දෙන්න සිද්ධවුණ ගැටලූ, අනතුරු නිසා දරුවන්ටත් දේශපාලනය ගැන කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් ඉතිං මගේ ඉරණම කියන්නේ ඒකම තමයි කියලා මම හිතනවා. උසාවි කටයුතුවලින් ඉවත් වුනාට පස්සේ මම පෙනී හිටියේ එකම නඩුවකට විතරයි. ඒ මගේ ජනතාවට සාධාරණය ඉෂ්ට කර ගැනීමේ නඩුව.