රාවය

මාස තුනකට පසු අලූත්ගම

මාස තුනකට පසු අලූත්ගම

 

අපි අලූත් තතු සොයා අලූත් ගමට ගෑටුවෙමු. අලූත්ගම-බේරුවල ගින්න ඇවිළී – නිවී තුන් මසක් ඉක්මයන්නටත් කිට්ටුය. ජූනි මැද ඇවිළුණු ජාතිවාදී ගින්නේ අඳුරු මතක සදහටම නිවී ඇත්ද? ඊට මුහුණ දුන් මිනිසුන් පෙර පරිදි හුරුපුරුදු ලීලාවෙන්ම කල් ගෙවනු ඇත්ද? සියලූ තතු අලූත්ගමට ඇතුළු වී අලූතින්ම බලාගත යුතු දෑය.
අලූත්ගම තවමත් අඳුරුය. මුස්පේන්තුය. බියකරු අතීතයක හොල්මං හැමතැනමය. නගර මධ්‍යයේම පිිහිටි මල්ලිකාගේ ගොඩනැගිල්ල දැවී නිරුවත් වී ඇත්තේ නැවත පණ නොගසන අයුරිනි. 2006දීද ගිනිගෙන දැවුණු මේ විසල් මැදුර මෙවර තිරිහන් නොවන හැඩය. එය ජූනිය සිහිකරමින් අභාවයට යමින් තිබේ.

දර්ගා නගරයේ සිට

දර්ගා නගරය අද ගොළුය. බිහිරිය. අන්ධය. පුරුදු චර්යා නිරන්තරයෙන් ඉටුවුවද සැම සිත් ආගන්තුකය. දර්ගා නගරය මැදින් අධිකාරීගොඩට, සීනාවත්තට, පතිරාජ ගොඩට, කන්දේ විහාරය පිටුපස මං මාවත් සැම තැනම අපි කරක්ගැසුවෙමු. ජූනි කළු ජූනියට ඇවිළුණු, ඇවිළී අළු වුණු ගෙවල් අලූතින් පණ ගසා ඇත. ඒ, දෛවයේ සරදමකටදෝ හමුදා සෙබළුන්ගේම දෑතිනි. එදා එස්ටීඑෆ් එකට ඍජුවම චෝදනා කළ ජනයා අද හමුදාවට තුති පුදති.

‘හමුදාවේ මහත්තුරු හොඳයි. ඒ අය ගෙවල් ටික හොඳට හදනවා. සමහර ඒවා ටිකක් ප‍්‍රමාදයි. අවුලක් නැහැ වැඬේ හොඳට යනවා.’ ඒ මුස්ලිම් අයෙකි. මේ අදහස දැරූ බොහෝ අය එහි වෙසෙති.
පටුමං පීරා ගොස් උමතුවෙන් මෙන් ගිනි තැබූ නිවාස අලූතින්ම ඉදිවෙයි. ඒ ගින්න සියල්ල දවා අළු කොට ඇති නිසාය. තට්ටු තුනක මහල් නිවසක් සම්පූර්ණයෙන් විනාශ ය. එහි උළුවහු හොරු අරගෙන ය. එකී නිවසේ තිබූ කෝටි ගණන් වටිනා දෑ රිසි සේ රැුගෙන ගොස් ය. සියල්ල අහවර වූ කල අදත් එහි පොලිස් භටයෝ තිදෙනෙක් ආයුධ අතැතිව මුර කරති.
පන්සල් ගණනාවක බණය. බණට යටින් පන්සල පුරා අවි ගත් පොලිස් භටයෝ ය. මේ ඇයි? මගේ මුස්ලිම් මිතුරාට මා දැමූ පැනයකි.

‘සිද්ධියෙන් පස්සේ මෙහෙම තමයි. පන්සල් ආරක්ෂා කරනවා. අපි පන්සල්වලට තියා සිංහල ගේකටවත් අත තිබ්බේ නැහැ. මේ හදන ගෙවල් බලන්න කාගෙද කියලා. එකම සිංහල ගෙයක් කඩලා තිබ්බා. ඒක අද හොඳට හදලා.’ ඔහු අප කැඳවා ගොස් ඒ නිවසද පෙන්වීය. එය දැන් අලූත්ම නිවහනකි. නිවෙස් හැදෙනමුත් ඒවා ඉබිගමනෙනි. මුස්ලිම් වුව යමක් කමක් ඇති අයට මුල්තැනය. ඒ නිසාම එම නිවාස කඩිමුඩියේ පිළිසකර වෙයි. අඩු පහසුකම් සහිත පවුල්වල නිවාස ඉදිවන්නේත් අඩු සැලකිල්ලටය. ඒ කෙසේ වෙතත් හමුදා මැදිහත්වීම අගේට වැඬේ ඉටු කරයි.
‘ඒ අයම ගහලා ඒ අයම හදනවා නේද?’ අපි එහෙම ඇහැව්වාට කවුරුත් එහෙම නොකියති. ඒ නැවත ගින්නට පිඹින්නට මේ අය අකමැති නිසා විය හැක. එහෙත් පිඹින අයද සිටිති. එනම්, කවර කරුමයකටදෝ, සිවුරුමය. සිවුරු ලාගත් භික්ෂූන්මය.

නැවත අවුලන්නට වෙර දැරීම

එදා අගෝස්තු 30 වැනිදාය. ජූනි කලබලයට ලක්ව කකුලක් අහිමි වූ දහඅට හැවිරිදි තරුණයකු පාපන්දු තරගයක් නරඹන්නට ගොස් එනවිට සිංහල පිරිසක් ‘හූ’ තබා ඇත්තේ නෝක්කාඩුවටය. කතාව දුරදිග යත්ම සියල්ල අලූත්ගම පොලිසියට රැුගෙන ගොස් ඇත. සියල්ල සමථයකට පත් කොට බදා වැළඳගෙන සියල්ලෝ පොලිසියෙන් ඉවත්ව ගොස් ඇත්තෝය. එහෙත් මෙය දැනගන්නා පතිරාජගොඩ විහාරයේ නායක හිමි නැවත පොලිසියට ගොස් පොලිසියට අණ කරනුයේ අදාළ මුස්ලිම් තරුණයා රැුගෙන විත් කූඩු කළයුතු බවත්, එතෙක් තමන් පොලිසියෙන් එළිනොබසින බවත් කියමිනි. අවසානයේ පොලිසිය සියල්ල සමථයකට පත්කර සමුගත් මුස්ලිම් තරුණයා කුදලාගෙන විත් කූඩු කරන්නේ භික්ෂූන් වහන්සේ සතුටු කරනු වස්ය. එදා මෙන්ම මෙදාද මුස්ලිම් අයගේ ඉවසීම ප‍්‍රශ්නය එතැනින් නිමාවන්නට හේතු වන්නේය. එහෙත් ඒ කවදා තෙක්ද?

ප‍්‍රතිඵල

ඇවිළුණු නිවාස, කඩ නැවත ඉදිවන්නේය. එහෙත් ඒ තුළ වූ බඩු සිදුවූ අලාභය ගැන වගේ වගක් නැතිය. නිවාස හැදෙන තෙක් ඒ අය කුලී පදනමටය. ඒ කිසිවක් ආණ්ඩුවට අදාළ කාරණා නොවේ. මියගිය දෙපළගේ පවුල්වලට වන්දියක් තබා කිසිදු සාධාරණයක් වී නැති තරම්ය. ඒ පවුල් අනාථය. දෙපළකගේ කකුල් කපා දමා ඇත. ඒ අවුරුදු 17, 18ත් වයස තරුණයන් දෙපළකගේය. ඔවුන්ගේ ජීවිත සදා අඳුරේය. අහක යන ප‍්‍රශ්නයකට මොවුහු සදාකාලිකව වන්දි ගෙවති. මේ තරුණයන් සිංහලයා ගැන කුමක් සිතනු ඇද්ද? මේ දෙපා අහිමි වූයේ යුද්ධයකට ගොස් නොවේය. මේ කළු ජූනිය ඉතිරි කළ දෑය. තව තරුණයකුගේ වයස අවුරුදු 19කි. ඔහුගේ කලවා මත පතිත වී ඇති උණ්ඩය ඔහුද සදාකාලික රෝගියකු කර ඇත.

මේ අතර දැඩි ප‍්‍රහාරයකට ලක්වූ මවක් අදද මුහුණු ආවරණ මොහොතකට හෝ ඉවත් නොකරන්නීය. ඇගේ විරූපී මූණට බියවී ඇගේ දරුවා කිරි බීම ප‍්‍රතික්ෂේප කර ඇතිවා පමණක් නොව මවද ප‍්‍රතික්ෂේප කර ඇත. එකී දරුවාගේ හිසද ගල්පහරකට ලක්ව මැහුම් දමා ඇත්තේය. මේ එදා ඉතිරි කළ ප‍්‍රතිඵලය. මේ එකී ප‍්‍රතිඵලයන්හි අල්පයක් පමණය. නැවත ඒවා මතුකර පෙන්වීම මෙහි අරමුණු නොවූවත් ජනපති කියන සුළු සිද්ධියේ ප‍්‍රතිඵල දෑසින්ම නිවීසැනසිල්ලේ බලාගැනීමට අද හැකිය. එයින් එදා නාඩගමේ සැබෑ තතු මනාව වටහාගත හැකිය. සැබැවින්ම ගිනි ගැනුණේ, දැවුණේ අළුවුණේ මේ ජීවිතය. අද මේ ගම්වල සිංහල, මුස්ලිම් ඇයි හොඳයියට ගිනි ඇවිළී හමාරය. එයට ගිනි තැබුවාහු නිදහසේ සරති. අදටත් තමන්ට සාධාරණයක් නොවූ බව මුස්ලිම් ජනයා කියති. සාධාරණය කුමක් වුවත් නැවත මෙවැනි දෑ නොවන්නට වගබලා ගැනීම වුවත් නිසි ලෙස නොවන බව මේ සැම විශ්වාස කරති. ඒ සැකය හමුදාවන් නිවෙස් සැදූ පමණින් නැතිවන්නේ නැතිය. ඒ බව අලූත්ගමට ගිය කළ මනාව පෙනේ.

මට කකුල නැතිව මම ගැන හිතන්න බෑ – අබ්දුල් හසින්

‘එදා අපේ පල්ලියට ගහගෙන අපේ ගෙවල් කඩන්න එනවා කියලා ආරංචි වුණා. අපි පාර හරස් කරගෙන එන එක වළක්වන්න ගියා. ලොකු පොඩි හැම කෙනාම ගියා. එතකොට කළුවර වැටිලා. එකපාරම පාරේ ලයිට්වලට වෙඩි තිබ්බා. පරිසරයම කළුවර වුණා. ඒ එක්කම ලොකු එළියක් මූණට ගැහැව්වා. හතර අතට වෙඩි වදිනවා දැක්කා. මගේ කකුලට මොකක්දෝ වදිනවා දැනුණා.’
ඔහු සරමට සඟවාගෙන සිටි කකුල් කොටය එළියට ගත්තේය. දහඅට හැවිරිදි සුන්දර තරුණයා මේ මගේ ජීවිතය කියන්නා සේ ගොළු විය. ගමේ දක්ෂ පාපන්දු ක‍්‍රීඩකයෙකු වූ මොහු වඩාත් දුක්වන්නේ කකුල නැති කල පාපන්දුව කුමකටද අසන්නා සේය.
‘දවස් 40ක් ඉස්පිරිතාලේ හිටියා. හොඳ කරන්න බැහැ කියලා කපලා දැම්මා. දැන් මගේ ජීවිතයම ඉවරයි. තවම මට කකුල නැතිව මම ගැන හිතන්න බෑ.’
ඔහුගේ දෙනෙතට කඳුළු ඉනුවේය. ඔහුගේ කතාවට කන්දීගෙන සිටින ඔහුගේ මව අපෙන් වසන් වූවාය. ඒ අපද සිංහල නිසා විය යුතුය. ඒ සිත් සැම කෙරෙහි විශ්වාසය පළුදු කරගෙන ඇති සේය. මේ සුළු සිද්ධියක් වන්නේ කාටද?
මොහු පාපන්දු තරගයක් නරඹන්නට අත්වාරුවෙන් ගිය කල සිංහලයන්ගේ ‘හූ’වට ලක්වන්නේය. එහි ප‍්‍රතිඵලය එදා පොලිසියේ ලගින්නටද සිදුවීමය. එහෙත් මුස්ලිම් ප‍්‍රජාව මෙය ඉන් එපිටට රැුගෙන නොයා වළකාගෙන ඇත. එයම නොවටීද? පවුලේ වැඩිමලා වන මොහුගේ පියා අහිමිය. අද ඒ පවුලේ වැඩිහිටියාගේ කකුලද අහිමිය. අබ සරණ වුණේ කාගේ ජීවිතවලටද?

සියල්ල නැතිවුණා – රාජාබ්ගේ පියා

මේ කකුලක් අහිමි වූ අනෙක් තරුණයාය. ඔහු වෙනුවට කතා කළේ ඔහුගේ පියාය. කතාවට කන්දීගෙන සිටි මේ දාහත් හැවිරිදි තරුණයා හඬා වැටෙන්නට විය. අද මොහුත් ඇඳට කොටුවී ඇත.
‘මේ මගේ දෙවෙනියා. මේ සිද්ධිය වෙනකොට මම හිටියේ දකුණු අප‍්‍රිකාවේ රස්සාවකට ගිහිල්ලා. ඒත් ආරංචි වුණ ගමන් ආවා. ඉක්මනට ආපු නිසා මට ලැබෙන්න තිබුණ ඒවා විතරක් නෙමෙයි රස්සාවත් මට නැතිවුණා. අද අපි අනාථයි. ඒ මදිවාට මගේ කොල්ලාගේ කකුල කැපුවා. මේ ළමයාට අවුරුදු 17යි. මැරුණු අය මළා. ඒ දුක මාසයක් අවුරුද්දක් ගියාම අඩුවෙයි. ඒත් මේ ළමයා දකින හැම මොහොතෙම අපිට දරාගන්න බෑ. අපි මොන වරදක් කළාටද මෙහෙම කළේ.’
ඔහුගේ කතාව වේගයෙන් ගලා යයි. පුංචි නිවසක වෙසෙන මේ ජීවිතවල පිරිමි දරුවකු එක්තැන්වීම සුළුපටු නැත. මන්ද මේ ඔහුගේ ජීවිතය පටන් ගත්තා විතරය. ඔහු තව කොතෙක් කලක් මේ ලෙස දිවි ගෙවන්නද?
‘අපිට දුක මගේ ළමයා එදා වෙඩි වැදිලා නාගොඩ රෝහලට ගෙනිච්චාම ඇටෙන්ඩන්ලා ආ… තම්බියා සිංහලූන්ට ගහන්න ගියාද කියලා රෝහලේදී හොඳටම මගේ කොල්ලාට ගහලා තිබුණා. ගහලා පැත්තකට දාලා. දවසක් විතර බෙහෙත් කරන්න දාලා නෑ. ඒකත් කකුල නරක් වෙන්න බලපෑවා. දවස් 45ක් රෝහලේ ඉඳලා ආවේ. තවම ඇඳෙන් බැහැලා යන්න බෑ.’
මේ පියාගේ තත්ත්වය තේරුම් ගත හැකිය. ඇඳට වූ තරුණයා හඬන්නට විය. මේ අවිනිශ්චිතභාවය රිදවන්නේ තම ජීවිතයට බව ඔහු හොඳාකාරවම දනී. මේ අවුරුදු 17, 18 කොල්ලන් කළ වරද කුමක්ද? එහෙත් ඔවුන් ඊට වන්දි ගෙවා ඇත. කළු ජූනි සිද්ධිය බොහෝ අයට අමතක වුවත් මේ ජීවිත ජීවත්වන තාක් මේ පවුල්වලට එය අමතක කළ හැකිද?

ඇවිදින්න අමාරුයි – මොහොමඞ් නසීම්

‘මගේ කලවට වෙඩි වැදිලා උණ්ඩය කලවේ රැුඳිලා තිබුණේ. ඒක ගන්න බෑ කියලා නාගොඩ රෝහලෙන් කිව්වා. ඒත් අපේ ප‍්‍රජාව සල්ලි එකතු කරලා මාව නවලෝකේ නවත්වලා හොඳ කළා. මගේ කකුලේ උණ්ඩය ඉවත් කළා. තවම ඇවිදින්න අමාරුයි. නිතර කරන්ට් වැදිලා වගේ හිරිවැටෙනවා.’

මරණ දෙක – මොහොමඞ් රාසික්

2014 ජූනි 15 වැනිදා දර්ගා නගරයේ වැලිපිටිය මුස්ලිම් පල්ලිය අසලදී වෙඩි වැදී මියගිය මොහොමඞ් රාසික් මොහොමඞ් සහරාස් නොහොත් මොහොමඞ් රාසික් මොහොමඞ් ජසිරාස් අපේ සහෝදරයා. 2014 ජූනි 15 වැනිදා වැලිපිටියේදී ප‍්‍රකෝපකාරී කැරලිකාරයන් ඔහුගේ කඩය කොල්ල කා ගිනි තියා ඇති බව ආරංචි වුණාම ඒ පැත්තට ගියා. ඒ කඩය ආසන්නයේදී තමයි වෙඩි වැදිලා තිබුණේ. හිස්කබළ පසාරු කරගෙන උණ්ඩය ගිහින් තිබුණේ. රෝහලට ගෙනියන කොටත් ඔහු මැරිලා.
එයාට අවුරුදු 11, අවුරුදු 4, 2 1/2 බැගින් වූ දරුවන් තිදෙනෙක් ඉන්නවා. දැන් ඒ දරුවන්ට යන එන මං නෑ. ගෙවල්, කඩ හැදුවාට ඒ දරුවන්ට තාත්තා කෝ. මේ පවුල බලාගන්නේ කවුද? කිසිම වන්දියක් මේ ජීවිතවලට නෑ. අන්තිමට මේ වෙඩි වැදිලා නෙමෙයි කපලා කොටලා කියලා කියන තැනට ආණ්ඩුව ගියා. අපි කිව්වේ මිනිය ගොඩගනිමු කියලා. මොකද, මියගිය අයට සාධාරණය වෙන්න ඕනෑ. දැන් පිළිඅරගෙන තියනවාලූ වෙඩි වැදිලා මියගියා කියලා. අපිට දුන්නේ පශ්චාත් මරණ වාර්තාවක්. අනෙක් ඒවා ගන්න අපි තවම ගියේ නෑ. ඒකේ මේ හේතු මුකුත් නැහැ.

මොහොමඞ් ශිරාස්

මියගියේ අපේ සහෝදරයා. මොහොමඞ් නසාර් මොහොමඞ් ශිරාස් යන අය. එයාට ළමයි දෙන්නයි. එයා වෙඩි වැදිලා මියගියේ. මේ මොහොකටවත් සම්බන්ධ වෙලා වෙඩි වැදිලා නෙමෙයි. පන්න පන්නා වෙඩි තිබ්බා. දැන් මේ ගැන කතාවක්වත් නැහැ.

විකෘති වීම

මම දර්ගා නගරයේ වැලිපිටිය සම්සුදින් මාවතේ 88/42 නිවසේ පදිංචි වෙලා ඉන්නේ. එදා මම වැලිපැන්නේ තිබූ අවමංගල්‍ය උත්සවයකට ගියා. මගේ බිරිඳත්, දරුවත් පාලිත තෙවරප්පෙරුම මන්ත‍්‍රීවරයත් මගේ වාහනයේ ආවා.
ගල්, පොලූ, යකඩ පොලූ, පෙට‍්‍රල් බෝතල්, වැලි බෝතල් අරගෙන විශාල පිරිසක් පොලිස් ඇඳිරි නීතියත් ගණන් ගන්නේ නැතිව ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට පහර දුන්නා. පොලිසිය පන්සියයක් විතර ඒ අවට හිටියා. සේරම මේ වැඬේ කළේ සිංහල අය. පොලිසිය ඒක නැවැත්තුවේ නැහැ. ඒ පහර දීගෙනම අපේ වාහනය ළඟටත් ආවා. මගේ බිරිඳට ඒ වෙලාවේ බයට සිහි නැතිවුණා. මගේ වාහනයට පොලූවලින් ගහලා මගේ සිහි නැතිව ඉන්න බිරිඳගේ මුහුණටත් පොලූවලින් ගැහැව්වා. ඇයගේ වම් පැත්තේ ඇහැ සම්පූර්ණයෙන්ම විනාශ වුණා. කළුතර නාගොඩ ඉස්පිරිතාලේ බෙහෙත් කළා. පස්සේ අපි නවලෝකේ බෙහෙත් කළා. ප්ලාස්ටික් සැත්කම් දෙකක් කළා. මගේ ප‍්‍රජාව මට මේවට උදව් කළා.
වයස මාස 9ක් වන මගේ අබ්දුල්ලා පුතාටත් ඔළුවට පොලූ පහරක් වැදුණා. ඒ හින්දා කපාල අස්ථිය පුපුරා ගොස් හිස් කබළට මැහුම් 18ක් දැම්මා.
මේ පහරදීමෙන් මගේ බිරිඳගේ මුහුණ කොච්චර විරූපි වුණාද කියනවා නම් මගේ ළමයා මවගෙන් කිරිබොන එකත් අත ඇරියා. මගේ පොඩි ළමයා අම්මා ළඟට යන්න බයවුණා. අම්මව ප‍්‍රතික්ෂේප කළා. අද ඇය මානසිකව දුක් විඳිනවා. අපි කාටවත් වැරදි කරලා නැහැ. අපිට මෙහෙම කළේ ඇයි?

මුස්ලිම් ප‍්‍රජාව

මේ සියල්ල අවසන ඔවුන්ට පිහිටවූ එකම පිළිසරණ වූයේ සිය ප‍්‍රජාවමය. මේ එකමුතුව මේ සමගිය අල්ලා නාමයෙන් හෝ ඔවුන් පවත්වාගෙන යෑම අනගිය. අද හමුදාව මේ නිවාස ඉදිකර දෙති. ඒ රජයේ මුදල්වලිනි. ඒ එපමණකි. එහෙත් ඔවුන්ට නැතිවූ දේපළ, ඉන්න හිටින්න තැනක් අහිමිව කුලී නිවාස මිලදී ගැනීම, තුවාල වූ අයට බෙහෙත් කිරීම, සැත්කම් කිරීම මේ හැමදේටම කරගසනුයේ අලූත්ගම දර්ගා නගරයේ මුස්ලිම් ප‍්‍රජාවය. මුස්ලිම් තරුණයන්, තරුණියන්, උගතුන්, ව්‍යාපාරිකයන් පිහිටුවාගෙන ඇති මේ එකමුතුවෙන් සියල්ලම නොවුණත් ඉන් අඩක් හෝ සපුරාලීමට කටයුතු කරමින් සිටිති. මේ වනවිට තුවාල ලැබූ අයට සැත්කම්වලට ලක්ෂ ගණන් මොවුන් වියදම් කොට ඇත. ගිනිගත් දේපළ නැවත සරිකර ගැනීමට උදව් කරති. ඒ සියල්ල විනිවිද භාවයෙන් සිදු කරති. එය ජාතියක් ලෙස ආඩම්බරවීමටත්, මේ ආකාරයට ඉවසීමෙන් රඳවා තබාගන්නටත් සමත් වී ඇත. සිය ආගමට අනුව ඔවුන් හම්බ කරන මුදලින් 3%ක් අසරණයන්ගේ පිහිටට වෙන් කළ යුතුය. ඔවුන් මේ සියල්ල කරනුයේ එකී එකමුතු මුදල්වලිනි. මෙයට ඊර්ෂ්‍යා කිරීම, මුස්ලිම් ව්‍යාපාරිකයන්ට ඊර්ෂ්‍යා කිරීම නරුමකමකි. ඔවුන් මුස්ලිම් වුවත් අවසානයේ ලාංකිකය. ඒ අනුව මේ ලාංකික කැළ අපට ආඩම්බරයකි. අලූත්ගම සියලූ ව්‍යසනයන් මැද පණ ගසන්නේ මොවුන්ගේ පිහිටෙනි. සවියෙනි. ඒ බවද කිව යුතුමය.