ඌව ඡන්දය හා අශීලාචාර මැතිවරණ ක‍්‍රමය

 

ප්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහජනයාටය. මහජනයා එම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ඒ අවස්ථාව ඉතාමත් ගම්භිර ශුද්ධ වූ අවස්ථාවක් ලෙස සැලකෙන අතර මැතිවරණ සඳහා තිබෙන විධිවිධාන, නීති හා සංවිධාන ක‍්‍රම රටක පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ තරම පෙන්නුම් කරන වැදගත් මාපකයක් ලෙස සැලකිය හැකිය. ඒ අර්ථයෙන් ගත් විට ශ‍්‍රී ලංකාවේ අප ඉන්නේ ශීලාචාර තත්ත්වයක නොව අශීලාචාර තත්ත්වයකය.

ජනාධිපතිවරණය මුවවිට තබාගෙන ආණ්ඩුව ග‍්‍රාමීය ක්ෂේත‍්‍ර නිලධාරීන් අතර බෙදාහැරීම සඳහා මෝටර් බයිසිකල් ලක්ෂයක් ආනයනය කළේය. මෝටර් සයිකලයක වෙළෙඳපොළ මිල රුපියල් දෙලක්ෂයකට වැඩිය. සමෘද්ධි නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා මෝටර් සයිකලයක් ලබාදෙනුයේ කොටස් වශයෙන් ගෙවන රුපියල් පනස් දහසක් වැනි මිලකටය. එය ක්ෂේත‍්‍ර නිලධාරීන්ගෙන් ජනාධිපතිවරණයේදී වැඩ ගැනීම සඳහා ඔවුන්ට ගෙවන කප්පමක් ලෙස සැලකිය හැකිය.

දිවි නැගුම ප‍්‍රතිලාභීන් සඳහා කරළියට ගෙන තිබෙන ‘සහන අරුණ’ වැඩසටහනද ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ක‍්‍රියාවට නගමින් තිබෙන වැඩසටහනක් ලෙස සැලකිය හැකිය. ඒ යටතේ දිවි නැගුම ප‍්‍රතිලාභීන්ට බැඳුම්කරයක් හෝ ඇපකරුවකු නැතිව රුපියල් 5,000 සිට 50,000 දක්වා වන ණය මුදලක් ලබාගත හැකිය. ණය ගෙවිය යුත්තේ වසරක සහන කාලයකින් පසුව වාරික 24කිනි. වාර්ෂික පොලිය සියයට හතරකි. ප‍්‍රාදේශීය සංවර්ධනය සඳහා සෑම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් සඳහාම මිලියන 300ක් වෙන්කර තිබෙන්නේය. මෙම මිලියන 96,900 ව්‍යාපෘතියද ජනාධිපතිවරණය ඉලක්ක කොටගෙන ක‍්‍රියාවට නගමින් තිබෙන ව්‍යාපෘතියක් ලෙස සැලකිය හැකිය. දෙවැනි ධුර කාලය සඳහා වන හැම ජනාධිපතිවරණයකදීම ජනාධිපති වරයාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කෙරෙන වියදමෙන් ලොකු පංගුවක් වැය කරනුයේ මහජන මුදලින්ය. දැන් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ගේ තුන්වැනි ධුර කාලය සඳහා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා කරන වියදමෙන් ලොකු පංගුවක් වැය කරන බව පෙනෙන්නේද මහජන මුදලිනි. පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් පැවති යුගයේදී (1978ට පෙර) මැතිවරණයකදී අපේක්ෂකයකුට කළ හැකි වියදමේ සීමාවක් තිබුණි. හැම අපේක්ෂකයෙකුම මැතිවරණය අවසන්වීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා වෙත වියදම් ලේඛනයක් ඉදිරිපත් කිරීමට නීතියෙන් බැඳී සිටියේය. දේශපාලන පක්ෂද මැතිවරණවලදී කරන වියදම් ලේඛනයන් මැතිවරණ කොමසාරිස්වරයාට භාරදීමට බැඳී සිටියේය.

ඇමරිකාව

මැතිවරණවලදී තරග කරන අපේක්ෂකයන්ට මැතිවරණ කටයුතු සඳහා කළ හැකි වියදම සඳහා නීතියෙන් සීමා පනවන ක‍්‍රමයක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තිබෙන හැම රටකම පාහේ පොදුවේ දකින්නට ලැබෙන සාමාන්‍ය තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ලෝකයේ බලවත්ම රට ලෙස සැලකෙන ඇමරිකාවේ ජනාධිපති අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල ඩොලර් මිලියන 20කි. ඩොලරයක රුපියල් හුවමාරු වටිනාකම රුපියල් 130ක් ලෙස සලකතොත් එය රුපියල් මිලියන 2600කි. ජනාධිපති අපේක්ෂකයකුට තමන්ගේ පුද්ගලික මුදල්වලින් වැය කළ හැකි උපරිමය ඩොලර් 50,000කි. ජනාධිපතිවරණයකදී විදේශික යන්ගෙන්, ආණ්ඩුවේ කොන්ත‍්‍රාත් කරුවන්ගෙන්, වාණිජ බැංකුවලින් හෝ වෘත්තීය සමිතිවලින් මුදල් ලබාගැනීම තහනම්ය. පුද්ගලයකුට ජනාධිපති අපේක්ෂකයකුට දිය හැකි මුදල් ආධාරවල උපරිමය ඩොලර් 2,300කි. අපේක්ෂකයාගේ මැතිවරණ කමිටුව, පක්ෂ මැතිවරණ කමිටු හා අපේක්ෂකයා වෙනුවෙන් වැය කරන වෙනත් සංවිධාන පෙඩරල් මැතිවරණ කොමිසමට ඒවායේ ආදායම් හා වියදම් වාර්තා ඉදිරිපත් කළ යුතුය. එම වාර්තාවල පිටපත් ජනමාධ්‍යවලට පමණක් නොව පුරවැසියන්ටද ලබාගත හැකිය.
පවතින නීතිරීතිවලට පටහැනිව මුදල් ලබාගැනීම මුදල් වියදම් කිරිම හා තොරතුරු සැඟවීම සාපරාධී වැරදි ලෙස සැලකේ.

ප‍්‍රංශය

ප‍්‍රංශයේ ජනාධිපති අපේක්ෂකයකුට ජනාධිපතිවරණයක් සඳහා වැය කළ හැකි උපරිම වියදම යුරෝ මිලියන 10කි. රුපියල් වටිනාකම අනුව රුපියල් මිලියන 1,650කි. දෙවැනි වටයක් සඳහාද තරගයක් පැවැත්වෙන්නේ නම් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම වියදම යුරෝ මිලියන 21කි. පාර්ලිමේන්තු මැතිවරණයකදී අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම වියදම යුරෝ 40,000ක් හෙවත් එක ඡන්දදායකයකු සඳහා යුරෝ ශත 20කි. (රුපියල් 33කි.)

පුද්ගලික සමාගම්වලට පක්ෂ අරමුදලට හෝ අපේක්ෂක අරමුදලකට මුදල් පරිත්‍යාග කළ නොහැකිය. එහෙත් පුද්ගලයන්ට පක්ෂ අරමුදල්වලට හෝ අපේක්ෂක අරමුදල්වලට මුදලින් ආධාර කළ හැකිය. පුද්ගලයෙකුට වර්ෂයකට පක්ෂයට ලබාදිය හැකි උපරිම ආධාරය යුරෝ 7,500කි. අපේක්ෂකයකුට නම් යුරෝ 4,600කි.
පක්ෂ අරමුදල් හා අපේක්ෂක අරමුදල් පිළිබඳ විගණනය කළ ගිණුම් වාර්තා ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතුය. එම වාර්තා මහජනතාවට දැනගැනීම සඳහා රජයේ ගැසට් පත‍්‍රයේ පළකරනු ලැබේ.

පක්ෂ අරමුදල්වලට අදාළ හා අපේක්ෂක අරමුදල්වලට අදාළ තොරතුරු වසන් කිරීම සාපරාධී අපරාධයක් ලෙස සැලකේ. එවැනි වැරදි සඳහා පසුගිය වසර 21 සඳහා සිරදඬුවම් පමුණුවනු ලැබූ පුද්ගලයන් අතර ඇමතිවරු හතරදෙනෙක් සිටිති.

ඉන්දියාව

ඉන්දියාවේද මැතිවරණවලදී අපේක්ෂකයකුට කළ වියදම සඳහා නීතියෙන් පනවන ලද උපරිම සීමාවක් තිබෙන්නේය. උපරිමය තීරණය කෙරෙනුයේ තරග කරන ආසනයේ ජන සංඛ්‍යාවේ ප‍්‍රමාණය අනුවය. 1994දී එය ආසනයේ ජනගහනය අනුව වෙනස්වන ලක්ෂ 10ත් 25ත් අතර ගණනක් විය.

පක්ෂ අරමුදල් හා අපේක්ෂක අරමුදල් සඳහා පුද්ගලයන් දෙන ආධාරවලට සීමා පැනවීමක් කර නැත. එහෙත් පුද්ගලික සමාගම්වලට පනවන ලද සීමාවන් පවතී. එය සමාගමේ ශුද්ධ ලාභයෙන් 5%ක් හෝ ඉන්දියානු රුපියල් 25,000කි.
මැතිවරණවලට තරග කරන හැම අපේක්ෂකයකුම සවිස්තර ආදායම් වියදම් වාර්තාවක් දින තිහක් තුළ දිස්ත‍්‍රික්කයේ මැතිවරණ කොමසාරිස්වරයා වෙත භාර දිය යුතුය. පක්ෂවල අරමුදල් පිළිබඳ ගිණුම් වාර්තා විගණකාධිපති විසින් විගණනය කරනු ලබන අතර විගණකාධිපතිගේ නිරීක්ෂණ සමග එම වාර්තා පාර්ලිමේන්තුව වෙතද ඉදිරිපත් කරනු ලැබේ. අපේක්ෂකයන් හා පක්ෂ විසින් ඉදිරිපත් කරන ආදායම් හා වියදම් වාර්තාවල මුදල් ලැබුණු මාර්ගද සඳහන් කළ යුතුය. ඊට අදාළ තොරතුරු වසන් කිරීම හෝ විකෘති කිරීම සාපරාධී වරදක් ලෙස සලකනු ලැබේ.

ශ‍්‍රී ලංකාව

1978 තෙක් අපේ රටේද පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට මැතිවරණයක් සඳහා කළ වියදමට නීතියෙන් පනවන ලද උපරිම සීමාවක් තිබුණු අතර 1970 වනවිටත් එය පැවතියේ රුපියල් 5,000ක මට්ටමකය. මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයන්ගේ වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය.
1978 ජනාධිපති ආණ්ඩුක‍්‍රමයක් ඇති කිරීමෙන් පසු ඡුන්ද අපේක්ෂකයන්ගේ වියදම් සඳහා පනවා තිබූ සීමා නීතිද බලරහිත වූ අතර නව ක‍්‍රමය සැලකිල්ලට ගෙන මැතිවරණ වියදම් සඳහා නව සීමා නීති ඇති කිරීමක්ද සිදු නොවීය. ඒ සමග ජනාධිපතිවරණවලට හා පාර්ලිමේන්තු මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට සීමාවකින් තොරව තමන් කැමති ඕනෑ තරම් මුදලක් වැය කළ හැකි අශීලාචාර තත්ත්වයක් ඇතිවීයැ’යි කිව හැකිය.

මේ වන විට ජනාධිපතිවරණයක් සඳහා තරග කරන ප‍්‍රධාන අපේක්ෂකයකු රුපියල් බිලියනයක් හෝ සමහරවිට ඊට වැඩි මුදලක් වැය කරයි. පාර්ලිමේන්තු මැතිවරණයකදී පවා සමහර අපේක්ෂකයන් මිලියන 100ක් තරම් මුදල් ප‍්‍රමාණයක් වැය කරන අවස්ථා පවතී. පළාත් සභා මැතිවරණවලදීද මහ ඇමති අපේක්ෂකයන් වැය කරන ප‍්‍රමාණය අතිවිශාලය. ප‍්‍රාදේශීය සභා මැතිවරණවලදී පවා මිලියන ගණනින් මුදල් වැය කරන අපේක්ෂකයෝ සිටිති.

දැන් මැතිවරණ සඳහා තරග කරන අපේක්ෂකයන්ට නීතියෙන් නියම කළ උපරිම සීමාවකට යටත් නැතිව තමන් කැමති ඕනෑතරම් මුදලක් වැය කළ හැකිය. ආදායම් හා වියදම් වාර්තා ලබාදීමේ අවශ්‍යතාවක්ද නැත. කොටින්ම මහජනයාගේ ඡුන්ද තොග ගණනින් මිලදී ගැනීම අයිතිය ඡන්ද අපේක්ෂකයන්ට ලබාදී තිබෙන්නේයැ’යි කිව හැකිය. මෙය ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථයෙන් ඉතාමත් නොහොබිනා හා අශීලාචාරත්වයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

රටේ තිබෙන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් නම් අවසාන විග‍්‍රහයේදී පරමාධිපත්‍ය බලයේ නියම හිමිකරුවන් වන්නේ ජනතාවය. ජනතාව තමන් සතු පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කිරීමෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමවලදී අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම්වලට සීමා පනවා ඇත්තේද මැතිවරණ අරමුදල් හා වියදම් දැඩි පරීක්ෂාවට ලක් කෙරෙන ක‍්‍රම ඇතිකර තිබෙන්නේද ඡුන්දදායකයන් කෙරෙහි මුදල් බලයෙන් අයුතු බලපෑම් කිරීම වැළකීම සඳහාය. එහෙත් අපේ රටේ පවතින අශීලාචාර ආණ්ඩුක‍්‍රමය විසින් ඡන්දදායකයන්ගේ ඡුන්ද මිලදී ගතහැකි දෙයක් බවට පත්කර තිබෙන්නේයැ’යි කිව හැකිය. ඒ මගින් ජනතාවගේ පරමාධිපත්‍ය බලය පිළිබඳ සංකල්පය හාස්‍යජනක විගඩමක් බවට පත්කර තිබෙන්නේයැ’යි කිව හැකිය.

මැතිවරණ කොමසාරිස්

රටේ මැතිවරණ විෂයෙහි පවත්නා මෙම අශෝභන තත්ත්වයට රටේ සියලූ දේශපාලන පක්ෂද ඒ සියලූදෙනාටත් වැඩියෙන් මැතිවරණ කොමසාරිස්වරයාද වගකිව යුතුය. මැතිවරණ විෂය භාර ප‍්‍රධාන බලධාරියා වන්නේ මැතිවරණ කොමසාරිස්වරයාය. අන් සියලූදෙනාට පෙර මෙම අශෝභන හා අශීලාචාර තත්ත්වය දැකීමේ හැකියාව තිබිය යුත්තේ ඔහුටය. මැතිවරණවලදී නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා තිබිය යුතු කොන්දේසි හා එම කොන්දේසි සම්පූර්ණ කරගැනීම සඳහා තිබිය යුතු විධිවිධාන ගැන අන් කිසිවකුටත් නැති තියුණු අවබෝධයක් ඔහුට තිබිය යුතුය. අල්ලස, අයුතු සංග‍්‍රහ හා අයුතු බලපෑම් යන්නෙහි අර්ථය හොඳින්ම දැනසිටිය යුත්තේ ඔහුය. මහජනයාගේ පරමාධිපත්‍ය බලය ගැන ගැඹුරු අවබෝධයක් ඔහුට තිබිය යුතුය. ඒ ගැන වෙන කිසිවකුට නැති කැක්කුමක්ද ඔහුට තිබිය යුතුය. පරමාධිපත්‍ය බලයට වින කටින ඕනෑම ක‍්‍රියාවකදී ඔහු එම බලය ආරක්ෂා කිරීම සඳහා නිර්භීතව ඉදිරිපත් විය යුතුය. ඔහු එසේ කළයුත්තේ මැතිවරණවලදී මහජනයාගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කරදීමේ රැකවල් දූතයාගේ වගකීම පැවරී ඇත්තේ ඔහුට නිසාය. මැතිවරණවලදී අල්ලස, ෂණය හා අයුතු සංග‍්‍රහ මහා පරිමාණයෙන් සිදුවේ නම් ඒ තත්ත්වය දැකීමේ හැකියාව ඔහුට තිබිය යුතුවා සේ ම ඒ අශීලාචාර තත්ත්වයට එරෙහිව බලවත් ලෙස ක‍්‍රියාකිරීමේ හැකියාවද ඔහුට තිබිය යුතුය. එහෙත් රටේ අවාසනාවකට ඒ අශීලාචාර තත්ත්වය මැතිවරණ කොමසාරිස්වරයාගේ බලවත් විරෝධයට හෝ බලවත් කම්පනයට හේතුවී තිබෙන බවක් පෙනෙන්නට නැත.

කොමසාරිස්ට බලය තිබේද?

සාමාන්‍යයෙන් මැතිවරණවලදී දක්නට ලැබෙන මෙම අශෝභන තත්ත්වය වැළකීමට අවශ්‍ය තරම් බලයක් මැතිවරණ කොමසාරිස්වරයාට තිබේද යන ප‍්‍රශ්නයද සාකච්ඡාවට ලක්විය යුතුව තිබෙන ප‍්‍රශ්නයකි. මෙම ප‍්‍රශ්නය 1998දී කරුණාතිලක හා තවත් අයකුට එරෙහිව දයානන්ද දිසානායක, මැතිවරණ කොමසාරිස් සහ තවත් අය යන නඩු තීන්දුවෙන් හොඳින් සලකා බලා ඇතැ’යි කිව හැකිය. එම නඩු තීන්දුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රකාශ කර ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් මැතිවරණ කොමසාරිස්වරයාගේ ස්වාධීනත්වය තහවුරු කර ඇති බවත් නිර්භයව මැතිවරණවලදී හැම අංශයකදීමත් මැතිවරණ නීති නිසි ලෙස ක‍්‍රියාත්මක කළයුතු අතර අවශ්‍ය වන්නේ නම් මැතිවරණ කොමසාරිස්වරයා අධිකරණ කටයුත්තක යෙදී අවශ්‍ය අධිකරණ නියෝග ලබාගත යුතු බවත්ය.

එහෙත් එවැනි පැහැදිලි නඩු තීන්දුව තිබියදී ඉන් පසුව හෝ කිසිදු මැතිවරණ කොමසාරිස්වරයකු මැතිවරණවලදී රජකරන අශීලාචාර ක‍්‍රියාකාරකම් වැළකීමට නිර්භීතව නියෝග දෙන තත්ත්වයකට ගොස් නැතිවා සේ ම ඒ සඳහා අධිකරණ නියෝග අවශ්‍ය නම් ඒ නියෝග ලබාගැනීම සඳහා අධිකරණය ඉදිරියට ගොස් නැති බවද කිව යුතුය.
මීට අතිරේකව සමෘද්ධි නිලධාරීන් ඡුන්ද කටයුතුවලට යොදාගැනීමට අයිතියක් තිබේද නැද්ද යන ප‍්‍රශ්නය ගැනද පැහැදිලි නඩු තීන්දු ගණනාවක් තිබෙන අතර සමෘද්ධි අධිකාරිය එක් නඩුවකදී සමථයක් ඇතිකර ගනිමින් ප‍්‍රසිද්ධ පුවත්පත්වල පළකරන ලද දැන්වීමක සමෘද්ධි නිලධාරීන්ගේ තත්ත්වය විස්තර කර තිබුණේ මේ ආකාරයටය.

1. සමෘද්ධි අධිකාරියේ සමෘද්ධි කළමනාකරුවන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන් ආයතන සංග‍්‍රහයේ 32 වන වගන්තියෙන් දක්වා ඇති පරිදි හැර දේශපාලන කටයුතුවල නොයෙදිය යුතුය.
2. ඔවුන්ගේ කාර්යයන් ක‍්‍රියාත්මක කිරීමේදී ඔවුන් ස්වාධීනවත්, සාධාරණවත් කිසිම දේශපාලන පක්ෂයකට හෝ එවැන්නකට සහයෝගය දක්වන අයට සහයෝගය දෙමින් කටයුතු නොකළ යුතුය.

සමෘද්ධි අධිකාරිය මෙම සමථය ඇතිකර ගන්නා ලද්දේ 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයට සම්බන්ධ පෙත්සම්කරුවන් මැන්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයට ගිය අවස්ථාවකදීය.
සමෘද්ධි නිලධාරීන්ට අදාළව අධිකරණයේද එකඟතාව ඇතිව සමෘද්ධි අධිකාරිය විසින්ම ලබාදී තිබෙන මෙම නිර්වචනය අදටත් වලංගුය. ඔවුන් මැතිවරණ කටයුතු සඳහා පාවිච්චි කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස්වරයා දැන සිටිය යුතුය.
බලයේ සිටින ආණ්ඩු පක්ෂ මැතිවරණ කටයුතුවල සිය පක්ෂ වුවමනාවන් සඳහා රාජ්‍ය සම්පත් යොදාගැනීම නීතියට පටහැනි බව ප‍්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලි නඩු තීන්දුවක් දී තිබෙන්නේය. එය මහවැලි අධිකාරියට එරෙහිව එහි සේවකයකු විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලා 2000 වසරේදී මාක් ප‍්‍රනාන්දු, ඒආර්බී අමරසිංහ හා ඞීපීඑස් ගුණසේකර යනු විනිසුරුවරුන් තුන් කට්ටුව විසින් දෙන ලද තීන්දුවකි. එහි මෙසේ සඳහන් වේ.
‘සංස්ථා බිම වැරදි ලෙස භාවිත කිරීමට පෙත්සම්කරුට බලපෑම් කළේ සාමාන්‍ය තත්ත්වයකින් නොව ඉදිරියට එන මැතිවරණයක් සැලකිල්ලට ගනිමිනි. රාජ්‍ය හෝ සංස්ථා දේපළක් (ඉඩම, ගොඩනැගිලි, වාහන, උපකරණ, අරමුදල් හෝ වෙනත් පහසුකමක් හෝ මානව සම්පත්* ඍජු ලෙස හෝ වක‍්‍රව එක් දේශපාලන පක්ෂයක හෝ කණ්ඩායමක වාසියට භාවිත කිරීම නීතිය ඉදිරියේ අසමාන සැලකීමක් වනවා සේ ම දේශපාලන වශයෙන් සිදුවන අසාධාරණයක්ද වන්නේ එක් දේශපාලන පක්ෂයකට හෝ කණ්ඩායමකට පමණක් වාසි ඇතිකර ප‍්‍රතිවාදීන්ට එම වාසිය අහිමි කරන බැවිනි.’

මේ ආකාරයට බලන විට මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණවලදී සිදුවන වැරදිවලදී අඳුරේ අතපත ගාන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළයුතු නැත. නිදහස් හා සාධාරණ තත්ත්වයක් සහතික කිරීම සඳහා යොදාගත හැකි නඩු තීන්දු ඕනෑතරම් තිබෙන නිසා චකිතයක් ඇතිකර ගැනීමෙන් තොරව නියෝග දෙන තැනකට යා හැකිය. ඒවාට යහපත් ප‍්‍රතිචාර නොලැබේ නම් අධිකරණ නියෝග ලබාගැනීම සඳහා අධිකරණය වෙත යා යුතුය.
මැතිවරණ විෂයයේදී රටේ පවතින මෙම අශීලාචාර තත්ත්වය වෙනස්කර ගැනීම අත්‍යවශ්‍යය. ආණ්ඩුක‍්‍රමය පමණක් නොව මැතිවරණ ක‍්‍රමයද විධිමත් ලෙස ප‍්‍රතිසංස්කරණය කරන තැනකට යායුතුය.

ඇති කළයුතු ප‍්‍රතිසංස්කරණ

මට පෙනෙන අන්දමට එම විෂයේ ඇති කළ යුතු ප‍්‍රධාන වෙනස්කම් මෙසේය.
1. රාජ්‍ය නායකයා හෝ ඇමතිවරුන් රාජ්‍ය නිලධාරීන් කෙරෙහි අයුතු ලෙස බලපෑම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කළ යුතුය.
2. ඉහළින් ලැබෙන නියෝග මත රාජ්‍ය නිලධාරීන් නීතියට පටහැනිව ක‍්‍රියාකිරීමද බරපතළ දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නීතිගත කළ යුතුය.
3. මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල වගකීම් හා යුතුකම් පිළිබඳ පැහැදිලි නිර්වචනයක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කළ යුතුය.
4. රාජ්‍ය දේපළ හා සම්පත් මැතිවරණවලදී පාලක පක්ෂවලට අයථා ලෙස යොදාගැනීමට තිබෙන ඉඩ වළකන නීති ඇති කළ යුතුය.
5. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන් හෝ මැතිවරණ වියදම් සඳහා සීමා පනවන නීති යළි ඇති කළ යුතු අතර අපේක්ෂකයන්ට ඔවුන්ගේ මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස්වරයා හා විගණකාධිපති වෙත ලබාදීමට බලකරන නීති ඇති කළ යුතුය.
6. වත්කම් බැරකම් නීතිය යටතේ පිරවීමට තිබෙන පෝරමය නූතන අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස විධිමත් කොට අපේක්ෂකයන්ට ඔවුන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ නාමයෝජනා සමග භාරදීමට නියම කෙරෙන නීති ඇති කළ යුතුය.
7. පක්ෂවල මැතිවරණ අරමුදල් පාලනය කිරීම සඳහා නීති ඇති කළ යුතු අතර පක්ෂවල මැතිවරණ අරමුදල් පරීක්ෂා කිරීමේ බලය මැතිවරණ කොමසාරිස්වරයාට හා විගණකාධිපතිට ලබාදිය යුතුය.
8. මැතිවරණවලදී පොලිස්පතිගේ කාර්යභාරය විධිමත් ලෙස අර්ථකථනය කළ යුතුය.
9. මහජන මන්ත‍්‍රීවරුන් ගණයෙහි ලා සැලකෙන පුද්ගලයන් ආණ්ඩුව සමග ව්‍යාපාරික ගිවිසුම් ඇතිකර ගැනීම හෝ ගනුදෙනු කිරීම සපුරා තහනම් කළ යුතුය.