සිසිර නිද්‍රාවකට පසු සිනමාව සමග අනුරාගයෙන්…

කේ.සංජීව

මම මගේ සීියාට ගොඩක් කැමති ඔහු ඔහුගේ සිනමා අතීතය අනුරාගයෙන් මා සමග බෙදා ගන්න නිසා. පනහ – හැට- හැත්තෑව කාලේ හොඳට චිත‍්‍රපටි බලපු කෙනෙක් ඔහු. ඔහු කියන විදිහට කොල්ලා කාලේ වැඩිපුරම කරලා තියෙන්නේ චිත‍්‍රපටි බලන එකයි බූරුවා ගහන එකයි. රත්නපුරේ එවක තිබුණු සිනමාශාලාවල දවසම රස්තියාදු ගහපු කාලයක් මිනිහට තිබුණා. බලපු හැම චිත‍්‍රපටියක්ම එකසේ මතකයි. මාතලන් චිත‍්‍රපටියේ මාතලන්ගේ වික‍්‍රමය කියවගෙන යනකොට දැනුත් ඔහුගේ දෑස් දිලිසෙනවා. චණ්ඩියාටත් කැමතියි. සත පනහ. ඔවුන් ඒ කාලේ මුළු හදවතින්ම සිනමාව ස්පර්ශ කළා කිව්වොත් ඒක හරියටම හරි. ඔවුන්ගේ සිනමා රසිකත්වය අතරේ යසපාලිතට වගේම ලෙස්ටර්ටත් ඉඩ තිබුණා. ඒ කාලේ දේශීය වගේම විදේශීය සිනමා කෘතිවලටත් ලංකාව ඇතුළේ ලොකු ඉඩක් තිබුණා. ඒකනේ අභිමාන් වගේ චිත‍්‍රපටියක් බලන්න මිනිස්සු පොරකන්නේ. එක වරක් යාපනේ ගිය වෙලාවක රාති‍්‍ර 9.30 සිනමා දර්ශනයට ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් ආපු අයෙක් මට මුණ ගැහුනා. යාපනේ දමිළ සහෝදරයන් අතරේ නම් සිනමාව පිළිබඳ අනුරාගය තවමත් නොසිඳී ගලන උල්පතක්. ඒත් දකුණේ එහෙම නැහැ කියන කටුක යථාර්ථය තමයි අපි කාලයක් අත්දැක්කේ. සිනමාශාලා වැසී ගියා, නැත්නම් ඒවායේ මැස්සෝ ඇහිරෙන්න ගත්තා. සිනමාශාලා මකුණෝ බෝකරන මධ්‍යස්ථාන වුණා. ජනතාව චිත‍්‍රපටි බලන්න එන්නේ නැති නිසා සිනමාශාලා නඩත්තු කරන්න බැහැ කියලා ඒවායේ අයිතිකරුවන් කෑමොර දුන්නා. කාලයකට කලින් ආව අබා – පබා වර්ගයේ සිනමාව වුණත් මේ ගැටලූවට පිළිතුරක් වුණේ නැහැ.

කොළඹ සිනමා උළෙල

ප‍්‍රංශයේ කාන්. ඉතාලියේ වැනිස්. ජපානයේ ටෝකියෝ. කොරියාවේ බුෂාන් වගේ කොළඹ සිනමා උළෙලක් තියන්න යනවනේ. සංවිධානය කරන්නේ අධ්‍යක්ෂවරුන්ගේ සංසදය. මේ දැනට මාස තුන හතරකට කලින් ඉඳල කනින් කොනින් ඇසුණු දෙයක්. එතරම් බලාපොරොත්තුවක් නැහැ. ෆිල්ම් පෙන්වන්නේ ඩිජිටල් මිඩියම් එකෙන්. සමහර හෝල්ස් නවීකරණ කරනවා. මෙවැනි කතාබහවලින් කාලය ගත වුණා. සිනමාව ඩිජිටල් කළා කියලා මුකුත්ම කරන් නැතුව අරලියගහ මන්දිරේ ලොකු පාටියක් දාලා පිස්සුවක් කෙළිය ජාතියක් විදිහට අපිට මේ කතා නිකන් විහිළු කතා වුණා. ඒත් දිනය උදා වුණා. සැප්තැම්බර් 2 වැනිදා සිනමා උළෙල ඇරඹුණා. තුන්වෙනිදා ඉඳල රීගල්, එම්පයර්, තරංගනී, එම්සී සිනමාශාල විවෘත වුණා. සිනමා කෘති අනූවක්. දේශන, සංගීත සන්ධ්‍යාවත්, සතුටු සාකච්ඡුා සිනමාව පිළිබඳ වැඩමුළු ලෝ ප‍්‍රකට අධ්‍යක්ෂකරුවන්ගේ පැමිණීම වැනි දේවල් ප‍්‍රවෘත්ති විදිහට මුහුණු පොතේ සැරිසැරුවා. මිනිස්සු ඔය කියුවට චිත‍්‍රපට බලයිද? අපි අතරත් මේ ප‍්‍රශ්නය තිබුණා.

සිනමා කෘති තේරීම

මේ විදිහට කොළඹ සිනමා වසන්තය ආරම්භ වුණා. අපි අතර තිබුණ සාම්ප‍්‍රදායික කතා ගොන්න අතීතයට අයිති දෙයක් පමණක්ම වුණා. මිනිස්සු ෆිල්ම් බලන්න දිගු පෝලිම්වලට එකතු වුණා. සිනමා උළෙල ඇතුළේ සිනමා කෘති අනූවක් ප‍්‍රදර්ශනය වුණා. ඒවා අතර ඔෆීෂියල් සිලෙක්ෂන් එකතුත් තිබුණා. උළෙලට සිනමාකෘති තේරීමේ වගකීම දැරුවේ උළෙලේ ප්‍රෝග‍්‍රෑම්ර් විදිහට වැඩකළ අනෝමා රාජකරුණා කලාකාරිය. මේ ඇයගේ හ`ඩ.

‘අපි සිනමා කෘති අනූවක් තෝර ගත්තා. මෙයිනුත් හතළිස් හයක් ඔෆීෂියල් සිලෙක්ෂන් කියන ගොනුවට වැටෙනවා. මේ ගොනුවට වැටුණු සිනමා කෘති 2013/2014 – 2012 වර්ෂවල නිෂ්පාදනය වූ ඒවා. බොහෝමයක් අන්තර්ජාතික චිත‍්‍රපටි උළෙලවල් සඳහා තේරුණ කෘතින්. ඒ අතරින් නවතම චිත‍්‍රපටිත් තිබුණා. කොළඹ සිනමා උළෙල කියලා කියන්නේ එවැනි චිත‍්‍රපටිවල දෙවන හෝ තෙවන සිනමා උළෙල නියෝජනය. සිනමා උළෙලට තෝරා ගන්නා සිනමා කෘති තුළ විවිධත්වයක් තියා ගන්න අපි උත්සාහ කළා. සම්භාව්‍ය සිනමාව පිළිබඳව යම් හැ`ගීමක් නරඹන්නාට දෙන්න ඒවගේම ජුලියට් බිනෝෂේ වගේ රංගවේදිනියකගේ රංග ප‍්‍රතිභාව ලාංකිකයන්ට වඩාත් සමීප කරන්න අපි උත්සාහ කළා. කාන්තාව, රංගනය, අධ්‍යක්ෂණය කියන මාතෘකා තුන යටතේ ප‍්‍රත්‍යාවලෝකන සිනමා උළෙලක් තමයි අපි සංවිධානය කළේ. ලංකාවේ අපි සිනමාව කියලා කියන්නේ වෘතාන්ත චිත‍්‍රපටියට. ඒත් ලෝක මට්ටමින් ඒක එහෙම නෙවෙයි. අද සිනමාව කියන්නේ වෘතාන්ත චිත‍්‍රපටිය, වාර්තා චිත‍්‍රපටිය, කෙටි චිත‍්‍රපටිය කියන මාධ්‍ය තුනේම එකතුවක්. මේ මාධ්‍ය තුනේම නිර්මාණවලින් අපි මේ උළෙල සංවිධානය කළා. මේ නිසාම කෙටි චිත‍්‍රපටි 12ක් පෙන්නුවා. අනෙක තමයි සැප්තැම්බර් මාසය කියලා කියන්නේ ලෝ ප‍්‍රකට සිනමා උළෙලවලට පෙර කාලයක්. එවැනි උළෙවල්වල තරගකාරී අංශ තිබෙනවා. එනිසාම මෙවැනි උළෙලකට සිනමා කෘති ලබාගැනීම ගොඩක් දුෂ්කරයි. ඒ මොකද අපි දැන් දකුණු ආසියාව කියන කලාපය ගනිමු. යම් සිනමා කෘතියක් ඒ සිනමා කෘතියේ ප‍්‍රථම සිනමා උළෙල විදිහට අපේ සිනමා උළෙල තුළ ප‍්‍රදර්ශනය කළහොත් ඒ සිනමා කෘතියට මේ කලාපයේ තරගකාරී අංශයක් තිබෙන වඩා ප‍්‍රසිද්ධ සිනමා උළෙලක් ම`ගහැරෙන්න පුළුවන්. එවැනි වටපිටාවක අපිට තම තමන්ගේ නිර්මාණ නිර්ලෝභීව ලබාදුන් සිනමාකරුවන්ට මෙන්ම ඒ අදාළ සියලූදෙනාට අපි අපේ ගෞරවය පුදකළ යුතුයි. මේ උළෙල තුළ යම් සාර්ථකත්වයක් තියෙනවා නම් ඒකේ ගෞරවය ඔවුන්ටත් හිමියි. අනෙක තමයි අපි ලෝ ප‍්‍රකට ළමා චිත‍්‍රපටි පෙළක්් පෙන්නුවා. රජිව් රවි, කාලෝස් රෙගඩාස් වගේ ප‍්‍රකට සිනමාකරුවන්ගේ සිනමා වැඩමුළු සංවිධානය කළා. මේ නිසා උළෙල වර්ණවත් වුණා.

කොළඹ සිනමා උළෙල කියලා කියන්නේ වර්ණවත් සිනමා උළෙලක්… එවැනි සිනමා උළෙලක් සංවිධානය කළ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට අපි ගෞරවය පුද කළ යුතුයි. ඔකිනාවා මූවී ෆෙස්ටිවල් සමග එක්ව සංවිධානය වූ කොළඹ සිනමා උළෙලට ඉතා විශාල ජනතා ආකර්ෂණයක් හිමි වුණා. ඒක අපි කවුරුවත් බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි.

පික්චර් පිස්සන් අතර හිඳ

කාලෙකට පස්සේ රීගල් සිනමා ශාලාව ඉදිරිපිට දිගු පෝලිම්… මිනිස්සු පොරකනවා. රීගල් විතරක් නෙවෙයි තරංගනී, එම්පයර්. එම්සී කියන සිනමාශාලා සියල්ලම මේ කාලය ඇතුළේ අතුරු සිදුරු නැතුව පිරී ගියා. කොටා පාරේ නිමල් මහත්තයාගෙන් මම ඇහැව්වා මේ ඇයි කියලා.
‘හොඳ චිත‍්‍රපටි තියෙනවා නම් මිනිස්සු ඒවා බලනවා. බලන්න මිනිස්සු දැන් පැය කීයක ඉඳලද මේ පෝළිමේ ඉන්නේ… මිනිස්සු මේ විදිහට ෆිල්ම් බලන්න ඇවිල්ලා ඉන්නේ නොමිලේ පෙන්වන නිසාද? මම අහනවා.

මම හිතන්නෑ මහත්තයෝ නොමිලේ පෙන්නුවා කියලා මෙච්චර සෙන`ගක් ඒවිය කියලා. අනික මේ පෙන්වන ගොඩක් චිත‍්‍රපටි වෙනත් භාෂාවල වෙනත් රටවල නිර්මාණ.
ඇත්තෙන්ම මේ පේ‍්‍රක්ෂක සහභාගිත්වය හිතාගන්න බැහැ. විශ‍්‍රාමිකයෝ, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ සැවොම උළෙලට උද්යෝගයෙන් එකතු වුණා. කොළඹට ආසන්න නගරවලිනුත් ඇවිත් කොළඹ නතර වෙලා සමහරු සිනමා උළෙල නැරඹුවා. පේරාදෙණිය, රුහුණ, වයඹ, ඌව, නැගෙනහිර වගේ සෑම විශ්වවිද්‍යාලයකම ශිෂ්‍යයන්ගේ සහභාගිත්වය කැපී පෙනෙනවා.
මම විශ‍්‍රාමිකයි. මේ බලන්න මේ ෆ්ලාස්ක් එකට තේ වතුර හදාගෙන ඇවිත් දවසට ෆිල්ම් තුනක් බලලා තමයි ගෙදර යන්නේ. ඇය නුගේගොඩ අනුලාය. අනුලා මෙන්ම තවත් බොහෝ පිරිසක් සිනමා දර්ශන වාර තුනක් හෝ දවසට නැරඹු බව කියයි. ඉතින් මෙය සිනමා වසන්තයක් නොවේද? මේ විදිහට මේ සතියක පමණ කාලය ඇතුළත කොළඹ සිනමාහල් තුළට එකතු වුණ බොහෝ දෙනෙක් තරුණ අය නැතිනම් විශ‍්‍රාමික අයයි. මැද වයසේ අයගේ සහභාගිත්වය තරමක මඳ බවක් පෙනෙන්නට තිබුණා. සිනමාශාලා අතර බස් රථ ප‍්‍රවාහන සේවයක් ද සේවයේ යොදවා තිබුණා. ඒක එක් ශාලාවට සංචාරය කර සිනමා පිපාසය සංසිඳුවා ගන්නට එය අත්වැළක් වුණා කියුවොත් ඒක නිවැරදියි.

උළෙල තුළ වැඩිම ආකර්ෂණය

කොළඹ සිනමා උළෙල ඇතුළත ප‍්‍රදර්ශනය වුණ දෙස් විදෙස් සිනමා කෘතින් අතරින් පේ‍්‍රක්ෂකයන්ගේ විශාල අවදානයට ලක්වුණ සිනමා නිර්මාණ තුනක් තියෙනවා. වාසනාවකට මේ සිනමා නිර්මාණ තුනම සිංහල චිත‍්‍රපට වීම සුවිශේෂයි. තණ්හා, රතී, ර`ගා, ෆැරුන්ජිපානී, 28 තමයි ඒ නිර්මාණ. මේ නිර්මාණ ති‍්‍රත්වය ප‍්‍රදර්ශනය කළේ කොළඹ රීගල් සිනමා ශාලාවෙ. නරඹන්නට පැමිණි පේ‍්‍රක්ෂකයන්ගේ පෝළිම නිවාස සංවර්ධන අධිකාරිය දෙසටම දිගු වුණා. ප‍්‍රසන්න ජයකොඩි සිනමාවේදියාගේ 28 සිනමා කෘතිය තමයි උළෙල තුළ ප‍්‍රදර්ශනය වුණ අවසාන නිර්මාණය. බොහෝ පිරිසකට පැය තුනකට වැඩි කාලයක් පෝළිමේ ඉඳලා හැරිලා යන්න වුණා. පේ‍්‍රක්ෂකයෝ සිනමා ශාලාව ඇතුළට දාන්න සංවිධායකයන්ට පොලිසියේ සහයත් ගන්න වුණා. පෝලිම් ගැසුණු පේ‍්‍රක්ෂකයෝ ඉදිරියෙන් එම ස්ථානය පසුකළ බොහෝ පිරිසකට එදා ප‍්‍රශ්නයක් තිබුණා. රීගල් එකට ඇයි මෙච්චර සෙන`ග? මොකද්ද පෙන්වන්නේ. විස්මය රැුඳි දෙනෙතින් ඔවුන් ප‍්‍රශ්න කළා. තවත් පිිරිසක් එම ස්ථානයේ නතර වී සිනමා ශාලාවට පේ‍්‍රක්ෂකයන් ඇතුළු කරන අයුරු බලා සිටියා. මේක සිනමා රසිකත්වය ගිලිහී ගිය සමාජයට අරුමයක් වුණා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන

බොහෝ සිනමා නිර්මාණ ප‍්‍රදර්ශනය කළ පසු ඒ නිර්මාණ පිළිබඳව සාකච්ඡුාවක් පැවතුණා. මේ සාකච්ඡුාවට අදාළ සිනමාපටයේ නිර්මාපකයා සහභාගි වීම සුවිශේෂයි. මැක්සිකානු සිනමාකරු කාලෝස් රෙගඩාස්, ඉන්දියානු සිනමාකරු රජිව් රවි, සිංගප්පූරු සිනමාකරු කාන් ලූවී වගේ අය මේකට සහභාගි වුණා. සිංහල සිනමාවට අලූතින් එකතු වූ සිනමා කෘතියක් තමයි ෆාරුන්ජිපානී මේක අධ්‍යක්ෂණය කළේ විසාකේස චන්ද්‍රසේකරම්. ඔහු 90 දශකයේ අපිට හිටිය හොඳ වේදිකා නාට්‍යකරුවෙක්. ඔහුගේ සිනමා නිර්මාණය සමලිංගකත්වය තේමා කර ගත් එකක්. ඔහුගේ සිනමා නිර්මාණය ප‍්‍රදර්ශනය කර අවසන් වූ පසු පැවති සංවාදය තමයි මා දුටු සකී‍්‍රයම සංවාදය. මේක ආන්දෝලනාත්මක චිත‍්‍රපටියක්. ගොඩක් දෙනෙකුට ප‍්‍රශ්න තිබුණා. ඒ ප‍්‍රශ්නවලට පැහැදිලි උත්තර අධ්‍යක්ෂණවරයාගෙන් ලැබීම උද්යෝගය දනවන්නක්. විටෙක සංවාදය උණුසුම්. මේ චිත‍්‍රපටිය මොකක් ගැන කළ එකක්ද කියලා ඇහැව්වහම අධ්‍යක්ෂවරයාගේ පිළිතුර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කියන එක. මේක ගේ ෆිල්ම් එකක්. දැන් ලංකාවේ ගේ ෆිල්ම් රැුල්ලක් හැදෙයිද? තවත් කෙනෙක්ගේ ප‍්‍රශ්නයක්. නැහැ. බය වෙන්න එපා.

මේකෙන් ලංකාවේ තරුණයාට බලපෑමක් නැද්ද? මේක ආදරය ගැන චිත‍්‍රපටියක්. මම හිතන් නැහැ මේක ලංකාවේ තරුණයාට නරක විදිහට බලපායි කියලා. මේ විදිහට සංවාදය උණුසුම් වන විට එක් අයෙක් ඇසුවේ සමලිංගික නොවී ඔබ කොහොමද මේ වගේ සිනමා නිර්මාණයක් කරන්නේ කියලා. මම කොළඹ ඉන්න හොඳම සමලිංගිකයෙක් කියන එක තමයි අධ්‍යක්ෂවරයාගේ පිළිතුර වුණේ. මේ විදිහට කොළඹ සිනමා උළෙල ඉතාමත් සාර්ථක අන්දමින් නිමාවට පත්වුණා. ඉතාමත් බැරෑරුම් සිනමා නිර්මාණ පවා පේ‍්‍රක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගත්තා. කිසිම විටක සිනමා ශාලාවෙන් නැගිට ගියේ නැහැ. එනිසා ලංකාවේ සිනමා රසවින්දනය නැතැයි කියන බොහෝ දෙනකුට මේ සිනමා උළෙල පිළිතුරක් වුණා. හොඳ සිනමා නිර්මාණ තියෙනවා නම් මිනිස්සු බලනවා. සිනමා උළෙල අපිට කියුවේ ඒක. කොළඹ සිනමා උළෙලට ආව කාටවත් භාෂාව ගැටලූවක් වුණේ නැහැ.

ස්වේච්ඡා සේවකයෝ

කොළඹ සිනමා උළෙල සාර්ථක කර ගැනීමට එය වටා රොක් වී සිටි තාරුණ්‍ය කළ කැපකිරීම අගය කළ යුතුයි. සිනමා ශාලා තුළ ස්වේච්ඡුා සේවකයන් ලෙස ඔවුන් විශාල මෙහෙයක් කළා. සුළු සුළු වැරදිත් සිදු නොවුණාම නොවෙයි. එම්.සී සිනමා ශාලාවට දිනක් පැමිණි නන්දා මාලිනිය හරවා යවා තිබුණා. ඒ ඔවුන් ඇයව හඳුනා නොගත් නිසා. එක් දර්ශන වාරයකට සිනමා ශාලාව ඇතුළට පැමිණ සිටි ස්වර්ණට මල්ලවාරච්චි මහත්මිය අවශ්‍යතාවක් සඳහා ශාලාවෙන් මදකට බැහැර වී යළි ශාලාව ඇතුළට පැමිණෙන්න යන විට එයට ස්වේච්ඡුා සේවකයන් ඉඩ දී නැහැ. දිගු කතාබහකින් පසු සිනමා ශාලාව තුළට පැමිණි ඇය පැවසුවේ තමන්ට යළිත් ශාලාව ඇතුළට පැමිණීම සඳහා රණ්ඩු කර ගන්න සිදු වූ බවයි. ජීවිතයේ දිගු කාලයක් සිනමාවට කැප කළ ඇයට එය මහත් වේදනාවක් වූ බවට සැක නැහැ. ටෙලි නාට්‍ය නිළියක් ආව නම් මල් දීලා පිළිගනියි. ඇය එලෙස පැවසුවා. සිනමා උළෙලක් තුළ ආසන වෙන්කිරීමේ සාම්ප‍්‍රදායක් නැහැ. එහෙත් යම් යම් දර්ශන වාර තුළ එලෙස ආසන වෙන්කර තිබීම දිගු පෝළිමක පැය දෙක තුනක් සිටි පේ‍්‍රක්ෂකයන් කෝප ගැන්වූවා. සමහර සිනමා අධ්‍යක්ෂවරුන් තමන්ගේ නෑ හිත මිත‍්‍රයන්ට ආසන වෙන්කර තබාගන්නා ලෙස ස්වේච්ඡා සේවකයන්ට කියූ අවස්ථාද තිබුණා. මෙවැනි අඩුපාඩුකම් තිබුණත් කොළඹ සිනමා උළෙල ඉතාමත් සාර්ථකයි. එය පැවසිය යුතුමයි.

අසංස්කෘතික පැවැත්ම

කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල සංවිධානය කළේ සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදය. උළෙල තුළ නියමුවා විදිහට කටයුතු කළේ සිනමාවේදි අශෝක හඳගම, ඔහු මෙම සිනමා උළෙල සාර්ථක කර ගැනීම සඳහා අන් අය දිරිමත් කරමින් සැලසුම් සකස්කරමින් කළ මෙහෙය ඉතාමත් සුවිශේෂයි. කොළඹ සිනමා උළෙල අවසානය පිළිබඳව ඔහු තමන්ගේ ෆේස් බුක් පිටුවට මෙසේ ලියා තිබුණා.

සැප්තැම්බර් මාසේ දෙවෙනිදා කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙලේ සමාරම්භක උත්සවයකදී සුබ සන්ධ්‍යාවක් කියනකොට හිතේ තිබුණේ අධිෂ්ඨානයත් මා වටා සිටි පිරිසකගේ කැපවීමත් පිළිබඳ විශ්වාසයක් විතරයි. ඒත් උළෙල අවසාන වන මේ මොහොතේ මා ඔබට සුබ සන්ධ්‍යාවක් කියන්නේ දැඩි ආත්ම විශ්වාසයකින්.

මේ උළෙලේ පෙන්වූ එකදු සිනමා පටයක්වත් ලංකාවේ සිනමා කතිකාව තුළ ‘ජනපි‍්‍රය’ ආකෘතියේ සිනමා පට නොවෙයි. මේ සිනමාපට විඳින්නට ඉවසීමක් කිසියම් වූ ශික්ෂණයක් අවශ්‍ය වෙනවා. එම නිසා මෙම උළෙල සමයේ සිනමා ශාලාවල රැුස්වුණු හැම කෙනකුම රැුල්ලේ ගසාගන නොගොස් උඩුගං බලා පිහිනිය හැකි ශක්තියක් ඇති අය බව සැකයක් නැහැ. ඒ නිසාම ඔවුන් පිළිබඳව අපට ඇත්තේ ගෞරවනීය ළෙන්ගතුකමක්. අපට වෙනස් කළ නොහැකි සේ පෙනෙන බොහෝ දෑ වෙනස් කළ බවට මේ උළෙලට තිබූ ජනතා සහභාගීත්වය අපට සනාත කර සිටිනවා. සිනමා රසිකත්වය පිළිබඳ තිබූ මුල් බැසගත් දුර්මත මේ උළෙල නිසා ඉරිතලා ගියා. සිනමාවේ අනාගතය පිළිබඳ තිබූ උදාසීන ප‍්‍රාර්ථනාවට අලූත් ජවයක් එකතු වුණා. සෞන්දර්යය විදීමක් නැති අසංස්කෘතික පැවැත්ම ප‍්‍රශ්න කිරීමකට පෙළඹවීමක් ලැබුණා.

අප හඹා ගියේ ඉටු කර ගත නොහැකි සේ පෙනුණු බලාපොරොත්තුවක් පසු පසයි. ඒ අභියෝගය විශ්වාසයෙන් භාර ගැනීමට අප හා එක්වුණු සියලූ දෙනාටම මේ අවසන් සැන්දෑවේ මාගේ අසීමිත ස්තූතිය හිමි වෙනවා.