නූතන කෘතිය ලියන්නේ ලේඛකයා නොව පාඨකයායි – ප‍්‍රවීණ ලේඛක ආරියවංශ අබේසේකර

ආරියවංශ අබේසේකර විසින් රචිත ‘මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්’ කෘතිය රාවය ප‍්‍රකාශනයක් ලෙස දැන් නිකුත් වී තිබේ. හෙතෙම පොළොන්නරුවේ ජීවත්වෙමින් කොළඹ සාහිත්‍ය කටයුතුවලට සහභාගිවන්නේම නැති, එහෙත් ඒවා පිළිබඳ අධ්‍යයනයකින් පසුවන ලේඛකයෙකි. ආරිගේ අලූත්ම කෘතිය ඉකුත් යුද්ධය හා ඊට ඍජුව සම්බන්ධ පුද්ගල චරිත කිහිපයක මනෝභාවයන් විදාරණය කැරෙන නවකතාවකි. එමෙන්ම යුද්ධයේ මහත් වූ ඛේදය ඔහු මෙම වචන අනූතුන්දාහ අතර හඟියි. දාගේ (88), චාරුමන්දා (97), මතක වත(98) රැට බතට උන් කොතැනද ලගින්නේ (85) වාඩිය (96) යන නවකතා හා කෙටිකතා මීට පෙර හෙතෙම රචනා කළේය.

ඔබ සාමාන්‍යයෙන් කොළඹ කේන්ද්‍රීය සාහිත්‍ය සමාජය හඹා නොඑන ලේඛකයෙක්. කොළඹින් දුරබැහැර ඉඳගෙන ලේඛනය පිළිබඳ ඔබේ භාවිතය කවර ස්වරූපයේ එකක්ද?

අපි දකින දේ තමයි ප‍්‍රධාන නගරයට සංස්කෘතිය කේන්ද්‍රගතව තිබීම. ඒක එහෙමම විය යුතුද? රට පුරාම විසිරිච්ච අයගේ දේවල් පිළිගන්න බැරිද? අපි එක දේකට හුරුවෙලා. ඊළඟට සංස්කෘතික කාරණාවල නියැලෙන්න මිනිස්සු අගනුවරම ජීවත් විය යුතුද? සංස්කෘතිය රටේ හතර දිග්භාගයට ගලා යායුතු නැද්ද? තමන්ට හුරුපුරුදු දන්න කියන භූමිය තමයි ලේඛකයන්ට වඩාත්ම දේවල් දැනෙන තැන. ඒක වෙනස් කරගෙන ඇත්ත දෙයින් පිටට පනින්න මට වුවමනාවකුත් නැහැ.

සංස්කෘතික ප‍්‍රවාහකයන් අගනුවරට රොද බඳින්නේ ඇයි?

කෙනෙකුට ජනප‍්‍රිය වෙන්න මාධ්‍ය ඕනෙ. ලංකාවෙ මේ පිළිබඳ තිබෙන තත්ත්වය අසතුටුදායකයි. නිර්මාණ කරුවන් ගොඩනැගිලා තියෙන්නේ නිර්මාණ හරහා නෙමෙයි මාධ්‍ය හරහා. හැම වෙලාවෙම නෙමෙයි හුඟක් වෙලාවට. අපිට පුළුවන් නම් නිර්මාණකරුට නොව නිර්මාණයට සලකන සමාජයක් හදාගන්න මේ ප‍්‍රශ්නය බොහෝදුරට බේරගන්න පුළුවන්.

ලිවීම පිළිබඳ ඔබ තුළ ධාරණය වී ඇති සිතුවිල්ල කවර ස්වරූපයේ එකක්ද?

මගේ ඇතුළෙ ඒක වෙන්නෙ ඇහැට වැටිච්ච රොඞ්ඩක් අයින් කරනවා වගේ. එය සමාජ ප‍්‍රශ්නයක් විය හැකියි. මිනිස් ජීවිතය හා පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයක් විය හැකියි. ඒක දිගින් දිගටම මා තුළ වේදනා ගෙන දෙනවා. අපි කැමතියි වේදනාවෙන් මිදෙන්න. ඇහැට වැටිච්ච රොඞ්ඩ වේදනා දෙන නිසා අනවරතව ඒ ගැන මහන්සි වෙන්නෙ. ඒ වගේ වැඩක් තමයි මට මේක. ප‍්‍රශ්නයේ බර වැඩිවෙන්න වැඩි වෙන්න, ඒ ගැන හිතන්න හිතන්න ඒ ගැන කරන ගවේෂණයත් වැඩිවෙනවා. ගවේෂණය වැඩිවෙන කොට ආයෙත් හිත බරවෙනවා. එතකොට අනිවාර්යයෙන්ම එය බැහැර කරන්නම වෙනවා. එතැනින් වැඬේ ඉවරයි කියලා ඇතැම් නිර්මාණ කරුවන් සිතුවාට මට ඒක දැනෙන්නෙ ඒ විදියට නෙමෙයි. මට තවදුරටත් ඒක දැනෙනවා. සමහරවිට තවත් නිර්මාණය කාර්යයක් දක්වාම.

දෘෂ්ටිවාදය යන්න ලේඛණ භාවිතය තුළ ඔබ ස්පර්ශ කරන විදිය මොකක්ද?

දෘෂ්ටිවාදී නැහැ. ඒත් නිර්මාණයට දෘෂ්ටියක් තියනවා. ඊළඟට ලිවීම පිළිබඳව ස්ථිර ක‍්‍රමයක් හෝ ව්‍යුහයක් මම අනුගමනය කරන්නෙත් නැහැ. මගේ හිතට වැටෙන නිර්මාණාත්මක සිතුවිල්ල කියලා ඉවර කරගත හැක්කේ කවර ක‍්‍රමයකටද? මොන දෘෂ්ටියෙන්ද, ඒ රටාව හා දෘෂ්ටිය මම භාවිත කරනවා. ඉන්ද්‍රජාලික යථාර්ථවාදී රටාව ගතහොත් ඒක පිළිබඳ මගේ විශේෂ කැපවීමක් නැහැ. තාත්විකවාදී රටාව ගතහොත් ඒක පිළිබඳ මගේ විශේෂ කැමැත්තක් හෝ ප‍්‍රතික්ෂේපයක් නැහැ. ඒ වෙලාවට උචිත දේ පාව්ච්චි කරනවා. ආකෘතිය හැදෙන්නෙ අන්තර්ගතය හරහායි. මගේ අන්තර්ගතය කියාගත හැකි හොඳම ආකෘතිය තෝරගන්නවා. ඒක ලෝකයේ තිබෙන කවර හෝ රචනා ශෛලියක් විය හැකියි.

ඔබේ අලූත්ම නවකතාව වන ‘මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්’ කෘතියේ දෘෂ්ටිවාදී ගොඩනැංවීම මොකක්ද?

මම අනිවාර්යයෙන් දරන හෝ ප‍්‍රියකරන දෘෂ්ටියක් නැහැ. මගේ අලූත්ම නවකතාව වන ‘මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක්’ කෘතියේ චරිත මුහුණ දෙන ගැටලූ ගනිමු. ඒවා කොතැන හෝ ඒ ඒ චරිත මුහුණදෙන ගැටලූනෙ. ඒවා නිර්මාණාත්මකව පාඨකයන්ට දැනෙන විදියට කීම සඳහා මිසක් මගේ මතවාදයක් ඒවා මත පැටවීමට කිසිසේත්ම උත්සාහ ගන්නේ නැහැ. මේ කතාවට පාදක කැරලිකාරී සංවිධානය හොඳයි කියන්නවත් නරකයි. කියන්නවත් මම උත්සාහ කරන්නේ නැහැ. ඒ අය අදාළ ක‍්‍රියාවලියට පෙළඹුණු ආකාරය, ඊට පස්සෙ එම ක‍්‍රියාකාරීත්වය ඔස්සේ සෙස්සන්ට වෙච්ච දේවල් කියනවා හැරුණු විට ඒක පිළිගැනීමවත් ප‍්‍රතික්ෂේප කිරීමවත් මගේ වැඩක් කියලා මම හිතන්නේ නැහැ.

දෘෂ්ටිවාදයකින් තොරව නිර්මාණයක් ගෙනයා හැකි කෙළවර මොකක්ද?

දේවල් විඳීම දක්වා. මිනිස්සුන්ට මුහුණ දෙන්නට වන ගැටලූ මත මිනිස්සු බැස ගන්න තීන්දු කඩාකප්පල් කරන්න ඕනෙ නැහැ. ඒ කියන්නේ මනුෂ්‍ය ස්වභාවය වෙනස් කරන්න කාටවත් අයිතියක් නැහැ. කිසියම් කෙනෙක් ප‍්‍රචණ්ඩකාරීව හැසිරෙනවා නම් ඒක ඔහුගේ වරදකට වඩා ඒක සමාජගත වරදක්. පවුකාරයාට නෙමෙයි ගල්ගහන්න ඕනෑ පවට කියන එකයි මගේ අදහස. කිසියම් දේශපාලන දෘෂ්ටිවාදයක් කර තබා ගතහොත් අපිට පහර ගහන්න සිද්ධවෙන්නෙ අර වරදකාරයට මිසක් වරදට නෙමෙයි. මේ නවකතාවට විතරක් නෙමෙයි අනෙකුත් නිර්මාණවලදීත් මම ලෝකයේ තිබෙන කිසිම දේශපාලන දෘෂ්ටිවාදයකට අනුව ලියලා නැහැ. දෘෂ්ටියකට වහල්වෙනවා කියපු ගමන්ම පැත්තක් ගන්න වෙනවා. පැත්තක් ගත්තොත් බහුතරයකට සාධාරණය කළ හැකිවෙයි. ඒත් පැත්තක් නොගත්තොත් හැමෝටම සාධාරණය ඉටුකිරීමක් ගැන සිතිය හැකියි. බහුතරයකට සාධාරණය ඉටුකිරීමේ නාමයෙන් සුළුතරය අමාරුවේ වැටිය යුතු නැහැ. නපුරට හේතුව සොයාගෙන යෑම තමයි කලාකරුවාගේ වගකීම.

මීට පෙර ලියූ දාගේ වැනි කෘතිවලදී ඔබ ජන සාහිත්‍යය ඇසුරු කර තිබුණා. ඔබේ අලූත් නවකතාව ගැඹුරු ලෙස මානව ජීවිතයේ එක් පාර්ශ්වයක් නිරූපණය කරන බව පෙනී යනවා. මෙහිදී භාවිත කෙරුණු ජන සාහිත්‍යයට විකල්ප උපාය මාර්ගයක් තිබෙනවාද?

මීට වසර 10-15කට පෙර ජීවිතය දුටු විදියට නෙවෙයි අද වනවිට පේන්නේ. ඒක වෙනස් වෙනවා. දකින දේත් වෙනස් වෙනවා. ජනශ‍්‍රැතිය ජනසාහිත්‍ය හරහා පමණක් කළ නොහැකි දේ තිබෙන්න පුළුවන්. ඕනෑම විෂයයක සීමාකම් තිබෙනවා. එතකොට වෙනත් රටාවක් සොයා ගත යුතු වෙනවා. අලූත් නවකතාවේදී එහෙම දෙයක් වුණා. ඒක තීරණය වෙන්නේ කෘතියේ අන්තර්ගතයෙන් ඉල්ලා සිටින දේ අනුවයි. දෙයක් කියාගන්න හොඳම විදිහ උපමා කතාව නම් මම දෙවරක් නොසිතා ඒක භාවිත කළා. ඒ උපමා කතාවේම තවත් දිගුවක් මාතෘකාවක් සොයන වචන අනූතුන්දාහක් කෘතියේ දැක්වෙනවා. එම දෘෂ්ටාන්ත ස්වරූපය අන්තර්ගතය අනුව මම වෙනස් කිරීම් කිහිපයකට භාජනය කරගෙන තිබෙනවා.

ඔබ නවකතාවේ කථන ක‍්‍රමයේ සිට මේ නවකතාව වනවිට රූපණ ක‍්‍රමය දක්වා පැමිණ ඇති බවක් දක්නට ලැබෙනවා. ඒක හරිද?

ඔව්. කතිකාත්මක පාර්ශ්වයට හානි නොවන ලෙස. අපි කතා කියන්න යන එක පාඨකයාට කරදරයක්. ඒ අයට කතාවක් හදාගන්න අපි ඉඩ තැබිය යුතු බවයි මගේ අදහස. අපි ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දිය යුතුයි. අපි කතාන්දරයක් ලියූ විට පාඨකයා ඒක කියවා පොත අවසන් කරන ක‍්‍රමය දැන් ඉවරයි. ඒක සුවපහසු නින්දක් වගේ. පාඨකයාගේ නිදිමත ගතිය අඩු කරන ක‍්‍රමයකුත් නූතන කෘතිය තුළින් නිෂ්පාදනය විය යුතුයි. පාඨකයාට අවශ්‍ය නිවස තනාගන්න අපි අමුද්‍රව්‍ය ටික විතරක් දුන්විට පාඨකයා ඔහුට අවශ්‍ය ගේ හදා ගනියි.

මෙම යටි පෙළ කියවීමේ ක‍්‍රියාවලියට නූතන පාඨකයා කෙතරම් දුරට සහ සම්බන්ධද?

මෙතෙක් කල් පාඨකයාට ලැබුණේ ලේඛකයා හෝ කලාකරුවා කැමති දේයි. ඒකෙන් පාඨකයා මේ දක්වා සෑහීමකට පත්වුණා. අද කලාරසිකයින් ඒ සීමාවෙන් සෑහීමකට පත්වෙන්නෙ නැහැ කියලයි මම හිතන්නේ. ඔවුන් තුළත් කලාව පිළිබඳ යම් මතවාදයක් තියනවා. ඒ පිළිබඳ කියවීමක් ඔවුන්ටත් තියෙනවා. එතකොට නූතන පාඨකයා යනු සරල පුද්ගලයෙක් නෙවෙයි. ගැඹුරු කෙනෙක්. ගැඹුරු පුද්ගලයාට තවදුරටත් හිතන්න යමක් අපි ලිවිය යුතුයි. අනෙක් පැත්තෙන් විචාරකයාටත් මේ ගැන අවධානයක් තිබිය යුතුයි. ඔහුට එහෙම අවධානයක් නැති බවයි මගේ හැඟීම. ආකෘතියයි, අන්තර්ගතයයි කොහොමද. අන්තර්ගතය මේ සංස්කෘතියට ගැළපෙනවද වගේ ප‍්‍රාථමික නිර්ණායක මතයි විචාරකයන් කෘති දෙස බලන්නේ. අද පාඨකයෝ ලෝකයේ විවිධ ලේඛකයන්ගේ පොත් කියවනවා. ලේඛකයොත් එහෙමයි. ඒ දෙගොල්ලොම වෙනස් වෙලා තියෙද්දි විචාරකයා විතරක් වෙනස් වෙලා නැහැ.

ඒකට හේතුව මොකක්ද?

හේතුව ලංකාවේ විචාර කලාවත් විෂයයික ලෙස නොවැඞීමයි. මම දකින විදියට ලංකාවෙ කිසිම කාලෙක විචාරයක් තිබුණේ නැහැ. ඒත් කණ්ඩායම් හදාගෙන ඒ කණ්ඩායම්වල සාමාජිකයන්ගේ නිර්මාණ උඩදමා ගැනීමයි හැමදාම වුණේ. කෘතිය මුල් කරගෙන සාකච්ඡුා කරනවාට වඩා ඒ ලේඛකයා පිළිබඳ තිබුණු පැරණි සිතිවිල්ල මුල් කරගෙනයි බොහෝ විචාරකයන් ලියන්නේ. එතකොට ඇත්ත ලියවෙන්නේ නැහැ. කියවීම හා ලිවීම පිළිබඳ ළමා කාලෙ ඉඳලා පුහුණු වන ක‍්‍රම තිබෙනවා. ඒත් විචාරයට කොහේදිවත් පුහුණුවක් ලැබෙන්නේ නැහැ. ඒකත් එක්තරා ප‍්‍රශ්නයක්.

සමකාලීන නවකතාව ගැන ඔබ කොහොමද හිතන්නේ?

මට වැටහෙන දේ තමයි ලංකාවේ බොහෝ නවකතාකරුවන් සමාජගත වෙච්ච ඇතැම් මතවාදවලට බයෙන් ඉන්නේ. මුළු සමාජයම යුද්ධය හොඳයි කළ යුතුයි කියනවිට ලේඛකයාත් ඒ මතයම නියෝජනය කරනවා. යුද්ධය වැරදියි කියන්න ඔහු පෙළඹෙන්නේ නැහැ. ඔවුන් යුද්ධයට විරුද්ධව මනුෂ්‍යත්වය මතුකරනවා වෙනුවට යුද්ධයට පක්ෂ වී මනුෂ්‍යත්වය මතුකර ගන්න නිරර්ථක වෑයමක් දරනවා. ඒ පදනමම වැරදියි.

යුද්ධය ඇතුළු සමාජ දේශපාලන සිදුවීම් අපේ ලේඛකයන්ට බරසාර විදියට නොදැනෙන්නේ ඇයි?

තමන්ට පෞද්ගලිකව හානියක් වන දේකට අද ලේඛකයා කලාකාරයා අතගහන්නේ නැහැ. ඒ කියන්නේ කලා කෘතියට වඩා වැදගත් වෙලා තියෙන්නේ තමන්ගේ පැවැත්ම. ඇත්ත කියලා තමන් දඩයමට ලක්වේවි කියලා සමස්ත සමාජයටම තියන බය ලේඛකයාටත් තියනවා. මේක පුංචි රටක්. මතවාදය ඍජුව ප‍්‍රකාශ කරලා හැංගිලා ඉන්න කාටවත් බැහැ. ලියන එකත් ලංකාවේ පොඩි බිස්නස් එකක් බවට පත්වුණාට පස්සෙ ලේඛකයොත් පැවැත්මේ සීමාව අඳුනගෙන ලියන්න පටන් අරන්.

සාර්ථක ප‍්‍රබන්ධ ගොඩනැගිය හැකි කතා වස්තුවල හිඟකමක් ලංකාවේ තියෙනවද?

ප‍්‍රකට කාරණා පසුපස ලේඛකයෝ දුවනවා. අප‍්‍රකට වූ දේවල් කවුරුවත් හඹායන්නේ නැහැ. අප‍්‍රකට දේවල් සොයාගන්න මහන්සි වෙන්න ඕනෑ. වාමාංශික දේශපාලනයේ ගැටලූසහගත තැන් ගැන ලිව්වේ ගුණදාස අමරසේකර විතරයි. ගමනක මුල පොත් පෙළින්. ඒ වගේ විචාරාත්මක බැල්මක් වෙන කිසිම දෙයක් ගැන කෙරිලත් නැහැ. ලංකාවේ දරිද්‍රතාව ප‍්‍රබලයි. දරිද්‍රතාවට හේතුව ගැන කියන්නවත්, ඒක ජයගන්නෙ කොහොමද කියන්නවත් ජයගත්තු කෙනෙක් ගැන ලියන්නවත් කවුරුවත් පෙළඹෙන්නේ නැහැ. දරිද්‍රතාව ජයගත්තු කෙනෙක් විදියට මතුකරන්නෙ පීඩකයෙක්ව. යුද්දෙදි එහෙමනේ වුණේ. උත්කර්ෂයට නංවලා තියෙන්නෙ පීඩකයාව. කාලීන දේවල් කිහිපයක් එක්කනෙ ලේඛකයො පොර බදන්නේ. එක කාලෙකින් මේ නවකතාව ඉවර වෙනවා. කවුරුහරි තව දෙයක් පටන් ගත්තාම අනිත් අයත් ඒකම ලියනවා. මේ වැඩෙත් ටෙලිනාට්‍ය වගේ වෙලා. ගම්පෙරළිය අදත් රසවිඳින්න පුළුවන් වෙලා තියෙන්නෙ එම සාමාජීය කියවීම විශාල එකක් වූ නිසයි. අද ලියන ලේඛකයන්ගේ සාමාජීය කියවීම පටුයි. ඒ නිසා සමහරුන්ගේ නවකතා දෙවරක් කියවන්න කොහොමටවත් හිතෙන්නේ නැහැ. ඔවුන්ට එකම කාරණය ගැන විවිධ ස්වරූපවලින් දකින උත්සාහයක් ඇත්තේම නැහැ. වික‍්‍රමසිංහගෙ පරිණාමවාදය දක්වා ගනිමු. සමාජයේ වෙනස්වීම ඔහු දිගටම ස්පර්ශ කළා. මහගම සේකරත් ඒ වැඬේ කළා. මිනිසාගේ වෙනස්වීම එහෙම දිගට ගෙනියන හුයකින් බැඳුණු දෙයක් අද ලේඛකයන්ට නැහැ. වික‍්‍රමසිංහ කියවීම තුළ ඔහුගේ සමාජ දෘෂ්ටියයි අපි ග‍්‍රහණය කරගන්න බලන්නේ. වර්තමාන ලේඛකයකුගේ සමාජ දෘෂ්ටිය පේන්නෙ නැහැනෙ.