හිටපු මහ ඇමතිවරයාගේ සැණකෙළියක් වූ ඌව මැතිවරණය

 

 

දිනය 2014 සැප්තැම්බර් 15 වැනිදාය. ස්ථානය මොනරාගල උසාවි සංකීර්ණයට ආසන්න ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිටය. අංක 15 ටීෂර්ට්වලින් සැරසී අංක 15 තොප්පි හිස පැළඳි තරුණයෝ විශාල පිරිසක් බයිසිකල් පෙළපාළියකට සැදී පැහැදී සිටිති. මොටෝ බයිසිකල් නිල් කොඩිවලින් සරසා ඇත. මෙලෙස බයිසිකල් පෙළපාළි යෑම සහ සංවිධානය කිරීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම්ය. දිනය 15 නිසා මොනරාගල දිස්ත‍්‍රික්කය පුරා මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාර රැුසක් කලඑළි බැස ඇත. නිදහස් හා සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීම සඳහා ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පාපැදි සවාරියක් සංවිධානය කර ඇත. එහි පාපැදි තරගකරුවන් පිටුපසින් මහෝඝයක් සේ ගමන් කරනුයේ ඉහත බයිසිකල් පෙළපාළිකරුවන්ය. බයිසිකල් සහ ඩිෆෙන්ඩර් අහස්යානා සේ ජනතාව පසුකර යති. ජනතාව අදහාගත නොහැකි නිහැඬියාවක ගිලී සිටිති. ඩිෆෙන්ඩරය කියන්නේ ආයුධයකටද? ඇයි මිනිස්සු මේ වාහනවලට බයවෙන්නේ මහ ඇමති අපේක්ෂකයා ප‍්‍රශ්න කරයි.

‘රටේ නීතිය අපිට විතරයි, ඒගොල්ලන්ට නීතියක් නැහැ. මේ සිරිලංකාවනේ.’ මා බයිසිකල් පෙළපාළිය ෆොටෝ කරනු දකින මොනරාගල වැසියෙක් කියයි. මඳ වේලාවකින් පපර සංගීතයකි. 15 කැප් තොප්පි පැළඳි ටී ෂර්ට් ඇඟලාගත් ජනතාවෝ පන්සීයක් පිරිවර ඌවේ මහ ඇමති නායකයා පෙරටු කොටගෙන ගමන් එති. දයාසිරි මහඇමතිතුමා ඩෙනිමකින් ඇමරිකන් පන්නයට සැරසී ජනතාව අතරට යමින් කඩදොරවලට එබෙමින් අංක 15 රැුඳි කූපන්පත් බෙදයි. පුංචි දරුවන්ගේ නාසය මිරිකයි. ඔවුන් උඩ විසිකරයි. නැවත පෙළපාළිය අතරට යයි. මෙය මැතිවරණයක්ද? නැත්නම් බිග්මැච් එකක්ද? සැණකෙළියක්ද? මෙලෙස පෙළපාළිවලින් පපරය ගසමින් කැන්වසින් කිරීම මැතිවරණ නීති උල්ලංඝනයක්දැ’යි මම නොදනිමි. එහෙත් පෙළපාළියට පොලිස් ආරක්ෂාව සපයා තිබෙනු දැක ගතිමි.
‘දයාසිරි විතරක් නෙවෙයි මහත්තයෝ, 15 දිනවන්න දෙව්ලොවිනුත් ඇවිල්ලා තියෙන්නේ.’ ’කතරගම දෙවියන්ගේ යාළුවෝ වෙන්න ඇති.’ මම කියමි. ඔහු සිනාසෙයි.

15ටම වෙන්වූ දවස

15ටම වෙන්වූ දවස මෙලෙස ගෙවීයමින් තිබේ. හවස 6.15ට ස්ථාන 15ක පන්සල් 15ක ආශිර්වාද බෝධි පූජාය. ඒවායේද අංක 15 සහිත වතුර බෝතල්, සිල් රෙදි බෙදන බව සැලයි. ඉන්පසුව ස්ථාන 15කදී ලංකාවේ ජනකාන්ත ජනප‍්‍රිය තරු පිරිවරා ගත් සංගීත රාත‍්‍රී කලඑළි බසී. සන්ෆ්ලවර්ස්, ෆ්ලෑෂ් බැක්, සීදුව සකුරා, සනිධප සිට ෆයර් දක්වා සංගීත කණ්ඩායම් එහිදී සංගීත රාත‍්‍රින් වර්ණවත් කරති. ඇතිමලේ, බුත්තල, බිබිල, සියඹලාණ්ඩුව, වැල්ලවාය, හඳපානාගල, බඩල්කුඹුර, ඔක්කම්පිටිය, කතරගම, තණමල්විල ආදී ස්ථාන 15කදී මෙලෙස සංගීත සංදර්ශන පැවැත්වෙන අතර මෙම ස්ථානවලදී නෙක විසිතුරු තෑගිද බෙදා දෙති. අනෙක් පසින් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලදී නියං සහනාධාරයැ’යි රුපියල් 2500ක දීමනා දෙනු ලබන අතර මේ නිසාම මේ දිනවලදී බොහෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල රාත‍්‍රී 12 පමණ වනතුරු විවෘතව තැබේ. බොහෝ දෙනකු රුපියල් 2500ක නියං සහනාධාරය ලබා අසල තැබෑරුමකින් පදමට සප්පායම් වී සුමියුරු සංගීත රසයෙන් කුල්මත් වී සිය නිවෙස්වලට යන්නේ උදෑසනය. මෙය නම් ආශ්චර්යයක් නොවන්නේද? සැණකෙළියක වෙස්ගත් වෙල්ලස්සේ තවත් තොරතුරු බොහෝය. එම තොරතුරු අපට කියන්නේ ආශ්චර්යයේ මිහිඳුම් සේලයෙන් දෑස් වැසී ගිය කල රටකට එහි ජනතාවට අත්වන ඉරණම ගැනය. ඡුන්ද පඬුරක සිල් රෙද්දක දැවටී ගත් කොළ කැබැල්ලක මෙලෙස සටහන් වී තිබෙනු දුටිමි. ‘සීල සමාධි ප‍්‍රඥා ධර්ම මාර්ගයේ පියවරෙන් පියවරට ගමන් කිරීමටද, සියලූ කුසල ක‍්‍රියාවල නිරත වී ගුණධර්ම රැුස් කිරීමටද, දුක් දොම්නස්වලින් මිදී ආධ්‍යාත්මික සුවයෙන් සිත් සනසාලීමටද අවසන බුදු, පසේ බුදු, මහරහතුන් වහන්සේලා නිවී සැනසී වදාළ නිවන් සම්පත් සාක්ෂාත් කරගැනීමටද කැමති සියලූ පින්වතුන් වෙත අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ‘මහින්ද චින්තන’ ප‍්‍රතිපත්තිවලට අනුව යමින් දැහැමි රටක තිරසාර පැවැත්ම සහ එහි අභිවෘද්ධිය තහවුරු කරනු වස් සකස් කරන ලද මෙම දහම් පඬුර මහත් වූ භක්ත්‍යාදරයෙන් පිරි නැමෙන වගයි.’
මේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය පාලකයන් සොරකම් කරන අයුරුය. අද ගමේ සිල් රෙද්දක් බෙදන්නේත්, පොල්ගෙඩියක් බෙදන් නේත්, මාළු කූරියෙකු බෙදන්නේත් මහින්ද චින්තනයට අනුවමය. අහෝ මෙහෙව් චින්තනයක්!

බඩු බෙදිල්ල ජයටම

ඡුන්දයක් පවතින කලකදී ජනතාවට අවශ්‍ය බඩු බෙදාදී, ඡුන්දය ඉල්ලීම විලාසිතාවක් බවට ඔසවා දියුණු කර ව්‍යසනයක් බවටම ඔසවා තැබීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ රජයට හිමිවිය යුතුය. ඌව පළාත් සභා ඡුන්දය ආරම්භ වූ මොහොතේ සිට සමහර ස්ථානවලදී ඊට පෙර සිටම බඩු බෙදාදීම ආරම්භ වී ඇත. මේ ලිපිය ලියැවෙන 18 වැනි දින සිට තව ඇත්තේ මැතිවරණයට දින කිහිපයකි. මොනරාගල දිස්ත‍්‍රික්කය තුළ අතිවිශේෂයෙන්ම බඩු බෙදාදීම් ඉහළ ගොස් ඇත. මෙය බරපතළ මැතිවරණ නීති උල්ලංඝනයකි. එහෙත් අද බඩු බෙදා හැරෙන්නේ රාජ්‍ය අනුග‍්‍රහයෙන්ය. බදුල්ල දිස්ත‍්‍රික්කයේ පස්සර නගරයේදී පොල් සංවර්ධන මණ්ඩලය ජනතාවට පොල් බෙදා දුන් බව කියති. බදුල්ල දිස්ත‍්‍රික්කයේ සාපේක්ෂ වශයෙන් බඩු බෙදාදීම් අඩුය. මොනරාගල අහස උසටය. බිබිල මැතිවරණ කොට්ඨාසයේ පුටු බෙදාදෙන උත්සවයකට මමත් ගියෙමි.

මල්ලී පුටු ගන්නද? ඔව්. ඔයාට සංගමයක් තියෙනවාද? නැහැ, අපි එකක් හදන්න ඉන්නේ. හදපු ඒවාට නේද දෙන්නේ. නැහැ, අපි හදන්න ඉන්නේ කියුවාම දෙනවා. පුටු කීයක් දෙනවාද? 15ක්. මොනවාද වර්ගය? ……… ඇත්තටම ඉතින් ඔයාලා සංවිධානයක් හදලා මේ පුටු ඒකට දෙනවාද? මොන පිස්සුද අයියා… නිකන් දෙන එකනේ. විකුණ ගන්නවා.
ඌවේ මහ ඇමති අපේක්ෂකයාට විපක්ෂයෙන් එල්ල කළ ප‍්‍රධාන චෝදනාවක් වූයේ ඔහු ප‍්‍රදේශයේ මළගෙදරකටවත් නොයන පුද්ගලයෙකු බවය. එම චෝදනාවට ප‍්‍රති උත්තර දෙමින් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත කියා තිබුණේ මළගෙදරක මිනිස්සු ඉඳගන්නේ මම දුන්නු පුටුවේ. ලයිට් ගන්නේ මගේ ජෙනරේටරයෙන්. කතා කරන්නේ මගේ හෝන් සෙට් එකෙන්. මිනිය තියන්නේ මගේ පෙට්ටියේ බවය. ඔහු මාධ්‍යයට කියූ මේ ප‍්‍රකාශය අද දවසේ මොනරාගලට යන ඕනෑම අයකුට ප‍්‍රායෝගිකව දැකගත හැකිය. සිල් රෙදි, මහන මැෂින්, සෙවිලි තහඩු, බුෆේ සෙට් ආදී මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය හැම දෙයක්ම අංක 15 ප‍්‍රමුඛ සන්ධාන අපේක්ෂකයෝ බෙදාදෙමින් සිටිති.

මීට සති දෙකකට පමණ පෙර දිනකදී බිබිල දොඩම්ගොල්ල පාසල් හන්දියට පැමිණි ඩිෆෙන්ඩර් රථයක් මුහුදු මාළු පාර්සල් බෙදාදී ඇත. ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව පිළිබඳවත් ඡුන්ද අපේක්ෂකයන් කල්පනා කරමින් සිටින බව මෙම සිදුවීම හඟවයි. බදුල්ල දිස්ත‍්‍රික්කය තුළ මොනරාගල තරමටම බඩු බෙදාදීම් සිදුවීම් වාර්තා නොවුණද සාරි බෙදාදීම් ඉහළ ගොස් ඇති බව එහි ජනතාව ප‍්‍රකාශ කරති.

ලංගම උදාරට වැඩ

පසුගිය 14 වැනි දින බිබිල නගරයේ සංචාරයක යෙදුණු අපට දැකගන්නට ලැබුණේ ජාතික ගමනාගමන මණ්ඩලයේ වැල්ලවාය, තණමල්විල, සියඹලාණ්ඩුව, මොනරාගල ආදී වූ ඩිපෝවලින් පැමිණි බස්රථ අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසාගේ පුත‍්‍රයා වන උදාර සොයිසාගේ මැතිවරණ සටනට බැහැලා වැඩ කරන බවය. එම බස් රථ එදින බිබිල නගරයේ පැවති සන්ධාන ප‍්‍රචාරක රැුලියකට අවශ්‍ය සෙනඟ ප‍්‍රවාහනය කර තිබුණි. බස්රථ වසා සරසා තිබුණ පෝස්ටර් ජනතාවගෙන් ඉල්ලූවේ උදාරට ඡුන්දය පාවිච්චි කරන ලෙසය. මේ අයුරින් මෙදින පැමිණි බස් රථ 20ක් පමණ බිබිල මොනරාගල හන්දියේ නවතා තිබුණි. වෙනදාට මේ බස්රථවලින් ගමන් පහසුව සලසා ගන්නා මිනිසුන්ට මේ නිසා විඳින්නට වූ පාඩුව සහ අපහසුතාව පිළිබඳව ගමනාගමනයේ නිලධාරීන් කල්පනා කළේදැ’යි විමසිය යුතුය. මොනරාගල, තණමල්විල, වැල්ලවාය, සියඹලාණ්ඩුව වැනි ප‍්‍රදේශවල පිහිටි අතිදුෂ්කර ගම්මානවල එකම ප‍්‍රවාහන මාධ්‍යය ලංගමය වන තත්ත්වය තුළ එම දුෂ්කර ගම්මානවල ගැමියනට විඳින්නට වූ අපහසුව තක්සේරු කිරීම අපහසු නැත.

රජයේ සේවකයන් බරටම වැඩ කළා

මෙවර ඌව පළාත් සභා මැතිවරණ සටනේදී රාජ්‍ය සේවකයන්ද සුවිශාල සේවයක් සන්ධානයේ මහ ඇමති අපේක්ෂකයා වෙනුවෙන් කළ බව ප‍්‍රකාශ කළ යුතුමය.
‘මේගොල්ලෝ ගම්වලට එන්නේ හොඳ හයිරූෆ් වෑන්වල. සන්ග්ලාස් එහෙම දාලා තමයි එන්නේ. එක කණ්ඩායමක 10ක් විතර ඉන්නවා. ගම ගැන දන්න දෙන්නෙක් මෙයාලාගේ සහයෝගයට දෙනවා. මෙයාලට තියෙන්නේ ගෙවල්වලට ගිහින් මිනිස්සු දැනුවත් කරන්න. මෙහෙම ආපු ගොඩාක් අය හොඳටම බැනුම් අහගත්තා.’
තම නිවසට කැන්වසින් ආ රාජ්‍ය සේවකයන් ගැන මතකය ආවර්ජනය කළේ නන්නපුරාවේ සෝම රත්නය. බොහෝ දෙනකුට මෙවැනි දේවල් පිළිබඳව තිබෙන්නේ අපුලකි. ජනාධිපතිවරයා යටතේ තිබෙන අමාත්‍යාංශ බොහොමයක සේවකයන් පසුගිය මසක වැනි කාලයක සිට මෙලෙස ඌව මැතිවරණයට තම ශ‍්‍රමය කැපකරමින් සිටින්නේ රැුකියාවේ ස්ථිරතාව රැුකගැනීම සඳහාය. නැතිනම් උසස්වීම් සඳහාය. දිවි නැගුම නිලධාරීන්, උපාධිධාරී පත්වීම් ලැබූවන් පසුගිය 6, 7 දින දෙක තුළ මොනරාගල වැඩ කළේ දහස් ගණනින්ය. ඒ රාජකාරියේ අත්‍යවශ්‍ය තාවක් නිසාදැ’යි අපි නොදනිමු. මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය සඳහා රජයේ නිලධාරීන් යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම් පමණක් බව නම් අපි දනිමු. රාජ්‍ය නිලධාරීන් මෙන්ම රාජ්‍ය සම්පත්ද මෙලෙස මැති වරණයට බොහෝ සේ යොදා ගත් බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම මාධ්‍යයත් කරන චෝදනාව පැහැදිලි සත්‍යයක් බව අද කවුරුත් පිළිගනිති.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් වාහන 2ක් සහ නිලධාරීන් 5 දෙනෙකු ඌව පළාත් සභා මහ ඇමති අපේක්ෂක ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට යොදාගත් බව මැතිවරණ නිරීක්ෂණ ජාලය ප‍්‍රකාශ කර සිටී. ඔවුන්ට ලැබුණු පැමිණිල්ලකට අනුව ප‍්‍රකාශයක් නිකුත් කරන එම ජාලය WP PB 8795 සහ WP PB 9739 යන වාහන දෙක එලෙස පාවිච්චි කළ වාහන බව කියා සිටී. මේ වාර්තාගත වූ එක් සිදුවීමක් පමණි. මොනරාගල ප‍්‍රදේශයේ රාජ්‍ය ලාංඡුනය වසා ස්ටිකර් අලවන ලද වාහන කොපමණ ප‍්‍රමාණයක් මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන තිබෙන්නේද? එහි සංඛ්‍යාව බොහෝ සෙයින් ඉහළය. ජාතික ලොතරැුයි මණ්ඩලයේ අනුග‍්‍රහයෙන් ඇස් කණ්ණාඩි බෙදාදීම් මෙන්ම මහ ඇමතිතුමාගේ බිබිල ප‍්‍රචාරක කාර්යාලයද පවත්වාගෙන යන බව අද ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රබල චෝදනාවකි. මේ ආයතන හා මුදල් කාගේද? ඒවා එක පක්ෂයකට එක අපේක්ෂකයකුට අයත් දේපළද? මොනරාගල ඡුන්ද සටන නිරීක්ෂණය කරන අයට පෙනෙනුයේ මේ ආයතන මෙන්ම රාජ්‍ය දේපළද රාජ්‍ය සේවකයන්ද සමගින්ම එක් පවුලක් අයිති කරගෙන ඇති බවය.

මැතිවරණ කොමසාරිස්ගේ ලිපිය

පසුගිය 2014/09/11 වැනි දින මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා ඉතා සැර ලිපියක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අමාත්‍ය වරුන් වන සුසිල් පේ‍්‍රමජයන්ත, මෛත‍්‍රීපාල සිරිසේන, ඩලස් අලහප් පෙරුම යන අයට යොමුකර ඇත. ආණ්ඩුව ඌව මැතිවරණයේදී සහනාධාර ලෙස ආහාර මලූ, මුදල් සහ සිල් රෙදි බෙදාදීම ඉඳුරාම මැතිවරණ ¥ෂණ බව සඳහන් කරන එම ලිපිය තමන්ට ඒ පිළිබඳව පැහැදිලි සාක්ෂි ලැබී ඇති බවද කියයි. මෙම මැතිවරණ දූෂණ ක‍්‍රියා සම්බන්ධයෙන් කිසිවකු හෝ මැතිවරණයට පසුව තමන්ද වගඋත්තරකරුවකු කරමින් අධිකරණයට ගියහොත් තමන් එම සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කරන බවට බරපතළ අනතුරු ඇඟවීමක් කරන ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මේ නිසා යම් අපේක්ෂකයකු මැතිවරණය ජයග‍්‍රහණය කළත් එවැනි නඩුවක් පවරා තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළහොත් එවැනි තීන්දුවකින් ඔහුට තම අසුන අහිමි වන්නට වුවත් පුළුවන් බවය. ලංකාවේ ප‍්‍රධාන මාධ්‍ය තුළ මෙම ලිපියට ලැබුණු ඉඩකඩ ඉතාමත් සීමිතය. මෙම ලිපිය පිළිබඳව රාවය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්තගෙන් කරුණු විමසන්නට උත්සාහ කළත් ඔහුගේ දුරකතනය ක‍්‍රියාත්මක තත්ත්වයේ නොතිබුණි.
ඌව පළාත් සභා ඡන්ද විමසීම තුළ මැතිවරණ කොමසාරිස්වරයා කළ කී දෑ අතර මෙම ලිපියට ඉහළ වටිනාකමක් ලබාදිය යුතුය. එමෙන්ම එළැඹෙන පළාත් සභා ඡුන්දයෙන් පසු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගෞරව කරන ජනතාවට අවශ්‍ය නම් අධිකරණයට ගොස් මැතිවරණ දූෂණ ගැන අදාළ අපේක්ෂකයන්ට නඩු පැවරිය හැකිය. එවිට ලිපියේ සඳහන් කර තිබෙන ලෙසට මැතිවරණ කොමසාරිස්තුමා නඩුවට ඉදිරිපත් වී තමන් සතු හඬපට, ඡුායාරූප අධිකරණයට ඉදිරිපත් කරනු ඇත. එනිසා සමහර අපේක්ෂකයන් මහ ඇමතිවරුන් බවට පත් වුවත් සමහරවිට ඔවුන්ට අසුනෙන් බැස යන්නට සිදුවනු ඇත.
අහෝ කෙතරම් ආශ්චර්යයක්ද? එවිට ජනතාවට සිතෙනු ඇත.

සංඛ්‍යා ලේඛන

ඌව පළාත් මැතිවරණය කැෆේ සංවිධානය, පැෆරල් සංවිධානය, මැතිවරණ නිරීක්ෂණ ජාලය වැනි ආයතන නිරීක්ෂණය කරමින් තිබේ. ඔවුන්ගේ පොදු මතය ඌව මැතිවරණය නිදහස් සහ සාධාරණ නැති බවය. මෙම ඡුන්දය තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් සුරැුකෙන්නේ නැති බවය. මොනරාගල සහ බදුල්ල යන දිස්ත‍්‍රික්ක දෙකෙහි මැතිවරණ සංඛ්‍යාලේඛන දත්ත නිරීක්ෂණයේදී පැහැදිලි වන්නේ මොනරාගලට සාපේක්ෂව බදුල්ල තුළ මැතිවරණ නීතිය සුරක්ෂිත බවය. මේ පිළිබඳව විමසීමේදී බදුල්ලේ මධ්‍යස්ථ බොහෝදෙනකු කියන්නේ ඩිලාන් පෙරේරා මෙන්ම නිමල් සිරිපාල යන අමාත්‍යවරුන් ප‍්‍රචණ් ඩත්වයට උඩගෙඩි නොදෙන නිසා බදුල්ල සාමකාමී බවය. එම කියමන සත්‍යයක් නම් එහි ගෞරවය ඔවුන් දෙදෙනා සතු විය යුතුය.

20දා ගැන

ඌව පළාත් ඡන්ද විමසීම 20 වැනි සෙනසුරාදා දින සිදුවෙයි. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන මෙන්ම මැතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයෝද පක්ෂද මැතිවරණය තබන 20 වැනි දිනය පිළිබඳව තම මතය ප‍්‍රකාශ කරමින් සිටිති. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ මිනිසුන් බියවැද්දීම වැනි සිදුවීම් සිදුවීමේ ඉඩකඩක් තිබෙන බවය. ආණ්ඩුව කියන්නේ 20 වැනි දින තමන් විපක්ෂයට ජනතා සහයෝගයෙන් හොඳ පාඩමක් උගන්වන බවය. එජාපය කියන්නේ ඕනෑම දේකට රෙඩි බවය. මැතිවරණ කොමසාරිස් කාර්යාලය කියන්නේ නිදහස් හා සාධාරණ ඡුන්දයකට සියල්ල සූදානම් කර ඇති බවය. මේ යන විදිහට 20 වැනිදාට මොනවායෙන් මොනවා වෙයිද? ඌව ජනතාව එලෙස කල්පනා කරනවාට සැක නැත.

ඡුන්දදායකයාට ප‍්‍රචණ්ඩ බලපෑමක් එල්ල කළ හැකියි
ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂක
සරත් විදානගමගේ
කොහෙත්ම සාධාරණ ඡුන්දයක් පැවැත්වීමේ හැකියාවක් නැහැ. ඡුන්දයට අවශ්‍ය ආරක්ෂාව ගැන විශ්වාසයකුත් නැහැ. ආණ්ඩුව පැත්තෙන් මහ ඇමති අපේක්ෂකයා බරපතළ විදියට මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් ඉන්නවා. ඩිෆෙන්ඩර්, ප‍්‍රාඩෝ, ගරාජ් නම්බර් සහිත වාහන පෙළපාළි යනවා. ලයිට් දාගෙන වේගයෙන් ගිහින් මෙයාලා ජනතාව අතර භීතියක් ඇති කරන්න කටයුතු කරමින් ඉන්නවා. මහ ඇමති අපේක්ෂකයාගේ බිබිල කාර්යාලය සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ ජාතික ලොතරැුයි මණ්ඩලය. මිනිස්සුන්ට දෙන්න පුළුවන් හැම දෙයක්ම බෙදනවා. දැන් බිබිල නගරය ගත්තොත් රඳවා සිටින පොලිස් සාමාජිකයෝ ප‍්‍රමාණය ආරක්ෂාව පවත්වාගෙන යන්න මදි. මට දැනෙන විදිහට සහ අපිට තොරතුරු ලැබෙන විදිහට ඡුන්දය පවත්වන දිනයේ ඡුන්දදායකයාට ප‍්‍රචණ්ඩකාරී බලපෑමක් එල්ල කළ හැකියි. මධ්‍යස්ථ ඡුන්දදායකයා සාමකාමී මැතිවරණයක් තිබුණොත් විතරයි ඡුන්දය දාන්න එන්නේ. ඔවුන් ඡුන්දය පාවිච්චි නොකිරීම ආණ්ඩුවට වාසියි.

අපි ලෑස්තියි  – රංජිත් මද්දුම බණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත‍්‍රී

අපි බලාපොරොත්තු වෙන්නේ සාධාරණ ඡන්දයක්. දැනට පේන්න තියෙන විදිහට යම් ප‍්‍රචණ්ඩත්වයක් වුණත් එන්න පුළුවන්. මොකද ආණ්ඩුව වියරු වැටිලා ඉන්නේ. දැන් 2500ක් දෙනවා, ඞීසල්, පැට්ට‍්‍රල්, භූමිතෙල් අඩු කළා. මේ සේරම දේවල් කරන්නේ ආණ්ඩුව දන්නවා මේ පාර ලේසි නැහැ කියලා. මොවුන් දැන් රුපියල් 2500ක් බෙදනවා. ඒක ගන්න මිනිස්සු පෝලිම්වල පැය ගණන් රස්තියාදු වෙනවා. මේ 2500 වුණත් ආණ්ඩුවට පාරා වළල්ලක් වෙලා තියෙන්නේ. ආණ්ඩුව ඔවුන්ගේ නියත පරාජය වසාගන්න ප‍්‍රචණ්ඩත්වය පාවිච්චි කළොත් අපි පක්ෂයක් විදියට ඒකටත් සූදානම්.

පොලිසිය අසමත්  – කීර්ති තෙන්නකෝන්, අධ්‍යක්ෂ, කැෆේ සංවිධානය

ප‍්‍රචණ්ඩ ක‍්‍රියා අඩු වුණත් මැතිවරණ නීතිය බරපතළ විදිහට උල්ලංඝනය කිරීම් වැඩිවෙලා තියෙනවා. බදුල්ල දිස්ත‍්‍රික්කය ගත්තොත් ඉතාම සාමකාමීයි. ඒත් මේ ගැටලූ සේරම තියෙන්නේ මොනරාගල. මැතිවරණ කොමසාරිස් කරලා තියෙන නියෝග සහ ඔහුගේ ක‍්‍රියාත්මකවීම බැලූවාම එය හොඳටම ප‍්‍රමාණවත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකට. එහෙත් ඔහුගේ නියෝග පොලිසිය හරිහැටි බිම් මට්ටමේදී ක‍්‍රියාත්මක කරන්නැති නිසා තමයි මේ ගැටලූ සේරම ඇවිත් තියෙන්නේ. ඌව මැතිවරණ ව්‍යාපාරයේදී විශේෂයෙන් මොනරාගල දිස්ත‍්‍රික්කයේ පොලිසියේ හැසිරීම ගත්තාම පොලිසිය අසමත් කියලා කියන්න පුළුවන්. පොලිසිය හරිහැටි ක‍්‍රියාත්මක වුණා නම් මොනරාගල මෙතරම් ප‍්‍රචණ්ඩත්වයක් නැහැ.

ක‍්‍රමයේ වැරැුද්ද – සාලිය සුමේධ, නිදහස් සන්ධානයේ අපේක්ෂක,

හිටපු මහ ඇමතිවරයාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරය නිසා සන්ධානයේ අනෙකුත් අපේක්ෂකයන්ට බරපතළ අසාධාරණයක් වෙනවා කියලා කියනවා
ඒක මෙහෙමයි. මම හිතන්නේ මේකට වැරදි මැතිවරණ ක‍්‍රමය. මේ ක‍්‍රමයට මැතිවරණ ව්‍යාපාර කරන්නේ මෙහෙම තමයි. එයා එයාගේ සම්බන්ධතා පාවිච්චි කරලා මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවනවා. අපිත් එහෙමයි. වැරැුද්දක් කියන්නත් බැහැනේ නේද? මේ ක‍්‍රමයට ඉතින් ඔහොම තමයි.