මහාවංශ ඉතිහාස ක්ෂිතිජයෙන් ඔබ්බට යාම අපරාධයක් නොවේ – මහාචාර්ය රාජ් සෝමදේව

ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතුවලට සියවසකට වඩා පැරණි ඉතිහාසයක් තිබෙන බව අප දන්නවා. ඒ ඉතිහාසය ගොඩ නැගීම සහ පුරාවිද්‍යාත්මක අර්ථනිරූපණ අතර පවතින සබදතාව කුමක්ද?

ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විෂයයන් දෙකම සොයා බලන්නේ අතීතය ගැනයි. එසේ වුවත් එම විෂයයන් දෙක අතර ක‍්‍රමවේදීය සහ න්‍යායාත්මක වෙනස්කම් තිබෙනවා. පුරාවිද්‍යාඥයා අතීතය ගැන සිය අර්ථනිරූපණ ගොඩ නගන්නේ ද්‍රව්‍යාත්මක පසුබිමකයි. එය ඉතිහාසඥයාගේ දැනුම පදනම් වන ස්වකර්මවාචී සාහිත්‍ය ක්ෂිතිජයෙන් ඔබ්බට ගමන් කරන්නක්. රටක ඉතිහාසය ගොඩ නැගීමට පුරාවිද්‍යාත්මක අර්ථනිරූපණවලින් ලැබෙන්නේ මහත් පිටුවහලක්. එසේ වුවත් මෙහිදී අවධානයට ගත යුතු කාරණය වන්නේ කිසිදු පුරාවිද්‍යාත්මක සොයා ගැනීමක් මත ඓතිහාසික පුද්ගලයින් හෝ ඓතිහාසික සිද්ධි සම්පාත කිරීම න්‍යාය විරෝධී වන බවයි.

පුරාවිද්‍යාත්මක අර්ථ නිරූපණයක් මත ඉතිහාසය පැටවිය යුතු නැතැයි යන ඔබේ අදහස පිළිගත හැක්කක් නම් පුරාවිද්‍යාඥයා අතීතය ගොඩ නැංවීමේ ක‍්‍රියාවලියට දායක වන්නේ කෙසේද?

අතීත සමාජවලට අයත් ද්‍රව්‍යාත්මක සමුච්ච විග‍්‍රහ කිරීමෙන් පුරාවිද්‍යාඥයා විසින් හදුනා ගන්නා ලක්ෂණ දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න අදාළ ද්‍රව්‍යමය සමුච්චයට මගින් පිළිබිඹු කරන අඛණ්ඩතායි සබමසඑඅතීත සමාජවලට අයත් ද්‍රව්‍යාත්මක සමුච්ච විග‍්‍රහ කිරීමෙන් පුරාවිද්‍යාඥයා විසින් හදුනා ගන්නා ලක්ෂණ දෙකක් තිබෙනවා. ඉන් පළමුවැන්න අදාළ ද්‍රව්‍යමය සමුච්චයට මගින් පිළිබිඹු කරන අඛණ්ඩතායි (continuities). අඛණ්ඩතාව යන සංකල්පය ද්‍රව්‍යමය වස්තූන්වල පවතින ශෛලීය නිරූපණය මගින් හෝ තාක්ෂණික ඉදිරිපත් කිරීම මගින් ප‍්‍රකාශ විය හැකියි. දෙවන කරුණ විපර්යාසයයි (change). විපර්යාසයන් හදුනා ගැනීමටත් ඉහත සදහන් කළ නිර්ණායකම භාවිත කළ හැකියි. පුරාවිද්‍යාඥයා විග‍්‍රහාත්මක තලයේදී ගනුදෙනු කරන්නේ ද්‍රව්‍යාත්මක අවශේෂ සමග වන බැවින් එහිදී ඔහුට ග‍්‍රහණය කර ගත හැකි වන්නේ මෙම ලක්ෂණ දෙක පමණයි. කාලය මැන ගැනීමේ ක‍්‍රමවේද ඔහුට තිබෙන නිසා එකී අඛණ්ඩතා සහ විපර්යාසයන් කාලමානයක පිහිටුවීමට ඔහු සමත් වෙනවා. මෙහිදී ඉතිහාසය ගොඩ නැංවීමට පුරාවිද්‍යාඥයා දායක වන්නේ ඉතිහාසය තුළ පැවති ගම්‍යතා හ`දුනා ගෙන ඒවා විස්තර කිරීමෙන් මිස ඓතිහාසික සිද්ධි හෝ පුද්ගලයින් මත පදනම් වීමෙන් නොවෙයි. එය එසේ වන්නේ නම් පුරාවිද්‍යාත්මක අර්ථනිරූපණවල බුද්ධිමය පසුබිමෙහි දැඩි අර්බුදයක් හට ගැනීම ස්වාභාවිකයි.
පුරාවිද්‍යාවට කාලනිර්ණය පිළිබද හැකියාවක් තිබෙන බව ඔබ සදහන් කරන මුත් ඇතැමුන් පෙන්වා දෙන්නේ ඒවා වැරදි සහගත විය හැකි බවයි.

කාලනිර්ණයක් වැරදි සහගත වීමේ ඉඩක් තිබෙනවා. එය එම කාලනිර්ණය ලබා ගත් පුද්ගලයාගේ වෘත්තීයභාවය පිළිබද ගැටලූවක්. කාලනිර්ණය සදහා ලබා ගන්නා නියැදි නිවැරදි ප‍්‍රමිතියට ලබා ගැනීම, එය නිසි පරිදි හැසිරවීම සහ සුදුසු විද්‍යාගාර තෝරා ගැනීම ආදී දේ නිවැරදි ලෙස කළ බවට සහතික විය හැකි නම් කාලනිර්ණයක් දෝෂසහගත වීමට ඇති හැකියාව අවමයි. තවත් අතකින් කාලනිර්ණ වැරදි සහගත විය හැකියි. එය එසේ වන්නේ අදාළ නියැදි ලබා ගන්නා ස්ථර වින්‍යාස පටලවා ගැනීමේදීයි. නුපුහුණු අත්වලින් එවැන්නක් විය හැකි බව සිද්ධි කිහිපයක් මගින් දැනටමත් පෙන්වා දී තිබෙනවා.

කාලනිර්ණ ලබා දෙන විද්‍යාගාර යම් ආකාරයක නොමග යැවීමක් කීරීමට නොහැකිද?

පුරාවිද්‍යාඥයින් සිය කාලනිර්ණ ලබා ගන්නේ වාණිජ පදනමකින් එවැනි විශ්ලේෂණ වාර්තා ලබා දෙන විද්‍යාගාර සමගයි. යම් හෙයකින් ඔවුන් එවැනි වරදක් සිදුකොට එය අනාවරණය වුවහොත් එය ඔවුන්ගේ ව්‍යාපාරයට තදින්ම බලපානවා. විද්‍යාත්මක විශ්වාසනීයත්වය මෙහිදී ප‍්‍රධානයි. අනෙක් අතට යම් විද්‍යාගාරයකින් ලබාදෙන දිනයක් සැක මුසු ස්වභාවයකින් යුක්ත නම් එය වෙනත් විද්‍යාගාරයකට යවා පරීක්ෂා කිරීමේ අවස්ථාව පුරාවිද්‍යාඥයෙකු සතුව තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබද ජනප‍්‍රිය අදහසට ප‍්‍රතිපක්ෂව මත දැක් වූ ඉතිහාසඥයින් සිටියා. ජී.සී. මෙන්ඩිස්, ලෙස්ලි ගුණවර්ධන, ලක්ෂ්මන් ප‍්‍රනාන්දු ඊට උදාහරණ කිහිපයක්. මේ රටේ ඉතිහාසය පිළිබද ඔබ දරන මතය ඒ අයගේ මතවලින් වෙනස් වන්නේ කෙසේද?

පළමුව කිවයුත්තේ වෙනස් මත පළ කිරීමේ අභිලාෂයක් මගේ පර්යේෂණවලින් පිළිබිඹු නොවන බවයි. ඔබ ස`දහන් කළ අය මෙරට සිටි පුරෝගාමී විද්වතුන් බව ස`දහන් කළ යුතුයි. ඔවුන් සිදු කළේ ඔවුන්ගේ කාලයේ කාර්යභාරයයි. ඔවුන් දුටු දෙයම ඊට වෙනස් පර්යාවලෝකනයකින් මා දකින බවයි මගේ කල්පනාව. ඔවුන් වෘත්තීය ඉතිහාසඥයින්. මා අයත් වන්නේ පුරාවිද්‍යාඥයින්ගේ ෂෝනරයටයි. ඔවුන් ඓතිහාසිකව අනුමාන කළ ඇතැම් දේ මා ආනුභවික ලෙස ප‍්‍රත්‍යක්ෂ කිරීමේ මාවතකට එලැඹ සිටින බවයි මට හැෙ`ගන්නේ.

ඉතිහාසය යනු සංගෘහිත ස්ථිතික ප‍්‍රපංචයක (static fabricated phenomenon)ලෙසයි අපට සංවේදී වන්නේ. නිදසුනක් ලෙස සලකන්නේ නම් මහාවංසය ප‍්‍රමුඛ ඓතිහාසික මුලාශ‍්‍රය මගින් ප‍්‍රකාශිත අදහස් මත ගොඩ නගන ලද ඉතිහාස ක්ෂිතිජයෙන් ඔබ්බට කල්පනා කිරීම අපරාධයක් යැයි සිතීමට තරම් අපේ සිත් හීලෑ වී තිබෙන බව පිළිගත යුතුයි. නමුත් අතීතය පිළිබ`ද අප කා තුළත් තිබෙන කාංසාව තථ්‍ය ලෙස ඥානනය කිරීම ඒ පිළිබ`ද කටයුතු කිරීමේ වගකීම දරණ වෘත්තිකයින්ගේ කාර්යභාරයක් ලෙසයි මා සලකන්නේ.

ඉන් අදහස් කරන්නේ ඔබ මෙරට ඉතිහාසය සම්බන්ධයෙන් පවතින ප‍්‍රධාන ධාරාවේ කතිකාවතට එකග නොවන බවද?

මෙහිදී ඔබගේ ප‍්‍රශ්නයට පිළිතුරු දිය යුත්තේ මම නමැති උත්තම පුරුෂ පදය කේන්ද්‍රගත කිරීමෙන් නොවෙයි. මගේ මුලිකත්වයෙන් සිදුකරන පර්යේෂණ කටයුතුවලදී යම් අවස්ථාවක පවතින ඓතිහාසික මතවාදවලට පටහැනි තත්ත්වයක් පැන නගින්නේ නම් එය සාක්ෂි මගින් සහ එම සාක්ෂි මත සාකල්‍යයෙන් ගොඩ නගන අර්ථනිරූපණ මගින් සිදුවන දෙයක් බව පිළිගත යුතුයි. මෙරට වංශකතා මගින් ප‍්‍රකාශිත ඓතිහාසික ප‍්‍රවෘත්තියේ අවධානයට අසු නොවූ සංස්කෘතික පැවැත්මක් අපේ රටේ තිබෙනවා. එහි පැරණිතම කොටස ගැන ප‍්‍රාමාණික දැනුමක් ගොඩ නැගීමට ආචාර්ය පී.ඊ.පී. දැරණියගල සහ ආචාර්ය ශිරාන් දැරණිගල ආදී පුරෝගාමී විද්වතුන් විසිවන සියවස පුරා මහත් වෙහෙසකර වූත් ශාස්ත‍්‍රීය අතින් අනභියෝගී විදග්ධ බවකින් යුත් වැඩ කොටසක් කර තිබෙනවා. ඒ මෙරට ආදිතම ජානපදිකයින් වූ දඩකරු-අන්න ගවේෂකයින්ගේ  (hunter gatherers) සංස්කෘතික පැවැත්ම පිළිබදවයි. අප තවමත් යමක් හරිහැටි නොදන්නේ ඔවුන් රටේ ප‍්‍රධාන ඉතිහාස ධාරාවට ප‍්‍රවිශ්ට වු අන්දම ගැනත් ඊට අදාළ කාල-අවකාශීය මානය යන කාරණා ගැනයි. මගේ පර්යේෂණ ඉලක්ක යොමු වී තිබෙන්නේ එම සංක‍්‍රාන්තික කාලය ගැනයි. සමහර අවස්ථාවල පුරාවිද්‍යාඥයන් මෙකී සංස්කෘතීන්ගේ පැවැත්ම සහ ඒවායේ සංක‍්‍රාන්තීන් නියෝජනය වන කාලමාන හැදින්වීම සදහා නොයෙකුත් නම් යොදා ගන්නවා. ප‍්‍රාග්ඉතිහාසය, පූර්වඉතිහාසය වැනි සංකල්ප ඊට නිදසුන් ලෙස දැක්විය හැකියි. ඒ සෑම අදහසක්ම යුරෝ කේන්ද්‍රීක ප‍්‍රභවයක් සහිතයි. මීට අවුරුදු 7000 කට පමණ පෙර ශ‍්‍රී ලංකාව භූමිස්කන්ධයක් ලෙස ඉන්දියානු උපමහාද්වීපයෙන් භෞතිකව වෙන් වුණා. ඉන් පසුව මේ රට මහමුහුදින් වට වී බාහිර බලපෑම්වලට යම් සීමාන්තික බවකට පරිවර්තනය වූ ආකාරය පැහැදිලියි. Insularity යන ඉංග‍්‍රිසි පදයෙන් හැදින්වෙන්නේ එම තත්ත්වයයි. එවැනි පසුබිමක් තුළ සංස්කෘතික අනන්‍යතා ගොඩ නැගීමට අවස්ථාවක් සැලසෙනවා. ඊට දැක්විය හැකි හොදම නිදසුනක් වන්නේ සංස්කෘත හෝ පාලි භාෂාවලින් ලබා ගත් වචන මෙරට ව්‍යවහාරයට සකස් කර ගත් ආකාරයයි. සිංහල ප‍්‍රාකෘත නමින් හැදින්වෙන එම භාෂාව පරිණත තත්ත්වයට පත් වුණේ සිංහල භාෂාව නමින් හැදින්වෙන ස්වාධීන ඌරුවකටයි. භාෂාව පිළිබද මෙම සංකථනය අදාළ වන්නේ ඓතිහාසික මූලාශ‍්‍ර ගොඩ නගන ඉතිහාසයේ කාලමානයටයි. නමුත් ඉන්දියානු භාෂාවල බලපෑමට ලක්වීමට පෙර මෙරටට ආවේණික භාෂාවක් නොතිබුනේයැයි ඉන් අදහස් කරන්නේ නැහැ. දීපභාසාය යන පදය දම්පියා අටුවා ගැටපදයේ සදහන්. ඉන් අදහස් කරන්නේ මෙරට පැවති ස්වදේශීය භාෂාවක් ගැනයි. මේ සියල්ල එක් කළ විට සංස්කෘතික අනන්‍යතාව යන සංකල්පය ගොඩ නැගෙනවා. මගේ පර්යේෂණ කටයුතු මෙරට ප‍්‍රධාන ඉතිහාස ධාරාවේ සාකච්ඡාවට ලක් නොවූ එවැනි අදහස් අවධානයට ගෙන තිබෙනවා.

මේ දිනවල රටේ මහත් අවධානයට යොමු වූ ඓතිහාසික නිමිත්තක් වන්නේ රාවණ කතාවයි. ඊට ඓතිහාසික පදනමක් තිබෙන බව සනාථ කිරීමට ඔබේ පර්යේෂණවලින් සොයා ගෙන තිබෙන කරුණු ඇතැම් අය විසින් භාවිත කරන බව පෙනෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මගේ පර්යේෂණ කටයුතුවල අභිප‍්‍රාය කෙබන්දක් දැයි මා ඉහත සදහන් කළා. මා විසින් සොයා ගන්නා ඕනෑම දෙයක් සංස්කෘතික දේපලක් බව අමතක නොකළ යුතුයි. ඒ සම්බන්ධයෙන් ප‍්‍රතික‍්‍රියා කිරීමට මහජනයාට තිබෙන අයිතිය අනුල්ලංඝනීයයැයි මම සිතනවා. අතීතයට අයත් දේපල මත බහුභාෂණයේ (multi-vocality) වැදගත්කම අද විද්වත් ලෝකය පිළිගන්නා දෙයක්. පුරා විද්‍යාත්මක දත්ත අර්ථනිරූපණය පුරා විද්‍යාඥයාගේ අවසාන වගකීම වුවත් ඔහු ඒ සම්බන්ධයෙන් ආඥාදායකයකු විය නොහැකියි. අතීතය සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයා විසින් සොයා ගන්නා දේ සමග ප‍්‍රතික‍්‍රියා කිරීමට පු`ඵල් මහජන වේදිකාවක් තැනීමෙන් ඒ පිළිබ`ද සාධනීය සමාජ සංජානනයක් ගොඩ නැගෙනවා. විශේෂයෙන්ම ඈත පළාත්වල තිබෙන ඇතැම් පුරාවිද්‍යාත්මක ස්ථානවල කටයුතු කිරීමේදී ප‍්‍රාදේශික වශයෙන් පවතින චර්යාවන් සහ තාක්ෂණික මූලධර්ම සහ ද්‍රව්‍යමය සංස්කෘතිය ගැන අවබෝධයක් ලබා ගැනීමෙන් ඇතැම් විට පුරාවස්තු අර්ථදැක්වීමට පවා පු`ඵල් අවකාශයක් ලැබෙනවා. මීට ගැලපෙන කදිම උදාහරණයක් මම කියන්නම්. මෙය මම උපුටා ගන්නේ 1937 දී එංගලන්තයේ පළ වු ඇන්ටික්විටි නම් ස`ගරාවෙන්. එංගලන්තයේ බටහිර සසෙක්ස් හි පිහිටි හෙන්ලේ නම් ස්ථානයේ පැවති පැරණී රෝමානු මාර්ගයක කරන ලද පුරාවිද්‍යාත්මක කැණිමකින් එය යුරෝපයේ මධ්‍යකාලයට අයත් බව තහවුරු වුණා. පසුව ඒ අසල නේවාසිකව විසු කාන්තාවක් තමන්ගේ වියපත් සේවිකාවට ඒ පිළිබද පැවසු විට ඇය කියා සිටින්නේ දන්නා කාලයක සිට මම එය මධ්‍යකාලීන රෝමානු පාරක් පැවති තැනක් ලෙස දැන සිටි බවයි. මින් පෙන්නුම් කරන්නේ ජනමතකය වැදගත් ඥානමාර්ගයක් වීමට තිබෙන භව්‍යතාවයි. ඒ කෙසේ වුවත් මගේ සොයා ගැනීම්වල පුරාවිද්‍යාඥයෙකු ලෙස මා සතු අනන්‍යතාව පිළිබිඹු වන්නේ මහජනයා ඒවා භාවිත කරන ආකාරයෙන් නොවෙයි. එය නිරූපණය වන්නේ මගේ අවසාන පර්යේෂණ වාර්තාවේ ඒවා අර්ථ දක්වා තිබෙන ආකාරය අනුවයි.

රාවණා ප‍්‍රවෘත්තිය පිළිබද ඔබ කිහිප අවස්ථාවකදී අදහස් පළ කළ බව මාධ්‍යවලින් පෙනෙන්නට තිබුණා. ඊට පසුබිම් වූ තත්ත්වය කුමක්ද?

අපේ රටේ ඉතිහාසය විස්තර කරන ජනප‍්‍රවාද බොහෝමයක් තිබෙනවා. එක් අවස්ථාවක මා කල්පනා කළා ඒ පිළිබදව පුරාවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් කළ හැකි කුමක්දැයි යන්න සොයා බැලිය යුතුයි කියා. මට එවැනි පෙළඹවීමක් ඇති වුනේ ක්ලොඞ් ලෙවි ස්ට‍්‍රාවුස්ගේ මිථ්‍යාව සහ එහි අර්ථය (Myths and meaning) යන කෘතිය කියැවීමෙන් පසුවයි. ඒ වන විටත් ජනප‍්‍රවාද හැදැරීමට අවශ්‍ය කරන පුරාවිද්‍යාත්මක අධ්‍යයන රාමුව නිර්මාණය වී තිබුණා. ඒමි ගේසින් සහ කෝනේලියස් හෝල්ටොෆ් විසින් 1999 වසරේදී සංගෘහිත ශාස්ත‍්‍රීය ලිපි එකතුව ඊට නිදසුනක්. මේ අනුව මා අදහස් කළා මේ රටේ වඩාත්ම ප‍්‍රචලිත ජනමතකයක පසුබිම පරීක්ෂා කිරීමෙ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට. රාවණා ප‍්‍රවෘත්තියයි ඊට පාදක කර ගැනීමට මා කල්පනා කළේ. මෙම ව්‍යාපෘතිය මවිසින් නම් කරන ලද්දේ ජනප‍්‍රවාදවල පුරාවිද්‍යාව යන අදහස දෙන Archaeology of Folklore යන නමින්. ජනප‍්‍රවාදවල එන සිදුවීම් සහ පුද්ගලයන් පිළිබද තොරතුරු පරිවර්තනය කළ හැකියි. ඊට හේතුව ඒවා තුළ කාලය, අවකාශය සහ හේතුයුක්තීන් පිළිබද අන්තර්ගතයක් තිබීමයි. සාමාන්‍යයෙන් ජනප‍්‍රවාදයක තිබෙන අද්භූත මන:කල්පිත තත්ත්වවලින් (Fantacy) යථාර්ථය උද්ධරණය කළ හැකියි. මේ සම්බන්ධයෙන් මා කළ ප‍්‍රකාශ කිසිවක් ඊට අදාල මානයෙන් ඉදිරිපත් නොවීමෙන් යම් අනබෝධතා ඇති වී තිබෙන බව පෙනෙනවා.

සමාජයකට අතීතය පිළිබද දැනුම අවශ්‍ය යැයි ඔබ සිතනවාද?

ඔව් මම එසේ සිතනවා. එහෙත් එය අවශ්‍ය වන්නේ නීරෝගී සමාජයකටයි. දුප්පත්කම, දූෂණය සමාජ අසාධාරණය සහ තණ්හාධික ව්‍යාධියෙන් පෙලෙන සමාජයකට එහි කිසිදු සංවේදීතාවක් දැනේ යැයි මම සිතන්නේ නැහැ. සිය අනන්‍යතාව ගැන සිතන පුරවැසියන් සිටින සමාජයකට අතීතය කදිම ආයෝජනයක් විය හැකියි.