ඞී.එස්. අරලියගහ මන්දිරයේදී මට තෑගි දුන්නා – නර්තන ශිල්පි ජී.වී. අබේරත්න

ඔහු ගම්මැද්ද විදානලාගේ අබේරත්න. සපරගමු නැටුම් කලාවේ කලවාන පරපුරේ අවසන් නැට්ටුවා. ඔහුගේ නර්තන ජීවිතයට දැන් වයස අවුරුදු 70කට වැඩියි. සපරගමු නර්තනයට අබේරත්න මහතා නැට්ටුවෙක් පමණක් නෙවෙයි. පර්යේෂකයෙක්. සපරගමු නර්තනය ආශ‍්‍රිත ඔහුගේ පර්යේෂණ ක‍්‍රියාවලිය ශාස්ත‍්‍රීය නිබන්ධන විසිදෙකකින් පොහොසත්. මේ නිසාම සපරගමු නර්තනය අබේරත්න මහතාගේ ජීවිතයෙන් ගළවා දැමිය නොහැකියි.

 

අබේරත්න මහත්මයා ඔබ ජීවන ගමන පටන් ගන්නේ කලවානේ එගොඩෝ කන්ද කියන සුන්දර ගමෙන්.

ඔව්. ඒ 1936 අගෝස්තු 23. ඒ කාලේ අපේ ගෙදරට කීවේ කන්දේ ගෙදර කියලා. අපේ ගෙදර තමයි ගමේ තිබුණු ගුරුගෙදර. අප්පුච්චා තමයි ඩිංගිරි මහත්තයා. එයා පාරම්පරික සපරගමු නැට්ටුවෙක්. අපේ ගෙදර හැමදාම අටදෙනෙක් නතරවෙලා හිටියා නැටුම් ඉගෙන ගන්න. කෑමබීම හැමදෙයක්ම අප්පුච්චාගේ වියදමෙන් දුන්නේ. උදේ ඉස්කෝලේ ගිහින් අපි හවස එකට ගෙදර එනවා. එකේ ඉඳලා පහ වෙනකම් කුඹුරු වැඩ. පහේ ඉඳල හවස හතවෙනකම් ඉස්කෝලේ වැඩ කරනවා. රාත‍්‍රී හතට තමයි අප්පුච්චා නැටුම් පන්තිය පටන් ගන්නේ. නතරවෙලා හිටිය අට දෙනත් එක්ක ඔක්කොමලා විසිපස් දෙනෙක් ඉන්නවා. මම මේ කියන්නේ 1945 විතර කතාවක්. මම කියලා විශේෂත්වයක් නැහැ අප්පුච්චා මේ හැමෝටම එක විදිහට සමානව තමයි සැලකුවේ. අපි රාත‍්‍රී දහය විතර වෙනකම් හැමදාම නටනවා. මම නැටුම පටන් ගත්තේ අවුරුදු පහෙන්. ඒ අප්පුච්චා බලකරලා එහෙම නෙමෙයි. පන්තියේ කට්ටිය නටන කොට මමත් මැද්දට පැනලා නැටුවා. එහෙම තමයි මම සපරගමු නැටුම පටන් ගත්තේ.

ඔබේ පවුල ලොකු පවුලක්

ඔව්. සහෝදර-සහෝදරියෝ එකොළහක් හිටියා. පිරිමින්ගෙන් වැඩිමලා මම. මට කලින් අක්කලා දෙන්නෙක් හිටියා. ඒක හරි සුන්දර කාලයක්. අපේ අප්පුච්චා මාර මනුස්සයෙක්. අපි එකොළහට වගේම නැටුම් ඉගෙන ගන්න ආපු ළමයින්ටත් ඔහු අපිට වගේම සැලකුවා.

ඔබ 1944 රත්නපුර ගඟ අද්දර සීවලියට එනවා.

ඒකවුණේ මෙහෙමයි. මම අපේ ගෙදර නැවතිලා හිටිය ළමයි එක්ක නට නටා ඉන්න නිසා අපේ අප්පුච්චා බයවුණා මම ඉගෙන ගන්න එකක් නැහැ කියලා. පස්සේ එයාලා කතාවෙලා මම රත්නපුරේ ගෙනල්ලා නතර කළා. මම මුලින්ම ඉගෙන ගන්න ගිය පාසල තමයි රත්නපුරේ ගඟ අද්දර සීවලීය. දැන් ඒ ඉස්කෝලෙත් එතන නැහැ.

නැවතත් අවුරුදු දෙකකින් ඔබ කලවානට එනවා.

ඔව්. ඒ 1946 අවුරුද්දේ. කලවානේ ජ්‍යෙෂ්ඨ මිශ‍්‍ර පාසලට එනවා. ගෙදර ඉඳලා පාසලට හැතැක්ම එකහමාරක් විතර තමයි තියෙන්නේ. ඒ එන්නෙත් නිකන් නෙමෙයි. රත්නපුරේ ඇලෝෂියස් විදුහලයි, ෆර්ගියුසන් විදුහලයි දෙගොල්ලම මාව ඉල්ලූවා. මම ඒ වෙනකොටත් ලස්සනට නටන දක්ෂ පුංචි නැට්ටුවෙක්. අප්පච්චි බයවුණා. දෙකම කතෝලික පාසල්නේ. මම ආයෙත් අප්පච්චිගේ පන්තියේ නටන්න පටන් ගත්තා. 1956 අවුරුද්දේ රක්වානේ අරුක්ගොඩ දේවාලෙදි උත්සවයක් තියලා වෙස් බැන්දා. ඒක ඔය දැන් තියෙන වෙස් බැඳිල්ල නෙවෙයි. ඒකට කියන්නේ මළල් වෙස් කියලා. ඒක දැන් සම්පූර්ණයෙන්ම අභාවයට ගිහිල්ලා තියෙන්නේ. ගී මඩුවක් තියලා තමයි මළල් වෙස් බඳින්නේ. දවස් හතක් කිසිම කිළිටක් නැතුව පේවෙන්න ඕනි. මේ විදිහට රත්නපුරේ, කලවාන, පරම්පරාව, දඹේමඩ පරම්පරාව, අරුක්ගොඩ පරම්පරාව, ඇළපාත පරම්පරාව, හංගමුව පරම්පරාව, හක්ගහපොළ පරම්පරාව මේ නැටුම ආරක්ෂා කළා. ඒත් අපේ කරුමෙකට අද තියෙන්නේ සපරගමු නැටුම කියලා විකල්ප නර්තනයක්. විශ්වවිද්‍යාලවල පවා උගන්වන්නේ මේ විකල්ප නැටුම.

ඔබ නැටුව මුල්ම ගී මඩුව ගැන මතකය ආවර්ජනය කළොත්.

ඒ 1950 අවුරුද්දේ. කුකුළේගම තමයි තිබුණේ. අපේ පරපුරේ නැටුම් කණ්ඩායම ඒ කාලේ සපරගමු නැටුමේ හැම නැටුම් ක‍්‍රමයක්ම කළා. ශාන්තිකර්මවලටත් ගියා. ගීමඩු, පහන් මඩු, ගම්මඩු මේවා කොච්චර නම් නටන්න ඇද්ද? මම තමයි ඒ කාලේ අපේ කණ්ඩායමේ පුංචිම එකා. මම හරිම ජනප‍්‍රියයි. මේවගේ ගම්මඩුවකට ගියාම ඔඩොක්කුවක් පිරෙන්න කාසි හම්බ වෙනවා. මාත් ඉතින් දන්න වැඩදාලා ලස්සනට නටනවා. කොහොමත් අවුරුදු 5 වෙනකොට මට වන්නම් කිහිපයක් නටන්න පුළුවන්. උකුසා වන්නම නටලා මම සමස්ත ලංකා දිනුවා.

ඔබ 1956 නුවරට යනවා. නැට්ටුවා කෘෂිකර්ම නිලධාරියෙක් වෙනවා.

ඔව්. 1955 අවුරුද්දේ මම වාගොල්ල කෘෂිකර්ම අභ්‍යාස විද්‍යාලයට තේරෙනවා. ඒකේ අවුරුද්දක් ඉන්න කොට දක්ෂයෝ හතරදෙනෙක් පේරාදෙණියට තෝරා ගන්නවා කියලා කිව්වා. මමත් අහුවුණා. කෘෂිකර්ම විද්‍යාවේදී උපාධිය අවුරුදු 3ක් කළා. පස්සේ 1958 අවුරුද්දේ අටකලන්පන්න ප‍්‍රාදේශීය කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි විදිහට පත්වීම ලැබුවා. ඒ කාලේ අපි යංග් ෆාමර්ස් ක්ලබ් කියලා පාසල් හැර ගිය තරුණයෝ එකතු කරලා ගෙවතු වගා ක‍්‍රම ඉගැන්නුවා. මේ යංග් ෆාමර්ස් ක්ලබ් චීනය, පිලිපීනය වගේ රටවල් එක්ක සහයෝගයෙන් වැඩ කළා. වගා දැනුම බෙදාහදා ගත්තා. මේ මොනවා කළත් මම නැටුම අතඇරියේ නැහැ. හවස්වරුවේ මම ළමයින්ට නැටුම් ඉගැන්නුවා.

1952 අවුරුද්දේ ඞී.එස්. සේනානායක අගමැතිතුමාගෙන් තෑගි ලැබුවා කියන කතාව මොකක්ද?

ඒක වුණේ මෙහෙමයි. උන්දෑ කලවානේ කළු පාලම විවෘත කරන්න ආවා. එතන පිළිගන්න නැටුම් නටපු කෙනෙක් මම. මම පිිළිගැනීමට පස්සේ තනියෙන් අඩව්වක් ඇල්ලූවා. මේක මිනිහගේ හිතට වැදුණා. මට අරලියගහ මන්දිරයට එන්න කියලා රිදී මංජුසාවක් තෑගි දුන්නා.

ඔබ සපරගමු නර්තනයට විතරක් නෙවෙයි උඩරට නර්තනයටත් දක්ෂයි. නුවර මාලිගාවේ පෙරහැරටත් නැටුවා. මේ අතීතය මතක් කළොත්?

මෙහෙමයි. උඩරට නැටුම කියන්නේ සපරගමු නැටුම ගැටබෙරයට නටන එකට. සපරගමු නර්තනයෙන් සියයට දහයක් වගේ තමයි උඩරට නැටුමේ තියෙන්නේ. සපරගමු නර්තනය තමයි ලංකාවේ පැරණිම මූලාශ‍්‍ර සහිත නැටුම් කලාව. උඩරටට එහෙම ඉතිහාසයක් නැහැ. අපිට උඩරට නැටුම අමුතුවෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ. බොරු කියන්නේ මෙකාටද මට පහතරට නැටුම බැහැ. ඒක වෙනම නැටුම් කලාවක්. මම 62 නුවරට මාරු කළානේ. මම තෙල්දෙණියේ නැටුම් පන්තියක් කළා. එතකොට මම අස්ගිරි විහාරයට නිතරම යනවා එනවා. අස්ගිරියේ පළිපාන ශ‍්‍රී චන්ද්‍රානන්ද හාමුදුරුවෝ මගෙත් එක්ක හරිම හිතවත්. මම 1964 නුවර පෙරහැරට නැටුවා. ඒ උඩරට නැටුම. දවසක් මෙහෙම පෙරහැරට නටලා වෙස් කට්ටලය තියෙන වෙස් පෙට්ටියත් අරගෙන අස්ගිරිය පන්සලට ගියා. මෙහෙම යනකොට අපේ අප්පුච්චයි මුදලිහාමියි අස්ගිරිය පන්සලේ හාමුදුරුවොත් එක්ක කතා කර කර හිටියා. හාමුදුරුවෝ දන්නෑ මේ ඉන්නේ මගේ අප්පුච්චා කියලා. පන්සලට යනකොටම ආ පුතා කියලා අප්පුච්චා කතා කළා. හාමුදුරුවන්ට හොඳටම කේන්ති ගියා. සපරගමු නැට්ටුවෙක් වෙලා ඇයි උඩරට වෙස් කට්ටලය පැළඳගෙන නැටුවේ කියලා ඇහැව්වා. හාමුදුරුවන්ට හොඳටම තරහ ගිහින් මට තව ගොඩාක් දේවල් කිව්වා. පස්සේ පන්සල ඇතුළට ගිහිල්ලා ෆොටෝ එකක් අරගෙන ඇවිල්ලා මගේ අත උඩ තිබ්බා. ඒ ෆොටෝ එකේ හිටියේ සපරගමු මළල් වෙස් කට්ටලයෙන් සැරසුණු නැට්ටුවෝ කණ්ඩායමක්. ඒ තමයි 1926 නුවර මාලිගාවේ අන්තිමට නටපු නැට්ටුවෝ කණ්ඩායම. එතැනින් පස්සේ නුවර මාලිගාවේ සපරගමු නැටුම් නැටුවේ නැහැ.

ඔබ කෘෂිකර්ම නිලධාරියෙක් විදිහට බොහෝ ප‍්‍රදේශවල වැඩ කළා. ඒ අතර පර්යේෂණ කළා.

ඔව්. මම ගොඩාක් තැන්වල වැඩ කළා. නුවර, රත්නපුර, බලංගොඩ, පොතුපිටිය, අටකලන්පන්න වගේ නැටුම් පන්ති කළා. 1980දී තමයි මම සපරගමු නර්තනය ගැන විධිමත් පර්යේෂණ ආරම්භ කළේ. සපරගමු නැටුම් සම්ප‍්‍රදායට වැටෙන දේවශාන්ති, ග‍්‍රහ ශාන්ති, යක් තොවිල් කියන යාතුකර්ම ගැන දෙසිය සොළසක් නෘත්‍යාංග තියෙන විහාර දේවාල නැටුම් වර්ග ගැන පර්යේෂණ 162ක් කළා. මේ පර්යේෂණවලට පැරණි සපරගමු ගුරුකුල 224ක් ඇසුරු කළා. වාදන ගුරුකුල 16ක්. මේවා ලියලා මුද්‍රණය කරගන්න ක‍්‍රමයක් නැතුව බලාගෙන ඉන්නවා. මේවාට මගේ දේපළ සේරම සින්න වුණා. නැතිවුණා. කොහේ හරි ශාන්ති කර්මයක් තියෙන කොට සහෝදරයකුගෙන් සල්ලි ටිකක් ඉල්ලගෙන යනවා. ඒ විදිහට ණය එකතු වුණාම එයාලම කියනවා අයියේ අර ඉඩම් කෑල්ලවත් එහෙනම් හිලව්වට ලියලා දාන්න කියලා. ඉතින් ලියලා දානවා. මේ විදිහට කලවානේ මට තිබුණ හැම දේපළක්ම නැතිවුණා. අද අන්තිමට මේ පොත් ගොඩ ගොඩගහගෙන දුක්වෙවී ඉන්නවා. වෙන කරන්න කිසි දෙයක් නැහැ. අපි සපරගමුව පළාත් සභාවෙන් සපරගමු නැටුම් පර්යේෂණ ආයතනයක් පටන් අරගෙන තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා සහතිකයක් දුන්නා. මම ඒකේ අධ්‍යක්ෂ විදියට වැඩ කළා. අන්තිමට ඒ ළමයින්ට ගුරුපත්වීම් ටික පළාත් සභාව දුන්නේ නැහැ. ඒ වැඬේ එතැනින්ම ඉවර වුණා. මේ නැටුම රැුකගන්න කාටවත් වුවමනාවක් නැහැ.

ඔබට අද ඉන්න හිටින්න තැනක් නැති වුණාට එදා පොතුපිටිය ගමේ මිනිස්සු එකතුවෙලා ගෙයක් හදල දුන්නා.

ඔව්. මම මොන තැනට ගියත් වැඩ කළා. මම පොතුපිටිය ගමට ලොකු සේවයක් කළා. ගමේ හැමෝම එකතුවෙලා පොතුපිටිය ගොවිජන සේවා එක ළඟ ඉඩමක් අරගෙන ගෙයක් හදලා දුන්නා. මම ගෙදර වැඩ කරන අයට පාන් රත්තල් හතරකුයි, හකුරු මුලකුයි ගෙනිහින් දුන්නා. ඒ මිනිස්සු ඒකටත් බැන්නා. ඊට පස්සේ 1985 අවුරුද්දේ පේ‍්‍රමදාස මහත්තයාගේ අතින් තමයි මට ගෙදර යතුර දුන්නේ. මගේ ලොකු පුතා ඉන්නේ දැනටත් ඒ ගෙදර.

ඔබ පර්යේෂණවලට ඉන්දියාවටත් යනවා.

මම 1988 අවුරුද්දේ ඉන්දියාවේ කේරළයට, කාශ්මීරයට ගියා. භරත, කතකලි, උච්චිපුඩි වගේ ගැමි නැටුම් ගායනා විලාස අධ්‍යයනය කළා. තාල වර්ග පද වර්ග අධ්‍යයනය කළා. දැන් ඉන්දියාවේ තියෙන කතකලි නර්තනයේ මූලය තියෙන්නේ සපරගමු නැටුමේ. සීතාවක රාජසිංහගේ කාලේ දොඩම්පේ ප‍්‍රසිද්ධ ගණිත පරපුරක් හිටියා. මේ ගණිත පරපුරේ කිරි ගණිතා කේරළයට ගිහින් ඉඳලා තියෙනවා. මිනිහ තමයි සපරගමු සම්ප‍්‍රදාය ඉන්දියාවට අරගෙන යන්නේ. සපරගමු නර්තනයෙන් කතකලිය ආභාෂය ලබාගත් ආකාරය මම පර්යේෂණ මගින් සොයා ගත්තා. ඒ ඉතිහාස මූලාශ‍්‍ර මා ළඟ තියෙනවා.

ඔබ නැට්ටුවෙකුට අමතරව නාට්‍යකරුවෙක් ඒ ගැනත් ටිකක් කතා කරමු.

මම රන් පුහුල, නොගිය ගමන, අසූ කෝටියක් කියලා නාට්‍ය තුනක් කළා. අසූ කෝටියක් ගොඩාක් ප‍්‍රසිද්ධ වුණා. ඒක කළේ පොතුපිටියේ ගමේ හිටිය වයසට ගිය නැට්ටුවෝ වාදකයෝ සේරම එකතු කරගෙන. මේක කළේ 1976 අවුරුද්දේ. 1972 අවුරුද්දේ කරපු නොගිය ගමන කියන ගීත නාට්‍යයක් ගොඩාක් ජනප‍්‍රිය වුණා.

නැටුම ජීවිතය කරගත් අයෙකුට තම පාදයක් අහිමිවීම දැනෙන්නේ කොහොමද?

ම්… ඒක හරිම අමාරු අත්දැකීමක්. 1967 පෙබරවාරි 17 මම බයිසිකලයකින් වැටෙනවා. කකුල කැඩිලා යනවා. පස්සේ සනීප වෙනවා. මම දිගටම නටනවා. ඒ හින්දම කකුල ඇතුළින් සවුත්තු වෙලා කපලා දානවා. පස්සේ 1990 අවුරුද්දේ ඉඳලා ජායිපූර් කකුලක් දාගෙන ආයෙත් නටනවා. මම මැරෙනකම් නටනවා. දැන් මම රෝගියෙක්. ඒත් නටනවා. දවසක් නැටුම් උගන්වනකොට එතනට ආපු ප‍්‍රාදේශීය සභාවේ සභාපති මගෙන් ඇහැව්වා කකුලක් නැතුව නැටුම් උගන්වන්නේ කොහොමද කියලා. එතන හිටිය මිනිහෙක් කිව්වා සර්ට කකුලක් නැති වුණාට ඔළුව තියෙනවා කියලා.

අන්තිමට ජීවිත සහකාරිය ගැනත් කියමු.

මම කාලයක් ඇහැළියගොඩ හිටියා. නැවතුණේ මාරඹේ වලව්වේ. වලව්වේ හිටිය එක කුමාරිහාමි කෙනෙක් මාත් එක්ක යාළුවුණා. එයාගේ නම සීලවතී කුමාරි මාරඹේ. 1962 පෙබරවාරි 4 අපි විවාහ වුණා. පුත්තු හයකුයි එක දුවකුයි හැදුවා. ලොකු පුතා නැටුම් ඉගෙන ගත්තා. එයා නැටුම් කරනවා.

ජීවිතයේ අන්තිම බලාපොරොත්තුව

දැන් තියෙන්නේ මැරිලා යන්න. ඊට කලින් මේ ශාස්ත‍්‍රීය නිබන්ධන ටික පොත් විදිහට පළකරගන්න ලැබුණොත් ඒ ඇති. දැන් මේ සපරගමු නැටුම කියලා කියන්නේ අමූලික බොරුවකට. මේ තරම් ශාස්ත‍්‍රීය නර්තන ක‍්‍රමයක් තවත් ලංකාවේ නැහැ. මේක ආරක්ෂා කරගන්න ක‍්‍රමයක් තියෙනවා නම් සැනසිල්ලේ මැරෙන්න පුළුවන්.