ඌවේ ඡන්ද ප‍්‍රතිඵල ගැන

ලැබුණු ප‍්‍රතිඵලය කුමක් වුවත් ඌවේ පැවති පළාත් සභා මැතිවරණය 1999 වයඹ පළාත් සභා මැතිවරණයෙන් පසු පැවති අශීලාචාරම මැතිවරණය ලෙස සැලකිය හැකිය. වයඹදී මෙන් ඌවේදී බලහත්කාරයෙන් ඡන්ද පොළවලට කඩා වැදී ඡන්ද පෙට්ටි පුරවන ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූයේ නැතත්, එය මහා පරිමාණයෙන් ඡන්ද මිලදී ගැනීමේ ක‍්‍රමයක් ක‍්‍රියාත්මක වූ මැතිවරණය ලෙස සැලකිය හැකිය. ආණ්ඩු පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් ඡන්දදායකයන්ට මහා පරිමාණයෙන් භාණ්ඩ බෙදාහරින ප‍්‍රතිපත්තියක් අනුගමනය කළා පමණක් නොව ආණ්ඩුව නියං සහනාධාර මුවාවෙන් පවුල් ලක්ෂයකට රුපියල් 2500 බැගින් මුදල් බෙදා දෙන ප‍්‍රතිපත්තියක්ද අනුගමනය කළේය. මෙය ඉඩෝරය සමග ඡන්දය පැවති මොනරාගල දිස්ත‍්‍රික්කයට පමණක් සීමාවූ සහනාධාරයක් වූ අතර ඉඩෝරය පැවතුණත් ඡන්දය නොපැවැති කිසිදු වෙනත් ප‍්‍රදේශයක් සඳහා බෙදා දෙන ලද සහනාධාරයක් නොවීය. මැතිවරණ කොමසාරිස්වරයා මෙම මුදල් බෙදාහැරෙන වැඩසටහන අත්හිටුවූ පසු එය බෙදාහරින ලද්දේ අධිකරණයේද අනුමැතිය ඇතිවය. ඒ මගින් අධිකරණයද තමන්ගේ නියම ස්වභාවය රටට පෙන්නුම් කළේය. ඌව පළාත් සභා මැතිවරණයට තරම් ආණ්ඩු පක්ෂයේ මැතිවරණ කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් යොදාගත් මැතිවරණයක් මීට පෙර තවත් අසා නැති තරම්ය. නීතියට පටහැනිව කරන ලද ඒ සියල්ලෙන් ආණ්ඩුව බලාපොරොත්තු වූයේ ඊළඟ ජනාධිපතිවරණයෙන් ජනාධිපතිවරයා පරාජය කිරීමේ කවර හැකියාවක්වත් නැතැ’යි කියන ප‍්‍රතිඵලයක් ලබාගැනීමට වුවද ඒ වෙනුවට ඇත්තටම සිදුවූයේ ඊළඟ මැතිවරණයේදී ජනාධිපතිවරයා පරාජය කිරීම අපහසු නැතැ’යි කියන ප‍්‍රතිඵලයක් ලැබීමය.

ඌව පළාත සන්ධාන ආණ්ඩුවට තිබුණු ශක්තිමත්ම බලප‍්‍රදේශයක් ලෙස සැලකිය හැකිය. ජනාධිපතිවරණයක් මුවවිට තබාගෙන ඌව පළාත් සභාව සඳහා මැතිවරණයක් කරළියට ගත්තේද ඉන් ජනාධිපතිවරණයට ලොකු ගැම්මක් ලබාගැනීමේ අරමුණෙනි. එහෙත් ගැම්මක් ලබාදෙන ප‍්‍රතිඵලයක් වෙනුවට ලැබී තිබෙන්නේ ආත්ම විශ්වාසය අහිමි කරන ප‍්‍රතිඵලයකි.
අංක 1 වගුවේ ඌව පළාත් සභා මැතිවරණ තුනක ප‍්‍රතිඵල ඇතුළත්ය. එහිදී 2014 ප‍්‍රතිඵලය, 2009 ප‍්‍රතිඵල සමග පමණක් සංසන්දනය නොකර ඊට අතිරේකව 2004 මැතිවරණ ප‍්‍රතිඵල සමගද සංසන්දනය කර ඇත්තේ 2014 ප‍්‍රතිඵලය 2009 ප‍්‍රතිඵලය සමග සැසඳීම සාධාරණ නොවන බවට ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් පුන පුනා ප‍්‍රකාශ කරන නිසාය.

2009 මැතිවරණයේදී සන්ධානය බදුලූ දිස්ත‍්‍රික්කයෙන් පාවිච්චි කළ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 67.79ක්ද, මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් 81.32%ක්ද, පළාත මුළු එකක් වශයෙන් ගත්විට සියයට 72.39ක්ද ලබාගෙන තිබේ. එහෙත් 2014දී බදුල්ල දිස්ත‍්‍රික්කයෙන් ලබාගැනීමට සමත් වී තිබෙන්නේ සියයට 47.37ක් පමණය. අඩුවී තිබෙන ප‍්‍රමාණය සියයට 20.42කි. මොනරාගලින් ලබාගෙන තිබෙන්නේ සියයට 58.34කි. අඩුවී තිබෙන පරිමාව සියයට 22.98කි. පළාත වශයෙන් ගත් විට ලබාගෙන ඇත්තේ සියයට 51.25කි. අඩුවීමේ ප‍්‍රමාණය 21.14%කි.
2014 ප‍්‍රතිඵලය 2004 ප‍්‍රතිඵලය සමග සැසඳුවද ලැබෙන චිත‍්‍රය යහපත් නැත. 2014දී සන්ධානය බදුල්ලෙන් සියයට 47.37ක් ලබාගන්නා විට, 2004දී ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට 48.48කි. අඩුවීමේ ප‍්‍රමාණය සියයට 8.11කි. 2014දී සන්ධානය මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් සියයට 58.34ක් ලබාගන්නා විට 2004දී ලබාගෙන තිබෙන පංගුව 66.24කි. අඩුවී තිබෙන පරිමාව සියයට 7.9කි. පළාත මුළු එකක් වශයෙන් ගත්විට 2014දී ලබාගත් පංගුව සියයට 51.25ක් වනවිට 2004දී ලබාගත් පංගුව 58.99කි. අඩුවීම සියයට 7.74කි.

2004 ප‍්‍රතිඵලය 2009 ප‍්‍රතිඵලය සමග සැසදූ විට පිරිහීමේ අනුපාතිකය සියයට 21.14කි. 2014 ප‍්‍රතිඵලය 2009 ප‍්‍රතිඵලය සමග සැසදූ විට පිරිහීමේ අනුපාතිකය සියයට 7.74කි. මෙම අනුපාතික දෙක එකට එකතු කොට දෙකෙන් බෙදූවිට ලැබෙන අනුපාතිකය මෙම අනුපාතික දෙකේ සාමාන්‍යය ලෙස සැලකිය හැකි අතර ආණ්ඩුවේ පිරිහීමේ මට්ටම තේරුම් ගැනීම සඳහා යොදාගත හැකි වඩා සාධාරණ මිනුම් දණ්ඩක් ලෙස සැලකිය හැකිය. එවිට ලැබෙන අනුපාතිකය සියයට 14.44කි.

මෙම අනුපාතිකය 2010 මැතිවරණ ප‍්‍රතිඵලය සමග යොදාගනිමින් දැන් ජනාධිපතිවරයා සිටින තැන සොයා බැලූවහොත් 2010දී සියයට 57.88ක තත්ත්වයක සිටි ජනාධිපතිවරයා දැන් සිටින්නේ සියයට 49.52ක මට්ටමකය. 2005 ජයග‍්‍රහණය ලැබූ අවස්ථාවේදී සිටි තත්ත්වයටත් වඩා තරමක් පහළ තත්ත්වයකය. මේ ගණන් බැලීම සඳහා යොදාගන්නේ පිරිහීමේ මධ්‍ය අනුපාතිකය බව සැලකිල්ලට ගත යුතුය. දැනට තිබෙන ඇත්ත තත්ත්වය සමහරවිට මීටත් වඩා නරක විය හැකිය. 2014, 2009 සඳහා තුලනය කිරීමේදී ලැබුණු අනුපාතිකය යොදාගතහොත් ජනාධිපතිවරයා සිටින්නේ සියයට 45.64ක තත්ත්වයකය.

අනෙක් අතට රාජ්‍ය බලයේ වෙනසක් ඇති කිරීමට හේතු නොවන පළාත් සභා මැතිවරණයේදී හා රාජ්‍ය බලයේ වෙනසක් ඇති කිරීමට හේතුවිය හැකි ජනාධිපතිවරණයකදී ඡුන්දදායකයන් ඡුන්ද පාවිච්චි කරන විධිය එක සමාන නැත. පළාත් සභා ඡුන්දයකදී ආණ්ඩුවට පක්ෂව ඡුන්ද පාවිච්චි කරන්නන්ගෙන් කිසියම් පිරිසක් ජනාධිපතිවරණයකදී ආණ්ඩුවට විරුද්ධව ඡුන්දය පාවිච්චි කරන්නේය. මෙය 2005 ජනාධිපතිවරණය 2004 පළාත් සභා මැතිවරණය සමග සේ ම, නැවත 2010 ජනාධිපතිවරණය 2009 පළාත් සභා මැතිවරණය සමගත් සැසඳීමෙන් තේරුම් ගත හැකිය. තේරුම් ගැනීමේ පහසුව සඳහා මෙහි සැසඳීමක් කර ඇත්තේ ඌව පළාත් සභා බලප‍්‍රදේශයට අයත් බදුල්ල හා මොනරාගල යන දිස්ත‍්‍රික්ක දෙක පමණය. (2-3 වගු)
වගු අංක එක 2004 ප‍්‍රතිඵලය වගු අංක 2 ප‍්‍රතිඵලය සමග සසඳන්න. 2004 පළාත් සභා මැතිවරණයෙන් සන්ධානය බදුලූ දිස්ත‍්‍රික්කයෙන් සියයට 55.48ක් ලබාගැනීමට සමත් වුවද 2005 ජනාධිපතිවරණයේදී ලබාගැනීමට සමත් වී ඇත්තේ සියයට 35.39ක් පමණය. එසේම එම පළාත් සභා මැතිවරණයෙන් මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් සන්ධානය සියයට 66.24ක් ලබාගැනීමට සමත් වුවද 2005 ජනාධිපතිවරණයේදී ලබාගැනීමට සමත් වී ඇත්තේ සියයට 56.94ක් පමණය. බදුල්ලෙන් පෙන්නුම් කර තිබෙන පිරිහීම සියයට 20.09කි. මොනරාගලින් පෙන්නුම් කර තිබෙන පිරිහීම 9.3%කි.

අනෙක් අතට එජාපය එම පළාත් සභා මැතිවරණයේදී බදුලූ දිස්ත‍්‍රික්කයෙන් ලබාගත්තේ පාවිච්චි කළ ඡන්ද ප‍්‍රමාණයෙන් සියයට 39.09ක් වුවත් 2005 මැතිවරණයේදී ලබාගන්නා ප‍්‍රමාණය සියයට 53.60 දක්වා සියයට 14.53කින් ඉහළ දමා ගනී. මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් පළාත් සභා ඡන්දයේදී ලබාගත්තේ සියයට 33.11ක් වුවත් 2005 ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා එම දිස්ත‍්‍රික්කයෙන් ලබාගන්නා ඡුන්ද සංඛ්‍යාව සියයට 41.65 දක්වා සියයට 8.54කින් ඉහළ දමා ගනී.

මේ ලක්ෂණය ජනාධිපතිවරයා උපරිම මට්ටමේ ජයග‍්‍රහණයක් ලැබූ 2010 ජනාධිපතිවරණය තුළද දැකිය හැකිය. 2009 පළාත් සභා මැතිවරණයෙන් බදුල්ලෙන් සියයට 67.79ක් ලබාගැනීමට සන්ධානය සමත් වුවද 2010 ජනාධිපතිවරණයේදී මහින්දට බදුල්ලෙන් ලබාගත හැකිවූයේ සියයට 53.23ක් පමණය. පිරිහීම සියයට 14.56කි. 2009 පළාත් සභා මැතිවරණයෙන් මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් සියයට 81.32ක් සන්ධානය ලබාගත්තත් ජනාධිපතිවරණයේදී එම දිස්ත‍්‍රික්කයෙන් ජනාධිපතිවරයාට ලබාගත හැකිවූයේ 69.01ක් පමණය. පිරිහීම සියයට 12.31කි. අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය 2009 පළාත් සභා ඡන්දයේදී බදුල්ලෙන් ලබාගත්තේ සියයට 25.81ක් වුවත් 2010 ජනාධිපතිවරණයේදී එම දිස්ත‍්‍රික්කයෙන් සියයට 44.55ක් ලබාගැනීමට ෆොන්සේකා සමත් විය. පෙන්නුම් කර තිබෙන වර්ධනය සියයට 18.74කි. මොනරාගල දිස්ත‍්‍රික්කයෙන් 2009 පළාත් සභා මැතිවරණයේදී එජාප ලබාගත් පංගුව සියයට 15.52ක් වුවත් 2010 ජනාධිපතිවරණයේදී ෆොන්සේකා එම දිස්ත‍්‍රික්කයෙන් ලබාගත් පංගුව සියයට 29.10ක් පෙන්නුම් කර තිබෙන අතර වර්ධනය සියයට 13.58කි.

රීතියක් වශයෙන් පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවක් ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ජනාධිපතිවරණයේදී පහළ වැටෙන්නේය. අනෙක් අතට ප‍්‍රධාන විරුද්ධ පක්ෂය පළාත් සභා මැතිවරණයේදී ලබාගන්නා ඡුන්ද සංඛ්‍යාවට වඩා ජනාධිපතිවරණයේදී ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ඉහළ යන්නේය.

මේ සියලූ ධර්මතා සැලකිල්ලට ගත්විට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්නේ වාසිදායක විකට්ටුවක නොව ඉතාමත් අවාසිදායක විකට්ටුවකය. ඔහු සිටින අවාසිදායක තත්ත්වය වඩා සරල ලෙස පැහැදිලි කළ හැකි සූත‍්‍රයක් මෙසේය.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යුද ජයග‍්‍රහණයත් සමග සිංහල බෞද්ධ ජනතාවට පමණක් බර තබා ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේය. මෙම අන්තවාදී ප‍්‍රතිපත්තිය ජනාධිපතිවරයා සිංහල බෞද්ධ ජනතාවට පමණක් සීමා කොට සිංහල බෞද්ධ නොවන ජනතාවගෙන් ඈත් කළේය.

සිංහල බෞද්ධ ජනතාව රටේ මුළු ජනගහනයෙන් සියයට 69කි. තේරුම් ගැනීම පහසු කිරීම සඳහා ජනාධිපතිවරයා තරග කරන රටේ ජනගහනය සියදෙනෙකු ලෙස සලකා ඉන් 69 දෙනකු සිංහල බෞද්ධයන් ලෙස සැලකුවහොත් ජනාධිපතිවරණය ජයගැනීම සඳහා මහින්දට ඒ සියදෙනා අතර සිටින සිංහල බෞද්ධයන් 51 දෙනකුගේ ඡන්ද අවශ්‍ය වන විට ඔහු පරාජය කිරීම සඳහා ප‍්‍රතිපක්ෂ අපේක්ෂකයාට අවශ්‍ය වනුයේ සිංහල බෞද්ධ ඡුන්ද 18ක් පමණය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලන මිනීවළ හාරන ලද්දේ ඔහු හෝ දේශපාලන සතුරන් විසින් නොව ඔහුගේ ඥාති හිතමිතුරන් විසිනි. තමන්ට සිදුවන්නට යන මහා විනාශයකින් වන හානිය අවම කරගත හැකිවනු ඇත්තේ තිබෙන මෙම තිත්ත යථාර්ථයන් තේරුම් ගැනීමට ජනාධිපතිවරයා සමත් වේ නම් පමණය.