අලි ආදරය

ඡායා  – රුක්මාල් ද සිල්වා

පැරණි දේවල් හැමවිටකම පැරණි ස්ව රූපයෙන් මැවෙනවා වගේ පෙනුණා. මම ඉන්නේ කෝට්ටේ රජමහා විහාරයට යන පාරේ. පාර පාළුයි. මම විහාර වීදිය දිගේ ගොස් පන්සලට ඇතුළු වීමි. මම හිතුවාට වඩා ඉක්මනින් මාව එතනට එවුණායි සිතමි. පන්සලත් පාළුයි. දහවල හේතුවක් වෙන්න ඇති. ඒ කොහොම වුණත් හුරු පුරුදු මේ පෙදෙස මා සිත තුළ හැමදාම මැව්වේ යටගියාවක්. එදා වගේම අදත් අලූත්වෙන්න බැරි මොකක්දෝ මුඩුම බවක් මේ බිමේ තියෙනවා. ගුප්තකමක් යටත් වූ බවක් එහෙම නැත්නම් වෙන මොකක්හරි දෙයක්.

මම පන්සල පිටුපසට ගෑටුවා. පන්සලකට එන්න ලොකු හේතු ඕනෑද? ඒත් මම හේතුවක් හෙව්වා. මම ආවේ බලන්න. දකින්න. දැකලා කතා කරන්න. බලන්නෙක් බලන්න මම ආමි. අලි බලන්නෙක්. ඇත්ගොව්වෙක්. ඉස්සර මේ අයට කිව්වේ මට්ටයෝලූ. එහෙම කිව්වේ පන්සල පිටුපසින් මතුවෙච්ච මිනිසෙක්. ඔහු ඩබ්ලිව්. පත්මලාල්. මම දකින්න ආපු මිනිසා. ඒ ඔහුයි.

අලි පත්මේ

ඔහු හීන්දෑරියි. සරමකට බැහැලා හිටපු ඔහුගේ උඩු පෙදෙස නිරුවත්. අවාරෙට හිටවපු මවිල් ගස් කිහිපයක් පපුවට ඇලිලා තිබුණා. කාලවර්ණ මේ මිනිසා පුරුද්දටදෝ පිහියක් අත රඳවගෙන හිටියා. කොහොමත් මිනිස්සුන්ගේ පුරුදු හරි ලොකුයි. හුරු පුරුදු විදිහට අලිපත්මේ මාත් එක්ක කතාබහට වැටුණා. පත්මලාල්ගේ වෘත්තියට මම ඔහුගේ නම පිරුද්දුවා. අලි පත්මේ.

ආරෙට ඒම

‘අලි බලන්න අරගෙන දැන් අවුරුදු පහළොවක් වෙනවා. මේක පරම් පරාවෙන් ආපු වැඩක්. තාත්තා තමයි මුලින් කළේ. තාත්තා එක්ක බාප්පා, බාප්ප එක්ක මහප්පා. දැන් මම මගේ අයියා මල්ලි ඔක්කෝම කරන්නේ මේක. තාත්තා අපේ බඩ පිරෙව්වේ අලි බලලා. දැන් මගේ සහෝදරයෝ මම බඩ පුරවගන්නේ අලි බලලා. බලපුවහම අපි අලි බලලා නැහැ. අලි තමයි අපිව බලාගෙන තියෙන්නේ.’ අලි පත්මේ හීනියට හිනාවුණා.

රාජා

‘රාජා’ ඒ කෝට්ටේ පන්සලේ ඇතා. කරඬුවට කරගහන ඇතා. පෙරහැර නැතිදාට කොටන් අදින ඇතා. අලිපත්මේ රාජාගේ හිතවතා. රාජා පුරුදු විදිහට අපි ඉස්සරහා පැද්දෙනවා. අලියෙක්ට වඩා ඇතෙක් කොපමණ තේජවන්තද කියලා මට හිතුණා.

‘මම දැන් බලන්නේ ‘රාජා’ අවුරුද්දක් විතර ඇති. තවම පුරුදු මදි.’ අලි පත්මේ කිව්වා.
තවත් අලි දෙන්නෙක් දෙපැත්තේ අයින්වල පැද්දෙමින් හිටියා. ‘මේ හුරතලා අර හේමන්ත අලි පත්මේ එයාගේ යහළුවෝ හඳුන්වා දුන්නා.
‘අවුරුදු පහළොවෙන් වැඩි කාලයක් බලාගත්තේ මේ දෙන්නා. දැන් මේ දෙන්නා බලා ගන්නේ මගේ අයියයි, මල්ලියි. මම දැන් ඇතා බලා ගන්නවා.’ අලි කතන්දරේ අලි පත්මේ ලතාවට කියාගෙන ගියා.

‘මම බැඳලා නැහැ. බඳින්න ඕනෑ. දැන් අවුරුදු 38ක්. අවුරුදු පහළොවක්ම කළේ අලි බලන එක. ඊට ඉස්සර කළේ පුරුදු වෙන එක. තාත්තා කැලේ ගිහිල්ලා අලි අල්ලනවා. මම තාත්තා පස්සේ කැලේ ගියේ නැහැ. හැබැයි තාත්තා අලි බලාගත්ත ගෙවල්වල මාත් තාත්තා එක්ක ගියා. පරම්පරාවෙන් ආවට තාත්තා මට සාත්තරේ දුන්නේ නැහැ. මම ඉගෙන ගත්තේ වෙනම අයගෙන්. තාත්තා ඉගැන්නුවේ නැත්තේ ඇයි කියන්න මම දන්නේ නැහැ. හැබැයි තාත්තා කීප වංගියක්ම අතපය කඩාගෙන එලොව ගිහින් මෙලොව ආවා අලියා ගහලා. ඒ හින්දා අපිට ඒක දෙන්න තාත්තා බයවෙන්න ඇති. ඒත් මොන බයක්ද? අපිත් පොඩි කාලේ දැක්කේ අලි: වෙන අයට අලි අලි සයිස් වුණාට පොඩි කාලේ ඉඳලම අපිට අලි පොඩියි. ඒ තරමට අපි උන්ට ළංවුණා.’
කතාව ගලාගන යන අතරතුර මට බාධාවක් දෙකක් නොකළාම නෙමෙයි. ඒ උත්තරත් මේ අස්සෙම ආවා.

‘මට කිසිම කරදරයක් මේ දක්වා වෙලා නැහැ. හැබැයි සත්තයි කියන්නේ කිසිම විශ්වාසයකුත් නැහැ. බඩ බැඳගෙන ඉන්න මිතුරා හතුරා වෙනව නම් මේ සතෙක් ගැන අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. අලියත් මිනිහා වගේම තමයි. කොයි මොහොතේ වෙනස් වෙනවද කියන්න බැහැ.’

අතරැුඳි පිහියෙන්් පිට කසන ගමන් අතට තබා තද කරන ගමන් ළඟ කොටයකට කොටන ගමන් ඔළුව කසන ගමන් වටපිට බලන ගමන් අලි පත්මේ කතා කළා. අලියට වගේම එක විදිහට ඉන්න බැරි දැඟලිල්ලක් අලි පත්මෙටත් තිබුණා.

මුලට යෑම

අපේ ගම ඉංගිරිය. තාත්තා ඉංගිරියේ දරුණුම අලියෙක් බැලූවා. ඊළඟට කොට්ටාවේ අලියෙක් බැලූවා. මම ඒ කාලේ තාත්තා අලි බලනවා බලන්න යනවා. මටත් වැඬේට හිත ගියා. මම අලි බලන අයට ළංවෙලා වැඬේ පුරුදු වෙන්න ගත්තා. මුලින් පොල්ලෙල්ල කපන්න ඉගෙන ගනින් කියලා කිව්වා. ඒක පළමු පාඩම පොල්ලෙල්ල කපන්න ඉගෙන ගත්තහම කිව්වේ පළමු වැඬේ අලියා නාවනකොට පරිස්සමට පොල්ලෙල්ලෙන් අතුල්ලන එක. මාස ගාණක් පස්ස පැත්ත අතුල්ලන්න දුන්නේ. අලියා ලොකුයි තමයි. හැබැයි පොල්ලෙල්ලෙන් අතුල්ලනකොට ඒකට රටාවක් තියෙනවා. අලියගේ පස්ස වුණත් මාස ගාණක් අතුල්ලනකොට අලියා කොච්චර සමීප වෙනවද කියලා දැනෙන්නේ දැන්. මට හිතෙනවා වැඬේ එපා වෙයිද කියලා බලන්න මට එහෙම දුන්නා කියලයි. අලියෙක් බලන්න ලොකු ඉවසීමක් ඕනෑ. මොකද මේ යන්ත‍්‍රයක් නෙමෙයි, සතෙක්. හොඳට මතක තියාගන්න සතෙක්. හොඳට හොඳ වගේම නරකට අන්තිම නරක සතෙක්. අලියා නාවන්න සම්පූර්ණයෙන් ඉගෙන ගන්න මට අවුරුද්දක් ගියා. පිටිපස්සෙන් පටන් ගෙන හොඬවැල දක්වා අතුල්ලගෙන පිරිසිදු කරන්න ඉගෙන ගන්න මට අවුරුද්දක් ගියා. අද පැයෙන් දෙකෙන් කරන්නේ එදා පුරුද්දට.’

සමීප වීම

‘අලියට සමීප වෙනකොට ඌත් සමීප වෙනවා. අලියගේ සුවඳ අපි ගාවත් තියෙනවා. ඒක ඔයගොල්ලන්ට අලි ගඳක් වෙන්න පුළුවන්. අපිට එහෙම නෑ. අලියට ළං වුණහම ඌව ආදරෙන් පිරිමදින කොට ඌටත් තේරෙනවා මේ මං බලාගන්න කෙනා කියලා. ඌ මගේ නම දන්නේ නැති වුණාට මම උගේ නම දන්නවා. ඉතින් ඒ දාන නමින් අපි නිතර කතා කරනවා. ‘රාජා’ කිව්වහම මෙයා මගේ කටහඬ අඳුරනවා. එකම දේ නිතර නිතර කියනකොට අලියා ඒකට හුරුවෙනවා. දහ කිව්වහම යන්න කියන්නේ කියලා අපි කියලම ඌට ඒත්තු ගන්වනවා. ඉඳ කිව්වහම බුදියගන්න. දිරි-කිව්වම ගන්න. කාලයත් එක්ක එයා පුරුදු වෙනවා. ඒ අලි භාෂාව. මේ මට්ට බසක් කියලයි මම ඉගෙන ගත්තේ. ඒ කාලේ අලි බලපු අයට කිව්වේ මට්ටයෝලූ. මට්ටයන්ගේ බසත් මට්ට බසවුණා කියලයි කියන්නෙ.’

හාදකම

අලි පත්මේ ආඩම්බරයෙන් කිව්වේ ඔහුත් මට්ටයෙක් කියන්නාක් මෙනි.
‘මෙහෙම උදේ හවා අලියා එක්ක ඉන්න කොට අලියා පොඩි ළමයා වගේ කීකරුයි. උදේට ඌ ගාවට යනකොට ඌ පෙන්වන හැඟීම් වචනයෙන් කියන්න බෑ. මම පන්සලේමයි ඉන්නේ. මාසෙට දවස් දෙකයි නිවාඩු ගන්නේ. ඒ දවස් දෙක ගෙදර ගිහිල්ලා එනකොට අලියා ටිකක් තරහා වෙලා ඉන්නේ. මුන් ලොකු වුණාට හරිම ළාමකයි. කොහේ අලියෙක් මැරුවා කිව්වත් අපේ හදවත ඉරෙනවා. ඒක අපිට දරාගන්න බැරි තරමට දැනෙනවා.’

පත්මෙගේ මුහුණේ අලි කනගාටුවක් තිබුණා. තනිකඩ අලිපත්මේ මුළු ජීවිතයම කැප කළේ අලින්ට. මේ අලි ආදරය ඔහුව ජීවත් කරවනවා. ‘මම බැන්දත් ඒ ගෑනු කෙනා මම අලියා බලනවට කැමති වෙන්න ඕනෑ. ඒක තමයි මූලික කොන්දේසිය. මම දන්නේ මෙච්චරයි. මට ගෙදර නොගිහින් මේ අලියා එක්ක ඉන්න පුළුවන්. හැමදාම ඌව නාවලා කන්න දීලා උගේ වැඩ කරන කොට දවස යනවා. සමහරදාට පැය 4, 5 වතුරේ. ඒ ආශාව තේරුණාහම අපිත් ඔහේ ඉන්න දෙනවා. දවසට එකපාරයි කන්න දෙන්නේ. දවසට කිලෝ 200ක් විතර කනවා. කිතුල් කොට කන්න තමයි ගොඩක් කැමති. අපි කිතුල් කොටේ හතරට පළලා දෙනවා. එතකොට ඉවසිලි නෑ. පොඩි ළමයි වගේ. ඒ කොහොම වුණත් කවදාවත් කොච්චර එකතු වුණත් එකපාර ළඟට යන්න නරකයි. එයා මොන මට්ටමේ ඉන්නවද කවුද දන්නේ. මිනිහට හැදෙන ලෙඩ කන්දරාවම අලියටත් තියෙනවා. උදේට බෙටි ගහලා තියෙනකොට අපි මුලින්ම ඒවා පරීක්ෂා කරනවා. බෙටිවල පණුවෝ නම් පණු අමාරුව. වැඩිපුරම තියෙන්නේ බඬේ රුජාව. ඒවට බෙහෙත් දෙන්නෙත් අපිම තමයි. සිංහල බෙහෙත් පාන්වලට කවලම් කරලා කවනවා. පාන් කන්න ආසයි. ඒත් දෙන්නේ නැහැ. එහෙම වුණොත් දීලා පිරිමහන්නද? අනෙක පිටි ගිලලා අලියකුට ඇත්ද?’

අලි පත්මේ කතා කරනකොට කතාව පෙරහැරේ යනවා. මම ඔහේ බලාගෙන ඉන්නවා. එළිදැල්වෙනවා, කස පුපුරනවා, ගිනිබෝල කරකැවෙනවා. හරිම හැඩයි.
‘අලි මන්තර තියෙනවලූ මම දන්නේ නැහැ. අපේ පරම්පරාවල අය දැනගෙන හිටියෙත් නෑ. බොරුවට දන්නවා කියන්න බැහැනේ. අලියා බලාගන්නේ නිල කලාව අනුව කියලයි අපිට ඉගැන්නුවේ. නිලවලට ඇන්නම මෙල්ල කරන්නත් පුළුවන් කුලප්පු කරන්නත් පුළුවන්. නිල 108ක් අලියෙකුට තියෙනවා කියලයි කියන්නේ. අපිට හම අකුලන්න බැරි වුණාට අලියට හම අකුලන්න පුළුවන්. එහෙම කරලා මර්මස්ථාන හංගාගන්නවා.’

අලි පත්මෙට අත ඇරුණු තැනක් මම පෑස්සුවා. අලින්ට නිලවලට ගහලා මෙල්ල කරන ක‍්‍රමය ඇත්ගොව්වෝ දැනගෙන හිටියට නිල ප‍්‍රතිකාරය ආවේ චීනෙන්. චීන්නු මේ නිල සත්කාරය වැඩිපුරම අත්හදා බලලා තියෙන්නේ අලින් යොදාගෙන මේ නිසා අලි තොගයක් මැරුණා කියලයි සඳහන.
මේ ක‍්‍රමයේදී කටුව ගැසිය යුතු ක‍්‍රමයක්, ගැඹුරක්, තැනක් හා හැඩයක් තිබෙනවා. මෙය පසු කාලයෙන් චීනයෙන් අග්නිදිග ආසියාවට ව්‍යාප්ත වෙලා. තිබෙනවා එහි බෙදීයෑමක් හැටියට තමයි අලි පාලනයට හෙණ්ඩුව ඇවිත් තියෙන්නේ. දිග දැව රිටක් හා කෙළවර යකඩයෙන් හැදූ කෙළින් උළක් ඊට පහළින් බිලී කොක්කක් වගේ හැඩැති පහළට නැමුණු තුඩක් තිබෙනවා.
ඒ කොක්ක භේරුණ්ඩ පක්ෂියාගේ නියපොත්තේ හැඩයට තමයි හදන්නේ. එය ඇත්කඳ ළිහිණියා කියන මනඃකල්පිත පක්ෂියාට කියන තවත් නමක්. හෙණ්ඩු කිහිපයයි. යුද්දෙදි වඩා දිග හෙණ්ඩුවක්. සාමාන්‍ය හෙණ්ඩුවක් මිනිසකුගේ හිසට වඩා තරමක් උසයි. ආසියාතික රටවල් හැරුණාහම වෙනත් රටවල සත්වෝද්‍යානවල භාවිත වන්නේ අඩියක් දෙකක් පමණ කෙටි හෙණ්ඩු. ඒ කොහොම වුණත් කොයි රටේ වුණත් හෙණ්ඩුවේ හැඩය එකයි. මේ මම කියවපු ඉතිහාසය. ඒකට මම අලි පත්මේ හවුල්කර ගත්තා.

‘අපේ අය ළඟත් මේ යටිකූට්ටු වැඩ තියෙනවා. රස්සාවේ මජරකමුත් එමටයි. ඇත්ගොව්වා නිකරුණේ අයින් කළොත් සමහර ඇත්ගොව්වෝ ආයුබෝවන් කියලා නිකම්ම යන්නේ නැහැ. වෙලාව කලාව බලලා අලියගේ බෙල්ල හරියේ නිලයකට ඇනලා යන්නේ. ඊට පස්සේ ඇනපු කෙනාම හොයාගෙන ඇවිත් පිළියම් කරනකම් අලියා බලා ගන්නවා බොරු. ඉතින් අර ඇත් ගොව්වව ගේන්න වෙනවා.’

ඕනෑම රැුකියාවක ඇති නිල අලි පත්මේ ඇල්ලූවා. අලි පත්මේ බලන අලි අවුරුදු 53යි, අවුරුදු 24යි, අවුරුදු 23යි. දැන් බලන රාජාට 24යි. මේ අලි දම්වැල් ලා හෙළවෙන්න බැරිතරම්ය. කොතරම් කාරුණික වුවත් කොතරම් එකතු වුවත් අලියාට නිදැල්ලේ ඉන්න දෙන්න බෑ. ඊට සහතිකයක් මොන ඇත්ගොව්වටවත් දෙන්න බෑ. මේ අලි මේ වයස ගාණටම තනිකඩ. හුරතලාගේ කම්මුල් ඒ වෙලාවෙත් තෙමිලා තිබුණා. මද කිපෙනවා කියන්නේ ඒකට. හැම අලියකුටම ඇතකුටම ඇත්ගොව්වා වහකදුරු වන කාලය එයයි. ඒ මද කිපෙන විට කන්වලින් වෑහෙන මදයෙන්
කම්මුල් තෙමෙන විටය.

‘කම්මුල් තෙමෙන කාලයට අලියා පිස්සු වෙනවා. එතකොට අපි කිට්ටු වෙන්නේ නැහැ. සමහර වෙලාවට මාස හතර පහ ඉන්නවා.’ අලි සාත්තරේට අනුව හැම අලියම සහකාරියක් නොපතන බවයි අදහස. උන් තනිව විසීම ප‍්‍රියකරන බවයි විශ්වාසය. ඒ කෙසේ වෙතත් මේ හුරතලා, රාජා, හේමන්ත සැවොම තනිකඩ. පෙරහැර කාලයට පෙරහැරේ යන අනෙක් කාලයට බර වැඩ කොට හම්බ කරන මොවුන් මාසිකව අලි පත්මේටද රුපියල් විසි දහසක වැටුපක් වෙන් කරනවා. අලි වගේම අලිපත්මෙත් තනිකඩ. අලි පත්මේ අලි බලාගන්නවද අලි, අලි පත්මේව බලා ගන්නවද කොහොම හිතුවත් එකයි. කතා තව බොහෝ කිවහැකිමුත් පෙරහැරට වුව අවසානයක් ඇත.

මොන දේ වුණත්, මොන බැඳීම තිබුණත් අලියා වෙනස් වන මොහොත හිතාගන්න බෑ. ඒ වෙලාවට ඌගේ කකුලකටම පෑගෙන්න වුණත් ඒ කිසිවක් මායිම් නොකරන මේ අලි බලන්නෝ සැබැවින්ම අලියා සමග ගෙවන්නේ තදබල බැඳීමක්. ආත්මීය බැඳීමක්.

‘පෙරහැරේ යනකොට හැමෝම අලියා දිහා බලනවා තමයි. ඒත් අපි තරම් කවුරුත් අලියා දැකලා නැහැ.’ අලි පත්මේ කියන විට මම පත්මේ හරහා අලියා දැක්කා. අලියට වඩා ඇතා වෙනස්. ගමන බිමන හැම දේකින්ම ඇතා තේජස්. හැබැයි ඇත්ගොව්වට අලියත් ඇතත් දෙන්නම එකයි. එකම කැමැත්තයි. අලිත් එක්ක පත්මෙට ඉන්න ඇරලා මම පාරට බැස්සා.
කසාදයත් පහුකරලා අලියා තෝරාගත්ත අලි පත්මේ ගැන මට පුදුම හිතුණා. කොයි මොහොතේද කියලා විශ්වාස කරන්න බැරි අලියා විතරද? මම මගෙන්ම ඇහැව්වා.