මල්පැණි පොදක්

නැන්දේ මාමා ඉන්නවද?’
‘ ඕන් ඔය කිතුල පැත්තට ගියා මයේ හිතේ. ගිහිල්ලා බලාපං.’
මම වත්ත පහළ කිතුල ළඟට යනවා. ඊට තරමක් ඈතින් දොළ කඳුරක්. ඊටත් ඈතින් සිංහරාජ ඝන කැලය. සිංහ ගලත් පේනවා. අහස සොයන කිතුල් ගස් දෙක තුනක් අතරින් මම මට අදාළ කිතුල සොයනවා. හරි හමුවුණා. කිතුල් කඳට රිටක් තියලා ඒ රිට බට පතුරුවලින් ගැටගහලා. මේකට කියන්නේ හැර බඳිනවා කියලා. හැර බැන්දහම කිතුලට නගින එක අමාරු නැහැ. එල්ලි එල්ලී මහගිරිදඹේ නගිනවා වගේ නගින්නයි තියෙන්නේ. මාමා.. ශබ්දයක් නැහැ. මම තවත් හයියෙන් කෑගහනවා. හිටපන් මම පහළට එනවා. අමුඩ කෙටියකින් සැරසුණු ලේන්සුවක් හිස රැුඳි කළු මිටි මිනිහෙක් පහළට බහිනවා. ඇස්ගෙඩි දෙක මුහුණ තුළ එබිලා ගිහින්. හොඳට වැවුණු උඩු රැුවුළ. මුහුණේ පෙනුම වෙනස් කරනවා. නළල රැුලි ගන්වමින් මිනිහ කතා කරනවා. රා ටික මම බීවනේ. ගහේදීම මම අහනවා. ඔව් කොල්ලෝ. මම බිමට බැහැලා රා බොන මිනිහෙක් නෙවෙයිනේ. ඒවා කරදර වැඩ. පොලිසියේ මහත්තුරුත් මට කියලා තියෙන්නේ රා ටිකක් කපා ගත්තොත් බිමට ගන්නවා නෙවෙයි කියලා. බිම තියාගෙන බීලා අහුවුණොත් මහ රා වලට කියලා නඩුවක් දානවලූ. මම ඉතින් ගහටම වෙලා බොනවා. දවසට රා කී සැරයක් බොනවද? දවසට වේල් දෙක බොනවා. රා හොඳට තියෙන දවසට නම් හතරපස් සැරයක් ගස් බඩගානවා. රා ඇඟට හොඳයිද? මේක ඖෂධයක්නේ.

කිතුල් මල් තෝරා ගැනීම

කිතුල් කියලා කියන්නේ තාල වර්ගයේ ගසකට. කිතුල් ගසේ හැමදෙයක්ම මිනිස්සුන්ට ප‍්‍රයෝජනයි. කිතුල් ගස පරිණත වුණාට පස්සේ මල් පූදිනවා. ඒ පරපුර බිහිකරන්න. කිතුල් කඳින් මල් මතුවෙන්නේ උඩ ඉඳලා පහළට. දවසට හතර පස් වතාවක් කිතුල් ගහට ගොඩවෙන සිංහරාජයේ අරුක්ගොඩ ගමගේ ජයසේකර මාමාගෙන් අපි කිතුල් රා මදින්න මලක් තෝරගන්නා අයුරු ඇසුවා.

කිතුල් ගහේ එන මුල්ම මල අපි කපන්නෑ. ඒ මොකද ඒ මලේ ඇට විතරයි සරු පැළ දෙන්නේ. අනික තමයි අපි ඒ මල කැපුවාය කියමු. මල හරිගියේ නැත්නම් ආයේ පස්සේ එන මලූත් හරියන්නේ නැහැ. කිතුල් ගහේ එන දෙවැනි මල තමයි අපි කපන්නේ. කිතුල් මල දිග ඇරෙන්න කලින් ඒ මලේ තියෙන මුල්ම පුරුක තමයි පැණි පුරුක. එතැනින් අපි මල අග කෑල්ලක් කපලා අයින් කරනවා. පස්සේ දවස් තුනක් හතරක් තියෙනවා මල පදම් වෙන්න. ඒ කියන්නේ මල කොළපාට වෙන්න ඕනෑ. මල කොළපාට වුණාට පස්සේ බෙහෙත් තියනවා.

බෙහෙත්

කිතුල් රා මදින්න හරි කිතුල් පැණි, පැණි හකුරු හදන්න හරි කිතුල් මල කපලා තෙල්දිය ගන්න ඕනෑ. මේ තෙල්දිය මල නිකම් කපලා දැම්මට එන්නේ නැහැ. ඒකට රා මදින්නෝ බෙහෙත් බඳිනවා. නැත්නම් තියෙනවා. මේ බෙහෙත් බැඳිල්ලත් ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වෙනවා. බෙහෙත් වට්ටෝරුවත් පළාතෙන් පළාතට වෙනස් වෙනවා. කතාවට කියන්නේ පිරිසිදුම කිතුල් පැණි, කිතුල් රා තියෙන්නේ සිංහරාජය අවට ගම්මානවල කියලා. අපි මේ කතා කරන සිංහරාජය අවට රා මදින්නෝ පැණි කපන්නෝ මොනවද බෙහෙත් විදිහට කිතුල් මලට තියන්නේ. ජයසේකර මාමා නැවතත් හඬ අවදි කළා.

කෙටල ගොබ, හබරල ගොබ, බඩරැුල්ල, කොච්චි මේ එක බෙහෙතක්. ඉස්සෙල්ලාම තාච්චියක දාලා තම්බනවා. පස්සේ අඹරනවා. මේ විදිහට අඹරලා ගන්න ගුලි දෙකක් මලේ තැන් දෙකක පුංචි සිදුරු දෙකක් හාරලා තියෙනවා. එක්ක කෝ පුරුක ළඟින්. අනික ඉති පුරුක ළඟින්. කෝ පුරුක කියලා කියන්නේ කිතුල් කඳයි මලයි එකට සවිවෙන තැනට. ඉති පුරුක කියලා කියන්නේ මලේ ඉති කිණිති පටන් ගන්න තැන. කෝ පුරුක ළඟට කැප්පෙට්ටිය ලී කැබලි තුනක් උල් කරලත් ගහනවා. ඉති පුරුක ළඟින් උල් දෙකක් ගහනවා. කැප්පෙට්ටිය ගහ හරිම උෂ්ණයක් තියෙන ගහක්. පස්සේ දවස් දෙකක් තියෙන්න ඇරලා මල හොඳට වේළනවා. මල වේළන්න ගන්නේ කොහු කඹ. නැත්නම් ගැඬුම පට්ට. මෙහෙම වෙළලා දවසක් විතර තියලා මල කපන්න පටන් ගන්නවා.

තිස් පැය කැපීම

මේ කැපීමට කියන්නේ තිස් පැය කැපීම කියලා. මෙහෙම කපාගෙන යනකොට මුදුන් ඉත්ත පෑදෙනවා. එතකොට තිස් පැය කැපීම නතර කරනවා. මේ වෙනකොට අපිට තේරෙනවා කඳුළ වැටෙනවා කියලා. මම නම් හතළිස් අටපාරක් විතර කපන කොට කඳුළ වැටෙන්න පටන් ගන්නවා. නැත්නම් 108 පාරක් කපන්න ඕනෑ කියලා තමයි අපේ තාත්තලා සීයලා කියලා තියෙන්නේ.
මේ විදිහට එකසිය අට පාරක් කැපුවොත් මල ඉතුරු වෙයිද? මම අහනවා. ළමයෝ කපනවා කියලා කරන්නේ පෙරන් ගානවා වගේ වැඩක්. නිකම් පිහිය අතුල්ලනවා විතරයි. සමනළ පිහාට්ටක් තරම් සිවියක් තමයි මලෙන් අහකට යන්නේ. කිතුල් රස්සාවට ගන්න පිහියත් තරමක් චූටියි. ඒක කොළපත් කොපුවක ඔතලා තමයි තියාගන්නේ. පිහි අතරින් වඩාත්ම කැපෙන පිහිය කිතුල් මදින පිහිය කියලා මෙහෙ කතාවට කියනවා. ඒක හරියට බ්ලේඞ් තලය වගේ තමයි. මේ විදිහට කිතුල් කපන්න හදන පිහි හදන්න දක්ෂයොත් මේ ගම් පළාත්වල ඉන්නවා. හැබැයි එහෙම දක්ෂකමට නියම මල් පිහියක් හදන්න දන්න කම්මල්කරුවෝ හරිම දුර්ලභයි. එහෙම අය ගම් දෙක තුනකට එක්කෙනෙක් තමයි ඉන්නේ. කිතුල් මල් කපා රා මදින්නෝ ළඟ ඉනේ මල් පිහිය කවදාවත් වරදින්නේ නැහැ. මේ හින්දා හන්දියේ කඬේ ළඟදි රා මදින්නාට කවුරුවත් සත්තම දාන්නේ නැහැ

මලක් හැදුවට පස්සේ

කිතුල් මලෙන් තෙල්දිය මුට්ටියට වෑහෙන්න ගත්තට පස්සේ මල හදලා ඉවරයි. තිස් පැය කපලා තෙල් දිය නැත්නම් කඳුළ වැටෙන්න වුණාට පස්සේ මලට මුට්ටියක් එල්ලනවා. ඊට උඩින් මලයි මුට්ටියයි ආවරණය වෙන්න වහන්තරාවකුත් අන්ඳනවා. මේ වහන්තරාව නිසා වැස්සෙන් අව්වෙන් මල ආරක්ෂා වෙනවා. මුට්ටියටත් වැසිදිය එකතුවෙන්නේ නැහැ. ඊට පස්සේ මල හුරු කරන්න ඕනෑ. සමහරු දවසට දෙවරක් උදේ-හවස කපන්න මල හුරු කරනවා. සමහරු දවසට තුන්වේල කපනවා. සමහරු ? 12ටත් ගහට නගිනවා මල කපන්න. මේ ඇයි කියලා මම ඇහැව්වා.
මෙහෙමයි. කඳුළ ඇල්ලූවාට පස්සේ මල හුරු කරන්න ඕනෑ. සමහර මල් කොච්චර කැපුවත් කඳුළ අඩුයි. එහෙම වුණාම ?ටත් කපනවා. මොකද රෑට කළුවරට කඳුළ හොඳට තියෙනවා. හරියට මලක් හදාගත්තොත් මාස හයක් හතක් කපන්න පුළුවන්. මම දැනට කපන කිතුල් මලින් මම තෙල් දිය බෝතල් 25ක් විතර එක වේලකට ගන්නවා.

තෙල්දිය රාවලට හැරවීම

කිතුල් මලෙන් වෑහෙන තෙල්දිය නැතිනම් තෙලිජ්ජ මුට්ටියට එකතු වෙනවානේ. අපි ඒ මුට්ටියට මණ්ඩි කියලා ජාතියක් දානවා. එතකොට තෙල්දිය පැහෙනවා. රා වෙනවා. තෙල්දිය බෝතලයකට නම් මණ්ඩි බෝතල් කාලක් විතර දාන්න ඕනෑ. බෝතල් 25ක් විතර තෙල්දිය තියෙනවා නම් මණ්ඩි බෝතල් දෙකක්වත් අඩුම තරමින් දාන්න ඕනෑ. මාමා කියාගෙන කියාගෙන යනවා. ඔහුට මේ රා කෙරුවාව හොඳට හුරුයි. මණ්ඩි කියන්නේ මොනවටද? ඒක දැකුමෙන් නිකම් සුදුපාට කැඳක් වගේ ජාතියක්. මණ්ඩි කියලා කියන්නේ ක්ෂුද්‍ර ජීවියකුට. තෙල්දිය කියන්නේ සීනි වර්ගයක්නේ. මේ සීනි වර්ගය එයා ආහාරයට ගන්න කොට සුමියුරු රා හැදෙනවා. ඒක තමයි ක‍්‍රමය. මේ මණ්ඩි ඊස්ට් සීනිත් එක්ක කලවම් කරලාත් හදාගන්න පුළුවන් කියලා කියනවා. හැබැයි මේ ගම්වල නම් මණ්ඩි එහෙම හදාගන්නේ නැහැ. මොකද හැමතැනම කිතුල් මදින නිසා අලූත් මලකට මණ්ඩි ටිකක් සොයා ගන්න එක අමාරු නැහැ. අනික මණ්ඩි පොඞ්ඩක් ගෙනල්ලා රා මුට්ටිට දැම්මහම දවසින් දවස ඒ ප‍්‍රමාණය වැඩිවෙනවා. මේ මාමල නම් කියන්නේ කිතුල් තෙල් දිය කිතුල් පැණි හකුරු කරනවාට වඩා කිතුල් රා කරන එක ලාභයි කියල. ඒත් පොලිසිය එයාලට හරස් වෙලා.

මම ගහේ ඉඳගෙනම තමයි රා බොන්නේ. මම රා කවදාවත් බිමට බාන්නේ නැහැ. විකුණන්නෙත් නැහැ. දවසක් පොලිසියට අහුවෙලා ඒ අය කිව්වා රා මුට්ටිය බිමට බාන් නැතුව බී ගන්නවා කියලා. බිමට බාලා අහුවුණොත් පොලිසි ගිහින් මහරා බෝතල් දාලා හිරේ දානවා කිව්වා.

කලවාන, වතුරාව, රක්වාන වැනි සිංහරාජයට යාබද මේ ප‍්‍රදේශවල කිතුල් රා කට්ටක් සොයාගන්න එක අමාරු නැහැ. කිතුල් රා අනෙකුත් මද්‍යසාර ශරීරයට කරන අනතුර එක්ක සසඳන කොට මඳ බවක් තමයි පේන්නේ. මේක සාම්ප‍්‍රදායික බීම වර්ගයක්. හරියට බියර් වගේ. කිතුල් රා පාන වර්ගයක් විදිහට අපේ මිනිස්සු අතර ප‍්‍රචලිත කළොත් ඒකට බියර්වලට තියෙන තැන ගන්න පුළුවන්. අවුරුදු 70-80 වෙච්චි සීයලත් හරි අපූරුවට තවමත් සුමියුරු කිතුල් රා කට්ටයකින් හවස්වරුව ගත කරනවා. අද මේ ප‍්‍රදේශවල කිතුල් රා බෝතලයක් රුපියල් 100කට වගේ විකිණෙනවා. සමහරුන්ට මේ නිසා හොඳ ආදායමක් ලැබෙනවා. කිතුල් පැණි, හකුරු කර්මාන්තය කිතුල් රා කර්මාන්තයට වඩා දුෂ්කරයි.

මහ රා

මිනිස්සු මධුවිතින් සප්පායම් වෙන්න මධුවිතින් ජීවිතයේ දුක නිවා දමන්න – වෙලා කොච්චර කාලයක් වෙනවා ඇත්ද? මම නම් හිතන්නේ මත්පැන්වල ඉතිහාසයත් මිනිස් ඉතිහාසය තරම්ම පැරණියි කියලා. ඒකනේ පස් පවුවලින් එකක් විදිහට බුදුහාමුදුරුවොත් මත්පැන දැක්කේ. කිතුල් රාවලට පස්සේ මිනිස්සු ගෙවත්තේ බිමත් රා වර්ගයක් හදන්න පුරුදු වුණා. මේ රාවලට ගම්වල අය කියන්නේ මහ රා කියලා. තවත් සමහර අය කියනවා ඇමරේජන් කියලා. ඒක හදාගන්නෙත් මණ්ඩි ද්‍රාවණයකට නියමිත අනුපාතයට සීනි සහ හොඳ කිතුල් හකුරු ජලයෙන් දියකරලා එකට එකතු කරගැනීමෙන්. මෙහෙම එකතු කරලා වරුවක් වගේ තියලා තිබ්බහම රා හැදෙනවා. හැබැයි කිතුල් රාවල පැහැය නෙවෙයි තියෙන්නේ. ඇමරේජන් පැණි පාටයි. ටිකක් ඇඹුලයි. හැබැයි කිතුල් රාවලට වැඩියෙන් වදිනවා කියලත් කියනවා. මේ විදිහට රා පෙරීම ලංකාවේ නීතියෙන් තහනම්.

හොඳම රා

මිනිස්සු අතරේ කිතුල් රා හරිම ජනප‍්‍රියයි. ඒ හින්දම කිතුල් ගස යට කිතුල් රා හදන්නත් මිනිස්සු එක එක ක‍්‍රම සොයා ගත්තා. සමහරු හාල් පාන වතුර එක්ක එක එක බෙහෙත් වර්ග වගේ දේවල් එකතු කරලා කිතුල් රා හදන්න පටන් ගත්තා. පාට ගත්තහම හොඳ රා බෝතලයයි මේ විස වර්ගයයි සොයාගන්න හරිම අමාරුයි. හැබැයි කිතුල් රා ගැන හොඳට දන්න කෙනෙක් නම් මේ ඩුප්ලිකේට් රා වර්ගයට අසුවෙන්නේ නැහැ. හොඳ රා බෝතලයක් කන ළඟට කරලා බලන්න. ඒ රා බෝතලය සට සට ගාලා කතා කරනවා. මේක තමයි රා බෝතලයක් අඳුර ගන්න තියෙන පහසුම ක‍්‍රමය. රා බෝතලයක් කියලා කියන්නේ ජීවයක් තියෙන දේකට. රාවල ඉන්න ක්ෂුද්‍ර ජීවියා ක‍්‍රියාශීලීයි. එයා අපේ බඩට ගියාමත් ටික වෙලාවක් යනකම් වැඩ කරනවා. ඒකනේ ගුඩුස් එන්නේ. කොහොම වුණත් මේ ගැමියන් නම් හැමදෙනෙක්ම කියන්නේ රාවල කිසිම අගුණයක් නැහැ කියලා. මේක දිව්‍ය ඖෂධයක් කියලා. මේ දිව්‍ය ඖෂධය ලූණු කැටයක් පොල් කෑල්ලක් එක්ක වගේම ඌරු මාංසෙත් එක්කත් හරිම රසයි. අනෙක් මද්‍යසාර එක්ක බලනකොට කිතුල් රා බොන මේ ගැමියන් අතරේ අඬදබරකම් හරිම අඩුයි. ආයුෂත් වැඩියි. කිතුල් රා කියන්නේ ශාක සාරයක් කියලත් කිතුල් රා බීම ජීවිතය කරගත් අය කියනවා. මොනම මද්‍යසාරය වුණත් මඳ පමණට ගත්තහම හොඳයි කියලා කියන අයත් ඉන්නවා. කවුරු කොහොම කිව්වත් මේ ලෝකයේ මිනිස්සු කොතරම් කාලයක් ඉඳීවිද ඒ සා කාලයක් මධුවිතත් පවතීවි.