එහෙනම් තමුසේ නළුවෙක් වෙනවා

 

ගාමිණී ෆොන්සේකා විසින් රචිත ගීත ඇතුළත් කෘතියක් සැප්. 27 ප.ව. 6.30ට බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ‍්‍රයේ ප‍්‍රධාන ශාලාවේදී එළි දකී. එදින ධර්මජිත් පුනර්ජීව ලියූ ‘යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යාන ප‍්‍රභාස්වර කළ නළුවරයාගේ ප‍්‍රාග්ධනය’ කෘතියද දොරට වඞී.

ගාමිණී ඔබට වෙහෙසද?’ දිනක් ඬේවිඞ් ලීන් මගෙන් ඇසීය.
‘නැහැ කිසිම වෙහෙසක් නැහැ.’
‘ඔබ එක දිගට දින දෙකක් නිදි මැරුවා. දැන් ඔබට විවේකය අවශ්‍යයැයි මා සිතනවා.’
සැබැවින්ම අතිශයින්ම සීතල මැද කටුක වූද රාත‍්‍රී දෙකක් එක දිගටම මා නිදිමරා තිබිණි. ඒ මේ රූපගත කරන ජවනිකා සඳහා කල්තබා සූදානම් වීම පිණිසය.
‘නැහැ අපි අද වැඩ කරමු. විවේකය අවශ්‍ය නැහැ.’ මම යටි සිත දිරිමත් කරමින් කීවෙමි.
‘එහෙනම් ගාමිණී මෙන්න මේ කරුණු ටික තව පැයකින් ඉටුකර තියන්න. ලියාගන්න.’
‘ලියාගන්න ඕනෙ නැහැ කියන්න.’ ලීන් මදෙස මොහොතක් බලා හරියටම පැයකින් කැමරාගත කිරීම සඳහා ඉටුවිය යුතු කරුණු පහක් මට කීය.
හරියටම දහයට ලීන් දර්ශන තලයට පැමිණියේය.
‘හරිද ගාමිණී?’
‘හරි.’
මම ඔහු කියූ හැම දෙයක්ම අකුරටම නිවැරදිව කළෙමි. කැමරාව ක‍්‍රියාකරවීමට ඔහු අණදෙන තත්පරය එළැඹි විට ඔහු තුළ මහත් සතුටක් වැනි හැඟීමක් ඇතිවනු මම දිටිමි. ඔහු එකවරම කැමරාව ළඟින් මෑත්වී මහා හඬින් මෙසේ කීය.
‘මේ දර්ශන තලයේ සිටින හැමදෙනාම වෙනුවෙන් මා මෙම සහාය අධ්‍යක්ෂ ගැන ආඩම්බර වෙනවා. මා පසුගිය දින කීපය තුළම ඔහුව දැඩිව නිරීක්ෂණය කළා. සිත නමැති මතක පොතත්, ගත නමැති යකඩ කඳත් ඔහු සතුයි.’
ඔහු මා දෙසට හැරුණි.
ඔහු මගේ අත වැළඳ ගත්තේය.
සියල්ලන්ම අත්පොළ සන් දෙන හඬ මට ඇසිණි. (ගාමිණී ෆොන්සේකා Bridge on the river kwai දර්ශන තලයේ අත්දැකීමකින්)

ෆොන්සේකා විසින් පසු අවදියක කියූ එම අතීත කතාව උපුටා ගත්තේ ධර්මජිත් පුනර්ජීව ලියූ ‘යථාර්ථවාදී මහා සිනමා අඛ්‍යාන ප‍්‍රභාස්වර කළ නළුවරයාගේ ප‍්‍රාග්ධනය’ නම් වූ කෘතියෙනි.
සැබැවින්ම ගාමිණී මහා නළුවකු බවට පත් කළේ ඔහුගේ ධෛර්යසම්පන්න භාවයත්, කැපවීමත්, රංගනය පිළිබඳ සංකල්පීය තලයෙන් ප‍්‍රායෝගික තලයටත්, ප‍්‍රායෝගික තලයෙන් සංකල්පීය තලයටත් සිතීම ඔස්සේය. බොක්සිං ශූරයකුගේ පෙනුමක් සහිත පුද්ගලයකු ගම්පෙරළියේදී සිංහලේ ගිය ජිනදාසගේ චරිතය කරන්නේ කෙසේද? අප තුළ පමණක් නොව මහගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ තුළ පවා සිටි ජිනදාස හැඩි දැඩියකු නොවේ. එබැවින් ගාමිණී ජිනදාසගේ චරිතයට ගැළපෙන්නේ කෙසේද යන්න වික‍්‍රමසිංහ ලෙස්ටර් පීරිස්ගෙන් ඇසුවේය. ගැඹුරු පිළිතුරක් නොදුන් ලෙස්ටර්, වික‍්‍රමසිංහ දර්ශන තලයට කැඳවූයේය.

ජිනදාස පෙනී සිටින අදාළ දර්ශනය රූපගත කෙරිණි. දර්ශන තලයේ යාන්ත‍්‍රික කටයුතු බොහොමයක් සිදුවෙයි. දෑත දිගු කරගත් වයෝවෘද්ධ පුද්ගලයකු ගාමිණී වෙත එයි.
‘මමයි මාර්ටින් වික‍්‍රමසිංහ.’
‘හෙලෝ සර්…’ ගාමිණී ගෞරව පූර්වකව සිය සුරත ඔහු වෙත දිගු කළේය.
‘මම සමාව ඉල්ලන්නයි ආවේ.’ ඒ ජිනදාසගේ චරිතය ගැන වික‍්‍රමසිංහ කලින් පළ කළ අදහස පිළිබඳවය.
‘ඔබට බොහොමත්ම ස්තුතියි. එය මට ධෛර්යයක්.’ ගාමිණී කීවේය. (138 පිටුව)

ගාමිණී ජිනදාස තුළ අඩු වැඩි නැතිව සිටියේය. ඒ සංකල්පීයතලය ප‍්‍රායෝගික තලයටත්, ප‍්‍රායෝගිකත්වය සංකල්පීය තලයටත් සීරුමාරු කරන්නට ගාමිණීට තිබුණු හැකියාව මතය.
‘මගේ මේ ජීවිතේ ඇතුළේදී ගොඩ දෙනෙක් වෙන්ට ඕනෑ සර්.’ ගාමිණී වයස 16දී එසේ කීවේ සිය පන්ති භාර ගුරුතුමාටය.
‘හොඳයි ඉතින් තමුසෙගේ ගොඩාක් දෙනා මොනවා කරන අයද?’
‘මට ජෝලූවී බොක්සිං ගහගන්නවා දකින කොට මට මේ ලෝකේ ඉන්න හොඳම බොක්සිං ක‍්‍රීඩකයා වෙන්ට ඕනෑ. මට ජෙසීයාන් මීටර් සියය දුවනවා දකිනකොට ලෝකයේ හොඳම මලල ක‍්‍රීඩකයා වෙන්ට ඕනෙ. ස්ටන්ටර් කෙනෙක් ඉන්නේ ජොනී වයිස් මුලර් කියලා. මිනිහාව දකිනකොට මට ඒ වගේ වෙන්ට ඕනෑ. ඒත් මේ හැම කෙනෙක්ම වෙන්නේ කොහොමද සර් එක ජීවිතයේදී?’
‘එහෙනම් තමුසෙ නළුවෙක් වෙනවා.’
අවුරුදු 16දී ගාමිණීට එසේ නියත විවරණ දී තිබුණේ ඔහුගේ පන්ති භාර ගුරුතුමාය. ගාමිණීගේ වචන වලින්ම කියනවා නම් හෙතෙම අනතුරුව රේඛාව චිත‍්‍රපටයේ පොඩි කෑල්ලකට පෙනී සිටියේය. ලෙස්ටර් ඔහුව රේඛාවට සම්බන්ධ කරගත්තේම කාර්මික ශිල්පියකු හැටියටය. එහෙත් ක‍්‍රම ක‍්‍රමයෙන් කාර්මික ශිල්පියා යටගොස් විශිෂ්ට රංගධරයා ගාමිණී තුළින් පණ ගසා නැගී ආයේය. ධර්මජිත් පුනර්ජීව ලියූ මෙම රංගධරයාගේ ප‍්‍රාග්ධනය කෘතියට පාදකවන්නේ ගාමිණීත්, ගාමිණී බිහිවන වටාපිටාවත් ගොඩනැගුණේ කෙසේද යන්න පිළිබඳ ශාස්ත‍්‍රීය විමසීමකි.
‘ගාමිණී ගහන්නෙ පස්සෙ.’

ගාමිණී සටන් ජවනිකාවලට පෙනී සිටි සෑම චිත‍්‍රපටයකදීම එය එසේම සිදුවිය. මුලින් පේ‍්‍රක්ෂකයෝ බියවෙති. ඒ තමන් ආදරය කරන වීරයා දුෂ්ඨයාගෙන් මහා ගුටි පූජාවකට ලක්වනු දැකීමෙනි. එහෙත් දුෂ්ඨයා වැඩ අවසන් කර ගෙදර යන්නට හදනවිට ගාමිණී වැඩ පටන් ගනී. පහරවැදී තොල්පට පිපිරී කුඩා ලේ බිඳුවක් දෙකක් ගාමිණීගේ මුඛය ආසන්නයෙන් වැගිරිය යුතුය. එම ලේ බිඳුව වමතින් පිස දමා ඒ දෙස මොහොතක් බලා වීරයා නැගිටින්නේ අනතුරුවය. එතැන් සිට දුෂ්ඨයාට ඉන්ටර්වල් නැත. ඇඟිල්ලක්වත් සොලවාගත නොහැකිව හෙතෙම බිම පතිත වනතුරු ගාමිණී පහර දෙයි. පේ‍්‍රක්ෂකයෝ ඔල්වරසන් දෙති.

දවසක් ගාමිණීට පිටිපස්සෙන් ගහන්නට කවුද ආවේය. පේ‍්‍රක්ෂකා ගාරයේ සිටි අයකු කෑගසා කීවේ ඔන්න ගාමිණි අයියෙ පිටිපස්සෙන් එකෙක් කියාය. පේ‍්‍රක්ෂකයා එසේ කියනවා ඇසුණා වගේම අසුරු සැණින් හැරුණු ගාමිණී පිටුපස්සෙන් ගහන්නට ආ එකාට බීපු රන් කිරි සිහිවන්නට දුන්නේය. සිනමා නළුවා පේ‍්‍රක්ෂකයා දකින්නේ තිරයේය. එහෙත් තිරයක දකින නළුවා සජීවී පේ‍්‍රක්ෂකාගාරය එසේ අවුළුවාලීම අපූරු වැඩකි. පේ‍්‍රක්ෂකයෝ ගාමිණීට පිටිපස්සෙන් ගහන්නට එන එකා ගැන කීවෝය. ඔවුහු විජේටත් එසේ කීවෝය. වෙන නළුවකුට පිටුපසින් කවුරුහරි ගහන්නට එනවිට එසේ කියනවා ඇසීම දුර්ලභය.

ගාමිණී යනු එළිමහනේ වෙසෙන ජනයාගේ මනෝරථය තිරය මත ඉෂ්ට කළ නළුවාය. ගාමිණී එකම දවසක් ගුටි කෑවේය. ඒ සක්විති සුවය චිත‍්‍රපටයේදීය. ඔහු පැදවූ මයිනරයේ ණය වාරික නොගෙවූ අවස්ථාවක ගමනක් යන මුවාවෙන් පැමිණි සීසර්වරු ගාමිණීට අතරමගදී බැට දුන්නෝය. බැට කන්නට පෙර ගාමිණී සීසර්ලා සමග සෑහෙන සටනකුත් කළේය. සතුරාගේ පිහි පහර කා බොක්ක අතේ තියන් ඉස්පිරිතාලෙට යන්න පිටත් වුණේද ගාමිණීය. ඒ චණ්ඩියා චිත‍්‍රපටයේදීය. ඔහු වේදනාබර සිනාවකින් යුතුව ඒ ගමන ගියේය. ඔහුව උකුලේ හොවාගෙන ගිය කොස්තාට මට ටිකක් අමාරුයි මල්ලි කියා කීවේද බැරිම තැනකදීය.

ගාමිණී යනු මේ සියල්ලය. ධර්මජිත් සිය කෘතිය පුරා රැුස් කරන්නට තැත් කරන්නේ ගාමිණීගේ සිනමා චින්තනයෙන් උපදින රූපණ කෘත්‍යයයි. එම රංගාවතරණය විලී අබේනායකට හෝ බොනී මහත්තයාට පමණක් සීමාවුණු එකක් නොවේ. මල්ගස් වටේ නටන නැටුමට සේ ම වලියටද හෙතෙම සිය ආත්මය කැඳවූයේය. එබැවින් විලීට හෝ බොනීට ගාමිණී සින්නක්කරයට දිය නොහැකිය. අභිමානයක් සහිත ප‍්‍රතිපත්තිගරුක පීඩිතයකුගේ චරිතයටද ගාමිණී පොදුය.

‘අයිසේ තමුසෙ දැන් ගොනු කරගෙන ඉන්නවානේ මාර නාට්‍ය කණ්ඩායමක්.’ අප හමුවූ විටෙක මට මෙලෙස කීවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. මවිසින් අධ්‍යක්ෂණය කළ චිත‍්‍රපටවලට දායක කරගන්නා ශිල්පීන් ඔවුන්ගේ චරිත රූපණයෙහි වෙනත් චිත‍්‍රපටවල ඔවුන් කරන හුදු රඟපෑමට වඩා කිසියම් කුසලතාවක් ප‍්‍රකට කිරීම හේතුවෙනි ආචාර්ය පීරිස් මෙලෙස මා අගයන ලද්දේ,
‘මේ මිනිස්සු මීට කලින් රඟපාන්න පුළුවන් මිනිස්සු නෙමෙයි. ලෙස්ටර් කීවේය. දැන් කොහොමද මේ මිනිස්සුන්ගේ තත්ත්වෙ ලෙස්ටර්?’
‘ඒක තමයි මමත් මේ කියන්න ගියේ. තමුසෙ දැන් හදාගෙන තියනවා තරුණ මහලූ සංයෝගයක්. උන් මාර ඇක්ටින් පාරවල් දෙනවා. හැබැයි තමුසෙගෙ චිත‍්‍රපටවල විතරයි. ඇයි තමුසෙගේ චිත‍්‍රපටවල විතරක් එහෙම හොඳට මුං ඇක්ට් කරන්නේ. ඇයි අනෙක් චිත‍්‍රපටවල එහෙම නැත්තේ?’
‘ඒක තීරණය වෙන්නේ කවුද මේ මිනිස්සුන්ව අධ්‍යක්ෂණය කරන්නේ කියන එක අනුවනේ. (ගාමිණී ෆොන්සේකා- 124 පිටුව)

ගාමිණී රංගනයෙන්, අධ්‍යක්ෂණයෙන් පමණක් නොව සිනමා ශිල්පීන්ගේ අයිතීන් පැත්තෙන්ද ප‍්‍රායෝගික වැඩ කොටසක් කළේය. තුට්ටු දෙකට කසිකබල් වැඩ කරන ක‍්‍රමය ඔහු පිටු දැක්කේය. ජුලියස් සීසර් නාට්‍යයේ එක් දර්ශනයකට ඔහු දස දහසක් අය කළේය. එය සාමාන්‍යයෙන් නළුවකුට රුපියල් හාරසීයක්වත් නොලැබෙන යුගයකි. සෙසු ශිල්පීන්ටත් මේ නිසා හොඳ ගෙවීමක් ලැබිණි. පුදුමයකට මෙන් ජුලියස් සීසර් දර්ශන වාර කිහිපයකටම පේ‍්‍රක්ෂකයෝ රොද බැන්දාහ. හේතුව ගාමිණී බව සෙසු ශිල්පීහු සිතුවෝය. එපමණක් නොව ගාමිණී චරිතයකට චෛතසිකයත්, කයත්, ආත්මයත් දෙන අතරම යථාවබෝධයෙන් සිනමාව තුළ හැසිරුණේය. සිංහල සිනමාවේ අර්බුදයක් ඇතැ’යි දශක ගණනාවක් මොර දෙන්නන්ට ඔහු පැවසුවේ මහ ජාතියේ නමින් සිනමාවක් ලෝකයේ කොයි රටකවත් නැත යනුවෙනි. එනිසාම එනමින් අර්බුදයක් ජාතිවාදීන්ට ඇතිවිය හැකිනම් ඊට වඩාත් සුදුසු නම සිනමාවේ සිංහල අර්බුදය යන්න බවද ඔහු නිර්භයව කීවේය.
අද අපේ රටේ ජීවත් වන ප‍්‍රධාන ජනවර්ග දෙක අතර ඇතිවී ඇති අර්බුදකාරී වාතාවරණය පිළිබඳව මම බෙහෙවින් කම්පාවට පත්ව සිටිමි. රටේ ජනගහන ප‍්‍රතිශතය අනුව 60%කටත් වඩා ජනගහනය සිංහලය. ද්‍රවිඩ ජනයා සියයට 8-10 අතර ප‍්‍රමාණයකි. මේ ප‍්‍රතිශතය දන්නෝ මෙකී සුළු ජාතිය හා සටන් කරන්නේ ඇයිදැ’යි මට නොතේරේ. අනෙක මේ සටනේ මහ ජාතිය සිංහල බෞද්ධය. සිංහල බෞද්ධ යනු කුමන හර පද්ධතියක් පාදක කරගත් ජන කොටසක්ද? මගේ හැඟීමේ හැටියට නම් සිංහලකම වත් බෞද්ධකමවත් මනුෂ්‍ය හැඟීම්වත් නොදන්නා පිරිස විසින් සිංහලකම ගැන බෞද්ධකම ගැන මහ ඉහළින් කතා කරති. එයින් නොනැවතී ‘අපි සිංහල බෞද්ධ – අනෙකා මරාපියවු’ කියති. (ගාමිණී ෆොන්සේකා 63 පිටුව)

අදත් ලංකාව ගැලී සිටින්නේ එකී අර්බුදයේම නොවේද? ඒ අනුව මහජාතිකයෝ යාපනයටත් වඩා දුර ගොස් දර්ගා නගරයට පහර දෙති. රංගධරයාට ගැඹුරු සමාජ දේශපාලන හා බහු සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය. ගාමිණී එම අවබෝධයෙන් සිය රංගාත්මය තුළ සැරිසැරුවේය. අද ඇතැම් නළුවන් මෙන් තමන් තුළ සිටින රංගධරයා දේශපාලන වන්දිභට්ටකමට යට කර නොදැම්මේය. මියගිය ගාමිණී ඉතිරි වී ජීවත් වන ඔහුගේ අනුප‍්‍රාප් තිකයෝයැ’යි කියාගන්නා අය මියගොස් සිටින්නේ එතනය.
ධර්මජිත් පුනර්ජීව ‘යථාර්ථවාදී මහා සිනමා ආඛ්‍යාන ප‍්‍රභාස්වර කළ නළුවරයාගේ ප‍්‍රාග්ධනය’ නමැති පිටු 400කට අධික A3 ප‍්‍රමාණයේ දැවැන්ත කෘතියේදී ගාමිණීගේ ජීවිතය, ගාමිණී නම්වූ රූපණවේදියා, අදීන මිනිසා අත්දැකීම් සපිරි කලාකරුවා යන සකලවිධ පාර්ශ්වවලින් ගාමිණී ෆොන්සේකාගේ ජීවන දර්ශනයට එබී බැලීමට වෑයම් කරයි. එහිදී ධාරණය කරන බොහෝ කරුණු දාර්ශනික හරයකින් සංතෘප්ත කිරීමට වෙර දරයි. ගාමිණී නම්වූ කෘතහස්ත රූපණවේදියා මේ පිටු අතර රඳවයි.