මම ලොබ බැන්දේ සංගීතයට සහ සොබාදහමට – ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පී කරුණාසිරි විජේසිංහ

කරුණාසිරි විජේසිංහ පැන්සලේ සහ පෑනේ රේඛා මතින් ගොස් සොබාදහම සහ මිනිස් දිවිසැරිය අල්ලා ගන්නට වෙර දැරූ චිත‍්‍ර ශිල්පියෙකි. වන රේඛා, ප‍්‍රකෘති දිසි අදිසි, වාපී ඇතුළු චිත‍්‍ර ප‍්‍රදර්ශන අටක් මේ වනවිට පවත්වා ඇති කරුණාසිරි සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකුද වෙයි.

ඡායාරූප : සරත් පෙරේරා

කරුණාසිරිගේ ජීවන විලාසිතාව කොහොම එකක්ද?

මට හුඟක් වෙලාවට තනියම ඉන්න අවශ්‍යයි. පොඩි කාලෙ ඉඳලම මම තනියම ඉන්න ආශා කළා. මම ඉගෙන ගත්තෙ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලෙ, පාපැදියෙන් ඉස්කෝලෙ යන්නෙ. සමහරදාට ඉස්කෝලෙ කට් කරලා බයිසිකලෙන් මාරවිල මුහුදු වෙරළට යනවා. කුලියාපිටියෙ ඉඳලා හැතැප්ම දහයක් විතර දුර. ඊට පස්සෙ මුහුද දිහා බලාගෙන ඉන්නවා. කැලේ බලන්න යාළුවොත් එක්ක ටි‍්‍රප් එකක් ගියත් මම ටිකක් තනිවෙලා කැලේ දිහා බලාගෙන ඉන්න කැමතියි. දේවල් නිරවුල්ව පැහැදිලිව දැකීම මට ඒ තනිවීම හරහා ලැබෙනවා. ඒකත් එක්තරා වින්දනයක් ලැබීමක්. මම වතාවක් සිංහරාජයට ගිහින් චිත‍්‍ර ඇන්දා. කැලේ ඇතුළෙත් මාස කිහිපයක් හිටියෙ තනියම.

සෙනඟ ගොඩක් මැදදි ඔළුවට මොකක්ද දැනෙන්නේ?

පිරිසක් මැදදි මම කැමතියි ඔවුන් කියන දේවල් අහගෙන ඉන්න. තිස්ස අබේසේකර ජීවත්ව සිටි කාලයේ මම ලාල් පියසේනත් සමග ඔහු හමුවන්න යනවා. තිස්ස මනා ජීවිත පරිඥානයක් ඇති කෙනෙක් හැටියට හුඟක් දේවල් නිරවුල්ව දකිනවා. ඒ ගැන කතා කරනවා. ලාල් විටින් විට ඔහුගෙන් යම් යම් ප‍්‍රශ්න කිරීම් කරනවා. මම කරන්නේ, හුදෙකලා මනසකින් යුතුව තිස්සට සවන්දීමයි. පිරිසක් මැදදි වුණත් මම ඔවුන් කියන දේට සවන් දෙනවා. ඒත් හුඟක් ඝෝෂාකාරී තැනක මම ඉන්න කැමති නැහැ.

කරුණාසිරිගෙ අතීත විත්තිය කොහොමද?

මම ඉපදුණේ කුලියාපිටියේ, මඩකුඹුරමුල්ල කියන ගමේ. ඒ 1957දී. මුලින්ම ගියේ ගමේ පාසලට. ඒ ඉස්කෝලෙදි මම මුල්වරට චිත‍්‍ර ප‍්‍රදර්ශනයකුත් කළා. එතකොට මට 16ක් විතර ඇති. අපි පුංචි කොළවල ඇඳලා, පින් හතරකින් බිත්තියෙ අලවනවා. අපේ තාත්තා තමයි ඒ විදියට බිත්තියෙ චිත‍්‍ර ටික එල්ලන්න ආවෙත්.

චිත‍්‍ර ඇඳීම ඔබේ ඔළුවට එන්නේ කොහොමද?

පොඩි කාලෙදිමයි. අපි ඒ දවස්වල අලූත් ගෙයක් හදමින් හිටියේ. පරණ ගේ කඩා දමන්න නියමිතව තිබුණා. ඒකෙ බිත්තිවල අඟුරු කැටවලින් මම චිත‍්‍ර ඇන්දා. ගේ හදන බාස් උන්නැහේ කිව්වා පුතාට හොඳට අඳින්න පුළුවන්නේ කියලා. තාත්තත් ඒ ගමන කිව්වා දිගටම බිත්තිවල අඳින්න කියලා. ඒ සැරේ මම මුළු ගේ පුරාම අඟුරුවලින් චිත‍්‍ර ඇන්දා. අපේ තාත්තා කඩයක් කෙරුවා. ගොවිතැන් කෙරුවා. චිත‍්‍ර ගැන මොකුත් දැනගෙන හිටියයි කියන්න බැහැ. හැබැයි ඔහු සාහිත්‍ය පතපොත හොඳට කියෙව්වා. ගොගොල්ගෙ මළ මිනිස්සු, ඩොස්ටවුස්කිගෙ ටෝල්ස්ටෝයිගෙ පොත් තාත්තගෙ පොත් රාක්කෙ තිබුණා. පොත් ප‍්‍රදර්ශනවලට මාවත් එක්කරගෙන යනවා. තාත්තා පරිවර්තන පොත් ගත්තා. ඞීමන් ආනන්දගේ පොත් පවා ඔහු කියෙව්වා. තාත්තගෙ රාක්කෙ තිබුණු ජයතිලකගෙ අමරසේකරගෙ වෙනත් පරිවර්තන පොත් මම පස්සෙ කාලෙක කියවන්න ගත්තා. මම හිතන්නේ චිත‍්‍ර කලාව මා තුළ මතුවෙන්න මේ සියල්ල බලපෑවා.

අධ්‍යාපන කටයුතුවලින් ලද ප‍්‍රගතිය කොහොමද?

ඕලෙවල් කරන්න කුලියාපිටිය මධ්‍ය විද්‍යාලයට ගියා. මම කලා විෂයක් හැටියට තෝරගත්තෙ සංගීතය. ඒකට ආසාවක් තිබුණාට කරගන්න බැහැ වගේ අදහසක් පසුව සිත තුළ පැන නැගුණා. ජෝර්ජ් පල්ලෙවත්ත තමයි අපේ සංගීත ගුරුතුමා. කුසුම් පිපී තුරු මතේ සිංදුවට තනුව දැම්මේ ඔහු. පසුව මම චිත‍්‍ර විෂය තෝරා ගත්තා. එදා ඉගැන්නුවෙ එස්. කැප්පෙටිගොඩ කියලා හේවුඞ් එකේ ඉගෙන ගත්තු මහත්මයෙක්. ඔහු මගේ දක්ෂතා හඳුනාගෙන එකේක තරගවලටත් යොමු කළා. මම ඒ ලෙවල් කළේ කුලියාපිටිය මහා විද්‍යාලයේ. සෞන්දර්ය අධ්‍යයන ආයතනයට සිසුන් ගන්නවා කියලා දැන්වීමක් දැක්කෙ ඔය කාලේ. ඒකට ඒ ලෙවල් පාස්වෙන්න ඕනේ. ඒත් සහජ දක්ෂතා තියන අයට ඊට අදාළ කෝටා එකකුත් තිබුණා. මම ඒකෙන් සෞන්දර්යය එකට ගියා. ඔය 79දි. ඒ ක‍්‍රමයට ලංකාවෙන්ම නවදෙනෙක් ගත්තා.

කොහොමද හේවුඞ් එකේ අත්දැකීම්?

ඒ ලෙවල් නැති නිසා අපිට හම්බවෙන්නෙ ඩිප්ලෝමා එකක් කිව්ව ගමන් අපි නමදෙනාම ඒ ලෙවල් කරලා පාස්වෙලා උපාධි පාඨමාලාවට සුදුසුකම් ලබාගත්තා. හොරණ ශ‍්‍රීපාලියෙ පළමු කණ්ඩායමත් අපි. ඒ වෙනකොට සෞන්දර්යය එකේ විදුහල්පති ඇල්බට් ධර්මසිරි. වසර දෙකකින් අපිව කොළඹට දැම්මා.

මේ කාලෙ දේශපාලනය කළාද?

ඔව්. මම කොමියුනිස්ට් පක්ෂයේ පූර්ණ කාලීනවත් වැඩ කළා. ඩබ්.ඒ. අබේසිංහ මගේ ඥාතියෙක්. ඔහු එවකදි කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධව හිටියා. ඒ හරහා තමයි මගේ දේශපාලන සම්බන්ධයත් හැදෙන්නෙ. මම මුලින්ම පොත් පිටකවරයක් ඇන්දෙත් අබේසිංහ මහත්මයගේ පොතකට. පක්ෂ කාර්යාලෙ අයට මාව හඳුන්වා දුන්නෙත් ඔහු. මැයි දින රැුලිවලට ස්ටේජ්වල චිත‍්‍ර ඇඳීම, පෙරහැරේ රථ සැරසීම, බැනර් වැඩ සේරම කළේ මම. පාටි ඔෆීස් එකේ නැවතිලාත් හිටියා මම කාලයක්.

වම ගැන දැන් විශ්වාසයක් නැද්ද?

කලකිරීම් මත පක්ෂයෙන් ඉවත් වුණාට වම ගැන තාම යම් විශ්වාසයක් තියනවා. වමට ගියේ මට ධනවාදය ගැන තිබුණු ලොකු ප‍්‍රශ්නයක් නිසාමත් නෙමෙයි. ඒකට මම නිකම්ම ඇදිලා ගියා හැඟීමක් නැතුව වගේ. හැබැයි පක්ෂය තුළ අපි ඉගෙන ගත්තා.

ඔබට පුද්ගලිකව වෙච්ච ප‍්‍රශ්නය මොකක්ද?

මට ඔවුන් යම් යම් බලාපොරොත්තු දුන්නා. ඒ වනවිට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම් ඩිව් ගුණසේකර. ඔහු දවසක් ඇහුවා සහෝදරයා කැමතිද පිටරට ගිහින් ඉගෙන ගන්න කියලා. රුසියාවට යන්න කැමති බව මම කිව්වා. මගේ අයදුම්පත පක්ෂය භාරගත්තා. වැඬේ එච්චරයි. හැබැයි මට පසුව ආරංචි වුණා මගේ අවස්ථාව ඒ අයගේ කෙනෙකුට දුන්නා කියලා. ඔය කාලෙ මම සෝවියට් මිත‍්‍ර සංගමය ජර්මන් මිත‍්‍ර සංගමය වගේ සමාජවාදී රටවල්වල ලංකාවේ පොඩි පොඩි කාර්යාලවලත් වැඩ කළා. පොඩි වැටුපකුත් ලැබුණා.

සෞන්දර්ය එකේ උපාධි පාඨමාලාව අවසන් කළාද?

විභාගෙට ලිව්වට මට අන්තිම සහතිකය දුන්නේ නැහැ. එකක් මගේ පැමිණීම 80%ක් සපුරා තිබුණේ නැහැ. චිත‍්‍රවලට පසු අනු විෂය හැටියට කළ මූර්ති විෂයෙන් මාව ෆේල් කළා. මම කොමියුනිස්ට්කාරයෙක්වීමත් මේ ප‍්‍රශ්නයට බලපෑවා. මේ ගැන මම තදින් ප‍්‍රශ්න කළාට පස්සේ මාව විශ්වවිද්‍යාල භූමියෙන් නෙරපා හැරියා. අඩිය තියන්න එපා කියලයි කිව්වේ. උඹලගෙ සහතික එපා කියලා මමත් ගියේම නැහැ. නොගිහින් ඔහොම අවුරුදු 10ක් හිටියා.

හැබැයි එළියෙ ගොඩාක් වැඩ කරන්න පටන් ගත්තා නේද?

ඔව්. මම 88දී පළමුවැනි චිත‍්‍ර ප‍්‍රදර්ශනයට ලෑස්ති වුණා. පේරාදෙණිය උද්භිද උද්‍යානයේ තියෙන ගහකොළ ලියගොමු තමයි මගේ ප‍්‍රදර්ශනයට ඇන්දේ. සරත් සූරසේන මහතාගේ ගෙදර නැවතිලා මම වැඩ කළේ. මම පාගොඩ පාරේ ඔහුගේ ගෙදර තිබෙන ගසක් ස්කේ‍්‍රච් කරමින් ඉන්න කොට එයා කිව්වා ඔයාගේ ඇඳීම හොඳයි තව ටිකක් ප‍්‍රගුණ කරන්න කියලා. ඔහු මාව එක්කගෙන ගියා ලකී සේනානායක ළඟට. සරත් සූරසේනට යන්න වුණා ෂීෂෙල්ස්වලට. එයාගෙ ගෙයක් තිබුණා පේරාදෙණියෙ. මට එහේ නැවතිලා වැඩ කරන්න කිව්වා. උද්භිද උද්‍යානය අඳින්න ප‍්‍රවේශ වෙන්නෙ එහෙම. ගස්වැල් සහ මුල් ආදිය පටන් ගන්නෙ එතැනින්. 88 ප‍්‍රදර්ශනයේදී තමයි මම ප‍්‍රවීණ සිනමා සංස්කරණ ශිල්පි ලාල් පියසේන හඳුනා ගන්නේ. ඔහු සරත් සූරසේන හමුවන්න ඒ ගෙදරටත් ආවා ගියා. ලාල් තමයි මට මේ ප‍්‍රදර්ශනයට රූපවාහිනියෙන් ප‍්‍රචාරයක් පවා ලබා දුන්නේ.

තවම හේවුඞ් එකේ සහතිකය ලැබුණේ නැද්ද?

ඒ වෙනකොට සෞන්දර්යය එකේ ප‍්‍රධානියා ඒ.ජේ. ගුණවර්ධන. ලාල්, ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගෙ ගෙදරදි ඒ ජේ හම්බ වුණු වෙලාවකදි මගේ ප‍්‍රශ්නෙ කියලා තියනවා. ඒ ගමන ඒ ජේ ගුණවර්ධන මට එන්න කිව්වා. ඊළඟට තියන විභාගයට මාව වාඩි කෙරෙව්වා. මම සියලූ විෂයයන් පාස්වුණා. සහතිකය ලැබුණා.

සංගීතය ශිෂ්‍ය අවදියේ අතඇරියාට ඔබ සම්භාව්‍ය සංගීතය රසවිඳින්නෙක් බවට පත්වෙනවා. ඒක සිදුවන්නේ කොහොමද?

අපේ අයියා කෙනෙක් හිටියා මාතලේ. මම ඒ ගෙදර ඉඳහිට යනවා. අයියා අහන්නෙ බිතෝවන් මොසාර්ට් වගේ අයගේ සිම්පනි.ඒවා මට මුලින් දැනුණේ හරි ඝෝෂාවක් විදියටයි. එයා තමයි කිව්වෙ මට මේවා අහන්න. මේවා තමයි නියම මියුසික් කියලා. ඔය කාලෙ මම ලාල් එක්ක මල්ටිමීඩියා එකේ වැඩ. මම ලාල්ගෙ ගෙදර ටික කලක් නැවතිලාත් හිටියා. ලාල් වෙස්ටර්න් මියුසික් අහනවා. ඔහු මට දවසක් බිතෝවන්ගේ සිම්පනි එකක් දාලා ඒ මියුසික් රසවිඳින හැටි කොටසින් කොටස පැහැදිලි කර දුන්නා. මේ සංගීත රචනාව කියවන විදිය ගැන. ඒකෙ තිබුණේ නැපෝලියන්ගේ සංග‍්‍රාමය. ටික ටික ඕවා අහලා මමත් හොඳ රසවිඳින්නෙක් වුණා. තාම මම හුදෙකලාවට ආසයි. ඒ හුදෙකලාවේ මියුසික් අහන්නයි මට ඕනේ.

කරුණාසිරි සොයපු හුදෙකලාවෙ කොහොමටත් මියුසික් එකෙත් තියෙනවා නේද?

ඔව්. කැලෑවට ගියොත් ඒක දැනෙනවා. ගඟක් ළඟදි ඒක ඇහෙනවා. ඒවා ඇත්තටම මියුසික්. ඉස්කෝලෙනුත් කට්ටි පැනලා මම ලොබ බැන්දෙ ඒ මියුසික්වලට හා සොබාදහමට කියලා දැන් මට හිතෙනවා. සංගීතය ඉගෙන ගන්න හැදුවෙත් ඔය නිසා වෙන්න ඇති.

මේ සියල්ල එකතු කරගෙන ඇඳීම ආරම්භ කරන්නේ කොහොමද?

සිංහරාජයේ වගේ ඇඳීම් නිදසුනකට ගනිමුකො. මම ගිය ගමන් අඳින්න පටන් ගන්නෙ නැහැ. කැලේ ඇතුළෙ හැමතැනම ඇවිදිනවා. එකේක තැන්වල ඉන්නවා. බලනවා. බොහෝවිට යන්නෙ තනියම. වියළි කලාපීය වනාන්තරවල තනියම යන්නෙ නැහැ අලි ඉන්න නිසා. කොළ දාගන්න පැකට් එකයි, බෝඞ් එකයි, පෑන් පැන්සල් ටිකයි අරගෙන යනවා. මේ වැඬේ දැන් හරි පුරුදුයි. එතනම ඉඳන් චිත‍්‍රය නිම කරනවා. මම වැඩිය කැමතිත් කළු සුදු වර්ණවලට. කළුපාටින් අඳින එක අමාරුයි. වෙනස්කම් දුර ආදී සියල්ල පෙන්වන්න ඕනෙ නිසා. මෑතක කරපු වාපී කියන ප‍්‍රදර්ශනය සම්පූර්ණයෙන් වැව පදනම් කරගත්තා. හැම වැඩකටම අතීත කතාවක් සහ ප‍්‍රවාදයක් තියනවා. වැව දුටුවිට අපිට වෙනමම හැඟීම් සමුදායක් මතුවෙනවා. මම මහකනදරාව, කලාවැව, තිසාවැව, බලලූවැව, පදවිය වැව, මාපාකඩ ආදී හැම වැවක් ළඟම රාත‍්‍රි කිහිපයක් ගත කළා. වැව ගැන හැඟීම තමයි මුලින්ම මම ධාරණය කරගත්තෙ. ඊළඟට ජනප‍්‍රවාදයත් චිත‍්‍රය තුළින් පිළිබිඹු වන විදියටයි මේ වාපී නිර්මාණය කෙරුණේ. සුනිල් ෆොන්සේකා මහතාත් මට මේ කටයුත්තෙදි හුඟක් උදව් කෙරුවා.

කරුණාසිරිගෙ වීරයා කවුද?

කීපදෙනෙක් හිටියා. එක්කෙනෙක් ලෙනින්. මම ගෙදර බිත්තියෙත් ඔහුව ඇඳගෙන හිටියා. ඊට පස්සෙ ස්ටැන්ලි අබේසිංහ කියන මගේ ගුරුවරයෙක්. ඔහු ආලේඛ්‍ය චිත‍්‍ර ගැන හසළ දැනුමක් තිබුණු අයෙක්. හැබැයි වැඩිපුර මම ආලේඛ්‍ය චිත‍්‍රවලට ගියේ නැහැ. මම සෞන්දර්යය ආශා කරපු නිසා පරිසරය ගැන වැඩිපුර ඇන්දා. ඊටත් පසුව මට හිටපු පරමාදර්ශී චරිතය තමයි ලාල් පියසේන. ඔහු නිසා මගේ ජීවිතේ විශාල වෙනසක් වුණා. බොහෝ පිරිසක් මට හඳුන්වා දුන්නා. ඔහු නොහිටින්න මම ජීවිතේ අතරමං වෙනවා. මට හැදුණු බරපතළ අසනීපයකදී. වතාවක් ඔහු මාව මරණයෙනුත් ගොඩ ගත්තා. ඒත් මම ජීවත්වෙද්දී ඔහු අපෙන් සමුගෙන ගියා. ඔහුගේ වෙන්වීම දිගටම මගේ හිත පෙළන කාරණයක්.