දැදුරු ඔය විනාශය අතළඟ

අතීතයේ දවසක අප්පෙකුයි පුතෙකුයි ගැල් බැඳගෙන වෙළෙඳාමේ යනකොට ගිමන් නිවාගන්න දැදුරු ඔය ආසන්නයේ ඉද්ද ගැහැව්වලූ. බත පැහෙන වෙලාවවත් නොඉවසපු දැදුරු ඔය බත් මුට්ටියත් අරගෙන දෝරේ ගියාලූ. ඒ වෙලාවේ ‘අප්පට පුතා’ කියනවා ඇරෙන්න දෙයක් පුතාට තිබුණේ නැතිලූ.
‘අප්පට පුතාගෙන්ම කතාවට මුල්ගල තිබ්බේ විමලසිරි මහත්තයා.

‘අපේ පරම්පරා ගණනාවක් ඉන්නේ මේ දැදුරු ඔය මායිමේ. ඒත් දැදුරු ඔයෙන් කරදරයක් අපිට වුණේ නැහැ. ඒත් දැන් දැදුරු ඔය හරස් කරලා ඉදිකළ මහා ව්‍යාපෘතිය හින්දා අපි අනාථ වෙලා. දැන් අපට ඉතිරි වෙලා තියෙන්නේ ‘අප්පට පුතා’ කියන්න විතරයි. ඒත් ඒ අප්පලට පුතාලට ඇහුම්කන් දෙන්නේ කවුද? ඒ අප්පා ඉන්නේ කොහේද?
දැදුරු ඔය අවට ජීවිත දෙදරා යන්නට පටන් ගෙනය. ඊනියා සංවර්ධනයේ නාමයෙන් ඒ අවට ජන දිවියම නායයෑම මුවදොරට ළඟාවී හමාරය. එහෙත් ඒ අඳෝනාව නෑසූකන්ව උහුලන්නට වයඹ බලධාරීන් අමුතු ගටක් ගෙනය.

හම්බන්තොට වරායේ ගලක් ඇතැ’යිද පසුව ගලක් නැතැ’යිද කී විජ්ජාකාරයකු මහ ඇමැත්තෙක්ව වෙසෙන පැත්තක මේ අඳෝනා කෙඳිරියක් ලෙස හෝ මායිම් නොවීම අරුමයක්ද නැත්තේය.
අභාග්‍යය නම් මේ අරුමයේ කරුමයට විශාල ජන සමූහයක් තනිව උරදීමය. රටේම මහ ඇමති නිහඬය.
‘මේ බැම්ම බැඳෙන්නේ තුන් මෝදරින්. හක්වටුණා ඔය කිඹුල්වානා ඔයට පහළින් තමයි මේ බැම්ම වැටෙන්නේ.
2007දී මේක පටන් ගත්තේ. දැන් අවුරුදු හතක් ගිහිල්ලා. මුල ඉඳලම මේකේ කළේ ප්‍රෝඩාව. මුල් අදියරේ මැනුම් කටයුතු කරලා හිත හැදෙන වන්දි දීලා ඒ අයව තැන් තැන්වල පදිංචි කළා. කට්ටියක් පුත්තලමේ හද්ද කැලේක. අද අලි ගහලා ඒ අය මැරෙනවා. තව කට්ටියක් තව තැනක. වන්දි මුදලින් ඒ අය ගේ භාගයට බැඳ ගත්තා, එච්චරයි. අද යන එන මං නෑ. ඒවා වෙනම කතා. ඒ පළමු අදියරේ වන්දිත් තවම නොලැබුණු අය ඉන්නවා.

මේ වන්දි කෙරුවාවල් ඔක්කොම නිලධාරීන්ගේ කැමැත්තනේ. අක්කරය හතර පාරකට මනිනවා. ඒ මැනුම් කුලීගන්න ඒවට සමහර ග‍්‍රාමසේවකත් හවුල්. තමන්ට අයිති වන්දිය ගන්න මොනවා වුණත් කට බලියාගෙන ඉන්න ඕනෑ. අදත් එහෙමයි. කතා කළොත් වන්දිත් නැහැ. වන්දි පෙන්නලා තමයි මේ අය අපව බැම්මටම යට කරන්නේ.’
ඒ කතාකාරයාට නමක් ඇතිමුත් නම පිටතට දෙන්නට බැරිය. ඒ වන්දි සූත‍්‍රය අපේක්ෂාවෙන් සිටින අය අතර ඔහුද කෙනෙක් වන බැවිනි.

වපසරිය

ගණේවත්ත ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුඩා උයන්ගල්ල, මහා උයන්ගල්ල. පෙඞීගම, සියඹලා වැව, තඹගල්ල, වේරගල, දොම්පේගම, තිඹිරිවැව, නින්ද ගම් අක්කර විස්ස ප‍්‍රදේශ සියල්ල දැදුරු ඔය ව්‍යාපෘතියේ ගොදුරු බවට පත්වී ඇත.

අසාර්ථකකම්

මෙරට ජල කළමනා කරණයේ යෝධ පියවරක් ලෙස සැලකෙන දැදුරු ඔය ජලාශ ව්‍යාපෘතිය නියමිත මිනුම් සැලසුම්වලට අනුව ඉදිනොකිරීමෙන් ඉහත ගම්මාන සියල්ල ලොකු අවදානමකට ලක්වී ඇත. එහි අනතුරක සලකුණ මතුවන්නේ නොබෝදාය. ඒ වසර හතක් ඉක්ම ගිය තැනය. ව්‍යාපෘතිය අවසන්ව ජලය පිරවෙන තැනය. ඒද ජලය පිරවීම ආරම්භ කළ සැණින්ය. ජලාශයේ 20%ක් ජල ප‍්‍රමාණයක් පිරෙන තැන මීට පෙර කළ සියලූ අධ්‍යයන වාර්තා වතුරේ යනුයේ ව්‍යාපෘතියේ සැලසුම්වලට කිසි ලෙසකින් හසු නොවූ මාර්ග ගම්බිම් ජලයෙන් යටවීමේ ලකුණු සලකුණු කිරීමත් සමගය. ව්‍යාපෘතියේ අසාර්ථකභාවය සක් සුදක් සේ පැහැදිලිය.

ජලාශය ඉදිවන විට ඉන් අනතුරු විය හැකි ගම්බිම්හි පදිංචිකරුවන්ට වන්දි ලබාදී ඔවුහු වෙනත් ප‍්‍රදේශවල පදිංචි කොටද අවසන්ය. දැන් ඇත්තේ ජලාශය විවෘත කිරීමය. විවෘත කරන විට හිටිවනම නැවත යටවන අලූත් පිඹුරු පත් සැකසෙන්නේය. මේ කාගේ වැරදිද? ව්‍යාපෘතියක් ආරම්භ කරන විට එහි දිග පළල ප‍්‍රතිඵල, විනාශයන් ගණනය කළ නොහැකිද? එලෙස කොට ඊට පිළියම් යොදා තිබියදීත් දැන් නැවත අලූත් ව්‍යසනයක් නිර්මාණය වන තැන කුමක් කරනුයේද? දැන් එම ප‍්‍රදේශවල ජනයා සුනාමිය අද එතැ’යි බැම්ම දෙස බලාගෙන බුම්මාගෙන සිටිති. 20%ක ජල පරිමාවක් පිරෙන තැන ගේ දොරකඩට එන වතුර පාර 100%ක් පිරුණු කල වහලවල් උඩින් නොයතැ’යි සහතික දෙන්නේ කවුද?

මුදල්

රුපියල් බිලියන 13ක දේශීය අරමුදල් පමණක් යොදා සම්පූර්ණ දේශීය ඉංජිනේරු තාක්ෂණයද මෙරටින්ම පිරිමසාගෙන තනිකරම ‘මේඞ් ඉන් ශ‍්‍රී ලංකා’ කියන්නට තැටමූ ව්‍යාපෘතිය විවෘත කරන්නට කට මැත කියා ලොකු අවුලක වැටී ඇත්තේය. එහි මුල් අදියර ලෙස ජලය 20% පිරවීම ආරම්භ කළේය. ඒ ජලය සොරොව් හැර විවෘත කළ පසු ගම්බිම් යටවිය. යටවී ඇත්තේ ජලාශය ඉදිකරන විට අනුමාන කළ ගම්බිම් නොව වෙනත් ප‍්‍රදේශය. මේ පය බරවාවට පිටිකර බෙහෙත් බැඳීමක් නොවේද?

සීරන්ගොඩ, තඹගල්ල. සියඹලෑව, පෙඞීගම, කුඩා උයන්ගල්ල ආදී ප‍්‍රදේශවල මීට පෙර සලකුණු කොට තිබූ සීමා පවා මීටර් 2ක් ජලය පිරවූ කල පසුකරගෙන ගොස්ය.’
මේ පිළිබඳ බලධාරීන්ට ප‍්‍රාදේශීය ලේකම්වරයා වාර්තා ඉදිරිපත් කොට ඇතත්, වැඩක් වී නැත. ඒ වෙනුවට සිදුව ඇත්තේ වරද නිවැරදි කරන ක‍්‍රම සෙවීම වෙනුවට වරද වරදක් ලෙස හෝ නොදැකීමය. නැවත යටවන ප‍්‍රදේශ මැනුම් කොට ඒවාට වන්දි ලබාදීමේ පිළිවෙළක් අනුගමනය කළ යුතු වුවත් ඒ සියල්ල ඉබිගමනේය. ඊට හේතුව දැන් එම ව්‍යාපෘතියට වෙන්වූ මුදල අවසන් බැවිනි. ඒ අනුව වන්දි ලබාදීමට මුදල් නැති බව ප‍්‍රසිද්ධියේ කියන තැනට නිලධාරීන් පත්ව ඇත.

‘ජලාශයේ යට නොවනවා කියලා කියපු පැත්තේ අපි ඉන්නේ. ඒත් 20%ක් ජලය පුරවන කොට ගේ දොරකඩ වතුර. අපි කියන්නේ අපි යන්නම්. නැත්නම් මේ වතුරට යටවෙලා අපිට මැරෙන්න බැහැනේ. හැබැයි අපිට වන්දි දෙන්න. වන්දි දෙනකම් අපිව නැවත පදිංචි කරන කම් මේ ජලාශය පුරවන්නේ නැතිව ඉන්න. වන්දි දීලා අපිව යවලා මේක පුරවන්න.’
ඒ වසන්තා මහත්මියය.

ඒත් සිදුව ඇත්තේ වෙනකකි. මේතරම් අවදානමක් තිබියදීත් මේ බලධාරීන්ගේ එකම අරමුණ මෙය විවෘත කොට වැඬේ අවසන් බව කියා අත පිහදා ගැනීමය.
නිශාන්ත මහතා දැක්වූ අදහස් ඊට කදිම නිදසුනකි.
‘දැනට දොරවල් වහලා තියෙනවා. හැබැයි ජලාශයට වතුර පුරවනවා. දැන් 68%ක් විතර ජලය පුරවලා. මූලිකව 72%ක් පුරවලා විවෘත කරනවා කියන්නේ. එතකොට අපිට මොකක් වෙයිද? අපි ඉන්නේ අක්කර විස්ස ප‍්‍රදේශයේ බැම්ම පාමුල. අපිව හේදිලාම යයිනේ.
පෙඩිගම හේමචන්ද්‍ර දරන අදහසත් එබඳුය.

‘අපි ඉන්නෙත් ජලාශයෙන් යටවන පැත්තේ. මුලදි කිව්වේ නෑ. දැන් වතුර ඇරපුවහම ගේ ළඟටම වතුර එනවා. යටවෙන අයට වන්දි දීලා ඇරලත් ඉවරයි. අපි යටවෙන්නේ නැහැ කියලනේ කිව්වේ. එතකොට මේ අයට වැරදිච්ච එකට අපි සදාකාලිකම වරද්ද ගන්න ඕනෑද? අපි මානසික පීඩාවෙන් ඉන්නේ. මේ ගම්වල මිනිස්සුන්ට නින්දක් නැහැ. පුදුම දුකක් විඳින්නේ. මොකද අනතුර ඇස්පනා පිටම තියෙනවා. කොයි මොහොතෙද කියන එක විතරයි තියෙන්නේ. මේ විදිහට මේක විවෘත කරනව නම් මිනී කන්දක් මතින් තමයි මේක විවෘත කරන්න වෙන්නේ.
මුල් අදියරේදී වන්දි ලබාදී යටවන ප‍්‍රදේශවල ජනයා ඉවත් කොට ඔවුන් නැවත පදිංචි කළ ප‍්‍රදේශත් යටවීම මෙම ව්‍යාපෘතියේ අසාර්ථකකම ඕනෑවටත් වඩා පෙන්වන සාධකයකි.
මේ අතර මල්ලබේ ප‍්‍රදේශයේ ඉදිකර ඇති පාලමත් ජනයාට මරු කපොල්ලක් වී ඇත.

ඒ එම තැන පාලමක් ඉදිකිරීමට ප‍්‍රමාණවත් නොවීම හේතුවෙනි. සුළු ගංවතුරකදී පවා නැතහොත් ජලාශයේ ජලය පිටතට ලබා දුන් කල මෙම පාලම් ඉදිකොට ඇත්තේ ඉදිකළ යුතු තැන්වල නොවන නිසා ඉදිරියේදී විය හැකි විනාශය තවමත් ගණන් බලා හෝ නොමැතිය. මෙම පාලමට රුපියල් කෝටි 10ක් වැයවන බව ගණන් බලා ඇත.

මෙය වයඹ මේ මොහොතේ ඇති ජාතික ප‍්‍රශ්නයකි. එහෙත් කිසිවෙක් ඊට කන්දී ඇති අයුරක් නොපෙනේ. ජනපති ලවා දේශපාලන ප‍්‍රතිරූප පුම්බා ගනිමින් මනාපයට මෙය විවෘත කිරීම නොබෝ දිනකින්ම සිදුවීමට නියමිතය. එහෙත් ඒ මේ සියලූ ව්‍යසනයන් මෙසේම තිබියදී නම් මෙය සුනාමියට වඩා ඛේදවාචකයක් වනවා නියතය.
ජලය 20%ක් පුරවා ගැටලූ පැන නැගි කල කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ සම්බන්ධීකරණ රැුස්වීමකට සහභාගි වන දැදුරු ඔය ජලාශ ව්‍යාපෘති අධ්‍යක්ෂ සුනිල් පෙරේරා මහතා මෙම ව්‍යසනය ප‍්‍රසිද්ධියේම පිළිගෙන ඇත.

‘ජලාශය පිරවීමට යෑමේදී ප‍්‍රදේශයේ පාරවල්, නිවාස, ජලයෙන් යටවන්නට පුළුවන් වගේම නොයෙක් ප‍්‍රශ්න ඇතිවන්නට පුළුවන්. මොකද අපි කොච්චර මැනුම් කළත් අඩුපාඩු සිදුවීමට පුළුවන්.’
මේ ජලාශයේ සම්පූර්ණ වටප‍්‍රමාණය කිලෝ මීටර් 102යි. මේ නිසා ජලාශය පිරවීමේදී කොතෙක් යටවනවාද කියන එක ස්ථිරයටම කියන්න අමාරුයි. ජලාශය පිරවීමේදී අලූතින් යටවන ප‍්‍රදේශ නිශ්චිතවම හඳුනාගෙන ඉන් බලපෑම්වලට ලක්වන්නන් සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව අහිමි වන දේපළවලට වන්දි සහ අවශ්‍ය ඉඩම් ලබාදීමට අපි පියවර ගන්නවා’ යනුවෙනි.
එසේ නම් ගම්මුන් කියන දේ සහතිකය. ප‍්‍රශ්නය උග‍්‍රවී ඇත. එහෙත් විසඳුම් නැතිය. මේ තක්සේරු ගණන් බලන්නේ යටවූවාට පසුවද? වන්දි දෙනුයේ, පදිංචි කරනුයේ සියල්ල නැත්තට නැතිවූ පසුවද?

සංවර්ධනය යනු කුමක්ද? සංවර්ධනය අවැසි ජනතාවට නොවේද? සංවර්ධනය කරනුයේ ජනතාව වෙනුවෙන් නොවේද? මේ සංවර්ධනයේ නාමයෙන් තම කුඹුරු, පොල් ඉඩම් අහිමිවන්නේ මේ මිනිසුන්ගේය. උන්හිටි තැන් නැතිවන්නේ මොවුන්ගේය. එහෙත් එය තවමත් ප‍්‍රශ්නයක් වී නැති ගාණය. ජලාශය විවෘත කිරීමට ඇඟිලි ගැනීම හැර මේ ජලාශය හේතුවෙන් පීඩා විඳින මිනිස් ප‍්‍රශ්න ගැන වගේ වගක් නැතිය. ඛේදවාචක වූ පසු කඳුළු සලනවාට පෙර කළ යුතු දෑ කළ යුතුව ඇත්තේය. දැදුරු ඔය ව්‍යාපෘතියට අනාථ වන ජනයා සනාථ කිරීම බලධාරීන්ගේ වගකීමකි.

බරපතළ තත්ත්වයක් – ජේ.සී. අලවතුවල වයඹ පළාත් සභාවේ -විපක්ෂ නායක

මේක බරපතළ තත්ත්වයක්. මේ ජනතාවට විසඳුම් නොදී හිතුමනාපයට ජලාශය විවෘත කළොත් වයඹ මළගමක් වේවි. මම පළාත් සභාවේදීත් මේ ගැන කතා කළා. කරන්න පුළුවන් උපරිමය කරන්න මම මහන්සි ගන්නවා. මේකට දේශපාලන පක්ෂ භේදයක් නෑ. මේ වයඹ මිනිස්සු. මේ රටේ මිනිස්සු. ඒ අය රැුකගත යුතුයි. ඒක අපි හැමගේ වගකීමක්. මම ඒකට මට හැකි උපරිමයෙන් මැදිහත් වෙලා තියෙනවා.